Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 15

ඔයාගේ කතාබහ අනිත් අයට ආදර්ශයක්ද?

ඔයාගේ කතාබහ අනිත් අයට ආදර්ශයක්ද?

‘ඔබ කතා කරන ආකාරයෙන් දෙවිට විශ්වාසවන්තව සේවය කරන අයට ආදර්ශයක් වන්න.’—1 තිමෝ. 4:12.

ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු

මේ ලිපියෙන් *

1. කතා කරන්න අපිට හැකියාව දුන්නේ කවුද?

 කතා කරන්න ලැබුණ හැකියාව යෙහෝවා දෙවියන් අපිට දීපු තෑග්ගක්. ඒ විශේෂ තෑග්ග නිසා තමයි මුල්ම මිනිසා වුණ ආදම්ව නිර්මාණය කරපු ගමන්ම එයාගේ හිතේ තියෙන දේවල් එයාට යෙහෝවාත් එක්ක බෙදාගන්න පුළුවන් වුණේ. ඒ විතරක් නෙවෙයි ඒ හැකියාව පාවිච්චි කරලා අලුත් වචන හදන්නත් ආදම්ට පුළුවන් වුණා. ඒ නිසා සත්තුන්ට නම් දාන එකෙන් එයා ලොකු සතුටක් ලබන්න ඇති. (උත්. 2:19) මෙච්චර කල් සත්තුත් එක්ක හිටපු ආදම්ට මුල්ම වතාවට ඒවව හම්බ වුණ වෙලාව ගැන පොඩ්ඩක් හිතන්න. ඒ වෙලාවේ තමන්ගේ ආදරණීය බිරිඳත් එක්ක ආදම් කොච්චර සතුටින් කතා කරන්න ඇද්ද!—උත්. 2:22, 23.

2. කතා කිරීමේ හැකියාව මුල ඉඳන්ම වැරදි විදිහට පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද?

2 කතා කරන්න යෙහෝවා දීපු හැකියාව වැරදි විදිහට පාවිච්චි කරන්න වැඩි කල් ගියේ නැහැ. මුලින්ම සාතන් කියන යක්ෂයා ඒ හැකියාව වැරදි විදිහට පාවිච්චි කරලා ඒවට බොරු කිව්වා. මේ බොරුව මුළු මිනිස් වර්ගයාවම පාපයටයි, මරණයටයි ඇදලා දැම්මා. (උත්. 3:1-4) එතකොට ආදම් මොකද කළේ? එයා කරපු වැරැද්ද වහගන්න ඒක යෙහෝවා දෙවියන් පිටයි, ඒව පිටයි පැටෙව්වා. (උත්. 3:12) කායිනුත් කළේ ඒ වගේම දෙයක්. එයාගේම සහෝදරයාව මරලා එයා යෙහෝවා දෙවියන්ට බොරු කිව්වා. (උත්. 4:9) පස්සේ කාලෙක කායින්ගෙන් පැවතෙන ලාමෙක් කියපු කවියකින් පැහැදිලි වෙනවා ඒ කාලේ මිනිස්සු කොච්චර දරුණුද කියලා. (උත්. 4:23, 24) අද තත්වේ කොහොමද? දේශපාලන නායකයෝ කිසිම ලැජ්ජාවක් නැතුව ප්‍රසිද්ධියේ හරිම පහත් දේවල් කියනවා. නරක වචන, නරක විහිළු නැති චිත්‍රපටියක් අද හොයාගන්නවත් නැති තරම්. ඉස්කෝලෙකට ගියත් රස්සාවකට ගියත් තත්වය ඒ විදිහමයි. ඒකෙන් තේරෙනවා අද පහත් විදිහට කතා කරන එක සාමාන්‍ය දෙයක් වෙලා කියලා. ඇත්තටම මේ ලෝකය වැටෙන්න පුළුවන් පහත්ම අඩියට වැටිලයි තියෙන්නේ.

3. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන දෙයින්ද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 පරෙස්සම් වුණේ නැත්නම් අනිත් අයගේ පහත් කතාබහ, නරක වචන අපිටත් බෝ වෙන්න පුළුවන්. ක්‍රිස්තියානීන් විදිහට අපිට ඕනෙ හැම වෙලාවෙම දෙවියන්ව සතුටු කරන්න. ඒක කරන්න නම් දෙවියන් අකමැති පහත් දේවල් අපේ ජීවිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ඒ විතරක් මදි, දෙවියන්ගෙන් ලැබුණ කතා කිරීමේ හැකියාව හරි විදිහට පාවිච්චි කරන්නත් අපි උත්සාහ කරන්න ඕනේ. සේවේදී, රැස්වීම්වලදී, එදිනෙදා ජීවිතේදී ඒක කරන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා. හැබැයි ඊට කලින් බලමු අපි කතා කරන දේවල් ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද කියලා.

අපේ කතාබහ ගැන යෙහෝවා දෙවියන් සැලකිලිමත්

ඔයාගේ හිතේ පිරිලා තියෙන්නේ මොනවාද කියලා ඔයා කතා කරන දේවල්වලින් හෙළි වෙනවා. (4 සහ 5 ඡේද බලන්න) *

4. මලාකි 3:16 කියන විදිහට අපේ කතාබහ ගැන යෙහෝවා සැලකිලිමත් වෙන්නේ ඇයි?

4 මලාකි 3:16 කියවන්න. බයිබලේ කියනවා කතාබහෙන් දෙවියන්ව ගෞරවයට පත් කරන අයගේ නම් ඔහු “ලියවිල්ලක සටහන්” කරගන්නවා කියලා. යෙහෝවා එහෙම දෙයක් කරන්නේ ඇයි කියලා දන්නවාද? ඒකට උත්තරේ යේසුස් කියපු මේ දෙයින් පැහැදිලියි. ඔහු කිව්වේ “කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි” කියලා. (මතෙ. 12:34) ඒ නිසා කෙනෙක් කතා කරන දේවල්වලින් පැහැදිලිව පේනවා එයාට යෙහෝවා ගැන කොච්චර ආදරයක් තියෙනවාද කියලා. යෙහෝවා දෙවියන් කැමතියි තමන්ට ආදරේ කරන ඒ වගේ අයට සදාකාල ජීවිතය දෙන්න. ඒ නිසයි ඔහු ලියවිල්ලක එයාලගේ නම් සටහන් කරගන්නේ.

5. (අ) අපි කතා කරන දේවල් අපේ නමස්කාරයට බලපාන්නේ කොහොමද? (ආ) පින්තූරෙනුත් පේන විදිහට අපි හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

5 අපි කතාබහ කරන විදිහ යෙහෝවා දෙවියන් අපේ නමස්කාරය පිළිගන්නවාද නැද්ද කියන එකට කෙළින්ම බලපානවා. (යාකො. 1:26) ලෝකේ මිනිස්සු නම් පොඩි දේටත් කේන්ති ගන්නවා. එයාලා කොච්චර දරුණුද, කොච්චර උඩඟුද කියලා එයාලා කතා කරන විදිහෙන් පේනවා. (2 තිමෝ. 3:1-5) අපිට ඕනෙ නැහැ එයාලා වගේ වෙන්න. මොකද දෙවියන්ගේ සෙනඟ විදිහට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ කතාබහෙන් යෙහෝවාව සතුටු කරන්න. හැබැයි රැස්වීමේදී, සේවේදී අනිත් අයට ආදරෙන් කතා කරලා, ගෙට ඇතුල් වුණාට පස්සේ කෙනෙක් පවුලේ අයට වෙනමම විදිහට කතා කරනවා නම් යෙහෝවා ඒ ගැන සතුටු වෙයිද?—1 පේතෘ. 3:7.

