Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 25

යෙහෝවා දෙවියන් ආශීර්වාද කරන්නේ සමාව දෙන අයටයි

යෙහෝවා දෙවියන් ආශීර්වාද කරන්නේ සමාව දෙන අයටයි

“යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.”—කොලො. 3:13.

ගීතිකාව 130 සමාව දෙන්න

මේ ලිපියෙන් *

1. අවංකව පසුතැවිලි වෙන අයට යෙහෝවා දෙන සහතිකය මොකක්ද?

 යෙහෝවා දෙවියන් අපේ නිර්මාතෘ, නීතිදායකයා සහ විනිශ්චයකරු. ඒ විතරක් නෙවෙයි අපේ ආදරණීය තාත්තාත් ඔහුයි. (ගීතා. 100:3; යෙසා. 33:22) අපි ඔහුට විරුද්ධව වරදක් කරලා අවංකවම පසුතැවිලි වෙද්දී අපිට සම්පූර්ණයෙන්ම සමාව දෙන්න ඔහුට හැකියාව තියෙනවා. ඒ වගේම එහෙම කරන්න ඔහු හරිම ආසාවෙන් බලන් ඉන්නවා. (ගීතා. 86:5) ඒ නිසයි යෙහෝවා දෙවියන් යෙසායා මාර්ගයෙන් හරිම ආදරෙන් මේ සහතිකය අපිට දුන්නේ. “ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි.”—යෙසා. 1:18.

2. අනිත් අයත් එක්ක සමාදානෙන් ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

2 අපි හැමෝම පාපය උරුම කරගෙන ඉන්න නිසා අනිත් අයගේ හිත් රිදෙන දේවල් අපේ අතින් වෙනවා. (යාකො. 3:2) ඒකෙන් අදහස් වෙන්නේ අපිට අනිත් අයත් එක්ක කිට්ටු බැඳීම් ඇති කරගන්න බැහැ කියලද? නැහැ. අපි හැමෝම සමාව දෙන්න පුරුදු වෙනවා නම් අපිට ඒක කරන්න පුළුවන්. (හිතෝ. 17:9; 19:11; මතෙ. 18:21, 22) අනිත් අයගේ අතින් වෙන පුංචි පුංචි අඩුපාඩුකම්වලට අපි එයාලට සමාව දෙයි කියලා යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා. (කොලො. 3:13) මොකද අපේ අතින් වෙන පුංචි පුංචි වැරදිවලට විතරක් නෙවෙයි ලොකු වැරදිවලටත් යෙහෝවා “මුළු හදින්ම” අපිට සමාව දෙනවා.—යෙසා. 55:7.

3. මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ මොනවා ගැනද?

3 අපි පාපය උරුම කරගෙන හිටියත් යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් අනිත් අයට සමාව දෙන්න අපිට පුළුවන් කොහොමද? අපි වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න ඕනෙ මොන වගේ වැරදි ගැනද? අනිත් අයට සමාව දෙන්න කියලා යෙහෝවා අපෙන් ඉල්ලන්නේ ඇයි? අනිත් අය කරපු වැරදි නිසා ගොඩක් වේදනා විඳලා තියෙන සහෝදර සහෝදරියන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

බරපතළ වැරැද්දක් කළොත් . . .

4. (අ) ක්‍රිස්තියානියෙක් අතින් බරපතළ වැරැද්දක් වුණොත් එයා කරන්න ඕනෙ මොනවාද? (ආ) වැරදි කරපු කෙනා එක්ක කතා කරද්දී වැඩිමහල්ලන්ට තියෙන වගකීම මොකක්ද?

