Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 51

දිගටම යේසුස්ට “සවන් දෙන්න”

දිගටම යේසුස්ට “සවන් දෙන්න”

“මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න.”—මතෙ. 17:5.

ගීතිකාව 54 “යා යුතු හරි මඟ”

මේ ලිපියෙන් *

1-2. (අ) යේසුස්ගේ ගෝලයන් තුන්දෙනාට කරන්න කිව්වේ මොකක්ද? එයාලා ඒක කළේ කොහොමද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

ක්‍රි.ව. 32 පාස්කුවෙන් පස්සේ පේතෘස්, යාකොබ් සහ යොහන් යේසුස් එක්ක උස් කන්දකට ගියා. සමහරවිට එයාලා යන්න ඇත්තේ හෙර්මොන් කන්දට වෙන්න ඇති. ඒ වෙලාවේ යේසුස්ගේ ගෝලයෝ හරි පුදුමාකාර දර්ශනයක් දැක්කා. එයාලා දැක්කා යේසුස්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. බයිබලේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඔහුගේ මුහුණ සූර්යයා මෙන් බැබළෙන්නත් ඔහුගේ වස්ත්‍ර ආලෝකය මෙන් දීප්තිමත් වෙන්නත් පටන්ගත්තේය.” (මතෙ. 17:1-4) ඊට ටික වෙලාවකට පස්සේ යෙහෝවා දෙවියන් කතා කරලා මෙහෙම කිව්වා. “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය. මොහුට මාගේ අනුමැතිය ඇත. මොහුට සවන් දෙන්න.” (මතෙ. 17:5) එදා දෙවියන් කියපු ඒ දේ ගෝලයෝ ඒ විදිහටම පිළිපැද්දා කියලා එයාලා ජීවත් වුණ විදිහෙන් පෙන්නුවා. අපිටත් ඕනෙ එයාලා වගේ යේසුස්ට සවන් දෙන්න.

2 අපි කොහොමද ඒක කරන්නේ? කලින් ලිපියේ බැලුවා යේසුස් අපිට කරන්න එපා කියපු දේවල් දෙකක් ගැන. අපි මේ ලිපියෙන් බලනවා යේසුස් කරන්න කියපු දේවල් දෙකක් ගැන. ඒවාට කීකරු වෙන එකෙන් යේසුස්ට සවන් දෙන්න අපිට පුළුවන්.

“පටු දොරටුවෙන් ඇතුල් වෙන්න”

3. මතෙව් 7:13, 14 කියන විදිහට අපි කරන්න ඕනෙ මොකක්ද?

3 මතෙව් 7:13, 14 කියවන්න. යේසුස් එකිනෙකට වෙනස් පාරවල් දෙකක් ගැන කිව්වා. එක පාරක් “පළල්.” අනිත් පාර “පටුයි.” මතක තියාගන්න, යේසුස් කිව්වේ පාරවල් දෙකක් ගැන විතරයි. ඊට අමතරව තුන්වෙනි පාරක් තියෙනවා කියලා ඔහු කිව්වේ නැහැ. ඒ පාරවල් දෙකෙන් යන්න ඕනෙ මොන පාරේද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. හැබැයි ඒක බැරෑරුම් තීරණයක්. මොකද ඔයාට සදාකාල ජීවනය ලැබෙනවාද නැද්ද කියන එකට ඔයා ගන්න ඒ තීරණය බලපානවා.

4. “පළල්” පාර ගැන පැහැදිලි කරන්න.

4 යේසුස් කිව්ව ඒ පාරවල් දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා කියලා අපි තේරුම්ගන්න ඕනේ. ඔහු කිව්ව විදිහට “පළල්” පාරේ යන එක හරිම ලේසියි. ඒ නිසා හුඟදෙනෙක් ඒ පාර තෝරගන්නවා. තවත් සමහරු ඒ පාරේ යන්නේ හුඟක් අය ඒකේ යනවා දකින හින්දයි. ඒ නිසා එයාලත් ඒ රැල්ලට අහු වෙනවා. හැබැයි පළල් පාරේ යන්න එයාලව පොලඹවන්නේ සාතන් කියලත් ඒ පාර යන්නේ විනාශයට කියලත් එයාලා දන්නේ නැහැ.—1 කොරි. 6:9, 10; 1 යොහ. 5:19.

5. “පටු” පාර හොයාගෙන ඒකේ දිගටම යන්න හුඟක් අය කරලා තියෙන්නේ මොනවාද?

