Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 37

සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න

සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනෙක් සියල්ල විශ්වාස කරයි. සියල්ල බලාපොරොත්තුවෙන් සිටියි.’—1 කොරි. 13:4, 7.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

මේ ලිපියෙන් *

1. මේ ලෝකේ මිනිස්සු අනිත් අයව විශ්වාස කරන්නේ නැති එක ගැන අපි පුදුම වෙන්නේ නැත්තේ ඇයි?

 මේ ලෝකේ අයට අනිත් අය ගැන තඹ දොයිතුවකවත් විශ්වාසයක් නැහැ. මොකද දේශපාලඥයන්, ව්‍යාපාරිකයන්, ආගමික නායකයන් එයාලගේ විශ්වාසය කඩ කරලා. අද හුඟදෙනෙක්ට යාළුවෝ ගැන, පවුලේ අය ගැන පවා විශ්වාසයක් නැහැ. හැබැයි ඒ ගැන අපි පුදුම වෙන්න ඕනෙද? නැහැ. මොකද බයිබලේ කියලා තියෙනවා ‘අවසාන කාලයේදී මිනිස්සු ද්‍රෝහිකම් කරන, නින්දා කරන, අනුන්ව පාවා දෙන අය’ වෙනවා කියලා. (2 තිමෝ. 3:1-4) ඒකෙන් පැහැදිලියි ඒ මිනිස්සුන්ට තියෙන්නේ මේ ලෝකේ පාලකයා වන සාතන්ගේ ගතිගුණ කියලා. (2 කොරි. 4:4) සාතන් කියන්නේ විශ්වාසවන්තකම ගෑවිලාවත් නැති කෙනෙක්.

2. (අ) අපිට සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන් කාවද? (ආ) සමහරු කල්පනා කරන්නේ මොනවා ගැනද?

2 අපිට යෙහෝවා දෙවියන් ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසයි. (යෙරෙ. 17:7, 8) මොකද ඔහු කවදාවත් ඔහුගේ යාළුවන්ව අත්හැරලා එයාලගේ විශ්වාසය කඩ කරලා නැහැ. (ගීතා. 9:10) ඒ වගේම යේසුස් කියන්නෙත් අපි වෙනුවෙන් ජීවිතේ දීපු කෙනා. (1 පේතෘ. 3:18) ඒ නිසා අපිට ඔහුවත් විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි බයිබලේ තියෙන්නේ විශ්වාසවන්ත මඟ පෙන්වීම් කියලා අපි අපේ ජීවිතෙන්ම අද්දැකලා තියෙනවා. (2 තිමෝ. 3:16, 17) එහෙම බලද්දී අපිට යෙහෝවා ගැන, යේසුස් ගැන, බයිබලේ ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි සහෝදරයන්වත් ඒ විදිහට විශ්වාස කරන්න අපිට පුළුවන්ද? ඔව්. ඒ ඇයි කියලා අපි බලමු.

අපිට සහෝදර සහෝදරියන්ව ඕනේ

අපි වගේම යෙහෝවාට ආදරේ කරන විශ්වාසවන්ත සහෝදරයන් ලෝකේ පුරාම ඉන්නවා (3 ඡේදය බලන්න)

3. අපි හැමෝටම ලැබිලා තියෙන මිල කරන්න බැරි අවස්ථාව මොකක්ද? (මාක් 10:29, 30)

3 දෙවියන් අපිව ලෝකේ පුරාම ඉන්න අපේ ආදරණීය සහෝදර පවුලට එකතු කරගෙන තියෙනවා. ඒක මිල කරන්න බැරි අවස්ථාවක්. (මාක් 10:29, 30 කියවන්න.) ලෝකේ කොහේ හිටියත් අපේ සහෝදරයන් අපි වගේම යෙහෝවාට ගොඩක් ආදරෙයි. ඔහුගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න එයාලා උපරිමය කරනවා. අපේ භාෂාව, සංස්කෘතිය, අඳින පළඳින විදිහ වෙනස්. ඒත් මුල්ම වතාවට වුණත් එයාලව දකිද්දී අපේ හිතේ ලොකු ලෙන්ගතුකමක් ඇති වෙනවා. ඒ වගේම එයාලත් එක්ක එකතු වෙලා අපේ දෙවි යෙහෝවාට ප්‍රශංසා කරන්න, නමස්කාර කරන්න අපි ගොඩක් ආසයි.—ගීතා. 133:1.

