Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 16

යෙහෝවා දෙවියන් වෙනුවෙන් උපරිමය දීලා සතුටු වෙන්න

යෙහෝවා දෙවියන් වෙනුවෙන් උපරිමය දීලා සතුටු වෙන්න

“සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි.”—ගලා. 6:4.

ගීතිකාව 37 මුළු සිතින් දෙවිට සේවය කරමි

මේ ලිපියෙන් *

1. අපිට ලොකු සතුටක් දැනෙන්නේ මොනවා කරන එකෙන්ද?

 ප්‍රීතිය නැත්නම් සතුට කියන්නේ දෙවියන්ගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. (ගලා. 5:22) ඒකෙන් තේරෙනවා යෙහෝවා කැමති අපි සතුටින් ඉන්නවාට කියලා. ලැබීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙනවා කියලා බයිබලේ කියනවා. (ක්‍රියා 20:35) ඒක ඔයාත් අද්දැකලා තියෙනවාද? උපරිමෙන් යෙහෝවාට සේවේ කරද්දී, සහෝදර සහෝදරියන්ට උදව් කරද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා නේද?

2-3. (අ) ගලාති 6:4 කියන විදිහට දිගටම යෙහෝවාට සතුටින් සේවේ කරන්න අපිට උදව් වෙන්නේ මොන දේවල් දෙකද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 දිගටම යෙහෝවාට සතුටින් සේවේ කරන්න උදව් වෙන දේවල් දෙකක් ගැන පාවුල් ගලාති 6:4 කියලා තියෙනවා. (කියවන්න.) (1) අපේ ඉලක්කය වෙන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට අපේ උපරිමය දෙන එක. එහෙම කරනවා නම් අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. (මතෙ. 22:36-38) (2) අපි අනිත් අයත් එක්ක අපිව සසඳන්න හොඳ නැහැ. අපේ ශරීර ශක්තිය, අපි ලබලා තියෙන පුහුණුව, අපේ හැකියාවන් නිසා අපිට යෙහෝවා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් නම් අපි ඒ ගැන යෙහෝවාට ස්තුති කරන්න ඕනේ. මොකද ඒ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ ඔහුගෙන්. අනිත් අතට තව කෙනෙක් අපිට වඩා දක්ෂ විදිහට සේවේ කරද්දී අපි ඒ ගැනත් සතුටු වෙන්න ඕනේ. මොකද ඒ කෙනා එයාට තියෙන හැකියාවන්, දක්ෂතාවන් පාවිච්චි කරන්නේ එයාට නමක් හදාගන්නවත් අනිත් අය ඉස්සරහා කැපිලා පේන්නවත් නෙවෙයි, යෙහෝවා වෙනුවෙන්. ඒ නිසා අපි එයාලා එක්ක තරඟ කරනවා වෙනුවට එයාලාගෙන් ඉගෙනගන්න උත්සාහ කරන්න ඕනේ.

3 හිතේ හැටියට යෙහෝවාට සේවේ කරගන්න බැහැ කියලා ඔයාට හිතෙනවා නම් ඒ හැඟීමෙන් ගොඩ එන්න පුළුවන් කොහොමද? ඔයාට තියෙන හැකියාවන්, දක්ෂතාවන් යෙහෝවා වෙනුවෙන් උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? අනිත් අයගේ ආදර්ශවලින් ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

හිතේ හැටියට සේවේ කරන්න බැහැ කියලා හිතෙනවා නම් . . .

ජීවිත කාලේ පුරාම යෙහෝවාට ඔයාගේ උපරිමය දෙන්න. එහෙම කරද්දී ඔහු ඔයා ගැන ගොඩක් සතුටු වෙනවා (4-6 ඡේද බලන්න) *

4. අපි අධෛර්යය වෙන්න පුළුවන් මොන වගේ දේවල්වලට මුහුණ දෙද්දීද? අද්දැකීමක් කියන්න.

