Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 9

යේසුස් වගේ අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කරන්න ඔයා ලෑස්තිද?

යේසුස් වගේ අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කරන්න ඔයා ලෑස්තිද?

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.

ගීතිකාව 17 “මා කැමතියි”

මේ ලිපියෙන් *

1. දෙවියන්ගේ සෙනඟ අතර තියෙන විශේෂත්වයක් මොකක්ද?

අවුරුදු ගාණකට කලින් බයිබල් අනාවැකියක කියලා තිබුණා යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ ඉන්න සෙනඟ දෙවියන්ට සේවේ කරන්න “කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා” කියලා. (ගීතා. 110:3) ඒ අනාවැකිය අද අපේ ඇස් පනාපිටම ඉටු වෙනවා. හැම අවුරුද්දකම දෙවියන්ගේ සේවකයන් ශුභාරංචිය ලොව පුරා දේශනා කරන්න පැය කෝටි ගාණක් වැය කරනවා. ඒ සේවය වෙනුවෙන් එයාලගේ කාලය, ශ්‍රමය, මුදල් වැය කරන්න එයාලා දෙසැරයක් හිතන්නේ නැහැ. එයාලා සහෝදර සහෝදරියන්ට උදව් කරන්න එයාලගේ උපරිමය කරනවා. ඒ වගේම අනිත් අය වෙනුවෙන් ඇපකැප වෙලා වැඩ කරන වැඩිමහල්ලන්, සහායක සේවකයන්, රැස්වීම් කොටස් හොඳින් සූදානම් වෙලා ඉදිරිපත් කරන්න, අනිත් සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න පැය සිය ගාණක් කැප කරනවා. දෙවියන්ගේ සේවකයන් අනිත් අය වෙනුවෙන් මෙච්චර වෙහෙස මහන්සි වෙන්නේ ඇයි? ඒ යෙහෝවා දෙවියන් ගැන, අසල්වැසියන් ගැන එයාලගේ හිතේ තියෙන ආදරේ නිසයි.—මතෙ. 22:37-39.

2. රෝම 15:1-3 කියන විදිහට යේසුස් අපිට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

2 යේසුස් තරම් අනිත් අය ගැන සැලකිලිමත් වුණ කෙනෙක් මේ පොළොවේ හිටියේ නැහැ. ඔහු තමන් ගැනවත් හිතන්නේ නැතුව අනිත් අය ගැන හොයලා බැලුවා. අපිටත් ඕනෙ යේසුස් වගේ වෙන්න. (රෝම 15:1-3 කියවන්න.) යේසුස්ව ආදර්ශයට ගද්දී හිතාගන්නවත් බැරි තරම් ප්‍රයෝජන අද්දකින්න අපිට පුළුවන්. මොකද යේසුස් කිව්වේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලයි.—ක්‍රියා 20:35.

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 අනිත් අය වෙනුවෙන් යේසුස් කළේ මොන වගේ කැප කිරීම්ද? යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න අපේ හිතේ තියෙන ආසාව වැඩි කරගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

යේසුස්ව ආදර්ශයට ගන්න

යේසුස් ගොඩක් මහන්සි වෙලා ඉන්න වෙලාවක මිනිස්සු ඔහුව හොයාගෙන එද්දී ඔහු කළේ මොනවාද? (4 ඡේදය බලන්න)

4. යේසුස් තමන්ගේ පහසුව ගැන හිතන්නේ නැතුව අනිත් අයගේ ඕනෑ එපාකම් ගැන හොයලා බැලුවේ කොහොමද?