4. අපිට සහෝදර සහෝදරියන්ව ඕනෙ ඇයි?

4 වෙන කවදාකටත් වඩා අපි අපේ සහෝදර සහෝදරියන් එක්ක බැඳිලා ඉන්න ඕනේ. මොකද ජීවිතේ බර උහුලගෙන යන්න එයාලා අපිට ශක්තියක්. (රෝම 15:1; ගලා. 6:2) ඒ වගේම දිගටම යෙහෝවා දෙවියන්ට සේවය කරන්න, ඔහුගේ යාළුවෙක් වෙලා ඉන්න එයාලා අපිට උදව් කරනවා. (1 තෙස. 5:11; හෙබ්‍රෙ. 10:23-25) අපිට හැම දවසකම සාතන් සහ සාතන්ගේ ලෝකේ ඉන්න අයත් එක්ක පොරබදින්න වෙනවා. සහෝදරයන්ගේ උදව් නැතුව ඒක අපේම හයියෙන් කරන්න වුණා නම් අපි කොච්චර අසරණ වෙයිද! ළඟදීම සාතන් සහ එයාගේ පැත්තේ ඉන්න අය දෙවියන්ගේ සෙනඟව විනාශ කරන්න උත්සාහ කරයි. ඒ වෙලාවේ සහෝදරයෝ අපේ ළඟින් ඉන්න එක කොච්චර හයියක් වෙයිද!

5. සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න සමහර අයට අමාරු ඇයි?

5 සමහර වෙලාවට අපි කෙනෙක්ව විශ්වාස කරලා කියපු දෙයක් එයා තව කෙනෙක්ට කියලා ඇති. එහෙම නැත්නම් වෙච්ච පොරොන්දුවක් කඩ කරලා ඇති. එහෙමත් නැත්නම් කෙනෙක් කියපු කරපු දෙයක් නිසා අපේ හිත හොඳටම රිදිලා ඇති. ඒ වගේ දෙයක් වුණාට පස්සේ ආයෙත් අනිත් අයව විශ්වාස කරන්න අමාරු වෙයි. ඔයාත් ඒ වගේ දේකට මුහුණ දීලා තියෙනවාද? එහෙමනම් කැඩිලා බිඳිලා ගිය ඒ විශ්වාසය ආයෙත් ගොඩනඟාගන්නේ කොහොමද?

විශ්වාසයක් ඇති වෙන්නේ ආදරේ නිසයි

6. විශ්වාසයක් ඇති කරගන්න ආදරේ අපිට උදව් වෙන්නේ කොහොමද? (1 කොරින්ති 13:4-8)

