Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 17

යූනිස් අම්මලාට හොඳ ආදර්ශයක්!

යූනිස් අම්මලාට හොඳ ආදර්ශයක්!

“ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න. ඒවා ඔබේ හිසට අලංකාර ඔටුන්නක් මෙන්ද ඔබේ ගෙල පළඳනා අනර්ඝ මාලයක් මෙන්ද වන්නේය.”—හිතෝ. 1:8, 9.

ගීතිකාව 137 ගුණ යහපත් සහෝදරියන්

මේ ලිපියෙන් *

තිමෝතිගේ අම්මා යූනිස් සහ ආච්චි ලොයිස් තිමෝති බව්තීස්ම වෙන විදිහ දිහා හරිම ආඩම්බරයෙන් බලන් ඉන්නවා (1 ඡේදය බලන්න)

1-2. (අ) යූනිස් කියන්නේ කවුද? අම්මා කෙනෙක් විදිහට එයා මුහුණ දීපු අභියෝගය මොකක්ද? (ආ) කවරයේ පින්තූරය බලලා ඒ ගැන අදහසක් දෙන්න.

 තිමෝතිගේ බව්තීස්මය ගැන බයිබලේ සඳහන් වෙලා නැහැ. හැබැයි ඒ මොහොතේ තිමෝතිගේ අම්මාට කොහොම දැනෙන්න ඇද්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. (හිතෝ. 23:25) අපි දැන් තිමෝති බව්තීස්ම වෙන තැනට පොඩ්ඩක් යමුද? දැන් එයා ඉන්නේ වතුරට බැහැලා. ඊට ටිකක් එහාට වෙන්න තිමෝතිගේ අම්මා යූනිස් තමන්ගේ ආදරණීය පුතා දිහා බලාගෙන ඉන්නේ පුංචි ආඩම්බරයකින්. තිමෝතිගේ ආච්චි ලොයිස් යූනිස් ළඟින්ම හිටගෙන එයාගේ උරහිසට අත තියාගෙන ඉන්නවා. දැන් තිමෝතිව බව්තීස්ම කරන්නයි යන්නේ. එයාව වතුර යටට ගිල්ලද්දීම යූනිස් අත් දෙකත් පපුවට තියාගෙන ලොකු සැනසුම් සුසුමක් හෙළනවා. තිමෝතිව වතුරෙන් උඩට ගද්දී එයාගේ මුහුණ පුරා තිබුණ හිනාව දැකලා යූනිස්ගේ ඇස්වලින් සතුටු කඳුළු ගලන්න ඇති. යෙහෝවා ගැන, යේසුස් ගැන තිමෝතිගේ හිතේ ආදරයක් ඇති කරලා සත්‍ය මාර්ගයේ මෙච්චර දුරක් එයාව අරගෙන එන්න මේ අම්මා ගොඩක් මහන්සි වුණා. යූනිස් මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද? එයා ඒ අභියෝග ජය ගත්තේ කොහොමද?

2 තිමෝතිගේ තාත්තා ග්‍රීක ජාතිකයෙක්. අම්මායි, ආච්චියි යුදෙව්වන්. (ක්‍රියා 16:1) ඒ නිසා එයාලා ඇදහුවේ එකම ආගම නෙවෙයි. යූනිස් සහ ලොයිස් ක්‍රිස්තියානීන් වෙද්දී තිමෝති යෞවන වයසේ ඉන්න ඇති. අම්මායි, ආච්චියි ක්‍රිස්තියානීන් වුණාට එයාගේ තාත්තා ක්‍රිස්තියානියෙක් වුණේ නැහැ. ඒ වෙද්දී තිමෝති හිටියේ තීරණයක් ගන්න සුදුසු වයසක. ඉතින් එයා මොනවා කරයිද? දෙවියන්ට නමස්කාර නොකරපු තාත්තාගේ අඩි පාරේ යයිද? පොඩි කාලේ ඉඳන් ඉගෙනගත්ත යුදෙව් සම්ප්‍රදායට අනුව ජීවත් වෙයිද? එහෙමත් නැත්නම් අම්මායි, ආච්චියි වගේ යේසුස්ව පිළි අරගෙන ක්‍රිස්තියානියෙක් වෙයිද?

3. හිතෝපදේශ 1:8, 9 කියන විදිහට තමන්ගේ දරුවන්ව යෙහෝවාට ළං කරන්න අම්මලා වෙන මහන්සිය ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?

