Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 11

“අලුත් පෞද්ගලිකත්වය” පැළඳගෙන ඒක දිගටම පරෙස්සම් කරගන්න

“අලුත් පෞද්ගලිකත්වය” පැළඳගෙන ඒක දිගටම පරෙස්සම් කරගන්න

“අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.”කොලො. 3:10.

ගීතිකාව 49 දෙවිගේ හදවත සතුටු කරමු

මේ ලිපියෙන් *

1. අපේ පෞද්ගලිකත්වයට ලොකු බලපෑමක් කරන්නේ මොකක්ද?

 අපි බව්තීස්ම වුණේ මෑතකදී වුණත් අවුරුදු ගාණකට කලින් වුණත් යෙහෝවා දෙවියන් කැමති විදිහේ කෙනෙක් වෙන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. එහෙම කරන්න නම් අපි හිතන විදිහ ගැන පරෙස්සම් වෙන්න ඕනේ. ඇයි ඒ? මොකද අපේ පෞද්ගලිකත්වය ගොඩනැඟෙන්නේ අපි හිතන විදිහ අනුව. උදාහරණකෙට අපි නිතරම හිතන්නේ අපේම ආශාවන් ඉටු කරගන්නේ කොහොමද කියන එක ගැන නම් වැරදි දේවල් කියන්න, කරන්න අපි පෙලඹෙන්න පුළුවන්. (එෆී. 4:17-19) අනිත් අතට, අපේ මනස අපි යහපත් දේවලින් පුරවගන්නවා නම් අපි කතා කරන්නේ, වැඩ කරන්නේ අපේ දෙවි යෙහෝවාව සතුටු වෙන විදිහට.—ගලා. 5:16.

2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 කලින් ලිපියෙන් බලපු විදිහට අපිට එන නරක සිතුවිලි සම්පූර්ණයෙන්ම නතර කරන්න අපිට බැහැ. හැබැයි ඒ සිතුවිලිවලට වහල් වෙලා වැඩ කරන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්. බව්තීස්ම වෙන්න කලින් යෙහෝවා දෙවියන් පිළිකුල් කරන කතාබහ සහ හැසිරීම අපේ ජීවිතෙන් අපි සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. පරණ පෞද්ගලිකත්වය අයින් කරද්දී අපි කරන්න ඕනෙ පළවෙනි සහ වැදගත්ම පියවර ඒක කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක විතරක් මදි. යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න නම් අපි ඔහු ලබා දෙන “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නම” ඕනේ. (කොලො. 3:10) ඒත් “අලුත් පෞද්ගලිකත්වය” කියන්නේ මොකක්ද? ඒක පැළඳගන්න අපිට පුළුවන් කොහොමද? අලුත් පෞද්ගලිකත්වය පැළඳගත්තාට පස්සේ ඒක පරෙස්සම් කරගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

“අලුත් පෞද්ගලිකත්වය” කියන්නේ මොකක්ද?

3. ගලාති 5:22, 23 කියන විදිහට “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගෙන ඉන්න කෙනෙක් මොන වගේද? ඒක පැළඳගෙන ඉන්නවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

3 “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගෙන ඉන්න කෙනෙක් යෙහෝවා දෙවියන්ව ආදර්ශයට ගන්නවා. එයා හිතපු විදිහ, වැඩ කරපු විදිහ වෙනස් කරගෙන දෙවිගේ බලයේ උදව්වෙන් දෙවියන් කැමති ගුණාංග ඇති කරගන්නවා. (ගලාති 5:22, 23 කියවන්න.) උදාහරණෙකට එයා යෙහෝවාටයි, ඔහුගේ සෙනඟටයි ගොඩක් ආදරෙයි. (මතෙ. 22:36-39) පීඩාවලට මුහුණ දුන්නත් සතුට නැති කරගන්නේ නැහැ. (යාකො. 1:2-4) සාමය ඇති කරගන්න එයා ගොඩක් මහන්සි වෙනවා. (මතෙ. 5:9) අනිත් අය එක්ක වැඩ කරන්නෙත් ගොඩක් ඉවසීමෙන්, කාරුණිකව. (කොලො. 3:13) එයා යහපත් දේවල් කරන්න හරිම ආසයි. (ලූක් 6:35) යෙහෝවා ගැන කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලා එයා වැඩ කරන විදිහෙන් පෙන්නනවා. (යාකො. 2:18) අනිත් අය එයාව කේන්ති ගස්සන්න හදද්දිත් එයා වැඩ කරන්නේ මෘදුකමින්. වැරදි දෙයක් කරන්න පෙලඹීමක් එද්දී එයා එයාවම පාලනය කරගන්නවා.—1 කොරි. 9:25, 27; තීත. 3:2.

4. අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගන්නවා කියන්නේ ගලාති 5:22, 23 සඳහන් ගුණාංග එකින් එක වර්ධනය කරගන්නවා කියන එකද? පැහැදිලි කරන්න.

4 අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න නම් ගලාති 5:22, 23 සඳහන් ගුණාංග වගේම බයිබලේ සඳහන් කරලා තියෙන අනිත් ගුණාංගත් වර්ධනය කරගන්න අපි වෑයම් කරන්න ඕනේ. * අලුත් පෞද්ගලිකත්වය කියන්නේ වෙන වෙනම කොටස් වශයෙන් අඳින්න පුළුවන් ඇඳුම් කට්ටලයක් නෙවෙයි. ඒක තනි ඇඳුමක්. ඒකේ ගුණාංග එකිනෙකට සම්බන්ධයි. උදාහරණෙකට අනිත් අයට ඔයා ඇත්තටම ආදරෙයි නම් ඔයා එයාලා එක්ක වැඩ කරන්නේ හරිම කාරුණිකව, ඉවසීමෙන්. ඒ වගේම ඔයා ඇත්තටම යහපත් කෙනෙක් නම් මෘදුකමින් වැඩ කරන්නත් ඔයාවම පාලනය කරගන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ.

අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න පුළුවන් කොහොමද?

අපි යේසුස් වගේ හිතන තරමටම ඔහුගේ පෞද්ගලිකත්වය කිට්ටුවෙන් ආදර්ශයට ගන්න අපිට පුළුවන් (5, 8, 10, 12 සහ 14 ඡේද බලන්න)

5. “ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක් තියෙනවා” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? යේසුස් වැඩ කරපු විදිහ ගැන අපි අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි? (1 කොරින්ති 2:16)

5 1 කොරින්ති 2:16 කියවන්න. අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න නම් අපිට “ක්‍රිස්තුස්ගේ මනස ගැන අවබෝධයක් තියෙන්න” ඕනේ. ඒ කියන්නේ යේසුස් හිතපු විදිහ, වැඩ කරපු විදිහ ඉගෙනගෙන අපි ඔහුව ආදර්ශයට ගන්න උත්සාහ කරන්න ඕනෙ කියන එකයි. කිසිම පලුද්දක් නැති, හොඳ ප්‍රමිතියට හදපු කණ්ණාඩියකින් කෙනෙක්ගේ රූපේ ඒ විදිහටම පේනවා. ඒ වගේ දෙවියන්ගේ ගතිලක්ෂණ හැම එකක්ම යේසුස් තුළින් සම්පූර්ණයෙන්ම දැකගන්න පුළුවන් කියලා බයිබලේ කියනවා. (හෙබ්‍රෙ. 1:3) අපි යේසුස් හිතපු විදිහ ගැන, වැඩ කරපු විදිහ ගැන ගැඹුරින් කල්පනා කරන තරමටම යේසුස්ගේ පෞද්ගලිකත්වය කිට්ටුවෙන් ආදර්ශයට ගන්න අපිට පුළුවන්.—ෆිලි. 2:5.

6. අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න උත්සාහ කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

