Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 8

ඔයා දෙන උපදෙස් කෙනෙක්ගේ “සිත සතුටු” කරයිද?

ඔයා දෙන උපදෙස් කෙනෙක්ගේ “සිත සතුටු” කරයිද?

“තෙලින්ද සුවඳ දුම්වලින්ද සිත සතුටු වෙයි. එලෙසම ආදරයෙන් උපදෙස් දෙන මිතුරෙකුගේ ඇසුරත් ඉතා ප්‍රසන්නය.”—හිතෝ. 27:9.

ගීතිකාව 102 ‘උපකාර අවශ්‍ය අයට උපකාර කරන්න’

මේ ලිපියෙන් *

1-2. උපදෙස් දෙන එක ගැන එක සහෝදරයෙක් ඉගෙනගත්තේ මොනවාද?

මීට අවුරුදු ගාණකට කලින් වැඩිමහල්ලෝ දෙන්නෙක් කාලයක් තිස්සේ රැස්වීම් අතපසු කරපු සහෝදරියක්ව හම්බ වෙන්න ගියා. ඒ සහෝදරිය එක්ක කතා කරද්දී එක වැඩිමහල්ලෙක් බයිබල් පද ගොඩක් පෙන්නලා රැස්වීම් එන එකේ වැදගත්කම ගැන එයාට කිව්වා. ඒ වැඩිමහල්ලා හිතුවේ එයා සාකච්ඡාව හොඳට කළා කියලා. ඒත් කතා කරලා ආයෙත් ගෙදර එන්න හදද්දී ඒ සහෝදරිය ඒ වැඩිමහල්ලන්ට කිව්වා “ඔයාලට මං ඉන්න තත්වේ පොඩ්ඩක්වත් තේරිලා නෑ බ්‍රදර්” කියලා. උපදෙස් දෙන්න කලින් ඒ සහෝදරිය මොන වගේ ප්‍රශ්නවලටද මුහුණ දෙන්නේ කියලා අහන්න ඒ වැඩිමහල්ලන්ට බැරි වුණා. ඒ නිසා එයාලා කතා කරපු එකෙන් ඒ සහෝදරියට කිසිම උදව්වක්වත් සහනයක්වත් ලැබුණේ නැහැ.

2 අවුරුදු ගාණකට පස්සේ ඒ සිද්ධිය ගැන මතක් කරලා ඒ වැඩිමහල්ලා මෙහෙම කියනවා. “එදා ඒ සහෝදරිය එහෙම කිව්වාම මට හිතුණේ එයා වැඩිමහල්ලන්ට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නෑ කියලා. හැබැයි පස්සේ මං ඒ ගැන හොඳට හිතුවා. එතකොට තමයි මට තේරුණේ අපරාදේ මං එදා බයිබල් පද පෙන්නනවා වෙනුවට ‘මේ දවස්වල ඔයාට කොහොමද? ඔයා හොඳින් ඉන්නවාද? ඔයාට අපෙන් මොනවා හරි උදව්වක් ඕනෙද’ කියලා එයාගෙන් ඇහුවා නම් එයාට ඇත්තටම උදව් කරන්න තිබුණා කියලා.” ඒ වැඩිමහල්ලා එයාට වැරදුණු තැනින් ගොඩක් දේවල් ඉගෙනගත්තා. එයා දැන් අනිත් අයව හොඳින් තේරුම්ගන්න ප්‍රේමණීය එඬේරෙක්.

3. සමහරවිට අනිත් අයට උපදෙස් දෙන්න සිද්ධ වෙන්නේ කාටද?