3 අද ඉන්න අම්මලාත් පවුලේ අයට ගොඩක් ආදරෙයි. එයාලට තියෙන ලොකුම සතුට තමයි එයාලගේ දරුවෝ යෙහෝවාට ළං වෙනවා දකින එක. ඒ වෙනුවෙන් අම්මලා හෙළන දහඩිය මහන්සිය දෙවියන් ගොඩක් අගය කරනවා. (හිතෝපදේශ 1:8, 9 කියවන්න.) ඔයාත් ඒ වගේ අම්මා කෙනෙක්ද? එහෙමනම් සත්‍ය මාර්ගයේ දරුවාව ගෙනියන්න කරන සටනේදී ඔයා තනි වෙලා නැහැ. ඔයාගේ උදව්වට යෙහෝවා ඉන්නවා. මේ වෙද්දීත් අම්මලා සිය දහස් ගාණකට ඔහු උදව් කරලා තියෙනවා.

4. අද ඉන්න අම්මලා මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?

4 තිමෝති වගේ මගේ දරුවාත් යෙහෝවාට සේවය කරයිද කියලා ඕනම අම්මා කෙනෙක් හිතනවා. මොකද සාතන්ගේ ලෝකෙන් දරුවන්ට ලොකු පීඩනයක් එන නිසා එයාලව සත්‍යයේ ඇතිදැඩි කරන එක ලේසි නැහැ. (1 පේතෘ. 5:8) සමහර අයගේ ස්වාමිපුරුෂයා නැහැ. තවත් අයට ස්වාමිපුරුෂයෙක් හිටියත් එයාලා යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අම්මා කෙනෙක්ට සිද්ධ වෙනවා තමන්ගේ දරුවන්ව තනියම සත්‍ය මාර්ගයේ ගෙනියන්න. ක්‍රිස්ටීන් * කියන්නෙත් ඒ වගේ අම්මා කෙනෙක්. එයා මෙහෙම කියනවා. “මගේ මහත්තයා හරිම හොඳ කෙනෙක්. එයා අපේ දරුවෝ තුන්දෙනාටත් හරිම ආදරෙයි. හැබැයි දුවලා දෙන්නායි, පුතායි සාක්ෂිකරුවෝ වෙනවාට එයා තදින්ම විරුද්ධ වුණා. කොහොමද මගේ දරුවන්ව සත්‍ය මාර්ගේ ගෙනියන්නේ කියලා හිතහිත මං අඬපු වාර ගාණ අනන්තයි.”

5. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

5 ඔයාත් ඔයාගේ දරුවන්ව දෙවියන්ට ළං කරන්න මහන්සි වෙන අම්මා කෙනෙක්ද? එහෙමනම් ඔයාටත් පුළුවන් යූනිස් වගේ සාර්ථක වෙන්න. යූනිස්ව ආදර්ශයට අරන් ඔයා කියන දේවල්වලින් සහ කරන දේවල්වලින් දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. ඒක කරන්න යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරන්නේ කොහොමද කියලත් අපි බලමු.

කියන දේවල්වලින්

6. තිමෝති ක්‍රිස්තියානියෙක් වුණේ කොහොමද? (2 තිමෝති 3:14, 15)

6 යුදෙව්වෙක් වුණ යූනිස් “ශුද්ධ ලියවිල්ල” ගැන පුංචි කාලේ ඉඳන්ම තිමෝතිට කියලා දුන්නා. ඒත් අපි දන්නවා එයා යේසුස් ක්‍රිස්තුස් ගැන කිසිම දෙයක් ඒ වෙද්දී දැනගෙන හිටියේ නැහැ කියලා. හැබැයි එයා දන්න ටික තිමෝතිට කියලා දුන්නා. ශුද්ධ ලියවිලි ගැන තිමෝති ඉගෙනගත්ත ඒ තොරතුරු ක්‍රිස්තියානියෙක් වෙන්න එයාට ගොඩක් උදව් වුණා. යෞවනයෙක් විදිහට ක්‍රිස්තියානියෙක් වෙනවාද නැද්ද කියන තීරණය තියෙන්නේ තිමෝතිගේ අතේ. තිමෝති යේසුස් ගැන සත්‍යය ‘මුළු සිතින්ම විශ්වාස කරන්න පෙලඹුණේ’ එයාගේ අම්මා එයාට උගන්වපු දේවල් නිසයි කියලා කිසිම සැකයක් නැහැ. (2 තිමෝති 3:14, 15 කියවන්න.) ලොකු සටනක් කරලා කොහොමහරි තමන්ගේ පුතාව යෙහෝවාට ළං කරන්න පුළුවන් වුණ එක ගැන යූනිස් කොච්චර නම් සතුටු වෙන්න ඇද්ද! ඇත්තටම යූනිස් වැඩ කළේ එයාගේ නමේ තේරුමට එකඟව. මොකද යූනිස් කියන නමේ තේරුම “ජය ගන්නවා” කියන එකයි.

