Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 13

සැබෑ නමස්කාරය ඔයාගේ සතුට වැඩි කරයි

සැබෑ නමස්කාරය ඔයාගේ සතුට වැඩි කරයි

“අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය.”—එළි. 4:11.

ගීතිකාව 31 දෙවි සමඟ පා නඟන්න

මේ ලිපියෙන් *

1-2. යෙහෝවා දෙවියන් සතුටු වෙන්නේ අපි මොන විදිහට ඔහුට නමස්කාර කළොත්ද?

 “නමස්කාරය” කියද්දී ඔයාගේ මනසේ ඇඳෙන්නේ මොන වගේ පින්තූරයක්ද? සමහරවිට සහෝදරයෙක් නිදාගන්න කලින් දණ ගහලා යෙහෝවාට යාච්ඤා කරන විදිහ එහෙමත් නැත්නම් පවුලක් හරිම සතුටින් බයිබලේ අධ්‍යයනය කරන විදිහ ඔයාගේ හිතේ ඇඳෙනවා ඇති.

2 ඒ අවස්ථා දෙකේදීම එයාලා කළේ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන එක. හැබැයි එයාලා නමස්කාර කරන විදිහ ගැන යෙහෝවා සතුටු වෙයිද? ඔව්. යෙහෝවාට තියෙන ආදරය, ගෞරවය නිසා එයාලා උපරිමයෙන් ඒ දේවල් කරද්දී යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපි හැමෝම යෙහෝවාට ගොඩක් ආදරෙයි. ඇත්තටම ඔහු තමයි අපේ නමස්කාරය ලබන්න වටින එකම තැනැත්තා. අපි යෙහෝවාට කරන නමස්කාරය හරියට ඔහුට දෙන තෑග්ගක් වගේ. ඒ නිසා අපිට ඕනෙ ඒ තෑග්ග හොඳම විදිහට ඔහුට දෙන්න.

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 අතීතයේදී දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් ඔහුට නමස්කාර කළේ කොහොමද? දෙවියන් පිළිගන්න විදිහට ඔහුට නමස්කාර කරන්න අද අපිට පුළුවන් මොන වගේ විදිවලින්ද? දෙවියන්ට අපේ උපරිමයෙන් නමස්කාර කරද්දී සතුට ලැබෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු. විශේෂයෙන්ම අද දෙවියන්ට කරන නමස්කාරයට අයිති දේවල් අටක් ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ දේවල් ගැන ඉගෙනගද්දී නමස්කාරය පැත්තෙන් තව දියුණු වෙන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න අපිට පුළුවන්.

අතීතයේදී දෙවියන් පිළිගත්ත නමස්කාරය

4. අතීතයේ හිටපු විශ්වාසවන්ත අය නමස්කාර කරපු විදිහෙන් එයාලගේ හිතේ යෙහෝවාට තිබුණ ආදරය සහ ගෞරවය පෙනුණේ කොහොමද?

4 ආබෙල්, නෝවා, ආබ්‍රහම් සහ යෝබ් වගේ අය යෙහෝවා දෙවියන්ට කීකරු වුණා. දිගටම ඔහුට විශ්වාසවන්තව සේවේ කළා. ඒ වගේම දෙවියන් වෙනුවෙන් පූජා ඔප්පු කළා. ඒ දේවල්වලින් එයාලා පෙන්නුවේ එයාලගේ හිතේ යෙහෝවා ගැන කොච්චර ආදරයක්, ගෞරවයක් තියෙනවාද කියලයි. ඇත්ත, එයාලා නමස්කාර කරපු විදිහ ගැන හැම තොරතුරක්ම බයිබලේ නිශ්චිතවම කියලා නැහැ. හැබැයි එයාලා එයාලගේ උපරිමයෙන් යෙහෝවාට නමස්කාර කළා කියලා අපි දන්නවා. ඒ නිසයි එයාලගේ නමස්කාරය යෙහෝවා පිළිගත්තේ. පස්සේ කාලෙක යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට මෝසෙස් මාර්ගයෙන් නීති මාලාවක් දුන්නා. ඒ නීතිවල නිශ්චිතවම සඳහන් වෙලා තිබුණා යෙහෝවා දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරන්නේ කොහොමද කියලා.

5. යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පස්සේ ඔහුගේ අනුගාමිකයන් යෙහෝවාට නමස්කාර කළේ කොහොමද?