4 කෙනෙක් අතින් බරපතළ වැරැද්දක් වුණොත් ඒ ගැන අනිවාර්යයෙන්ම වැඩිමහල්ලන්ට දැනුම් දෙන්න ඕනේ. ඒ වගේ වැරදි කීපයක් ගැන 1 කොරින්ති 6:9, 10 කියලා තියෙනවා. බරපතළ වැරදි කරන කෙනෙක් හිතාමතාම දෙවියන්ගේ නීතිය කඩ කරනවා. ක්‍රිස්තියානියෙක් අතින් ඒ වගේ බරපතළ වරදක් සිද්ධ වුණොත් එයා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා සමාව ඉල්ලන්න ඕනේ. ඒ වගේම කරපු වරද ගැන වැඩිමහල්ලන්ට කියන්නත් ඕනේ. (ගීතා. 32:5; යාකො. 5:14) අපි මතක තියාගන්න ඕනෙ යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන කෙනෙක්ගේ වැරදිවලට සම්පූර්ණයෙන්ම සමාව දෙන්න අයිතිය තියෙන්නේ යෙහෝවාට විතරයි කියලා. * එහෙනම් වැඩිමහල්ලන්ට තියෙන වගකීම මොකක්ද? වැඩිමහල්ලන් තමයි කෙනෙක්ව සභාවේ දිගටම තියාගන්නවාද නැද්ද කියලා ශුද්ධ ලියවිල්ලට අනුව තීරණය කරන්නේ. (1 කොරි. 5:12) ඒ වගකීම එයාලට දීලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. තීරණයක් ගන්න කලින් වැඩිමහල්ලන් මේ වගේ ප්‍රශ්න ගැනත් හිතලා බලන්න ඕනේ. එයා ඒ වරද කළේ හොඳට සැලසුම් කරලා, හිතාමතාමද? එයා හැදුවේ වරද හංගගෙන ඉන්නද? එයා ඒ වරද කාලයක් තිස්සේ කරලා තියෙනවාද? වැඩිමහල්ලන් මේ වගේ පැති ගැනත් හිතලා බලන එක වැදගත්. එයා අවංකවම පසුතැවෙනවා කියලා පැහැදිලිව පේනවාද? දෙවියන් එයාට සමාව දීලා තියෙනවා කියලා විශ්වාස කරන්න සාධාරණ හේතු තියෙනවාද?—ක්‍රියා 3:19.

5. වැඩිමහල්ලන් තමන්ගේ වගකීම හොඳින් ඉටු කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

5 වැරදි කරපු කෙනෙක් ගැන වැඩිමහල්ලන් ගන්න තීරණය හරිම බැරෑරුම් එකක්. මොකද වැඩිමහල්ලන් ගන්න ඒ තීරණය යෙහෝවා ස්වර්ගයේ ඉඳලා එයා ගැන ගත්ත තීරණයට සමාන වෙන්න ඕනේ. (මතෙ. 18:18) ඒ සැලැස්ම නිසා සභාවට ලැබෙන්නේ මොන වගේ ප්‍රයෝජනද? (1) පසුතැවිලි වෙන්නේ නැතුව දිගින් දිගටම වැරදි කරන කෙනාගෙන් සභාව ආරක්ෂා වෙනවා. (1 කොරි. 5:6, 7, 11-13; තීත. 3:10, 11) (2) පසුතැවිලි වෙලා යෙහෝවා දෙවියන්ගෙන් සමාව ලබාගන්න වරද කරපු කෙනා පෙලඹෙනවා. (ලූක් 5:32) වරදකරු පසුතැවිලි වෙනවා නම් වැඩිමහල්ලන් එයා වෙනුවෙන් යාච්ඤා කරනවා. යෙහෝවාත් එක්ක එයාට තිබුණ බැඳීම ආයෙත් ඇති කරගන්න උදව් කරන්න කියලා එයාලා දෙවියන්ගෙන් ඉල්ලනවා.—යාකො. 5:15.

6. සභාවෙන් ඉවත් කරපු කෙනෙක්ට කවදාවත් දෙවියන්ගෙන් සමාව ලබාගන්න බැරිද? පැහැදිලි කරන්න.