4 මහලු වයස නිසා, අසනීප නිසා කලින් තරම් දේවල් කරගන්න බැරි වෙද්දී දෙවියන්ගේ සේවකයෙක්ට ඒක ලොකු වේදනාවක්. කැරල් මුහුණ දුන්නෙත් ඒ වගේම දේකට. එයා එක කාලෙක ප්‍රචාරකයන් අඩු පළාතකට ගිහිල්ලා හුඟක් උද්‍යෝගයෙන් සේවේ කරපු කෙනෙක්. ඒ කාලේ එයා බයිබල් පාඩම් 35ක් කළා. හුඟක් අයට බව්තීස්මය දක්වා දියුණු වෙන්නත් උදව් කළා. ඇත්තටම කැරල් හොඳ සේවයක් කරපු කෙනෙක්. හැබැයි එයා හිතපු නැති විදිහට හැම දෙයක්ම කණපිට පෙරළුණා. හදිසියේ අසනීප වෙලා එයා ගෙදරටම කොටු වුණා. එයාට හැඟුණ විදිහ ගැන කැරල් මෙහෙම කියනවා. “මේ ලෙඩේ නිසා මට අනිත් අය තරම් යෙහෝවාට සේවේ කරගන්න විදිහක් නෑ. ‘ඉස්සර වගේ යෙහෝවාට සේවේ කරන්න තියෙනවා නම්’ කියලා හිතෙන වාර ගාණ අනන්තයි. ඒ නිසා මට දැනෙන්නේ යෙහෝවා මගෙන් බලාපොරොත්තු වෙන තරමට මං දැන් දේවල් කරන්නේ නෑ කියලා. ඒ ගැන හිතද්දී මට ලොකු වේදනාවක් දැනෙනවා.” ඇත්ත, කැරල්ට ඉස්සර තරම් යෙහෝවාට සේවේ කරගන්න බැහැ. හැබැයි ඔයාලා දැක්කාද එයාට තාමත් ඕනෙ කලින් වගේම යෙහෝවාට උපරිමය දෙන්න. තත්වයන් කොච්චර වෙනස් වුණත් යෙහෝවාට සේවේ කරන්න කැරල්ට තියෙන ආසාව පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. යෙහෝවා ඒ ගැන කොච්චර සතුටු වෙනවා ඇද්ද!

5. (අ) කලින් වගේ සේවේ කරන්න බැහැ කියලා හිතෙනවා නම් අපි මතක තියාගන්න ඕනෙ මොකද්ද? (ආ) පින්තූරෙනුත් පේන විදිහට සහෝදරයෙක් ජීවිත කාලේ පුරාම යෙහෝවාට එයාගේ උපරිමය දීලා තියෙන්නේ කොහොමද?

5 ඔයාත් කලින් තරම් යෙහෝවාට සේවේ කරන්න බැහැ කියලා හිතලා අධෛර්යය වෙලා ඉන්න කෙනෙක් නම් මේ ගැන හිතන්න. ‘ඇත්තටම යෙහෝවා ඔයාගෙන් ඉල්ලන්නේ මොකක්ද?’ ඒකට උත්තරේ ඔයා දන්නවා. ඒ ඔයාගේ උපරිමය. කෙනෙක්ගේ උපරිමය එයා මුහුණ දෙන තත්වයන්වලට අනුව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. වයස අවුරුදු 80 ගණන්වල එක සහෝදරියක් ඉන්නවා. වයස 40 ගණන්වලදී කළා වගේ සේවයක් කරගන්න දැන් බැරි නිසා එයා ඉන්නේ හොඳටම කලකිරිලා. එයා හිතනවා එයා දැන් උපරිමය කළත් යෙහෝවාට ඒක එච්චර වටින්නේ නැහැ කියලා. යෙහෝවාත් එයා ගැන හිතන්නේ ඒ විදිහටද? ඒ සහෝදරිය වයස 40 ගණන්වලදී දුන්නෙත් එයාගේ උපරිමය. 80 ගණන්වලදී දෙන්නෙත් එයාගේ උපරිමය. ඒ කියන්නේ එයා දිගටම යෙහෝවාට එයාගේ උපරිමය දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා නම් අපි දැන් කරන සේවේ යෙහෝවාට මදියි කියලා අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි අපි කරන සේවයෙන් සතුටු වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ යෙහෝවා මිසක් අපි නෙවෙයි කියන දේ. යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට අපි අපේ උපරිමය කරනවා නම් යෙහෝවා අපිටත් කියයි, ‘මට ඔයා ගැන ගොඩක් සතුටුයි’ කියලා.—මතෙ. 25:20-23.

6. මරියාගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

6 කරන්න බැරි දේවල් ගැන හිතහිත ඉන්නවා වෙනුවට කරන්න පුළුවන් දේ ගැන හිතනවා නම් දිගටම සතුටින් ඉන්න අපිට පුළුවන්. සහෝදරි මරියා එහෙම කරපු කෙනෙක්. අසනීපයක් නිසා කලින් තරම් සේවේ කරන්න එයාට පුළුවන් වුණේ නැහැ. ඒ ගැන හිතලා මුලදී එයා ගොඩක් කලකිරුණා. එයා වටින්නේ නැහැ කියලත් එයාට හිතුණා. ඊටපස්සේ මොකද වුණේ? එයාගේ සභාවේ හිටියා එක්තැන් වෙච්ච සහෝදරියක්. මරියා හිතුවා එයාට උදව් කරන්න ඕනෙ කියලා. ඒ ගැන මරියා මෙහෙම කියනවා. “මං එයාගේ ගෙදර ගිහින් ටෙලිෆෝන් එකෙන්, ලියුම්වලින් එයාත් එක්ක සේවේ කළා. ඒ විදිහට සේවේ කරලා ගෙදර එන හැම වෙලාවකම මට දැනුණේ පුදුම සතුටක්. මොකද මගේ සහෝදරියට උදව් කරන්න මට පුළුවන් වුණානේ.” මොකක්ද පාඩම? අපිත් කරන්න බැරි දේවල් ගැන හිතහිත දුක් වෙනවා වෙනුවට පුළුවන් දේ කරනවා නම් ඒකෙන් අපේ සතුට වැඩි වෙනවා. ඒත් ඔයා දැන් කරනවාටත් වඩා වැඩියෙන් සේවේ කරන්න පුළුවන් කෙනෙක්ද? නැත්නම් ඔයා දැනටමත් එහෙම කරන කෙනෙක්ද? එහෙමනම් ඔයාට කල්පනා කරලා බලන්න පුළුවන් පැති මොනවාද?

ඔයාට තියෙන හැකියාවන් උපරිමෙන් ‘පාවිච්චි කරන්න’

7. පේතෘස් අපිව දිරිගැන්නුවේ මොනවා කරන්නද?

7 අපිට තියෙන දක්ෂතාවන්, හැකියාවන් සහෝදර සහෝදරියන් වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා පේතෘස් අපිව දිරිගන්වලා තියෙනවා. එයා මෙහෙම කියනවා. “සෑම කෙනෙකුටම විවිධාකාර දීමනා ලබා දී තිබෙන නිසා දෙවිගේ මහත් කරුණාව ලබා ඇති යහපත් භාරකරුවන් ලෙස එම දීමනා එකිනෙකාට සේවය කිරීම සඳහා භාවිත කරන්න.” (1 පේතෘ. 4:10) අනිත් අය ඊර්ෂ්‍යා කරයි නැත්නම් අධෛර්යය වෙයි කියලා හිතලා යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන දීමනා අපි පාවිච්චි නොකර ඉන්න හොඳ නැහැ. මොකද එහෙම කළොත් යෙහෝවාට අපේ උපරිමය දෙන්න අපිට බැරි වෙනවා.

8. 1 කොරින්ති 4:6, 7 කියන විදිහට අපි අපි ගැන මහ ඉහළින් කතා කරන්න හොඳ නැත්තේ ඇයි?