6 ඇත්තටම යේසුස්ව අනුකරණය කරන්න අපිට පුළුවන්ද? සමහරවිට ඔයාට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘යේසුස් කියන්නේ පරිපූර්ණ කෙනෙක්. ඉතින් කවදාවත් මට යේසුස් වගේ නම් වෙන්න බෑ.’ ඔයාට එහෙම හිතෙනවා නම් මේ ගැන ටිකක් හිතන්න. (1) ඔයාව නිර්මාණය කරලා තියෙන්නේ යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ ගුණාංග අනුකරණය කරන්න හැකියාව ඇතුව. ඒ නිසා සම්පූර්ණයෙන්ම ඒ දෙන්නාව ආදර්ශයට ගන්න බැරි වුණත් උත්සාහයක් ගත්තොත් හිතනවාටත් වඩා වැඩියෙන් ඒක කරන්න අපිට පුළුවන්. (උත්. 1:26) (2) යෙහෝවා දෙවිගේ බලය තමයි මේ විශ්වයේ තියෙන ප්‍රබලම බලය. ඒ නිසා ඔයාගේ තනි උත්සාහයෙන් කරන්න බැරි දේවල් වුණත් දෙවිගේ බලයේ උදව්වෙන් ඔයාට කරන්න පුළුවන්. (3) මේ කාලේදී යෙහෝවා දෙවියන්ගේ ගුණාංග ඔයා කිසිම අඩුවක් නැතුව පෙන්නයි කියලා ඔහු ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඔයාට දැන් කරන්න බැහැ කියලා ඔහු දන්නවා. ඒ නිසයි පාරාදීසේ සදාකාල් ජීවත් වෙන අයට වුණත් පරිපූර්ණත්වයට එන්න අවුරුදු දාහක්ම දීලා තියෙන්නේ. (එළි. 20:1-3) දැන් යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහු මත රඳා ඉඳලා අපේ උපරිමයෙන් ඒ ගුණාංග වර්ධනය කරගන්න අපි උත්සාහ කරන එකයි.

7. දැන් අපි බලන්නේ මොනවා ගැනද?

7 අපි කලින් බැලුව විදිහට දෙවියන්ගේ ගුණාංග යේසුස් ඒ විදිහටම ඔහුගේ ජීවිතෙන් පෙන්නුවා. අපි දැන් යේසුස් පෙන්නපු ඒ වගේ ගුණාංග 4ක් ගැනත් ඒවායින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැනත් බලමු. ඒ විතරක් නෙවෙයි අපි කොච්චර දුරට අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන ඉන්නවාද කියලා හිතලා බලන්න උදව් වෙන ප්‍රශ්න කීපයකුත් අපි බලමු.

8. යේසුස් අනිත් අයට ආදරේ කළේ කොහොමද?

8 යේසුස් යෙහෝවා දෙවියන්ට කොච්චර ආදරේ කළාද කියනවා නම් ඒ ආදරේ ඔහුව පෙලඹුවා ඔහුගේ පියා වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් කැප කිරීම් කරන්න. (යොහ. 14:31; 15:13) යේසුස් මේ පොළොවේ ජීවත් වුණ විදිහෙන් පෙන්නුවා ඔහුට මිනිස්සු ගැන කොච්චර ආදරයක් තිබුණාද කියලා. මිනිස්සු යේසුස්ට විරුද්ධ වුණත් ඔහුගේ හිතේ එයාලා ගැන තිබුණ ආදරය, අනුකම්පාව එක බිඳක්වත් අඩු වුණේ නැහැ. ඒ වගේම ඔහු දේවරාජ්‍යය ගැන මිනිස්සුන්ට ඉගැන්නුවා. (ලූක් 4:43, 44) යේසුස් අනිත් අයට ආදරේ පෙන්නුවේ තමන් ගැනවත් හිතන්නේ නැතුව. ඒ නිසයි අනිත් අය වෙනුවෙන් වේදනා විඳලා මැරෙන්න ඔහු තමන්ගේ ජීවිතය පව්කාර මිනිසුන්ගේ අතට භාර දුන්නේ. අපිට සදාකාල ජීවනයට මඟ විවෘත වුණේ ඔහු පෙන්නපු ඒ ආදරය නිසයි.

9. යේසුස් වගේ අනිත් අයට ආදරේ කරන්න අපිට පුළුවන් කොහොමද?