4කොච්චර මහන්සි වෙලා හිටියත් යේසුස් අනිත් අයට උදව් කළා. මේ සිද්ධිය හිතින් මවාගන්න. දැන් යේසුස් ඉන්නේ කඳුකර පැත්තක. ගොඩක් වෙලාවට ඒ කපර්ණවුමට කිට්ටුව වෙන්න ඇති. කලින් දවසේ මුළු රැයක් පුරාම යේසුස් දෙවියන්ට යාච්ඤා කළා. ඒ නිසා ඔහුට ලොකු මහන්සියක් දැනෙන්න ඇති. මේ වෙලාවේ යේසුස්ව හම්බ වෙන්න මිනිස්සු වැල නොකැඩී එනවා. ගොඩක් මහන්සියෙන් හිටපු නිසා මිනිසුන්ව දැක්කාම යේසුස් එයාලව කරදරයක් කියලා හිතුවාද? නැහැ. ඒ වෙනුවට දුප්පත්, අසරණ මිනිස්සුන්ව දැකලා යේසුස්ගේ හිත උණු වුණා. ඒ නිසා මහන්සියත් පැත්තකින් තියලා යේසුස් එයාලට උදව් කළා. ඒ විතරක් නෙවෙයි යේසුස් ගොඩක් මහන්සි වෙලා හිටපු ඒ වෙලාවේදී තමයි කා අතරත් ප්‍රසිද්ධ, මිනිස්සුන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කරපු කන්ද උඩ දේශනයත් ඔහු දුන්නේ.—ලූක් 6:12-20.

යේසුස්ව ආදර්ශයට අරන් අනිත් අය වෙනුවෙන් කැප කිරීම් කරන්න අපිට පුළුවන් මොන විදිවලින්ද? (5 ඡේදය බලන්න)

5. ලොකු මහන්සියක් දැනෙන වෙලාවට යේසුස්ව ආදර්ශයට ගන්න පවුලේ මූලිකයන්ට පුළුවන් කොහොමද?

5පවුලේ මූලිකයෙනි, යේසුස්ව ආදර්ශයට ගන්න ඔයාලට පුළුවන්. හිතන්න, තාත්තා කෙනෙක් වැඩ ඇරිලා ගෙදර එන්නේ හොඳටම හෙම්බත් වෙලා. එදාම තමයි පවුලේ නමස්කාරයත් කරන්න තියෙන්නේ. ඉතින් එයාට හිතෙනවා ‘අද නම් මහන්සියි. ඒ නිසා පවුලේ නමස්කාරය වෙන දවසක කරනවා’ කියලා. ඒත් එහෙම හිතුණාට එයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඒක කරන්න උදව් ඉල්ලනවා. දෙවියන් එයාගේ යාච්ඤාවට ඇහුම්කන් දීලා උදව් කරන නිසා එයා එදාම පවුලේ නමස්කාරය කරනවා. ඒක එයාගේ දරුවන්ට මොන තරම් හොඳ ආදර්ශයක්ද! මොකද ඒක දකින දරුවෝ තේරුම්ගන්නවා අම්මාටයි, තාත්තාටයි දෙවියන්ට කරන නමස්කාරය කොච්චර වටිනවාද කියලා.

6. තනියම ඉන්න ඕනෙ කියලා හිතුණ වෙලාවත් යේසුස් අනිත් අය වෙනුවෙන් කැප කළා. උදාහරණයක් දෙන්න.

6තනියම ඉන්න ඕනෙ කියලා හිතුණ වෙලාවත් යේසුස් අනිත් අය වෙනුවෙන් කැප කළා. යොහන් බව්තීස්ත කියන්නේ යේසුස්ගේ හොඳ යාළුවෙක්. දවසක් යේසුස්ට ආරංචි වුණා එයාව මරලා දාලා කියලා. එයාගේ මරණය ගැන ඇහුවාම යේසුස්ට කොහොම දැනෙන්න ඇතිද! කිසිම සැකයක් නැහැ ඔහුගේ හිත වේදනාවෙන් පිරිලා යන්න ඇති. මොකද බයිබලේ කියනවා ඒ ගැන දැනගත්තාම “යේසුස් එතැනින් පිටත් වී, ඔරුවකින් පාළු තැනකට ගියා” කියලා. (මතෙ. 14:10-13) යේසුස් එහෙම කළේ ඇයි කියලා අපිට තේරුම්ගන්න පුළුවන් නේද? මොකද ආදරය කරන කෙනෙක් නැති වුණාම ගොඩක් අයට ඕනෙ ටිකක් තනි වෙලා හිතේ හැටියට අඬන්න. හැබැයි යේසුස්ට නම් එහෙම කරන්න බැරි වුණා. මොකද යේසුස්ව හොයාගෙන මිනිස්සු එතනටත් ආවා. තනියම ඉන්න ඕනෙ කියලා දැනුණ මේ වෙලාවේ මිනිස්සුන්ව දැක්කාම යේසුස්ට තරහ ගියාද? නැහැ. ඒ වෙනුවට යේසුස්ගේ හිතේ එයාලා ගැන ‘ලොකු අනුකම්පාවක් ඇති වුණා.’ මොකද යේසුස් දැනන් හිටියා එයාලට උදව් ඕනෙ, දෙවියන්ගෙන් සහනය ඕනෙ කියලා. ඒ නිසා තමන්ගේ වේදනාව පැත්තකින් තියලා යේසුස් ඉක්මනින්ම එයාලගේ වේදනාවට සහනය දුන්නා. ඒ නිසයි බයිබලේ කියන්නේ කාලේ අරන් “ඔහු ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තේය” කියලා.—මාක් 6:31-34; ලූක් 9:10, 11.

