Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 27

‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’

‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’

“යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න. ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.”—ගීතා. 27:14.

ගීතිකාව 128 අවසානය දක්වා විඳදරාගන්න

මේ ලිපියෙන් *

1. (අ) යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන බලාපොරොත්තුව මොකක්ද? (ආ) ‘යෙහෝවා ගැන බලාපොරොත්තු තියනවා’ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (“පැහැදිලි කිරීමක්” කියන කොටස බලන්න.)

 යෙහෝවා දෙවියන් ඔහුට ආදරේ කරන අයට දෙන්න ලස්සන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා. ඔහු ළඟදීම අද අපි මුහුණ දෙන දුක, වේදනාව, මරණය සම්පූර්ණයෙන්ම නැති කරනවා. (එළි. 21:3, 4) ඒ වගේම ඔහු ගැන බලාපොරොත්තු තියලා වැඩ කරන “නිහතමානී අයට” මේ පොළොව පාරාදීසයක් කරන්නත් ඔහු උදව් කරනවා. (ගීතා. 37:9-11) ඒක කොච්චර ලස්සන කාලයක් වෙයිද! එදාට දෙවියන් එක්ක අපිට දැන් තියෙනවාටත් වඩා ලෙන්ගතුකමක් ඇති කරගන්න පුළුවන්. ඒ ගැන හිතද්දිත් අපිට ලොකු සතුටක් දැනෙනවා නේද? ඒත් යෙහෝවා ඇත්තටම ඔහු දීලා තියෙන පොරොන්දු ඉටු කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි? යෙහෝවා දෙවියන් දීපු පොරොන්දුවක් ඔහු කවදාවත් කඩ කරලා නැහැ. ඒ නිසා ඔහු ගැන “බලාපොරොත්තු තියන්න” * අපිට ඕන තරම් හේතු තියෙනවා. (ගීතා. 27:14) මොන දේ වුණත් අපි දිගටම ඉවසීමෙන්, සතුටින් ඔහුගේ අරමුණ ඉටු වෙන කල් බලාගෙන ඉන්නවා නම් අපි යෙහෝවා ගැන බලාපොරොත්තු තියනවා කියලා කියන්න පුළුවන්.—යෙසා. 55:10, 11.

2. යෙහෝවා දැනටමත් ඉටු කරලා තියෙන එක පොරොන්දුවක් ගැන කියන්න.

2 තමන් වුණ පොරොන්දු යෙහෝවා අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා ඔහු දැනටමත් ඔප්පු කරලා ඉවරයි. ඒක තේරුම්ගන්න අපි එක උදාහරණයක් බලමු. එළිදරව් පොතේ කියනවා මේ අන්තිම කාලේදී විවිධ ජාතීන්ට, ගෝත්‍රවලට, භාෂාවලට අයිති වුණ සෙනඟ එකට එකතු වෙලා යෙහෝවාට පවිත්‍ර නමස්කාරයක් කරනවා කියලා. ඒක ඉටු වෙලා තියෙන විදිහ අපි අද දකිනවා. ඒ විශේෂ සෙනඟව තමයි බයිබලේ “මහත් සමූහය” කියලා හඳුන්වලා තියෙන්නේ. (එළි. 7:9, 10) විවිධ ජාතීන්ට අයිති වුණ, විවිධ භාෂා කතා කරන, විවිධ පසුබිම්වලින් ආපු ඒ පුරුෂයන්, ස්ත්‍රීන්, දරුවන් අතර කිසිම භේදයක් නැහැ. එයාලා හරියට එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ. (ගීතා. 133:1; යොහ. 10:16) ඒ මහත් සමූහය ශුභාරංචිය දේශනා කරන්නෙත් හරිම උද්‍යෝගයෙන්. එයාලගේ බලාපොරොත්තුව ගැන හැමෝටම කියන්න එයාලා ඕනම වෙලාවක සූදානම්. (මතෙ. 28:19, 20; එළි. 14:6, 7; 22:17) මොකද ඒ බලාපොරොත්තුව එයාලගේ ජීවිතේට ලැබුණ ආලෝකයක් වගේ. ඔයාත් මහත් සමූහයට අයිති කෙනෙක්ද? එහෙනම් ඒක කොච්චර ඇත්තක්ද කියලා ඔයාත් අද්දකිනවා ඇති.

