Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 12

ඔයාට ලොකු හයියක් වෙන දර්ශනයක්!

ඔයාට ලොකු හයියක් වෙන දර්ශනයක්!

‘“මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන්.” එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.’—සෙක. 4:6.

ගීතිකාව 73 දෙනු මැන නිර්භීතකම

මේ ලිපියෙන් *

1. වහල්භාවයෙන් නිදහස් වෙලා ආපු යුදෙව්වන් වැඩියෙන්ම සතුටු වුණේ මොකක් නිසාද?

 එදා යුදෙව්වන් හැමෝම හිටියේ හරිම සතුටින්. යෙහෝවා දෙවියන් ‘පර්සියාවේ රජ වුණ සයිරස්ගේ හිත පෙලඹෙව්වා’ වහල්භාවයේ හිටපු යුදෙව්වන්ව නිදහස් කරන්න. ඒ වගේම රජ අවසර දුන්නා යෙරුසලමට ගිහින් “යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න.” (එස්රා 1:1, 3) ඒක ඇහුවාම යුදෙව්වන්ගේ හිත් මොන තරම් සතුටින් පිරිලා යන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද? ඔව්. එයාලගේම දේශයට ගිහිල්ලා සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න දැන් යුදෙව්වන්ට කාලය උදා වෙලා!

2. යෙරුසලමට ආපු යුදෙව්වන්ට මුලින්ම කරන්න පුළුවන් වුණේ මොකක්ද?

2 අවුරුදු ගාණකට පස්සේ ක්‍රි.පූ. 537දී යුදෙව්වන් එයාලගේ දේශයට අඩිය තිබ්බා. ඒ ගමන්ම කල් දාන්නේ නැතුව එයාලා යෙරුසෙලමේ දේවමාලිගාවේ වැඩ පටන්ගත්තා. එයාලා කොච්චර උද්‍යෝගයෙන් ඒ වැඩවලට හවුල් වුණාද කියනවා නම් ක්‍රි.පූ. 536 වෙද්දී සම්පුර්ණයෙන්ම දේවමාලිගාවේ අත්තිවාරම දාලා ඉවර කරන්න එයාලට පුළුවන් වුණා.

3. යුදෙව්වන් මුහුණ දුන්නේ මොන වගේ විරුද්ධවාදිකම්වලටද?

3 අත්තිවාරම දාලා දේවමාලිගාවේ වැඩකටයුතු පටන්ගන්න යද්දී එයාලට ගොඩක් විරුද්ධවාදිකම් ආවා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “යූදා දේශය අවට ජීවත් වූ ජාතීහු ගොඩනැඟීමේ කටයුතු අඩාළ කිරීමට මං සෙවූහ. යූදාහි වැසියන්ව බියගැන්වීමටත් අධෛර්යයට පත් කිරීමටත් ඔවුහු නිතරම වෑයම් කළෝය.” (එස්රා 4:4) ඒ මදිවට ක්‍රි.පූ. 522දී පර්සියාවේ රජ විදිහට අර්තක්ෂස්තා බලයට පත් වුණා. * විරුද්ධවාදීන්ට නම් මේක හොඳ අවස්ථාවක්. මොකද එයාලා හිතුවේ රජව අතකොළුවක් කරගෙන යුදෙව්වන්ගේ වැඩ නතර කරන්න පුළුවන් වෙයි කියලයි. ඉතින් ඒ විදිහට එයාලා රජු ලවා “දුෂ්ට අරමුණක් ඇතුව නීති පනවන්න” උත්සාහ කළා. (ගීතා. 94:20) එයාලා යුදෙව්වන් ගැන ගොඩක් බොරු රජගේ කනේ තිබ්බා. යුදෙව්වන් රජට විරුද්ධව කැරලිගහනවා කියලා කියපු එක ඒවායින් එක බොරුවක්. (එස්රා 4:11-16) ඒ බොරුවට රැවටුණ රජ දේවමාලිගාව ඉදි කරන එක තහනම් කළා. (එස්රා 4:17-23) මෙච්චර කල් සතුටින්, උද්‍යෝගයෙන් කරගෙන ගිය වැඩකටයුතු එහෙම්පිටින්ම නතර වුණා.—එස්රා 4:24.

