Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

හරි පාර පෙන්නන්න දෙවියන්ට ඉඩහැරියා

හරි පාර පෙන්නන්න දෙවියන්ට ඉඩහැරියා

තරුණ කාලේ මං හිතුවා මං ආස රස්සාවත් කරගෙන මං කැමති පාරේ යනවා කියලා. හැබැයි යෙහෝවා මට වෙන පාරක් පෙන්නුවා. ඒක හරියට ඔහු මට කතා කරලා මෙහෙම කිව්වා වගේ. “කීත්, ඔයා යන්න ඕනෙ පාර මං ඔයාට පෙන්නන්නම්. වටහාගැනීමේ හැකියාවත් දෙන්නම්.” (ගීතා. 32:8) යෙහෝවා පෙන්නපු පාර තෝරගත්ත නිසා මං ගොඩක් ආශීර්වාද ලැබුවා. අවුරුදු 52ක් තිස්සේ අප්‍රිකාවේ සේවේ කරලා මං ලබපු සතුට වචනවලින් විස්තර කරන්න බෑ.

කලු පුරවරයෙන් අප්‍රිකාවේ ළබැඳි හදවතට

මං ඉපදුණේ 1935 එංගලන්තයේ ඩාලස්ටන්වල. ඒක කලු පුරවරයට අයිති නගරයක්. ඒක කර්මාන්ත ශාලාවලින් පිට වෙන කලු දුමෙන් වැහිලයි තිබුණේ. ඒකයි එහෙට කලු පුරවරය කිව්වේ. මට අවුරුදු හතරේදී තමයි අම්මලා සාක්ෂිකරුවොත් එක්ක පාඩම් කරන්න පටන් අරන් තිබුණේ. අවුරුදු 14ක් 15ක් වෙද්දී මට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ඒ නිසා මං 16දී බව්තීස්ම වුණා.

ඔය කාලේදීම වගේ එක ෆැක්ට්‍රියක ලේකම් විදිහට පුහුණුවක් ලබන්න මං ගියා. ඒක වාහනවල අමතර කොටස් සහ වාහනවල වැඩවලට පාවිච්චි කරන ආයුධ හදපු ෆැක්ට්‍රියක්. එහේ මං වැඩ කළේ ගොඩක් ආසාවෙන්.

දවසක් චාරිකා සේවක මගෙන් ඇහුවා විලෙන්හෝල් සභාවේ සභා බයිබල් පාඩම කරන්න පුළුවන්ද කියලා. ඒක ඇහුවාම මට දැනුණේ මාව නිකං කරකවලා අතහැරියා වගේ. මොකද ඒ වෙද්දී මං සභා දෙකක රැස්වීම්වලට ගියා. සතියේ දවස්වල ෆැක්ට්‍රියේ වැඩට යන නිසා සති මැද රැස්වීමට ගියේ ඒ කිට්ටුව තිබුණ බ්‍රොම්ස්ග්‍රෝව් සභාවට. ඒක තිබුණේ අපේ ගෙදර ඉඳන් කි.මී. 32ක් විතර ඈතින්. සති අන්තයේදී තමයි මං පොඩි කාලේ ඉඳන් ගිය විලෙන්හෝල් සභාවට ගියේ.

සංවිධානය වෙනුවෙන් උපරිමය කරන්න ඕනෙ නිසා මං තීරණය කළා චාරිකා සේවක කියපු දේට කැමති වෙන්න. හැබැයි ඒකට මං ආසාවෙන් කරකර හිටපු රස්සාව අත්හරින්න මට සිද්ධ වුණා. ඒත් මගේ හිතේ කොනකවත් ඒ ගැන පසුතැවිල්ලක් නෑ. මොකද එදා තමයි යෙහෝවා මට පෙන්නපු පාරට මං මුල්ම වතාවට අඩිය තිබ්බේ.

බ්‍රොම්ස්ග්‍රෝව් සභාවට යන කාලේ හරිම විශේෂ කෙනෙක්ව මට හම්බ වුණා. එයා ගොඩක් ලස්සන, යෙහෝවාට ගොඩක් ආදරේ කෙනෙක්. එයාගේ නම ඈන්. අපි 1957දී කසාද බැන්දා. අපි දෙන්නාට පුළුවන් වුණා ස්ථාවර පුරෝගාමී, විශේෂ පුරෝගාමී, චාරිකා වගේම බෙතෙල් එකේ සේවේ කරන්න. යෙහෝවාට සතුටින් සේවේ කරන්න මගේ ඈන් මට ලොකු හයියක් වුණා.