8 අපිට දෙවියන්ගෙන් ලැබිලා තියෙන දීමනා අපි උපරිමෙන් පාවිච්චි කරන්න ඕනෙ තමයි. හැබැයි අපි කවදාවත් ඒවා ගැන මහා ඉහළින් කතා කරන්න හොඳ නැහැ. (1 කොරින්ති 4:6, 7 කියවන්න.) හිතන්න, ඔයා බයිබල් පාඩම් පටන්ගන්න හුඟක් දක්ෂ කෙනෙක් කියලා. ඔයාට එහෙම හැකියාවක් තියෙනවා නම් ඒක ඔහේ පැත්තකට කරලා තියන්න එපා. ඒක උපරිමෙන් පාවිච්චි කරන්න. හැබැයි කවදාවත් අනිත් අය ඉස්සරහා ඒ ගැන ආඩම්බරයෙන් කියවන්න යන්න එපා. හිතන්න, ළඟදී ඔයා සේවේ යද්දී හොඳ උනන්දු කෙනෙක්ව හම්බ වෙලා එයාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා කියලා. මේ ගැන සහෝදරයන්ට කියන කල් ඔයාට ඉවසිල්ලක් නැහැ. ඉතින් ඔය අද්දැකීම කියන්නත් හිතාගෙන ඔයා ඊළඟ දවසේ ඔයාගේ කණ්ඩායමේ අයත් එක්ක සේවේ යන්න එකතු වෙනවා. හැබැයි එතකොට ඔයා දකිනවා තව සහෝදරියක් එයා සේවේ යද්දී සඟරාවක් දීපු විදිහ ගැන හරිම සතුටින් කට්ටියත් එක්ක කියකිය ඉන්නවා. එයා දීලා තියෙන්නේ සඟරාවක් විතරයි. හැබැයි ඔයා බයිබල් පාඩමකුත් පටන්ගත්තා. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා දන්නවා ඔයාගේ අද්දැකීම අහලා සහෝදරයෝ ගොඩක් දිරිගැන්වෙයි කියලා. හැබැයි ඒ අද්දැකීම කියන්න හොඳම වෙලාව මේකද? මොකද ඔයා ඒක කිව්වොත් සමහරවිට අර සඟරාව දීපු සහෝදරියට දුක හිතෙන්න පුළුවන්. එයා ඔයා තරම් දක්ෂ නැහැ කියලා හිතලා කලකිරෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයා තීරණය කරයි ඒක වෙන වෙලාවක කිව්වොත් හොඳයි කියලා. හැබැයි කොහොම වුණත් බයිබල් පාඩම් පටන්ගන්න ඔයාට තියෙන හැකියාව යෙහෝවා වෙනුවෙන් උපරිමෙන් පාවිච්චි කරන්න.

9. දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන තෑගි අපි පාවිච්චි කරන්න ඕනෙ කොහොමද?

9 අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ අපිට තියෙන හැම හැකියාවක්ම, දක්ෂතාවක්ම යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන තෑගි කියලා. අපි ඒවා පාවිච්චි කරන්න ඕනෙ අපිටම නමක් හදාගන්න නෙවෙයි, සංවිධානයට හයියක් වෙන්න. (ෆිලි. 2:3) ඒ විදිහට අපේ ශක්තිය, හැකියාවන් අපි පාවිච්චි කරන්නේ අනිත් අයත් එක්ක තරඟ වදින්නවත් අපි අනිත් අයට වඩා උසස් කියලා පෙන්නන්නවත් නෙවෙයි. ඒ වෙනුවට අපිට ඕනෙ ඒ දේවල් පාවිච්චි කරලා යෙහෝවාව ප්‍රශංසාවට පත් කරන්න. එහෙම කරද්දී අපිට මුළු හදවතින්ම සතුටු වෙන්න පුළුවන්.

10. අපිත් එක්ක අනිත් අයව සන්සන්දනය කරන්න හොඳ නැත්තේ ඇයි?

10 අපි හරි දක්ෂ විදිහට කරන දෙයක් තව කෙනෙක්ට ඒ තරම් හොඳට කරන්න බැරි වුණාම සමහරවිට අපි හිතින් එයාව පහත් කරලා සලකන්න ඉඩ තියෙනවා. උදාහරණෙකට හිතන්න, සහෝදරයෙක්ට දක්ෂ විදිහට දේශන දෙන්න පුළුවන්. ඒක තමයි යෙහෝවා දෙවියන්ගෙන් එයාට ලැබිලා තියෙන දීමනාව. හැබැයි එච්චර දක්ෂ විදිහට දේශන දෙන්න බැරි සහෝදරයෙක්ව සමහරවිට එයා ටිකක් පහත් කරලා සලකන්න ඉඩ තියෙනවා. ඒ සහෝදරයා දක්ෂ කථිකයෙක් නොවුණාට එයා ආගන්තුක සත්කාරයට ළැදි, එයාගේ ළමයින්ව හොඳට පුහුණු කරන, උද්‍යෝගයෙන් සේවේ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක දීමනා තියෙන සහෝදර සහෝදරියන් අපි අතරේ ඉන්න එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද!

අනිත් අයගේ ආදර්ශවලින් ඉගෙනගන්න

11. අපි යේසුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?