4. දේවමාලිගාවේ වැඩ තහනම් කළාම යෙහෝවා දෙවියන් කළේ මොනවාද? (යෙසායා 55:11)

4 යූදා දේශය අවට හිටපු වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරපු අයටයි, පර්සියාවේ අධිපතීන්ටයි ඕනෙ වුණේ මොන විදිහකින් හරි දේවමාලිගාව හදන එක නවත්තන්න. මේ වෙලාවේ යෙහෝවා දෙවියන් මොනවා කරයිද? අපි දන්නවා යෙහෝවා මොනවා හරි දෙයක් අරමුණු කළොත් ඒකට හරස් වෙන්න කාටවත්ම බැහැ කියලා. ඒ නිසා දේවමාලිගාවේ වැඩකටයුතු ආයෙත් පනගන්වලා ගන්න යෙහෝවා දෙවියන් හැම දෙයක්ම ලෑස්ති කළා. (යෙසායා 55:11 කියවන්න.) ඒ වෙනුවෙන් ඔහු නිර්භීත අනාගතවක්තෘවරයෙක් වුණ සෙකරියාව පාවිච්චි කළා. යෙහෝවා දෙවියන් සෙකරියාට පුදුමාකාර දර්ශන අටක් දකින්න සැලැස්සුවා. ඒ වගේම ඔහු එයාට කිව්වා ඒ දර්ශන ගැන කියලා අධෛර්යය වෙලා ඉන්න යුදෙව්වන්ව දිරිගන්වන්න කියලා. යුදෙව්වන් මේ කරන්නේ යෙහෝවා දෙවියන්ගේ වැඩක්. ඒ නිසා මොන අභියෝගය ආවත් යෙහෝවා එයාලත් එක්ක ඉන්න නිසා කිසිම දේකට බය වෙන්න ඕනෙ නැහැ කියලා දෙවියන් මේ දර්ශනවලින් යුදෙව්වන්ට මතක් කළා. මේ දර්ශන අතරින් පස්වෙනි දර්ශනයෙන් පෙන්නුවේ පහන් රුකක් සහ ඔලීව ගස් දෙකක් ගැනයි.

5. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

5 යුදෙව්වන් වගේ අද අපිත් අධෛර්යය වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට යෙහෝවා සෙකරියාට දකින්න සලස්වපු පස්වෙනි දර්ශනය අපිටත් ප්‍රයෝජනවත් වෙනවා. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී, වෙනස්කම් වෙද්දී, ටිකක් අමුතුයි කියලා පේන්න තියෙන මඟ පෙන්වීමක් ලැබෙද්දී දිගටම යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරන්න සෙකරියා දැක්ක මේ දර්ශනය අපිට උදව් වෙයි.

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී

පහන් හතක් තියෙන පහන් රුකකට ඔලීව ගස් දෙකකින් තෙල් ගලාගෙන එන විදිහ ගැන සෙකරියා දැක්ක දර්ශනය (6 ඡේදය බලන්න)

6. සෙකරියා 4:1-3 තියෙන දර්ශනය යුදෙව්වන්ට දිරිගැන්වීමක් වුණේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