6. කිම් කතා කරපු විදිහෙන් ලැබුණ හොඳ ප්‍රතිඵල මොනවාද?

6 යෙහෝවාගේ සෙනඟ විදිහට කතා කිරීමේ හැකියාව කියන තෑග්ග අපි හරි විදිහට පාවිච්චි කරනවා නම් ‘දෙවිට සේවය කරන අයයි නොකරන අයයි අතර වෙනස අනිත් අය පැහැදිලිව දකිනවා.’ (මලා. 3:18) ඒක කොච්චර ඇත්තක්ද කියලා සහෝදරි කිම්ගේ * අද්දැකීමෙන් පැහැදිලියි. සැරයක් ඉස්කෝලෙදී එයාගේ පන්තියේ ළමයෙක් එක්ක ව්‍යාපෘතියක් කරන්න එයාට සිද්ධ වුණා. කිම් එක්ක වැඩ කළාට පස්සේ ඒ යාළුවා දැක්කා කිම් අනිත් ළමයින්ට වඩා ගොඩක් වෙනස් කියලා. මොකද කිම් අනිත් අය නැති තැන එයාලගේ වැරදි කියන, නරක වචන පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි කියලා යාළුවාට තේරුණා. ඒ වගේම එයා ගොඩක් කාරුණික, මිත්‍රශීලී කෙනෙක් කියලත් යාළුවා දැක්කා. ඒ නිසා මේ වෙනසට හේතුව මොකක්ද කියලා හොයලා බලන්න යාළුවාගේ හිතේ ලොකු කුතුහලයක් ඇති වුණා. අන්තිමේදී එයා බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. අපි කතාබහ කරන විදිහ නිසා අනිත් අය සත්‍යයට ඇදිලා එනවා දකිද්දී යෙහෝවා ඒ ගැන කොච්චර සතුටු වෙනවා ඇද්ද!

7. ඔයාට ඕනෙ යෙහෝවාගෙන් ලැබුණ තෑග්ග මොන විදිහට පාවිච්චි කරන්නද?

7 කතා කරන්න ලැබිලා තියෙන හැකියාව යෙහෝවා දෙවියන්ට ගෞරවයක් ලැබෙන විදිහට, අනිත් අයත් එක්ක තියෙන බැඳීම් ශක්තිමත් වෙන විදිහට පාවිච්චි කරන්න අපි හැමෝම කැමතියි. ඒ නිසා ‘අපි කතා කරන විදිහෙන් අනිත් අයට ආදර්ශයක් වෙන්න’ පුළුවන් මොන වගේ පැතිවලින්ද කියලා දැන් අපි බලමු.

සේවේදී

සේවේදී කාරුණික විදිහට කතා කරද්දී යෙහෝවා ගොඩක් සතුටු වෙනවා (8 සහ 9 ඡේද බලන්න)

8. කතා කරන විදිහ ගැන යේසුස් තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

8 අනිත් අය ඔයාට බැන්නත් එයාලට කාරුණිකව, ගෞරවයෙන් කතා කරන්න. යේසුස් මේ පොළොවේ සේවේ කරද්දී මිනිස්සු ඔහුට ගොඩක් බොරු චෝදනා කළා. සමහරු කිව්වා යේසුස් බේබද්දෙක්, කෑදරයෙක්, භූතයන්ගෙන් උදව් ගන්න කෙනෙක්, සබත් නීතිය කඩ කරන කෙනෙක් සහ දෙවියන්ට අපහාස කරන කෙනෙක් කියලා. (මතෙ. 11:19; 26:65; ලූක් 11:15; යොහ. 9:16) ඒ මොන දේ කිව්වත් යේසුස් කවදාවත් කේන්ති අරන් එයාලට බැන්නේ නැහැ. යේසුස් වගේ වෙන්න ඔයාටත් පුළුවන්ද? (1 පේතෘ. 2:21-23) ඔයා යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් කවුරු හරි ඔයාට බැන්නත් ඔයා කවදාවත් කේන්ති අරන් එකට එක කියන්නේ නැහැ. ඒත් සමහර වෙලාවලදී ඒක කරන එක හිතන තරම් ලේසි නැහැ. (යාකො. 3:2) එහෙමනම් ඒක කරන්න උදව් වෙන්නේ මොනවාද?