6 බරපතළ වැරැද්දක් කරපු කෙනෙක් පසුතැවිලි වෙන්නේ නැත්නම් වැඩිමහල්ලන් එයාව සභාවෙන් ඉවත් කරනවා. එයා රටේ නීතියක් කඩ කරලා තියෙනවා නම් එයාට ලැබෙන්න ඕනෙ දඬුවමින් වැඩිමහල්ලන් එයාව බේරගන්නේ නැහැ. මොකද පසුතැවිලි වුණත් නැතත් රටේ නීතිය කඩ කරන ඕනම කෙනෙක්ට දඬුවම් කරන්න දෙවියන් බලධාරීන්ට අධිකාරිය දීලයි තියෙන්නේ. (රෝම 13:4) හැබැයි පස්සේ කාලෙක ඒ කෙනා වරද පිළි අරන් අවංකවම පසුතැවිලි වෙලා ආයෙත් හැරිලා එන්න ඉඩ තියෙනවා. එහෙම වෙද්දී යෙහෝවා අනිවාර්යයෙන්ම එයාට සමාව දෙනවා. (ලූක් 15:17-24) එයා කොච්චර බරපතළ වැරදි කරලා තිබුණත් ඒ වගේ වෙලාවට යෙහෝවා අහක බලන්නේ නැහැ.—2 ලේක. 33:9, 12, 13; 1 තිමෝ. 1:15.

7. අපි කෙනෙක්ට සමාව දෙනවා කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද?

7 කෙනෙක් කරපු වරදකට දෙවියන් සමාව දෙයිද නැද්ද කියලා තීරණය කරන්න අපිට අයිතියක් නැහැ. ඒක තීරණය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවාට විතරයි. ඒක කොච්චර සහනයක්ද! හැබැයි අපිට ගන්න පුළුවන් තීරණයකුත් තියෙනවා. ඒ මොකක්ද? හිතන්න, කෙනෙක් ඔයාට විරුද්ධව වැරැද්දක් කරනවා කියලා. ඒක බරපතළ වැරැද්දක් වෙන්නත් පුළුවන්. එයා සමහරවිට ඔයාගෙන් සමාව ඉල්ලන්නත් ඉඩ තියෙනවා, ඉල්ලන්නේ නැතුව ඉන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒ වගේ වෙලාවට ඔයා තීරණය කරයි එයා ගැන ඔයාගේ හිතේ තියෙන තරහ අයින් කරලා එයාට සමාව දෙන්න. ඒත් එයා කරපු දේ නිසා ඔයාගේ හිතේ ලොකු තුවාලයක් ඇති වෙලා තියෙනවා නම් ඒක කරන එක ලේසි නැති වෙන්න පුළුවන්. එයාට මුළු හදවතින්ම සමාව දෙන්න ඔයාගේ පැත්තෙන් සෑහෙන කාලයක් පුරා ලොකු වෙහෙසක් දරන්න වෙයි. 1994 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම කියලා තිබුණා. “වැරදි කරපු කෙනෙක්ට සමාව දෙනවා කියන්නේ ඒ වැරැද්ද ගණන් නොගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඒකෙන් අදහස් කරන්නේ යෙහෝවා දෙවියන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා ඒ කාරණය ඔහුට භාර දෙනවා කියන එකයි. මුළු විශ්වයේම ඉන්න ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු ඔහුයි. ඒ නිසා හරි වෙලාවට, හරි විදිහට ඔහු යුක්තිය ඉටු කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.” වරද කරපු කෙනාට සමාව දීලා ප්‍රශ්නේ ඔහුට භාර දෙන්න කියලා යෙහෝවා අපෙන් ඉල්ලන්නේ ඇයි?

සමාව දෙන්න කියලා දෙවියන් අපෙන් ඉල්ලන්නේ ඇයි?

8. සමාව දෙද්දී යෙහෝවා අපිට පෙන්නන දයාව අපි අගය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?

