Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 2

යේසුස්ගේ සහෝදරයාගෙන් ඉගෙනගමු

යේසුස්ගේ සහෝදරයාගෙන් ඉගෙනගමු

“දෙවිගෙත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙත් දාසයෙක් වන යාකොබ්.”—යාකො. 1:1.

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

මේ ලිපියෙන් *

1. යාකොබ්ගේ පවුලේ අය ගැන ඔයා දන්නේ මොනවාද?

 යාකොබ් කියන්නේ යේසුස්ගේ බාල සහෝදරයෙක්. * එයා හැදී වැඩුණේ දෙවියන්ට ළැදි පවුලක. එයාගේ දෙමාපියන්, ඒ කියන්නේ යෝසෙප් සහ මරියා යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරේ කරපු අය. ඒ වගේම එයාලා ජීවිතේ මුල් තැන දුන්නෙත් යෙහෝවාටයි. ඒ විතරක් නෙවෙයි යාකොබ්ගේ අයියා තමයි පොරොන්දු වුණ ගැලවුම්කරු. ඒ වගේ පවුලක හැදී වැඩෙන්න ලැබුණ එක කොච්චර ලොකු ආශීර්වාදයක්ද!

පුංචි කාලේ ඉඳන්ම යාකොබ්ට අවස්ථාව තිබුණා එයාගේ අයියා වන යේසුස්ව හොඳින් දැන හඳුනා ගන්න (2 ඡේදය බලන්න)

2. යාකොබ්ගේ අයියා එයාට හොඳ ආදර්ශයක් වුණා කියලා කියන්න පුළුවන් ඇයි?

2 යාකොබ්ගේ අයියා විදිහට යේසුස් එයාට හොඳ ආදර්ශයක් වුණා. (මතෙ. 13:55) මොකද යේසුස්ට ශුද්ධ ලියවිලි ගැන හොඳ දැනුමක් තිබුණා. කොච්චරද කියනවා නම් අවුරුදු 12දී යේසුස්ට තිබුණ දැනුම ගැන දේවමාලිගාවේ හිටපු ගුරුවරුත් ගොඩක් පුදුම වුණා. (ලූක් 2:46, 47) ඒ නිසා යාකොබ් යේසුස්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති. ඒ විතරක් නෙවෙයි යේසුස් කියන්නේ දක්ෂ වඩුවෙක්. සමහරවිට දෙන්නා එකතු වෙලා වඩු වැඩ කරන්නත් ඇති. පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර නේතන් නෝර් නිතරම අනිත් අයට කිව්වේ “කෙනෙක් එක්ක වැඩ කරද්දී ඒ කෙනා ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්” කියලා. * ඉතින් යාකොබ් යේසුස් එක්ක වැඩ කරන්න කරන්න යේසුස් ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති. ඒ වගේම “යේසුස් ප්‍රඥාවෙන් සහ උස මහතින්ද දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි හොඳ නමක් දිනාගනිමින්ද” වැඩුණ විදිහත් යාකොබ් දැක්කා කියලා කිසිම සැකයක් නැහැ. (ලූක් 2:52) එහෙම බලද්දී හරි නම් යේසුස්ගේ මුල් ගෝලයන් අතර යාකොබ් ඉන්නම ඕනේ. හැබැයි එහෙම වුණේ නැහැ.

3. යේසුස් දේශනා සේවේ පටන්ගත්තාම යාකොබ් ඒ ගැන හිතුවේ කොහොමද?