6 සෙකරියා 4:1-3 කියවන්න. පහන් රුකක් සහ ඔලීව ගස් දෙකක් ගැන සෙකරියා දැක්ක දර්ශනය ඕනම විරුද්ධවාදිකමකට මුහුණ දෙන්න යුදෙව්වන්ට ලොකු හයියක් වුණා. ඒ කොහොමද? ඔයාලා දැක්කාද ඒ දර්ශනයේ තිබුණ පහන් රුක උඩ භාජනයක් තියෙනවා? ඒ භාජනයට නවතින්නේ නැතුව දිගටම ඔලීව තෙල් ගලාගෙන එනවා. ඒ වගේම පහන් රුකේ තිබුණ පහන් හතට නළ හතක් සම්බන්ධ කරලා තියෙනවා. භාජනයේ තියෙන තෙල් ඒ නළවලින් පහන් හතට දිගටම ගලාගෙන එන නිසා හැම වෙලාවෙම ඒ පහන් දැල්වෙලයි තියෙන්නේ. මේ දර්ශනය දැක්කාට පස්සේ සෙකරියා ඒ දේවදූතයාගෙන් ඇහුවා “මේ පේන දේවල්වල තේරුම මොකක්ද” කියලා. බලන්න දේවදූතයා මාර්ගයෙන් යෙහෝවා එයාට කියපු දේ. “‘මේ සියල්ල ඉටු වන්නේ මගේ බලයෙන් මිසක ඔබේ ශක්තියෙන්වත් යුද බලයෙන්වත් නෙවෙයි.’ එසේ පවසන මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.” (සෙක. 4:4, 6) ඔලීව ගස් දෙකෙන් නොනවත්වා ගලාගෙන එන මේ තෙල්වලින් නියෝජනය වුණේ යෙහෝවා දෙවියන්ගේ අසීමිත බලයයි. පර්සියානු අධිරාජ්‍යයේ මුළු හමුදාවම ආවත් එයාලගේ බලය යෙහෝවාගේ බලයට ළං කරන්නවත් බැහැ. ඉතින් යෙහෝවා දෙවියන් යුදෙව්වන් එක්ක ඉන්නවා නම් එයාලා මොකටද බය වෙන්නේ? මොන විරුද්ධවාදිකම ආවත් දේවමාලිගාවේ වැඩකටයුතු නවත්තන්න ඒ කිසිම දේකට බැහැ කියලා යෙහෝවා මේ දර්ශනයෙන් එයාලට මතක් කළා. යෙහෝවාගෙන් ආපු මේ පණිවිඩය ඇහුවාම යුදෙව්වරුන්ට කොච්චර ශක්තියක් දැනෙන්න ඇද්ද! ඇත්තටම එයාලට කරන්න තිබුණේ යෙහෝවාව විශ්වාස කරලා ආයෙත් වැඩ පටන්ගන්න එක විතරයි. එයාලා කළෙත් ඒ දේම තමයි. මොන තහංචිය තිබුණත් අධෛර්යවීම් පැත්තකින් දාලා එයාලා ආයෙත් වැඩ පටන්ගත්තා.

7. යුදෙව්වන්ට සහනයක් වෙන විදිහට දේවල් වෙනස් වුණේ කොහොමද?

7 ඔය අතරේ හිතපු නැති විදිහට තත්වය හොඳ අතට හැරෙන්න පටන්ගත්තා. මොකද පර්සියානු අධිරාජ්‍යයේ රජ විදිහට 1වෙනි දාරියුස් පත් වුණා. දාරියුස් රජගේ දෙවෙනි අවුරුද්දේදී ඒ කියන්නේ ක්‍රි.පූ. 520දී එයා දැනගත්තා යුදෙව්වන්ගේ වැඩ තහනම් කරපු එක නීති විරෝධීයි කියලා. ඒ නිසා එයා ආයෙත් වැඩ පටන්ගන්න අනුමැතිය දුන්නා. (එස්රා 6:1-3) මේ රාජ අණ අහලා හැමෝම පුදුම වෙන්න ඇති. වැඩ පටන්ගන්න කියලා කිව්වා විතරක් නෙවෙයි මේ වැඩවලට කිසිම බාධාවක් කරන්න එපා කියලත් රජ අවට ජාතීන්ට නියෝග කළා. ඒ වගේම මුදල් සහ අනිත් දේවල්වලින් යුදෙව්වන්ට සහයෝගය දෙන්න කියලත් රජ නියෝග කළා. (එස්රා 6:7-12) අන්තිමට මොකක්ද වුණේ? අවුරුදු පහක් යන්නත් කලින් ඒ කියන්නේ ක්‍රි.පූ. 515දී යුදෙව්වන්ට පුළුවන් වුණා දේවමාලිගාවේ වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න.—එස්රා 6:15.

විරුද්ධවාදිකම් එද්දී යෙහෝවාගේ බලය මත රඳා ඉන්න (8 ඡේදය බලන්න)

8. විරුද්ධවාදිකම්වලට ධෛර්යවන්තව මුහුණ දෙන්න පුළුවන් කියලා ඔයාට විශ්වාස ඇයි?

