Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 14

වැඩිමහල්ලෙනි, දිගටම පාවුල්ව ආදර්ශයට ගන්න!

වැඩිමහල්ලෙනි, දිගටම පාවුල්ව ආදර්ශයට ගන්න!

“මාව අනුකරණය කරන්න.”—1 කොරි. 11:1.

ගීතිකාව 99 දස දහස් ගණන් සොහොයුරන්

මේ ලිපියෙන් *

1-2. පාවුල්ගේ ආදර්ශය වැඩිමහල්ලන්ට උදව් වෙන්නේ කොහොමද?

 පාවුල් කියන්නේ සහෝදරයන්ට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. රැයක් දවාලක් බලන්නේ නැතුව සහෝදරයන්ට උදව් කරන්න එයා ගොඩක් වෙහෙසුණා. (ක්‍රියා 20:31) ඉතින් සහෝදරයෝ පාවුල්ට ආදරේ කරපු එක අහන්නත් දෙයක්ද! එක අවස්ථාවකදී එෆීසයේ හිටපු වැඩිමහල්ලන්ට දැනගන්න ලැබුණා එයාලට ආයේ කවදාවත් පාවුල්ව දකින්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සභාවේ හිටපු ‘හැමෝම හඬා වැලපුණා.’ (ක්‍රියා 20:37) අදත් අපේ ආදරණීය වැඩිමහල්ලන් සහෝදරයන් වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා වැඩ කරනවා. (ෆිලි. 2:16, 17) හැබැයි එයාලට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. ඒ අභියෝග ජය ගන්න එයාලට උදව් වෙන්නේ මොනවාද?

2 වෙහෙස මහන්සි නොබලා සේවය කරන ආදරණීය වැඩිමහල්ලන්ටත් පුළුවන් පාවුල්ව ආදර්ශයට ගන්න. (1 කොරි. 11:1) පාවුල් කියන්නේ විශේෂ බලයක් තිබුණ අමුතුම කෙනෙක් නෙවෙයි. එයාත් අපි වගේම පාපය උරුම කරගත්ත සාමාන්‍ය කෙනෙක්. අපිට වගේම එයාටත් හරි දේ කරන්න සටන් කරන්න වුණා. (රෝම 7:18-20) ඒ විතරක් නෙවෙයි හුඟක් අභියෝගවලට මුහුණ දෙන්නත් වුණා. හැබැයි ඒ මොන දේ වුණත් පාවුල් එයාගේ සතුට නැති කරගත්තේ නැහැ. ඉතින් වැඩිමහල්ලන්ටත් පුළුවන් අභියෝග තිබුණත් පාවුල් වගේ දිගටම සතුටින් යෙහෝවාට සේවය කරන්න. එයාලට ඒක කරන්න පුළුවන් කොහොමද කියලා දැන් අපි බලමු.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? ඒ තොරතුරු අපිට උදව් වෙන්නේ කොහොමද?

3 මේ ලිපියෙන් අපි බලන්නේ වැඩිමහල්ලන්ට මුහුණ දෙන්න වෙන අභියෝග 4ක් ගැනයි. (1) අනිත් වගකීම් එක්ක සේවයත් සමබරව කරන්න පුළුවන් කොහොමද? (2) සහෝදරයන් ගැන සැලකිලිමත්, ආදරණීය එඬේරෙක් වෙන්නේ කොහොමද? (3) තමන්ගේම අඩුපාඩුකම් එක්ක සටන් කරන්න පුළුවන් කොහොමද? (4) අනිත් අයගේ අඩුපාඩුකම් එක්ක වැඩ කරන්නේ කොහොමද? පාවුල් මේ අභියෝගවලින් ගොඩ ආපු විදිහ ගැනත් පාවුල්ගේ ආදර්ශයෙන් වැඩිමහල්ලන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියන එක ගැනත් අපි මේ ලිපියෙන් බලනවා.

අනිත් වගකීම් එක්ක සේවයත් සමබරව කරන්න

4. දේශනා සේවේ පෙරමුණ අරන් වැඩ කරන එක සමහර වෙලාවට වැඩිමහල්ලන්ට ලේසි නැත්තේ ඇයි?

