Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 18

ඉලක්ක තියලා ඒවා ජය ගන්න

ඉලක්ක තියලා ඒවා ජය ගන්න

ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවා නිරතුරුවම ඔබේ මනසෙහි තබාගන්න. එවිට ඔබ දියුණු වන අන්දම සියලුදෙනාටම දැකගත හැකි වෙයි.”—1 තිමෝ. 4:15.

ගීතිකාව 84 කරන්නට බොහෝ දේ ඇත

මේ ලිපියෙන් *

1. අපිට තියාගන්න පුළුවන් මොන වගේ ඉලක්කද?

 සැබෑ ක්‍රිස්තියානීන් විදිහට අපි යෙහෝවාට ගොඩක් ආදරෙයි. අපිට ඕනෙ ඔහුට අපේ උපරිමය දෙන්න. හැබැයි එහෙම කරන්න නම් අපි යෙහෝවා දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්න, අපේ හැකියාවන් සහ දක්ෂතාවයන් තව දියුණු කරගන්න ඉලක්ක තියාගන්න ඕනේ. ඒ වගේම සහෝදර සහෝදරියන්ට තව වැඩියෙන් උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හොයලා බලන්නත් ඕනේ.

2. ඉලක්ක තියලා ඒවා අත් කරගන්න අපි මහන්සි වෙන්න ඕනෙ ඇයි?

2 යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය පැත්තෙන් අපි තව දියුණු වෙන්න ඕනෙ ඇයි? ඒකට ප්‍රධානම හේතුව තමයි අපිට ඕනෙ ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාව සතුටු කරන්න. අපි අපේ හැකියාවන්, දක්ෂතාවයන් උපරිමයෙන්ම ඔහුගේ සේවය වෙනුවෙන් පාවිච්චි කරද්දී යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම අපි ඔහුට කරන නමස්කාරය පැත්තෙන් තව දියුණු වෙද්දී සහෝදර සහෝදරියන්ට තව වැඩියෙන් උදව් කරන්නත් අපිට පුළුවන්. (1 තෙස. 4:9, 10) අපි කොච්චර කාලයක් තිස්සේ සත්‍යයේ හිටියත් අපි හැමෝටම තව දියුණු වෙන්න පැති තියෙනවා. ඒ ගැන දැන් අපි ටිකක් බලමු.

3. 1 තිමෝති 4:12-16 කියන විදිහට පාවුල් තිමෝතිව දිරිගැන්නුවේ මොනවා කරන්නද?

3 පාවුල් තිමෝතිට පළවෙනි ලිපිය ලියද්දී යෞවන වයසේ හිටපු තිමෝති අද්දැකීම් තිබුණ වැඩිමහල්ලෙක්. හැබැයි පාවුල් එයාට කියනවා තව දියුණු වෙන්න කියලා. (1 තිමෝති 4:12-16 කියවන්න.) දියුණු වෙන්න ඕනෙ පැති දෙකක් ගැන පාවුල් තිමෝතිට කිව්වා. (1) ආදරය, විශ්වාසය, නිර්මලකම වගේ යෙහෝවා කැමති ලස්සන ගුණාංග වර්ධනය කරගන්න එක. (2) දක්ෂ විදිහට කියවන එක, උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දෙන එක, හදවතට කතා කරන දක්ෂ ගුරුවරයෙක් වෙන එක වගේ පැතිවලින් තව දියුණු වෙන එක. අපි තිමෝතිගේ ආදර්ශයෙන් බලමු සාධාරණ ඉලක්ක තියාගන්න එක යෙහෝවාට කරන නමස්කාරයේ තව දියුණු වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම අපේ සේවය තව වැඩි කරන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

දෙවියන් ආස කරන ගුණාංග වර්ධනය කරගන්න

4. ෆිලිප්පි 2:19-22 කියන විදිහට තිමෝති යෙහෝවාට හුඟක් වටින කෙනෙක් වුණේ ඇයි?