3 යේසුස් මේ පොළොවේ සේවේ කරද්දී යාකොබ් ඔහුගේ ගෝලයෙක් වුණේ නැහැ. (යොහ. 7:3-5) දවසක් යේසුස්ගේ නෑදෑයෝ ඔහුට කිව්වා ඔහු ‘සිහිවිකල් වුණ’ කෙනෙක් කියලා. සමහරවිට ඒ අය අතර යාකොබ් ඉන්න ඇති. (මාක් 3:21) ඒ වගේම තමන්ගේ අයියාව වධකණුවේ එල්ලලා මරද්දී වධකණුව ළඟ අම්මාත් එක්ක යාකොබ් හිටියා කියලා බයිබලේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ.—යොහ. 19:25-27.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ යාකොබ් යේසුස් ගැන විශ්වාසය තියලා ක්‍රිස්තියානි සභාවේ හැමෝගෙම ගෞරවය දිනාගත්ත කෙනෙක් වුණා. අපි මේ ලිපියෙන් යාකොබ්ගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් දෙකක් ගැන බලමු. (1) අපි නිහතමානී වෙන්න ඕනෙ ඇයි? (2) හිතට කාවදින විදිහට උගන්වන්න අපිට පුළුවන් කොහොමද?

යාකොබ් වගේ නිහතමානී වෙන්න

නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් යාකොබ්ව හම්බ වෙන්න ආවා. ඒ වෙලාවේ යාකොබ් නිහතමානී වෙලා යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළිගත්තා. එදා ඉඳන් දිගටම එයා යේසුස්ගේ ගෝලයෙක් විදිහට විශ්වාසවන්තව සේවය කළා (5-7 ඡේද බලන්න)

5. නැවත නැඟිට්ට යේසුස් යාකොබ් එක්ක කතා කළාට පස්සේ යාකොබ් කළේ මොනවාද?

5 යාකොබ් යේසුස්ගේ ගෝලයෙක් වුණේ කවදාද? යේසුස්ව නැවත නැඟිට්ටුවාට පස්සේ “ඔහු යාකොබ් ඉදිරියේද පසුව ඔහුගේ සියලු නියෝජිතයන් ඉදිරියේද පෙනී” සිටියා කියලා බයිබලේ සඳහන් වෙනවා. (1 කොරි. 15:7) ඒ හමු වීම යාකොබ්ගේ ජීවිතේ සම්පූර්ණෙන්ම වෙනස් කළා! එදා ඉඳලා එයා යේසුස්ගේ ගෝලයෙක් වුණා. අපි ඒක දන්නේ කොහොමද? යෙරුසලමේ උඩුමහල් කාමරේක හිටපු ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබුණු වෙලාවේ ඒ අය අතර යාකොබ් හිටියා. (ක්‍රියා 1:13, 14) පස්සේ කාලෙක යාකොබ් පාලක මණ්ඩලයේ සහෝදරයෙක් විදිහටත් සේවය කළා. (ක්‍රියා 15:6, 13-22; ගලා. 2:9) පේන විදිහට ක්‍රි.ව. 62ට කලින් යාකොබ් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් අභිෂේක ලත් අයට ලියුමකුත් ලිව්වා. අපි අභිෂේක ලත් අය වුණත් නැතත් ඒ ලියුමේ තියෙන තොරතුරු අද ඉන්න අපි හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත්. (යාකො. 1:1) මුල් සියවසේ හිටපු ඉතිහාසඥයෙක් වන ජොසීෆස් වාර්තා කරලා තියෙන විදිහට උත්තම පූජකයෙක් වුණු අන්නස්ගේ පුතා අනනියස් තමයි යාකොබ්ව මරන්න අණ දුන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා යේසුස්ගේ ගෝලයෙක් වුණ දවසේ ඉඳලා අවසන් හුස්ම හෙළන කල්ම යාකොබ් දෙවියන්ට විශ්වාසවන්තව හිටියා කියලා.

6. යාකොබ් එදා හිටිය ආගමික නායකයන්ට වඩා වෙනස් වුණේ කොහොමද?