5 යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පස්සේ ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ නීතියට යටත් වෙන්න ඕනෙ වුණේ නැහැ. (රෝම 10:4) ඒ වෙනුවට දෙවියන් එයාලට අලුත් නීතියක් හඳුන්වලා දුන්නා. ඒ තමයි “ක්‍රිස්තුස්ගේ නීතිය.” (ගලා. 6:2) ඒත් “ක්‍රිස්තුස්ගේ නීතිය” පිළිපදින්නේ කොහොමද? නීති ලැයිස්තුවක් ලියාගෙන ඒවා කටපාඩම් කරලාද? නැහැ. ඒ වෙනුවට ක්‍රිස්තුස්ගේ නීතිය පිළිපදින කෙනෙක් යේසුස්ගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කරනවා. ඔහු උගන්වපු දේවල් ඒ විදිහටම පිළිපදිනවා. අද අපිත් යේසුස්ගේ අනුගාමිකයන් විදිහට ඔහුව කිට්ටුවෙන් අනුකරණය කරලා යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න අපේ උපරිමය කරනවා. එහෙම කරන එකෙන් “මහත් සහනයක්” ලබන්න අපිට පුළුවන්.—මතෙ. 11:29.

6. මේ ලිපිය අපිට උදව් වෙන්නේ කොහොමද?

6 දෙවියන්ට කරන නමස්කාරයට අයිති වෙන දේවල් ගැන මේ ලිපියෙන් ඉගෙනගද්දී අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්න ගැන හිතන්න. ‘ඒ පැතිවලින් මං කලින්ට වඩා දියුණුවක් ලබලා තියෙනවාද? යෙහෝවාට කරන නමස්කාරය මට මීටත් වඩා අර්ථවත් විදිහට කරන්න පුළුවන්ද?’ ඔයා දැනටමත් ඒ දේවල් හොඳට කරනවා නම් ඒ ගැන සතුටු වෙන්න. ඒත් යෙහෝවාට යාච්ඤා කරලා උදව් ඉල්ලුවොත් ඔයාට ඒ පැතිවලින් තවත් දියුණු වෙන්න පුළුවන්.

අපේ නමස්කාරයට අයිති දේවල්

7. අපි මුළු හදවතින්ම යාච්ඤා කරද්දී යෙහෝවාට ඒ ගැන දැනෙන්නේ කොහොමද?

7 යාච්ඤා කරන එක. අපේ යාච්ඤා බයිබලේ සමාන කරලා තියෙන්නේ මොනවාටද? ඒ, ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ හරිම පරෙස්සමින් පිළියෙල කරලා යෙහෝවාට ඔප්පු කරපු සුවඳ ද්‍රව්‍යවලට. (ගීතා. 141:2) ඒවායෙන් නැඟෙන මිහිරි සුවඳින් යෙහෝවාගේ හිත සතුටු වුණා. ඒ වගේ අපේ හදවතින්ම යෙහෝවාට යාච්ඤා කරද්දී ඒක ඔහුට ගොඩක් “ප්‍රසන්නයි.” (හිතෝ. 15:8; ද්වි. 33:10) අපේ හදවතේ යෙහෝවා ගැන තියෙන ආදරේ, අගය වචනවලට පෙරළද්දී යෙහෝවා ආසාවෙන් ඒ දේවල්වලට ඇහුම්කන් දෙනවා කියලා කිසිම සැකයක් නැහැ. අපි යෙහෝවාට කතා කරද්දී බර වචන පාවිච්චි කරන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට අපේ හිතට දැනෙන ඕනම දෙයක් ඔහුට කියන්න පුළුවන්. මොකද යෙහෝවා කැමතියි අපි අපේ ප්‍රශ්න, අපේ සිතුම් පැතුම්, අපේ ආසාවන් ඔහුට කියනවාට. ඒ නිසා යාච්ඤා කරන්න කලින් පොඩි වෙලාවක් අරන් ‘මොනවාද අද මං යෙහෝවාට කියන්නේ’ කියලා හිතලා බලන එක කොච්චර හොඳයිද! එහෙම කරද්දී අපිටත් පුළුවන් ඉස්තරම්ම විදිහට පිළියෙල කරගත්ත යාච්ඤාව කියන “සුවඳ ද්‍රව්‍ය” යෙහෝවා වෙනුවෙන් ඔප්පු කරන්න.

