Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

බෙහෙත්වලටත් වඩා වටින දෙයක් හම්බ වුණා!

බෙහෙත්වලටත් වඩා වටින දෙයක් හම්බ වුණා!

“ඔයාලා කියන්නේ පුංචි කාලේ ඉඳන් මට තිබ්බ හීනේ හැබෑ වෙනවා කියලද?” මං එහෙම කිව්වේ 1971දී මගේ ක්ලිනික් එකට බෙහෙත් ගන්න ආපු යුවළකට. ඒ අවුරුද්දේ තමයි මං වෛද්‍යවරයෙක් විදිහට අලුතෙන්ම ක්ලිනික් එකක් පටන්ගත්තේ. එදා මං එයාලා එක්ක කතා කළාට පස්සේ මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. කවුද ඒ යුවළ? මොකක්ද ඒ හීනේ? මං ඔයාලට මගේ කතාව මුල ඉඳන්ම කියන්නම්.

මං ඉපදුණේ 1941දී පැරිස්වල. අපි එච්චර පෝසත් නෑ. මං පොඩි කාලේ ඉඳන් ඉගෙනගන්න හරිම ආසයි. ඒත් අවුරුදු 10දී ක්ෂය රෝගය හැදිලා මං ගොඩක් අසනීප වුණා. දොස්තරලා කිව්වා “මගේ පෙණහලු දුර්වලයි, ඒ නිසා ඇඳෙන් බහින්නවත් එපා” කියලා. ඉතින් මාස ගාණක්ම ගෙදරටම වෙලා ඉන්න වුණ එක කොච්චර අමාරුද කියලා හිතාගන්න පුළුවන්නේ. එහෙමයි කියලා මං ඉගෙනගන්න එක අත්හැරියෙත් නෑ. මං ගෙදර තිබ්බ ශබ්දකෝෂයක් කියවන්න පටන්ගත්තා. පැරිසියේ විශ්වවිද්‍යාලයේ පවත්වපු රේඩියෝ වැඩසටහනකුත් ඇහුවා. මාස ගාණකට පස්සේ මට ආයෙත් ඉස්කෝලේ යන්න පුළුවන් කියලා දොස්තර කිව්වාම මට දැනුණේ පුදුම සතුටක්! එදා මට හිතුණා “දොස්තරලාට අපි වෙනුවෙන් කොච්චර නම් දේවල් කරන්න පුළුවන්ද, එයාලා මාරයිනෙ” කියලා. එදායින් පස්සේ “ලොකු වුණාම කවුරු වෙන්නද කැමති” කියලා තාත්තා අහන හැම වතාවකම මං කිව්වේ “මට ඕනෙ දොස්තර කෙනෙක් වෙන්න” කියලා. ඒක තමයි මගේ හීනේ වුණේ.

වෛද්‍ය විද්‍යාව මාව දෙවියන්ට ළං කළා

ඉස්සර අපි කතෝලික. ඒත් දෙවියන් ගැන මං එච්චර දෙයක් දැනන් හිටියේ නෑ. ඒ නිසා දෙවියන් ගැන මට ගොඩක් ප්‍රශ්න තිබුණා. විශ්වවිද්‍යාලෙට ගිහින් වෛද්‍ය විද්‍යාව හදාරද්දී තමයි මට තේරුණේ මේ හැම දෙයක්ම පිටිපස්සේ නිර්මාතෘ කෙනෙක් ඉන්නම ඕනෙ, කිසිම දෙයක් ඉබේ එන්න බැහැ කියලා.