6 යාකොබ් නිහතමානී වුණා. යාකොබ් වැඩ කරපු විදිහයි, ඒ කාලේ ආගමික නායකයන් වැඩ කරපු විදිහයි ගැන අපි දැන් ටිකක් බලමු. යේසුස් නැවත නැගිට්ටාට පස්සේ යාකොබ්ව හම්බ වෙන්න ආවා. ඒ වෙලාවේ යේසුස් කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා කියන්න පැහැදිලි සාක්ෂි යාකොබ්ට ලැබුණා. ඒ නිසා එයා නිහතමානීව ඒක පිළිගත්තා. හැබැයි එදා හිටපු ආගමික නායකයන් වැඩ කළේ ඊට වඩා වෙනස් විදිහට. උදාහරණෙකට යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටුවා කියලා කියන්න ඕන තරම් සාක්ෂි තිබුණා. එහෙම වෙලත් යේසුස් දෙවියන් එවපු කෙනෙක් කියලා පිළිගන්නවා වෙනුවට එයාලා කළේ මොකක්ද? යේසුස්වයි, ලාසරුස්වයි මරන්න සැලසුම් කරපු එක. (යොහ. 11:53; 12:9-11) ඒ විතරක් නෙවෙයි යේසුස්ව නැවත නැඟිටුවලා කියලා දැනගත්තාම ඒ කාරණය මිනිසුන්ගෙන් හංගන්නත් එයාලා උත්සාහ කළා. (මතෙ. 28:11-15) කොයි තරම් පැහැදිලි සාක්ෂි තිබුණත් යේසුස්ව ගැලවුම්කරු විදිහට එයාලා පිළිගත්තේ නැත්තේ එයාලගේ උඩඟුකම නිසයි.

7. අපි උඩඟු වෙන්න හොඳ නැත්තේ ඇයි?

7 පාඩම: උඩඟු නොවී ඔයාට උගන්වන්න යෙහෝවාට ඉඩ දෙන්න. සමහර දරුණු අසනීප නිසා අපේ හෘදය ක්‍රියා කරන එක අඩපණ වෙන්න පුළුවන්. ඒකෙන් අපේ ජීවිතේට ලොකු හානියක් වෙනවා. උඩඟුකමත් හරියට දරුණු අසනීපයක් වගේ. උඩඟුකම නිසා අපේ හිත් දැඩි වෙලා දෙවියන් ලබා දෙන මඟ පෙන්වීම් පිළිගන්න අපිට බැරි වෙන්න පුළුවන්. ඒකෙනුත් වෙන්නේ අපේ ජීවිතේට ලොකු හානියක්! පරිසිවරු කියන්නෙත් හරිම උඩඟු කට්ටියක්. එයාලා කොච්චර උඩඟු වුණාද කියනවා නම් යේසුස්ට දෙවියන්ගේ බලය තියෙනවා කියලා දැක දැකත් ඔහුව පිළිගන්නේ නැති තරමටම එයාලගේ හිත් දැඩි වෙලයි තිබුණේ. (යොහ. 12:37-40) උඩඟුකම නිසා අන්තිමට එයාලට සදාකාල ජීවිතයත් නැති වුණා. (මතෙ. 23:13, 33) මොකක්ද පාඩම? කවදාවත් ඔයාගේ හිත දැඩි වෙන්න ඉඩ දෙන්න එපා! ඒ වෙනුවට ඔයා හිතන විදිහ වෙනස් කරගන්න, දෙවියන් කැමති ගුණාංග ඇති කරගන්න යෙහෝවාගේ බලයට සහ ඔහුගේ වචනයට ඉඩ දෙන්න. තීරණයක් ගන්න කලින් යෙහෝවා දෙවියන් ඒ ගැන හිතන්නේ මොකක්ද කියලා හොයලා බලන්න. (යාකො. 3:17) යාකොබ්ටත් යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න පුළුවන් වුණේ එයා උඩඟු නොවී නිහතමානී වුණ නිසයි. ඒ නිහතමානිකම යාකොබ්ව දක්ෂ ගුරුවරයෙක් කළා.