4 ඒක අභියෝගයක් වෙන්නේ ඇයි? දේශනා සේවේ පෙරමුණ අරන් වැඩ කරනවාට අමතරව වැඩිමහල්ලන්ට සභාවෙත් දහසක් වැඩ තියෙනවා. උදාහරණෙකට වැඩිමහල්ලන් සති මැද රැස්වීමේ සභාපති විදිහට වැඩ කරනවා, සභා බයිබල් පාඩම මෙහෙයවනවා. ඊට අමතරව එයාලා දේශනත් දෙනවා. ඒ වගේම සහායක සේවකයන්ව පුහුණු කරන්නත් සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට නිතරම දිරිගැන්වීම් දෙන්නත් එයාලට ලොකු වගකීමක් තියෙනවා. (1 පේතෘ. 5:2) ඒ දේවල් කරනවාට අමතරව සමහර වැඩිමහල්ලන් නමස්කාරය සඳහා රැස් වෙන ස්ථාන ගොඩනඟන සහ නඩත්තු කරන වැඩවලටත් හවුල් වෙනවා. හැබැයි ඒ මොන දේ කළත් අනිත් ප්‍රචාරකයන්ට වගේම වැඩිමහල්ලන්ටත් තියෙන මූලිකම වගකීම තමයි ශුභාරංචිය දේශනා කරන එක.—මතෙ. 28:19, 20.

5. ශුභාරංචිය දේශනා කරන එක ගැන පාවුල් අපිට හොඳ ආදර්ශයක් තිබ්බේ කොහොමද?

5 පාවුල්ගේ ආදර්ශය. ජීවිතේ සාර්ථකත්වයට රහස ෆිලිප්පි 1:10 පාවුල්ම මෙහෙම කිව්වා. “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.” යෙහෝවා දෙවියන් පාවුල්ට දේශනා කරන්න විශේෂ පැවරුමක් භාර දීලා තිබුණා. ෆිලිප්පිවරුන්ට කිව්වා වගේම එයා ජීවිතේ වැදගත්ම දේ විදිහට සැලකුවේ ඒ සේවයයි. ඒකයි එයාට පුළුවන් වුණේ “ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට” ගිහිල්ලා හැමෝටම ශුභාරංචිය කියන්න. (ක්‍රියා 20:20) ‘හැම සතියෙම මං මේ දවසේ, මේ වෙලාවට විතරක් සේවේ කරනවා’ කියලා පාවුල් කවදාවත් හිතුවේ නැහැ. ඒ වෙනුවට එයා ලැබෙන හැම අවස්ථාවකදීම අනිත් අයට දේශනා කළා. උදාහරණෙකට එක දවසක් එයා එයාගේ යාළුවෝ එන කල් ඇතන්ස්වල බලාගෙන ඉන්න අතරතුරේදී එතන හිටපු සමාජයේ යම් පිළිගැනීමක් තිබුණ අයට දේශනා කළා. ප්‍රතිඵලයක් විදිහට එයාලගෙන් සමහරදෙනෙක් සත්‍යය පිළිගත්තා. (ක්‍රියා 17:16, 17, 34) ඒ විතරක් නෙවෙයි “සිරභාරයේ” ඉද්දිත් පාවුල් මුණගැහුණ හැමෝටම ශුභාරංචිය කිව්වා.—ෆිලි. 1:13, 14; ක්‍රියා 28:16-24.

6. පාවුල් අනිත් අයව පුහුණු කළේ මොනවාටද?

6 පාවුල් එයාට තිබුණ කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කළා. එයා මිෂනාරි ගමන් යද්දී අනිත් අයවත් ඒකට හවුල් කරගත්තා. උදාහරණයකට පළවෙනි මිෂනාරි ගමනේදී එයා මාක්වත් දෙවෙනි මිෂනාරි ගමනේදී තිමෝතිවත් එක්කගෙන ගියා. (ක්‍රියා 12:25; 16:1-4) සභාවක වැඩ සංවිධානය කරන්න, සහෝදරයන්ව දිරිගන්වන්න, දක්ෂ ගුරුවරුන් වෙන්න ඒ ගමන අතරතුරේදී පාවුල් එයාලව පුහුණු කරන්න ඇති.—1 කොරි. 4:17.