ටියුලිප් මල් ගහක සෛල අන්වීක්ෂයකින් පරීක්ෂා කරපු මුල්ම දවස මට අද වගේ මතකයි. මං ඒ සෛල අධික සීතලට, අධික උණුසුමට ලක් කරලා බැලුවා. ඒ ඒ අවස්ථාවට අනුව සෛල හැඩගැහෙන විදිහ නම් හරිම අපූරුයි. සෛලයක් ඇතුලේ සෛල ප්ලාස්මාව කියලා ජෙලි වගේ දෙයක් තියෙනවා. මං සෛලයට ලුණු දැම්මාම ඒක හැකිළුණා. වතුර දැම්මාම ඒක ප්‍රසාරණය වුණා. ඉතින් එක එක අවස්ථාවට අනුව හැඩගැහිලා ආරක්ෂා වෙන්න සෛලයට තියෙන හැකියාව නිසා තමයි ජීවයක් දිගටම පවතින්නේ. එහෙම බලද්දී සෛලයක් කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ඒක හරිම සංකීර්ණයි. ඒ වගේ දෙයක් කොහොමද ඉබේ ඇති වෙන්නේ?

මිනිස් සිරුර ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තාට පස්සේ දෙවි කෙනෙක් ඉන්නම ඕනෙ කියලා කියන්න මට තවත් සාක්ෂි හම්බුණා. දවසක් අපි අතේ ඇඟිලි ගැන අධ්‍යයනය කළා. ඒවා නමන්න, දිගහරින්න පුළුවන් වෙලා තියෙන්නේ පේශි, කණ්ඩරා සහ බන්ධනි නිසා. ඒවා හරි තැන හරි විදිහට පිහිටලා තියෙන විදිහ හරිම පුදුමයි. මේක නම් විශිෂ්ට ඉංජිනේරුවෙක්ගේ අපූරු දස්කමක් කියලා මට හිතුණා. මං ඒකට උදාහරණයක් කියන්නම්. අතේ එක මාංස පේශියක් ඇඟිලිවලට සම්බන්ධ වෙන්නේ බන්ධනියකින්. පුදුමේ කියන්නේ ඇඟිල්ලක දෙවෙනි පුරුකෙදී ඒ බන්ධනිය දෙකට බෙදෙනවා. ඒ නිසා මැද හිඩසක් හැදෙනවා. ඒ හිඩසින් තවත් බන්ධනියක් ඇඟිලි තුඩු දක්වා යනවා. කලින් කිව්ව බන්ධනිය දෙකට බෙදුණ නිසා තමයි මේ බන්ධනිය එහෙට මෙහෙට යන්නේ නැතුව රැඳිලා තියෙන්නේ. ඊට අමතරව බන්ධනි කටුවලට බැඳලා තියාගන්න ශක්තිමත් පටකත් උදව් වෙනවා. ඒ විදිහට අත හැදිලා තිබුණේ නැත්නම් අපිට ඇඟිලි නමන්න කරන්න බැහැ. මේ හැම දෙයක්ම පිටිපස්සේ බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්නම ඕනෙ කියලා එදා මට තේරුණා.

දරුවෙක් ඉපදෙන විදිහ ගැන අධ්‍යයනය කරද්දී නිර්මාතෘ ගැන මට තවත් පුදුම හිතුණා. දරුවෙක් බඩේ ඉද්දී එයාට ඔක්සිජන් ලැබෙන්නේ අම්මාගේ පෙකණිවැලෙන් . නැතුව පෙණහලුවලින් නෙවෙයි. ඒ වෙද්දී පෙණහලුවල තියෙන පුංචි බැලුන් වගේ ගර්ත තියෙන්නෙත් හැකිළිලා. හැබැයි දරුවා ඉපදෙන්න ළං වෙද්දී විශේෂ ද්‍රාවණයක් මේ ගර්තවල ඇතුල් පැත්තෙන් බැඳෙන්න පටන්ගන්නවා. ඒ නිසා ගර්තවල බිත්ති එකිනෙකට ඇලෙන්නේ නැහැ. දරුවා ඉපදුණාට පස්සේ එයා ගන්න පළවෙනි හුස්ම පොදත් එක්කම හරි අපූරු දෙයක් වෙනවා. එයාගේ හදවතේ සිදුර වැහිලා පෙණහලුවලට ලේ ගමන් කරන්න පටන්ගන්නවා. අර විශේෂ ද්‍රාවණය නිසා හැකිළෙන්නේ නැතුව තියෙන ගර්ත දරුවා ගන්න මුල්ම පුංචි හුස්ම පොදත් එක්කම ඔක්සිජන්වලින් පිරෙනවා. ඒ මොහොතේ ඉඳන් දරුවා කාගෙවත් උදව් නැතුව තනියම හුස්ම ගන්න පටන්ගන්නවා.