8 සමාව දෙද්දී ඔයාගේ හිතේ තියෙන අගය පේනවා. යේසුස් දවසක් රජ කෙනෙක් ගැනයි, දාසයෙක් ගැනයි උපමාවක් කිව්වා. ඔහු යෙහෝවා දෙවියන්ව ඒ උපමාවේ හිටපු රජට සමාන කළා. ඒ දාසයා රජට ලොකු මුදලක් ණය වෙලයි හිටියේ. දාසයාට ඒ මුදල ගෙවාගන්න බැහැ කියලා දැනගත්තාම රජ එයාට දයාව පෙන්නලා ඒ ණයෙන් එයාව සම්පූර්ණයෙන්ම නිදහස් කළා. හැබැයි දාසයා එයාට පොඩි මුදලක් ණය වෙලා හිටපු තවත් දාසයෙක්ව ණයෙන් නිදහස් කරන්න කැමති වුණේ නැහැ. (මතෙ. 18:23-35) යේසුස් අපිට කාවද්දන්න හැදුවේ මොකක්ද? යෙහෝවා අපේ වැරදිවලට කොච්චර සමාව දෙනවාද කියලා හිතද්දී අපේ හිතේ ඔහු ගැන ලොකු අගයක් ඇති වෙනවා. ඒ අගය අපිව පොලඹවනවා අනිත් අයට සමාව දෙන්න. (ගීතා. 103:9) අවුරුදු ගාණකට කලින් පළ වුණ ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම කියනවා. “අපි කොච්චර අනිත් අයට සමාව දුන්නත් ඒක යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් යෙහෝවා අපිට සමාව දීලා තියෙන විදිහට කවදාවත් සම කරන්න බැහැ.”

9. යෙහෝවා දයාව පෙන්නන්නේ කාටද? (මතෙව් 6:14, 15)

9 සමාව ලැබෙන්නේ සමාව දෙන අයටයි. යෙහෝවා දෙවියන් අපිට දයාව පෙන්නන්නේ අපි අනිත් අයට දයාව පෙන්නුවොත් විතරයි. (මතෙ. 5:7; යාකො. 2:13) යාච්ඤා කරන විදිහ ගැන ගෝලයන්ට කියපු අවස්ථාවේදී යේසුස් ඒ දේ කාවැද්දුවා. (මතෙව් 6:14, 15 කියවන්න.) ඊට හුඟ කාලෙකට කලින් යෙහෝවා දෙවියන් යෝබ්ට කියපු දෙයිනුත් ඒක හොඳටම පැහැදිලි වෙනවා. එලිෆස්, බිල්දද් සහ ෂෝපර් කියන යෝබ්ගේ යාළුවෝ තුන්දෙනා යෝබ්ගේ හිත පෑරෙන ගොඩක් දේවල් කිව්වා. හැබැයි දෙවියන් යෝබ්ට කිව්වා එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා. යෝබ් ඒ දේ කළාට පස්සේ තමයි යෙහෝවා එයාට ආශීර්වාද කළේ.—යෝබ් 42:8-10.

10. අමනාපය හිතේ තියාගෙන හිටියොත් හානියක් වෙන්නේ අපිටමයි. ඒ ඇයි? (එෆීස 4:31, 32)