1966දී අපි දෙන්නාට 42වෙනි ගිලියද් පාසැලට ආරාධනාවක් ලැබුණා. අපිට ඊටපස්සේ පැවරුම ලැබුණේ මලාවිවලට. හුඟදෙනෙක් එහෙට කිව්වේ අප්‍රිකාවේ ළබැඳි හදවත කියලා. මොකද එයාලා හැමෝවම හරිම ආදරෙන් පිළි අරන් එයාලට හොඳට සැලකුවා. හැබැයි අපිට නම් වැඩි කාලයක් ඒ ආදරේ ලබන්න හම්බ වුණේ නැහැ.

ආන්දෝලනාත්මක කාලයක්!

මලාවිවලදී මං පාවිච්චි කරපු කයිසර් ජීප් එක

1967 පෙබරවාරි 1වෙනිදා අපි මලාවිවලට ගියා. මාසයක් විතර එහේ භාෂාව ඉගෙනගෙන ඊටපස්සේ දිස්ත්‍රික් සේවේ පටන්ගත්තා. මං එහෙදී පැද්දේ කයිසර් කියන වර්ගයේ ජීප් එකක්. හැමෝම හිතුවේ ඒකට පියාඹන්න විතරයි බැරි කියලා. ඕනම ගඟක් හරහා වුණත් ඒ ජීප් එකෙන් යන්න පුළුවන් කියලා සමහරු වර්ණනා කළා. හැබැයි ඒ කිව්වාට ඒකෙන් එහෙම්මමයි කියලා හැම තැනින්ම යන්න බෑ. යාන්තම් වතුර පාර අඩු තැනකින් නම් එගොඩට යාගන්න පුළුවන්. සමහර පැතිවල අපිට ඉන්න වුණේ කටු මැටි ගහපු ගෙවල්වල. වැස්ස කාලෙට ඉතිං තෙමෙන්නේ නැති වෙන්න වහලෙට ටෙන්ට් එකක් දැම්මා. මිෂනාරි සේවේ පටන්ගද්දී ඔය වගේ පුංචි පුංචි අභියෝග තිබ්බා. හැබැයි අපි දෙන්නා ඒ ජීවිතේට ගොඩක් ආස කළා.

අප්‍රියෙල් වෙද්දී මලාවිවල හිටපු සාක්ෂිකරුවන්ගේ ජීවිතවලට හෙමින් හෙමින් අඳුරු වලාවක සේයාවක් වැටෙන්න පටන්ගත්තා. දවසක් මලාවිවල ජනාධිපති දොස්තර හේස්ටිංස් බණ්ඩාගේ කතාවක් රේඩියෝ එකේ විකාශනය වුණා. මට ඇහුණා එයා කියනවා ‘සාක්ෂිකරුවන් බදු ගෙවන්නේ නෑ. එයාලා දේශපාලන වැඩවලට ඇඟිලි ගහනවා’ කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. එයා එහෙම කිව්වේ අපි පක්ෂෙකට බැඳිලා ඒකේ සාමාජික කාඩ් එක ගන්නේ නැති නිසා. ඒ කාරණය සහෝදරයෝ හැමෝම දැනන් හිටියා.

සැප්තැම්බර්වල පළ වුණ එක පත්තරේක ජනාධිපති කියලා තිබුණා සාක්ෂිකරුවන් රටේ හැම තැනම ප්‍රශ්න ඇති කරනවා කියලා. ඊටපස්සේ දේශපාලන රැස්වීමකදී එයා කිව්වා ඉක්මන්ටම සම්මුතියක් අරන් ආණ්ඩුව සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරන්න තීරණය කරලා තියෙනවා කියලා. 1967 ඔක්තෝබර් 20වෙනිදා ඒ තීරණය ක්‍රියාත්මක වුණා. ඒත් එක්කම පොලිස් නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අපේ ශාඛා කාර්යාලයට ගිහින් ඒක වහලා දැම්මා. මිෂනාරිවරුන්ටත් රටෙන් පිට වෙන්න කිව්වා.