5 හැබැයි “පටු” පාර ඊට වඩා වෙනස්. ඒකේ යන්නේ හරිම ටිකදෙනයි කියලා යේසුස් කිව්වා. ඒ ඇයි? ඊළඟ පදේ යේසුස් කියපු දෙයින් අපිට ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. ඔහු කිව්වේ බොරු අනාගතවක්තෘවරුන්ගෙන් පරෙස්සම් වෙන්න කියලා. (මතෙ. 7:15) අද ලෝකේ ආගම් දහස් ගාණක් තියෙනවා. ඒකෙන් තේරෙන්නේ මිනිස්සු නොමඟ ගිහිල්ලා තියෙනවා කියන එකයි. ඒ ආගම්වල ඉන්න හැමෝම කියන්නේ ඒක තමයි හරි ආගම කියලා. ඉතින් ඇත්ත මොකක්ද කියලා හොයාගන්න බැරුව මිනිස්සු අතරමං වෙලා! ඒ නිසා සමහරු සත්‍යය හොයන එකත් අත්හැරලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කාටවත් හරි පාර හොයාගන්න බැහැ කියලා. කැමති නම් ඕන කෙනෙක්ට හරි පාර හොයාගන්න පුළුවන්. ඒ ගැන යේසුස් කියපු දේ බලන්න. “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහ. 8:31, 32) සමහරු යේසුස් කිව්ව පටු පාර හොයාගෙන තියෙනවා. ඒ අය අතරේ ඔයාත් ඉන්නවා. ගොඩක් අය යන රැල්ලට යන්නේ නැතුව ඔයා සත්‍යය මොකක්ද කියලා හෙව්වා. බයිබලේ ඉගෙනගෙන යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම්ගත්තා. යේසුස්ගේ ඉගැන්වීම් ගැන ඉගෙනගත්තා. ඒ වගේම අසත්‍යය උගන්වන ආගම්වලට සම්බන්ධ ඉගැන්වීම්වලින්, උත්සවවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕනෙ කියලත් ඔයා ඉගෙනගත්තා. ඒ විතරක් නෙවෙයි යෙහෝවාව සතුටු කරන්න ඕනෙ නම් ජීවිතේ වෙනස්කම් කරගන්න ඕනෙ කියලත් ඔයා ඉගෙනගත්තා. හැබැයි වෙනස්කම් කරද්දීත් ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි කියලා ඔයා කලින්ම තේරුම්ගත්තා. (මතෙ. 10:34-36) ඒත් ඒ මොන අභියෝගය ආවත් යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ නිසා ඔයා දිගටම වෙනස්කම් කරගත්තා. යෙහෝවා ඒ ගැන කොච්චර සතුටු වෙනවා ඇද්ද!—හිතෝ. 27:11.

දිගටම පටු පාරේ යන්න පුළුවන් කොහොමද?

“පටු” පාරේ දිගටම ගමන් කරන්න යෙහෝවාගේ මඟ පෙන්වීම් සහ ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා (6-8 ඡේද බලන්න) *

6. ගීතාවලිය 119:9, 10, 45, 133 කියන විදිහට පටු පාරේ දිගටම යන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

6 පටු පාර හොයාගත්තාට පස්සේ ඒකේ දිගටම යන්න අපිට උදව් වෙන්නේ මොනවාද? මෙහෙම හිතන්න. ඔයා කඳු පළාතක හරිම පටු පාරක වාහනයකින් යනවා. ඒ පාරේ ආරක්ෂිත වැටක් ගහලාත් තියෙනවා. ප්‍රපාතයේ අයිනටම යන්නේ නැතුව පරෙස්සමෙන් වාහනේ ගෙනියන්න ඒක ඔයාට උදව් වෙනවා. ඒ වගේම ඒ වැට නිසා වාහනේ ලේසියෙන් ප්‍රපාතෙට වැටෙන්නෙත් නැහැ. යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිත් හරියට මේ ආරක්ෂිත වැට වගේ. පටු පාරේ දිගටම යන්න ඒවා අපිට උදව් වෙනවා.—ගීතාවලිය 119:9, 10, 45, 133 කියවන්න.

7. යෙහෝවා කැමති පටු පාරේ ගමන් කරන එක ගැන යෞවනයන් කොහොම හිතනවාටද?