7-8. අවශ්‍යතාවක් මතු වුණ වෙලාවක යේසුස්ව ආදර්ශයට ගන්න ප්‍රේමණීය වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

7ප්‍රේමණීය වැඩිමහල්ලන් යේසුස්ව ආදර්ශයට ගන්නවා. තමන්ගේ පහසුව පැත්තකින් තියලා සහෝදරයන් වෙනුවෙන් ඇපකැප වෙලා සේවය කරන ප්‍රේමණීය වැඩිමහල්ලන්ව අපි කොච්චර අගය කරන්න ඕනෙද! එයාලා අනිත් අය වෙනුවෙන් කරන ගොඩක් දේවල් අපිට පේන්නේ නැහැ. උදාහරණෙකට සහෝදරයෙක් හදිස්සියේ අසනීප වුණා කියලා හිතන්න. ඒ වගේ වෙලාවට රෝහල් සබඳතා කමිටුවේ ඉන්න අපේ වැඩිමහල්ලන් එයාගේ අවශ්‍යතා ගැන හොයලා බලන්න ගොඩක් වෙහෙසෙනවා. සමහර වෙලාවට මේ වගේ හදිසි දේවල් වෙන්නේ මහ රෑ. හැබැයි සහෝදර සහෝදරියන්ට තියෙන ආදරේ නිසා ඒ වගේ වෙලාවකදී වුණත් තමන්ගේ නින්ද පවා කැප කරලා වැඩිමහල්ලන් එයාලගේ උදව්වට යනවා. වැඩිමහල්ලන් විතරක් නෙවෙයි එයාලගේ පවුලේ අයත් වැඩිමහල්ලන්ට සහයෝගය දෙන්නේ, සහෝදරයන් වෙනුවෙන් කැප කිරීම් කරන්නේ සහෝදරයන්ට තියෙන ආදරේ නිසයි. එයාලවත් අපි ගොඩක් අගය කරන්න ඕනේ.

8 සමහර වැඩිමහල්ලන් ඉදි කිරීම් ව්‍යාපෘතිවලත් සහන සේවා කමිටුවලත් වෙහෙස නොබලා සේවය කරනවා. ඒ වගේම අපේ සභාවේ ඉන්න වැඩිමහල්ලනුත් උගන්වන්න, අනිත් අයව දිරිගන්වන්න, අනිත් අයට උදව් කරන්න වැය කරන පැය ගාණ හිතාගන්නවත් බැරි තරම්. මේ සහෝදරයන්ට මෙච්චර සේවයක් අපි වෙනුවෙන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ එයාලගේ පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය නිසයි. ඒ නිසා ඒ හැමෝටම ආශීර්වාද කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන එක කොච්චර වැදගත්ද! හැබැයි ඒ දේවල් කරද්දී වැඩිමහල්ලන් මතක තියාගන්න ඕනෙ දේකුත් තියෙනවා. ඒ තමයි මොන දේ කළත් පවුලේ අය වෙනුවෙන්, නමස්කාරයේ දේවල් වෙනුවෙන් දෙන්න ඕනෙ කාලය අතපසු කරන්න හොඳ නැහැ කියන දේ.

අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ඔයාට තියෙන ආසාව තවත් වැඩි කරගන්න

9. ෆිලිප්පි 2:4, 5 ක්‍රිස්තියානීන්ට දිරිගන්වන්නේ මොනවා කරන්නද?

9 ෆිලිප්පි 2:4, 5 කියවන්න. ඇත්ත, අපි හැමෝම වැඩිමහල්ලන් නෙවෙයි. ඒත් අපිට යේසුස්ගේ ආදර්ශයෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. බයිබලේ කියනවා යේසුස් “දාසයකු හා සමාන වුණා” කියලා. (ෆිලි. 2:7) දාසයෙක් නැත්නම් සේවකයෙක් තමන්ගේ ස්වාමියාව සතුටු කරන්න පුළුවන් හැම දේම කරනවා. ඉතින් අපි යෙහෝවාගේ දාසයන් විදිහට, සහෝදරයන් වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කරන සේවකයන් විදිහට අපිටත් ඕනෙ පුළුවන් හැම දේම කරලා එයාලගේ හිත සතුටු කරන්න. ඒකට උදව් වෙන යෝජනා කීපයක් දැන් අපි බලමු.

10. අපිට අපෙන්ම අහගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද?

10ඔයාගේ ආකල්ප සෝදිසි කරලා බලන්න. ඔයාට පුළුවන් ඔයාගෙන්ම මේ වගේ ප්‍රශ්න අහගන්න. ‘මං අනිත් අයට උදව් කරන්න ඇත්තටම කැමතිද? ඒ වෙනුවෙන් කැප කිරීම් කරන්න මං ලෑස්තිද? වැඩිහිටි නිවාසෙක ඉන්න සහෝදරයෙක්ව බලන්න යන්න කිව්වොත් නැත්නම් මහලු සහෝදරියක්ව රැස්වීම් එක්කන් එන්න කිව්වොත් මං සතුටින් ඒක කරනවාද? සමුළු පවත්වන තැනක් පිරිසිදු කරන්න, නමස්කාර මධ්‍යස්ථානයක් නඩත්තු කරන්න ආරාධනා කළොත් මං ඉක්මනින්ම ඒකට ඉදිරිපත් වෙනවාද?’ අපි යෙහෝවාට කැප වෙද්දී ඔහුගේ කැමැත්තට මුල් තැන දීලා ඔහු වෙනුවෙන් උපරිම සේවයක් කරනවා කියලා පොරොන්දු වුණා. ඔහු කැමතියි අපි අපේ කාලය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් පාවිච්චි කරනවාට. අනිත් අතට එහෙම කරද්දී අපේ හිතටත් ලොකු සතුටක් දැනෙනවා. ඒත් අපිට හිතෙනවා නම් ඒ පැත්තෙන් අපි තව දියුණු වෙන්න ඕනෙ කියලා මොනවාද අපිට කරන්න පුළුවන්?

11. අනිත් අයට උදව් කරන්න අපේ හිතේ තියෙන ආසාව වැඩි කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

11ඕනෑකමින් යෙහෝවාට යාච්ඤා කරන්න. ‘මං මීට වඩා අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න ඕනේ.’ කවදා හරි ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? හැබැයි එහෙම හිතුණාට ඒකට කිසිම ආසාවක් ඔයාගේ හිතේ ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? ඒ ගැන කියලා යෙහෝවාට ඕනෑකමින් යාච්ඤා කරන්න. ඔයාටම අවංක වෙලා දැනෙන හැම දෙයක්ම ඔහුට කියන්න. ඒ වගේම යෙහෝවාට ‘ප්‍රසන්න වන දේ ඉටු කරන්න ඔයාගේ හිතේ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කරන්න’ කියලත් ඔහුගෙන් ඉල්ලන්න.—ෆිලි. 2:13.

12. බව්තීස්ම වුණ යෞවන සහෝදරයන්ට සභාව වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද?