1967දී ජැක් සහ ලින්ඩා යොහැන්සන් යුවළවයි, අපිවයි අත්අඩංගුවට අරන් පිටුවහල් කරපු වෙලාවේ ගත්ත පින්තූරයක්

දවස් තුනක් හිරේ හිටියාට පස්සේ අපිව මුරුසියට පිටුවහල් කළා. ඒක බ්‍රිතාන්‍යය යටතේ තිබ්බ රටක්. අපිට එහෙත් මිෂනාරිවරු විදිහට ඉන්න අවසර ලැබුණේ නෑ. ඒ නිසා අපිව සිම්බාබ්වේවලට පිටුවහල් කළා. එහෙට ගියාම එතන හිටපු නිලධාරියෙක් හරිම නපුරු විදිහට අපිට කිව්වා “මලාවිවලින් පැන්නුවා, මුරුසියෙනුත් පැන්නුවා. දැන් ආවාද මෙහෙටත් රිංගන්න” කියලා. ඒක අහලා ඈන් ඉකිගගහා අඬන්න පටන්ගත්තා. අපිට දැනුණේ නිකං හැමෝම අපිව පාරට ඇදලා දාලා වගේ. අපිට හිතුණා ඔක්කොම දමලා ගහලා ආයෙත් එංගලන්තෙට යන්න. හැබැයි අන්තිමට එක දවසකට සිම්බාබ්වේ ශාඛා කාර්යාලයේ ඉන්න නිලධාරීන් අපිට අවසර දුන්නා. හැබැයි ඒකත් එක කොන්දේසියක් මත. පහුවදාම අපිට ආගමන විගමන දෙපාර්තමේන්තුවට එන්න කියලා එයාලා කිව්වා. තැනින් තැනට ගිහිල්ලා අපි හොඳටම හෙම්බත් වෙලා හිටියේ. හැබැයි අපි යෙහෝවාට යාච්ඤා කරලා හැම දෙයක්ම ඔහුට භාර දුන්නා. ඊළඟ දවසේ වුණේ කීයටවත් හිතපු නැති දෙයක්. සිම්බාබ්වේවල සංචාරකයන් විදිහට ඉන්න පුළුවන් කියලා නිලධාරීන් අපිට කිව්වා. ඒ දවස නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. යෙහෝවා පෙන්නපු පාරේ ඉස්සරහටම යන්න ඔහු මඟ පෙන්නපු විදිහ අපි එදා දැක්කා.

මලාවිවල වැඩ සිම්බාබ්වේවල ඉඳන්

1968දී ඈනුයි, මායි සිම්බාබ්වේ බෙතෙල් එකේ

සිම්බාබ්වේ ශාඛා කාර්යාලයේ මං වැඩ කළේ සේවා අංශයේ. මට පැවරිලා තිබ්බේ මලාවිවල සහ මොසැම්බික්වල අපේ වැඩකටයුතු බලාගන්න. මලාවිවල චාරිකා සේවකයන් එහේ සහෝදරයෝ මුහුණ දෙන දේවල්වල වාර්තා එව්වා. මං තමයි ඒවා පරිවර්තනය කළේ. ඒ කාලේ එහේ සහෝදරයෝ හරිම දරුණු විදිහට පීඩා වින්දා. මට මතකයි දවසක් එක වාර්තාවක් පරිවර්තනය කරන්න මං ටිකක් රෑ වෙන කල් වැඩ කළා. ඒ වාර්තාව දැකලා මට වාවගන්න බැරි වුණා. මටත් නොදැනිම මගේ ඇස්වලින් කඳුළු වැටුණා. ඒ සහෝදරයෝ පුදුම දුකක් විඳලා තියෙන්නේ. හැබැයි ඒ මොන දේ වුණත් එයාලට යෙහෝවා දෙවියන් ගැන තිබ්බ ළැදිකම, එයාලා විඳදරාගත්ත විදිහ මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒකෙන් මාත් ශක්තිමත් වුණා.—2 කොරි. 6:4, 5.