4 නමස්කාරයේ වැඩකටයුතු වෙනුවෙන් තිමෝතිව උපරිමයෙන් පාවිච්චි කරන්න යෙහෝවාට පුළුවන් වුණේ ඇයි? ඒ එයා ගාව තිබුණ ලස්සන ගුණාංග නිසා. (ෆිලිප්පි 2:19-22 කියවන්න.) පාවුල් තිමෝති ගැන කියන තොරතුරුවලින් පැහැදිලි වෙනවා තිමෝති කියන්නේ හුඟක් නිහතමානී, විශ්වාසවන්ත, කඩිසරව සහ වගකීමෙන් වැඩ කරපු කෙනෙක් කියලා. ඒ වගේම සහෝදර සහෝදරියන්ට ආදරෙන් සලකන කෙනෙක් විදිහටත් එයා හොඳ නමක් දිනාගෙන හිටියා. ඒ නිසා පාවුල් එයාට ගොඩක් ආදරේ කළා. හුඟක් බැරෑරුම් වගකීම් වුණත් තිමෝතිට භාර දෙන්න පාවුල් දෙපාරක් හිතුවේ නැහැ. (1 කොරි. 4:17) අපිත් තිමෝති වගේ යෙහෝවා කැමති ගුණාංග වර්ධනය කරගන්නවා නම් යෙහෝවාගේ ආදරේ ලබන්න, සහෝදර සහෝදරියන් වෙනුවෙන් හොඳ සේවයක් කරන්න අපිටත් පුළුවන් වෙයි.—ගීතා. 25:9; 138:6.

ඔයා තව දියුණු කරගන්න කැමති ගුණාංගයක් තෝරගන්න (5 සහ 6 ඡේද බලන්න)

5. (අ) ඔයා වර්ධනය කරගන්න ඕනෙ මොන ගුණාංගයද කියලා තෝරගන්නේ කොහොමද? (ආ) පින්තූරෙනුත් පේන විදිහට මේ සහෝදරිය අනිත් අයට අනුකම්පාව පෙන්නන්න තියාගත්ත ඉලක්කය ජය ගන්න කරන්නේ මොනවාද?

5 නිශ්චිත ඉලක්කයක් තියාගන්න. ඔයා තව දියුණු වෙන්න ඕනෙ මොන වගේ පැතිවලින්ද කියලා යාච්ඤා කරලා හොඳට හිතලා බලන්න. ඊටපස්සේ එක ගුණාංගයක් තෝරගන්න. උදාහරණෙකට අනිත් අයට අනුකම්පාව පෙන්නන එක නැත්නම් එයාලට උදව් කරන එක පැත්තෙන් ඔයා තව දියුණු වෙන්න ඕනෙ කියලා ඔයාට හිතෙනවාද? අනිත් අයත් එක්ක සමාදානෙන් ඉන්න එක, මුළු හදවතින් එයාලට සමාව දෙන එක ටිකක් අමාරුයි කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඒ වගේ පැතිවලින් දියුණු වෙන්න ඉලක්කයක් තියාගන්න. ඔයා තව වර්ධනය කරගන්න ඕනෙ මොන වගේ ගුණාංගද කියලා විශ්වාසවන්ත යාළුවෙක්ගෙන් අහලා බලන්නත් ඔයාට පුළුවන්.—හිතෝ. 27:6.

6. ඔයා තෝරගත්ත ගුණාංගය වර්ධනය කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