12 ඔයා බව්තීස්ම වුණ යෞවන සහෝදරයෙක්ද? එහෙමනම් ඔයාටත් පුළුවන් වගකීම් දරන්න ඔයාගේ හිතේ තියෙන ආසාව තවත් වැඩි කරගන්න. සමහර රටවල්වල වැඩිමහල්ලන් එක්ක බලද්දී සහායක සේවකයන්ගේ ගාණේ ලොකු අඩුවක් තියෙනවා. ඒ අයගෙනුත් ගොඩක් අය දැන් වයසයි. ඒ නිසා ප්‍රචාරකයන්ගේ ගාණ වැඩි වෙද්දී ඒ අයව බලාගන්න වගකීම් කරට අරන් වැඩ කරන සහෝදරයන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා. සංවිධානයේ වගකීම් භාර අරන් වැඩි සේවයක් කරන්න ඔයාගේ හිතෙත් ආසාවක් තියෙනවා නම් ඔයාට ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඒ ඇයි? මොකද ඔයාට පුළුවන් ඒකෙන් යෙහෝවාගේ හිත සතුටු කරන්න. ඒ වගේම අනිත් අය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරද්දී ඔයා උදව් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් කියලා අනිත් අය දකිනවා. අනිත් අතට ඔයාගේ උදව් නිසා අනිත් අය ප්‍රයෝජන ලබනවා දකිද්දී ඔයාගේ හිතටත් කියාගන්න බැරි සතුටක් දැනෙයි.

යූදාවල හිටපු ක්‍රිස්තියානීන්ට යොර්දාන් ගඟෙන් එගොඩ තිබුණ පෙලා නුවරට පලායන්න සිද්ධ වුණා. මුලින්ම පෙලාවලට ගිහින් හිටපු ක්‍රිස්තියානීන් පස්සේ ආපු අයට කෑම බෙදලා දෙනවා (13 ඡේදය බලන්න)

13-14. සහෝදර සහෝදරියන්ට උදව් කරන්න පුළුවන් මොන වගේ පැතිවලින්ද? (කවරයේ පින්තූරය බලන්න.)

13අනිත් අයට ඕනෙ මොනවාද කියලා හොඳ අවධානයකින් ඉන්න. පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මෙහෙම කිව්වා. “යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.” (හෙබ්‍රෙ. 13:16) ඒක මොන තරම් හොඳ උපදෙසක්ද! මොකද පාවුල් මේ ලියුම හෙබ්‍රෙව්වරුන්ට ලියලා වැඩි කාලයක් යන්න කලින් ඒගොල්ලන්ට සිද්ධ වුණා එයාලගේ ගෙවල් දොරවල්, වතුපිටි, ව්‍යාපාර, නෑදෑයෝ හැම දෙයක්ම අත්හැරලා ‘කඳුවලට පලා යන්න.’ (මතෙ. 24:16) ඉතින් ඒ වගේ කාලෙක අනිත් අයත් එක්ක බෙදා හදාගෙන ජීවත් වෙන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. කලින් ඉඳන්ම පාවුල් කියපු උපදෙසට කීකරු වෙලා දේවල් බෙදා හදාගන්න පුරුදු වෙලා හිටපු අයට නම් ඒ දුෂ්කර ජීවිතේට හුරු වෙන්න ලේසි වෙන්න ඇති.