8. යෙහෝවාට ප්‍රශංසා කරන්න අපිට ලැබෙන අවස්ථා මොනවාද?

8 ප්‍රශංසා කරන එක. (ගීතා. 34:1) යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග ගැන, ඔහු කරලා තියෙන දේවල් ගැන අනිත් අයට කියන එකෙන් අපිට පුළුවන් ඔහුව ප්‍රශංසා කරන්න. හැබැයි ඒක කරන්න නම් මුලින්ම අපේ හිතේ යෙහෝවා ගැන ලොකු අගයක් තියෙන්න ඕනේ. ඉතින් අපි කාලේ අරන් යෙහෝවාගේ ගුණාංග ගැන, ඔහු කරලා තියෙන දේවල් ගැන හොඳට හිතනවා නම් යෙහෝවාට ප්‍රශංසා කරන්න ඕන තරම් හේතු අපිට හම්බ වෙයි. ඒක කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි අපේ දේශනා සේවය. මොකද සේවේ යද්දී “අපේ මුවින් දෙවිට කරන ප්‍රශංසාව, පූජාවක් මෙන් ඔප්පු කරන්න” අපිට පුළුවන්. (හෙබ්‍රෙ. 13:15) අපි බලපු විදිහට යාච්ඤා කරන්න කලින් යෙහෝවාට කියන්නේ මොනවාද කියලා හිතලා බලන එක හරිම වැදගත්. ඒ වගේම තමයි සේවේ යන්න කලිනුත් මිනිස්සුන්ට කියන්නේ මොනවාද කියලා අපි හිතලා බලන්න ඕනේ. ඉතින් අපි දේශනා සේවේ උද්‍යෝගයෙන් හවුල් වෙන හැම වතාවකම ‘ප්‍රශංසාව කියන පූජාව’ අපේ මුළු හදවතින්ම යෙහෝවාට ඔප්පු කරන්න අපිට අවස්ථාව ලැබෙනවා.

9. අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් වගේ නමස්කාර කරන්න එකට රැස් වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද? රැස්වීම් ඔයාට උදව් වුණ විදිහක් ගැන කියන්න.

9 රැස්වීම්වලට සහභාගි වෙන එක. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා “ඔබේ සෙනඟ අතරේ සිටින පුරුෂයන් යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට වසරකට තුන් වරක් යා යුතුයි” කියලා. (ද්වි. 16:16) දෙවියන්ට නමස්කාර කරන්න ඔහු කියපු තැනට යන්න නම් එයාලට එයාලගේ වතුපිටි, ගෙවල් දොරවල් දාලා යන්න සිද්ධ වුණා. ඒගොල්ලෝ ආයෙත් ගෙදර එන කල් ඒ දේවල් බලාගන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. හැබැයි යෙහෝවා දෙවියන් එයාලට මෙහෙම පොරොන්දු වුණා. “ඔබේ දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීමට ඔබේ දේශයෙන් පිටත්ව යන විට කිසි මිනිසෙකු ඔබේ දේශය අයිති කරගැනීමට උත්සාහ නොකරන්නේය.” (නික්. 34:24) යෙහෝවාට ගරුබිය දක්වපු, ඔහු ගැන විශ්වාසය තියපු ඊශ්‍රායෙල්වරු නොවරදවාම ඔහු කිව්ව ආඥාවට කීකරු වුණා. එහෙම කරපු එකෙන් එයාලට ගොඩක් ආශීර්වාද ලැබුණා. ඒ මොනවාද? දෙවියන් දීලා තිබුණ නීතිය හොඳින් තේරුම්ගන්න එයාලට පුළුවන් වුණා. ඒ වගේම යෙහෝවාගේ යහපත්කම ගැන ගැඹුරින් හිතන්න ඒක උදව් වුණා. ඒ විතරක් නෙවෙයි අනිත් අයව ආශ්‍රය කරන්නත් එයාලට අවස්ථාව ලැබුණා. (ද්වි. 16:15) අද අපිටත් රැස්වීම්වලට සහභාගි වෙන්න සමහරවිට කැප කිරීම් කරන්න සිද්ධ වෙයි. හැබැයි එහෙම කරද්දී ඊශ්‍රායෙල්වරු අද්දැක්ක ආශීර්වාදම අද්දකින්න අපිටත් පුළුවන්. අනිත් අතට ඔයා රැස්වීම්වලට හොඳට සූදානම් වෙලා කෙටි, ලස්සන උත්තර දෙද්දී ඒකෙන් යෙහෝවා දෙවියන් කොච්චර සතුටු වෙයිද!