8 අදත් දෙවියන්ගේ සෙනඟ ගොඩක් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා. උදාහරණෙකට අපේ වැඩකටයුතුවලට තහංචි දාපු රටවල් ගැන හිතන්න. ඒ රටවල්වල ඉන්න අපේ සමහර සහෝදරයන්ව අත්අඩංගුවට අරගෙන ‘ආණ්ඩුකාරයන් හා රජවරුන් ඉස්සරහට’ ගෙනිහිල්ලා තියෙනවා. (මතෙ. 10:17, 18) ඒත් සමහර වෙලාවට පාලකයෝ වෙනස් වුණාම එයාලට වැඩ කටයුතු කරගෙන යන්න යම් නිදහසක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාධාරණ විදිහට විනිශ්චය කරන කෙනෙක් හිටියොත් අපිට පක්ෂව තීන්දු ලැබෙන අවස්ථාත් තියෙනවා. අපේ වැඩවලට තහංචි දාලා නැති රටවල්වල ඉන්න සහෝදරයන් ගැන මොකක්ද කියන්න පුළුවන්? සමහරවිට නමස්කාරයේ දේවල් නිදහසේ කරගෙන ගියත් එයාලට පවුලේ අයගෙන්, නෑදෑයන්ගෙන් විරුද්ධවාදිකම් එන්න පුළුවන්. (මතෙ. 10:32-36) හැබැයි මොන විරුද්ධවාදිකමකටවත් එයාලගේ විශ්වාසය හොල්ලන්න බැහැ කියලා දැක්කාම සමහරු පීඩා කරන එක නතර කරලා තියෙනවා. මුලදී අපිට පීඩා කරපු තවත් අය දැන් උද්‍යෝගයෙන් සේවය කරන අපේ සහෝදරයෝ වෙලා. ඔයාත් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවාද? එහෙමනම් අත්හරින්න එපා. දිගටම ධෛර්යවන්තව ඉන්න. කවුරු විරුද්ධ වුණත් ඔයාට යෙහෝවා දෙවියන් ඉන්නවා. මේ විශ්වයේ තියෙන ප්‍රබලම බලය ඔහු ඔයාට දෙනවා. ඒ නිසා කිසිම දේකට බය වෙන්න එපා!

වෙනස්කම්වලට මුහුණ දෙද්දී

9. අලුත් දේවමාලිගාවේ අත්තිවාරම දාන වෙලාවේ සමහර යුදෙව්වන් ඇඬුවේ ඇයි?

9 අලුත් දේවමාලිගාවේ අත්තිවාරම දාන වෙලාවේ සමහර මහලු යුදෙව්වන් අඬන්න පටන්ගත්තා. (එස්රා 3:12) මොකද සලමොන්ගේ දේවමාලිගාව කොච්චර තේජවත්ද කියලා එයාලා දැකලා තිබුණා. එයාලා හිතුවේ අලුතින් ගොඩනඟන දේවමාලිගාව කලින් තිබුණ එක අහලකින්වත් තියන්න බැහැ කියලා. ‘ආයෙත් කවදාවත් මේ ගෘහය මුලින් තිබූ තත්වයට’ ගන්න බැහැ කියලා එයාලා හිතුවා. (හග්. 2:2, 3) ඒ ගැන හිතද්දී එයාලගේ දුක වාවගන්න බැරුව ගියා. දුකෙන්, කලකිරීමෙන් හිටපු මේ යුදෙව්වන්ට ඒකෙන් ගොඩ එන්න සෙකරියාගේ දර්ශනය උදව් වුණේ කොහොමද?

10. අධෛර්යය වෙලා හිටපු යුදෙව්වන්ට සෙකරියා 4:8-10 දේවදූතයා කියපු වචන දිරිගැන්වීමක් වුණේ කොහොමද?

10 සෙකරියා 4:8-10 කියවන්න. දේවදූතයා කිව්වා, “සෙරුබාබෙල්ගේ අතේ තිබෙන ලඹය දැක ජනයා ප්‍රීති වන්නෝය” කියලා. මොකක්ද ඒකෙන් අදහස් කළේ? සාමාන්‍යයෙන් ලඹයක් පාවිච්චි කරන්නේ දෙයක් හරි කෙළින් තියෙනවාද කියලා බලන්න. ඉතින් දේවදූතයා ඒකෙන් මතක් කළා අලුත් දේවමාලිගාව සලමොන්ගේ එක තරම් තේජවත් නැහැ කියලා හිතුණත් යෙහෝවාගේ ප්‍රමිතියට, ඔහු කැමති විදිහට හදලා ඉවර කරනවා කියලා. අලුතෙන් ගොඩනඟන දේවමාලිගාව ගැන යෙහෝවා ගොඩක් සතුටු වුණා. ඒ නිසා යුදෙව්වන්ට ඒ ගැන සතුටු නොවී ඉන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. වැදගත් වෙන්නේ අලුත් දේවමාලිගාව කලින් එක තරම් තේජවත්ද නැද්ද කියන එක නෙවෙයි, ඒකේ යෙහෝවා දෙවියන් පිළිගන්න විදිහට නමස්කාරයේ දේවල් සිද්ධ වෙනවාද කියන එකයි. යුදෙව්වන් ඒ දේට අවධානය දීලා යෙහෝවාගේ අනුමැතිය ලැබෙන විදිහට දේවල් කළා නම් නැති වුණ සතුට ආයෙත් ලබාගන්න එයාලට අවස්ථාව තිබුණා.