10 අමනාපෙන් හිටියොත් හානියක් වෙන්නේ අපිටමයි. කේන්තිය, අමනාපය කියන්නේ අපි උස්සන් ඉන්න ලොකු බරක්. ඒ බර අයින් කරලා අපි අපේ හිත නිදහස් කරගන්නවා දකින්නයි යෙහෝවා දෙවියන් කැමති. (එෆීස 4:31, 32 කියවන්න.) ඒ නිසයි ඔහු අපිට කියන්නේ “කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න” කියලා. (ගීතා. 37:8) ඇත්තටම ඒ උපදෙස අපිට ගොඩක් වටිනවා. මොකද අමනාපයට අපේ හිතේ මුල් අදින්න ඉඩ දුන්නොත් ඒකෙන් අපේ මනසටයි, ශරීරයටයි ලොකු හානියක් වෙන්න පුළුවන්. (හිතෝ. 14:30) අමනාපය හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ හරියට අපි වහ බීලා තව කෙනෙක් මැරෙන කල් බලන් ඉන්නවා වගේ දෙයක්. ඒක කොච්චර මෝඩද! එහෙම බලද්දී අපි අනිත් අයට සමාව දෙනවා නම් ඒකෙන් හොඳක් වෙන්නේ අපිටමයි. (හිතෝ. 11:17) ඒ නිසා අමනාපය කියන නැංගුරම දාලා ඔයාගේ ජීවිතේ එක තැන නවත්තගෙන ඉන්න එපා. මොකද යෙහෝවා දෙවියන්ට කරන සේවය පැත්තෙන් ඉස්සරහට යන්න ඒක ලොකු බාධාවක්.

11. පළිගන්න එක ගැන බයිබලේ කියන්නේ මොකක්ද? (රෝම 12:19-21)

11 පළිගැනීම අයිති යෙහෝවා දෙවියන්ටයි. අපිට විරුද්ධව වැරදි කරන අයගෙන් පළිගන්න යෙහෝවා අපි කාටවත් අයිතිය දීලා නැහැ. (රෝම 12:19-21 කියවන්න.) අනිත් අතට යෙහෝවා දෙවියන් වගේ අපි අනිත් අය ගැන හැම තොරතුරක්ම දන්නේ නැහැ. ඒ වගේම අපි පාපය උරුම කරගෙන ඉන්න නිසා අපේ දැනුමට, අවබෝධයට සීමාවක් තියෙනවා. ඒ නිසා දෙවියන් වගේ සීයට සීයක් හරි විදිහට විනිශ්චය කරන්න අපිට කවදාවත් බැහැ. (හෙබ්‍රෙ. 4:13) සමහර වෙලාවට අපි විනිශ්චයන් කරන්නේ හැඟීම්වලට වහල් වෙලා. ඒ නිසයි යෙහෝවා දෙවියන් යාකොබ් මාර්ගයෙන් කිව්වේ “කෝප වීමෙන් මිනිසෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කරන්න බැහැ” කියලා. (යාකො. 1:20) සාධාරණ විනිශ්චයක් කරන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා හරිම වෙලාවට, හරි විදිහට යෙහෝවා යුක්තිය ඉටු කරයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.

කේන්තිය, අමනාපය හිතින් උදුරලා දාන්න. ප්‍රශ්නේ දෙවියන්ට භාර දෙන්න. පාපය නිසා ඇති වුණ හැම හානියක්ම ඔහු ළඟදීම නැති කරනවා (12 ඡේදය බලන්න)

12. යෙහෝවා අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරනවා. ඒක විශ්වාස කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

12 අපි සමාව දෙද්දී යෙහෝවා යුක්තිය ඉටු කරනවා කියන එක ගැන අපිට තියෙන විශ්වාසය පේනවා. යෙහෝවා ළඟදීම පාපය නිසා ඇති වෙලා තියෙන හැම හානියක්ම අයින් කරනවා. ප්‍රශ්නයක් යෙහෝවාට භාර දෙද්දී අපි පෙන්නන්නේ දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දුව අපි මුළු හදවතින්ම විශ්වාස කරනවා කියලයි. ඒ කාලේදී අපේ හිත් තුවාල කරපු වේදනාකාරී සිද්ධීන් ‘ආයෙත් කවදාවත් මතකයට එන්නේ නැහැ.’ (යෙසා. 65:17) ඒත් සමහර තුවාල අපේ හිත් පතුලටම පසාරු කරගෙන ගිය ඒවා වෙන්න පුළුවන්. ඒ වගේ තුවාල ඇති කරපු අය ගැන අපේ හිතේ තියෙන කේන්තිය අයින් කරලා එයාලට සමාව දෙන්න අපිට පුළුවන්ද? එහෙම කරපු කීපදෙනෙක් ගැන දැන් අපි බලමු.