මුණගැහෙන හැම කෙනෙක්ටම පාවුල් වගේ සාක්ෂි දරන්න සූදානමින් ඉන්න (7 ඡේදය බලන්න) *

7. එෆීස 6:14, 15 පාවුල් කියපු දේ කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

7 පාඩම. පාවුල්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන් ඕනම වෙලාවක ශුභාරංචිය කියන්න සූදානම්. (එෆීස 6:14, 15 කියවන්න.) උදාහරණෙකට එකට වැඩ කරන අයට, කඩේට යද්දී හම්බ වෙන අයට එයාලා සාක්ෂි දරනවා. නැත්නම් ඉදි කිරීමේ වැඩවලට හවුල් වෙද්දී එයාලා අසල්වැසියන්ට, බඩු විකුණන සහ සේවාවන් සපයන අයට සාක්ෂි දරනවා. වැඩිමහල්ලන්ට පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන් තව පැත්තක් මොකක්ද? එයාලා සේවේ හවුල් වෙද්දී අනිත් අයව, විශේෂයෙන්ම සහායක සේවකයන්ව පුහුණු කරන්න ඒ අවස්ථාව පාවිච්චි කරන්න ඕනේ.

8. සමහර වෙලාවට වැඩිමහල්ලන්ට කරන්න වෙන්නේ මොකක්ද?

8 සභාවේ සහ චාරිකාවේ පැවරුම් නිසා වැඩිමහල්ලන් කවදාවත් සේවේ අතපසු කරන්න නරකයි. ඒ නිසා පැවරුමක් භාරගන්න කලින් ඒක භාරගත්තොත් වඩා වැදගත් දේවල් අතපසු වෙයිද කියලා යාච්ඤා කරලා හොඳට හිතලා බලන්න ඕනේ. උදාහරණෙකට ඒ පැවරුම භාරගත්තොත් හැම සතියකම පවුලේ නමස්කාරය කරන්න, සේවේ හැම අංගයකම උද්‍යෝගයෙන් හවුල් වෙන්න, දරුවන්ව සේවෙට පුහුණු කරන්න බැරි වෙයිද? ඒ පැති ගැන හිතලා බැලුවාට පස්සේ වැඩිමහල්ලෙක් සමහර පැවරුම් භාරගන්න බැහැ කියලා කෙළින්ම කියන්න තීරණය කරන්න ඉඩ තියෙනවා. එහෙම කියන්න හිත දුන්නේ නැතත් වැඩිමහල්ලෙක් අමතර පැවරුම් භාරගන්නේ නැතුව ඉන්නේ හැම දෙයක්ම සමබරව කරන්න ඕනෙ නිසයි කියලා යෙහෝවා දෙවියන් තේරුම්ගන්නවා.

ආදරණීය එඬේරෙක් වෙන්න

9. සමහර වැඩිමහල්ලන් මුහුණ දෙන අභියෝගය මොකක්ද?

9 ඒක අභියෝගයක් වෙන්නේ ඇයි? අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ නිසා දෙවියන්ගේ සෙනඟ ගොඩක් අභියෝගවලට මුහුණ දෙනවා. ඒ නිසා වෙනදාටත් වඩා වැඩියෙන් එයාලට දිරිගැන්වීම්, උදව්, සහනය ඕනේ. සමහර අයට වැරදි දේවල් නොකර ඉන්න මඟ පෙන්වීමුත් ඕනේ. (1 තෙස. 5:14) ඇත්ත, වැඩිමහල්ලන්ට බැහැ සහෝදරයන් මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම අයින් කරලා දාන්න. හැබැයි ආදරණීය එඬේරුන් විදිහට සභාවේ අයට අවශ්‍ය දිරිගැන්වීම්, ආරක්ෂාව ලබා දෙයි කියලා යෙහෝවා එයාලගෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් දහසකුත් වැඩ අතරේ බැටළුවන්ට අවශ්‍ය උදව් ලබා දෙන්න එයාලා කාලය හොයාගන්නේ කොහොමද?

අනිත් අයව ශක්තිමත් කරන්න, එයාලව අගය කරන්න සූදානමින් ඉන්න (10 සහ 12 ඡේද බලන්න) *

10. 1 තෙසලෝනික 2:7 කියන විදිහට දෙවියන්ගේ සෙනඟව රැකබලා ගන්න පාවුල් කළේ මොනවාද?