6 ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. කොහොමද ඒක කරන්නේ? එක විදිහක් තමයි ඔයා දියුණු කරගන්න ඕනෙ ගුණාංගය ගැන හොඳට අධ්‍යයනය කරන එක. හිතන්න, ඔයා දියුණු කරගන්න තීරණය කළේ සමාව දීම කියන ගුණාංගය කියලා. කැමැත්තෙන්ම අනිත් අයට සමාව දීපු අය ගැන වගේම එහෙම නොකරපු අය ගැනත් බයිබලේ තියෙනවා. ඔයාට පුළුවන් ඒ වගේ බයිබල් චරිත ගැන කියවලා ඒ ගැන හොඳට හිතන්න. උදාහරණෙකට යේසුස් කියන්නේ අනිත් අයට කැමැත්තෙන්ම සමාව දීපු කෙනෙක්. (ලූක් 7:47, 48) ඒ වගේම යේසුස් අනිත් අයගේ වැරදි අඩුපාඩුකම් දිහා බලනවා වෙනුවට හැම තිස්සේම බැලුවේ එයාලගේ හොඳ පැති දිහා. හැබැයි යේසුස්ගේ කාලේ හිටපු පරිසිවරු නම් ඊට හාත්පසින්ම වෙනස්. එයාලා හැම තිස්සේම ‘අනිත් අයව පහත් කරලා සැලකුවා.’ (ලූක් 18:9) ඒ වගේ චරිත ගැන ගැඹුරින් කල්පනා කළාට පස්සේ ඔයාට මේ වගේ ප්‍රශ්න ගැනත් හිතන්න පුළුවන්. ‘මට හැම තිස්සේම පේන්නේ අනිත් අයගේ වැරදි අඩුපාඩුමද? නැත්නම් එයාලගේ හොඳ පැති දිහාත් මං බලනවාද?’ කාට හරි සමාව දෙන එක ඔයාට අමාරුයි කියලා හිතෙනවා නම් කොළයක් අරගෙන පුළුවන් තරම් එයාගේ හොඳ ගතිගුණ එකේ ලියන්න. ඊටපස්සේ මෙහෙම හිතන්න. ‘යේසුස් ඒ කෙනා දිහා බලන්නේ කොහොමද? මං ඉන්න තැන යේසුස් හිටියා නම් යේසුස් එයාට සමාව නොදී ඉඳියිද?’ ඒ විදිහට අධ්‍යයනය කරන එකෙන් අපි හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන්. සමහරවිට අපිට වරදක් කරපු කෙනෙක්ට සමාව දෙන එක මුලදී ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි අපි දිගටම උත්සාහය අත්හරින්නේ නැතුව ඒ දේ කළොත් අනිත් අයට මුළු හදවතින්ම සමාව දෙන්න අපිටත් පුළුවන් වෙයි.

වැඩි සේවයක් කරන්න උදව් වෙන හැකියාවන් වර්ධනය කරගන්න

නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු වැඩ ඉගෙනගන්න ඉදිරිපත් වෙන්න (7 ඡේදය බලන්න) *

7. හිතෝපදේශ 22:29 කියන විදිහට විවිධ දක්ෂතාවයන් තියෙන අයව යෙහෝවා අද පාවිච්චි කරන්නේ කොහොමද?

7 අලුත් දෙයක් ඉගෙනගන්න එකත් ඔයාට තියාගන්න පුළුවන් තව ඉලක්කයක්. ටිකක් හිතන්න ලෝකේ පුරාම තියෙන බෙතෙල් ගොඩනැඟිලි, සමුළු ශාලා සහ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන වැඩවලට කීදෙනෙක්ගේ නම් සහයෝගය ඕනෙ වෙනවාද කියලා. එයාලගෙන් හුඟදෙනෙක් වැඩක් දක්ෂ විදිහට කරන්න ඉගෙනගෙන තියෙන්නේ අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන්ගෙන්. උදාහරණෙකට පින්තූරෙනුත් පේන විදිහට අපේ හුඟක් සහෝදර සහෝදරියන් සමුළු ශාලා සහ නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන විදිහ ඉගෙනගන්නවා. ඒ වගේ දක්ෂතා දියුණු කරගෙන ඉන්න අයව “සදාකාලික රජ්ජුරුවන්” වන යෙහෝවා දෙවියන් සහ “රජවරුන්ගේ රජ” වන යේසුස් පුදුමාකාර විදිවලින් පාවිච්චි කරනවා. (1 තිමෝ. 1:17; 6:15; හිතෝපදේශ 22:29 කියවන්න.) හැබැයි අපි හැකියාවක්, දක්ෂතාවයක් දියුණු කරගද්දී මතක තියාගන්න ඕනෙ දේකුත් තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරන්න ඕනෙ අපිටම නමක් හදාගන්න නෙවෙයි, යෙහෝවාගේ නම ගෞරවයට පත් කරන්න.—යොහ. 8:54.