මේ හැම දේම පිටිපස්සේ ඉන්න ඒ අපූරු ඉංජිනේරුවා කවුද කියලා දැනගන්න මට ලොකු ආසාවක් ඇති වුණා. ඒ නිසා මං බයිබලේ කියවන්න පටන්ගත්තා. බයිබලේ සනීපාරක්ෂාව ගැන, සෞඛ්‍යය ගැන දීලා තියෙන නීති දැක්කාම මට තවත් පුදුම හිතුණා. ඒවා දුන්නේ අවුරුදු 3,000කට විතර කලින්. ඒත් ඒවා අදටත් ප්‍රායෝගිකයි. උදාහරණෙකට දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා මලපහ කළාට පස්සේ ඒවා පස්වලින් වහන්න කියලා. ඒ වගේම නිතරම පිරිසිදුව ඉන්න කියලත් කිව්වා. කවුරු හරි කෙනෙක්ට බෝ වෙන ලෙඩක් තියෙනවා කියලා පේන්න තිබ්බොත් එයාව අනිත් අයගෙන් වෙන් කරන්න කියලත් නීතියේ තිබ්බා. (ලෙවී. 13:50; 15:11; ද්වි. 23:13) ඒවා කියවද්දී මට තේරුණා ඒ නීති දුන්න කෙනාට රෝග පැතිරෙන විදිහ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඒත් ඒ ගැන විද්‍යාඥයන් හොයාගත්තේ මීට අවුරුදු 150කට විතර කලින්. ඒ වගේම ලිංගික සම්බන්ධකම් පවත්වන එක ගැන දෙවියන් දීපු නීති නිසාත් ලෙඩ රෝග හැදෙන එකෙන් එයාලව ආරක්ෂා වුණා. (ලෙවී. 12:1-6; 15:16-24) නිර්මාතෘ මේ නීති දුන්නේ එයාලගෙම හොඳට කියලා මට තේරුණා. ඒ නීතිවලට කීකරු වෙද්දී දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට ආශීර්වාද කළා. මං දෙවියන්ගේ නම දැනන් හිටියේ නැතත් බයිබලය දෙවියන්ගෙන්ම ලැබුණ පොතක් කියලා මට තේරුණා.

ලිඩීවයි, යෙහෝවා දෙවියන්වයි හම්බුණ විදිහ

ලිඩීයි, මායි විවාහ වුණ දවස, 1965 අප්‍රියෙල් 3

විශ්වවිද්‍යාලයේ යන කාලේ තමයි මට ලිඩීව හම්බුණේ. අපි ආදරේ කරලා 1965දී කසාද බැන්දා. ඒ වෙද්දීත් මං ඉගෙනීම් කටයුතු ඉවර කරලා තිබ්බේ නැහැ. 1971 වෙද්දී අපිට දරුවෝ තුන්දෙනෙක් හිටියා. ඊටපස්සේ තව තුන්දෙනෙක්ව හම්බුණා. දොස්තර කෙනෙක් විදිහට රස්සාව හොඳට කරන්නයි, ගෙදර වගකීම් ඉටු කරන්නයි ලිඩීගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.

ඉස්පිරිතාලේ අවුරුදු තුනක් වැඩ කළාට පස්සේ මං මගේම කියලා ක්ලිනික් එකක් පටන්ගත්තා. ටික දවසකට පස්සේ යුවළක් ආවා මගෙන් බෙහෙත් ගන්න. මං ඒ මහත්තයාට බෙහෙතක් ලියන්න යද්දී එයාගේ නෝනා එකපාරටම කිව්වා “ඩොක්ට, ලේ තියෙන බෙහෙත් නම් ලියන්න එපා” කියලා. මට පුදුම හිතුණා. මං ඇහුවා “ඇයි ඒ” කියලා. එතකොට එයා කිව්වා “අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” කියලා. මං ඊට කලින් කවදාවත් සාක්ෂිකරුවන් ගැන දැනන් හිටියේ නෑ. පස්සේ ඒ නෝනා බෑග් එකෙන් බයිබලේ අරන් ලේ ගන්නේ නැත්තේ ඇයි කියලා මට පෙන්නුවා. (ක්‍රියා 15:28, 29) ඊටපස්සේ දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී දුක, මරණය, ලෙඩ නැති වෙන විදිහ මට පෙන්නුවා. (එළි. 21:3, 4) මට අදහාගන්න බැරි වුණා! මං එකපාරටම මෙහෙම කිව්වා. “මං දොස්තර කෙනෙක් වුණෙත් මිනිස්සුන්ව සනීප කරලා එයාලගේ වේදනාව නැති කරන්න. ඔයාලා කියන්නේ පුංචි කාලේ ඉඳන් මට තිබ්බ හීනේ හැබෑ වෙනවා කියලද?” එයාලා කිව්ව දේවල් ගැන මට කොච්චර ආස හිතුණාද කියනවා නම් අපි පැය එකහමාරක් විතර එදා කතා කළා. ඒ දෙන්නා ගියාට පස්සේ මට දැනුණේ ‘අදින් පස්සේ මං කතෝලිකයෙක් නෙවෙයි’ කියලා. මෙච්චර කාලයක් මාව පුදුම කරපු ඒ නිර්මාතෘගේ නම මං එදා දැනගත්තා. ඔන්න ඔය විදිහටයි මට යෙහෝවාව හම්බුණේ.

ඒ දෙන්නා ක්ලිනික් එකට තුන්සැරයක්ම ආවා. ඒ හැම සැරේම අපි පැයකටත් වඩා බයිබලේ ගැන කතා කළා. පස්සේ මං එයාලට අපේ ගෙදරට එන්න කිව්වා. එතකොට ඉතින් හිතේ හැටියට කතා කරන්න පුළුවන්නේ. බයිබලේ පාඩම් කරන්න ලිඩීත් කැමති වුණා. හැබැයි කතෝලික පල්ලියෙන් උගන්නපු දේවල් වැරදියි කියලා දැනගත්තාම ලිඩීට ඒක පිළිගන්න ටිකක් අමාරු වුණා. ඒ නිසා මං දවසක් පූජකයාට අපේ ගෙදර එන්න කිව්වා. එදා අපි රෑ වෙන කල් පල්ලියේ ඉගැන්වීම් ගැන පූජකයාත් එක්ක වාද කළා. හැබැයි අපි ඒකට පාවිච්චි කළේ බයිබලේ විතරයි. එදා ලිඩීට තේරුණා සාක්ෂිකරුවන් තමයි සත්‍යය උගන්නන්නේ කියලා. ඉතින් අපි දෙන්නාගේ හිතේ යෙහෝවාට තියෙන ආදරේ දවසින් දවස වැඩි වුණා. අපි 1974දී දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණා.

ජීවිතේ මුල් තැන යෙහෝවා දෙවියන්ට!

මං ඔයාලට කලිනුත් කිව්වනේ මගේ හීනේ වුණේ දොස්තර කෙනෙක් වෙලා අනිත් අයට සේවේ කරන එක කියලා. හැබැයි යෙහෝවාව දැනගත්තට පස්සේ ඒක වෙනස් වුණා. ඊටපස්සේ ලිඩීටයි, මටයි ඕන වුණේ පුළුවන් උපරිමෙන් යෙහෝවාට සේවේ කරන්න. අපේ ළමයින්වත් පුංචි කාලේ ඉඳන්ම දෙවියන්ගේ ප්‍රතිපත්තිවලට අනුව ඇතිදැඩි කරන්න අපිට ඕන වුණා. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම අපි එයාලට ඉගැන්නුවා යෙහෝවාටත් අනිත් අයටත් ආදරේ කරන්නේ කොහොමද කියලා. ඒකෙන් අපේ පවුලේ බැඳීමත් තව ශක්තිමත් වුණා.—මතෙ. 22:37-39.

ඉස්සර ඉඳන්ම අපි දෙන්නා මොකක් හරි තීරණයකට එන්නේ හොඳට කතා කරලා. ඒ කියන්නේ හා කිව්වොත් අපි දෙන්නම හා. බෑ කිව්වොත් දෙන්නම බෑ. (මතෙ. 5:37) ඒක අපේ ළමයිනුත් හොඳට දැනන් හිටියා. ඒ කාලේ වෙච්ච සමහර දේවල් මතක් වෙද්දී අපිට තාම හිනා යනවා. දවසක් අපේ දුවෙක්ට ඕන වුණා යාළුවොත් එක්ක ගමනක් යන්න. හැබැයි ලිඩී එයාට යන්න එපා කිව්වා. කොහොම හරි දුව ඕක එයාගේ යාළුවෙක්ට කියලා තියෙනවා. එතකොට යාළුවා කිව්වාලු “අම්මානෙ එපා කිව්වේ. තාත්තාගෙන් හිමීට අහලා බලන්න” කියලා. එතකොට අපේ දුව කිව්වාලු “වැඩක් නෑ. අම්මා බෑ කිව්වා කියන්නේ ඉතින් තාත්තා බෑ කිව්වා වගේ තමයි” කියලා. පොඩි කාලේ ඉඳන් එයාලා දැක්කා අපි හැම තීරණයක්ම ගන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව කියලා. ඒක එයාලටත් බලපෑවා. ඒ නිසයි යෙහෝවාට සේවේ කරන ලොකු පවුලක් අද අපිට ඉන්නේ.

කාලයක් තිස්සේ මං රැස් කරගත්ත දැනුම මට සහෝදරයන් වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන වුණා. ඒ නිසා ප්‍රංශයේ බෙතෙල් එකේ වෛද්‍යවරයෙක් විදිහට ස්වෙච්ඡාවෙන් සේවේ කරන්න මං ඉදිරිපත් වුණා. පස්සේ බෙතෙල් එක ලූවියේවලට ගෙනිච්චාම මං එහෙත් සේවේ කළා. ඔය විදිහට අවුරුදු 50ක් විතර මං ගෙදර ඉඳන් බෙතෙල් එකේ වැඩ කරන්න ගියා. ඔය කාලේ අතරතුර මට ගොඩක් යාළුවෝ හම්බුණා. සමහර අයට දැන් අවුරුදු 90ටත් වැඩියි. දවසක් හරි පුදුම දෙයක් වුණා. අලුතෙන් බෙතෙල් එකට ආපු තරුණ ළමයෙක් එක්ක මං කතා කළා. එතකොටයි දැනගත්තේ ඊට අවුරුදු 20කට කලින් එයා ඉපදෙද්දී අම්මාගේ දරු ප්‍රසූතියට උදව් කරපු දොස්තර මමයි කියලා.

දෙවියන්ට අපි ගැන තියෙන්නේ පුදුම ආදරයක්!