7. බව්තීස්ම වුණාට පස්සෙත් තිමෝතිට දිගටම උදව් කරන්න යූනිස්ට පුළුවන් වුණේ කොහොමද?

7 බව්තීස්මය කියන්නේ තිමෝති එයාගේ ජීවිතේ ගත්ත වැදගත්ම තීරණයක්. හැබැයි පුතා බව්තීස්ම වුණා කියලා යූනිස්ගේ හිතේ තිබුණ බර සම්පූර්ණයෙන්ම අයින් වුණේ නැහැ. තිමෝති ඉස්සරහට මොන වගේ ජීවිතයක් ගත කරයිද කියලා යූනිස් ගොඩක් කරදර වෙන්න ඇති. එයා නරක ආශ්‍රයට වැටෙයිද? වැඩිපුර අධ්‍යාපනයක් ලබන්න ඇතන්ස්වලට ගිහිල්ලා එහේ ඉන්න දාර්ශනිකයන්ගේ අදහස් විශ්වාස කරයිද? එහෙම නැත්නම් සල්ලි පස්සේ ගිහිල්ලා එයාගේ තරුණ ජීවිතේ නිකම්ම නාස්ති කරගනීද? ඇත්ත, තමන්ගේ පුතා වෙනුවෙන් තීරණ ගන්න යූනිස්ට බැහැ. හැබැයි තිමෝතිට හරි තීරණය ගන්න උදව් කරන්න එයාට පුළුවන්. කොහොමද එයා ඒක කළේ? බව්තීස්ම වුණාට පස්සෙත් යෙහෝවා ගැන, යේසුස් ගැන තියෙන ආදරය, අගය වැඩි කරගන්න එයා දිගටම තිමෝතිට උදව් කළා. ඒ විදිහට දරුවන්ව දෙවියන්ට ළං කරන්න, ජීවිත කාලේ පුරාම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න දරුවන්ව පුහුණු කරන්න ලොකු සටනක් කරන්න වෙන්නේ දරුවන්ව තනියම සත්‍යයේ හදා වඩා ගන්න අම්මලා තාත්තලාට විතරක් නෙවෙයි. දෙන්නාම සත්‍යයේ ඉන්න පවුල්වලටත් ඒක අභියෝගයක්. ඔයාත් ඒ වගේ සටනක් කරන කෙනෙක් නම් යූනිස්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8. දරුවන්ව යෙහෝවාට ළං කරන්න සැමියා වෙන මහන්සියට සහයෝගය දෙන්න බිරිඳකට පුළුවන් කොහොමද?

8 දරුවන්ට බයිබලේ තියෙන දේවල් උගන්වන්න. සහෝදරියෙනි, ඔයාගේ සැමියා සත්‍යයේද? එහෙමනම් එයා දරුවන්ව යෙහෝවාට ළං කරන්න උත්සාහ කරද්දී ඒකට ඔයාගේ පැත්තෙනුත් උපරිම සහයෝගය දෙන්න. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි හැම සතියකම නොවරදවාම පවුලේ නමස්කාරය කරන්න සහය දෙන එක. කවදාවත් පවුලේ නමස්කාරය සැහැල්ලුවට ගන්න එපා. ඒ වෙනුවට ඒකෙන් කොච්චර ප්‍රයෝජන ලැබෙනවාද කියලා හැම වෙලේම දරුවන් එක්ක කතා කරන්න. පවුලේ නමස්කාරය සතුටින් පිරුණු අවස්ථාවක් කරගන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් මොනවාද කියලා හොඳට හිතලා බලන්න. දරුවන් එක්ක කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රියාකාරකම් ටිකක් මහත්තයාත් එක්ක එකතු වෙලා සැලසුම් කරන්න ඔයාට පුළුවන්. ඊට අමතරව ඔය දෙන්නාට හිතෙනවාද දරුවාගේ වයසත් එක්ක දැන් එයාට ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතෙන් පාඩමක් කරන එක හොඳයි කියලා? එහෙමනම් ඒක කරන්න ඔයාගේ සැමියාට උපරිමෙන් සහයෝගය දෙන්න.