9. කේන්ති ගිහින් ඉන්න කෙනෙක්ට සන්සුන්ව උත්තර දෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

9 හිතන්න, සේවේ යද්දී කවුරු හරි කෙනෙක් ඔයාට හොඳටම බනිනවා. ඒ වගේ වෙලාවට ඔයා මොකද කරන්නේ? සහෝදර සෑම් කරපු දේ බලන්න. “කෙනෙක් බනිද්දී මං හැම තිස්සේම හිතන්නේ එයාත් සත්‍යය දැනගන්න ඕනෙ කියලා. එයා වගේ කෙනෙක්ට වුණත් වෙනස් වෙන්න පුළුවන්.” සමහර වෙලාවට කෙනෙක් ඔයාට කේන්තියෙන් කතා කරන්නේ එයා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් එයා වැඩ කන්දරාවක හිර වෙලා ඉන්න නිසා වෙන්න ඇති. ඉතින් කෙනෙක් බැන්නා කියලා ඕනෑවට වඩා දුක් වෙන්න එපා. අපිට බනින කෙනෙක් එක්ක සන්සුන්ව කතා කරන්න උදව් වෙන තව දෙයක් මොකක්ද? සහෝදරි ලුසියා ඒ වගේ කෙනෙක් එක්ක කතා කරද්දී කෙටි යාච්ඤාවක් කරලා කාරුණිකව, සන්සුන්ව කතා කරන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා. අපිටත් පුළුවන් ඒ දේම කරන්න.

10. 1 තිමෝති 4:13 කියන විදිහට අපේ ඉලක්කය වෙන්න ඕනෙ මොකක්ද?

10 හදවතට කතා කරන දක්ෂ ගුරුවරයෙක් වෙන්න. තිමෝති කියන්නේ දක්ෂ දේවසේවකයෙක්. හැබැයි පාවුල් එයාටත් කිව්වේ උගන්වන විදිහ ගැන දිගටම සැලකිලිමත් වෙන්න කියලයි. (1 තිමෝති 4:13 කියවන්න.) සේවේදී දක්ෂ ගුරුවරු වෙන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි හොඳින් සූදානම් වෙන එක. දක්ෂ ගුරුවරයෙක් වෙන්න උදව් වෙන හුඟක් දේවල් සංවිධානයෙන් අපිට දීලා තියෙනවා. උදාහරණෙකට ‘ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න’ කියන සඟරාව, ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොතේ’ තියෙන “සේවය හොඳින් කරන්න ඉගෙනගමු” කියන කොටස ඒක කරන්න ඔයාට ගොඩක් උදව් වෙයි. ඒ දේවල්වලින් ඔයා උපරිම ප්‍රයෝජන ගන්නවාද? එහෙම කරනවා නම් සේවේදී දැනෙන බය අඩු කරගෙන අනිත් අයගේ හදවතට කතා කරන දක්ෂ ගුරුවරයෙක් වෙන්න ඔයාට පුළුවන්.

11. සමහර අයට දක්ෂ ගුරුවරු වෙන්න උදව් වෙලා තියෙන්නේ මොනවාද?