මලාවිවල හිටපු සහෝදරයන්ටයි, මලාවිවල ඉඳන් මොසැම්බික්වලට පලා ගිය සහෝදරයන්ටයි සඟරා, පොත්පත් නියම වෙලාවට දෙන්න අපි නොකරපු දෙයක් නෑ. මලාවිවල ප්‍රධාන භාෂාව තමයි චිචේවා භාෂාව. පස්සේ චිචේවා පරිවර්තන වැඩ සිම්බාබ්වේවල අපේ සහෝදරයෙක්ගේ ගොවිපොළකට ගෙනිච්චා. අපරාදේ කියන්න බෑ ඒ සහෝදරයා පරිවර්තකයන්ට ඉන්න ගෙවලුයි, කාර්යාලයකුයි එයාගෙම වියදමින් හදලා දුන්නා. ඒ නිසා එහේ ඉඳලා පරිවර්තන වැඩ දිගටම නිදහසේ කරන් යන්න පුළුවන් වුණා.

අපි හැම අවුරුද්දේම චිචේවා භාෂාවෙන් සිම්බාබ්වේවල තුන්දින සමුළුවක් තිබ්බා. ඒකට අපි කොහොමහරි මාලාවිවල චාරිකා සේවකයන්වත් ගෙන්නගත්තා. එයාලා ආවාම දේශනවල දළසටහන් අපි එයාලට දුන්නා. ආයෙත් මලාවිවලට ගියාම එයාලා ඒ තොරතුරු පුළු පුළුවන් විදිහට සහෝදරයොත් එක්ක බෙදාගත්තා. සැරයක් ඒ චාරිකා සේවකයන් සිම්බාබ්වේවලට ආවාම අපි පත් කළ සහෝදරයන් සඳහා පාසැලකුත් සංවිධානය කළා.

සිම්බාබ්වේවල චිචේවා භාෂාවෙන් මං සමුළුවක දේශනයක් දෙනවා

1975 පෙබරවාරිවල මලාවිවල ඉඳන් මොසැම්බික්වලට ආපු සහෝදරයන්ව බලන්න මං කඳවුරකට ගියා. මේ සහෝදරයෝ කොච්චර දුෂ්කරතාවලට මුහුණ දුන්නත් සංවිධානෙන් දෙන මඟ පෙන්වීම් ඒ විදිහටම පිළිපැද්දා. ඒ කාලේ තමයි මඟ පෙන්වීමක් ආවේ සභාවක වැඩිමහල් මණ්ඩලයක් ඉන්න ඕනෙ කියලා. සහෝදරයෝ ඒ මඟ පෙන්වීමටත් කීකරු වෙලා තියෙනවා කියලා මං දැක්කා. ඒ අලුතින් පත් වුණ වැඩිමහල්ලෝ කඳවුරේ හිටියත් බයිබල් දේශන දුන්නා, ‘මුරටැඹ’ සාකච්ඡාව පැවැත්තුවා, දිනපදේ කරන්නත් සැලසුම් කරලා තිබුණා. ඒ වගේම එයාලා චාරිකා සමුළුත් පැවැත්තුවා. සරණාගත කඳවුරක හිටියත් එයාලගේ හැම දේම හරිම පිළිවෙලයි. හරියට සමුළුවක වගේ. ඒකේ පිරිසිදු කිරීමේ අංශයක් තිබ්බා, කෑම බෙදාහරින අංශයක් තිබ්බා. ඒ වගේම ආරක්ෂක අංශයකුත් තිබ්බා. ඒ විශ්වාසවන්ත සහෝදරයෝ දෙවියන්ගේ ආශීර්වාදෙන් කොච්චර දේවල් කරලා තියෙනවාද කියලා මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඇත්තටම මං එහෙට යද්දී හිතාගෙන හිටියේ එයාලව දිරිගන්වන්න. හැබැයි එයාලා නිසා අන්තිමේදී මං තමයි දිරිගැන්වුණේ!