9. තනියම දරුවන්ව සත්‍යයේ ඇතිදැඩි කරන අම්මා කෙනෙක්ට උදව් ගන්න පුළුවන් කාගෙන්ද?

9 ඔයා මහත්තයාත් නැතුව තනියම දරුවන්ව හදා වඩා ගන්න අම්මා කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාගේ මහත්තයා දෙවියන්ට සේවය කරන කෙනෙක් නෙවෙයිද? එහෙමනම් දරුවන්ට දෙවියන් ගැන උගන්වන්න ඔයාට ලොකු වගකීමක් තියෙනවා. හැබැයි බය වෙන්න එපා. ඒක කරද්දී ඔයා තනි වෙලා නැහැ. ඔයාගේ උදව්වට යෙහෝවා ඉන්නවා. දරුවන්ගේ හිතට කාවදින විදිහට උගන්වන්න ඔහු සංවිධානය මාර්ගයෙන් ඕන තරම් දේවල් දීලා තියෙනවා. ඒවා පාවිච්චි කරන විදිහ අද්දැකීම් තියෙන දෙමාපියන්ගෙන් අහලා බැලුවොත් නරකද? * (හිතෝ. 11:14) දරුවෝ එක්ක හොඳ අදහස් හුවමාරුවක් තියාගන්නත් අමතක කරන්න එපා. අභියෝගයක් කියලා පෙනුණත් ඒක කරන්න යෙහෝවා ඔයාට උදව් කරයි. හරි ප්‍රශ්නේ අහලා දරුවන්ගේ හිතේ තියෙන දේ දැනගන්න උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. (හිතෝ. 20:5) උදාහරණෙකට ඔයාට පුළුවන් දරුවාගෙන් අහන්න ‘පුතේ, ඔයාට ඉස්කෝලෙදී මුහුණ දෙන්න වෙලා තියෙන අමාරුම දේ මොකක්ද’ කියලා. ඒ වගේ පුංචි ප්‍රශ්නයකින් වුණත් දරුවාගේ හිතේ දොරගුළු අරින්න ඔයාට පුළුවන් වෙයි.

10. දරුවන්ට යෙහෝවා දෙවියන් ගැන උගන්වන්න ඔයාට පුළුවන් තව මොන විදිවලින්ද?

10 දරුවන්ට යෙහෝවා ගැන උගන්වන්න අවස්ථා හොයන්න. යෙහෝවා ගැන, ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන නිතරම දරුවෝ එක්ක කතා කරන්න. (ද්වි. 6:6, 7; යෙසා. 63:7) දරුවන් එක්ක බයිබලේ පාඩම් කරන්න හොඳ වාතාවරණයක් ගෙදර නැත්නම් විශේෂයෙන්ම ඒක කරන එක වැදගත්. කලින් සඳහන් කරපු ක්‍රිස්ටීන් කියන දේ බලන්න. “ගෙදරදී දරුවෝ එක්ක යෙහෝවා ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති තරම්. ඒ නිසා ලැබෙන හැම අවස්ථාවකදීම මං ඒ ගැන දරුවෝ එක්ක කතා කරනවා. මං ගොඩක් වෙලාවට එයාලත් එක්ක ඇවිදින්න යනවා. එහෙම නැත්නම් ඔරු පදින්න යනවා. ඔරු පදිද්දී ඉතින් ඉවුරෙන් ටිකක් ඈතට ගිහින් නිස්කලංක තැනක ඉඳන් යෙහෝවා ගැන, ඔහුගේ නිර්මාණ ගැන, බයිබලේ ගැන මං එයාලත් එක්ක කතා කරනවා. දරුවෝ තේරෙන වයසට ආවාට පස්සේ තනියම බයිබලේ අධ්‍යයනය කරන්න කියලා මං හැම වෙලේම එයාලව දිරිගැන්නුවා.” මීට අමතරව අම්මලා මතක තියාගන්න ඕනෙ වැදගත් දෙයක් තියෙනවා. කවදාවත් සංවිධානයේ, සහෝදර සහෝදරියන්ගේ වැරදි අඩුපාඩු දරුවෝ එක්ක කතා කරන්න එපා. එයාලා ඉස්සරහා වැඩිමහල්ලන්ට බනින්න එපා. මොකද ඔයා සහෝදරයෝ ගැන, වැඩිමහල්ලෝ ගැන දරුවන්ගේ හිතේ වැරදි පින්තූරයක් ඇන්දොත් එයාලා උදව් ඕනෙ වෙලාවට කවදාවත් සහෝදරයෝ ළඟට යන එකක් නැහැ.