14 හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන් වගේ අපිත් අනිත් අයට උදව් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක කරන්න නම් අනිත් අයට ඕනෙ කරන්නේ මොනවාද කියලා අපිට හොඳ අවධානයකින් ඉන්න වෙනවා. මොකද සමහරවිට සහෝදරයන්ට ඕනෙ මොනවාද කියලා එයාලා ඇවිත් අපිට කියන්නේ නැති වෙන්න පුළුවන්. උදාහරණෙකට තමන්ගේ බිරිඳගේ හදිසි මරණය නිසා තනි වුණ සහෝදරයෙක් ගැන හිතන්න. බිරිඳ නැති වුණ නිසා මේ සහෝදරයාට හැම දෙයක්ම කරගන්න වෙන්නේ තනියෙන්. ගෙවල් දොරවල් අස්පස් කරගන්න, කෑම බීම හදාගන්න, අවශ්‍ය වැඩකට එළියට යන්න සමහරවිට එයාට උදව් ඕනෙ වෙන්න පුළුවන්. ඒත් අනිත් අයට කරදර කරන්න අකමැති නිසා එයා ඒ ගැන කිසිම කෙනෙක්ට කියන්නේ නැතුව ඉන්න ඉඩ තියෙනවා. ‘එයාට උදව්වක් ඕනෙ නම් මගෙන් ඉල්ලයිනේ. මේ වගේ වෙලාවක සභාවේ අය අහක බලන්නේ නෑ. කවුරු හරි මේ වෙද්දීත් උදව් කරනවා ඇති’ කියලා අපිත් හිතුවොත් එයාට අවශ්‍ය උදව් ලැබෙයිද? ඒ වෙනුවට ‘මං ඒ වගේ තත්වෙක හිටියා නම් අනිත් අය මං වෙනුවෙන් මොනවා කරනවාටද කැමති’ කියලා හිතන්න අපිට පුළුවන්. එහෙම හිතලා අපිම ගිහින් එයාට උදව් කරන්න පෙලඹුණොත් ඒකෙන් ඒ සහෝදරයා කොච්චර සතුටු වෙයිද!

15. අනිත් අයට උදව් කරන්න නම් අපි මොන වගේ අය වෙන්න ඕනෙද?

15අනිත් අයට ඇවිත් උදව් ඉල්ලන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙන්න. සමහර සහෝදරයන් නෑ බෑ නොකියා ඕනම වෙලාවක අනිත් අය වෙනුවෙන් උදව් කරන්න ලෑස්තියි. ඔයාගේ සභාවේ ඉන්න ඒ වගේ සහෝදර සහෝදරියන්ව දැන් ඔයාට මතක් වෙනවාත් ඇති. උදව්වක් ඉල්ලුවාම අපි එයාලට කරදරයක් කියලා එයාලා කවදාවත් අපිට දැනෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඕනම වෙලාවක බයක් සැකක් නැතුව ඒ වගේ කෙනෙක් ළඟට යන්න පුළුවන්. අපි කවුරුත් ආසයි ඒ වගේ කෙනෙක් වෙන්න. ඒ ගැන අපිට හොඳම ආදර්ශය තියන්නේ යේසුස්. බලන්න, වැඩිමහල්ලෙක් වෙන ඇලන් කියන දේ. “යේසුස් කියන්නේ ගොඩක් කාර්යබහුල කෙනෙක්. හැබැයි කොච්චර කාර්යබහුල වුණත් ලොකු, පොඩි ඕනම කෙනෙක් යේසුස් ළඟට ඇවිත් උදව් ඉල්ලන්න බය වුණේ නැහැ. මොකද මිනිස්සු දැනගෙන හිටියා යේසුස් එයාලා ගැන ගොඩක් සැලකිලිමත්, එයාලට ගොඩක් ආදරෙයි කියලා. මටත් ඕනෙ වුණේ යේසුස් වගේ වෙන්න. එතකොට ඕනම කෙනෙක් මං ගාවට ඇවිල්ලා උදව්වක් ඉල්ලන්න දෙසැරයක් හිතන්නේ නැහැ.”

16. ගීතාවලිය 119:59, 60 කියන දේ යේසුස්ව කිට්ටුවෙන් අනුකරණය කරන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

16 යේසුස්ගේ ආදර්ශය අපිට 100%ක් අනුකරණය කරන්න බැහැ. (යාකො. 3:2) එහෙම වුණත් අධෛර්යය වෙන්න එපා. මෙහෙම හිතන්න. ශිෂ්‍යයෙක්ට එකපාරටම තමන්ගේ ගුරුවරයා වගේ දක්ෂ විදිහට චිත්‍ර අඳින්න බැරි වෙයි. හැබැයි කාලයත් එක්ක ගුරුවරයා අඳින විදිහ බලාගෙන එයාගේ හැකියාවන් දියුණු කරගද්දී එයාටත් පුළුවන් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. ඒ වගේ අපිත් දවසින් දවස බයිබලේ අධ්‍යයනය කරලා ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න ඕනේ. අපේ අඩුපාඩුකම් හදාගන්න උත්සාහ කරන්නත් ඕනේ. එතකොට අපිටත් පුළුවන් කලින්ටත් වඩා හොඳින් යේසුස්ගේ පිය සටහන් අනුකරණය කරන්න.ගීතාවලිය 119:59, 60 කියවන්න.