යාකොබ් වගේ දක්ෂ ගුරුවරයෙක් වෙන්න

8. දක්ෂ ගුරුවරුන් වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

8 එදා හිටපු ආගමික නායකයන් පේතෘස්ව සහ යොහන්ව “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” විදිහටයි සැලකුවේ. (ක්‍රියා 4:13) එයාලා ඒ දෙන්නාව පහත් කළා. වැඩිදුර අධ්‍යාපනයක් ලැබුවේ නැති යාකොබ්ව එයාලා සලකන්න ඇත්තෙත් ඒ විදිහටමයි. හැබැයි බයිබලේ යාකොබ් ලියපු පොත දිහා බලද්දී දක්ෂ ගුරුවරයෙක් වෙන්න එයාට පුළුවන් වුණා කියලා පැහැදිලි වෙනවා. යාකොබ් වගේ අපිත් සමහරවිට ලොකු අධ්‍යාපනයක් ලබලා නැතුව ඇති. හැබැයි යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන්, සංවිධානයෙන් ලැබෙන පුහුණුවෙන් අපිටත් පුළුවන් දක්ෂ ගුරුවරු වෙන්න. යාකොබ් දක්ෂ විදිහට ඉගැන්නුවේ කොහොමද කියලත් අපිට එයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් දැන් අපි බලමු.

9. යාකොබ්ට හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන් වුණේ ඇයි?

9 යාකොබ් උගන්වද්දී බර වචන පාවිච්චි කළේ නැහැ. ඒ වෙනුවට එයා දේවල් පැහැදිලි කළේ හරිම සරල විදිහට. ඒ නිසා කරන්න ඕනෙ මොකක්ද ඒක කරන්න ඕනෙ කොහොමද කියලා ලේසියෙන්ම තේරුම්ගන්න ඇහුම්කන් දුන්න අයට පුළුවන් වුණා. උදාහරණෙකට ක්‍රිස්තියානීන් අයුක්තියකට, අසාධාරණයකට මුහුණ දෙද්දී වෛරයක් හිතේ තියාගන්නේ නැතුව ඒක සතුටින් විඳදරාගන්න ඕනෙ කියන කාරණය යාකොබ් පැහැදිලි කරපු විදිහ බලන්න. එයා මෙහෙම ලිව්වා. “පීඩා විඳදරාගෙන සිටින අය සන්තෝෂවත් කියා අපි ප්‍රකාශ කරන්නෙමු. යෝබ් විඳදරාගත් ආකාරය ගැන ඔබ අසා ඇති අතර යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළ ආකාරය ගැනත් ඔබ දන්නහුය. ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙකු බවය.” (යාකො. 5:11) ඔයාලා දැක්කද යාකොබ් උගන්වන්න පාවිච්චි කළේ ශුද්ධ ලියවිල්ල කියලා? යෝබ් වගේ යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා කාවද්දන්න එයා දක්ෂ විදිහට ශුද්ධ ලියවිල්ල පාවිච්චි කළා. ඒ වගේම එයා උගන්වන්න පාවිච්චි කළේ සරල වචන, සරල තර්ක. යාකොබ් තමන්ට අවධානය ගන්නවා වෙනුවට දේවවචනය තුළින් යෙහෝවාටම කතා කරන්න ඉඩ දුන්නා.

10. උගන්වද්දී අපිට යාකොබ්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

10 පාඩම: සරලව උගන්වන්න. බයිබලේට කතා කරන්න ඉඩ දෙන්න. කෙනෙක්ට උගන්වද්දී අපි උත්සාහ කරන්න ඕනෙ යෙහෝවා දෙවියන් කොච්චර ප්‍රඥාවන්තද ඔහු අපිට කොච්චර ආදරෙයිද කියලා කාවද්දන්නයි. නැතුව අපි කොච්චර දන්නවාද කියලා පෙන්නන්න නෙවෙයි. (රෝම 11:33) එහෙම කරන්න නම් අපි උගන්වද්දී හැම වෙලාවෙම බයිබලේට කතා කරන්න ඉඩ දෙන්න ඕනේ. උදාහරණෙකට ‘මං ඔයාගේ තැන හිටියා නම් මං කරන්නේ මෙහෙමයි’ කියලා අපි කවදාවත් බයිබල් ශිෂ්‍යයන්ට කියන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලේ තියෙන උදාහරණ පාවිච්චි කරලා යෙහෝවා දෙවියන් හිතන විදිහ එයාලටම තේරුම්ගන්න අපි උදව් කරනවා. එහෙම කරද්දී ශිෂ්‍යයන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න පෙලඹෙන්නේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න මිසක් අපිව සතුටු කරන්න නෙවෙයි.