1970 අග වෙද්දී මලාවිවල වැඩකටයුතු අධීක්ෂණය කළේ සැම්බියා ශාඛා කාර්යාලයෙන්. ඒ වුණත් එහේ හිටපු සහෝදරයන්ගේ ලෙන්ගතු හදවත් මට කවදාවත් අමතක වුණේ නෑ. මං එයාලා වෙනුවෙන් දිගටම යාච්ඤා කළා. සැම්බියා ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට ලෝක මූලස්ථානයේ සහෝදරයන්ව සහ මලාවිවල, දකුණු අප්‍රිකාවේ, සැම්බියාවේ වගකීම් දරන සහෝදරයන්ව මට කීපවතාවක්ම හම්බ වෙන්න පුළුවන් වුණා. ඒ හැම වතාවකම අපි කතා වුණේ “මලාවිවල සහෝදරයෝ වෙනුවෙන් අපිට තව මොනවාද කරන්න පුළුවන්” කියලා.

කාලේ ගෙවිලා යද්දී මලාවිවල සහෝදරයන් මුහුණ දීපු පීඩා ටිකෙන් ටික අඩු වුණා. ඒත් එක්කම පීඩා නිසා පලා ගිය සහෝදරයොත් ආයෙත් මලාවිවලට එන්න පටන්ගත්තා. ඒ වගේම මලාවිවලට කිට්ටුවෙන් තිබුණ රටවල්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නීත්‍යානුකූල ආගමක් විදිහට පිළිගත්තා. 1991දී මොසැම්බික්වල තිබුණ තහනමත් අයින් වුණා. හැබැයි අපි හැමෝම බලන් හිටියේ ‘මලාවිවල සහෝදරයන්ට කවදා නිදහසක් ලැබෙයිද’ කියලා.

ආයෙත් මලාවිවලට

මාලාවිවල තත්වය ටික ටික හොඳ අතට හැරුණා. 1993දී සාක්ෂිකරුවන්ට දාලා තිබ්බ තහනම අයින් කළා. ඒකෙන් පස්සේ දවසක් මං මිෂනාරිවරයෙක් එක්ක කතා කරකර ඉද්දී එයා මගෙන් ඇහුවා “දැන් ඔයා ආයෙත් මලාවිවලට යනවාද” කියලා. එතකොට මට 59යි. මං කිව්වා “දැන් මොන මලාවිද! මං දැන් හුඟක් වයසයිනේ” කියලා. එහෙම කියලා වැඩි වෙලා ගියේ නෑ මලාවිවලට යන්න පුළුවන්ද කියලා අහලා පාලක මණ්ඩලෙන් ෆැක්ස් එකක් ආවා.

අපි කාලයක්ම හිටියේ සිම්බාබ්වේවලනේ. ඉතින් ඒක අපේම රට වගේ. අපිට ගොඩක් යාළුවොත් හිටියා. එහේ කරකර හිටපු පැවරුමටත් අපි ගොඩක් ආසයි. පාලක මණ්ඩලයත් අපිට බල කළේ නෑ මලාවිවලට යන්නමයි කියලා. කැමති නම් තීරණයක් ගන්න කියලයි කිව්වේ. ඒ නිසා ඕනෙ නම් අපි යන පාර අපිම තෝරගෙන අපිට සිම්බාබ්වේවලම ඉන්න තිබුණා. හැබැයි මං ආබ්‍රහම් ගැනයි, සාරා ගැනයි කල්පනා කළා. එයාලා ගෙවපු සැප පහසු ජීවිතේ දාලා යන්න කියද්දී එයාලත් හුඟක් වයසයි. හැබැයි එයාලා යෙහෝවාට කීකරු වුණා.—උත්. 12:1-5.

අපි තීරණය කළා සංවිධානෙන් දීපු මඟ පෙන්වීමට කීකරු වෙන්න. ඒ නිසා 1995 පෙබරවාරි 1වෙනිදා අපි ආයෙත් මලාවිවලට ගියා. පෙබරවාරි 1වෙනිදාම තමයි මීට අවුරුදු 28කට කලිනුත් අපි මුල්ම වතාවට මලාවිවලට ආවේ. පස්සේ එහේ ශාඛා කමිටුවක් පිහිටෙව්වා. මායි, තව සහෝදරයෝ දෙන්නෙකුයි තමයි ඒකේ හිටියේ. සාක්ෂිකරුවන්ට පුළුවන් වුණා කලින් වගේම නිදහසේ වැඩ කරගෙන යන්න. ඒකට අපි ගොඩක් මහන්සි වුණා.