6 ආදරේ නිසා තමයි විශ්වාසයක් ඇති වෙන්නේ. ආදරෙන් වැඩ කරන කෙනෙක් කොයි වගේද කියලා 1වෙනි කොරින්ති 13වෙනි පරිච්ඡේදයේ කියනවා. (1 කොරින්ති 13:4-8 කියවන්න.) අපේ සහෝදරයන් ගැන විශ්වාසයක් ඇති කරගන්න, බිඳුණු විශ්වාසයක් ගොඩනඟන්න ආදරේ උදව් වෙන හැටි ඒ පදවලින් අපිට තේරුම්ගන්න පුළුවන්. උදාහරණෙකට 4වෙනි පදයේ කියනවා “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තයි, කරුණාවන්තයි” කියලා. හිතන්න, අපි කොච්චර වැරදි කළත් යෙහෝවා දෙවියන් අපි ගැන ගොඩක් ඉවසනවා. එහෙමනම් සහෝදරයෙක් අපේ හිත රිද්දද්දී, අපිව කේන්ති ගස්සද්දී අපිත් එයා ගැන ඉවසන්න ඕනෙ නේද? බලන්න 5වෙනි පදේ කියන දේ. එතන කියනවා ආදරෙන් වැඩ කරන කෙනෙක් “ඉක්මනින් කෝප වන්නේ නැහැ. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැහැ” කියලා. අපි ඇත්තටම ආදරෙන් වැඩ කරන අය නම් සහෝදරයන් අතින් වැරැද්දක් වෙද්දී ‘අපිටත් චාන්ස් එකක් එයිනේ’ කියලා ඒවා හිතේ හිතාගෙන ඉන්නේ නැහැ. අපි දේශනාකාරයා 7:9 කියන විදිහට “අමනාප වීමට ඉක්මන්” වෙන්නේ නැතුව එෆීස 4:26 කියන විදිහට ‘ඉර බහින්න කලින් අපේ කෝපය ඉවත් කරගන්න’ ඕනේ.

7. සහෝදරයන් ගැන විශ්වාසයක් ඇති කරගන්න මතෙව් 7:1-5 තියෙන ප්‍රතිපත්ති අපිට උදව් වෙන්නේ කොහොමද?

7 විශ්වාසයක් ඇති කරගන්න උදව් වෙන තව දෙයක් තමයි සහෝදරයන් දිහා දෙවියන් බලන විදිහට බලන්න පුරුදු වන එක. යෙහෝවා එයාලට ගොඩක් ආදරෙයි. ඒ නිසා එයාලගේ වැරදි හිතේ තියාගෙන ඉන්නේ නැහැ. එහෙනම් අපි ඒවා හිතේ තියාගෙන ඉන්න එක හරිද? (ගීතා. 130:3) ඒ නිසා අනිත් අයගේ වැරදි දිහාම බලන්නේ නැතුව එයාලගේ හොඳ පැති බලන්න. එයාලට දෙවියන් වෙනුවෙන්, සහෝදරයන් වෙනුවෙන් මොන තරම් හොඳ දේවල් කරන්න පුළුවන්ද කියලා හිතන්න. (මතෙව් 7:1-5 කියවන්න.) කෙනෙක් කරපු දෙයක් නිසා හිත රිදුණොත් ‘ඒක නං එයා කළේ හිත රිද්දන්නමයි’ කියලා හිතන්න එපා. මොකද ආදරෙන් වැඩ කරන කෙනෙක් “සියල්ල විශ්වාස කරනවා.” (1 කොරි. 13:7) ඒ කියන්නේ අපි ඔහේ හැමෝවම විශ්වාස කරන්න ඕනෙ කියලාද? නැහැ. යෙහෝවා කවදාවත් අපෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි අපේ සහෝදරයන්ව විශ්වාස කරන්න ඕනෙ එයාලා දැනටමත් අපේ විශ්වාසය ලබන්න වටිනවා කියලා ඔප්පු කරලා තියෙන නිසයි. *