11 දක්ෂ විදිහට උගන්වන සහෝදර සහෝදරියන්ගෙනුත් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. කලින් සඳහන් කරපු සෑම් මෙහෙම කියනවා. “මං හැම තිස්සේම කල්පනා කරනවා ඒ සහෝදරයා නැත්නම් සහෝදරිය දක්ෂ විදිහට උගන්නන්න පාවිච්චි කළේ මොන වගේ ක්‍රමද කියලා.” සෑම් අනිත් අය උගන්වන විදිහ දිහා හොඳට බලන් ඉඳලා ඒ විදිහටම කරන්න උත්සාහ කරනවා. සහෝදරි ටාලියාට උදව් වුණේ වෙන දෙයක්. අද්දැකීම් තියෙන සහෝදරයන් දේශන දෙද්දී එයාලා විෂය තර්කානුකූලව ගොඩනඟන විදිහ ගැන ටාලියා හොඳ අවධානයකින් ඉන්නවා. ඊටපස්සේ මිනිස්සු නිතරම වගේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න, දෙයක් තර්කානුකූලව පැහැදිලි කරලා දෙන්න, සේවේ ගිහින් දක්ෂ විදිහට කතා කරන්න එයා ඒ ක්‍රමයම පාවිච්චි කරනවා.

රැස්වීම්වලදී

මුළු හදවතින්ම ගීතිකා කියද්දී යෙහෝවාට ප්‍රශංසාව ලැබෙනවා (12 සහ 13 ඡේද බලන්න)

12. සමහර අයට තියෙන අභියෝගය මොකක්ද?

12 රැස්වීම්වලදී එකට එකතු වෙලා ප්‍රශංසා ගීතිකා ගායනා කරන එකෙන්, හොඳට සූදානම් වෙලා අදහස් දෙන එකෙන් හැමෝම දිරිගැන්වෙනවා. (ගීතා. 22:22) ඒත් සමහර අයට ගීතිකා කියන එක සහ රැස්වීමේදී උත්තර දෙන එක ලොකු අභියෝගයක්. ඔයාටත් එහෙමද? එහෙමනම් ඒක ජය ගන්න අනිත් අයට උදව් වුණේ මොනවාද කියලා දැනගන්න ඔයා කැමති වෙයි.

13. රැස්වීමේදී මුළු හදවතින්ම ගීතිකා කියන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

13 මුළු හදවතින්ම ගීතිකා කියන්න. අපි ගීතිකා කියන්නේ යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්නයි. සහෝදරි සාරාගේ අද්දැකීම බලන්න. සාරා හිතනවා එයාට ලස්සනට ගීතිකා කියන්න බැහැ කියලා. ඒ වුණත් ගීතිකා කියලා යෙහෝවාට ප්‍රශංසා කරන්න එයා ගොඩක් ආසයි. ඉතින් එයා රැස්වීමේ කොටස්වලට ලෑස්ති වෙද්දී ගීතිකා කියන්නත් ලෑස්ති වෙනවා. ඒ වෙලාවට රැස්වීමේ සාකච්ඡා කරන තොරතුරුවලට ඒ ගීතිකා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා එයා හොඳට හිතනවා. ඒ ගැන එයා කියන දේ බලන්න. “ගීතිකාවේ අදහස ගැන හිතන හින්දා ඒක ලස්සනට කියන්න පුළුවන්ද කියන එක ගැන මං වධ වෙන්නේ නෑ.”

14. රැස්වීමේදී අදහස් දෙන්න ලැජ්ජාවක්, බයක් දැනෙනවා නම් කරන්න පුළුවන් මොනවාද?

14 අදහස් දක්වන එක පුරුද්දක් කරගන්න. සමහරුන්ට ඒක ලොකු අභියෝගයක්. කලින් සඳහන් කරපු ටාලියා කියන දේ බලන්න. “මං කට්ටියක් ඉස්සරහා කතා කරන්න ටිකක් බය කෙනෙක්. ඒත් ඒක අනිත් අයට එච්චර තේරෙන්නේ නෑ. මොකද මං කතා කරන්නේ හරිම හෙමින්. හැබැයි ඇත්තම කිව්වොත් රැස්වීමේදී අනිත් අය ඉස්සරහා උත්තරයක් දෙන එක මට ගොඩක් අමාරුයි.” එහෙම වුණා කියලා ටාලියා උත්තර නොදී ඉන්නේ නැහැ. එයා රැස්වීම්වලට ලෑස්ති වෙද්දී සරල, කෙටි අදහස් දෙන්න හොඳට සූදානම් වෙනවා. එයා ඒ ගැන කියන දේ බලන්න. “මගේ උත්තරේ ගොඩක් කෙටි, සරල එකක් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නෑ. මොකද කොටස මෙහෙයවන කෙනා කොහොමත් ප්‍රශ්නෙකට මුලින්ම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ උත්තරයක්නේ.”