11 ඇත්ත, අපි කවදාවත් අනිත් අයත් එක්ක අපිව සන්සන්දනය කරන්න හොඳ නැහැ. හැබැයි යෙහෝවා දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. උදාහරණෙකට යේසුස් ගැන හිතන්න. යේසුස් කියන්නේ පරිපූර්ණ කෙනෙක්. අපිට කවදාවත් 100%ක් යේසුස් වගේ වෙන්න බැහැ. ඒ වුණත් යේසුස්ට තිබුණ ලස්සන ගුණාංගවලින්, ඔහු වැඩ කරපු විදිහෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. (1 පේතෘ. 2:21) අපි පුළුවන් තරම් කිට්ටුවෙන් යේසුස්ව ආදර්ශයට ගන්න උත්සාහ කරද්දී යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න වගේම ඔහු වෙනුවෙන් හොඳ සේවයක් කරන්න අපිට පුළුවන් වෙනවා.

12-13. දාවිත්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

12 අපිට ආදර්ශයට ගන්න පුළුවන් විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් හුඟදෙනෙක් ගැන බයිබලේ තියෙනවා. (හෙබ්‍රෙ. 6:12) එයාලත් අපි වගේම පාපය උරුම කරගත්ත අය. දාවිත් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. යෙහෝවා දෙවියන් එක අවස්ථාවක කිව්වා, ‘දාවිත් මගේ සිත සතුටු කරන කෙනෙක්’ කියලා. (ක්‍රියා 13:22) හැබැයි අපි දන්නවා දාවිත් බරපතළ වැරදි කරපු කෙනෙක්. ඒ වගේ කෙනෙක්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? දාවිත් අතින් වරදක් වුණත් ඒක පෙන්නලා දෙද්දී එයා නිදහසට කරුණු කිව්වේ නැහැ. ඒ වෙනුවට ලැබුණ උපදෙසට හොඳින් ඇහුම්කන් දීලා එයාගේ වරද ගැන අවංකවම පසුතැවිලි වුණා. ඒ නිසයි යෙහෝවා දෙවියන් එයාට සමාව දුන්නේ.—ගීතා. 51:3, 4, 10-12.

13 දාවිත්ගේ ආදර්ශයෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒක තේරුම්ගන්න මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ‘උපදෙසක් ලැබෙද්දී මං වැඩ කරන්නේ කොහොමද? කෙනෙක් මගේ වරදක් පෙන්නලා දෙද්දී මං ඒක ඉක්මනට පිළිගන්නවාද නැත්නම් නිදහසට කරුණු කියන්න උත්සාහ කරනවාද? මං වරද අනිත් අය පිට පටවනවාද? එකම වරද ආයේ ආයේ නොකර ඉන්න මං උත්සාහ කරනවාද?’ විශ්වාසවන්ත සේවකයන් ගැන බයිබලේ තියෙන අනිත් වාර්තා කියවද්දීත් ඒ වගේම ප්‍රශ්න ගැන හිතලා බලන්න ඔයාට පුළුවන්. උදාහරණෙකට මෙහෙම හිතන්න. ‘මං දැන් මුහුණ දෙන්නෙත් එයාලා මුහුණ දුන්නා වගේම අභියෝගවලටද? එයාලා ගාව තිබුණ ලස්සන ගුණාංග මොනවාද? එයාලව ආදර්ශයට ගන්න මට පුළුවන් කොහොමද?’

14. අනිත් අයව ආදර්ශයට ගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

14 අපි අතර ඉන්න සහෝදර සහෝදරියන් අපිට වඩා බාල අය වුණත් වැඩිමල් අය වුණත් එයාලාගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එහෙම කියද්දී ඔයාගේ සභාවේ ඉන්න කාව හරි ඔයාට මතක් වුණාද? සමහරවිට යාළුවන්ගෙන්, පවුලේ අයගෙන් එන බලපෑම් මැද, අසනීප මැද විශ්වාසවන්තව ඉන්න සහෝදරයෙක්ව නැත්නම් සහෝදරියක්ව ඔයාට මතක් වෙන්න ඇති. එයා ගාව තියෙන මොන වගේ ගතිගුණද ඔයා ඔයාගේ ජීවිතේට එකතු කරගන්න කැමති? ඇත්තටම ඔයාගේ ප්‍රශ්න සාර්ථකව විඳදරාගන්න ඒ වගේ අයගේ ආදර්ශ ඔයාට ලොකු හයියක් වෙයි. ඒ වගේ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් ඔයාගේ ඇස් පනාපිටම ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්නේ නැද්ද?—හෙබ්‍රෙ. 13:7; යාකො. 1:2, 3.