වෙනස්කම්වලට දිගටම සතුටින් මුහුණ දෙන්න (11 සහ 12 ඡේද බලන්න) *

11. අද ඉන්න දෙවියන්ගේ සෙනඟ මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?

11 වෙනස්කම් වෙද්දී ඒක අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. සමහර සහෝදරයන් අවුරුදු ගාණක් සතුටින් කරපු පැවරුම වෙනස් වෙලා තියෙනවා. තවත් සමහර අයට මහලු වයස නිසා එයාලා ආසාවෙන් කරකර හිටපු පැවරුමක් නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ වෙනස්කම් වෙද්දී අපි ඕනම කෙනෙක් අධෛර්යය වෙන්න පුළුවන්. ‘ඇයි මේ වගේ වෙනස්කමක් වුණේ’ කියලා සමහරවිට තේරුම්ගන්නත් බැරි වෙයි. අනිත් අතට සමහරු ඒකට එකඟ නොවෙන්නත් පුළුවන්. ‘අපරාදේ කලින් වගේම සේවේ කරන් යන්න තිබ්බා නම්’ කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා. ‘ඉස්සර තරම් මට යෙහෝවා වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බෑ’ කියලා දැනෙද්දී අපි නිකම්ම අධෛර්යය වෙනවා. (හිතෝ. 24:10) ඔයාත් ඉන්නේ මේ වගේ තත්වෙක නම් යෙහෝවාට ඔයාගේ උපරිමය දෙන්න සෙකරියාගේ දර්ශනය උදව් වෙන්නේ කොහොමද?

12. වෙනස්කම්වලට හොඳින් මුහුණ දෙන්න සෙකරියාගේ දර්ශනය අපිට උදව් වෙන්නේ කොහොමද?

12 ජීවිතේ වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවියන් දේවල් දිහා බලන විදිහට බලන එක අපිට උදව් වෙනවා. ටිකකට හිතන්න, යෙහෝවා දෙවියන් මේ කාලේ ඔහුගේ අරමුණ වෙනුවෙන් සංවිධානය පාවිච්චි කරලා මොන තරම් දේවල් කරනවාද! ඒ දේවල් ඉටු කරන්න යෙහෝවාත් එක්ක හවුලේ වැඩ කරන්න ලැබුණ එක ඔයාට ලැබුණ විශේෂ අවස්ථාවක් නෙවෙයිද? (1 කොරි. 3:9) ඇත්ත, ඔයාගේ වගකීම්, පැවරුම් සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන දේ වෙනස් වුණත් යෙහෝවාගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ දශමයකින්වත් වෙනස් වෙන්නේ නැහැ. සමහර වෙලාවලට සංවිධානයේ වෙනස්කම් වෙද්දී ඒක ඔයාට පෞද්ගලිකව බලපාන්න පුළුවන් තමයි. ඒ වගේ වෙලාවට ‘ඇයි මෙහෙම වුණේ’ කියලවත් ‘ඉස්සර මං මීට වඩා සතුටින් හිටියා’ කියලවත් හිතහිත දුක් වෙන්න එපා. (දේශ. 7:10) ඒ වෙනුවට ‘මේ වෙනස්කම නිසා මොන වගේ හොඳ දේවල්ද වුණේ’ කියලා හිතන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඒ වගේම ඉස්සර කරපු දේවල් ගැන හිතහිත ඉන්නවා වෙනුවට ඔයාට දැන් මොනවාද කරන්න පුළුවන් කියලා හිතන්න. හැම වෙනස්කමක් දිහාම හරි විදිහට බලන්න සෙකරියාගේ දර්ශනය උදව් වෙනවා. එහෙම කරනවා නම් මොන වෙනස්කම වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව, සතුටින් සේවේ කරන්න ඔයාටත් පුළුවන්.

ටිකක් අමුතුයි කියලා පේන්න තියෙන මඟ පෙන්වීමක් ලැබෙද්දී

13. දේවමාලිගාවේ වැඩ ආයෙත් පටන්ගන්න එක මෝඩ තීරණයක් කියලා සමහර යුදෙව්වන් හිතන්න ඇති. ඒ ඇයි?