සමාව දෙද්දී ලැබෙන ආශීර්වාද

13-14. ටෝනි සහ හෝසේගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

13 අනිත් අය කරපු දේවල් නිසා ලොකු වේදනාවක් ඇති වුණත් අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් එයාලට සමාව දීලා තියෙනවා. එහෙම කරපු එකෙන් ලැබිලා තියෙන ආශීර්වාද මොනවාද?

14 අපි දැන් පිලිපීනයේ ජීවත් වෙන ටෝනිගේ * අද්දැකීම බලමු. ටෝනි කියන්නේ හරිම දරුණු කෙනෙක්. එයාට කවුරු හරි මොනවා හරි කළොත් එයා අනිවාර්යයෙන්ම පළිගන්නවා. දවසක් හෝසේ කියලා කෙනෙක් ටෝනිගේ අයියාව මැරුවා. ඒක දැනගත්තාම ටෝනිට හෝසේව මරන්න තරම් කේන්තියක් ආවා. කරපු වරදට හෝසේ හිරේ ගිහින් ආවත් ටෝනිගේ කේන්තිය නම් පොඩ්ඩක්වත් නිවුණේ නැහැ. එයා හෝසේව මරන්න තුවක්කුවකුත් ගත්තා. ඔය අතරේ තමයි ටෝනිට සත්‍යය ලැබුණේ. එයා මෙහෙම කියනවා. “බයිබලය ඉගෙනගද්දී මට තේරුණා මං වෙනස් වෙන්න ඕනෙ කියලා. මගේ හිතේ කැකෑරි කැකෑරි තිබුණ වෛරය මං පුළුවන් තරම් ඉක්මන්ට අයින් කරගන්න ඕනෙ කියලා මං තේරුම්ගත්තා.” ටික කාලෙකින් ටෝනි බව්තීස්ම වුණා. පස්සේ කාලෙක එයා වැඩිමහල්ලෙකුත් වුණා. දවසක් ටෝනිට ආරංචි වුණා හෝසේ දැන් සාක්ෂිකරුවෙක් වෙලා කියලා. ඒක අහද්දී ටෝනිට කොහොම දැනෙන්න ඇද්ද! ඒ දෙන්නා හම්බ වුණ මුල්ම දවසේ එයාලා ආදරෙන් බදාගත්තා. හෝසේ එක්ක කිසිම තරහක් නැහැ කියලත් දැනටමත් එයාට සමාව දීලයි තියෙන්නේ කියලත් ඒ වෙලාවේ ටෝනි හෝසේට කිව්වා. මුළු හදවතින්ම හෝසේට සමාව දුන්න නිසා දැනෙන සහනය, සතුට වචනවලින් විස්තර කරන්න බැහැ කියලා ටෝනි කියනවා. ටෝනි වැඩ කරපු විදිහ නිසා යෙහෝවා එයාට හුඟක් ආශීර්වාද කළා.

කේන්තිය, අමනාපය සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරලා දාන්න පුළුවන් කියලා පීටර් සහ සූගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා (15 සහ 16 ඡේද බලන්න)