7 යෞවනයෙනි, ඔයාලට කවදා හරි හිතිලා තියෙනවාද යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති නිසා ඔයා කොටු වෙලා කියලා? සාතන්ටත් ඕනෙ ඔයා එහෙම හිතනවා දකින්න. පළල් පාරේ යන අය අපිට වඩා නිදහසේ සතුටින් ඉන්නවා කියලා සාතන් අපිට දැනෙන්න සලස්වනවා. ඉස්කෝලේ යාළුවෝ දිහා බලද්දී ඉන්ටර්නෙට් එකේ අනිත් අය දාලා තියෙන දේවල් දකිද්දී ඔයා ජීවිතේ විඳින්නේ නැහැ කියලා හිතනවා දකින්නයි සාතන්ට ඕනේ. * හැබැයි එක දෙයක් මතක තියාගන්න. පළල් පාරේ යන අයට අන්තිමට මොකද වෙන්නේ කියලා සාතන් කවදාවත් පෙන්නන්නේ නැහැ. එයා ඒක හංගලයි තියෙන්නේ. ඒත් පටු පාරේ යන අයට අන්තිමට ලස්සන අනාගතයක් ලැබෙනවා කියලා යෙහෝවා දෙවියන් පැහැදිලිව කියලා තියෙනවා.—ගීතා. 37:29; යෙසා. 35:5, 6; 65:21-23.

8. ඕලාෆ්ගෙන් යෞවනයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 ඕලාෆ්ගේ * අද්දැකීම බලන්න. එයාගේ පන්තියේ යාළුවෝ හැම තිස්සේම එයාට කිව්වා කාත් එක්ක හරි ලිංගික ඇසුරක් පවත්වලා සතුටක් ලබන්න කියලා. හැබැයි එයා යාළුවන්ට කිව්වා සාක්ෂිකරුවන් ජීවත් වෙන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව නිසා ඒ වගේ දෙයක් කරන්න එයා කැමති නැහැ කියලා. මේක දැනගත්තාට පස්සේ පන්තියේ සමහර ගෑනු ළමයි කතා වුණා කොහොමහරි එයාලත් එක්ක එකට ඉන්න ඕලාෆ්ව කැමති කරගෙන පෙන්නනවා කියලා. මේ මොන දේ වුණත් ඕලාෆ් දිගටම හරි දේ කළා. ඕලාෆ්ට තිබුණේ ඒ අභියෝගය විතරක් නෙවෙයි. බලන්න එයා කියන දේ. “ටීචර්ලා කිව්වා හොඳට ඉගෙනගෙන කොහොමහරි විශ්වවිද්‍යාලයේ යන්න කියලා. එහෙම නැත්නම් මට හොඳ රස්සාවක් හොයාගෙන සතුටින් ජීවත් වෙන්න බැරි වෙයි කියලයි එයාලා කිව්වේ.” ඒ වගේ අභියෝගවලට මුහුණ දෙන්න එයාට උදව් වුණේ මොනවාද? එයා මෙහෙම කියනවා. “මං සභාවේ අයව මගේ කිට්ටු යාළුවෝ කරගත්තා. මට දැනුණේ එයාලා මගේම පවුලේ අය වගේ. ඒ වගේම මං බයිබලේ ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන්ගත්තා. අධ්‍යයනය කරන්න කරන්න මට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ඒ නිසා මං යෙහෝවාට මුල් තැන දීලා ඔහුට කැප වෙලා බව්තීස්ම වෙන්න තීරණය කළා.”

9. පටු පාරේ දිගටම යන්න නම් කරන්න ඕනෙ මොනවාද?

9 සාතන්ට ඕනෙ පටු පාරේ යන්න ඉඩ දෙන්නේ නැතිව අපිව හුඟදෙනෙක් යන පළල් පාරට ගන්න. මොකද ඒක ‘යන්නේ විනාශයට’ කියලා සාතන් දන්නවා. (මතෙ. 7:13) හැබැයි සාතන්ට ඉඩ නොදී දිගටම පටු පාරේ යන්න නම් අපි යේසුස්ට සවන් දෙන්න ඕනේ. පටු පාරේ යන එක අපිට ආරක්ෂාවක් කියලා හිතන්න ඕනේ. දැන් අපි යේසුස් කරන්න කියපු තව දෙයක් ගැන බලමු.

“සහෝදරයා එක්ක සමාදාන වෙන්න”

10. මතෙව් 5:23, 24 යේසුස් කරන්න කිව්වේ මොනවාද?