11. යාකොබ්ගේ කාලේ හිටපු ක්‍රිස්තියානීන්ට තිබුණේ මොන වගේ ප්‍රශ්නද? යාකොබ් එයාලට දුන්න මඟ පෙන්වීම මොකක්ද? (යාකොබ් 5:13-15)

11 අනිත් අයට තියෙන ප්‍රශ්න ගැන යාකොබ්ට හොඳ අවබෝධයක් තිබුණා. සහෝදර සහෝදරියන් මොන වගේ අභියෝගවලටද මුහුණ දෙන්නේ කියලා යාකොබ් හොඳට තේරුම් අරගෙන හිටියා. ඒ නිසයි එයා ලියපු ලිපියෙන් එයාලට අවශ්‍යම කරන මඟ පෙන්වීම් දෙන්න යාකොබ්ට පුළුවන් වුණේ. උදාහරණෙකට සමහර අය ලැබුණු මඟ පෙන්වීම් ඉක්මනටම අදාළ කරගත්තේ නැහැ. (යාකො. 1:22) තවත් අය පොහොසත් අයට විශේෂ සැලකිල්ලක් පෙන්නුවා. (යාකො. 2:1-3) ඒ විතරක් නෙවෙයි තමන්ගේ දිව පාලනය කරගන්න බැරි අයත් එදා ක්‍රිස්තියානීන් අතරේ හිටියා. (යාකො. 3:8-10) ඒ ක්‍රිස්තියානීන් අතර ඒ වගේ ප්‍රශ්න තිබුණාත් යාකොබ් එයාලා ගැන තිබුණු බලාපොරොත්තු අත්හැරගත්තේ නැහැ. කවදා හරි එයාලා වෙනස් වෙයි කියලා එයා විශ්වාස කළා. ඒ නිසයි යාකොබ් ආදරෙන් වගේම කෙළින් එයාලට අවශ්‍ය මඟ පෙන්වීම් දුන්නේ. විශේෂයෙන්ම යාකොබ් එයාලට මතක් කළා වැඩිමහල්ලන් ගාවට ගිහිල්ලා වෙනස්කම් කරගන්න උදව් ගන්න කියලා.යාකොබ් 5:13-15 කියවන්න.

12. අපේ ශිෂ්‍යයන් කවදා හරි වෙනස් වෙයි කියන බලාපොරොත්තුව ඇතුව ඉන්න අපිට පුළුවන් කොහොමද?

12 පාඩම: ශිෂ්‍යයාව තේරුම්ගන්න. හැබැයි බලාපොරොත්තු අත්හරින්න එපා. අපිත් එක්ක බයිබලේ පාඩම් කරන ගොඩක් අය ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගන්න ලොකු සටනක් කරනවා. (යාකො. 4:1-4) සමහර නරක පුරුදු එයාලගේ ජීවිතවල මුල් ඇදලයි තියෙන්නේ. ඉතින් හිතන තරම් ඉක්මනට ඒවා උදුරලා දාන්න ලේසි නැහැ. ඒ නිසා දවසින් දෙකෙන් එයාලා දෙවියන් කැමති ගුණාංග ඇති කරගනියි කියලා බලාපොරොත්තු වෙන්න අපිට බැහැ. හැබැයි යාකොබ් වගේ එයාලා හදාගන්න ඕනෙ මොන පැතිද කියලා අපි ආදරෙන්, කෙළින් එයාලට පෙන්නලා දෙනවා. අපි හැම වෙලේම එයාලව තේරුම්ගන්න උත්සාහ කරනවා. ඒ වගේම එයාලා ගැන තියෙන බලාපොරොත්තු කවදාවත් අත්හරින්නේ නැහැ. මොකද යෙහෝවා දෙවියන් නිහතමානී අයව අනිවාර්යයෙන්ම ඔහුට ළං කරගන්නවා. ඒ වගේම අවශ්‍ය වෙනස්කම් කරගන්න ඔහු ඔහුගේ බලය එයාලට දෙනවා.—යාකො. 4:10.