8. ඔයා දියුණු කරගන්න ඕනෙ මොන දක්ෂතාවයද කියලා තීරණය කරන්නේ කොහොමද?

8 නිශ්චිත ඉලක්කයක් තියාගන්න. ඔයා අලුතෙන් ඉගෙනගන්න කැමති මොන වගේ දෙයක්ද? මොන වගේ දක්ෂතාවයක් දියුණු කරගන්න එක හොඳයිද කියලා වැඩිමහල්ලන්ගෙන් හරි නැත්නම් සමහරවිට චාරිකා සේවකගෙන් හරි අහලා බලන්න ඔයාට පුළුවන්. උදාහරණෙකට හිතන්න, ඔයාගේ ඉගැන්වීමේ හැකියාවන් තව ටිකක් දියුණු කරගත්තොත් හොඳයි කියලා එයාලා යෝජනාවක් දෙනවා. එහෙම කිව්වොත් ඔයා ඉගැන්වීම අතින් හරියටම දියුණු වෙන්න ඕනෙ මොන පැත්තෙන්ද කියලා එයාලගෙන් අහන්න. ඒක අඳුරගත්තාට පස්සේ ඒක දියුණු කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාට ඒක කරන්න පුළුවන් කොහොමද?

9. හැකියාවක්, දක්ෂතාවයක් දියුණු කරගන්න ඔයා තියලා තියෙන ඉලක්කය ජය ගන්න පුළුවන් කොහොමද?

9 ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. කලිනුත් බලපු විදිහට ඔයාට ඕනෙ ඔයාගේ ඉගැන්වීමේ හැකියාව තව දියුණු කරගන්න. ඒකට ‘ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න’ කියන සඟරාව ඔයාට උදව් වෙයි. ඒ වගේම ඔයාට පුළුවන් සති මැද රැස්වීමේ කොටසක් ලැබුණාම අද්දැකීම් තියෙන සහෝදරයෙක් ඉස්සරහා ඒක කරලා පෙන්නන්න. ඊටපස්සේ තව දියුණු කරගන්න ඕනෙ මොන පැතිද කියලා එයාගෙන් අහන්න. හැබැයි හැකියාවන්, දක්ෂතාවයන් දියුණු කරගත්තාට විතරක් මදි. කඩිසරව, වගකීමෙන් වැඩ කරන කෙනෙක් විදිහට ඔයා හොඳ නමක් දිනාගන්න එකත් වැදගත්.—හිතෝ. 21:5; 2 කොරි. 8:22.

10. හැකියාවක් දියුණු කරගන්න අපිට පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

10 ඔයා දියුණු කරගන්න ඉලක්ක තියාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් ඔයාට කරන්න අමාරු දෙයක්ද? එහෙමනම් උත්සාහය අත්හරින්න එපා. සහෝදර ගැරීගේ අද්දැකීම බලන්න. එයාට කියවීමේ අපහසුතාවයක් තිබුණා. එයා කියනවා සභාවේ ප්‍රසිද්ධියේ කියවන්න පැවරුමක් ලැබුණාම එයා වරද්ද වරද්ද කියවපු එක ගැන එයාට ගොඩක් ලැජ්ජා හිතුණා කියලා. හැබැයි එයා කියවීමේ හැකියාව දියුණු කරගන්න දිගටම මහන්සි වුණා. ඒ මහන්සියට ප්‍රතිඵල ලැබුණාද? ඔව්. සහෝදරයන්ගෙනුයි, සංවිධානයෙනුයි ලැබුණ පුහුණුව නිසා එයා දැන් සභාවේ විතරක් නෙවෙයි චාරිකා සමුළුවල, තුන්දින සමුළුවල පවා දක්ෂ විදිහට දේශන දෙනවා.