 3 එඬේරුන් විදිහට වැඩිමහල්ලන්ට තමයි අනිත් අයට උපදෙස් දෙන්න මූලිකවම වගකීම තියෙන්නේ. හැබැයි සමහර වෙලාවලදී අපි හැමෝටම තව කෙනෙක්ට උපදෙසක් දෙන්න අවස්ථා උදා වෙන්න පුළුවන්. උදාහරණෙකට සමහර අවස්ථාවලදී සහෝදරයෙක්ට නැත්නම් සහෝදරියකට සිද්ධ වෙනවා බයිබල් ප්‍රතිපත්තියක් පෙන්නලා එයාගේ යාළුවෙක්ට යම් කාරණයක් ගැන තේරුම් කරලා දෙන්න. (ගීතා. 141:5; හිතෝ. 25:12) එහෙමත් නැත්නම් තීතස් 2:3-5 සඳහන් වෙන කාරණා ගැන වැඩිහිටි සහෝදරියක් තරුණ සහෝදරියකට මඟ පෙන්වීමක් දෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන්ට අවශ්‍ය උපදෙස් දීලා ඒගොල්ලන්ව හික්මවන්න. මේ ලිපියෙන් විශේෂයෙන්ම කතා කරන්නේ වැඩිමහල්ලන්ට. ඒත් මේකේ තියෙන තොරතුරු අපි හැමෝටම ප්‍රයෝජනවත්. කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන විදිහට, එයාගේ “සිත සතුටු” වෙන විදිහට උපදෙස් දෙන්න අපිට පුළුවන් කොහොමද කියලා අපි බලමු.—හිතෝ. 27:9.

4. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

4 මේ ලිපියෙන් අපි ප්‍රශ්න හතරකට උත්තර බලනවා. (1) උපදෙසක් දෙන්න අපි පෙලඹෙන්න ඕනෙ ඇයි? (2) ඇත්තටම උපදෙසක් දෙන්නම ඕනෙද? (3) උපදෙස දෙන්න සුදුසුම කෙනා කවුද? (4) හිතට දැනෙන විදිහට උපදෙසක් දෙන්න පුළුවන් කොහොමද?

උපදෙසක් දෙන්න අපි පෙලඹෙන්න ඕනෙ ඇයි?

5. වැඩිමහල්ලෙක් ආදරෙන් උපදෙසක් දෙද්දී ඒක පිළිගන්න ලේසි ඇයි? (1 කොරින්ති 13:4, 7)

5 වැඩිමහල්ලන් සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි. කෙනෙක් වැරදි පියවරක් ගන්නවා දකිද්දී වැඩිමහල්ලන් උපදෙස් දෙන්න පෙලඹෙන්නේ ඒ නිසයි. (ගලා. 6:1) පාවුල් ආදරේ විවිධ පැතිකඩවල් ගැන කතා කරද්දී මෙහෙම කිව්වා. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල විශ්වාස කරයි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි. සියල්ල විඳදරාගනියි.’ (1 කොරින්ති 13:4, 7 කියවන්න.) උපදෙසක් දෙන්න කලින් වැඩිමහල්ලන් ඒවා ගැන හිතලා බලන එක හරිම වැදගත්. ඒක එයාලට උදව් වෙනවා ‘උපදෙසක් දෙන්න ඕනෙ කොහොමද? ඒ උපදෙස දෙන්නේ ආදරේ නිසාමද’ කියලා හිතලා බලන්න. අනිත් අතට වැඩිමහල්ලෙක් උපදෙසක් දෙන්නේ තමන්ට ආදරේ නිසා කියලා කෙනෙක්ට තේරෙනවා නම් ඒ උපදෙස පිළිගන්න එයාට ලේසියි.—රෝම 12:10.

6. පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 පාවුල් අද ඉන්න වැඩිමහල්ලන්ට හොඳ ආදර්ශයක්. තෙසලෝනික සභාවේ සහෝදරයන්ගේ අඩුපාඩුකම් දැක්කාම පාවුල් ඒ ගැන කෙළින්ම එයාලට උපදෙස් දුන්නා. හැබැයි උපදෙස් දෙන්න කලින් මුලින්ම පාවුල් එයාලව අගය කළා. ඒ නිසයි එයාලා විශ්වාසවන්තව සේවේ කරන එක ගැන, වෙහෙස මහන්සි නොබලා වැඩ කරන එක ගැන, ප්‍රශ්න විඳදරාගන්න එක ගැන පාවුල් එයාලට ලියපු ලියුමේ මතක් කළේ. ඒ වගේම එයාලා මුහුණ දෙන තත්වයන් ගැනත් පාවුල් දැනන් හිටියා. තෙසලෝනික සභාවේ හිටපු අය ජීවිතේ ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ වගේම එයාලා විරුද්ධවාදිකම් විශ්වාසවන්තව විඳදරාගත්තා. (1 තෙස. 1:3; 2 තෙස. 1:4) ඒ නිසයි පාවුල් කියන්නේ සමහර පැතිවලින් එයාලා අනිත් ක්‍රිස්තියානීන්ට හොඳ ආදර්ශයක් වුණා කියලා. (1 තෙස. 1:8, 9) පාවුල් ඒ විදිහට එයාලව අගය කරද්දී ඒ ක්‍රිස්තියානීන්ට කොච්චර සතුටු හිතෙන්න ඇතිද! පාවුල් ඇත්තටම ඒ සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරේ කළා. ඒ ආදරේ එයාලට දැනුණා. ඒ නිසයි ලියුම් මාර්ගයෙන් තෙසලෝනික සභාවේ හිටපු අයට ප්‍රයෝජනවත් වෙන උපදෙස් දෙන්න පාවුල්ට පුළුවන් වුණේ.—1 තෙස. 4:1, 3-5, 11; 2 තෙස. 3:11, 12.

7. සමහර අය උපදෙස් පිළිගන්න අකමැති ඇයි?

7 උපදෙසක් දෙද්දී ඒක හරි විදිහට දුන්නේ නැත්නම් මොකක්ද වෙන්න පුළුවන්? අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක් ඒ ගැන කියන දේ බලන්න. “සමහර වෙලාවට කෙනෙක් උපදෙසක් පිළිගන්න අකමැති වෙන්නේ ඒ උපදෙසේ තියෙන වැරැද්දක් නිසා නෙවෙයි. ඒක දෙන විදිහ නිසයි.” මොකක්ද අපි ඒකෙන් ඉගෙනගන්නේ? උපදෙසක් පිළිගන්න ලේසි වෙන්නේ ඒක ආදරෙන් දුන්නොත් මිසක් කේන්තියෙන් දුන්නොත් නෙවෙයි.

උපදෙසක් දෙන්න ඕනෙමද?

8. කාට හරි උපදෙසක් දෙන්න කලින් වැඩිමහල්ලෙක් හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

8 කෙනෙක්ගේ වරදක් දැක්ක ගමන් වැඩිමහල්ලෙක් එයා ළඟට ගිහින් උපදෙස් දෙන්න හදිසි වෙන්න හොඳ නැහැ. ඊට කලින් වැඩිමහල්ලෙක් මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන එක වැදගත්. ‘මං එයාත් එක්ක මේ ගැන කතා කරන්නම ඕනෙද? එයා කරන්නේ වැරැද්දක් කියලා මට 100%ක් විශ්වාසද? එයා කරන දේ නිසා මොකක් හරි බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙනවාද? නැත්නම් මං මේ උපදෙස දෙන්න යන්නේ එයා කරපු දේට මං අකමැති නිසාද?’ ඥානවන්ත වැඩිමහල්ලන් කවදාවත් “කතා කිරීමට ඉක්මන්” වෙන්නේ නැහැ. (හිතෝ. 29:20) ඒ ප්‍රශ්න ගැන හිතුවාට පස්සෙත් උපදෙසක් දෙන්න ඕනෙමද කියලා වැඩිමහල්ලෙක්ට සැකයක් තියෙනවා නම් එයාට පුළුවන් තවත් වැඩිමහල්ලෙක් එක්ක ඒ ගැන කතා කරන්න. එතකොට ඒ දෙන්නාටම එකතු වෙලා ඇත්තටම බයිබල් ප්‍රතිපත්තියක් කැඩිලා තියෙනවාද, එයාට උපදෙසක් දෙන්නම ඕනෙද කියලා සාකච්ඡා කරන්න පුළුවන්.—2 තිමෝ. 3:16, 17.