10. ගීතිකා කියන එක අපේ නමස්කාරයේ වැදගත් අංගයක් කියන්නේ ඇයි?

10 ගීතිකා කියන එක. (ගීතා. 28:7) ඊශ්‍රායෙල්වරු දෙවියන්ට ප්‍රශංසා ගීතිකා කියන එක නමස්කාරයේ වැදගත් අංගයක් විදිහට සැලකුවා. උදාහරණෙකට දාවිත් දේවමාලිගාවේ ගීතිකා කියන්න ලෙවීවරු 288දෙනෙක්වම පත් කළා. (1 ලේක. 25:1, 6-8) අද අපිටත් අවස්ථාව තියෙනවා අපේ හිතේ යෙහෝවාට තියෙන ආදරේ ප්‍රශංසා ගීතිකාවලින් ඔහුට කියන්න. හැබැයි ගීතිකා කියන්න අපේ කටහඬ මිහිරි වෙන්නම ඕනෙ නැහැ. උදාහරණෙකට මෙහෙම හිතන්න. අපි කතා කරද්දීත් ‘අපේ අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිද්ධ වෙනවා.’ (යාකො. 3:2) හැබැයි එහෙමයි කියලා අපි රැස්වීම්වලදී, සේවේදී කතා නොකර ඉන්නේ නැහැනේ. ඒ වගේ තමයි ‘මගේ කටහඬ ලස්සන නෑ. අනික මට තාලෙට ගීතිකා කියාගන්නත් බෑ’ කියලා හිතලා යෙහෝවාට ප්‍රශංසා ගීතිකා නොකියා ඉන්න ඒක හේතුවක් නෙවෙයි.

11. ගීතාවලිය 48:13 කියන විදිහට පවුලේ නමස්කාරයට වෙලාව වෙන් කරන එක වැදගත් ඇයි?

11 බයිබලය අධ්‍යයනය කරන එක සහ දෙවියන් ගැන දරුවන්ට උගන්වන එක. යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට සබත දුන්නේ එදිනෙදා වැඩවලින් විවේක අරන් ඒ කාලය ඔහුත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න පාවිච්චි කරන්නයි. (නික්. 31:16, 17) විශ්වාසවන්ත අය යෙහෝවා ගැනත් ඔහු එයාලා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැනත් දරුවන්ට කියලා දෙන්නත් ඒ කාලය පාවිච්චි කළා. මොකක්ද පාඩම? අද අපිත් බයිබලේ අධ්‍යයනය කරන්න, යෙහෝවාට තව තවත් කිට්ටු වෙන්න වෙලාව වෙන් කරන්න ඕනේ. (ගීතා. 73:28) මොකද ඒකත් අපි යෙහෝවාට නමස්කාර කරන විදිහක්. ඒ වගේම පවුලේ හැමෝම එකට එකතු වෙලා බයිබලේ අධ්‍යයනය කරන එකෙන් ඊළඟ පරම්පරාවටත් ඒ කියන්නේ අපේ දරුවන්ටත් අවස්ථා ලැබෙනවා අපේ ආදරණීය දෙවි පියාණන් වන යෙහෝවාට තවත් ළං වෙන්න.—ගීතාවලිය 48:13 කියවන්න.

12. ශුද්ධ කූඩාරම හදන වැඩවලට හවුල් වුණ අය ගැන යෙහෝවාට හැඟුණේ කොහොමද?