11. තිමෝති වගේ යෙහෝවා දෙවියන්ට තව වැඩිපුර සේවයක් කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

11 තිමෝති අනිත් අයගේ හිත් ඇදගන්න විදිහට දේශන දෙන, දක්ෂ විදිහට උගන්වන ගුරුවරයෙක් වුණාද? බයිබලේ ඒක හරියටම කියලා නැහැ. හැබැයි පාවුල් දිහා බලලා, පාවුල් දීපු උපදෙස් අදාළ කරගත්ත එකෙන් එයා කරකර හිටපු පැවරුම් තවත් දක්ෂ විදිහට කරන්න තිමෝතිට පුළුවන් වුණා. (2 තිමෝ. 3:10) අපිත් ඒ වගේ අපේ හැකියාවන්, දක්ෂතාවයන් දියුණු කරගන්නවා නම් අමතර වගකීම් භාර අරගෙන යෙහෝවා වෙනුවෙන් හොඳ සේවයක් කරන්න අපිටත් පුළුවන්.

සහෝදරයන්ට තව උදව් කරන්න පුළුවන් විදි හොයන්න

12. අනිත් අයගේ උදව්වලින් ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද?

12 අනිත් අයගෙන් ලැබුණ උදව් නිසා අපි හැමෝම වගේ ප්‍රයෝජන ලබලා තියෙනවා. ටිකක් හිතන්න, ඔයා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉද්දී රෝහල් සබඳතා කමිටුවේ සහෝදරයන් නැත්නම් රෝගීන්ව බලන්න යන කණ්ඩායමේ සහෝදරයන් ඒ වෙලාවේ ඔයාගේ උදව්වට ඔයා ළඟින්ම හිටපු එක කොච්චර ලොකු හයියක් වුණාද? ඔයා ජීවිතේ ප්‍රශ්න ගැටලුත් එක්ක පොරබදිද්දී වැඩිමහල්ලෙක් ඔයාට උදව් කරපු විදිහ මතක් වෙනවාද? සමහරවිට ඔයා ඔයාගේ දුක කියද්දී ඒක හොඳට අහන් ඉඳලා එයා ඔයාව සනසන්න ඇති. ඒක ඔයා කොච්චර අගය කරනවාද! ඔයාගේ බයිබල් පාඩමකට උදව් ඕනෙ වුණ වෙලාවක අද්දැකීම් තියෙන පුරෝගාමියෙක් ඔයාත් එක්ක පාඩමට ඇවිල්ලා ඔයාට තව හොඳ යෝජනා දීපු එකෙන් ඔයා කොච්චර ප්‍රයෝජන ලැබුවාද! ඒ සහෝදර සහෝදරියන් හැමෝම අපිට උදව් කළේ කැමැත්තෙන්මයි. එහෙම කරලා එයාලා ලොකු සතුටක් ලැබුවා. අනිත් අයට උදව් කරලා ඒ වගේම සතුටක් ලබන්න ඔයාටත් පුළුවන්. මොකද යේසුස් කිව්වා “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා. (ක්‍රියා 20:35) මේ වගේ එක එක විදිවලින් යෙහෝවාට තව වැඩිපුර සේවයක් කරන්න ඔයාත් ආස නම් ඒ ඉලක්කය ජය ගන්න ඔයාට පුළුවන් කොහොමද?

13. අපි ඉලක්කයක් තියාගද්දී මතක තියාගන්න ඕනෙ මොකක්ද?

13 ඉලක්ක තියාගද්දී ඒවා නිශ්චිත ඒවා වෙන්න ඕනෙ කියලා මතක තියාගන්න. උදාහරණෙකට හිතන්න ඔයා ඉලක්කයක් තියාගන්නවා ‘මං සභාව වෙනුවෙන් තව ටිකක් වැඩිපුර දේවල් කරනවා’ කියලා. හැබැයි ඔයා ඒ ඉලක්කයට යන්නේ කොහොමද කියලාවත් දැන් ඒ ඉලක්කය ජය ගත්තාද නැද්ද කියලාවත් ඔයාට පැහැදිලිව දැනගන්න බැහැ. ඒ නිසයි ඔයා තියාගන්න ඉලක්ක නිශ්චිත ඒවා වෙන්න ඕනේ. ඔයාගේ ඉලක්කය මොකක්ද, ඒ ඉලක්කයට යන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා ලියාගන්නත් ඔයාට පුළුවන්.