10 පාවුල්ගේ ආදර්ශය. සහෝදර සහෝදරියන්ට උදව් කරන්න, එයාලව දිරිගන්වන්න පාවුල්ට ලොකු ඕනකමක් තිබ්බා. වැඩිමහල්ලන්ටත් පුළුවන් පාවුල්ව ආදර්ශයට අරන් සහෝදරයන්ට ආදරයෙන්, කරුණාවෙන් සලකන්න. (1 තෙසලෝනික 2:7 කියවන්න.) පාවුල් හැම වෙලේම සහෝදරයන්ට මතක් කළා එයා එයාලට ගොඩක් ආදරෙයි කියලා. ඒ වගේම යෙහෝවාත් එයාලට ආදරෙයි කියලා. (2 කොරි. 2:4; එෆී. 2:4, 5) පාවුල් සහෝදරයන්ව සැලකුවේ එයාගේ යාළුවෝ විදිහට. ඒ නිසා එයා සහෝදරයන් එක්ක නිතරම කාලේ ගත කළා. ඒ වගේම එයා වධ වුණ දේවල් ගැන, එයාගේ දුර්වලකම් ගැන හංගන්නේ නැතුව පාවුල් සහෝදරයන්ට කිව්වා. (2 කොරි. 7:5; 1 තිමෝ. 1:15) හැබැයි කොච්චර ප්‍රශ්න තිබුණත් පාවුල්ට හැම තිස්සේම ඕනෙ වුණේ සහෝදරයන්ට උදව් කරන්න.

11. පාවුල් සහෝදර සහෝදරියන්ට උපදෙස් දුන්නේ ඇයි?

11 සහෝදරයන්ට උපදෙස් දෙන්නත් පාවුල්ට සිද්ධ වුණා. හැබැයි එයා එහෙම කළේ සහෝදරයන් ගැන ඇති වුණ කේන්තිය නිසා නෙවෙයි. ඒ වෙනුවට එයාලා ගැන තිබුණ ආදරය නිසයි. දෙවියන් එක්ක එයාලට තිබුණ බැඳීම ආරක්ෂා කරන්න ඕනෙ වුණ නිසයි. උපදෙස් දෙද්දී පාවුල් ඒවා දුන්නේ අනිත් අයට තේරුම්ගන්න ලේසි වෙන විදිහට. එයාලා ඒ උපදෙස් පිළි අරන් ජීවිතේ වෙනස්කම් කරගන්නවා දකින්නයි පාවුල්ට ඕනෙ වුණේ. උදාහරණෙකට කොරින්තියේ හිටපු අයට පාවුල් ලියපු ලියුම ගැන ටිකක් බලමු. ඒ ලියුමේ පාවුල් එයාලට ටිකක් තදින් උපදෙස් දීලා තිබුණා. හැබැයි ලියුම යැව්වාට පස්සේ කොරින්තියේ හිටපු අය ඒ උපදෙස් කොහොම භාරගනියිද කියලා පාවුල් වධ වුණා. ඒ නිසයි එයා තීතස්ව එහෙට යැව්වේ. කොරින්තියේ හිටපු අය ඒ උපදෙස් පිළිගත්තා කියලා දැනගත්තාම පාවුල්ගේ හිතට දැනුණේ පුදුම සතුටක්.—2 කොරි. 7:6, 7.

12. සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

12 පාඩම. වැඩිමහල්ලන්ටත් පුළුවන් පාවුල්ව ආදර්ශයට අරන් සහෝදරයන් එක්ක කාලේ ගත කරන්න. රැස්වීමට කලින්ම ගියොත් සහෝදරයන් එක්ක ටිකක් වෙලාව අරන් කතා කරන්න පුළුවන්. ටිකක් හිතන්න, කෙනෙක්ව දිරිගන්වන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ, ඒකට විනාඩි දෙක තුනකුත් ඇති. (රෝම 1:12; එෆී. 5:16) වැඩිමහල්ලන් බයිබලේ පාවිච්චි කරලා සහෝදරයන්ව ශක්තිමත් කරන්න, දෙවියන් එයාලට කොච්චර ආදරෙයිද කියලා මතක් කරන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි සහෝදරයන් ගැන එයාලගේ හිතේ තියෙන ආදරේ දැනෙන්න සලස්වන්නත් වැඩිමහල්ලන් අමතක කරන්නේ නැහැ. ආදරණීය එඬේරුන් සහෝදරයෝ ගැන නිතරම හොයලා බලනවා. එයාලා කරන හොඳ දේවල් ගැන අවධානයෙන් ඉඳලා එයාලව අගය කරන්න අවස්ථා හොයනවා. වැඩිමහල්ලෙක් කෙනෙක්ට උපදෙස් දෙන්නේ බයිබලේ පාවිච්චි කරලයි. ඇත්ත, උපදෙසක් දෙන්න වෙද්දී කාරණය වහෙන් ඔරෝ කියන්නේ නැහැ. හැබැයි කෙළින් කිව්වත් ඒක කියන්නේ ගොඩක් කාරුණිකව. මොකද වැඩිමහල්ලන්ට ඕනෙ කෙනෙක් උපදෙසක් පිළි අරන් ඒක අදාළ කරගන්නවා දකින්නයි.—ගලා. 6:1.