12 නමස්කාරය සඳහා රැස් වෙන ස්ථාන ගොඩනඟන එක සහ නඩත්තු කරන එක. බයිබලේ කියනවා ශුද්ධ කූඩාරම සහ ඒකේ පාවිච්චි කරපු දේවල් හදපු අය කළේ ‘පරිශුද්ධ සේවයක්’ කියලා. (නික්. 36:1, 4) අදත් සංවිධානයේ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන අය කරන්නේ පරිශුද්ධ සේවයක්. සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ඒ වැඩ වෙනුවෙන් එයාලගේ කාලය කැමැත්තෙන්ම කැප කරනවා. වෙහෙස මහන්සිය නොබලා ඒ වැඩවලට හවුල් වෙන ඒ වගේ අය ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නේද? එයාලා ගොඩනැඟීමේ වැඩ කරන ගමන් උද්‍යෝගයෙන් සේවෙත් හවුල් වෙනවා. සමහරු පුරෝගාමි සේවේ කරන්නත් කැමතියි. ඉතින් සුදුසුකම් තියෙනවා නම් ඒ වගේ සහෝදර සහෝදරියන්ව ස්ථාවර පුරෝගාමීන් විදිහට පත් කරන්න වැඩිමහල්ලන් අදිමදි කරන්නේ නැහැ. ඇත්ත, අපි හැමෝටම බැහැ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න. හැබැයි අපේ නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදුව තියාගන්න එකෙන්, ඒවා හොඳින් නඩත්තු කරන එකෙන් යෙහෝවාව ප්‍රශංසාවට පත් කරන්න අපි ඕන කෙනෙක්ට පුළුවන්.

13. සම්මාදම් කරන එක ගැන අපි හිතන්න ඕනෙ කොහොමද?

13 සම්මාදම් කරන එක. අතීතයේදී ඊශ්‍රායෙල්වරු දෙවියන්ට නමස්කාර කරන්න එද්දී හිස් අතින් ආවේ නැහැ. (ද්වි. 16:16) ඒ වෙනුවට එයාලට තියෙන විදිහට එයාලා යෙහෝවා දෙවියන් වෙනුවෙන් තෑගි ගෙනාවා. ඒකෙන් යෙහෝවා ගැන, නමස්කාර කරන්න ඔහු ඇති කරලා තියෙන සැලැස්ම ගැන එයාලගේ හිතේ තියෙන අගය පෙන්නුවා. ඊශ්‍රායෙල්වරුන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි සභාවේ වියදම් වෙනුවෙන් සහ ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් සතුටු සිතින් සම්මාදම් කරන එක. පාවුල් ඒ ගැන මෙහෙම කිව්වා. “සුදුසුම දේ වන්නේ පුද්ගලයෙකු සිය කැමැත්තෙන් යමක් දීමයි. එලෙසම කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ තමාට නැති දේ දීම නොව තමාට තිබෙන දෙයින් දීමයි.” (2 කොරි. 8:4, 12) අපිට තියෙන්නේ පුංචි දෙයක් වුණත් අපි ඒක කැමැත්තෙන්ම යෙහෝවා වෙනුවෙන් දෙනවා නම් යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.—මාක් 12:42-44; 2 කොරි. 9:7.

14. අවශ්‍යතාවන් තියෙන සහෝදරයන්ට උදව් කරද්දී හිතෝපදේශ 19:17 කියන විදිහට යෙහෝවාට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

14 සහෝදර සහෝදරියන්ට උදව් කරන එක. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා එයාලා දිළිඳු අයට අවශ්‍ය දේවල් ලබා දෙද්දී යෙහෝවා එයාලට ගොඩක් ආශීර්වාද කරනවා කියලා. (ද්වි. 15:7, 10) ඔව්, අදත් අපි අවශ්‍යතාව තියෙන අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරද්දී යෙහෝවා ඒක සලකන්නේ ඔහු වෙනුවෙන් කරන දෙයක් විදිහට. (හිතෝපදේශ 19:17 කියවන්න.) උදාහරණෙකට පාවුල් හිරේ හිටපු කාලේ ෆිලිප්පි සභාවේ සහෝදරයන් එයාට තෑග්ගක් එව්වා. ඒක “දෙවිට මිහිරි සුවඳක් හා ඔහුට ප්‍රසන්න මෙන්ම පිළිගත හැකි පූජාවක් හා සමානයි” කියලා පාවුල් ඒ වෙලාවේ කිව්වා. (ෆිලි. 4:18) ඔයාගේ සභාවෙත් අවශ්‍යතාවන් තියෙන සහෝදරයන් ඉන්නවාද? එහෙමනම් එයාලට උදව් කරන්න ඔයාට පුළුවන් මොන පැතිවලින්ද කියලා හොඳට හිතලා බලන්න. අනිත් අය වෙනුවෙන් ඔයාගේ කාලය, ශක්තිය, හැකියාවන් සහ ඔයාට තියෙන දේවල් දෙද්දී ඒ ගැන යෙහෝවා ගොඩක් සතුටු වෙනවා. යෙහෝවා ඒක සලකන්නේ ඔහුට කරන නමස්කාරයේ වැදගත් අංගයක් විදිහටයි.—යාකො. 1:27.