10 මතෙව් 5:23, 24 කියවන්න. යේසුස් යුදෙව්වන්ට කතා කරද්දී හරිම වැදගත් දෙයක් ඉගැන්නුවා. හිතන්න යුදෙව්වෙක් පූජාවක් ඔප්පු කරන්න දේවමාලිගාවට යනවා කියලා. ඒ වෙලාවේ එයාට මතක් වෙනවා කාට හරි කෙනෙක්ට එයාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේ වෙලාවට එයා මොකක්ද කරන්න ඕනේ? යේසුස් කිව්වා පූජාව පැත්තකින් තියලා ‘යන්න’ කියලා. ඇයි ඒ? දෙවියන්ට පූජාවක් ඔප්පු කරනවාටත් වඩා වැදගත් දෙයක් තියෙනවාද? බලන්න යේසුස් ඊළඟට කියන දේ. “මුලින්ම ගිහින් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වෙන්න.”

නිහතමානී වෙලා අයියා එක්ක සමාදාන වෙන්න මහන්සි වුණ යාකොබ් වගේ වෙන්න ඔයාටත් පුළුවන්ද? (11 සහ 12 ඡේද බලන්න) *

11. ඒසව් එක්ක සමාදාන වෙන්න යාකොබ් කළේ මොනවාද?

11 සමාදානය ඇති කරගන්න එක ගැන අපිට යාකොබ්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා දේවදූතයෙක් මාර්ගයෙන් යාකොබ්ට කිව්වා එයාගේ උපන් දේශයට ආයෙත් යන්න කියලා. යාකොබ් උපන් දේශයට යන්න හදන්නේ අවුරුදු 20කට විතර පස්සේ. (උත්. 31:11, 13, 38) හැබැයි ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද එයාගේ අයියා ඒසව්ගේ හිතේ යාකොබ් ගැන ලොකු වෛරයක් තිබුණා. එයා යාකොබ්ව මරන්න හොයහොයා හිටියේ. (උත්. 27:41) ඉතින් ඒසව් එයාව හම්බ වෙන්න එනවා කියලා දැනගත්තාම යාකොබ් ‘ගොඩක් බය වෙලා කලබල වුණා.’ (උත්. 32:7) අයියාත් එක්ක සමාදාන වෙන්න යාකොබ් මොනවාද කළේ? මුලින්ම එයා උදව් ඉල්ලලා ඕනෑකමින් යෙහෝවාට යාච්ඤා කළා. ඊටපස්සේ එයා ඒසව්ට තෑගි ගොඩක් යැව්වා. (උත්. 32:9-15) අන්තිමේදී අවුරුදු ගාණකට පස්සේ මේ සහෝදරයෝ දෙන්නා මුණගැහුණා. ඒ වෙලාවේ යාකොබ් මොනවාද කළේ? අයියාව දැක්කාම එක පාරක් දෙපාරක් නෙවෙයි හත් පාරක්ම හිස නමලා එයාට ආචාර කළා. ඉතින් යාකොබ් නිහතමානී වෙලා එයාගේ අයියාට ගෞරවයෙන් සලකපු නිසා සමාදානය ඇති කරගන්න එයාට පුළුවන් වුණා.—උත්. 33:3, 4.

12. යාකොබ්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 ඒසව්ව මුණ ගැහෙන්න කලිනුත් මුණගැහුණාට පස්සෙත් යාකොබ් කරපු දේවල්වලින් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මුලින්ම එයා ඒසව්ව දිනාගන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලුවා. ඊටපස්සේ එයාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කළා. අයියාව හම්බ වුණාට පස්සෙත් කවුද හරි, කවුද වැරදි කියලා එයා වාද කරන්න ගියේ නැහැ. එයාගේ අරමුණ වුණේ කොහොම හරි අයියාත් එක්ක සමාදාන වෙන එක. යාකොබ්ව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්ද?

සමාදාන වෙන්න අපිට පුළුවන් කොහොමද?

13-14. අපෙන් වුණ වරදක් නිසා කෙනෙක් අපිත් එක්ක අමනාපෙන් ඉන්නවා නම් කරන්න පුළුවන් මොනවාද?

13 පටු පාරේ දිගටම යන්න නම් අපි අපේ සහෝදරයන් එක්ක සමාදානයෙන් ඉන්න ඕනේ. (රෝම 12:18) ඒත් අපි අතින් වුණ වරදක් නිසා කෙනෙක් අපිත් එක්ක අමනාපයෙන් ඉන්නවා නම් මොකද කරන්නේ? යාකොබ් වගේ අපිටත් පුළුවන් එයාත් එක්ක සමාදාන වෙන්න අපිට උදව් කරන්න කියලා ඕනෑකමින් යෙහෝවාගෙන් ඉල්ලන්න.