9. ඇඳුම් පැළඳුම් සහ විලාසිතා ගැන කෙනෙක්ට උපදෙසක් දෙද්දී පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 තිමෝති 2:9, 10)

9 උදාහරණෙකට වැඩිමහල්ලෙක්ට හිතෙනවා කෙනෙක් අඳින පළඳින විදිහ, එයා විලාසිතා කරන විදිහ එච්චර හරි නැහැ කියලා. ඒ නිසා ඒ වැඩිමහල්ලා තීරණය කරනවා ඒ ගැන කතා කරන්න. හැබැයි ඊට කලින් එයා හිතන්න ඕනෙ ‘ඒ කාරණය ගැන කතා කරන්න ඇත්තටම බයිබල් පදනමක් තියෙනවාද’ කියලා. ඒ වගේම එයාට පුළුවන් එයා හිතන විදිහ හරිද කියලා දැනගන්න තව වැඩිමහල්ලෙක් එක්ක නැත්නම් අවබෝධයෙන් වැඩ කරන ප්‍රචාරකයෙක් එක්ක ඒ ගැන කතා කරන්න. ඊටපස්සේ දෙන්නාටම එකතු වෙලා ඇඳුම් පැළඳුම් සහ විලාසිතා ගැන පාවුල් දුන්න මඟ පෙන්වීම් සාකච්ඡා කරන්නත් පුළුවන්. (1 තිමෝති 2:9, 10 කියවන්න.) අඳින්න ඕනෙ මොනවාද, විලාසිතා කරන්න ඕනෙ කොහොමද කියලා පාවුල් දිග ලැයිස්තුවක් දුන්නෙවත් නීති දැම්මේවත් නැහැ. ඒ වෙනුවට එයා කිව්වේ ඒ දේවල්වලින් මනා පිළිවෙළ, විනීතකම, සිහිකල්පනාව පේන්න ඕනෙ කියලයි. බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැති තාක් කල් ඕනම කෙනෙක්ට තමන් කැමති විදිහට අඳින්න, කැමති විලාසිතාවක් කරන්න අයිතියක් තියෙනවා කියන දේ පාවුල් තේරුම් අරන් හිටියා කියලා ඒකෙන් පැහැදිලියි. ඒ නිසා කෙනෙක් අඳින පළඳින විදිහ ගැන, එයාගේ විලාසිතාවන් ගැන උපදෙසක් දෙන්න කලින් වැඩිමහල්ලෙක් මෙහෙම හිතන එක වැදගත්. ‘ඒ කෙනාගේ තේරීම්වලින් එයා විනීත, සිහිකල්පනාවෙන් වැඩ කරන කෙනෙක් කියලා ඇත්තටම පේන්නේ නැද්ද?’

10. අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

10 හිතන්න අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් දෙන්නෙක් ඉන්නවා. හැබැයි එකම කාරණයක් ගැන එයාලා දෙන්නා ගන්නේ වෙනස් තීරණ. ඒත් ඒ තීරණ දෙකෙන්ම බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අලුත් නීති හදලා අපි කැමති දේම කරන්න ඕනෙ කියලා එයාලට බල කරන්න අපිට කිසිම අයිතියක් නැහැ.—රෝම 14:10.

උපදෙස දෙන්න සුදුසුම කෙනා කවුද?

11-12. උපදෙසක් දෙන්න තීරණය කරලා තියෙනවා නම් වැඩිමහල්ලෙක් හිතලා බලන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද? ඒ ඇයි?