ඔයාගේම අඩුපාඩුකම් එක්ක සටන් කරන්න

13. තමන්ගේම දුර්වලකම් ගැන වැඩිමහල්ලන්ට හැඟෙන්නේ කොහොමද?

13 ඒක අභියෝගයක් වෙන්නේ ඇයි? වැඩිමහල්ලන් පරිපූර්ණ අය නෙවෙයි. එයාලගේ අතිනුත් වැරදි, අඩුපාඩුකම් වෙනවා. (රෝම 3:23) පාපය උරුම කරගෙන තියෙන නිසා සමහර වෙලාවට වැඩිමහල්ලන්ටත් හරි විදිහට දේවල් කරන්න බැරි වෙනවා. සමහර වැඩිමහල්ලන් එයාලගේ දුර්වලකම් නිසා අධෛර්යය වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි තවත් අය අඩුපාඩුකම් තිබුණත් ‘ඒක එච්චර ගණන් ගන්න තරම් දෙයක් නෙවෙයි’ කියලා හිතලා ඒවා හදාගන්න උත්සාහ කරන්නේ නැහැ.

14. දුර්වලකම් ජය ගන්න පාවුල්ට නිහතමානිකම උදව් වුණේ කොහොමද? (ෆිලිප්පි 4:13)

14 පාවුල්ගේ ආදර්ශය. පාවුල් තේරුම්ගත්තා එයාගේ දුර්වලකම් තනි උත්සාහයෙන් ජය ගන්න බැහැ, ඒක කරන්න දෙවියන්ගේ උදව් ඕනෙමයි කියලා. පාවුල් කියන්නේ තනි මතේට වැඩ කරපු, ක්‍රිස්තියානීන්ට දරුණු විදිහට පීඩා කරපු කෙනෙක්. හැබැයි පස්සේ කාලෙක එයාගේ වැරදි තේරුම් අරන් එයා හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගත්තා. (1 තිමෝ. 1:12-16) ඒ නිසා යෙහෝවාගේ උදව්වෙන් නිහතමානී, ආදරණීය එඬේරෙක් වෙන්න එයාට පුළුවන් වුණා. අතීතයේදී එයා කරපු වැරදි ගැන පාවුල්ට ලොකු දුකක් තිබුණා තමයි. හැබැයි ඒවා ගැන හිතහිත එයා කලකිරිලා හිටියේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා දැනටමත් එයාගේ වැරදිවලට සමාව දීලයි තියෙන්නේ කියලා එයා විශ්වාස කළා. (රෝම 7:21-25) හැබැයි එහෙමයි කියලා සත්‍යයට ආවාට පස්සේ එයා අතින් කිසිම අඩුපාඩුවක් වෙන එකක් නැහැ කියලා එයා හිතුවේ නැහැ. ඒ වෙනුවට යෙහෝවා කැමති ගුණාංග එයාගේ ජීවිතේ දිගටම වර්ධනය කරගන්න එයා උපරිමය කළා. දෙවියන් භාර දීපු පැවරුම සතුටින් කරගෙන යන්න එයාට පුළුවන් වුණේ එයා දෙවිගේ බලය මත රඳා හිටපු නිසයි.—1 කොරි. 9:27; ෆිලිප්පි 4:13 කියවන්න.