15. රැස්වීම්වලදී දෙන අදහස් ගැන අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

15 ලැජ්ජාවක්, බයක් දැනෙන්නේ නැති කෙනෙක් වුණත් සමහරවිට රැස්වීමේදී අදහස් දෙන්න අදිමදි කරන්න පුළුවන්. ඒ ඇයි? බලන්න සහෝදරි ජුලියට් කියන දේ. “සමහර වෙලාවට මට හිතෙනවා මගේ උත්තරේ සරල වැඩියි, ඒක එච්චර ලස්සන නෑ කියලා.” ඔයාටත් එහෙම හිතෙනවා නම් මේ දේ මතක තියාගන්න. යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ ඔයා අනිත් අයට වඩා හොඳ උත්තරයක් දෙයි කියලා නෙවෙයි, ඔයාගේ හැකියාවට අනුව උත්තරයක් දෙයි කියලා. * ඔයා හොඳට සූදානම් වෙලා උත්තරයක් දෙද්දී යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ හින්දා කිසිම හේතුවක් නිසා රැස්වීමේ අදහස් දෙන්නේ නැතුව ඉන්න එපා.

එදිනෙදා ජීවිතේදී

16. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන වගේ දේවල් කියන එකෙන්ද?

16 “නින්දාසහගත කතා” සම්පූර්ණයෙන්ම අයින් කරන්න. (එෆී. 4:31) කලින් කිව්වා වගේ පහත් කතාබහට ක්‍රිස්තියානීන්ගේ ජීවිතේ කිසිම ඉඩක් නැහැ. හැබැයි පරෙස්සම් වුණේ නැත්නම් අපි දන්නෙම නැතුව තව කෙනෙක්ට නින්දා වෙන විදිහට කතා කරන්න ඉඩ තියෙනවා. උදාහරණෙකට අපි එච්චර හිතන්නේ බලන්නේ නැතුව කියන දේවල් නිසා තව ජාතියකට, සංස්කෘතියකට අයිති කෙනෙක්ව පහත් කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් කෙනෙක්ව කැපෙන විදිහට, රිද්දන විදිහට කතා කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි අපි කවුරුත් කැමති නැහැ නේද අනිත් අයට එහෙම කරන්න? එක සහෝදරයෙක් කියපු දෙයක් බලන්න. “ඉස්සර මං හරියට අනිත් අයව කැපෙන විදිහට එක එක දේවල් කියනවා. මං ඒක කළේ විහිළුවට. හැබැයි පස්සේ තමයි මං දැනගත්තේ ඒ ඇස් රතු වෙන විහිළුවලින් අනිත් අයගේ හිත් හුඟක් පෑරිලා කියලා. සැරයක්, දෙසැරයක් නෙමේ මට උදව් කරන්න අවුරුදු ගාණක් තිස්සේ මගේ නෝනා ගොඩක් මහන්සි වුණා. අපි දෙන්නා තනියම ඉද්දී එයා හරිම ආදරෙන් මට පෙන්නලා දුන්නා මගේ වචන නිසා එයාගෙයි, අනිත් අයගෙයි හිත් කොච්චර පෑරෙනවාද කියලා.”

17. එෆීස 4:29 කියන විදිහට අනිත් අයව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද?