වර්ධනය දුන්නේ යෙහෝවා දෙවියන්

කෙටි කාලයක් ඇතුළත මලාවිවල ලොකු වර්ධනයක් වුණා. ඉතින් ඒ හැම දෙයක් පිටිපස්සේම යෙහෝවාගේ ආශීර්වාදේ තියෙනවා කියලා අපිට කිසිම සැකයක් තිබුණේ නෑ. මොකද 1993 තහනම ඉවත් වෙද්දී එහේ හිටියේ ප්‍රචාරකයන් 30,000ක් විතරයි. හැබැයි 1998 වෙද්දී ප්‍රචාරකයන්ගේ ගාණ 42,000ටත් වඩා වැඩියි. * ඒ වර්ධනයත් එක්කම මලාවිවල අලුතින්ම ශාඛා කාර්යාලයක් ඉදි කරන්න පාලක මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. ඒ නිසා අපි ලිලාන්ග්විවල අක්කර 30ක ඉඩමක් ගත්තා. ඊටපස්සේ මං ඉදි කිරීම් කමිටුවෙත් සේවේ කළා.

2001 මැයිවල අලුත් ශාඛා කාර්යාලය කැප කළා. එදා දේශනය දෙන්න ආවේ පාලක මණ්ඩලයේ සේවය කරපු සහෝදර ගයි පියර්ස්. ඒ උත්සවයට මලාවිවල සහෝදරයෝ 2,000කටත් වඩා ආවා. එයාලගෙන් හුඟදෙනෙක් බව්තීස්ම වෙලා අවුරුදු 40කටත් වැඩියි. ඒ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන් තහනම තිබ්බ කාලේ හිතාගන්නවත් බැරි තරම් අමාරු දේවල්වලට මුහුණ දීපු අය. ඒගොල්ලෝ ගොඩක් දුප්පත්. හැබැයි විශ්වාසය අතින් එයාලා ගොඩක් පෝසත්. අලුත් බෙතෙල් එක බලන කල් එයාලට ඉස්පාසුවක් තිබ්බේ නෑ. එදා එයාලා බෙතෙල් එක පුරා යන යන තැන එයාලගේම භාෂාවෙන් ගීතිකා කිව්වා. එයාලා දේශීය විදිහට ගීතිකා කියද්දී ඒක ලස්සන කරන්න සංගීත භාණ්ඩ ඕනෙත් නෑ, ඒ තරම්ම ලස්සනයි. ඒක දකිද්දී මගේ ඇස්වලට කඳුළුත් ආවා. මං හිතන්නේ මං ජීවිතේ කවදාවත් එදා තරම් හැඟීම්බර වෙලා නෑ. යෙහෝවා දෙවියන් එයාලගේ විඳදරාගැනීම වෙනුවෙන් ආශීර්වාද වැස්සක් වස්සලා එයාලව ඒ ආශීර්වාදවලින් නාවපු විදිහ මං එදා දැක්කා. යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න අයට ඔහු අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා කියන්න මීටත් වඩා සාක්ෂි මොකටද!

ශාඛා කාර්යාලයේ ඉදි කිරීම් වැඩ ඉවර වුණාට පස්සේ නමස්කාර මධ්‍යස්ථාන කැප කරපු අවස්ථා කීපයකම මට පැවරුම් ලැබුණා. ඒ කාලේ මලාවි වගේ අඩු පහසුකම් තිබුණ රටවල්වල පුළුවන් තරම් ඉක්මනට නමස්කාර මධ්‍යස්ථාන හදන්න විශේෂ ව්‍යාපෘතියක් පටන්ගත්තා. කලින් එයාලා රැස්වීම් තිබ්බේ යුකැලිප්ටස් ගස්වලින් හදපු මඩුවල. ඒවාවල වහලෙට දාලා තිබ්බේ වියපු බට පැලලි වගේ දෙයක්. ඒ වගේම මැටිවලින් හදපු දිග බංකුවල තමයි සහෝදරයෝ වාඩි වුණේ. හැබැයි දැන් සහෝදරයෝ ගඩොල් කපලා, පුච්චලා ලස්සනට නමස්කාර මධ්‍යස්ථාන හදලා තියෙනවා. ඒත් එයාලා තාමත් කැමති පුටු වෙනුවට අර මැටි බංකුවල ඉඳගන්න. මොකද එයාලා කියන්නේ “හරි බැරි ගැහිලා තව එක් කෙනෙක්ට හරි ඒකේ වාඩිවෙන්න ඉඩ දෙන්න පුළුවන්නේ” කියලා.