11. යාකොබ් 3:18 කියන විදිහට පවුලේ සාමය රැකගන්න මහන්සි වෙන එක වැදගත් ඇයි?

11 පවුලේ සාමය රැකගන්න මහන්සි වෙන්න. ඔයාගේ මහත්තයා ගැන, දරුවන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ හංගගෙන ඉන්න එපා. ඒක එයාලට කියන්න. කවදාවත් මහත්තයාගේ වැරදි දරුවෝ ඉස්සරහා කතා කරන්න එපා. ඒ වෙනුවට එයාට ගෞරව කරන්න. එහෙම කරන්න දරුවන්ටත් උගන්වන්න. ඒ විදිහට වැඩ කරද්දී පවුලේ සාමය රැකගන්න ඔයාට පුළුවන්. එතකොට දරුවන්ට නිදහසේ යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න හොඳ වාතාවරණයක් ගෙදර ඇති වෙයි. (යාකොබ් 3:18 කියවන්න.) රුමේනියාවේ විශේෂ පුරෝගාමියෙක් වන යෝසෆ්ගේ අද්දැකීම බලන්න. යෙහෝවාට සේවය කරපු නිසා එයාගේ තාත්තා අම්මාටයි, එයාටයි, එයාගේ සහෝදර සහෝදරියන්ටයි අවුරුදු ගාණක්ම පීඩා කළා. ඒ ගැන යෝසෆ් මෙහෙම කියනවා. “ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව පවුලේ සමඟිය තියාගන්න අම්මා නොකරපු දෙයක් නෑ. තාත්තා අපිට නරක විදිහට සලකන්න සලකන්න අම්මා ඊටත් වඩා වැඩියෙන් තාත්තාට ආදරෙන් සැලකුවා. තාත්තා කියන දේ අහන්න, එයාට ගෞරව කරන්න සමහර වෙලාවට අපිට ලේසි වුණේ නෑ. ඒ වගේ වෙලාවට අම්මා එෆීස 6:1-3 අපිත් එක්ක සාකච්ඡා කරනවා. ඊටපස්සේ තාත්තාගේ හොඳ පැති ගැන කතා කරලා, අපි එයාව අගය කරන්න ඕනෙ ඇයි කියලා අම්මා කියලා දෙනවා. අම්මා ඒ විදිහට වැඩ කරපු නිසා කොච්චර නම් ප්‍රශ්න දුරදිග යවන්නේ නැතුව විසඳගන්න පුළුවන් වුණාද!”

කරන දේවල්වලින්

12. 2 තිමෝති 1:5 කියන විදිහට යූනිස්ගේ ආදර්ශය තිමෝතිට බලපෑවේ කොහොමද?

12 2 තිමෝති 1:5 කියවන්න. තරුණ තිමෝතිට යූනිස් හොඳ ආදර්ශයක් වුණා. යූනිස් හැම වෙලේම තිමෝතිට මතක් කරන්න ඇති විශ්වාසය කියන්නේ ක්‍රියාවෙන් පෙන්නන්න ඕනෙ දෙයක් කියලා. (යාකො. 2:26) ඒ වගේම යූනිස්ගේ හිතේ යෙහෝවා ගැන කොච්චර ආදරයක්, විශ්වාසයක් තියෙනවාද කියලා එයා වැඩ කරපු විදිහෙන් තිමෝති දැක්කා. යෙහෝවාට සේවය කරන එකෙන් තමන්ගේ අම්මා කොච්චර සතුටක් ලබනවාද කියලත් තිමෝති දකින්න ඇති. යූනිස්ගේ ආදර්ශය තිමෝතිට බලපෑවේ කොහොමද? එක අවස්ථාවකදී පාවුල් කිව්වා, අම්මාට තිබ්බා වගේ ශක්තිමත් විශ්වාසයක් තිමෝතිටත් තියෙනවා කියලා. ඒක අහම්බෙන් වුණ දෙයක් නෙවෙයි. තිමෝති එයාගේ අම්මා දිහා බලලා අනිවාර්යයෙන්ම ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති. එයාව ආදර්ශයට ගන්න ඇති. අදත් ‘වචනයක්වත් කියන්නේ නැතුව’ තමන්ගේ පවුලේ අයගේ හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන යූනිස් වගේ අම්මලා ඕන තරම් ඉන්නවා. (1 පේතෘ. 3:1, 2) ඔයාටත් පුළුවන් ඒ වගේ අම්මා කෙනෙක් වෙන්න. ඒ කොහොමද?