9 අපි යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න තීරණය කළේ ඔහුට තියෙන ආදරේ නිසයි. අපිත් යේසුස් වගේ අනිත් අයට ආදරේ කරලා අපේ හිතේ යෙහෝවාට තියෙන ආදරේ පෙන්නන්න ඕනේ. ඒ ගැන යොහන් මෙහෙම ලිව්වා. “කෙනෙකුට තමා දකින සහෝදරයාට ප්‍රේම කළ නොහැකි නම් තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන.” (1 යොහ. 4:20) ඒ නිසා අපි මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන එක හරිම වැදගත්. ‘මිනිස්සු ගැන ඇත්තටම මගේ හිතේ ලොකු කැක්කුමක් තියෙනවාද? කෙනෙක් මට රිද්දද්දී එයාට ආදරෙන් සලකන්න මට පුළුවන්ද? මගේ හිතේ තියෙන ආදරේ මාව පොලඹවනවාද මගේ කාලය, මට තියෙන දේවල් වුණත් කැප කරලා යෙහෝවා ගැන අනිත් අයට කියලා දෙන්න? අනිත් අය ඇහුම්කන් දුන්නේ නැතත් විරුද්ධ වුණත් අධෛර්යය වෙන්නේ නැතුව දිගටම සේවේ කරන්න මට පුළුවන්ද? යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන්න මට මීට වඩා කාලේ දෙන්න පුළුවන්ද?’—එෆී. 5:15, 16.

10. යේසුස් සාමය ඇති කරන්න මහන්සි වුණේ කොහොමද?

10 යේසුස් සාමය ඇති කරන්න මහන්සි වුණ කෙනෙක්. මිනිස්සු ඔහුට නපුරු විදිහට සලකද්දී ඔහු කවදාවත් එකට එක කරන්න ගියේ නැහැ. හැබැයි ඔහු එතනින් නතර වුණෙත් නැහැ. ඔහු සාමය ඇති කරගන්න මුල් පියවර ගත්තා. ඒ විතරක් නෙවෙයි එහෙම කරන්න අනිත් අයවත් දිරිගැන්නුවා. උදාහරණෙකට යේසුස් එක අවස්ථාවකදී කිව්වා කෙනෙක්ගේ නමස්කාරය යෙහෝවා පිළිගන්න නම් මුලින්ම එයා සහෝදරයාත් එක්ක තියෙන ප්‍රශ්නේ විසඳගන්න ඕනෙ කියලා. (මතෙ. 5:9, 23, 24) මතකද යේසුස්ගේ ගෝලයන් තමන් අතරින් උතුම් කවුද කියලා නිතර නිතර වාද කළා? එහෙම කරද්දී සාමය ඇති කරගන්න යේසුස් එයාලට උදව් කළා.—ලූක් 9:46-48; 22:24-27.

11. සාමය ඇති කරන්න මහන්සි වෙන්න අපිට පුළුවන් කොහොමද?

11 සාමය ඇති කරගන්න මහන්සි වෙනවා කියන්නේ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඉන්න එකට විතරක් නෙවෙයි. ඒකට සාමය ඇති කරන්න මුල් පියවර ගන්න එකත් ඇතුළත්. ඒ වගේම එහෙම කරන්න කියලා අපේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්නත් ඕනේ. (ෆිලි. 4:2, 3; යාකො. 3:17, 18) එහෙම කරද්දී අපිට පුළුවන් මේ පැති ගැන හිතලා බලන්න. ‘අනිත් අයත් එක්ක සමාදානය ඇති කරන එක වෙනුවෙන් මං කොච්චර දුරක් යන්න ලෑස්තිද? සහෝදරයෙක් මගේ හිත රිද්දුවොත් තරහක් හිතේ තියාගෙන ඉන්නේ නැතුව ඉන්න මට පුළුවන්ද? “එයානෙ ප්‍රශ්න ඇති කළේ, එයාම තමයි මාත් එක්ක සමාදාන වෙන්න ඕනෙ” කියලා මං හිතනවාද? එහෙම නැත්නම් සාමය ඇති කරගන්න මං මුල් පියවර ගන්නවාද? හිතන්න, දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති වෙලා කියලා. එයාලට කතා කරන එක සුදුසුයි කියලා හිතෙනවා නම් එයාලට සමාදාන වෙන්න කියලා මං දිරිගන්වනවාද?’

12. යේසුස් අනිත් අයට කරුණාවෙන් සැලකුවේ කොහොමද?