11 කෙනෙක්ට උපදෙසක් දෙන්නම ඕනෙ කියලා පැහැදිලි වුණාට පස්සේ හිතන්න ඕනෙ මොනවා ගැනද? ඒ තමයි උපදෙස දෙන්නේ කවුද කියන දේ. උපදෙසක් දෙන්න ඕනෙ විවාහක සහෝදරියකට හරි දරුවෙක්ට හරි නම් වැඩිමහල්ලන් තීරණය කරන්න පුළුවන් මුලින්ම ගිහින් පවුලේ මූලිකයාත් එක්ක ඒ ගැන කතා කරන්න. ඒ වගේ වෙලාවකදී සමහරවිට පවුලේ මූලිකයා කියයි එයාම පවුලේ කෙනාත් එක්ක කතා කරන්නම් කියලා. * එහෙමත් නැත්නම් වැඩිමහල්ලන් පවුලේ කෙනා එක්ක කතා කරද්දී එයාටත් එතන ඉන්න පුළුවන්ද කියලා පවුලේ මූලිකයා වැඩිමහල්ලන්ගෙන් අහන්න පුළුවන්. අනිත් අතට යෞවන සහෝදරියකට උපදෙස් දෙන්න වෙනවා කියලා හිතන්න.  3වෙනි ඡේදයේ බලපු විදිහට සමහර කාරණාවලදී වැඩිමහල්ලෙක් කතා කරනවා වෙනුවට වැඩිහිටි සහෝදරියක් එයාත් එක්ක කතා කරන එක සුදුසු වෙන්න පුළුවන්.

12 කෙනෙක්ට උපදෙසක් දෙන්න කලින් වැඩිමහල්ලෙක් මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන එකත් හරිම වැදගත්. ‘එයාට කතා කරන්න සුදුසුම කෙනා මමද? වෙන වැඩිමහල්ලෙක් කතා කළොත් ඊට වඩා හොඳයිද?’ උදාහරණෙකට මෙහෙම හිතන්න. වැඩිමහල්ලෙක් උපදෙස් දෙන්න යන්නේ තමන් වටින්නේ නැහැ කියන හැඟීම් එක්ක පොරබදින කෙනෙක් එක්ක. සමහරවිට උපදෙස දෙන්න යන වැඩිමහල්ලාට ඒ වගේ අද්දැකීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ දේකට මුහුණ දීලා ඒකෙන් ගොඩ ආපු වැඩිමහල්ලෙක් සභාවේ ඉන්නවා නම් ඒකට සුදුසුම කෙනා ඒ වැඩිමහල්ලා වෙන්න පුළුවන්. මොකද ඒ වැඩිමහල්ලාට ප්‍රචාරකයා ඉන්න තත්වය හොඳටම තේරෙනවා. එයාට කියන්න ඕනෙ මොනවාද ඒක කියන්න පුළුවන් කොහොමද කියලා එයා හොඳටම දන්නවා. ඒ වගේම පිළිගන්න පුළුවන් විදිහට උපදෙස් දෙන්නේ කොහොමද කියලත් එයා දන්නවා. ඒ කොහොම වුණත් සභාවේ අයව නිවැරදි කරන එක, එයාලව දිරිගන්වන එක වැඩිමහල්ලන් හැමෝගෙම වගකීමක්. ඒ නිසා වැඩියෙන්ම වැදගත් වෙන්නේ උපදෙස දෙන්නේ කවුද කියන එක නෙවෙයි. ඒ උපදෙස අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනාට ලැබෙනවාද කියන එකයි.

හිතට දැනෙන විදිහට උපදෙසක් දෙන්නේ කොහොමද?

වැඩිමහල්ලන් “ඇහුම්කන් දෙන්න ඉක්මන් වෙන්න” ඕනෙ ඇයි? (13 සහ 14 ඡේද බලන්න)

13-14. වැඩිමහල්ලෙක් කතා කරන්න කලින් ඇහුම්කන් දෙන එක වැදගත් ඇයි?