13. අම්මා කෙනෙක් යෙහෝවාත් එක්ක එයාට තියෙන බැඳීමට ජීවිතේ මුල් තැන දෙන එක වැදගත් ඇයි?

13 යෙහෝවාත් එක්ක ඔයාට තියෙන බැඳීමට මුල් තැන දෙන්න. (ද්වි. 6:5, 6) හැම අම්මා කෙනෙක් වගේම ඔයාත් ඔයාගේ දරුවෝ වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරනවා. දරුවන්ට අවශ්‍ය දේවල් දෙන්න ඔයාගේ කාලය, මුදල්, සමහරවිට නින්ද පවා කැප කරන්න ඔයා දෙසැරයක් හිතන්නේ නැහැ. හැබැයි ඒ වගේ කැප කිරීම් වෙනුවෙන් කවදාවත් යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම කැප කරන්න එපා. තනියම යෙහෝවාට යාච්ඤා කරන්න, බයිබලය අධ්‍යයනය කරන්න, රැස්වීම්වලට යන්න වෙලාව වෙන් කරන්න. වෙන කිසිම දෙයක් නිසා ඒවා මඟහරින්න එපා. එහෙම කරද්දී යෙහෝවා එක්ක තියෙන ඔයාගේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙයි. එතකොට පවුලේ අයට වගේම අනිත් අයටත් හොද ආදර්ශයක් වෙන්න ඔයාට පුළුවන්.

14-15. ලියෑන්ගේ, මරියාගේ සහ ශුවාගේ අද්දැකීම්වලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

14 යෙහෝවාට ආදරේ කරන්න, ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ගොඩක් යෞවනයන්ට එයාලගේ අම්මලාගේ ආදර්ශය උදව් වෙලා තියෙනවා. ඒ වගේ අද්දැකීම් කීපයක් ගැන අපි දැන් බලමු. කලින් කතා කරපු ක්‍රිස්ටීන්ගේ දුව ලියෑන් මෙහෙම කියනවා. “තාත්තා ගෙදර ඉද්දී අපි කාටවත් බයිබලේ ගැන කතා කරන්න බෑ. හැබැයි තාත්තා කොච්චර විරුද්ධ වුණත් අම්මා දිගටම රැස්වීම් ගියා. එයාගේ ආදර්ශය අපිට ගොඩක් බලපෑවා. ඉස්සර අපිට බයිබලේ ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ. හැබැයි රැස්වීම්වලට යන්න හුඟ කාලෙකට කලින් ඉඳන්ම සත්‍යය උගන්වන්නේ සාක්ෂිකරුවන් කියලා අපි දැනන් හිටියා. ඒ අම්මාගේ ආදර්ශය නිසා.”

15 රැස්වීම්වලට ගිය නිසා මරියාගේ තාත්තා එයාලට ගොඩක් බැන්නා. එයාලට ගහපු වෙලාවලුත් තිබුණා. මරියා ඒ ගැන මෙහෙම කියනවා. “අනිත් අයට තිබුණ බය නිසා පොඩි කාලේ සමහර වෙලාවට මං හරි දේ කරන්න පස්ස ගැහුවා. හැබැයි මං දැක්කා මගේ අම්මා යෙහෝවාට මුල් තැන දීලා හැම තිස්සේම හරි දේ කරනවා. ඒක තමයි මට උදව් වුණේ මිනිසුන්ට තියෙන බයෙන් ගොඩ එන්න. ඇත්තටම, මගේ අම්මා ජීවිතේ මට හම්බ වුණ ධෛර්යවන්තම සහෝදරියන්ගෙන් එක් කෙනෙක්.” ශුවාගේ තාත්තාත් සත්‍යයට ගොඩක් විරුද්ධයි. ගෙදරදී බයිබලේ ගැන කතා කරන එක එයා තහනම් කළා. ශුවා ඒ ගැන මෙහෙම කියනවා. “අපේ අම්මා තාත්තාට ගොඩක් ආදරෙයි. ඒ නිසා එයාව සතුටින් තියන්න ඕනම දෙයක් අත්හරින්න අම්මා කැමැත්තෙන් හිටියා. හැබැයි එක දෙයක් හැරෙන්න. ඒ තමයි එයාගේ හිතේ යෙහෝවාට තිබ්බ ආදරේ. ඒක පුංචි කාලේ ඉඳලාම මගේ හිතට තදින්ම වැදුණා.”