යෙහෝවාට උපරිමය දීලා සතුටු වෙන්න

15. පාවුල් කියපු විදිහට දිගටම සතුටින් යෙහෝවාට සේවේ කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

15 සහෝදරයන් අතරේ තියෙන සාමය, එක්සත්කම රැකගන්න අපි හැමෝම අපේ උපරිමය කරන්න ඕනේ. ටිකකට මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ගැන හිතන්න. එයාලට යෙහෝවා දෙවියන්ගෙන් එක එක විදිහේ දීමනා සහ පැවරුම් ලැබිලා තිබුණා. (1 කොරි. 12:4, 7-11) හැබැයි එයාලා ඒ දේවල් නිසා එයාලා අතරේ තරඟයක්, බෙදීමක් ඇති කරගත්තේ නැහැ. ඒ වෙනුවට ‘ක්‍රිස්තුස්ගේ ශරීරය ගොඩනඟන්න’ එකට එකතු වෙලා එකා වගේ වැඩ කරන්න කියලා පාවුල් එයාලට උනන්දු කළා. පාවුල් එෆීසවරුන්ට කියපු මේ දේ බලන්න. “සෑම අවයවයක්ම එලෙස තමාට නියම වූ කාර්යය නිසි ලෙස ඉටු කරන විට මුළු ශරීරයේම වර්ධනයට එය දායක වෙයි. එසේ එකිනෙකා අතර තිබෙන ප්‍රේමයෙන් මුළු ශරීරයම ශක්තිමත්ව වැඩෙයි.” (එෆී. 4:1-3, 11, 12, 16) එයාලා ඒ විදිහට වැඩ කරපු නිසා සභාව සාමෙන් පිරුණු තැනක් වුණා. අදත් අපේ සහෝදරයන් අතරේ ඒ දේම දකින්න තියෙනවා නේද?

16. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? (හෙබ්‍රෙව් 6:10)

16 කවදාවත් අනිත් අයත් එක්ක ඔයාව සසඳන්න එපා. ඒ වෙනුවට යේසුස්ට තිබුණ ලස්සන ගුණාංග ආදර්ශයට ගන්න. බයිබල් ආදර්ශ සහ අපේ කාලේ ජීවත් වෙන යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන්ව ආදර්ශයට ගන්න. එහෙම කරලා ඔයා ඔයාගේ උපරිමය යෙහෝවාට දෙද්දී ඔයාට ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේම මේ දේත් මතක තියාගන්න. ‘ඔයා කරපු සේවය දෙවියන් කවදාවත් අමතක කරන්නේ නැහැ.’හෙබ්‍රෙව් 6:10 කියවන්න.

ගීතිකාව 65 දියුණු වන්න

^ 5 ඡේ. අනිත් අයගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. හැබැයි එහෙම කරද්දී අනතුරකුත් තියෙනවා. අපි කරන දේවල් අනිත් අය කරන දේවල් එක්ක සසඳන්න ගියොත් අපි ගැන මහ ඉහළින් හිතන්න හරි අධෛර්යය වෙන්න හරි ඉඩ තියෙනවා. එහෙම වෙන්නේ නැතුව යෙහෝවාට සතුටින් සේවේ කරන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා.

^ 49 ඡේ. පින්තූරයේ අදහස: මේ සහෝදරයා යෞවන වයසේදී බෙතෙල් එකේ සේවේ කරනවා. විවාහ වුණාට පස්සේ එයා බිරිඳත් එක්ක පුරෝගාමි සේවේ කරනවා. එයාලට දරුවෝ ලැබුණාට පස්සේ එයා දරුවන්ව හොඳින් සේවේ කරන්න පුහුණු කරනවා. දැන් එයා ගොඩක් වයසයි. ඒත් තාමත් ලියුම් ලියලා එදා වගේම එයා යෙහෝවාට උපරිමයෙන් සේවේ කරනවා.