13හොඳින් ඇහුම්කන් දෙන්න. වැඩිමහල්ලෙක් කෙනෙක්ට උපදෙසක් දෙන්න කලින් එයාට කියන්නේ මොනවාද කියලා කල්පනා කරන එක වැදගත්. එහෙම කරද්දී එයා මේ ප්‍රශ්න ගැනත් හිතන්න ඕනේ. ‘ඒ සහෝදරයා ගැන මං දන්නේ මොනවාද? මේ දවස්වල එයා මුහුණ දෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද? මං දන්නේ නැති මොනවා හරි ප්‍රශ්න එයාට තියෙනවාද? උපදෙසකට වඩා ඇත්තටම එයාට මේ වෙලාවේ ඕනෙ කරලා තියෙන්නේ සහනයක්ද නැත්නම් වෙන මොකක් හරි උදව්වක්ද?’

14 කෙනෙක්ට උපදෙසක් දෙද්දී යාකොබ් 1:19 තියෙන ප්‍රතිපත්තියත් වැඩිමහල්ලන්ට අදාළ කරගන්න පුළුවන්. එතන මෙහෙම කියනවා. “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.” සමහරවිට වැඩිමහල්ලෙක්ට හිතෙන්න පුළුවන් ‘මං එයා ගැන හැම දෙයක්ම දැනගෙන තමයි එයාත් එක්ක කතා කරන්න යන්නේ’ කියලා. ඒත් බලන්න හිතෝපදේශ 18:13 කියන දේ. එතන කියනවා “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි” කියලා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? හොඳම දේ එයා ගැන හැම දේම දන්නවා කියලා හිතනවා වෙනුවට එයාගෙන්ම ඒ ගැන අහලා දැනගන්න එකයි. වෙන විදිහකින් කියනවා නම් වැඩිමහල්ලෙක් කතා කරන්න කලින් හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. මතකද මේ ලිපියේ මුලින් බලපු අද්දැකීම? ඒ වැඩිමහල්ලා තේරුම්ගත්තා සූදානම් වෙලා ආපු දේවල් කතා කරනවා වෙනුවට “ඔයාට කොහොමද? ඔයා හොඳින් ඉන්නවාද? ඔයාට අපෙන් මොනවා හරි උදව්වක් ඕනෙද” කියලා ඒ සහෝදරියගෙන් ඇහුවා නම් එයාට ඕනෙම කරන උදව් දෙන්න පුළුවන්කම තිබුණා කියලා. වැඩිමහල්ලෙනි, හොඳට කාලේ අරන් කෙනෙක් ඉන්න තත්වය තේරුම්ගන්න උත්සාහ කරනවා නම් එයාලට ඕනෙම කරන උදව්ව ඕනෙම වෙලාවට දෙන්න ඔයාලටත් පුළුවන්.

15. හිතෝපදේශ 27:23 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

15බැටළුවන්ව තවත් හොඳින් අඳුනගන්න. අපි මේ ලිපියෙන් බැලුවා වගේ හිතට දැනෙන විදිහට උපදෙස් දෙනවා කියන්නේ බයිබල් පද කීපයක් පෙන්නලා යෝජනා දෙක තුනක් දෙන එක විතරක් නෙවෙයි. ඒකට තව දේවල් ඇතුළත්. උපදෙසක් දෙද්දී සහෝදරයන්ට දැනෙන්න ඕනෙ වැඩිමහල්ලන් එයාලා ගැන ගොඩක් සැලකිලිමත්, එයාලව තේරුම්ගන්නවා කියලා. ඒ වගේම වැඩිමහල්ලන්ට ඕනෙ එයාලට උදව් කරන්න කියලත් සහෝදරයන්ට දැනෙන්න ඕනේ. (හිතෝපදේශ 27:23 කියවන්න.) ඒක කරන්න නම් යෙහෝවා තමන්ට භාර දීලා තියෙන එක් එක් බැටළුවා එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න වැඩිමහල්ලන් උපරිමය කරන්න ඕනේ.