සතුට වැඩි කරන සැබෑ නමස්කාරය

15. යෙහෝවාට කරන නමස්කාර වෙනුවෙන් අපේ කාලය, ශක්තිය කැප කරන එක අපිට බරක් කියලා දැනෙන්නේ නැත්තේ ඇයි?

15 යෙහෝවාට මුළු හදවතින්ම නමස්කාර කරන්න නම් අපේ කාලය, ශක්තිය ඒ වෙනුවෙන් කැප කරන්න වෙනවා. හැබැයි ඒක අපේ හිතට බරක් නෙවෙයි. (1 යොහ. 5:3) මොකද අපි යෙහෝවාට නමස්කාර කරන්නේ ඔහුට ගොඩක් ආදරේ නිසයි. ඒක තේරුම්ගන්න මේ උදාහරණේ ගැන හිතන්න. පුංචි දුවෙක්ට ඕනෙ වෙනවා එයාගේ තාත්තාට ලස්සන චිත්‍රයක් ඇඳලා දෙන්න. ඉතින් එයා පැය ගාණක් තිස්සේ මකමකා චිත්‍රය ඇඳලා, ලස්සනට පාට කරලා හරිම ආසාවෙන් තාත්තාට ගිහිල්ලා දෙනවා. ඒක අඳින්න පැය ගාණක් ගියත් ඒක එයාට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද එයා තාත්තාට ගොඩක් ආදරෙයි. එයාට ඕනෙ තාත්තා වෙනුවෙන් හොඳම දේ දෙන්න. අපිත් හරියට ඒ පුංචි දුව වගේ නේද? අපිත් ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට ගොඩක් ආදරෙයි. කොච්චර මහන්සි වෙන්න වුණත් කොච්චර කාලේ ගියත් අපිටත් ඕනෙ හොඳම දේ දීලා ඔහුගේ හිත සතුටු කරන්න.

16. හෙබ්‍රෙව් 6:10 කියන විදිහට යෙහෝවාව සතුටු කරන්න අපි අපේ පැත්තෙන් මහන්සි වෙද්දී ඔහුට ඒ ගැන දැනෙන්නේ කොහොමද?

16 ආදරණීය දෙමාපියන් තේරුම්ගන්නවා එයාලගේ දරුවන් හැමෝම එක වගේ නැහැ කියලා. මොකද එයාලගේ සීමාවන් එකිනෙකට වෙනස්. ඒ නිසා දරුවන් තෑගි දෙද්දී ඒ හැමෝම එකම විදිහට දෙයි කියලා එයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. යෙහෝවාත් ඒ වගේ. අපිට කරන්න පුළුවන් මොනවාද කරන්න බැරි මොනවාද කියලා ඔහු හොඳින්ම දන්නවා. සමහරවිට ඔයාට හිතෙනවා ඇති ඔයාට අනිත් අයට වඩා වැඩියෙන් යෙහෝවා දෙවියන් වෙනුවෙන් දේවල් කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඔයාගේ වයස, අසනීප, පවුලේ වගකීම් නිසා අනිත් අය තරම් දේවල් කරගන්න බැහැ කියලා හිතෙනවත් ඇති. හැබැයි ඒ වගේ වෙලාවට අධෛර්යය වෙන්න එපා. (ගලා. 6:4) මොකද ඔයා යෙහෝවා වෙනුවෙන් කරන පුංචි දෙයක් වුණත් ඔහු කවදාවත් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙව් 6:10 කියවන්න.) ඔයා හොඳ චේතනාවෙන් ඔයාගේ උපරිමය යෙහෝවා දෙවියන් වෙනුවෙන් දෙද්දී ඔහු ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. යෙහෝවා වෙනුවෙන් ඔයා කරන්න ආසාවෙන් ඉන්නේ මොනවාද කියලා ඔහු දැනටමත් දන්නවා කියන දේ මතක තියාගන්න. යෙහෝවාට ඕනෙ අපිට පුළුවන් දේ කරලා අපි ඔහුට සතුටින් නමස්කාර කරනවා දකින්නයි.