15-16. පීටර් සහ සූගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

15 1985 එක දවසක පීටර් සහ සූ අපේ රැස්වීමක ඉද්දී නමස්කාර මධ්‍යස්ථානයේ ලොකු පිපිරීමක් ඇති වුණා. පස්සේ තමයි දැනගත්තේ එතන කවුරු හරි කෙනෙක් බෝම්බයක් අටවලා තිබුණා කියලා. ඒ පිපිරීමෙන් සූගේ ඇස්වලටයි, කන්වලටයි බරපතළ හානි සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි එයාට ගඳ සුවඳ දැනෙන්නෙත් නැතුව ගියා. * එයාලා හැම තිස්සේම කල්පනා කරපු දෙයක් තමයි ‘හිතක් පපුවක් නැතුව මේ වගේ දෙයක් කරන්න කෙනෙක් කොච්චර දුෂ්ට වෙන්න ඕනෙද’ කියලා. ඊට අවුරුදු ගාණකට පස්සේ තමයි ඒ බෝම්බේ අටවපු කෙනාව අල්ලලා හිරේ දාලා තියෙන්නේ. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙවෙයි. ඒ කෙනාට සමාව දෙන්න ඔයාලට පුළුවන්ද කියලා ඇහුවාම පීටර් සහ සූ මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් අපිට කියලා තියෙනවා වෛරය, අමනාපය හිතේ තියාගෙන ඉන්න එපා කියලා. මොකද ඒක අපේ මනසටයි, ශරීරයටයි නරක විදිහට බලපානවා. ඉතින් වෙච්ච දේවල් ගැන කල්පනා කරකර හිත පාරගන්නවා වෙනුවට ජීවිතේ ඉස්සරහට යන්න උදව් කරන්න කියලා ඒ සිද්ධිය වෙච්ච මුල් කාලේ ඉඳලාම අපි දෙවියන්ගෙන් ඉල්ලුවා.”

16 සමාව දෙන එක එයාලට එච්චර ලේසි වුණාද? නැහැ. බලන්න එයාලා කියන දේ. “සැරෙන් සැරේ සූ වේදනාවෙන් දුක් විඳිනවා දකිද්දී ඒ අපරාධය කරපු මනුස්සයා ගැන අපිට ආවේ පුදුම කේන්තියක්. හැබැයි අපි ඒ ගැනම හිතහිත ඉන්නේ නැතුව අපේ හිතේ තිබුණ තරහ ඉක්මන්ටම උදුරලා දැම්මා. කවදා හරි දවසක ඒ බෝම්බේ අටවපු කෙනා අපේ සහෝදරයෙක් වුණොත් එයාව අපි ආදරෙන් පිළිගන්නවා. ඒක අපි දෙන්නාට හිතට එකඟවම කියන්න පුළුවන්. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න එක කොච්චර වටිනවාද කියලා වෙච්ච දෙයින් අපිම ඉගෙනගත්තා. දැන් අපිට ලොකු නිදහසක්, සහනයක් දැනෙනවා. ළඟදීම යෙහෝවා මේ හැම දේම හරිගස්සන කල් අපි දෙන්නා බලාගෙන ඉන්නේ පුදුම ආසාවකින්.”

17. මයිරාගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

17 මයිරාට සත්‍යය ලැබෙද්දී එයාගේ පුතාලා දෙන්නා පොඩියි. හැබැයි එයාගේ මහත්තයා නම් සත්‍යය පිළිගත්තේ නැහැ. කාලයක් ගියාට පස්සේ එයා අනාචාරයේ යෙදිලා මයිරාවයි, පුතාලාවයි දාලා ගියා. මයිරා මෙහෙම කියනවා. “මහත්තයා අපිව දාලා ගිය එක මට අදහාගන්න බැරි වුණා. ලොකු දුකක්, අසරණකමක්, කේන්තියක් දැනුණා. සමහර වෙලාවට මං මටම දොස් කියාගත්තා.” මයිරායි, එයාගේ මහත්තයායි දික්කසාද වුණා. ඒත් ඇති වුණ වේදනාව මයිරාගේ හිතෙන් මැකිලා ගියේ නැහැ. මයිරා මෙහෙම කියනවා. “සෑහෙන කාලයක් යන කල් මට ඒකෙන් ගොඩ එන්න බැරි වුණා. මෙහෙම දිගටම ගියොත් නං යෙහෝවා එක්ක තියෙන බැඳීමටයි, අනිත් අයත් එක්ක තියෙන බැඳීමටයි ලොකු හානියක් වෙනවා කියලා මට තේරුණා.” දැන් මයිරාගේ හිතේ මහත්තයා ගැන කිසි තරහක් නැහැ. මහත්තයාට නරකක් වෙන්න කියලා දැන් එයා හිතන්නෙත් නැහැ. කවදා හරි දවසක එයාත් සත්‍යය පිළි අරන් යෙහෝවාට ළං වෙයි කියලා මයිරා බලන් ඉන්නවා. මයිරා හදවතින්ම සමාව දුන්න නිසා අතීතේ දිහා පිටිපස්ස හැරි හැරි බලනවා වෙනුවට අනාගතේ දිහා සතුටින් බලන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. එයාගේ පුතාලා දෙන්නාව යෙහෝවාට ළං කරන්න මයිරා තනියම ලොකු සටනක් කළා. දැන් මයිරා එයාගේ පුතාලයි, පුතාලගේ පවුල්වල අයයි එක්ක සතුටින් දෙවියන්ට සේවේ කරනවා.