17 අනිත් අයව දිරිගැන්වෙන විදිහට කතා කරන්න. අනිත් අයගේ වැරදි කියන්න, එයාලට චෝදනා කරන්න ඉක්මන් වෙන්නේ නැතුව එයාලව අගය කරන්න. (එෆීස 4:29 කියවන්න.) උදාහරණෙකට ඊශ්‍රායෙල්වරු ගැන හිතන්න. යෙහෝවා දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න එයාලට ඕන තරම් හේතු තිබ්බා. හැබැයි ස්තුති කරනවා වෙනුවට එයාලා කළේ දිගින් දිගටම මැසිවිලි නඟපු එකයි. කෙනෙක්ට ඒ වගේ ආකල්පයක් තියෙනවා නම් වසංගතයක් වගේ ඒක අනිත් අය අතරේ ඉක්මනටම පැතිරිලා යන්න පුළුවන්. මතකද පොරොන්දු දේශයට ගිය ඔත්තුකරුවන් දහදෙනාගේ සිද්ධිය? එයාලා දේශය ගැන නරක තොරතුරු කිව්වාම ‘මුළු සෙනඟ මෝසෙස්ට විරුද්ධව මැසිවිලි නැඟුවා.’ (ගණන්. 13:31–14:4) හැබැයි කෙනෙක්ට විරුද්ධව දෙයක් කියනවා වෙනුවට එයාව අගය කරනවා නම් ඒකෙන් එයාට ලොකු සතුටක් දැනෙනවා. මතකද යෙප්තාගේ දුවව? එයාගේ පැවරුම දිගටම සතුටින් කරගෙන යන්න යාළුවන්ගෙන් ලැබුණ දිරිගැන්වීම් එයාට ගොඩක් උදව් වෙන්න ඇති. (විනි. 11:40) කලින් සඳහන් කරපු සාරා කියන දේ බලන්න. “කෙනෙක්ව අගය කරද්දී එයාට දැනෙනවා යෙහෝවා දෙවියනුයි, සහෝදර සහෝදරියනුයි එයාට කොච්චර ආදරෙයිද, සභාවට එයාව කොච්චර වටිනවාද කියලා.” ඒ නිසා කෙනෙක්ව දිරිගන්වන්න ලැබෙන අවස්ථාවක් කවදාවත් මඟහරින්න එපා.

18. ගීතාවලිය 15:1, 2 කියන විදිහට අපි ඇත්ත කතා කරන්න ඕනෙ ඇයි? ඒකට ඇතුළත් වෙන්නේ මොනවාද?

18 හැම වෙලේම ඇත්ත කතා කරන්න. අපි බොරු කියනවා නම් අපිට කවදාවත් බැහැ යෙහෝවාගේ හිත සතුටු කරන්න. මොකද බොරුව කියන්නේ යෙහෝවා ගොඩක් පිළිකුල් කරන දෙයක්. (හිතෝ. 6:16, 17) අද ඉන්න මිනිස්සු නම් කට ඇරියොත් කියන්නේ බොරු. ඒ ගැන එයාලට කිසිම ගාණක් නැහැ. ඒත් දෙවියන්ගේ සෙනඟ විදිහට අපි ඒක කීයටවත් සැහැල්ලුවට ගන්නේ නැහැ. (ගීතාවලිය 15:1, 2 කියවන්න.) බොරු කියන එක විතරක් නෙවෙයි හිතාමතාම තව කෙනෙක්ව නොමඟ යවන අරමුණින් ඇත්ත වසන් කරන එකෙනුත් අපි වළකිනවා.

දිරිගැන්වෙන දෙයක් කියලා ඇවිළෙන ගින්නක් නිවලා දාද්දී යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා (19 ඡේදය බලන්න)

19. අපි පරෙස්සම් වෙන්න ඕනෙ තව දෙයක් මොකක්ද?