3. සාතන් උත්සාහ කරන්නේ මොනවා කරන්නද?

3 ඔයාගේ ජීවිතේට ආලෝකයක් වුණ ඒ බලාපොරොත්තුව ඔයාගෙන් උදුරගන්නයි සාතන්ට ඕනේ. ‘යෙහෝවාට අපි ගැන කිසිම ගාණක් නෑ, දීපු පොරොන්දු ඔහු කවදාවත් ඉටු කරන්නේ නෑ’ කියලා අපි හිතනවාට සාතන් හරිම කැමතියි. ඒක කරන්න අපි සාතන්ට පුංචිම හරි ඉඩක් දුන්නොත් මොනවා වෙයිද? එහෙම වුණොත් ප්‍රශ්න විඳදරාගන්න අපිට ධෛර්යයක් නැති වෙයි. අපි දෙවියන්ට සේවේ කරන එකත් අත්හැරලා දායි. සාතන් යෝබ්ටත් කරන්න හැදුවේ ඒ දේම තමයි.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (යෝබ් 1:9-12)

4 යෝබ්ගේ විශ්වාසය බිඳලා දාන්න සාතන් උත්සාහ කළේ මොන විදිවලින්ද? (යෝබ් 1:9-12 කියවන්න.) යෝබ්ගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? යෙහෝවා අපිට ගොඩක් ආදරේ නිසා ඔහු අපිට වුණ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා අපි අමතක කරන්න හොඳ නැත්තේ ඇයි? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.

යෝබ්ගේ බලාපොරොත්තුව බොඳ කරන්න ගත්ත උත්සාහයක්!

5-6. හරිම කෙටි කාලයක් ඇතුළත යෝබ්ට මුහුණ දෙන්න වුණේ මොන දේවල්වලටද?

5 යෝබ්ගේ ජීවිතේ ගෙවුණේ හරිම සතුටින්. එයාට මදි නොකියන්න හැම දේම තිබුණා. එයාට යෙහෝවා එක්ක ශක්තිමත් බැඳීමකුත් තිබුණා. ඒ වගේම එයාට ගොඩක් දරුවෝ හිටියා. එයාගේ පවුලේ හැමෝම හරිම එකමුතුයි. (යෝබ් 1:1-5) හැබැයි එක දවසින් එයාගේ ජීවිතේ කණපිට පෙරළුණා. මුලින්ම එයාට අයිති වුණ සත්ව රැළවල් ඔක්කොම එයාට නැති වුණා. (යෝබ් 1:13-17) ඊටපස්සේ ගේ කඩන් වැටිලා එයාගේ දරුවෝ දහදෙනාම ඒකට යට වෙලා මැරුණා. ඒ මොහොත ගැන ටිකක් හිතලා බලන්න. අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට එයාලගේ එක දරුවෙක් නැති වුණාමත් කොච්චර දුකක් දැනෙනවාද! හැබැයි යෝබ්ටයි, එයාගේ බිරිඳටයි එක සැරේ එයාලගේ දරුවෝ දහදෙනාම නැති වුණා. ඒ වෙලාවේ දැනුණ දුක, වේදනාව, අසරණකම එයාලට වචනවලින් විස්තර කරගන්න බැරි වෙන්න ඇති. ඉතින් යෝබ් එයාගේ සළුව ඉරාගෙන බිම වැටුණ එක අහන්නත් දෙයක්ද!—යෝබ් 1:18-20.

6 සාතන් එතනින් නතර වුණේ නැහැ. ඊටපස්සේ එයා යෝබ්ට දරුණු අසනීපෙකින් පහර දුන්නා. ඒ විතරක් නෙවෙයි හැමෝම ඉස්සරහා එයාව ලැජ්ජා කළා. (යෝබ් 2:6-8; 7:5) ඒ වෙන කල්ම මිනිස්සු හැමෝම යෝබ්ට ගොඩක් ගෞරව කළා. සමහරු යෝබ්ගෙන් උපදෙස් ගන්න එයාව හොයාගෙනත් ආවා. (යෝබ් 29:7, 8, 21) හැබැයි දැන් තත්වය වෙනස්. දැන් හැමෝම යෝබ්ව පිළිකුල් කරන්න පටන් අරන්. යෝබ්ගේ සහෝදරයෝ, යාළුවෝ එයාව කොන් කරලා. කොටින්ම කිව්වොත් යෝබ් යටතේ වැඩ කරපු සේවකයෝ පවා යෝබ්ට අපහාස කරනවා. හැමෝම යෝබ්ව සලකන්නේ පයට පෑගෙන දූවිල්ලක් ගාණට.—යෝබ් 19:13, 14, 16.