මෙහේ ඉන්න සහෝදරයන්ට අවබෝධයෙන් වැඩ කරන්න දෙවියන් උදව් කරලා තියෙන විදිහ දකිද්දී මට ගොඩක් සතුටුයි. විශේෂයෙන්ම මෙහේ යෞවන සහෝදරයන් ගැන මතක් කරන්නම ඕනේ. එයාලා සංවිධානයේ වැඩවලට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම සංවිධානයෙන් දෙන පුහුණුවෙන් හොඳට ප්‍රයෝජන අරන් තියෙනවා. ඒ නිසා තමයි එයාලට පුළුවන් වෙලා තියෙන්නේ බෙතෙල් එකේ, සභාවේ වගකීම කරට අරන් කරන්න. එහේ අලුතින් පත් වුණ චාරිකා සේවකයනුත් සභාවලට ලොකු හයියක් වුණා. සංස්කෘතිය නිසා, පවුල්වල අය නිසා එයාලට කොච්චර පීඩනයක් දැනුණත් එයාලා දරුවෝ හදන්නේ නැතුව ඉන්න තීරණය කළේ සංවිධානයේ වැඩවලට මුල් තැන දෙන්න ඕනෙ නිසා.

හිතේ කොනකවත් දුකක් නැහැ

ඈනුයි, මායි එංගලන්තේ බෙතෙල් එකේ

අපි අප්‍රිකාවේ අවුරුදු 52ක් සේවේ කළා. ඊටපස්සේ මං ටිකක් අසනීප වෙන්න ගත්තා. ඒ නිසා මලාවිවල ශාඛා කමිටු සහෝදරයන් පාලක මණ්ඩලෙන් ඉල්ලීමක් කළා අපිව ආයෙත් එංගලන්තෙට යවන්න කියලා. පාලක මණ්ඩලය ඒකට අනුමැතිය දුන්නා. අපි හරි ආසාවෙන් කරකර හිටපු පැවරුමට අන්තිමේදී අපි සමු දුන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඒ ගැන හිතේ පුංචි දුකක් නැතුවම නෙවෙයි. ඒත් ඉතින් දැන් අපි වයසයිනේ. එංගලන්තේ බෙතෙල් පවුල අපි දෙන්නාව ආදරෙන් බලාගන්නවා.

යන්න ඕනෙ මොන පාරේද කියලා මංම තීරණය කරන්නේ නැතුව ඒක තීරණය කරන්න යෙහෝවාට ඉඩ දුන්නා. ඒක තමයි මගේ ජීවිතේ මං කරපු හොඳම දේ. ඒ ගැන හිතේ කොනකවත් දුකක් නෑ. මං තරුණ කාලේ කරකර හිටපු රස්සාව දිගටම කළා නම් අද මං වෙනස්ම ජීවිතයක් ගත කරයි. හැබැයි යෙහෝවා දැනන් හිටියා මගේ ‘ජීවිතේ සාර්ථක කරගන්න’ නම් මාව ගෙනියන්න ඕනෙ මොන පාරේද කියලා. (හිතෝ. 3:5, 6) කොලුගැටයා කාලේ ලොකු ෆැක්ට්‍රියක වැඩ ඉගෙනගද්දී මගේ හිතට සතුටක් දැනුණා. හැබැයි ඒ සතුට අද මං ලබන සතුට අහලකින්වත් තියන්න බෑ. මොකද දෙවියන්ගේ ලෝක ව්‍යාප්ත සංවිධානයත් එක්ක වැඩ කරන එකෙන් මං කියලා නිම කරන්න බැරි සතුටක් ලබනවා. ජීවිතේ ආපස්සට ගිහිල්ලා ආයෙත් මට තීරණයක් ගන්න වුණොත් මං එදාටත් තෝරගන්නේ යෙහෝවා දෙවියන් පෙන්නන්න පාරමයි.

^ දැන් මලාවිවල ප්‍රචාරකයන් 1,00,000කටත් වඩා ඉන්නවා.