14 කෙනෙක් එක්ක කතා කරන්න කලින් මේ වගේ ප්‍රශ්න ගැනත් හිතන්න පුළුවන්. ‘නිහතමානී වෙලා එයාගෙන් සමාව ඉල්ලන්න මං ලෑස්තිද? එයාත් එක්ක සමාදාන වෙන්න මං මුල් පියවර ගද්දී යෙහෝවා, යේසුස් මං ගැන කොච්චර සතුටු වෙයිද?’ ඒ ප්‍රශ්න අපිට උදව් වෙනවා යේසුස්ගේ හඬට සවන් දීලා අපේ සහෝදරයා එක්ක කොහොමහරි සමාදාන වෙන්න. එහෙම කරද්දී යාකොබ්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන්.

15. එෆීස 4:2, 3 තියෙන ප්‍රතිපත්තිය සමාදානය ඇති කරගන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

15 හිතන්න, අයියාව හම්බෙන්න යද්දී යාකොබ් හිතුවා නම් ‘මං තමයි හරි, මං කොහොම හරි ඒක ඔප්පු කරලා පෙන්නනවා’ කියලා මොනවා වෙයිද? එහෙමනම් මේ කතාව මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා. ඒකෙන් පැහැදිලියි කෙනෙක්ව දිනාගන්න නම් අපි නිහතමානී වෙන්නම ඕනෙ කියලා. (එෆීස 4:2, 3 කියවන්න.) හිතෝපදේශ 18:19 මෙහෙම කියනවා. “සහෝදරයෙකුට විරුද්ධව වරදක් කළ පසු ඔහුව දිනාගැනීම ශක්තිමත් නුවරක් අල්ලාගැනීමට වඩා අසීරුය. එකිනෙකා අතරේ ඇති වන වාදවිවාද බලකොටුවක සවිමත් දොරගුලු මෙනි.” අපිත් එක්ක අමනාපයෙන් ඉන්න කෙනෙක් ඒ පදයේ කියන “බලකොටුව” වගේ. අපි නිහතමානී වෙලා එයාගෙන් සමාව ඉල්ලද්දී ඒ බලකොටුවේ දොරගුලු අරින්න අපිට පුළුවන්.

16. අපි හිතලා බලන්න ඕනෙ තව දෙයක් මොකක්ද? ඒ ඇයි?

16 කෙනෙක් එක්ක කතා කරන්න කලින් අපි කියන්නේ මොනවාද, ඒක කියන්නේ කොහොමද කියලා හොඳට හිතලා බලන එක හරිම වැදගත්. එයාව මුණගැහෙන්න යද්දීත් අපි මතක තියාගන්න ඕනෙ අපේ අරමුණ එයාගේ හිතේ තියෙන කහට අයින් කරලා එයාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න එකයි කියලා. සමහරවිට එයා අපේ හිත රිදෙන දේවල් කියයි. ඒ වගේ වෙලාවට අපිටත් කේන්ති ගිහින් අපි හරියි කියලා ඔප්පු කරන්න පෙලඹෙන්න පුළුවන්. හැබැයි එහෙම කරන එකෙන් සමාදානය ඇති වෙයිද? ඒක හරියට පරණ තුවාලයක් ආයෙත් පාරනවා වගේ වැඩක් නේද? ඒ නිසා කවුද හරි කියලා ඔප්පු කරන්න හදනවාට වඩා වැදගත් වෙන්නේ නැති වුණ සාමය ආයේ ඇති කරගන්න එකයි කියලා අපි මතක තියාගන්න ඕනේ.—1 කොරි. 6:7.