14. අපි මුහුණ දෙන තත්වයන් නිසා අපේ ඉලක්ක වෙනස් කරගන්න වෙන්නේ ඇයි?

14 අපි මුහුණ දෙන සමහර තත්වයන් නිසා අපේ ඉලක්ක වෙනස් කරගන්න වෙනවා. ඒ ඇයි? මොකද අපේ ජීවිතේ මුහුණ දෙන්න වෙන දේවල් 100%ක්ම පාලනය කරන්න අපිට බැහැ. ඒක තේරුම්ගන්න ටිකකට පාවුල් ගැන හිතන්න. එයා තෙසලෝනිකයට ගිහිල්ලා එහේ අලුතින් සභාවක් පටන්ගන්න උදව් කළා. ඊටපස්සේ එයාගේ ඉලක්කය වුණේ දිගටම එහේ ඉඳලා අලුතින් ක්‍රිස්තියානීන් වුණ ඒ සහෝදර සහෝදරියන්ට උදව් කරන එක. හැබැයි හිතපු නැති විදිහට තත්වයන් වෙනස් වුණා. මුහුණ දෙන්න වුණ විරුද්ධවාදිකම් නිසා එයාට එහෙන් යන්න වුණා. (ක්‍රියා 17:1-5, 10) සමහරවිට පාවුල් දිගටම එහේ හිටියා නම් එහේ ඉන්න සහෝදරයන්ගේ ජීවිතවලටත් අනතුරක් වෙන්න ඉඩ තිබුණා. හැබැයි ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණා කියලා පාවුල් ඒ හැම දෙයක්ම අත්හැරලා දැම්මේ නැහැ. ඒ වෙනුවට එයා තත්වෙට අනුව සකස් වුණා. පස්සේ කාලෙක තෙසලෝනිකයේ අලුතින් ක්‍රිස්තියානීන් වුණ ඒ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න පාවුල් තිමෝතිව එහෙට යැව්වා. (1 තෙස. 3:1-3) උදව් ඕනෙ වුණ සභාවක සේවේ කරන්න තිමෝති ඉදිරිපත් වුණ එක ගැන තෙසලෝනිකයේ සහෝදරයන් කොච්චර සතුටු වෙන්න ඇද්ද!

15. තත්වයන් වෙනස් වෙද්දී ඒක අපේ ඉලක්කවලට බලපාන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

15 පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? හිතන්න ඔයා මොකක් හරි ඉලක්කයක් තියාගෙන ඉන්නවා කියලා. හැබැයි හිතපු නැති දේවල්වලට මුහුණ දෙන්න වෙන නිසා ඔයාට ඒ ඉලක්කයට යන්න බැරි වෙනවා. (දේශ. 9:11) ඔයාත් ඒ වගේ තත්වයකට මුහුණ දීපු කෙනෙක් නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඔයා දැන් ඉන්න තත්වෙට අනුව ඔයාට කරන්න පුළුවන් දෙයක් ගැන ඉලක්කයක් තියන්න. සහෝදර ටෙඩ් සහ සහෝදරි හයිඩි කළෙත් ඒ දේමයි. අසනීප තත්වයක් හින්දා එයාලට බෙතෙල් සේවය නවත්වන්න වුණා. හැබැයි එයාලගේ තත්වයන් වෙනස් වුණා කියලා යෙහෝවා ගැන එයාලගේ හිතේ තිබුණ ආදරේ වෙනස් වුණේ නැහැ. ඒ නිසා තව වැඩි සේවයක් කරන්න පුළුවන් මොන විදිවලින්ද කියලා එයාලා හිතලා බැලුවා. මුලින්ම එයාලා ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. ඊටපස්සේ විශේෂ පුරෝගාමි සේවයත් කළා. ඒ වගේම සහෝදර ටෙඩ් ආදේශක චාරිකා සේවකයෙක් විදිහට පුහුණුව ලැබුවා. හැබැයි ඊට ටික කාලෙකට පස්සේ චාරිකා සේවකයන් විදිහට සේවේ කරන්න පුළුවන් මොන වයස් සීමාවේ ඉන්න අයටද කියලා සංවිධානයෙන් අලුත් මඟ පෙන්වීමක් ලැබුණා. ඒ වෙද්දී ඒ දෙන්නාම හිටියේ ඒ වයස් සීමාව පහු කරලා. ඒ නිසා එයාලට ඒ සේවයේ හවුල් වෙන්න ලැබුණේ නැහැ. මුලදී ඒ දෙන්නා ටිකක් අධෛර්යය වුණා. හැබැයි පස්සේ එයාලා තේරුම්ගත්තා යෙහෝවාට සේවේ කරන්න තව හුඟක් විදි තියෙනවා කියලා. සහෝදර ටෙඩ් ඒ ගැන මෙහෙම කියනවා. “අපි ඉගෙනගත්ත එක දෙයක් තමයි කවදාවත් එක ඉලක්කයකට කොටු වෙන්න හොඳ නැහැ කියන දේ. මොකද යෙහෝවාට සේවේ කරන්න ඕන තරම් විදි තියෙනවා.”