13. යාකොබ් තේරුම්ගත්තේ මොකක්ද? (යාකොබ් 3:2)

13 යාකොබ් තමන් ගැන ඕනෑවට වඩා හිතුවේ නැහැ. පවුලේ අයට දෙවියන් එක්ක හොඳ බැඳීමක් තිබුණු නිසා, අයියා ගැලවුම්කරු වුණ නිසා යාකොබ් කවදාවත් හිතුවේ නැහැ එයා අනිත් අයට වඩා උසස් කියලා. ඒ නිසයි “මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි” කියලා අනිත් අයට කතා කරන්න එයාට පුළුවන් වුණේ. (යාකො. 1:16, 19; 2:5) තමන් අතින් අඩුපාඩුකම් වෙන්නේ නැහැ කියලා යාකොබ් කවදාවත් අනිත් අයට ඇඟෙව්වේ නැහැ. ඒ වෙනුවට එයා කිව්වේ “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි” කියලයි.යාකොබ් 3:2 කියවන්න.

14. අපි අතින් අඩුපාඩුකම් වෙනවා කියලා අපි පිළිගන්න ඕනෙ ඇයි?

14 පාඩම: අපි හැමෝම පව්කාරකම උරුම කරගෙන ඉන්නවා කියලා මතක තියාගන්න. ඒ නිසා කවදාවත් ඔයාගේ ශිෂ්‍යයාට වඩා ඔයා උසස් කියලා හිතන්න එපා. ‘අපි හැම දෙයක්ම හරියට කරනවා, අපි අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ’ කියලා ශිෂ්‍යයාට දැනෙන්න සැලැස්සුවොත් ශිෂ්‍යයා අධෛර්යය වෙයි. එයා හිතයි එයාට නම් කවදාවත් යෙහෝවාව සතුටු කරන්න බැරි වෙයි කියලා. ඒ වෙනුවට අපි අවංක වෙලා අපිට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න අමාරු වුණ අවස්ථා ගැන ශිෂ්‍යයාට කියන්න ඕනේ. වෙනස්කම් කරගන්න දෙවියන් අපිට උදව් කරපු විදිහ ගැනත් කියන්න ඕනේ. අපි එහෙම කරද්දී එයා තේරුම්ගනියි අභියෝගවලින් ගොඩ එන්නත් යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්නත් එයාට පුළුවන් කියලා.

යාකොබ් පාවිච්චි කරපු උදාහරණ හරිම සරලයි, පැහැදිලියි. ඒවා අනිත් අයගේ හදවත් ස්පර්ශ කළා (15 සහ 16 ඡේද බලන්න) *

15. යාකොබ් පාවිච්චි කරපු උදාහරණ මොන වගේද? (යාකොබ් 3:2-6, 10-12)

15 යාකොබ් හදවතට කාවදින විදිහේ උදාහරණ පාවිච්චි කළා. බලපෑමෙන් යුක්ත උදාහරණ පාවිච්චි කරන්න යාකොබ්ට දෙවියන්ගේ බලය ලැබුණා කියලා කිසිම සැකයක් නැහැ. ඒ වගේම යේසුස් පාවිච්චි කරපු උදාහරණ ගැන අධ්‍යයනය කරන එකෙනුත් ඒවා පාවිච්චි කරන විදිහ යාකොබ් ඉගෙනගන්න ඇති. යාකොබ් ලියපු ලියුමේ සඳහන් උදාහරණ හරිම සරලයි. ඒ වගේම උගන්වන්න හදන පාඩමත් හරිම පැහැදිලියි.යාකොබ් 3:2-6, 10-12 කියවන්න.

16. හදවතට කාවදින විදිහේ උදාහරණ අපි පාවිච්චි කරන්න ඕනෙ ඇයි?