යෝබ් මුහුණ දුන්නා වගේම දේවල්වලට මුහුණ දීපු අපේ සහෝදර සහෝදරියන්ට යෝබ්ගේ වේදනාව හොඳට තේරෙනවා (7 ඡේදය බලන්න) *

7. (අ) යෝබ් හිතුවේ එයා දුක් විඳින්නේ මොන හේතුව නිසා කියලද? ඒත් එයා කළේ නැත්තේ මොනවාද? (ආ) අපේ සමහර සහෝදරයන් මුහුණ දීලා තියෙන්නේ මොන දේටද? (පින්තූරය බලන්න.)

7 යෝබ් දුක් විඳින්නේ එයාට යෙහෝවා දෙවියන්ගේ අනුමැතිය නැති වුණ නිසා කියලා හිතනවා දකින්නයි සාතන්ට ඕනෙ වුණේ. ඉතින් සාතන් මොකද කළේ? සාතන් අහසින් ගින්නක් එවලා යෝබ්ගේ සත්ව රැළවල් විතරක් නෙවෙයි ඒවා බලාගත්ත සේවකයන්වත් පුච්චලා දැම්මා. (යෝබ් 1:16) ඒ වගේම එයාගේ දරුවෝ දහදෙනා කාලා බීලා විනෝදෙන් ඉන්න වෙලාවක සාතන් තද හුළඟක් ගෙනාවා. ඒ හුළඟට එයාලා හිටපු ගේ කඩාගෙන වැටිලා ඒකට යට වෙලා ඒ දහදෙනාම මැරුණා. (යෝබ් 1:18, 19) අහසින් ගින්නක් එවලා, හුළඟක් පාවිච්චි කරලා ඒ වගේ විනාශයක් කරන්න පුළුවන් මිනිස්සුන්ට වඩා හුඟක් බලවත් කෙනෙක්ට විතරයි. ඒ නිසා යෝබ් හිතුවා ඒ දේ කළේ යෙහෝවා දෙවියන් කියලා. මොකක් හරි හේතුවක් නිසා යෙහෝවා දෙවියන් එයාත් එක්ක කේන්තියෙන් ඇති කියලත් යෝබ් හිතුවා. එච්චර දේවල් වෙලත් යෝබ් එක වචනෙකින්වත් යෙහෝවාට ශාප කළේ නැහැ. අවුරුදු ගාණක් තිස්සේ දෙවියන් යෝබ්ට හුඟක් ආශීර්වාද කරලා තිබුණා. ඉතින් යෝබ් හිතුවා දෙවියන් හොඳ දේවල් දෙද්දී ඒවා බාරගත්තා වගේ ඔහු නරක දෙයක් දෙද්දී ඒකත් භාරගන්න ඕනෙ කියලා. ඒ නිසයි හැම දේම දරාගෙන එයා නිහතමානීව මෙහෙම කිව්වේ. “යෙහෝවා දෙවිගේ නාමය සැමදා ගෞරවයට පත් වේවා!” (යෝබ් 1:20, 21; 2:10) හැම ආදායම් මාර්ගයක්ම නැති වුණත්, දරුවෝ දහදෙනාම මැරුණත්, බරපතළ අසනීපෙකින් වේදනා වින්දත් යෝබ්ගේ විශ්වාසය පොඩ්ඩක්වත් හෙල්ලුණේ නැහැ. ඒත් සාතන් යෝබ්ට පීඩා කරන එක එතනින් නතර කළාද?

8. සාතන් ඊළඟට කළේ මොකක්ද?