16. ගලාති 6:4 කියන දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 අපි ජීවිතේ මුහුණ දෙන හැම දෙයක්ම අපිට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බැහැ. ඒ නිසා යෙහෝවාට ඔයාව වටින්නේ ඔයා විශේෂ පැවරුමක් කළොත් විතරයි කියලා හිතන්න එපා. ඒ වගේම අනිත් අය කරන පැවරුම් එක්ක ඔයා කරන පැවරුම සසඳන්නත් එපා. සහෝදරි හයිඩි ඒ ගැන මෙහෙම කියනවා. “කවදාවත් අනිත් අයත් එක්ක ඔයාව සසඳන්න එපා. ඔයා එහෙම කළොත් ඔයාටත් හොරා ඔයාගේ සතුට ටිකෙන් ටික බොඳ වෙලා යයි.” (ගලාති 6:4 කියවන්න.) එහෙමනම් ඔයා කරන්න ඕනෙ මොකක්ද? එකම දේකට කොටු වෙන්න එපා. යෙහෝවා දෙවියන් වෙනුවෙන්, සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඔයාට තව කරන්න පුළුවන් මොනවාද කියලා හොඳට හොයලා බලන්න. *

17. වැඩිපුර සේවයක් කරන්න සුදුසුකම් ලබන්න ඔයාට පුළුවන් කොහොමද?

17 වැඩිපුර සේවයක් කරන්න නම් ඔයා ජීවිතේ සරල කරගන්න ඕනේ. අනවශ්‍ය විදිහට ණය වෙන්නේ නැතුව ඉන්නත් ඕනේ. ඒ වගේම ඔයාට පුළුවන් වැඩි සේවයක් කරන්න ඔයා තියලා තියෙන ඒ ඉලක්කයට යන්න උදව් වෙන පුංචි පුංචි ඉලක්ක තියාගන්න. උදාහරණෙකට ඔයාගේ ඉලක්කය ස්ථාවර පුරෝගාමියෙක් වෙන එක නම් ඔයාට දැන් දිගටම සහායක පුරෝගාමි සේවය කරන්න පුළුවන්ද? ඔයාගේ ඉලක්කය සහායක සේවකයෙක් වෙන එක නම් ඔයාට පුළුවන්ද තව ටිකක් වැඩියෙන් දේශනා සේවේ හවුල් වෙන්න? ඒ වගේම සභාවේ ඉන්න වයසක අයව, අසනීප අයව බලන්න යන්න? ඒ විදිහට ඔයා දැන් ලබන අද්දැකීම් ඉස්සරහට හොඳ සේවයක් කරන්න ඔයාට ලොකු පන්නරයක් වෙයි. ඉතින් දැන් ඔයාට මොන පැවරුම ලැබුණත් ඒක ඔයාගේ උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන්න.—රෝම 12:11.

ඔයාට ජය ගන්න පුළුවන් විදිහේ සාධාරණ, නිශ්චිත ඉලක්කයක් තියාගන්න (18 ඡේදය බලන්න) *

18. සහෝදරි බෙවලිගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (පින්තූරයත් බලන්න.)