19 ඕපාදූප පතුරුවන්න එපා. (හිතෝ. 25:23; 2 තෙස. 3:11) කලින් සඳහන් කරපු සහෝදරි ජුලියට්ට ඕපාදූප බලපාපු විදිහ ගැන එයා මෙහෙම කියනවා. “ඕපාදූප අහන එකෙන් කිසිම දිරිගැන්වීමක් ලැබෙන්නේ නෑ. අනික ඕපාදූප කියන කෙනා ගැන තියෙන විශ්වාසයත් නැති වෙනවා. එයා තව කෙනෙක් ගැන මට ඕපාදූප කියනවා නම්, මං ගැන අනිත් අයට මොනවා කියනවා ඇද්ද!” කතාබහක් හෙමින් සීරුවේ ඕපාදූප පැත්තට හැරෙනවා නම් මොකද කරන්නේ? ඒ ගින්නට පිදුරු දාන්නේ නැතුව දිරිගැන්වෙන දෙයක් කියලා ඒ ගින්න නිවලා දාන්න අපිට පුළුවන්.—කොලො. 4:6.

20. ඔයාගේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

20 මේ ලෝකේ මිනිසුන්ගේ කතාබහ පහත් අඩියටම වැටිලයි තියෙන්නේ. ඒ නිසා යෙහෝවා කැමති විදිහට අපේ වචන හසුරුවන්න නම් අපිට ලොකු සටනක් කරන්න වෙනවා. කතා කිරීමේ හැකියාව යෙහෝවා ඔයාට දීපු තෑග්ගක් කියලා කවදාවත් අමතක කරන්න එපා. ඒ තෑග්ග ඔයා හරි විදිහට පාවිච්චි කරයි කියලා ඔහු ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් සේවේදී, රැස්වීම්වලදී, එදිනෙදා ජීවිතේදී යෙහෝවා සතුටු වෙන විදිහට කතා කරන්න දිගටම මහන්සි වෙන්න. ඒ මහන්සියට ඔහු ඔයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. දෙවියන්ගෙන් ලැබුණ මේ තෑග්ග තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැති දුෂ්ට මිනිස්සු ළඟදීම විනාශ වෙනවා. එදාට යෙහෝවාව ගෞරවයට පත් වෙන විදිහට කතාබහ කරන එක කොච්චර ලේසි වෙයිද! (යූද් 15) ඒ කාලේ එන කල් ‘ඔයාගේ මුවින් පිට වෙන වචනවලින්’ යෙහෝවාව දිගටම ප්‍රශංසාවට පත් කරන්න අධිෂ්ඨාන කරගන්න.—ගීතා. 19:14.

ගීතිකාව 121 අපව පාලනය කරගනිමු

^ 5 ඡේ. කතා කරන්න ලැබුණ හැකියාව යෙහෝවා දෙවියන් අපිට දීපු විශේෂ තෑග්ගක්. හැබැයි අද ඉන්න හුඟක් අය ඒ තෑග්ග පාවිච්චි කරන්නේ යෙහෝවා කැමති විදිහට නෙවෙයි. ඒ හැකියාව අනිත් අයව දිරිගැන්වෙන විදිහට, යෙහෝවා සතුටු වෙන විදිහට පාවිච්චි කරන්නේ කොහොමද? සේවේදී, රැස්වීම්වලදී, එදිනෙදා ජීවිතේදී අපේ කතාබහෙන් යෙහෝවාව ප්‍රශංසාවට පත් කරන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 6 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 15 ඡේ. රැස්වීමේදී අදහස් දෙන එක ගැන වැඩි විස්තර දැනගන්න 2019 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ “සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න” කියන ලිපිය බලන්න.

^ 61 ඡේ. පින්තූරයේ අදහස: සේවේදී හම්බ වෙන කෙනෙක් කේන්ති අරන් බනිද්දී අපේ සහෝදරයාටත් කේන්ති යනවා. සහෝදරයෙක් ගීතිකාව කියන්නේ නැතුව ඔහේ ඉන්නවා. සහෝදරියක් ඕපාදූපයක් කියනවා.