උපදෙසක් දෙන්න වැඩිමහල්ලෙක්ට ලේසි වෙන්නේ එයා මොනවා කළොත්ද? (16 ඡේදය බලන්න)

16. කෙනෙක්ගේ හිතට දැනෙන විදිහට උපදෙස් දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

16 ‘වැඩිමහල්ලන් අපිත් එක්ක කතා කරන්නේ උපදෙසක් දෙන්න, වැරැද්දක් පෙන්නන්න ඕනෙ වුණාම විතරයි’ කියලා සහෝදරයන්ට කවදාවත් දැනෙන්න හොඳ නැහැ.. ඒ වෙනුවට වැඩිමහල්ලන් උත්සාහ කරන්න ඕනෙ හැම වෙලේම සහෝදර සහෝදරියන් එක්ක කතාබහ කරලා එයාලගේ කිට්ටු යාළුවෝ වෙන්න. විශේෂයෙන්ම එයාලා ප්‍රශ්නවලට මුහුණ දෙද්දී එයාලා ළඟින්ම ඉන්න ඕනේ. ඒ ගැන අද්දැකීම් තියෙන වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “වැඩිමහල්ලන් විදිහට අපි එහෙම කරද්දී සහෝදරයන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන්. එතකොට උපදෙසක් දෙන්න ඕනෙ වුණාම ඒක දෙන්න අපිට හරිම ලේසියි.” අනිත් අතට උපදෙසක් ලබන කෙනාටත් කිට්ටු කෙනෙක් ඒක දෙන නිසා ඒක පිළිගන්න අමාරු නැහැ.

වැඩිමහල්ලෙක් ඉවසිලිවන්තව, කාරුණිකව උපදෙස් දෙන්න ඕනෙ ඇයි? (17 ඡේදය බලන්න)

17. වැඩිමහල්ලෙක් ඉවසිලිවන්තව, කාරුණිකව වැඩ කරන්න ඕනෙ විශේෂයෙන්ම මොන අවස්ථාවේදීද?

17ඉවසන්න. කාරුණික වෙන්න. සමහරවිට උපදෙසක් දෙද්දී කෙනෙක් ඒක පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට වැඩිමහල්ලන් ඉවසීමෙන්, කාරුණිකව එයාත් එක්ක වැඩ කරන්න ඕනේ. ඒ ගැන වැඩිමහල්ලන්ට යේසුස්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එක අනාවැකියක යේසුස් ගැන මෙහෙම කියලා තිබුණා. ඔහු “තැළුණු බට ගසක් පොඩි කරන්නේවත් නිවී යන පහන් තිරයක් නිවා දමන්නේවත් නැත.” (මතෙ. 12:20) වැඩිමහල්ලන් එයාලගේ පෞද්ගලික යාච්ඤාවේදී උපදෙස් ලබන කෙනා ගැන යෙහෝවාට කියන එකත් වැදගත්. උපදෙස් දෙන්නේ ඇයි කියලා තේරුම් අරන් අවශ්‍ය වෙනස්කම් කරගන්න එයාට උදව් කරන්න කියලත් එයාට ආශීර්වාද කරන්න කියලත් වැඩිමහල්ලන්ට යෙහෝවාගෙන් ඉල්ලන්න පුළුවන්. සමහරවිට තමන්ගේ වැරැද්ද තේරුම් අරන් ඒ උපදෙස අදාළ කරගන්න එයාට යම් කාලයක් යයි. ඒ නිසයි වැඩිමහල්ලන් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. අනිත් අතට ඉවසලා කාරුණිකව උපදෙස් දෙද්දී එයාගේ මනසට යන්නේ දීපු උපදෙස මිසක් ඒක දෙන විදිහ නෙවෙයි. ඒ වගේම උපදෙසක් දෙද්දී ඒ උපදෙස පදනම් කරගන්නේ බයිබලය මත කියලා වැඩිමහල්ලන් මතක තියාගන්න ඕනේ.

18. (අ) උපදෙසක් දෙද්දී මතක තියාගන්න ඕනෙ මොකක්ද? (ආ) කොටුව එක්ක එන පින්තූරේ පෙන්නන විදිහට ඒ දෙමාපියන් කතා කරන්නේ මොනවා ගැනද?