18 ‘මං දැන් වයසයි. මේ වයසට මොන ඉලක්කද’ කියලා කවදාවත් හිතන්න එපා. අවුරුදු 75ක් වයස සහෝදරි බෙවලිගේ අද්දැකීම බලන්න. එයාට තිබුණ බරපතළ අසනීපයක් නිසා එයාට ඇවිදින්න අමාරුයි. හැබැයි සිහි කිරීමට ආරාධනා කරන විශේෂ ව්‍යාපෘතිය වෙනුවෙන් උපරිමය දෙන්න එයාට ඕනෙ වුණා. ඉතින් එයා මොකද කළේ? එයා නිශ්චිත ඉලක්ක තියාගත්තා. එයා හිතපු විදිහටම ඒ දේවල් කරගන්න පුළුවන් වුණාම එයාට දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක්. සහෝදරි බෙවලි කරපු සේවේ දැකලා සභාවේ අයත් එයාලගේ උපරිමය කරන්න පෙලඹුණා. මහලු වයසේ ඉන්න ආදරණීය සහෝදර සහෝදරියනි, ඔයාලා මුහුණ දෙන තත්වයන් නිසා යෙහෝවා වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බැරි වුණත් ඔයාලා කරන පුංචි දේත් ඔහු ගොඩක් අගය කරනවා කියලා මතක තියාගන්න.—ගීතා. 71:17, 18.

19. අපිට තියාගන්න පුළුවන් මොන වගේ ඉලක්කද?

19 ඔයාට අත් කරගන්න පුළුවන් විදිහේ සාධාරණ ඉලක්ක තියන්න. දෙවියන් සතුටු වෙන ගුණාංග වර්ධනය කරගන්න. යෙහෝවා දෙවියන්ටත් සංවිධානයටත් ඔයාව හොඳින් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ හැකියාවන් වර්ධනය කරගන්න. ඒ වගේම සහෝදර සහෝදරියන්ට තව වැඩියෙන් උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හොයලා බලන්න. * එහෙම කරද්දී යෙහෝවා ඔයාට ගොඩක් ආශීර්වාද කරයි. එතකොට තිමෝති වගේ ‘ඔයා දියුණු වෙන විදිහ හැමෝටම දැකගන්න පුළුවන් වෙයි.’—1 තිමෝ. 4:15.

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

^ 5 ඡේ. තිමෝති කියන්නේ දක්ෂ දේවසේවකයෙක්. හැබැයි දෙවියන්ට කරන සේවය පැත්තෙන් තවත් දියුණු වෙන්න කියලා පාවුල් එයාව දිරිගැන්නුවා. පාවුල් දීපු උපදෙස් අදාළ කරගත්ත නිසා යෙහෝවා දෙවියන්ට තව වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් වෙන්නත් සහෝදර සහෝදරියන්ට තව වැඩියෙන් උදව් කරන්නත් තිමෝතිට පුළුවන් වුණා. ඔයාත් ආසද තිමෝති වගේ යෙහෝවා වෙනුවෙන්, සහෝදර සහෝදරියන් වෙනුවෙන් තව වැඩියෙන් දේවල් කරන්න? ඒකට ඔයාට තියාගන්න පුළුවන් ඉලක්ක මොනවාද? ඒ වගේම ඒ ඉලක්ක අත් කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලනවා.

^ 16 ඡේ.යෙහෝවා දෙවිගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්’ පොතේ 10වෙනි පරිච්ඡේදයේ 6-9 ඡේදවල තියෙන “අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කිරීම” කියන කොටස බලන්න.

^ 19 ඡේ. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ “යෙහෝවා එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න” කියන 60වෙනි පාඩම බලන්න.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: සහෝදරයෙක් සහෝදරියන් දෙන්නෙක්ව නඩත්තු වැඩවලට පුහුණු කරනවා. ඒ සහෝදරියන් එයාලා ලබපු පුහුණුවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: ගෙදරටම කොටු වෙලා ඉන්න මහලු සහෝදරියක් දුරකථනයෙන් යේසුස්ගේ මරණය සිහි කිරීමට අනිත් අයට ආරාධනා කරනවා.