13 ඒ වෙද්දී දේවමාලිගාව ගොඩනඟන එක තහනම් කරලයි තිබුණේ. ඒ වගේ තහනමක් මැද වුණත් පෙරමුණ අරන් වැඩ කරපු උත්තම පූජක යේෂුවා (යොෂුවා) සහ ආණ්ඩුකාරයා වුණ සෙරුබාබෙල් යෙරුසලමේ තිබුණ ‘දෙවිගේ ගෘහය නැවත ගොඩනඟන්න පටන්ගත්තා.’ (එස්රා 5:1, 2) පේන විදිහට දෙවියන් පත් කරපු මේ පුරුෂයන් දෙන්නා ගත්ත තීරණය මෝඩයි කියලා සමහර යුදෙව්වන්ට හිතෙන්න ඇති. මොකද මේ වගේ අති දැවැන්ත වැඩක් කවදාවත් සතුරන්ගේ ඇස් වහලා කරන්න බැහැ. මේක දැනගත්තොත් සතුරෝ අනිවාර්යයෙන් එයාලට ප්‍රශ්නයක් ඇති කරනවා කියලත් එයාලා දැනන් හිටියා. එහෙමනම් යොෂුවාටයි, සෙරුබාබෙල්ටයි මේ වගේ තීරණයක් ගන්න පුළුවන් වුණේ කොහොමද? තහනමක් මැද වුණත් නිර්භීතව මේ වැඩේ පටන්ගන්න නම් යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය එයාලට තියෙනවා කියන්න ප්‍රබල සහතිකයක් ඕනෙ වුණා. ඔව්, යෙහෝවා ඒ සහතිකය එයාලට දුන්නා. ඒකයි එයාලට ආයෙත් වැඩ පටන්ගන්න පුළුවන් වුණේ. ඒත් යෙහෝවා දීපු සහතිකය මොකක්ද?

14. සෙකරියා 4:12, 14 කියන විදිහට උත්තම පූජක යොෂුවාටයි, ආණ්ඩුකාර සෙරුබාබෙල්ටයි ලැබුණ සහතිකය මොකක්ද?

14 සෙකරියා 4:12, 14 කියවන්න. සෙකරියාගේ මේ දර්ශනයේ ඔලීව ගස් දෙකෙන් අදහස් කළේ ‘අභිෂේක ලත් තැනැත්තන් දෙන්නෙක්ව.’ ඒ වෙන කවුරුත් නෙවෙයි, යොෂුවා සහ සෙරුබාබෙල්. ඒ වගේම දේවදූතයා කිව්වා සංකේතාත්මක විදිහට ඒ දෙන්නා ‘මුළු පොළොවටම ස්වාමීන් වන දෙවි ළඟ හිටගෙන ඉන්නවා’ කියලා. ඒක මොන තරම් ගෞරවයක්ද! ඒකෙන් පෙන්නුවේ යුදෙව්වන්ට මඟ පෙන්නන්න යෙහෝවා පාවිච්චි කරන්නේ ඒ දෙන්නාව කියලා. ඒ වගේම යෙහෝවා දෙවියන් එයාලව විශ්වාස කරනවා කියලත් ඒකෙන් පැහැදිලි වුණා. ඒ නිසා එයාලා මොන මඟ පෙන්වීම දුන්නත් ඒකට කැමැත්තෙන්ම කීකරු වෙන්න යුදෙව්වන්ට පුළුවන්. මොකද ඒ දෙන්නාට මේ මුළු පොළොවේම අධිපති වන යෙහෝවාගේ අනුමැතිය තිබුණා.

15. බයිබලේ යෙහෝවා දීලා තියෙන මඟ පෙන්වීම් අපි ගොඩක් අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