8 සාතන් යෝබ්ව වට්ටන්න ඊළඟට පාවිච්චි කළේ එයාගෙම යාළුවෝ තුන්දෙනෙක්ව. යාළුවෝ විදිහට මවාපාපු එයාලා යෝබ් කිසි වැඩකට නැති කෙනෙක් කියලා එයාට දැනෙන්නේ සැලැස්සුවා. යෝබ් ගොඩක් වැරදි කරලා තියෙන නිසයි එයා මේ විදිහට දුක් විඳින්නේ කියලා එයාලා චෝදනා කළා. (යෝබ් 22:5-9) යෝබ් කොච්චර හොඳ දේවල් කරලා තිබුණත් දෙවියන්ට ඒකෙන් වැඩක් නැහැ කියලත් එයාලා කිව්වා. (යෝබ් 4:18; 22:2, 3; 25:4) යෝබ් ඒක විශ්වාස කරලා දෙවියන් එයාට ආදරේ නැහැ කියලා හිතනවා දකින්නයි එයාලට ඕනෙ වුණේ. හිතන්න, එයාලා කියපු දේවල් අහලා යෝබ්ට කොච්චර ලොකු අසරණකමක් දැනෙන්න ඇද්ද!

9. එක පිට එක පීඩා එද්දී දිගටම ශක්තිමත්ව ඉන්න යෝබ්ට උදව් වුණේ මොකක්ද?

9 දැන් අපි යෝබ් ඉන්න තැනට ටිකක් යමුද? මේ වෙලාවේ යෝබ් ඉන්නේ අළු ගොඩේ ඉඳගෙන. (යෝබ් 2:8) හුස්ම ගන්න හැම තත්පරයක් තත්පරයක් ගාණේ එයාට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා. මුළු සේසතම නැති වුණා මදිවට දරුවොත් නැති වෙච්ච වේදනාව නිසා මේ තාත්තා ගොඩක් අසරණ වෙලයි ඉන්නේ. එයාට එක මොහොතකටවත් සැනසීමක් නැහැ. ඒ මදිවට යාළුවෝ තුන්දෙනාත් එක දිගට බොරු චෝදනා කරලා එයාගේ චරිතේ ඝාතනය කරනවා. එයාලා කියපු දේවල් නිසා යෝබ්ට හදවත පැළෙන තරම් වේදනාවක් දැනෙන්න ඇති. හැබැයි යෝබ් එයාලට එක වචනයක්වත් කියන්නේ නැහැ. (යෝබ් 2:13–3:1) යෝබ් ඒ විදිහට කට වහගෙන ඉන්නේ එයා යෙහෝවා දෙවියන්ව අත්හරින්න තීරණය කරලා තියෙන නිසා කියලා යාළුවෝ හිතුවා නම්, අන්න එතනයි එයාලට වැරදුණේ! සමහරවිට මෙච්චර වෙලා ඔළුව පහත් කරගෙන හිටපු යෝබ් ඔළුව උස්සලා එයාලා දිහා කෙළින්ම බලලා වෙන්න ඇති මෙහෙම කියන්න ඇත්තේ. “මා අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි.” (යෝබ් 27:5) එක පිට එක පීඩා එද්දී එච්චර ශක්තිමත්ව ඉන්න යෝබ්ට උදව් වුණේ මොකක්ද? ජීවිතේ අඳුරුම කාලේදී වුණත් යෝබ්ට එක දෙයක් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ තමයි එයාට ගොඩක් ආදරේ කරන යෙහෝවා දෙවියන් දවසක එයාව මේ පීඩාවලින් ගලවගන්නවා කියන එක. යෝබ් දැනන් හිටියා එයා මැරුණත් දෙවියන් එයාව නැවත නැඟිටුවනවා කියලා.—යෝබ් 14:13-15.

යෝබ් වගේ වෙන්න අපිටත් පුළුවන්

10. යෝබ්ගේ සිද්ධියෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

10 යෝබ්ගේ සිද්ධියෙන් අපිට වැදගත් පාඩම් කීපයක්ම ඉගෙනගන්න පුළුවන්. අපිව බලෙන් යෙහෝවාගෙන් ඈත් කරන්න සාතන්ට කවදාවත් බැහැ. ඒ වගේම දෙවියන් අපි මුහුණ දෙන හැම දේම දකිනවා. ඒ විතරක් නෙවෙයි අපි පීඩාවලට මුහුණ දෙන්නේ ඇයි කියලා තේරුම්ගන්නත් යෝබ්ගේ සිද්ධිය උදව් වෙනවා. දැන් අපි යෝබ්ගෙන් ඉගෙනගන්න පුළුවන් තවත් පාඩම් ගැන බලමු.