17. සහෝදර ගිල්බට්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

17 සහෝදර ගිල්බට් සාමය ඇති කරගන්න ගොඩක් මහන්සි වුණ කෙනෙක්. එයා මෙහෙම කියනවා. “මගේ දුව මාත් එක්ක තරහ වෙලා හිටියේ. අවුරුදු දෙකක් තිස්සේ මං මේ ප්‍රශ්නේ විසඳගෙන එයාත් එක්ක සමාදාන වෙන්න ගොඩක් උත්සාහ කළා.” දුවත් එක්ක සමාදාන වෙන්න ගිල්බට් මොන වගේ දේවල්ද කළේ? එයා මෙහෙම කියනවා. “දුවත් එක්ක කතා කරන්න යන හැම වතාවකටම කලින් මං යෙහෝවාට යාච්ඤා කළා. එයා මොන දේ කිව්වාත් මං මගේ හිත රිද්දවගන්නේ නැහැ කියලා මං හිතාගත්තා. මං ලෑස්ති පිට හිටියා මගේ දුවට සමාව දෙන්න. මං උත්සාහ කරන්න ඕනෙ මං හරියි කියලා පෙන්නන්න නෙවෙයි. මට ඕනෙ කොහොමහරි දුවත් එක්ක සමාදාන වෙන්න. ආයෙත් ඉස්සර වගේම එයාට ළං වෙන්න.” ගිල්බට් සාර්ථක වුණාද? බලන්න එයා කියන දේ. “දැන් මං ඉන්නේ හුඟක් සතුටින්. මොකද පවුලේ හැමෝමත් එක්ක දැන් මට හොඳ බැඳීමක් තියෙනවා.”

18-19. අපි කරපු දෙයක් නිසා කෙනෙක් අපිත් එක්ක අමනාප වුණොත් අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

18 අපි අතින් වුණ වරදක් නිසා සභාවේ කෙනෙක් අපිත් එක්ක අමනාපයෙන් ඉන්නවා කියලා අපිට දැනුණොත් මොනවාද කරන්න ඕනේ? යේසුස් කිව්වා වගේ සමාදානය ඇති කරගන්න පියවර ගන්න. ඒකට යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඔහුගේ බලය ඉල්ලන්න. සාමය ඇති කරගන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරන්න. එහෙම කරනවා නම් සහෝදරයන් එක්ක සාමයෙන්, සතුටින් ඉන්න පුළුවන් වෙනවා වගේම ඔයා යේසුස්ගේ හඬට සවන් දෙනවා කියලා පෙන්නන්නත් පුළුවන්.—මතෙ. 5:9.

19 ‘සභාවේ හිස’ වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් අපිට මඟ පෙන්වීම් දෙන එක ගැන අපි ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! (එෆී. 5:23) අපිටත් ඕනෙ පේතෘස්, යාකොබ්, යොහන් වගේ දිගටම යේසුස්ට “සවන් දෙන්න.” (මතෙ. 17:5) අපිට ඒක කරන්න පුළුවන් කොහොමද? දිගටම පටු පාරේ ගමන් කරන එකෙන් සහ අපේ සහෝදරයන් එක්ක සමාදානය ඇති කරගන්න එකෙන් ඒක කරන්න පුළුවන් කියලා අපි මේ ලිපියෙන් ඉගෙනගත්තා. යේසුස්ට සවන් දෙන අයට දැන් විතරක් නෙවෙයි අනාගතයේදීත් ගොඩක් ආශීර්වාද කරන්න යෙහෝවා දෙවියන් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ගීතිකාව 130 සමාව දෙන්න

^ 5 ඡේ. යේසුස් අපිට කිව්වා ජීවනයට යන පටු මාර්ගයේ දිගටම ගමන් කරන්න කියලා. සහෝදර සහෝදරියන් එක්ක සමාදානයෙන් ඉන්න කියලත් ඔහු අපිට කිව්වා. ඒ දේවල් කරන එක අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි? ඒවා ජය ගන්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ 7 ඡේ. www.pr418.com/si වෙබ් අඩවියේ ‘යොවුන් සිතේ ගැටලු 10කට උත්තර’ කියන සඟරාවේ “යාළුවන්ගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?” කියන 6වෙනි ප්‍රශ්නය සහ ‘ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?’ කියන වීඩියෝ එක බලන්න. (බයිබල් ඉගැන්වීම් > යෞවනයන් යටතේ බලන්න.)

^ 8 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 56 ඡේ. පින්තූරයේ අදහස: බයිබල් ප්‍රතිපත්ති හරියට “පටු” පාරක තියෙන ආරක්ෂක වැටක් වගේ. කාමුක දර්ශන නොබලා ඉන්න, අනාචාරයට පොලඹවන අයව ආශ්‍රය නොකර ඉන්න, උසස් අධ්‍යාපනයට ජීවිතේ මුල් තැන දෙන්න එන පීඩනයට අහු නොවී ඉන්න ඒවා අපිට උදව් වෙනවා.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: ඒසව් එක්ක සමාදානය ඇති කරගන්න යාකොබ් එයා ඉස්සරහට ගිහින් දණගහගෙන හිස නමලා කීප වතාවක්ම ආචාර කරනවා.