වැරදි, අඩුපාඩු හදාගන්න මහන්සි වෙන්න (14 සහ 15 ඡේද බලන්න) *

15. තමන්ගේ දුර්වලකම් ගැන වැඩිමහල්ලෙක් හිතන්න ඕනෙ කොහොමද?

15 පාඩම. කෙනෙක්ව වැඩිමහල්ලෙක් විදිහට පත් කරන්නේ එයා හැම දෙයක්ම හරියටම කරන නිසා නෙවෙයි. හැබැයි එයාගේ අඩුපාඩුකම් පිළි අරන් දිගටම වෙනස්කම් කරගනියි කියලා යෙහෝවා එයාගෙන් බලාපොරොත්තු වෙනවා. (එෆී. 4:23, 24) ඒ නිසා වැඩිමහල්ලෙක් බයිබලේ හොඳට අධ්‍යයනය කරලා එයාගේ අඩුපාඩුකම් මොනවාද කියලා හොඳින් අඳුරගෙන අවශ්‍ය වෙනස්කම් කරගන්න ඕනේ. එහෙම කරද්දී යෙහෝවාගෙන් එයාට ලැබුණ පැවරුම සතුටින්, සාර්ථකව දිගටම කරගෙන යන්න යෙහෝවා දෙවියන් එයාට උදව් කරයි.—යාකො. 1:25.

අනිත් අයගේ අඩුපාඩුකම් එක්ක වැඩ කරන්න

16. අනිත් අයගේ අඩුපාඩුකම් ගැන ඕනෑවට වඩා අවධානය දුන්නොත් වැඩිමහල්ලෙක්ට මොනවා වෙන්න පුළුවන්ද?

16 ඒක අභියෝගයක් වෙන්නේ ඇයි? සභාවේ අයත් එක්ක කිට්ටුවෙන් වැඩ කරද්දී වැඩිමහල්ලන්ට ලේසියෙන්ම අනිත් අයගේ අඩුපාඩුකම් පේන්න පුළුවන්. ඒ නිසා කේන්ති අරන් සහෝදරයන්ට නරක විදිහට සලකන්න, එයාලා ගැන වැරදි විදිහට හිතන්න වැඩිමහල්ලන් පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ. මොකද සාතන්ට ඕනෙ ක්‍රිස්තියානීන් ඒ වගේ අය වෙනවා දකින්න කියලා පාවුල් කලින්ම අනතුරු ඇඟෙව්වා.—2 කොරි. 2:10, 11.

17. පාවුල් සහෝදර සහෝදරියන් ගැන හිතුවේ මොන විදිහටද?

17 පාවුල්ගේ ආදර්ශය. පාවුල් හැම වෙලාවෙම බැලුවේ සහෝදරයන්ගේ හොඳ පැති දිහායි. එයා දැනගෙන හිටියා එයාලගේ අතිනුත් අඩුපාඩුකම් වෙනවා කියලා. මොකද සහෝදරයෝ කරපු සමහර දේවල් පාවුල්ටත් පෞද්ගලිකව බලපෑවා. හැබැයි වැරදි, අඩුපාඩුකම් වුණා කියලා පාවුල් කවදාවත් එයාලව නරක අය විදිහට හංවඩු ගැහුවේ නැහැ. ඒ වෙනුවට පාවුල් සහෝදරයන්ට ගොඩක් ආදරේ කළා. එයාලගේ හොඳ පැති දිහා බැලුවා. සහෝදර සහෝදරියන් හරි දේ කරන්න සටන් කරනවා දකිද්දී පාවුල් කවදාවත් එයාලව පහත් කළෙත් නැහැ. හරි දේ කරන්න එයාලට ලොකු වුවමනාවක් තියෙනවා කියලා පාවුල් විශ්වාස කළා. එයා තේරුම්ගත්තා ඒක කරන්න එයාලට ඕනෙ පුංචි තල්ලුවක් විතරයි කියලා.