12 යේසුස් අනිත් අයට කරුණාවෙන් සලකපු කෙනෙක්. (මතෙ. 11:28-30) ඔහු අනිත් අයත් එක්ක වැඩ කරපු විදිහෙන්, ඔහුගේ වචනවලින් ඔහු කොච්චර කරුණාවන්ත කෙනෙක්ද කියලා පෙන්නුවා. ඒ වගේම අමාරු අවස්ථාවලදී වුණත් ඔහු අනිත් අයට ඇහුම්කන් දීපු, හරිම සාධාරණ කෙනෙක්. උදාහරණෙකට ෆිනීෂියානු ස්ත්‍රියට යේසුස් සලකපු විදිහ බලන්න. ඒ ස්ත්‍රිය තමන්ගේ දරුවාව සනීප කරන්න කියලා ඉල්ලද්දී මුලින් යේසුස් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. හැබැයි පස්සේ ඒ ස්ත්‍රියගේ විශ්වාසය දැක්කාම යේසුස් එයාට කරුණාව පෙන්නලා එයාගේ දරුවාව සනීප කරන්න කැමති වුණා. (මතෙ. 15:22-28) යේසුස් කරුණාවන්ත කෙනෙක් වුණත් කෙනෙක්ට උපදෙසක් දෙන්න ඕනෙ වුණාම ඒක නොදී හිටියේ නැහැ. සමහර අවස්ථාවලදී ඔහු තමන් ආදරේ කරපු අයව කෙළින්ම නිවැරදි කළා. උදාහරණෙකට දෙවියන්ගේ කැමැත්තට එකඟ නැති දෙයක් කරන්න කියලා පේතෘස් දවසක් යේසුස්ට කිව්වා. ඒ වෙලාවේ යේසුස් අනිත් ගෝලයන් ඉස්සරහම එයාව නිවැරදි කළා. (මාක් 8:32, 33) යේසුස් එහෙම කළේ පේතෘස්ට ලැජ්ජා කරන්න නෙවෙයි, එයාව පුහුණු කරන්න. ඒ වගේම තමන් ගැන විශ්වාසය තියලා දේවල් කරන්න එපා කියලා ගෝලයන්ට මතක් කරන්නයි. ඇත්ත, ඒ වෙලාවේ පේතෘස්ට ලැජ්ජාවක් දැනෙන්න ඇති. හැබැයි ඒකෙන් එයා ගොඩක් ප්‍රයෝජන ගත්තා.

13. අනිත් අයට කරුණාවන්තව සලකන්න අපිට පුළුවන් කොහොමද?

13 අපි අනිත් අයට ඇත්තටම ආදරෙයි නම් එයාලට කරුණාවන්තව සලකනවා නම් අවශ්‍ය වෙලාවේදී එයාලව නිවැරදි කරන එකත් හරිම වැදගත්. හැබැයි අපි එයාලට මඟ පෙන්වීම් දෙන්න ඕනෙ යේසුස් වගේ දේවවචනය පාවිච්චි කරලයි. එහෙම කරද්දී හිත රිදෙන විදිහට කතා කරන්න එපා. කෙනෙක් එක්ක කතා කරන්න කලින් මෙහෙම හිතන්න. ‘එයාත් යෙහෝවාට ආදරෙයි. එයාටත් ඕනෙ හරි දේ කරන්න.’ ඒ නිසා එයාට ආදරෙන් උපදෙසක් දුන්නොත් එයා ඒක අහක දාන එකක් නැහැ කියලා විශ්වාස කරන්න. ඔයාට පුළුවන් මේ වගේ ප්‍රශ්න ගැනත් හිතලා බලන්න. ‘එයා වරදක් කරනවා කියලා දැක්කොත් ඒ ගැන එයාට කතා කරන්න තරම් ධෛර්යයක් මට තියෙනවාද? එයාට උපදෙසක් දෙන්න ඕනෙ වුණාම මං ඒක දෙන්නේ කාරුණිකවද නැත්නම් සැරෙන්ද? මං මේ උපදෙස දෙන හේතුව මොකක්ද? මං මේ උපදෙස දෙන්න හදන්නේ කේන්තියෙන් ඉන්න නිසාද නැත්නම් ඇත්තටම එයාට උදව් කරන්න ඕනෙ නිසාද?’

14. යේසුස් ඇත්තටම යහපත් කෙනෙක් කියලා පෙන්නුවේ කොහොමද?