11. අපි දිගටම යෙහෝවාව විශ්වාස කරලා වැඩ කළොත් අපිට සහතික වෙන්න පුළුවන් මොකක් ගැනද? (යාකොබ් 4:7)

11 කෙනෙක් දිගටම යෙහෝවාව විශ්වාස කරලා වැඩ කරනවා නම් සාතන්ට කිසිම ඉඩක් දෙන්නේ නැතුව ඕනම පීඩාවක් සාර්ථකව ජය ගන්න පුළුවන් කියලා යෝබ් ඔප්පු කරලා පෙන්නුවා. අපිත් එහෙම කරනවා නම් යක්ෂයා අපෙන් පලා යනවා කියලා බයිබලේ සහතික කරනවා.—යාකොබ් 4:7 කියවන්න.

12. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව යෝබ්ට ශක්තියක් වුණේ කොහොමද?

12 නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපි තදින් අල්ලගන්න ඕනේ. අපි කලින් ලිපියෙන් බලපු විදිහට මරණයට තියෙන බය පාවිච්චි කරලා සාතන් අපේ විශ්වාසේ බිඳින්න උත්සාහ කරනවා. සාතන් යෝබ්ට චෝදනා කළෙත් ජීවිතේ බේරගන්න එයා විශ්වාසේ වුණත් පාවලා දෙයි කියලා. ඒක කොච්චර ලොකු බොරුවක්ද! වෙච්ච දේවල් නිසා එහෙම්මම මැරිලා යයි කියලා යෝබ් හිතුවත් එයා දිගටම යෙහෝවාට විශ්වාසවන්තව හිටියා. යෙහෝවා යහපත් දෙවි කෙනෙක් කියන එක ගැනත් හරි වෙලාවේදී මේ ප්‍රශ්නවලට ඔහු විසඳුමක් ගේනවා කියන එක ගැනත් යෝබ්ට තිබුණ විශ්වාසය පීඩා දරාගන්න එයාට උදව් වුණා. එයා ජීවත් වෙලා හිටපු කාලේදී ඒ ප්‍රශ්නවලට යෙහෝවා විසඳුමක් ගෙනාවේ නැතත් අනිවාර්යයෙන්ම එයාට ආයෙත් ජීවිතේ ලැබෙනවා කියලා යෝබ්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව යෝබ්ගේ හිතේ පහනක් වගේ දැල්වුණා. අපේ හිතෙත් ඒ බලාපොරොත්තුව දිගටම දැල්විලා තියෙනවා නම් ජීවිතේ නැති වුණත් අපි කවදාවත් දෙවියන්ව අත්හරින්නේ නැහැ.

13. යෝබ්ව වට්ටන්න සාතන් කරපු දේවල් ගැන අපි හොඳ අවධානෙකින් ඉන්න ඕනෙ ඇයි?

13 එදා සාතන් යෝබ්ව වට්ටන්න පාවිච්චි කරපු දේවල්ම තමයි අද අපිව වට්ටන්නත් පාවිච්චි කරන්නේ. බලන්න සාතන් කරපු මේ චෝදනාව. “මිනිසෙකු [යෝබ් විතරක් නෙවෙයි] තම ජීවිතය බේරාගන්න මොනවාද නොකරන්නේ? ඔහු තමා සතු සියල්ල වුවත් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරයි.” (යෝබ් 2:4, 5) සාතන් ඒ නොකියා කියන්නේ “අපි කවුරුත් යෙහෝවාට ඇත්තටම ආදරේ නැහැ, අපේ ජීවිතේ බේරගන්න අපි ඔහුව අත්හරින්න වුණත් ලෑස්තියි” කියලා. ඒ විතරක් නෙවෙයි “දෙවියන්ව සතුටු කරන්න අපි කොච්චර දේවල් කළත් ඔහුට ඒවා වැඩක් නැහැ, මොකද ඔහු අපිට ආදරේ නැහැ” කියලත් සාතන් පෙන්නන්න හදනවා. සාතන් අපිව වට්ටන්න පාවිච්චි කරන කපටි ක්‍රම අපි දැනටමත් දන්නවා. ඒ නිසා ඒවාට රැවටෙන්නේ නැතුව දිගටම යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න අපිට පුළුවන්.

14. පීඩාවලට මුහුණ දෙද්දී අපිට අපි ගැනම තේරෙන්නේ මොනවාද? පැහැදිලි කරන්න.