ආශීර්වාද අද්දකින්න

යේසුස් වගේ තමන්ගේ පහසුව ගැන හිතන්නේ නැතුව අනිත් අයට උදව් කරන වැඩිමහල්ලන් යෞවනයන්ට හොඳ ආදර්ශයක් (17 ඡේදය බලන්න) *

17-18. යේසුස්ව ආදර්ශයට අරන් අනිත් අයට උදව් කරද්දී අපිට ලැබෙන ආශීර්වාද මොනවාද?

17 අනිත් අයට උදව් කරන්න තියෙන ආසාව බෝ වෙන සුළුයි. වැඩිමහල්ලෙක් වෙන ටිම් කියන දේ බලන්න. “යෞවන වයසේදීම සහායක සේවකයන් වුණ හුඟදෙනෙක් අපේ සභාවේ ඉන්නවා. එයාලට සත්‍යය තුළ ඒ වගේ දියුණුවක් ලබන්න පුළුවන් වුණේ අනිත් අයගේ හොඳ ආදර්ශ නිසා. එයාලා දැක්කා සමහර සහෝදරයන් අනිත් අය වෙනුවෙන් සේවේ කරන්න, උදව් කරන්න කොච්චර මහන්සි වෙනවාද කියලා. ඉතින් එයාලටත් ඕනෙ වුණේ ඒ වගේ වෙන්න. මේ තරුණ සහෝදරයන් සභාව වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරනවා. එයාලා වැඩිමහල්ලන්ටත් ලොකු හයියක්.”

18 අද මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. හැබැයි යෙහෝවාගේ සැබෑ සෙනඟ විදිහට අපි එයාලට වඩා ගොඩක් වෙනස්. යේසුස් හැම වෙලාවෙම තමන්ගේ සතුට පැත්තකින් තියලා අනිත් අයගේ සතුට වෙනුවෙන් මහන්සි වුණා. අපිටත් ඕනෙ ඔහු වගේ වෙන්න. ඇත්ත, යේසුස්ගේ පිය සටහන් අකුරටම අනුගමනය කරන්න අපිට බැහැ. ඒත් පුළුවන් තරම් ‘කිට්ටුවෙන් ඔහුගේ පිය සටහන් අනුගමනය කරන්න’ අපි උත්සාහ කරනවා. (1 පේතෘ. 2:21) එහෙම කරද්දී යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය අපිට ලැබෙනවා. ඒ තරම් සතුටක් දෙවියන්ගේ සේවකයෙක්ට තවත් තියෙනවාද!

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

^ 5 ඡේ. යේසුස් හැම වෙලාවෙම තමන් ගැන හිතනවාටත් වඩා අනිත් අයගේ අවශ්‍යතාවන් ගැන හිතුවා. ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් එහෙම කරන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලත් අපි මේ ලිපියෙන් බලමු.

^ 57 ඡේ. පින්තූරේ අදහස: ඉස්පිරිතාලේ ඉන්න ඩෑන්ගේ තාත්තාව බලන්න වැඩිමහල්ලෝ දෙන්නෙක් එනවා. එයාලව ආදර්ශයට ගන්න ඩෑන් සහෝදරයන්ට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා හොඳ අවධානයකින් ඉඳලා අවශ්‍ය උදව් දෙනවා. ඩෑන් අනිත් අයට ආදරෙන් උදව් කරන විදිහ සභාවේ ඉන්න තවත් යෞවනයෙක් වෙන බෙන් දකිනවා. ඩෑන්ගේ හොඳ ආදර්ශය බෙන්ව පොලඹවනවා නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩවලට කැමැත්තෙන්ම හවුල් වෙන්න.