15 යෙහෝවා දෙවියන් අද අපිට මූලිකවම මඟ පෙන්වන්නේ බයිබලෙන්. ඔහුගේ අනුමැතිය ලැබෙන විදිහට නමස්කාර කරන්න පුළුවන් කොහොමද කියලා ඔහු ඒ ශුද්ධ පොතේ කියලා තියෙනවා. යෙහෝවාම දෙන ඒ මඟ පෙන්වීම්වලට අපේ හිතේ ලොකු අගයක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ඒක කරන්න නම් ඒ මඟ පෙන්වීම්වලට හොඳ අවධානයක් දීලා ඒවා තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනේ. අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ‘මං බයිබලේ කියවද්දී, අපේ ප්‍රකාශනයක් කියවද්දී ටිකක් නැවතිලා ඒකේ තියෙන දේවල් ගැන හොඳට හිතනවාද? බයිබලේ තියෙන “තේරුම්ගන්න අමාරු” ගැඹුරු කාරණා අධ්‍යයනය කරන්න මම උත්සාහ කරනවාද? එහෙමත් නැත්නම් මං බයිබලේ කියවන්නේ ඔහේ උඩින් පල්ලෙන්ද?’ (2 පේතෘ. 3:16) යෙහෝවා අපිට උගන්වන්න හදන්නේ මොකක්ද කියලා අපි කාලේ අරන් හොඳට හිතනවා නම් ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න, අපේ සේවය සාර්ථක කරගන්න අපිට පුළුවන් වෙනවා.—1 තිමෝ. 4:15, 16.

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ලබා දෙන මඟ පෙන්වීම් මුළු හදවතින්ම විශ්වාස කරන්න (16 ඡේදය බලන්න) *

16. ටිකක් අමුතුයි වගේ පේන මඟ පෙන්වීමක් ‘දාසයාගෙන්’ ලැබෙද්දී කැමැත්තෙන්ම කීකරු වෙන්න උදව් වෙන්නේ මොකක්ද?

16 යෙහෝවා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙනුත් අපිට මඟ පෙන්වීම් දෙනවා. (මතෙ. 24:45) ඒත් සමහරවිට දාසයා දෙන මඟ පෙන්වීම් ටිකක් අමුතුයි කියලා අපිට හිතෙන්න පුළුවන්. උදාහරණෙකට ස්වභාවික විපතකදී කරන්න ඕනෙ මොනවාද කියලා දාසයා අපිට මඟ පෙන්වීම් දෙනවා කියලා හිතන්න. ඒත් ඒ වගේ ස්වභාවික විපතක් ඔයා ඉන්න පැත්තට කවදාවත් ඇවිල්ලා නැතුව ඇති. ඒ වගේ වෙලාවට ඔයාට හිතෙයිද ‘ඒ මඟ පෙන්වීම් කිසිම තේරුමක් නැහැනේ’ කියලා? එහෙමත් නැත්නම් ඔයා වසංගතයක් මැද ඉන්නවා කියලා හිතන්න. ඒ වගේ කාලෙක දාසයා දෙන මඟ පෙන්වීම් ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයාට හිතෙනවාද ‘දාසයා නිකම් බොරුවට කලබල වෙලා අපිව ඕනෑවට වඩා පරෙස්සම් කරන්න හදනවා’ කියලා? දාසයාගෙන් ලැබෙන මඟ පෙන්වීම් ප්‍රායෝගික නැහැ කියලා හිතනවා නම් මොකක්ද කරන්න පුළුවන්? යොෂුවා සහ සෙරුබාබෙල් මාර්ගයෙන් යෙහෝවා දීපු මඟ පෙන්වීම්වලට කීකරු වුණ නිසා යුදෙව්වන් ලබපු ප්‍රයෝජන ගැන හිතන්න. ඒ වගේ තවත් වාර්තා ඕන තරම් බයිබලේ තියෙනවා. ඒවා ගැනත් කල්පනා කරලා බලන්න. සමහර මඟ පෙන්වීම් බැලූ බැල්මට මෝඩයි වගේ පෙනුණත් ඒවාට කීකරු වුණ නිසා දෙවියන්ගේ සෙනඟ ජීවිත ගලවගත්ත විදිහ එතකොට ඔයාට පැහැදිලි වෙයි.—විනි. 7:7; 8:10.

සෙකරියාගේ දර්ශනය අමතක කරන්න එපා!

17. පහන් රුක සහ ඔලීව ගස් දෙක ගැන දර්ශනය යුදෙව්වන්ට උදව් වුණේ කොහොමද?