8. සහෝදරයන් ගැන විශ්වාසයක් ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

8 විශ්වාසයත් හරියට ගෞරවය වගේ. ඒක දිනාගන්න කාලයක් යනවා. සහෝදරයන් ගැන විශ්වාසයක් ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද? මුලින්ම එයාලව අඳුරගන්න. රැස්වීම්වලදී එයාලත් එක්ක කතා කරන්න. එකට සේවේ යන්න. විශ්වාසවන්ත අය කියලා ඔප්පු කරන්න එයාලට කාලේ දෙන්න. ඇත්ත, අද ඊයේ අඳුරගත්ත සහෝදරයෙක්ට අපේ ජීවිතේ වෙන හැම දෙයක්ම අපි කියන්න යන්නේ නැහැ. ඒත් ටිකෙන් ටික එයාව අඳුරගද්දී, එයාට ළං වෙද්දී එයා ගැන විශ්වාසයක් ගොඩනැඟෙයි. එතකොට බය නැතුව අපේ හිතේ තියෙන දේවල් කියන්න පුළුවන් කියලා අපිට තේරෙයි. (ලූක් 16:10) හැබැයි සහෝදරයෙක් ඒ විශ්වාසය කඩ කළොත්? ඒ යාළුකම නවත්තන්න ඉක්මන් වෙන්න එපා. ඒ වෙනුවට කාලෙට ඉඩ දීලා ඉවසීමෙන් බලන් ඉන්න. එක් කෙනෙක් ඔයාගේ විශ්වාසය කඩ කළා කියලා හැමෝවම ඒ ගොඩට දාන්න එපා. අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයනුත් ඒ වගේ දේවල්වලට මුහුණ දීලා තියෙනවා. හැබැයි එයාලා අනිත් අයව විශ්වාස කරන එක නැවැත්තුවේ නැහැ. ඒ වගේ ආදර්ශ කීපයක් දැන් අපි බලමු.

එයාලා අනිත් අයව දිගටම විශ්වාස කළා

ඒලී හන්නාව වැරදියට තේරුම්ගත්තත් හන්නා දිගටම යෙහෝවා ගැනත් ඔහු පත් කරපු අය ගැනත් විශ්වාසය තිබ්බා (9 ඡේදය බලන්න)

9. (අ) වගකීම් දරපු අය වැරදි කළත් හන්නා දෙවියන්ගේ සැලැස්ම ගැන තිබුණ විශ්වාසය නැති කරගත්තේ නැහැ කියලා පෙන්නුවේ කොහොමද? (ආ) හන්නාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද? (පින්තූරය බලන්න.)

9 වගකීම් දරන කෙනෙක් කරපු දෙයක් නිසා ඔයා ඉන්නේ කලකිරිලා නම් හන්නාගේ ආදර්ශය ඔයාට උදව් වෙයි. ඒ කාලේ නමස්කාරයේ දේවලදී මූලිකත්වය අරන් වැඩ කළේ උත්තම පූජක ඒලී. හැබැයි එයාගේ පුතාලා නම් පූජකයන් වුණාට කිසිම ලැජ්ජාවක්, බයක් නැතුව වැරදි කළා. අනාචාරයෙත් යෙදුණා. ඒත් ඒලී පුතාලා කරපු දේවල් ගණන් ගත්තේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා යෙහෝවා එවෙලේම ඒලීව වගකීම්වලින් අයින් කළේ නැහැ. ඉතින් හන්නා හිතුවාද ‘ඒලී ඉන්න කල් මං ශුද්ධ කූඩාරම පැත්ත පළාතක යන්නේ නෑ’ කියලා? නැහැ. යෙහෝවා දෙවියන් නමස්කාර කරන්න ඇති කරලා තිබුණ සැලැස්මට හන්නා පිටුපෑවේ නැහැ. දවසක් හන්නා හොඳටම අඬඅඬා දෙවියන්ට යාච්ඤා කරද්දී ඒලී හිතුවේ හන්නා හොඳටම බීලයි කියලා. ඇත්ත නැත්ත හොයලා බලන්නේ නැතුව, අසරණ වෙලා හිටපු හන්නා ගැන එහෙම හිතපු එක කොච්චර වැරදිද! (1 සාමු. 1:12-16) හන්නා දෙවියන්ට පොරොන්දු වුණා එයාට පුතෙක් ලැබුණොත් එයාව ශුද්ධ කූඩාරමේ සේවේට දෙනවා කියලා. එහෙම වුණොත් පුතා හැදී වැඩෙන්නේ ඒලී යටතේ කියලා දැනන් හිටියත් වුණ පොරොන්දුව හන්නා වෙනස් කළේ නැහැ. (1 සාමු. 1:11) ඒත් ඒලීගේ පුතාලට හැමදාම වැරදි කරන්න පුළුවන් වුණාද? නැහැ. යