Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 10

‘පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න’ ඔයාටත් පුළුවන්

‘පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න’ ඔයාටත් පුළුවන්

“පරණ පෞද්ගලිකත්වයත් ඊට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කරන්න.”—කොලො. 3:9.

ගීතිකාව 29 රැකගනිමු අපගේ නාමය

මේ ලිපියෙන් *

1. බයිබලේ පාඩම් කරන්න කලින් ඔයා ගත කළේ මොන වගේ ජීවිතයක්ද?

 සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න කලින් ඔයා ගත කළේ මොන වගේ ජීවිතයක්ද? අපෙන් හුඟදෙනෙක් ඒ අඳුරු අතීතය ගැන මතක් කරන්නවත් කැමති නැහැ. ඒ කාලේ අපි සම්පූර්ණෙන්ම මේ ලෝකේ අච්චුවට හිර වෙලයි හිටියේ. මේ ලෝකය හිතන පතන විදිහට තමයි අපිත් වැඩ කළේ. අපේ ගතිපැවතුම් පවා හැඩගැහිලා තිබුණේ මේ ලෝකේ අය විදිහට. අපි ‘මේ ලෝකේ ජීවත් වුණේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. දෙවි ගැන දැනුමක් නැතුව.’ (එෆී. 2:12) හැබැයි බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

2. බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තාට පස්සේ ඔයාගේ ජීවිතේ වෙනස් වුණේ කොහොමද?

2 බයිබලේ පාඩම් කරද්දී ඔයා දැනගත්තා ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් ස්වර්ගයේ ඉන්නවා කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි යෙහෝවා දෙවියන්. ඒ නිසා ඔහුගේ හිත සතුටු කරලා ඔහුගේ පවුලට එකතු වෙන්න ඕනෙ කියලා ඔයා තේරුම්ගත්තා. හැබැයි ඒකට ඔයා ජීවිතේ ගත කරන විදිහ, ඔයාගේ සිතුම් පැතුම්, ගතිගුණ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඕනෙ කියලා ඔයා දැනගත්තා. ඒ වගේම ඔයාට තේරුණා යෙහෝවාගේ උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ඔයාගේ ජීවිතෙත් අලුතින් පටන්ගන්න ඕනෙ කියලා.—එෆී. 5:3-5.

3. යෙහෝවා දෙවියන් අපෙන් ඉල්ලන්නේ මොකක්ද? (කොලොස්සි 3:9, 10) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 අපි ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියලා කියන්න අයිතිය තියෙන්නේ යෙහෝවාට. මොකද ඔහු තමයි අපේ නිර්මාතෘ සහ අපේ පියා. ඒ නිසයි බව්තීස්ම වෙන්න කලින් “පරණ පෞද්ගලිකත්වයත් ඒකට ආවේණික වූ ක්‍රියාත් ඉවත් කරන්න” කියලා යෙහෝවා අපෙන් ඉල්ලන්නේ. * (කොලොස්සි 3:9, 10 කියවන්න.) බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් හිතලා බලන්න ඕනෙ ප්‍රශ්න තුනක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. (1) “පරණ පෞද්ගලිකත්වය” කියන්නේ මොකක්ද? (2) යෙහෝවා දෙවියන් ඒක අයින් කරන්න කියලා කියන්නේ ඇයි? (3) ඒක කරන්න අපිට පුළුවන් කොහොමද? ඔයා දැනටමත් බව්තීස්ම වෙලා ඉන්න කෙනෙක් නම් පරණ පෞද්ගලිකත්වයට අයිති ගතිගුණ ආයෙත් මතු නොවෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්නත් මේ ලිපිය උදව් වෙයි.

“පරණ පෞද්ගලිකත්වය” කියන්නේ මොකක්ද?

4. “පරණ පෞද්ගලිකත්වයට” අනුව වැඩ කරන කෙනෙක් මොන වගේද?

4 “පරණ පෞද්ගලිකත්වයට” අනුව වැඩ කරන කෙනෙක් හැම වෙලේම තමන්ගේ පව්කාර ආශාවන්ට වහල් වෙලා තමයි ජීවත් වෙන්නේ. එයා ඒ ආශාවන්වලට, සිතුවිලිවලට එයාව පාලනය කරන්න ඉඩ දෙනවා. සමහර වෙලාවට සැහැසියාව, අනාචාරය ඇතුළත් චිත්‍රපටි බලන්න, කාමුක දර්ශන බලන්න එයා ගොඩක් ආස ඇති. ඇත්ත, ඒ වගේ කෙනෙක් ළඟ වුණත් හොඳ ගතිගුණ තියෙන්න පුළුවන්. සමහරවිට එයා කරන දේවල් ගැන එයාගේ හිත එයාට වධ දෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි වැරදි හදාගෙන වෙනස්කම් කරගන්න එයාට එච්චර වුවමනාවක් නැහැ.—ගලා. 5:19-21; 2 තිමෝ. 3:2-5.

අපි “පරණ පෞද්ගලිකත්වය” අයින් කරනවා නම් නරක ගතිවලට, පුරුදුවලට තවදුරටත් අපිව පාලනය කරන්න බැහැ (5 ඡේදය බලන්න) *

5. “පරණ පෞද්ගලිකත්වය” සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න අපිට පුළුවන්ද? පැහැදිලි කරන්න. (ක්‍රියා 3:19)

5 අපි හැමෝම පාපය උරුම කරගත්ත අය නිසා වැරදි සිතුවිලි, වැරදි ක්‍රියා සම්පූර්ණයෙන්ම අපේ හදවතින් සහ මනසින් අයින් කරලා දාන්න අපිට බැහැ. ඒ නිසයි සමහර වෙලාවට කියපු, කරපු දේවල් ගැන අපි පසුතැවෙන්නේ. (යෙරෙ. 17:9; යාකො. 3:2) හැබැයි පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න අපේ පැත්තෙන් උපරිමය කරද්දී අපි ඒ ආශාවන්වල, ක්‍රියාවල වහල්ලු වෙන්නේ නැහැ. ඒවාට අපිව පාලනය කරන්න ඉඩ දෙන්නේ නැති නිසා අපි වෙනස්ම පුද්ගලයන් වෙනවා.—යෙසා. 55:7; ක්‍රියා 3:19 කියවන්න.

6. පරණ පෞද්ගලිකත්වයේ තියෙන වැරදි සිතුවිලි, පුරුදු අයින් කරන්න කියලා යෙහෝවා දෙවියන් අපෙන් ඉල්ලන්නේ ඇයි?

6 වැරදි සිතුවිලි, පුරුදු අපේ ජීවිතෙන් අයින් කරන්න කියලා යෙහෝවා අපෙන් ඉල්ලනවා. ඒ ඇයි? ඒ ඔහු අපිට ගොඩක් ආදරේ නිසයි. ඔහු කැමැතියි අපි හැමදාම සතුටින් ජීවත් වෙනවා දකින්න. (යෙසා. 48:17, 18) අපි වැරදි ආශාවන්වල ගිලිලා ඉද්දී ඒකෙන් අපිටත් අපි වටේ ඉන්න අයටත් ලොකු හානියක් වෙනවා කියලා යෙහෝවා දන්නවා. ඒක ඔහුට ලොකු වේදනාවක්!

7. රෝම 12:1, 2 කියන විදිහට අපි හැමෝටම ගන්න වෙන තීරණය මොකක්ද?

7 සමහර වෙලාවලට ඔයා ඔයාගේ ජීවිතේ වෙනස්කම් කරගද්දී ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ ඔයාට විහිළු කරන්න, ඇනුම් පද කියන්න ඉඩ තියෙනවා. (1 පේතෘ. 4:3, 4) සමහරවිට එයාලා මෙහෙම කියයි. ‘ඔයා මොකටද අනිත් අය කියන කියන දේවල් කරන්නේ? ඔයා කරන්න ඕනෙ ඔයාට ඕන දේ. එහෙම කළොත් තමයි ජීවිතේ නියම නිදහස ලැබෙන්නේ.’ ඒත් ඇත්තටම දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නේ නැති අය ගත කරන්නේ නිදහස් ජීවිතද? නැහැ. එයාලා හරියට සාතන්ගේ අතේ ඉන්න රූකඩ වගේ. (රෝම 12:1, 2 කියවන්න.) ඒ නිසා අපි හැමෝම තීරණයක් ගන්න කලින් මේ ප්‍රශ්න දෙක ගැන හිතලා බලන්න ඕනේ. ‘මං මේ ලෝකේ දේවල්වල, පව්කාර ආශාවල රූකඩයක් වෙලා පරණ පෞද්ගලිකත්වය දිගටම දාගෙන ඉන්නවාද? නැත්නම් යෙහෝවාට මාව අඹන්න ඉඩ දීලා ලස්සන ගතිගුණ තියෙන කෙනෙක් වෙනවාද?’—යෙසා. 64:8.

පරණ පෞද්ගලිකත්වය ‘අයින් කරලා දාන්න’ ඔයාට පුළුවන් කොහොමද?

8. නරක සිතුවිලි, පුරුදු අත්හරින්න යෙහෝවා ඔයාට උදව් කරන්නේ කොහොමද?

8 නරක සිතුවිලි, පුරුදු දවසෙන් දෙකෙන් අපේ ජීවිතෙන් අයින් කරන්න බැහැ කියලා යෙහෝවා දන්නවා. (ගීතා. 103:13, 14) හැබැයි වෙනස්කම් කරගන්න ඕන කරන ප්‍රඥාව, ශක්තිය සහ උදව් ඔහු ඔහුගේ වචනය මාර්ගයෙන්, බලය මාර්ගයෙන් සහ සංවිධානය මාර්ගයෙන් අපිට දෙනවා. මේ වෙද්දිත් ඔහු ඔයාට ගොඩක් පැතිවලින් උදව් කරලා ඇති. හැබැයි පරණ පෞද්ගලිකත්වය අයින් කරලා බව්තීස්මය දක්වා දියුණු වෙන්න ඔයාට කරන්න පුළුවන් තව දේවල් මොනවාද? දැන් අපි ඒ ගැන බලමු.

9. බයිබලේ ඔයාට උදව් වෙන්නේ මොනවා කරන්නද?

9 බයිබලේ පාවිච්චි කරලා ඔයාවම සෝදිසි කරලා බලන්න. දෙවියන්ගේ වචනය හරියට කණ්ණාඩියක් වගේ. ඒකට පුළුවන් අපි හිතන විදිහ, කතා කරන විදිහ, අපි වැඩ කරන විදිහ තේරුම්ගන්න අපිට උදව් කරන්න. (යාකො. 1:22-25) සමහරවිට ඔයාට බයිබලේ උගන්වන කෙනා එහෙම නැත්නම් අවබෝධයෙන් වැඩ කරන සභාවේ කෙනෙක් බයිබලෙන් මඟ පෙන්වීමක් දෙන්න පුළුවන්. උදාහරණෙකට බයිබලේ පාවිච්චි කරලා ඔයාගේ හොඳ පැති මොනවාද, ඔයා හදාගන්න ඕන පැති මොනවාද කියලා තේරුම්ගන්න එයා ඔයාට උදව් කරයි. ඒ වගේම වැරදි පුරුදුවලින් ගොඩ එන්න ඔයාට උදව් වෙන තොරතුරු අපේ ප්‍රකාශනවලින් හොයාගන්නත් එයා උදව් කරයි. මතක තියාගන්න, ඒ හැම කෙනෙක්ටම වඩා ඔයාගේ උදව්වට යෙහෝවා දෙවියන් ඔයා ළඟ ඉන්නවා. ඔයාගේ හිතේ තියෙන දේවල් 100%ක්ම දන්නේ ඔහු නිසා ඔයාට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ දන්නෙත් ඔහුයි. (හිතෝ. 14:10; 15:11) ඒ නිසා යාච්ඤා කරන එක, බයිබලේ අධ්‍යයනය කරන එක ඔයාගේ පුරුද්දක් කරගන්න.

10. එලීගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

10 යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙද්දී කවදාවත් වරදින්නේ නැහැ කියලා විශ්වාස කරන්න. දෙවියන්ගේ ප්‍රමිති අනුව ජීවත් වෙන එකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපිටමයි. එහෙම ජීවත් වෙද්දී අපිට අපි ගැනම ගෞරවයක් ඇති වෙනවා. ජීවිතේට අරමුණක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සතුටින් ඉන්නත් අපිට පුළුවන් වෙනවා. (ගීතා. 19:7-11) හැබැයි දෙවියන්ගේ ප්‍රමිති ගණන් ගන්නේ නැතුව වැඩ කරන අය ගැන මොකක්ද කියන්න පුළුවන්? ඒ වගේ අය වැඩ කරන්නේ පව්කාර ආශාවන්වලට වහල් වෙලා. ඒ නිසා එයාලා ඉන්නේ සතුටින් නෙවෙයි. මොකද එයාලා කරන වැරදිවල ප්‍රතිඵල එයාලට විඳින්න වෙනවා. එලීගේ අද්දැකීම බලන්න. එයාගේ දෙමාපියන් සාක්ෂිකරුවන්. හැබැයි යෞවන වයසට එද්දී එයා නරක යාළුවන්ව ආශ්‍රය කරන්න ගත්තා. ඊටපස්සේ එයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. ඒ විතරක් නෙවෙයි අනාචාරයෙත් යෙදුණා. හොරකමුත් කළා. ඒ කාලේ එයාට පොඩ්ඩ බැරි වෙන්න බැහැ කේන්ති යනවා. එයා හරිම දරුණු විදිහට තමයි හැසිරුණේ. එයා කියනවා “ක්‍රිස්තියානියෙක් විදිහට කරන්න හොඳ නැති හැම දෙයක්ම මං කළා” කියලා. හැබැයි පොඩි කාලේ එයා යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගත්ත දේවල් එයාගේ හිතෙන් සම්පූර්ණයෙන්ම මැකිලා තිබුණේ නැහැ. ඒ නිසා කාලයක් යද්දී එයා ආයෙත් බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. ඊටපස්සේ එයාගේ වැරදි හදාගන්න එයා ගොඩක් මහන්සි වුණා. එයා 2000දී යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වුණා. යෙහෝවා දීලා තියෙන ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එක ගැන දැන් එලීට දැනෙන්නේ කොහොමද? එයා කියනවා “දැන් මගේ හිත මට දොස් කියන්නේ නැහැ” කියලා. * මොකක්ද අපි මේ අද්දැකීමෙන් ඉගෙනගන්නේ? යෙහෝවා දෙවියන්ගේ ප්‍රමිති අහක දාන කෙනෙක් තමන්ටම වේදනාවක් ඇති කරගන්නවා. හැබැයි ඒ වගේ කෙනෙක් වුණත් හැරිලා ආයෙත් යෙහෝවා ගාවට එනවා නම් යෙහෝවා එයාට උදව් කරන්න ආසාවෙන් බලන් ඉන්නවා.

11. යෙහෝවා පිළිකුල් කරන දේවල් මොනවාද?

11 යෙහෝවා පිළිකුල් කරන දේවල් පිළිකුල් කරන්න. (ගීතා. 97:10) “උඩඟු ඇස්, බොරු කියන දිව, අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්” යෙහෝවා දෙවියන් පිළිකුල් කරනවා. (හිතෝ. 6:16, 17) ඒ වගේම “රැවටිලිකාර අයවත්” යෙහෝවාට පිළිකුලක්. (ගීතා. 5:6) යෙහෝවා ඒ දේවල් කොච්චර පිළිකුල් කළාද කියනවා නම් නෝවාගේ කාලේ මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින් පිරිලා තිබුණ නිසා යෙහෝවා ජලගැල්මක් ගෙනල්ලා දුෂ්ට මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. (උත්. 6:13) ඒ වගේම යෙහෝවා දෙවියන් මලාකි මාර්ගයෙන් කිව්වා කපටි විදිහට බොරු හේතු කියලා තමන් විවාහ වුණ කෙනාව දික්කසාද කරන්න කුමන්ත්‍රණය කරන අයවත් ඔහු පිළිකුල් කරනවා කියලා. ඒ වගේ අයගේ නමස්කාරය ඔහු පිළිගන්නේ නැහැ. ඒ වගේම එයාලගේ වැරදිවලට දෙවියන්ට ගණන් දෙන්නත් එයාලට සිද්ධ වෙනවා.—මලා. 2:13-16; හෙබ්‍රෙ. 13:4.

පිළුණු වෙච්ච, ගඳ ගහන කෑමක් දකිද්දී ඔයාට දැනෙන්නේ කොහොමද? ඒ වගේ පිළිකුලක් යෙහෝවා දෙවියන් අකමැති දේවල් ගැනත් අපිට දැනෙන්න ඕනේ (11 සහ 12 ඡේද බලන්න)

12. “දුෂ්ට දේවල් පිළිකුල් කරන්න” කියලා කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

12 යෙහෝවා දෙවියන් අපිට කියනවා “දුෂ්ට දේවල් පිළිකුල් කරන්න” කියලා. (රෝම 12:9) “පිළිකුලක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක අප්පිරියාවකටත් වඩා එහායින් ගිය හැඟීමක්. ඒක තේරුම්ගන්න උදාහරණයක් බලමු. හිතන්න කවුරු හරි කෙනෙක් පිළුණු වෙච්ච, ගඳ ගහන කෑමක් පිඟානකට දාලා ඔයාට කන්න දෙනවා කියලා. පිඟානක දාලා දෙන්නම ඕනෙ නැහැ, ඒ ගැන හිතද්දීත් වමනෙට එනවා නේද? යෙහෝවා අකමැති දේවල් ගැන අපිට හැඟෙන්න ඕනෙත් එහෙමයි. ඒ වගේ එක සිතුවිල්ලක් ගැන පවා අපිට ලොකු පිළිකුලක් දැනෙන්න ඕනේ.

13. නරක සිතුවිලි අපේ මනසින් අයින් කරන්න ඕනෙ ඇයි?

13 නරක සිතුවිලි මනසින් අයින් කරන්න. අපිව ක්‍රියාවට පොලඹවන්නේ අපේ සිතුවිලි. ඒ නිසයි යේසුස් කිව්වේ බරපතළ වරදකට පොලඹවන සිතුවිලි මනසින් අයින් කරන්න කියලා. (මතෙ. 5:21, 22, 28, 29) අපි හැමෝටම ඕනෙ අපේ ස්වර්ගික තාත්තා වන යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න. එහෙමනම් වැරදි සිතුවිල්ලක් එද්දිම පුළුවන් තරම් ඉක්මනට ඒක මනසින් අයින් කරලා දාන එක කොච්චර වැදගත්ද!

14. අපි කතා කරන දේවල්වලින් අපි ගැන පැහැදිලි වෙන්නේ මොකක්ද? අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නද?

14 ඔයා කතා කරන දේවල් ගැන පරෙස්සම් වෙන්න. යේසුස් කිව්වා “කෙනෙකුගේ කටින් පිට වන දේ නික්මෙන්නේ ඔහුගේ සිතිනුයි” කියලා. (මතෙ. 15:18) අපි කතා කරන දේවල් නිසා අපි මොන වගේ අයද කියලා අනිත් අයට පේනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන එක හරිම වැදගත්. ‘මට අවාසියක්, පාඩුවක් වුණත් මං බොරු නොකියා ඉන්න අධිෂ්ඨාන කරගෙන ඉන්නවාද? මං විවාහ වුණ කෙනෙක් නම් විරුද්ධ ලිංගයේ අයට ඉඟි බිඟි පානවාද? නැත්තම් එයාලත් එක්ක වැඩ කරද්දී පරෙස්සම් වෙනවාද? මං අනිත් අයත් එක්ක කතා කරද්දී අසභ්‍ය විහිළු කරනවාද? කෙනෙක් මගේ හිත රිදෙන විදිහට කතා කළොත් කේන්ති ගන්නේ නැතුව එයාත් එක්ක කතා කරන්න මට පුළුවන්ද?’ පරණ පෞද්ගලිකත්වයේ ගති ටිකක් හරි තියෙනවාද කියලා තේරුම්ගන්න ඒ ප්‍රශ්න ඔයාට උදව් වෙයි. පරණ පෞද්ගලිකත්වය හරියට ඇඳුමක් වගේ. සාමාන්‍යයෙන් ඇඳුමක කොටස් එකිනෙකට අල්ලලා තියෙන්නේ මැහුම්වලින්. කේන්ති ගන්න එක, බොරු කියන එක, අසභ්‍ය විහිළු කරන එක පරණ පෞද්ගලිකත්වය කියන ඇඳුමේ මැහුම්වලට සමාන කරන්න පුළුවන්. ඒ මැහුම් අපේ ජීවිතෙන් ලෙහලා දැම්මේ නැත්නම් අපිට කවදාවත් පරණ පෞද්ගලිකත්වය අයින් කරන්න බැහැ.

15. පරණ පෞද්ගලිකත්වය “වධකණුවේ” ඇණ ගහනවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

15 ඉක්මනින් පියවර ගන්න. පුළුවන් තරම් ඉක්මනට අපේ ජීවිත වෙනස් කරගන්න එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන්න පාවුල් ලස්සන උදාහරණයක් පාවිච්චි කළා. එයා කිව්වා පරණ පෞද්ගලිකත්වය “වධකණුවේ ඇණ ගහන්න” කියලා. (රෝම 6:6) එයා කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද? යෙහෝවාගේ කැමැත්ත කරන එක වෙනුවෙන් වධකණුවක මැරෙන්න වුණත් යේසුස් කැමති වුණා. අපිත් යේසුස් වගේ යෙහෝවාගේ කැමැත්ත කරන්න අපිට පුළුවන් හැම දේම කරන්න ඕනේ. ඒ වෙනුවෙන් පරණ පෞද්ගලිකත්වයට අයිති ගතිගුණ, පුරුදු අපේ ජීවිතෙන් මුලින් උපුටලා දාන්න අපි උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ. එහෙම කළොත් විතරයි නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්නත් සදහටම ජීවත් වෙන්නත් අපිට අවස්ථාව ලැබෙන්නේ. (යොහ. 17:3; 1 පේතෘ. 3:21) මතක තියාගන්න, යෙහෝවා දෙවියන් අපේ කැමැත්ත වෙනුවෙන් ඔහුගේ ප්‍රමිති වෙනස් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි තමයි ඔහුගේ ප්‍රමිතිවලට අනුව අපේ ජීවිත වෙනස් කරගන්න ඕනේ.—යෙසා. 1:16-18; 55:9.

16. වැරදි ආශාවන් එක්ක අපි කරන සටන දිගටම කරන්න ඕනෙ ඇයි?

16 වැරදි ආශාවන් එක්ක දිගටම සටන් කරන්න. සමහරවිට බව්තීස්ම වුණාට පස්සෙත් වැරදි ආශාවන් එක්ක අපිට දිගටම සටන් කරන්න වෙයි. මරීට්සියෝගේ අද්දැකීම බලන්න. යෞවන කාලේදී එයා සමලිංගික ජීවිතයක් ගත කළා. හැබැයි පස්සේ එයා සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. එයා එයාගේ ජීවිතේ වෙනස් කරගෙන 2002දී යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වුණා. අවුරුදු ගාණක් යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කළත් එයා තාමත් වැරදි සිතුවිලිත් එක්ක සටන් කරනවා. ඒ ගැන එයා කියන දේ බලන්න. “තාමත් විටින් විට මට වැරදි සිතුවිලි එනවා. හැබැයි මං දැන් ඒවා ගැන දිගින් දිගටම හිතන්නේ නැහැ. මොකද මං දන්නවා හරි දේ කරන්න වෑයම් කරද්දී යෙහෝවා ඒ ගැන හුඟක් සතුටු වෙනවා කියලා.” *

17. නාබිහාගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

17 උදව් ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න. ඔයාගේ ශක්තිය මත නෙවෙයි යෙහෝවාගේ ශක්තිය මත රඳා ඉන්න. (ගලා. 5:22; ෆිලි. 4:6) පරණ පෞද්ගලිකත්වය මුළුමනින්ම උපුටලා දාන්න නම් අපි අපේ පැත්තෙන් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. නාබිහා කියන්නේ එහෙම කරපු කෙනෙක්. අවුරුදු 6දී නාබිහාගේ තාත්තා එයාව දාලා ගියා. එයා කියනවා “මට ඒක දරාගන්න හුඟක් අමාරු වුණා” කියලා. ඉතින් ටිකෙන් ටික ලොකු වෙද්දී නාබිහා ඉක්මනටම කේන්ති ගන්න, හරිම දරුණු කෙනෙක් වුණා. ඒ විතරක් නෙවෙයි එයා මත්ද්‍රව්‍ය විකුණන්නත් පටන්ගත්තා. ඒ නිසා අවුරුදු කීපයකට හිරේ යන්නත් එයාට සිද්ධ වුණා. ඔය කාලේදී තමයි එයාට සාක්ෂිකරුවන්ව හම්බ වුණේ. එයා සාක්ෂිකරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. ඊටපස්සේ නාබිහා ඉගෙනගත්ත දේවල්වලට අනුව ජීවිතේ වෙනස්කම් කරගන්න පටන්ගත්තා. එයා කියනවා සමහර නරක පුරුදු අත්හරින්න පුළුවන් වුණත් “සිගරට් බොන එක නතර කරන්න නම් මට ගොඩක් අමාරු වුණා” කියලා. එයාට ඒක කරන්න අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් ගියා. හැබැයි කොහොමද එයා ඒ වෙනස්කම් කරගත්තේ? බලන්න එයා කියන දේ. “දිගටම යෙහෝවාට යාච්ඤා කරපු නිසයි ඒක නතර කරන්න මට පුළුවන් වුණේ.” ජීවිතේ වෙනස්කම් කරගන්න ලොකු සටනක් කරන අයට නාබිහා මෙහෙම කියනවා. “යෙහෝවාගේ හිත සතුටු කරන්න මං වගේ කෙනෙක්ට වෙනස්කම් කරගන්න පුළුවන් වුණා නම් ඕනම කෙනෙක්ට ඒක කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි.” *

බව්තිස්මය දක්වා දියුණු වෙන්න ඔයාටත් පුළුවන්

18. දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක්ට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක්ද? (1 කොරින්ති 6:9-11)

18 යේසුස් එක්ක රජකම් කරන්න යෙහෝවා මුල් සියවසේදී තෝරාගත්ත සමහර අය කලින් ගත කළේ නරක ජීවිත. උදාහරණෙකට එයාලා අනාචාරයේ යෙදුණා. සමලිංගික ජීවිත ගත කළා. ඒ වගේම හොරකම් කළා. හැබැයි යෙහෝවා දෙවිගේ බලයේ උදව්වෙන් එයාලට පුළුවන් වුණා එයාලගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. (1 කොරින්ති 6:9-11 කියවන්න.) එදා විතරක් නෙවෙයි අදත් ලෝකේ පුරා ඉන්න මිලියන ගාණකගේ ජීවිත වෙනස් කරගන්න බයිබලේ උදව් වෙලා තියෙනවා. * කවදාවත් අත්හරින්න බැහැ කියලා හිතපු පුරුදු පවා එයාලා අත්හැරලා තියෙනවා. ඒ විදිහට බයිබලේ නිසා මිලියන ගාණකගේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා නරක පුරුදු අත්හැරලා ජීවිතේ වෙනස් කරගෙන යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න ඔයාටත් පුළුවන් කියලා කිසිම සැකයක් නැහැ.

19. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

19 බව්තීස්ම වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් පරණ පෞද්ගලිකත්වය අයින් කරන එක විතරක් මදි. එයා අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නත් ඕනේ. ඒත් ඒක කරන්න පුළුවන් කොහොමද? ඒක කරන්න අනිත් අය අපිට උදව් කරන්නේ කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව

^ 5 ඡේ. ඔයා බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමනම් ඔයාගේ පෞද්ගලිකත්වයේ සමහර පැති වෙනස් කරගන්න ඔයා කැමැත්තෙන් ඉන්න ඕනේ. ඒත් පරණ පෞද්ගලිකත්වයට ආවේණික මොන වගේ ගතිගුණද ඔයා වෙනස් කරගන්න ඕනේ? ඔයා ඒක කරන්න ඕනෙ ඇයි? ඒක කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම බව්තීස්ම වුණාට පස්සෙත් දිගටම අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න පුළුවන් කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලනවා.

^ 3 ඡේ. පැහැදිලි කිරීමක්: ‘පරණ පෞද්ගලිකත්වය ඉවත් කරන්න’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවියන් අකමැති ගතිගුණ, සිතුම් පැතුම් ඔයාගේ ජීවිතෙන් උදුරලා දාන්න ඕනෙ කියන එකයි. කෙනෙක් එහෙම කරන්න පටන්ගන්න ඕනෙ බව්තීස්ම වෙන්න කලින්.—එෆී. 4:22.

^ 10 ඡේ. වැඩි විස්තර දැනගන්න 2012 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ “ජීවිත වෙනස් කළ පොතක් - ‘ආයෙත් දෙවිට ළං වෙන්න මට ඕන වුණා’” කියන ලිපිය බලන්න.

^ 16 ඡේ. වැඩි විස්තර සදහා 2012 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ “ජීවිත වෙනස් කළ පොතක් - ‘ඒ අය හරිම කරුණාවන්තයි’” කියන ලිපිය බලන්න.

^ 17 ඡේ. වැඩි විස්තර සඳහා 2012 ඔක්තෝබර් 1 ‘මුරටැඹ’ සඟරාවේ “ජීවිත වෙනස් කළ පොතක් - ‘පුංචි දේටත් මට කේන්ති ගියා’” කියන ලිපිය බලන්න.

^ 18 ඡේ. ජීවිත වෙනස් කළ පොතක්” කියන කොටුව බලන්න.

^ 64 ඡේ. පින්තූරේ අදහස: යෙහෝවා දෙවියන් අකමැති පුරුදු, ආකල්ප අපේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන එක හරියට පරණ ඇඳුමක් ගලවනවා වගේ.