16. අම්මා කෙනෙක්ගේ ආදර්ශය අනිත් අයට බලපාන්නේ කොහොමද?

16 දරුවන්ට විතරක් නෙවෙයි ඔයාගේ ආදර්ශය අනිත් අයටත් බලපානවා. ඒ කොහොමද? ඒක තේරුම්ගන්න යූනිස්ගේ ආදර්ශය පාවුල්ට බලපාපු විදිහ ගැන අපි ටිකක් බලමු. පාවුල් තිමෝතිට ලියපු දෙවෙනි ලිපියේ කිව්වා කිසි කුහකකමක් නැති, අවංකව ගොඩනඟාගෙන තිබුණ විශ්වාසය ‘මුලින්ම තිබුණේ යූනිස්ට’ කියලා. (2 තිමෝ. 1:5) යූනිස්ට දෙවියන් ගැන කොච්චර විශ්වාසයක් තිබුණාද කියලා පාවුල් මුලින්ම දැක්කේ කවදාද? පේන විදිහට ඒ, එයාගේ පළවෙනි මිෂනාරි ගමන අතරතුරේදී මුලින්ම ලොයිස්වයි, යූනිස්වයි මුණගැහුණ වෙලාවේදී. සමහරවිට ඒ දෙන්නාට සත්‍යයට එන්න උදව් කළෙත් පාවුල් වෙන්න ඇති. (ක්‍රියා 14:4-18) පාවුල් තිමෝතිට ඒ ලිපිය ලිව්වේ යූනිස්ව හම්බ වෙලා අවුරුදු 15කට විතර පස්සේ. එච්චර කාලයක් ගිහිල්ලා තිබුණත් යූනිස්ගේ ආදර්ශය පාවුල්ගේ හිතට තදින්ම වැදිලා තිබුණා. පාවුල්ට විතරක් නෙවෙයි මුල් සියවසේ හිටපු අනිත් ක්‍රිස්තියානීන්ටත් යූනිස්ගේ ආදර්ශය ගොඩක් උදව් වෙන්න ඇති. ඔයාත් ඔයාගේ දරුවන්ව තනියම සත්‍යයේ ඇතිදැඩි කරන අම්මා කෙනෙක්ද? එහෙමනම් ශක්තිමත්ව ඉන්නත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන්නත් ඔයාගේ ආදර්ශය අනිත් අයට ලොකු හයියක් කියලා කවදාවත් අමතක කරන්න එපා.

යෙහෝවාට ළං වෙන්න දරුවෙක්ට උදව් කරන්න යම් කාලයක් යනවා. ඒ නිසා උත්සාහය අත්හරින්න එපා! (17 ඡේදය බලන්න)

17. ඔයා කොච්චර මහන්සි වුණත් යෙහෝවාට සේවය කරන්න දරුවන්ගේ හිතේ උනන්දුවක් නැත්නම් මොකද කරන්නේ?

17 දරුවන්ව යෙහෝවාට ළං කරන්න කොච්චර මහන්සි වුණත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙලා නැහැ කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඒක දවසින් දෙකෙන් කරන්න බැහැ, ඒකට යම් කාලයක් යනවා කියලා මතක තියාගන්න. උදාහරණෙකට පින්තූරෙනුත් පේනවා වගේ ඔයා බීජයක් පැළ කරනවා කියලා හිතන්න. සමහරවිට ඔයා ඒක පැළ කරද්දී හිතයි මේ බීජය පැළ වෙලා කවදා හරි ඒක හොඳට පල දරන ගහක් වෙයිද කියලා. ඔයාට සීයට සීයක්ම ඒ ගැන සහතික වෙන්න බැහැ. ඒත් ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් හොඳ පලදාවක් ලැබෙන විදිහට ඒ පැළේට උපරිමෙන් සාත්තු කරන්න. (මාක් 4:26-29) අම්මා කෙනෙක් විදිහට ඔයාත් කරන්නේ බීජයක් පැළ කරනවා වගේ වැඩක්. ඔයාත් කල්පනා කරනවා ඇති දරුවා වෙනුවෙන් වෙන මහන්සියට කවදා හරි හොඳ ප්‍රතිඵල ලැබෙයිද කියලා. ඇත්ත, දරුවා යෙහෝවා දෙවියන්ට සේවය කරයිද නැද්ද කියලා ඔයාටත් හරියටම කියන්න බැහැ. හැබැයි දරුවාව පුහුණු කරන්න ඔයා ඔයාගේ පැත්තෙන් උපරිමය කරද්දී එයා සත්‍යය තුළ හොඳින් පල දරන්න වැඩි ඉඩකඩක් තියෙනවා.—හිතෝ. 22:6.