14 අනිත් අය වෙනුවෙන් කරන්න ඕනෙ යහපත් දේවල් යේසුස් දැනන් හිටියා විතරක් නෙවෙයි ඔහු එයාලා වෙනුවෙන් ඒ දේවල් කළා. යේසුස් යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරෙයි. ඒ නිසා ඔහු හැම වෙලේම හරි දේ, හරි චේතනාවෙන් තමයි කළේ. ඒත් හරි දේ කරන යහපත් කෙනෙක් මොන වගේද? ඒ වගේ කෙනෙක් අනිත් අයට ඕනෙ මොන වගේ උදව්ද කියලා හොයලා බලලා ඒ අය වෙනුවෙන් ඒ දේවල් කරනවා. හැබැයි අපි යහපත් දේවල් කළාට විතරක් මදි. ඒක කරන චේතනාවත් යහපත් වෙන්න ඕනේ. සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් ‘යහපත් දේවල් වැරදි චේතනාවෙනුත් කරන්න පුළුවන්ද’ කියලා. ඔව්, පුළුවන්. යේසුස් කිව්වා සමහරු දිළිඳු අයට උදව් කළේ අනිත් අයට පේන්න, අනිත් අයගෙන් ප්‍රශංසාව ලබාගන්න කියලා. ඒ නිසයි එයාලා කරපු දේවල් කොච්චර යහපත් කියලා පේන්න තිබුණත් යෙහෝවා ඒ ගැන පොඩ්ඩක්වත් සතුටු වුණේ නැත්තේ.—මතෙ. 6:1-4.

15. අනිත් අය වෙනුවෙන් යහපත් දේවල් කරන්න පුළුවන් කොහොමද?

15 අපි යහපත් දේවල් කරන්න ඕනෙ අනිත් අයට ඇත්තටම උදව් කරන්න ඕනෙ නිසයි. එහෙම නැතුව වෙන දෙයක් හිතේ තියාගෙන නෙවෙයි. ඒ නිසා කෙනෙක්ට උදව් කරන්න කලින් මේ දේවල් ගැන හිතලා බලන්න. ‘එයාට මොන වගේ උදව්වක්ද ඕනෙ කියලා මං දන්නවාද? ඒක දැනන් මං ඔහේ ඉන්නවාද, නැත්නම් එයා වෙනුවෙන් ඒක කරනවාද? ඇත්තටම මං අනිත් අයට උදව් කරන්නේ මොන චේතනාවෙන්ද?’

අලුත් පෞද්ගලිකත්වය පරෙස්සම් කරගන්න

16. හැම දවසකම අපි කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

16 අපි කලිනුත් බලපු විදිහට අලුත් පෞද්ගලිකත්වය කියන්නේ අපි අලුතින්ම ගත්ත ඇඳුමක් වගේ. බව්තීස්ම වෙද්දීත් අපි ඒක පැළඳගෙනයි ඉන්නේ. හැබැයි එහෙමයි කියලා ඔක්කොම ඉවර නැහැ. ඒ ඇඳුම හොඳ තත්වයේ තියාගන්න, ඒක පරෙස්සම් කරගන්න අපි දිගටම මහන්සි වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි දෙවිගේ බලයෙන් ඇති වෙන ගුණාංග හැම දවසකම පෙන්නන එක. අපි ඒ ගුණාංග අපේ ජීවිතෙන් පෙන්නන්න උත්සාහ කරන තරමටම යෙහෝවාත් ඔහුගේ බලය දීලා අපිට ඒක කරන්න උදව් කරනවා. මොකද යෙහෝවා කියන්නේ ක්‍රියාශීලි දෙවි කෙනෙක්. ඔහුගේ බලයත් නිකං තියෙන දෙයක් නෙවෙයි, ඒක ක්‍රියාත්මක වෙන දෙයක්. (උත්. 1:2) ඒ නිසා දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ බලයෙන් ඇති වෙන ගුණාංග අපි වැඩ කරන විදිහෙන් පැහැදිලිව පේන්න ඕනේ. උදාහරණෙකට යාකොබ් කිව්වා “ක්‍රියාවන් නැති විශ්වාසය මිය ගොස් ඇති විශ්වාසයක්” කියලා. (යාකො. 2:26) විශ්වාසය විතරක් නෙවෙයි අනිත් ගුණාංග ගැනත් අපිට ඒ දේම කියන්න පුළුවන්.