18. යුවෝදියා සහ සින්ටිකී අතර තිබුණ ප්‍රශ්නය පාවුල් හසුරුවපු විදිහෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (ෆිලිප්පි 4:1-3)

18 සහෝදරියන් දෙන්නෙක් අතර වුණ ප්‍රශ්නයක් පාවුල් හසුරුවපු විදිහ ගැන අපි දැන් බලමු. (ෆිලිප්පි 4:1-3 කියවන්න.) පේන විදිහට සහෝදරි යුවෝදියායි, සින්ටිකීයි අතර ප්‍රශ්නයක් තිබුණා. ඒක දැනගත්තාම ‘මෙයාලා කොයි වෙලාවෙත් රණ්ඩු කරනවා’ කියලා හිතලා පාවුල් කේන්ති ගත්තේ නැහැ. ඒ වෙනුවට පාවුල් අවධානය දුන්නේ එයාලා ගාව තියෙන හොඳ ගතිගුණවලට. මොකද ඒ සහෝදරියන් දෙන්නා විශ්වාසවන්තව දෙවියන්ට සේවය කරන අය විදිහට සභාවේ හොඳ නමක් දිනාගෙන හිටියා. අනිත් අතට පාවුල් දැනගෙන හිටියා එයාලගේ අතින් අඩුපාඩුකම් වුණත් යෙහෝවා එයාලට ගොඩක් ආදරෙයි කියලා. ඒ විදිහට හිතපු නිසා පාවුල්ට පුළුවන් වුණා ප්‍රශ්නේ විසඳගන්න කියලා එයාලව දිරිගන්වන්න. පාවුල් වැඩ කරපු විදිහ නිසා දිගටම යෙහෝවාට සතුටින් සේවය කරන්න පාවුල්ට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි ෆිලිප්පි සභාවේ හිටපු සහෝදරයන් එක්ක කිට්ටු යාළුකම් ඇති කරගන්නත් එයාට පුළුවන් වුණා.

අනිත් අය ගැන වැරදියට හිතන්න ඉක්මන් වෙන්න එපා (19 ඡේදය බලන්න) *

19. (අ) සහෝදරයන්ගේ හොඳ පැතිවලට අවධානය දෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (ආ) නමස්කාර මධ්‍යස්ථාන පිරිසිදු කරන වැඩිමහල්ලාගේ පින්තූරෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

19 පාඩම. වැඩිමහල්ලන් හැම තිස්සේම උත්සාහ කරන්න ඕනෙ සහෝදර සහෝදරියන්ගේ හොඳ පැති දිහා බලන්න. පාපය උරුම කරගෙන තියෙන නිසා ඕනම කෙනෙක්ගේ අතින් වැරදි, අඩුපාඩුකම් වෙනවා. හැබැයි කවදාවත් අමතක කරන්න එපා හැම කෙනෙක් ළඟම අනිත් අයට ආදර්ශයට ගන්න පුළුවන් හොඳ ගුණාංග තියෙනවා කියලා. (ෆිලි. 2:3) කාලෙන් කාලෙට සහෝදරයන්ට මඟ පෙන්වීම් දීලා එයාලව නිවැරදි කරන්න වෙනවා. හැබැයි වැඩිමහල්ලන් කවදාවත් සහෝදරයන්ගේ අඩුපාඩුවලට, වැරදිවලට විතරක් අවධානය දෙන්නේ නැහැ. ඒවා මතක තියාගෙන ඉන්නෙත් නැහැ. ඒ වෙනුවට වැඩිමහල්ලන් අවධානය දෙන්න ඕනෙ සහෝදරයන් එක එක් කෙනාට යෙහෝවා ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියන එකට. දෙවියන්ට සේවය කරන්න එයාලා මොන තරම් දේවල් විඳදරාගන්නවාද කියන එකට. ඒ වගේම අනිත් අය වෙනුවෙන් එයාලට කොච්චර සේවයක් කරන්න පුළුවන්ද කියන එකට. ආදරණීය එඬේරු විදිහට වැඩිමහල්ලන් ඒ දේවල්වලට අවධානය දෙනවා නම් සභාව සතුටින් පිරුණු, ආදරණීය තැනක් කරන්න එයාලට පුළුවන්.