16 පාඩම: හදවතට කාවදින විදිහේ උදාහරණ පාවිච්චි කරන්න. උදාහරණ පාවිච්චි කරන එක වැදගත් ඇයි? උදාහරණයකට පුළුවන් වචන එකතු කරලා කෙනෙක්ගේ මනසේ පින්තූරයක් අඳින්න. ඒ පින්තූරේ උදව් වෙනවා බයිබල් සත්‍යයන් එයාගේ හදවතේ තැන්පත් කරගන්න. උදාහරණ පාවිච්චි කරන්න යේසුස් තරම් දක්ෂ කෙනෙක් මේ පොළොවේ හිටියේ නැහැ. ඉතින් තමන්ගේ අයියාව ආදර්ශයට අරන් හරිම දක්ෂ විදිහට උදාහරණ පාවිච්චි කරන්න යාකොබ්ට පුළුවන් වුණා. දැන් අපි යාකොබ් පාවිච්චි කරපු එක උදාහරණයක් ගැන බලමු. ඒ උදාහරණේ හදවත ස්පර්ශ කරන තරම් බලවත් එකක් වෙන්නේ ඇයි කියලත් අපි බලමු.

17. යාකොබ් 1:22-25 තියෙන උදාහරණය හිතට කාවදින එකක් කියලා කියන්න හේතුව මොකක්ද?

17 යාකොබ් 1:22-25 කියවන්න. කණ්ණාඩියක් ගැන යාකොබ් පාවිච්චි කරපු උදාහරණය බලපෑමෙන් යුක්ත එකක් කියලා කියන්න ගොඩක් හේතු තියෙනවා. එයාට උගන්වන්න ඕන වුණේ ක්‍රිස්තියානීන් විදිහට අපි බයිබලය නිකම්ම කියවනවා වෙනුවට ඒකේ තියෙන දේවල් අදාළ කරගන්න ඕනෙ කියන එකයි. ඒ කාරණය කාවද්දන්න තමයි එයා කණ්ණාඩිය ගැන තියෙන උදාහරණය පාවිච්චි කළේ. කණ්ණාඩියක් කියන්නේ ඕනම කෙනෙක්ට හුරුපුරුදු හැමෝම දන්න දෙයක්. ඒ නිසා තමයි උගන්වපු කාරණය ඉක්මනටම තේරුම්ගන්න අනිත් අයට පුළුවන් වුණේ. හිතන්න, කෙනෙක් කණ්ණාඩියකින් මූණ බලද්දී මූණේ පැල්ලමක් තියෙනවා දකිනවා. හැබැයි එයා ඒක දැක දැකත් අයින් කරගත්තේ නැත්නම් ඒක කොච්චර මෝඩකමක්ද! ඒ වගේ දෙවියන්ගේ වචනය කියවද්දී අපේ අඩුපාඩුකමක් තියෙනවා කියලා දැක දැකත් ඒක හදාගන්නේ නැතුව ඉන්න එකත් ලොකු මෝඩකමක් කියලා යාකොබ් ඒ උදාහරණයෙන් පැහැදිලි කළා.

18. උදාහරණයක් පාවිච්චි කරන්න කලින් අපි මතක තියාගන්න ඕනෙ දේවල් මොනවද?

18 යාකොබ් වගේ හදවත ස්පර්ශ කරන විදිහේ උදාහරණ පාවිච්චි කරන්න නම් අපි දේවල් තුනක් මතක තියාගන්න ඕනේ. (1) අපි පාවිච්චි කරන උදාහරණයෙන් කාවද්දන්න හදන කරුණ පැහැදිලිව ඉස්මතු වෙන්න ඕනේ. (2) උදාහරණයක් විදිහට ගන්න දේ හැමෝටම හුරු දෙයක් වෙන්න ඕනේ. (3) උදාහරණයෙන් උගන්වන්න හදන දේ පැහැදිලි වෙන්න ඕනේ. අපේ ප්‍රකාශනවල, වීඩියෝවල ප්‍රබල උදාහරණ සිය ගාණක් සඳහන් වෙලා තියෙනවා. අපිට පුළුවන් ඒවා හොයලා බලලා පාවිච්චි කරන්න. හැබැයි අපි උදාහරණ පාවිච්චි කරන්නේ ප්‍රධාන කරුණු කාවද්දන්න විතරයි. ඒක තේරුම්ගන්න ලවුඩ්ස්පීකර් එකක් ගැන හිතන්න. මොනවා හරි දෙයක් හැමෝටම ඇහෙන්න පැහැදිලිව කියන්න ඕන වුණාම අපි ලවුඩ්ස්පීකර් එකක් පාවිච්චි කරනවා. හැබැයි එහෙමයි කියලා අපි හැම තිස්සේම ලවුඩ්ස්පීකර් එකකින් කතා කරන්නේ නැහැනේ? ඒ වගේ තමයි අපි උදාහරණ පාවිච්චි කරන්නෙත් ප්‍රධාන කරුණක් කාවද්දන්න ඕන වුණාම විතරයි. හැම පුංචි පුංචි දේකටම උදාහරණයක් පාවිච්චි කරන්න ගියොත් නම් කාවද්දන්න ඕන ප්‍රධාන කරුණ මඟහැරෙන්න පුළුවන්. ඒ වගේම අපි මතක තියාගන්න ඕනෙ තව දෙයක් තියෙනවා. අපි ලස්සන ලස්සන උදාහරණ පාවිච්චි කරලා දක්ෂ ගුරුවරු වෙන්න උත්සාහ කරන්නේ අපිට අවධානය ගන්න නෙවෙයි. ඒ වෙනුවට කෙනෙක්ව යෙහෝවා දෙවියන්ට ළං කරන්නයි.