17. සමහර අවස්ථාවලදී දෙවියන්ගේ ගුණාංග පෙන්නන්න අපිට බැරි වෙනවා. ඒ වෙලාවට කරන්න ඕනෙ මොනවාද?

17 අපි බව්තීස්ම වෙලා අවුරුදු ගාණක් ගිහින් තිබුණත් සමහර අවස්ථාවලදී දෙවියන්ගේ ගුණාංග පෙන්නන්න අපිට අමාරු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ‘මට නම් දෙවියන් කැමති ගුණාංග කවදාවත් පෙන්නන්න බෑ’ කියලා හිතලා මේ සටන අත්හරින්න එපා. හිතන්න ඔයා ආසම ඇඳුමක් තියෙනවා කියලා. ඒක පොඩ්ඩක් ඉරුණොත් ඔයා ඒක අයින් කරලා දානවාද? නැහැ නේද? ඒ වෙනුවට ඔයා ඒ ඉරුණු තැන මහලා ආයෙත් ඒක අඳින්න පුළුවන්ද කියලා බලනවා. මැහුවාට පස්සේ ඒක පරෙස්සමෙන් පාවිච්චි කරනවා. ඔයාටත් තේරුණොත් ඔයා කෙනෙක් එක්ක කාරුණිකව, ඉවසීමෙන් වැඩ කළේ නැහැ කියලා අධෛර්යය වෙන්න එපා. ඔයාට පුළුවන් එයාගෙන් සමාව ඉල්ලලා බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගන්න. ඒ වගේම ඉස්සරහට ආයෙත් එහෙම නොකර ඉන්න අධිෂ්ඨාන කරගන්න.

18. අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

18 යේසුස් අපිට හොඳ ආදර්ශයක් තියලා තියෙන එක ගැන අපි කොච්චර නම් සතුටු වෙනවාද! අපි යේසුස් වගේ හිතන්න හිතන්න, ඔහු වගේ වැඩ කරන්න කරන්න අපිට පුළුවන් ඔහුව ගොඩක් කිට්ටුවෙන් ආදර්ශයට ගන්න. අපි යේසුස් වගේ වෙද්දී අලුත් පෞද්ගලිකත්වය කලින්ටත් වඩා හොඳින් පැළඳගන්න අපිට පුළුවන්. අපි මේ ලිපියෙන් බැලුවේ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග 4ක් ගැන විතරයි. ඒ වගේ තවත් ගුණාංග ගැන බයිබලේ තියෙනවා. ඒ ගුණාංග ගැනත් අධ්‍යයනය කරන්න කාලය ගත්තොත් ඔයාට ගොඩක් ප්‍රයෝජන ලැබෙයි. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත ඒක කරන්න ඔයාට උදව් වෙයි. ඒ පොතේ “ක්‍රිස්තියානි ජීවිතය” යටතේ “දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් ඇති වෙන ගුණාංග” කියන කොටස බලන්න. අධ්‍යයනය කරද්දී ඔයා ඒ ගුණාංග ඔයාගේ ජීවිතෙන් පෙන්නනවාද කියලත් හොඳට හිතලා බලන්න. අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන ඒක පරෙස්සම් කරගන්න ඔයාගේ පැත්තෙන් දිගටම මහන්සි වෙන්න. එහෙම කරද්දී යෙහෝවාත් ඔහුගේ පැත්තෙන් දිගටම ඒක කරන්න ඔයාට උදව් කරයි.

ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

^ 5 ඡේ. හැදුණු වැඩුණු පරිසරය මොකක් වුණත් “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්න අපි හැමෝටම පුළුවන්. එහෙම කරන්න නම් අපි යේසුස්ව ආදර්ශයට අරන් අපි හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න ඕනේ. ඒත් යේසුස් හිතුවේ, වැඩ කළේ කොහොමද? අපි ඒ ගැන මේ ලිපියෙන් බලමු. බව්තීස්මයෙන් පස්සේ ඔහුව දිගටම අනුකරණය කරන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

^ 4 ඡේ. දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග හැම එකක්ම ගලාති 5:22, 23 සඳහන් වෙන්නේ නැහැ. ඒ ගැන වැඩි විස්තර දැනගන්න 2020 ජූනි ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.