යෙහෝවා දෙවියන් ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු

18. යෙහෝවා ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු නිසා අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

18 එක් එක් කෙනා කරන වැරදිවලට අනුව එයාලව විනිශ්චය කරන බැරෑරුම් වගකීම අපිට පැවරිලා නැහැ. ඒක මොන තරම් ලොකු සහනයක්ද! ශ්‍රේෂ්ඨතම විනිශ්චයකරු විදිහට යෙහෝවා දෙවියන් තමයි ඒ දේ කරන්නේ. (රෝම 14:10-12) තමන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව යෙහෝවා සීයට සීයක් සාධාරණ විනිශ්චයක් දෙයි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්. (උත්. 18:25; 1 රාජා. 8:32) මොකද ඔහු කවදාවත් යුක්තිය කණපිට පෙරළන්නේ නැහැ.

19. යෙහෝවා ළඟදීම කරන්නේ මොකක්ද?

19 මිනිස්සු උරුම කරගත්ත පාපය නිසා සහ හිතාමතාම කරන දේවල් නිසා සිද්ධ වෙලා තියෙන හානිය යෙහෝවා දෙවියන් සම්පූර්ණයෙන්ම නැති කරන දවස වැඩි ඈතක නෙවෙයි. ඒ කාලේදී අපේ ගතේ වගේම හිතේ ඇති වෙලා තියෙන තුවාලත් සම්පූර්ණයෙන්ම සුව වෙනවා. (ගීතා. 72:12-14; එළි. 21:3, 4) අද අපි අමාරුවෙන් උහුලන් ඉන්න වේදනාවන් එදාට මතක් වෙන්නේවත් නැහැ. ඒ කාලේ එන කල් අනිත් අයට සමාව දෙන්න යෙහෝවා අපිටත් හැකියාව දීලා තියෙන එක ගැන අපි කොච්චර සතුටු වෙන්න ඕනෙද!

ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

^ පසුතැවිලි වෙන අයට සමාව දෙන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා. ක්‍රිස්තියානීන් විදිහට අපිත් ඔහුව ආදර්ශයට ගන්න ඕනේ. ඒත් අපිට සමාව දෙන්න පුළුවන් අනිත් අය කරන මොන වගේ වැරදිවලටද? අපි වැඩිමහල්ලන්ට කියන්න ඕනෙ මොන වගේ වැරදි ගැනද? අනිත් අයට සමාව දෙන්න කියලා යෙහෝවා අපෙන් ඉල්ලන්නේ ඇයි? අපි එහෙම කරද්දී අපිට ලැබෙන ආශීර්වාද මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

^ 1996 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.

^ සමහර නම් වෙනස් කර ඇත.

^ JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනක පළ වුණ “පීටර් සහ සූ ශූල්ට්ස්: කම්පනයෙන් ගොඩ එන්න පුළුවන්” කියන වීඩියෝ එක බලන්න. ඒක හොයාගන්න jw.org වෙබ් අඩවියේ ‘සොයන්න’ කියන තැන වීඩියෝ එකේ මාතෘකාව ටයිප් කරන්න.