18වැරදුණු තැනින් ඉගෙනගන්න. අපි හැමෝම පාපය උරුම කරගෙන තියෙන අය නිසා මේ ලිපියේ කතා කරපු හැම දෙයක්ම අකුරටම කරන්න අපිට බැරි වෙයි. (යාකො. 3:2) හැබැයි අපි අතින් වරදක් වුණත් අපි ඒ වැරදුණු තැනින් ඉගෙනගන්න උත්සාහ කරන්න ඕනේ. අනිත් අතට අපේ සහෝදර සහෝදරියන්ට දැනෙනවා නම් අපි එයාලට ඇත්තටම ආදරෙයි කියලා අපි අතින් සහෝදරයන්ට අඩුපාඩුකමක් වුණත් එයාලා මුළු හදවතින්ම අපිට සමාව දෙන්න පෙලඹෙයි.—“ දෙමාපියන්ට සටහනක්” කියන කොටුව බලන්න.

අපි ඉගෙනගත්තේ මොනවාද?

19. සහෝදර සහෝදරියන්ගේ හිත සතුටු කරන්න පුළුවන් කොහොමද?

19 උපදෙසක් හිතට දැනෙන විදිහට දෙන්න හැම වෙලේම ලේසි නැහැ. මොකද උපදෙස් දෙන අය වගේම ඒක ලබන අයත් පාපය උරුම කරගෙනයි ඉන්නේ. ඒ නිසයි මේ ලිපියේ බලපු තොරතුරු නිතරම අපි අපේ මනසේ තියාගන්න ඕනේ. අපි ඒ දේවල් ගැන ආයෙත් මතක් කරගමුද? මුලින්ම මේ උපදෙස දෙන්නේ ඇත්තටම එයාට තියෙන ආදරේ නිසාද කියලා හිතලා බලන්න ඕනේ. ඒ වගේම ‘උපදෙස දෙන්නම ඕනෙද? දෙන්න ඕනෙ නම් ඒක දෙන්න සුදුසුම කෙනා කවුද’ කියලත් හිතලා බලන එක වැදගත්. උපදෙසක් දෙන්න කලින් එයාගෙන් ප්‍රශ්න අහලා එයාට හොඳින් ඇහුම්කන් දෙන එකෙන් එයා ඉන්න තත්වය තේරුම්ගන්නත් පුළුවන්. ඒක අපිට උදව් වෙයි කාරණා දිහා එයාගේ පැත්තෙන් බලන්න. උපදෙසක් දෙද්දී අපි කාරුණික වෙන්නත් ඕනේ. ඒ වගේම සහෝදර සහෝදරියන්ව අපේ කිට්ටු යාළුවන් කරගන්න එකත් හරිම වැදගත්. ඇත්ත, ඔයා දෙන උපදෙස කෙනෙක්ගේ හිතට දැනෙන්න ඕනෙ තමයි. හැබැයි දැනෙනවා වගේම ඒක කෙනෙක්ගේ “සිත සතුටු” කරන්නත් ඕනේ.—හිතෝ. 27:9.

ගීතිකාව 103 එඬේරුන් දෙවිගෙන් ලද ත්‍යාගයකි

^ 5 ඡේ. කෙනෙක්ට උපදෙසක් දෙන එක හැම වෙලේම ලේසි නැහැ. ඉතින් උපදෙසක් දෙන්න වෙද්දී ප්‍රයෝජනවත් වෙන විදිහට, එයාගේ හිත සතුටු වෙන විදිහට ඒක දෙන්න පුළුවන් කොහොමද? විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට කොහොමද පුළුවන් උපදෙසක් දෙද්දී ඒක හිතට කාවදින විදිහට දෙන්න? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ 11 ඡේ. 2021 පෙබරවාරි ‘මුරටැඹ’ සඟරාවේ “සභාවේ මූලිකත්වය ගැන ඇති කරලා තියෙන සැලැස්ම තේරුම්ගමු” කියන ලිපිය බලන්න.