19. අපි අපේ සහෝදර සහෝදරියන්ට ආදරෙයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

19 ඇත්ත, යාකොබ්ට හිටියා වගේ පරිපූර්ණ සහෝදරයෙක් අපිට නැහැ. හැබැයි යෙහෝවාට ආදරේ කරන සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් අපිට ඉන්නවා. එයාලත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කරද්දී එයාලගෙන් ඉගෙනගද්දී එයාලත් එක්ක උරෙන් උර ගැටිලා සේවය කරද්දී අපේ හිතේ එයාලා ගැන තියෙන ආදරේ පෙන්නන්න අපිට පුළුවන්. යාකොබ්ව ආදර්ශයට අරගෙන අපි හිතන විදිහ, වැඩ කරන විදිහ, උගන්වන විදිහ වෙනස් කරගන්නවා නම් ඒකෙන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙනවා. ඒ වගේම හුඟදෙනෙක්ව ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට ළං කරන්නත් අපිට පුළුවන්.

ගීතිකාව 114 “ඉවසිල්ලෙන් බලා සිටින්න”

^ යේසුස් සහ යාකොබ් පුංචි කාලේ ඉඳලා හැදී වැඩුණේ එකම ගෙදර. ඒ නිසා ඒ කාලේ හිටපු හුඟදෙනෙක්ට වඩා දෙවියන්ගේ පුත්‍රයා ගැන යාකොබ් දැනන් හිටියා. ක්‍රිස්තියානි සභාවේ ශක්තිමත් කණුවක් වගේ හිටපු යේසුස්ගේ බාල සහෝදරයෙක් වුණ යාකොබ්ගේ ජීවිතෙන් සහ එයා උගන්වපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? අපි ඒ ගැන මේ ලිපියෙන් බලමු.

^ මේ ලිපියේ යාකොබ්ව හඳුන්වලා තියෙන්නේ යේසුස්ගේ සහෝදරයා විදිහට. හැබැයි ඇත්තටම යාකොබ් කියන්නේ යේසුස්ගේ අර්ධ සහෝදරයා. බයිබලේ යාකොබ් කියන පොත ලිව්වෙත් එයායි.

^ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වුණ නේතන් එච්. නෝර් 1977දී එයාගේ පොළොවේ ජීවිතය අවසන් කළා.

^ පින්තූරයේ අදහස: යාකොබ් දිව කුඩා ගිනිපුපුරකට සමාන කළා. ඒ උදාහරණයෙන් යාකොබ්ට කාවද්දන්න ඕන වුණේ අපි කියන දේවල් නිසා ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියන කාරණයයි. ගින්නක් කියන්නේ හැමෝටම හුරුපුරුදු දෙයක්. ඒ නිසා යාකොබ් උගන්වන්න හදපු දේ ලේසියෙන් තේරුම්ගන්න අනිත් අයට පුළුවන් වුණා.