14 පීඩා එද්දී අපි ඒවා සලකන්න ඕනෙ ඇත්තටම අපි මොන වගේ අයද කියලා දැනගන්න ලැබෙන අවස්ථාවන් විදිහට. යෝබ් මුහුණ දුන්න පීඩා නිසා එයාගේ දුර්වලකම් අඳුරගෙන ඒවා හදාගන්න එයාට පුළුවන් වුණා. යෝබ්ට තේරුණා එයා තව ගොඩක් නිහතමානී වෙන්න ඕනෙ කියලා. (යෝබ් 42:3) පීඩාවලට මුහුණ දෙද්දී ඇත්තටම අපි මොන වගේ අයද කියලා අපිටම අඳුරගන්න පුළුවන්. නිකොලායි * කියන සහෝදරයාගේ අද්දැකීම බලන්න. විශ්වාසය නිසා බලධාරීන් එයාව හිරේ දාද්දී එයා හිටියේ හුඟක් අසනීපෙන්. හිරේ හිටපු ඒ අමාරු කාලේ ගැන එයා මෙහෙම කියනවා. “එක්ස්-රේ මැෂින් එකකින් අපේ ඇඟ ඇතුළ දකින්න අපිට පුළුවන්. ඒ වගේ මං හිරේ හිටපු කාලේදී ක්‍රිස්තියානියෙක් විදිහට මං තව දියුණු කරගන්න ඕනෙ මොන පැතිද කියලා මට දකින්න පුළුවන් වුණා.” අපේ අඩුපාඩුකම් මොනවාද කියලා අඳුරගත්තාට පස්සේ අපිට ඒවා හදාගන්න පුළුවන්.

15. අපි ඇහුම්කන් දෙන්න ඕනෙ කාටද? ඒ ඇයි?

15 අපි ඇහුම්කන් දෙන්න ඕනෙ අපේ සතුරන්ට නෙවෙයි යෙහෝවා දෙවියන්ට. යෙහෝවා කතා කරද්දී යෝබ් ඔහුට හොඳ අවධානයක් දුන්නා. දෙවියන් යෝබ්ට කොච්චර ආදරෙයිද කියලා තේරුම්ගන්න ඔහු එයාට උදව් කළා. ඒකට ඔහු යෝබ්ගෙන් ප්‍රශ්න කීපයක්ම ඇහුවා. ඇත්තටම ඔහු යෝබ්ට කිව්වේ මේ වගේ දෙයක්. “යෝබ්, මේ විශ්වයේ තියෙන හැම දේම හදපු මට කොච්චර බලයක් තියෙනවාද කියලා ඔයා දන්නවාද? ඔයා මුහුණ දීපු හැම දෙයක්ම මං හොඳට බලාගෙනයි හිටියේ. ඔයා හිතනවාද මට ඔයාව බලාගන්න බෑ කියලා?” එතකොට යෝබ් නිහතමානීව යෙහෝවා ගැන එයාගේ හිතේ තිබුණ අගය මේ විදිහට වචනවලට පෙරළුවා. “මම කලින් ඔබ ගැන අසා තිබුණත් දැන් මාගේ ඇස් දෙකෙන්ම ඔබව දකින්නෙමි.” (යෝබ් 42:5) දරුණු කුෂ්ඨ රෝගයක් හැදිලා හිටපු යෝබ් ඒ වචන කියද්දිත් හිටියේ අළු ගොඩේ. දරුවෝ නැති වෙච්ච වේදනාවත් එයාගේ හිතේ තිබ්බා. යෝබ් ඔය තත්වේ ඉද්දිම තමයි යෙහෝවා එයාට ගොඩක් ආදරෙයි කියලත් එයාට ඔහුගේ අනුමැතිය තියෙනවා කියලත් දැනෙන්න සැලැස්සුවේ.—යෝබ් 42:7, 8.