අවුරුදු ගෙවෙද්දී යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානය මාර්ගයෙන් තමන්ගේ සෙනඟව රැකබලා ගන්න විදිහ, එයාලට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන විදිහ මං දැක්කා. ඒ ගැන හිතද්දී යෙහෝවා ගැන මගේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි වුණා. 1980 ගණන්වල පාලක මණ්ඩලය ඇමරිකාවේ විශේෂ වැඩසටහනක් සංවිධානය කළා. ඒකේ අරමුණ වුණේ සාක්ෂිකරුවන් ලේ ගන්නේ නැත්තේ ඇයි කියලා වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට වඩා හොඳින් පැහැදිලි කරලා දෙන එකයි.

1988දී පාලක මණ්ඩලය ඇමරිකාවේ බෙතෙල් එකේ රෝහල් තොරතුරු සේවය කියලා අංශයක් පිහිටෙව්වා. ඒකෙන් තමයි ඇමරිකාව පුරාම තිබුණ රෝහල් සබඳතා කමිටු බලාගත්තේ. පස්සේ මේ සැලැස්ම ලෝකේ පුරාම ව්‍යාප්ත කළා. ඒ නිසා ප්‍රංශයෙත් රෝහල් සබඳතා කමිටු කීපයක්ම පිහිටුවන්න පුළුවන් වුණා. මේ කමිටු පාවිච්චි කරලා අසනීප වෙලා ඉන්න අපේ සහෝදරයන්ව යෙහෝවා ආදරෙන් බලාගන්න විදිහ මං දැක්කා. ඇත්තටම දෙවියන්ට අපි ගැන තියෙන්නේ පුදුම ආදරයක්!

මගේ හීනේ හැබෑ වුණා!

දේවරාජ්‍යය ගැන උගන්නන එකෙන් අපිට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්

පොඩි කාලේ ඉඳන්ම මගේ හීනේ වුණේ අසනීප වුණ මිනිස්සුන්ට බෙහෙත් දීලා එයාලගේ වේදනාව නැති කරන්න. හැබැයි බෙහෙත්වලටත් වඩා වටින දෙයක් මට ලැබුණා. ඒ තමයි මේ හැම දේකම නිර්මාතෘ, අපේ ජීවිතේ උල්පත වන යෙහෝවා දෙවියන්. ඔහුට විතරයි පුළුවන් මිනිස්සුන්ට සැබෑ සුවය, නියම සහනය ලබා දෙන්න. ඉතින් මට ඕන වුණෙත් පුළුවන් තරම් දෙනෙක්ව යෙහෝවාට ළං කරන්න. ඒ නිසා විශ්‍රාම ගියාට පස්සේ ලිඩීයි, මායි ස්ථාවර පුරෝගාමි සේවේ පටන්ගත්තා. දැන් නම් අපි දෙන්නා හුඟක් වයසයි. හැබැයි අදටත් අපි අපේ උපරිමයෙන් සේවේ හවුල් වෙනවා.

2021දී ලිඩීත් එක්ක

මං තාමත් පුළුවන් විදිහට අනිත් අයව සනීප කරනවා. හැබැයි මං දන්නවා ලෝකේ ඉන්න දක්ෂම වෛද්‍යවරයාට වුණත් කෙනෙක්ව 100%ක්ම සනීප කරන්නවත් එයාලා මැරෙන එක නවත්තන්නවත් බෑ කියලා. හැබැයි ඒක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි යෙහෝවා දෙවියන්. ඔහු අසනීප නැති, මරණය නැති කාලයක් මේ පොළොවට ගේනවා. ඒකට වැඩි දවසක් නැහැ. එදාට නම් මට හිතේ හැටියට ඔහුගේ නිර්මාණ ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. මිනිස් සිරුර ගැන තව තව අධ්‍යයනය කරන්න මං ඉන්නේ පුදුම ආසාවකින්. පොඩි කාලේ ඉඳන්ම මගේ හීනේ වුණේ මිනිස්සු අසනීපවලින් සුව වෙලා සතුටින් ඉන්නවා දකින එකයි. ඒ හීනේ යෙහෝවා දෙවියන් ඉටු කරන දවස වැඩි ඈතක නෑ. ඒ දවස එන කල් මං බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.