දිගටම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න

18. තමන්ගේ යාළුවෙක් වෙන්න යෙහෝවා දෙවියන් ඔයාගේ දරුවාට උදව් කරන්නේ කොහොමද?

18 අතීතයේ ඉඳන්ම යෙහෝවා දෙවියන්ගේ යාළුවන් වෙන්න ඔහු යෞවනයන් සිය දහස් ගාණකට උදව් කරලා තියෙනවා. (ගීතා. 22:9, 10) දෙවියන්ට ළං වෙන්න ඔයාගේ දරුවාගේ හිතේ පුංචිම හරි ආසාවක් තියෙනවා නම් යෙහෝවාට පුළුවන් ඔහුත් එක්ක බැඳීමක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න. (1 කොරි. 3:6, 7) සමහරවිට ඔයාගේ දරුවා යෙහෝවාගෙන් ඈත් වෙනවා කියලා ඔයාට දැනුණත් යෙහෝවා නම් කවදාවත් එයාගෙන් ඈත් වෙන්නේ නැහැ. (ගීතා. 11:4) එයාගේ හිතේ ආයෙත් “සත්‍යය පිළිගන්න” පොඩි හරි ආසාවක් තියෙනවා කියලා යෙහෝවා දැක්කොත් එයාට උදව් කරන්න ඔහු සූදානමින් ඉන්නවා. (ක්‍රියා 13:48; 2 ලේක. 16:9) සමහරවිට එයාට අවශ්‍යම දේ හරිම වෙලාවට කියන්න යෙහෝවා ඔයාට උදව් කරයි. (හිතෝ. 15:23) එහෙම නැත්නම් එයාට කිට්ටු වෙන්න සභාවේ කෙනෙක්ගේ හිත පොලඹවයි. දරුවා වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඔයා පුංචි කාලේදී උගන්වපු දේවල් ආයෙත් එයාට මතක් කරලා දෙන්නත් යෙහෝවාට පුළුවන්. (යොහ. 14:26) ඒ නිසා ඔයා කරන කියන දේවල්වලින් දිගටම දරුවන්ට ආදර්ශයක් වෙන්න. එයාලව පුහුණු කරන්න ඔයාගේ පැත්තෙන් උපරිමය කරන්න. එහෙම කරද්දී ඔයාට ආශීර්වාද කරන්න යෙහෝවා දෙවියන්ට ඕන තරම් හේතු තියෙයි.

19. ඔයාට යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියලා සහතික වෙන්න පුළුවන් ඇයි?

19 ඔයාගේ දරුවන් මොන තීරණය ගත්තත් යෙහෝවාගේ හිතේ ඔයාට තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ හිතේ ඔහු ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා දෙවියන් දන්නවා. ඔයා දරුවන්ව තනියම සත්‍ය මාර්ගයේ ගෙනියන අම්මා කෙනෙක්ද? එහෙමනම් ඔයා තනි වෙලා නැහැ. මොකද යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා ඔයාගේ දරුවන්ට තාත්තා කෙනෙක් වෙනවා කියලා. ඒ වගේම ඔයාට රැකවරණය දෙනවා කියලා. (ගීතා. 68:5) ඔයාගේ දරුවන් දෙවියන්ට සේවය කරයිද නැද්ද කියලා සහතික වෙන්න ඔයාට බැහැ. හැබැයි ඔයා දිගටම යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා නම්, දරුවන්ව ඔහුට ළං කරන්න ඔයාගේ පැත්තෙන් උපරිමය කරනවා නම් එක දෙයක් ගැන සහතික වෙන්න ඔයාට පුළුවන්. ඒ ඔයාට ඔහුගේ අනුමැතිය තියෙනවා කියන එක.

ගීතිකාව 134 දරුවන් දෙවිගෙන් ලද සම්පතක්

^ 5 ඡේ. ඔයාත් අම්මා කෙනෙක් නම් තිමෝතිගේ අම්මාගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවාව දැන හඳුනා ගෙන ඔහුට ආදරේ කරන්න දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.

^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 9 ඡේ. උදාහරණෙකට ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 50වෙනි පාඩම සහ 2011 අගෝස්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 6-7 පිටුවල තියෙන “පවුලේ නමස්කාරය හා පෞද්ගලික අධ්‍යයනය සඳහා යෝජනා” කියන ලිපිය බලන්න.