16. පීඩාවලට මුහුණ දෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද? (යෙසායා 49:15, 16)

16 අදත් සමහර අය අපිට අපහාස කරන්න, අපිව පහත් කරන්න ගොඩක් දේවල් කරයි. සමහරවිට අපේ නමට, සංවිධානයේ හොඳ නමට මඩ ගහන්න හදයි. එයාලා ‘අපිට විරුද්ධව බොරු චෝදනා නඟලා දුෂ්ට දේවල් කියන්නත්’ ඉඩ තියෙනවා. (මතෙ. 5:11) හැබැයි ඒ මොන දේ වුණත් දෙවියන්ට ලොකු විශ්වාසයක් තියෙනවා අපි දිගටම ඔහුට විශ්වාසවන්තව ඉඳියි කියලා. ඒක අපි යෝබ්ගේ සිද්ධියෙන් ඉගෙනගත්තා. ඇත්තටම යෙහෝවා අපිට ගොඩක් ආදරෙයි. අපි ඔහු ගැන බලාපොරොත්තු තියලා වැඩ කරද්දී ඔහු කවදාවත් අපිව අත්හරින්නේ නැහැ. (යෙසායා 49:15, 16 කියවන්න.) ඒ නිසා දෙවියන්ගේ සතුරන් පතුරුවන බොරුවලට කවදාවත් කන් දෙන්න එපා! තුර්කියේ ජීවත් වෙන සහෝදර ජේම්ස්ගේ අද්දැකීම බලන්න. එයායි, එයාගේ පවුලේ අයයි ගොඩක් පීඩාවලට මුහුණ දුන්නා. එයා මෙහෙම කියනවා. “අපිට තේරුණා සාක්ෂිකරුවන් ගැන පතුරුවන බොරු අහන්න ගියොත් නං අපි ගොඩක් අධෛර්යය වෙයි කියලා. ඒ නිසා අපි අවධානය දුන්නේ දේවරාජ්‍යය ගැන තියෙන බලාපොරොත්තුවට. පුළුවන් උපරිමෙන් අපි යෙහෝවාට සේවේ කරන්න උත්සාහ කළා. ඒ නිසයි මොනවා වුණත් සතුටින් ඉන්න අපිට පුළුවන් වුණේ.” යෝබ් වගේ අපිත් යෙහෝවා දෙවියන්ගේ හඬට ඇහුම්කන් දෙමු. එතකොට අපේ හිතේ දැල්වෙන බලාපොරොත්තුව නිවලා දාන්න කිසිම සතුරෙක්ට බැහැ.

බලාපොරොත්තුව ඔයාට ශක්තියක් වෙයි!

යෝබ් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව හිටපු නිසා එයාටයි, එයාගේ බිරිඳටයි ජීවිතේ ඉතුරු කාලේ සතුටින් ගත කරන්න පුළුවන් වුණා (17 ඡේදය බලන්න) *

17. හෙබ්‍රෙව් 11වෙනි පරිච්ඡේදයේ කතා කරන විශ්වාසවන්ත පුරුෂයන්ගෙන් සහ ස්ත්‍රීන්ගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

17 යෝබ් කියන්නේ හුඟක් පීඩාවලට මුහුණ දීලා දිගටම යෙහෝවාට විශ්වාසවන්තව හිටපු අයගෙන් එක් කෙනෙක් විතරයි. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ ඒ වගේ තවත් හුඟක් අය ගැන කිව්වා. පාවුල් එයාලව හැඳින්නුවේ ‘විශාල වලාකුළක් හා සමාන සාක්ෂිකරුවන් සමූහයක්’ විදිහට. (හෙබ්‍රෙ. 12:1) එයාලත් දරුණු පීඩාවලට මුහුණ දුන්නා. හැබැයි එයාලා ජීවිත කාලේ පුරාම දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. (හෙබ්‍රෙ. 11:36-40) එයාලා කරපු කැප කිරීම්, එයාලගේ විඳදරාගැනීම වතුරේ ගියාද? කවදාවත් නැහැ! ඇත්ත, එයාලගේ ජීවිත කාලේදී යෙහෝවා දෙවියන් දීපු හැම පොරොන්දුවක්ම ඉටු වෙන විදිහ එයාලා දැක්කේ නැහැ. ඒත් එයාලා දිගටම යෙහෝවා ගැන බලාපොරොත්තු තියලා වැඩ කළා. දෙවියන්ගේ අනුමැතිය එයාලට තියෙනවා කියලා එයාලට කිසිම සැකයක් තිබුණේ නැහැ. එයාලට ලොකු විශ්වාසයක් තිබුණා දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන විදිහ දවසක එයාලගේ ඇස් දෙකෙන්ම දකින්න පුළුවන් වෙයි කියලා. (හෙබ්‍රෙ. 11:4, 5) ඒ විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් අපිටත් ලොකු ආදර්ශයක්. දිගටම යෙහෝවා ගැන බලාපොරොත්තු තියලා වැඩ කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න ඒ ආදර්ශ අපිට උදව් වෙයි.

18. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද? (හෙබ්‍රෙව් 11:6)

18 අද මේ ලෝකේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. (2 තිමෝ. 3:13) දෙවියන්ගේ සෙනඟට පීඩා කරන එක සාතන් අදටත් නවත්තලා නැහැ. හැබැයි ‘අපි බලාපොරොත්තු තියලා තියෙන්නේ ජීවමාන දෙවි වන යෙහෝවා ගැන.’ (1 තිමෝ. 4:10) ඒ නිසා ඉස්සරහට මොන පීඩාවලට මුහුණ දෙන්න වුණත් යෙහෝවා වෙනුවෙන් දිගටම වෙහෙස මහන්සි වෙලා සේවේ කරන්න අපි අධිෂ්ඨාන කරගමු. දෙවියන් යෝබ්ට ආශීර්වාද කරපු විදිහෙන් අපිට පේනවා ‘ඔහු ගැඹුරු සෙනෙහසක් පෙන්නන දයාවන්ත දෙවි කෙනෙක්’ කියලා. (යාකො. 5:11) “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට” ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. (හෙබ්‍රෙව් 11:6 කියවන්න.) ඒ නිසා යෝබ් වගේ අපිත් දිගටම යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියලා ඔහුට විශ්වාසවන්තව ඉමු.

ගීතිකාව 150 ගැලවීම දෙවිගෙන් වේ

^ එක පිට එක ප්‍රශ්න එද්දී ඒවා විඳදරාගෙන විශ්වාසවන්තව හිටපු කෙනෙක්ව මතක් කරගන්න කිව්වොත් අපෙන් හුඟදෙනෙක්ට යෝබ්ව මතක් වෙයි. යෝබ්ගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1) අපිව බලෙන් යෙහෝවාගෙන් ඈත් කරන්න සාතන්ට කවදාවත් බැහැ. (2) යෙහෝවා දෙවියන් අපි මුහුණ දෙන හැම දෙයක්ම දකිනවා. අපි දන්නවා අන්තිමේදී යෙහෝවා දෙවියන් යෝබ් මුහුණ දීපු පීඩා සම්පූර්ණයෙන්ම එයාගෙන් අයින් කළා කියලා. ඒ වගේ අපි මුහුණ දෙන පීඩා, ප්‍රශ්නවලටත් යෙහෝවා ළඟදීම අවසානයක් ගේනවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්. ඒ ගැන අපිට ස්ථිර විශ්වාසයක් තියෙනවා කියලා අපි වැඩ කරන විදිහෙන් පෙන්නනවා නම් අපි ‘බලාපොරොත්තු තියලා තියෙන්නෙත් යෙහෝවා ගැන’ කියලා අපිටත් කියන්න පුළුවන්.

^ පැහැදිලි කිරීමක්: “බලාපොරොත්තු තියනවා” කියලා කියද්දී ඒකට පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනයේ අදහස ‘යම් දෙයක් ඉටු වෙන කල් අසාවෙන් බලාගෙන ඉන්නවා’ කියන එක. කෙනෙක් ගැන විශ්වාසය තියලා එයා මත සම්පූර්ණයෙන්ම රඳා ඉන්නවා කියන අදහසත් ඒකට ඇතුළත් වෙන්න පුළුවන්.—ගීතා. 25:2, 3; 62:5.

^ සමහර නම් වෙනස් කර ඇත.

^ පින්තූරයේ අදහස: දරුවෝ දහදෙනා මැරුණා කියලා දැනගත්තාම යෝබ්ටයි, එයාගේ බිරිඳටයි හදවත පැළෙන තරම් වේදනාවක් දැනෙන්න ඇති.

^ පින්තූරයේ අදහස: සාතන් පීඩා කරන එක නතර කරන කල්ම යෝබ් දිගටම විඳදරාගත්තා. අන්තිමේදී දෙවියන් එයාලට ආශීර්වාද කරපු විදිහ ගැන යෝබ් එයාගේ බිරිඳ එක්ක කල්පනා කරනවා.