17. (අ) අපේ නමස්කාරයට ඇතුළත් සමහර දේවල් අපිට කරගන්න බැහැ කියලා හිතෙනවා නම් මොකද කරන්නේ? (ආ) “ ඔයාගේ සතුට වැඩි කරගන්න” කියන කොටුවේ පෙන්නලා තියෙන දෙයක් කරලා ඔයා ප්‍රයෝජන ලබපු විදිහ ගැන කියන්න.

17 නමස්කාරයේ සමහර අංගවලට හවුල් වෙන එක අමාරුයි කියලා ඔයාට හිතෙනවා නම් මොකද කරන්නේ? උදාහරණෙකට, ඔයාට හිතෙනවා පෞද්ගලික අධ්‍යයනය කරන්න, සේවේ හවුල් වෙන්න ඔයාට අමාරුයි කියලා. කොහොමද ඒකෙන් ගොඩ එන්නේ? ඒක දැනගන්න මෙහෙම හිතන්න. ඔයා ආසයි ගිටාර් ගහන්න. හැබැයි ඔයා ගිටාර් ගහන්න දන්නේ නැහැ. කොච්චර උත්සාහ කළත් ඔයාට ඒක කරගන්න අමාරුයි. ඔයා ගිටාර් එක අතට ගන්නේ ඉඳලා හිටලා නම්, ගහන්න ආස හිතුණ වෙලාවට විතරක් නම් කවදාවත් ඒක ඉගෙනගන්න පුළුවන් වෙයිද? ඒකට ඔයා හැම දවසකම කාලේ වෙන් කරලා අමාරුවෙන් හරි ඒක පුරුදු වෙන්න ඕනේ. මුලදී එක දිගට ලොකු වෙලාවක් පුහුණුවීම් කරන්න බැරි වෙයි. හැබැයි යද්දී යද්දී ඒකට දෙන කාලේ ටික ටික වැඩි කරන්න ඔයාට පුළුවන් වෙයි. එතකොට කාලයක් යද්දී ඔයා දක්ෂ ගිටාර් වාදකයෙක් වෙයි. එතකොට ඔයාගේ හිතට කොච්චර සතුටක් දැනෙයිද! නමස්කාරයට සම්බන්ධ සමහර දේවල් කරගන්න අමාරුයි කියලා හිතෙද්දිත් ඒ වගේම දෙයක් කරලා බැලුවොත් නරකද?

18. ජීවිතේ අපිට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද? එහෙම කරන එකෙන් අපිට ලැබෙන ආශීර්වාද මොනවාද?

18 මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි එක හිතින්ම යෙහෝවාට නමස්කාර කරන එක. එහෙම කරන එකෙන් සතුටින් පිරුණු, අර්ථවත් ජීවිතයක් ගත කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතයේදීත් සදහටම යෙහෝවාට නමස්කාර කරන්න පුළුවන් වෙනවා. (හිතෝ. 10:22) දෙවියන්ට නමස්කාර කරන සෙනඟ විදිහට දැනුත් අපේ හිතට ලොකු සහනයක් දැනෙනවා. මොකද ප්‍රශ්න ගැටලු එද්දී යෙහෝවා අපිව තනි කරන්නේ නැහැ. ඔහු අපි ළඟින්ම ඉඳලා අපිට උදව් කරනවා කියලා අපි දන්නවා. (යෙසා. 41:9, 10) ඒ දේවල් ගැන කල්පනා කරද්දී යෙහෝවාට අපේ නමස්කාරය දෙන්න අපිට මොන තරම් හේතු තියෙනවාද! ඇත්තටම අපේ “සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලබන්න වටින” එකම තැනැත්තා යෙහෝවා දෙවියන් විතරයි.—එළි. 4:11.

ගීතිකාව 24 එන්න දෙවිගේ කන්දට

^ 5 ඡේ. මේ මුළු විශ්වයේම නිර්මාතෘ විදිහට අපේ නමස්කාරය ලබන්න වටින එකම තැනැත්තා යෙහෝවායි. අපි ඔහුගේ ආඥාවලට කීකරු වෙනවා නම්, ඔහු දීලා තියෙන ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙනවා නම් යෙහෝවා අපේ නමස්කාරය පිළිගන්නවා. දෙවියන්ට කරන නමස්කාරයට අයිති වෙන දේවල් අටක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. පුළුවන් උපරිමයෙන් ඒවාට හවුල් වෙන එකෙන් අපේ ජීවිතවලට සතුට ලැබෙන්නේ කොහොමද කියලත් අපි බලනවා.