දිගටම පාවුල්ව ආදර්ශයට ගන්න

20. පාවුල්ගේ ආදර්ශයෙන් දිගටම ප්‍රයෝජන ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

20 අපේ ප්‍රකාශනවල පාවුල්ගෙන් ඉගෙනගන්න පුළුවන් පැති ගැන ඕන තරම් තොරතුරු තියෙනවා. * ‘“දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක්” දෙමු’ පොතේ 111-112 සහ 189 පිටුවල තියෙන තොරතුරු ඒකට උදාහරණයක්. වැඩිමහල්ලෙනි, ඒවා අධ්‍යයනය කරලා ඒවායින් දිගටම ප්‍රයෝජන ගන්න. එහෙම කරද්දී මේ ගැන හිතලා බලන්න. ‘වැඩිමහල්ලෙක් විදිහට මට ලැබුණ පැවරුම දිගටම සතුටින් කරන්න පාවුල්ගේ ආදර්ශය මට උදව් වෙන්නේ කොහොමද?’

21. වැඩිමහල්ලන්ට නිසැක වෙන්න පුළුවන් මොනවා ගැනද?

21 වැඩිමහල්ලෙනි, ඔයාලා හැම දෙයක්ම අකුරටම කරයි කියලා යෙහෝවා දෙවියන් ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඉල්ලන්නේ භාර දීලා තියෙන වැඩේ විශ්වාසවන්ත ඉටු කරන්න කියලා. (1 කොරි. 4:2) පාවුල් වෙහෙස මහන්සි නොබලා විශ්වාසවන්තව යෙහෝවාට සේවය කරද්දී ඔහු ඒ ගැන ගොඩක් සතුටු වුණා. ඔයාලත් යෙහෝවාට වෙහෙස මහන්සි නොබලා සේවය කරද්දී ඒක යෙහෝවා ගොඩක් අගය කරනවා. ඒ නිසා යෙහෝවා කියලා තියෙන මේ දේ කවදාවත් අමතක කරන්න එපා. “මන්ද ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ. ඔබ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කර තිබෙනවා පමණක් නොව එසේ දිගටම සේවය කරමින් සිටින ආකාරයද පැහැදිලිව පෙනේ.”—හෙබ්‍රෙ. 6:10.

ගීතිකාව 87 එන්න! සහනය ලබන්න

^ 5 ඡේ. වෙහෙස මහන්සි නොබලා වැඩ කරන, අපි ගැන සැලකිලිමත්, ආදරණීය එඬේරුන් ඉන්න එක ගැන අපි කොච්චර සතුටු වෙනවාද! අපි මේ ලිපියෙන් බලන්නේ වැඩිමහල්ලන් මුහුණ දෙන අභියෝග 4ක් ගැනයි. ඒ වගේම ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න එයාලට පාවුල්ගේ ආදර්ශය උදව් වෙන විදිහත් අපි බලනවා. වැඩිමහල්ලන් අපි වෙනුවෙන් මොන තරම් දේවල් කරනවාද කියලා තේරුම් අරන් මුළු හදවතින්ම එයාලව අගය කරන්න, එයාලට උපරිමයෙන් සහයෝගය දෙන්න මේ ලිපිය අපිට උදව් වෙයි.

^ 20 ඡේ. 2011 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ 20-24 පිටු; ‘මුළු ශුද්ධ ලියවිල්ල—මතෙව් - කොලොස්සි’ සඟරාවේ 22 පිටුව; ‘මුළු ශුද්ධ ලියවිල්ල—1 තෙසලෝනික - එළිදරව්’ සඟරාවේ 12 පිටුව; 1997 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 17-18 පිටු; 1993 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ 20-21 පිටු බලන්න.

^ 62 ඡේ. පින්තූරේ අදහස: සහෝදරයෙක් වැඩ ඇරිලා යද්දී එයාත් එක්ක වැඩ කරන කෙනෙක්ට සාක්ෂි දරනවා.

^ 64 ඡේ. පින්තූරේ අදහස: වැඩිමහල්ලෙක් සභාවේ තනියම පැත්තකට වෙලා ඉන්න සහෝදරයෙක් ළඟට ගිහින් එයාව දිරිගන්වනවා.

^ 66 ඡේ. පින්තූරේ අදහස: අමනාපයෙන් ඉන්න කෙනෙක්ට සහෝදරයෙක් මඟ පෙන්වීමක් දෙනවා.

^ 68 ඡේ. පින්තූරේ අදහස: සහෝදරයෙක් භාර ගත්ත වැඩේ කරන්නේ නැතුව ෆෝන් එක බලබල ඉන්නවා. වැඩිමහල්ලෙක් ඒක දැක්කත් කේන්ති ගන්නේ නැහැ.