17 සෙකරියා දැක්ක පස්වෙනි දර්ශනය හරිම කෙටි එකක්. හැබැයි දේවමාලිගාවේ වැඩ පටන් අරගෙන පවිත්‍ර නමස්කාරය ආයෙත් පිහිටුවන්න යුදෙව්වන්ට ඕනෙ කරලා තිබුණ පන්නරය, උද්‍යෝගය ඒකෙන් එයාලට ලැබුණා. සෙකරියාගේ දර්ශනය තේරුම් අරන් ඒ අනුව වැඩ කරද්දී එයාලා දැක්කා යෙහෝවා දෙවියන් එයාලත් එක්ක ඉන්නවා, දෙවියන්ගේ උදව් මඟ පෙන්වීම් එයාලට ලැබෙනවා කියලා. ඉතින් දෙවිගේ බලය ලැබුණ නිසා දේවමාලිගාවේ වැඩ ආයෙත් පටන්ගන්න වගේම නැති වුණ සතුට ආයේ ලබාගන්නත් එයාලට පුළුවන් වුණා.—එස්රා 6:16.

18. සෙකරියා දැක්ක දර්ශනය ඔයාගේ ජීවිතේට බලපාන්නේ කොහොමද?

18 පහන් රුක සහ ඔලීව ගස් දෙක ගැන සෙකරියා දැක්ක දර්ශනය ඔයාගේ ජීවිතේටත් ප්‍රබල බලපෑමක් ඇති කරනවා. ඒක උදව් වෙනවා විරුද්ධවාදිකම් එද්දී දිගටම ශක්තිමත්ව ඉන්න. ජීවිතේ වෙනස්කම් වෙද්දී දිගටම සතුට තියාගන්න. ඒ වගේම ටිකක් අමුතුයි කියලා පේන්න තියෙන මඟ පෙන්වීම් ලැබෙද්දී ඒ මඟ පෙන්වීම් විශ්වාස කරලා දිගටම ඒවාට කීකරු වෙන්න. ඔයා හිතපු නැති විදිහේ හැලහැප්පීම්වලට මුහුණ දෙන්න වුණොත් සෙකරියාගේ දර්ශනය මතක් කරගන්න. යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟට උදව් කරන විදිහ සෙකරියා දැක්කා. යෙහෝවා අදත් තමන්ගේ සෙනඟව අත්හැරලා නැහැ. ඔහු එදා වගේම අදත් එයාලට උදව් කරනවා. ඒක දකින්න උත්සාහ කරන්න. ඕනම දේකදී බය නැතුව යෙහෝවාව විශ්වාස කරන්න ඒ දේ ඔයාට උදව් වෙයි. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ මුළු හදවතින්ම යෙහෝවාට නමස්කාර කරන්න. (මතෙ. 22:37) එහෙම කරද්දී දැන් විතරක් නෙවෙයි සදාකාලයටම යෙහෝවාට සතුටින් සේවය කරන්න ඔයාට පුළුවන්.—කොලො. 1:10, 11.

ගීතිකාව 7 යෙහෝවා දෙවි අපේ ශක්තියයි

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් සෙකරියාට හරිම පුදුමාකාර දර්ශන කීපයක් දකින්න සැලැස්සුවා. අධෛර්යය වෙලා හිටපු දෙවියන්ගේ සෙනඟට සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න ඒ දර්ශනවලින් අලුත් පණක් ලැබුණා. අද ඉන්න දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ටත් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න ඒවා උදව් වෙනවා. අපි මේ ලිපියෙන් සෙකරියා දැක්ක පහන් රුක සහ ඔලීව ගස් දෙක ගැන දර්ශනය බලමු. ඒ වගේම අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපි බලමු.

^ 3 ඡේ. මේ සිද්ධියෙන් අවුරුදු ගාණකට පස්සේ නෙහෙමියාගේ කාලෙත් අර්තක්ෂස්තා නමින් තවත් රජ කෙනෙක් හිටියා. එයා යුදෙව්වන්ට කාරුණිකව සැලකුවා.

^ 60 ඡේ. පින්තූරේ අදහස: මහලු වයස සහ අසනීප නිසා මුහුණ දෙන තත්වයන් වෙනස් වුණත් ඒකට අනුව හැඩගැහෙන්න ඕනෙ කියලා සහෝදරයෙක් තේරුම්ගන්නවා.

^ 62 ඡේ. පින්තූරේ අදහස: අතීතයේදී දෙවියන් යොෂුවා සහ සෙරුබාබෙල් මාර්ගයෙන් මඟ පෙන්වීම් දුන්නා. අදත් ඔහු ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ පාවිච්චි කරලා අපිට මඟ පෙන්වීම් දෙනවා. ඒ ගැන සහෝදරියක් කල්පනා කරනවා.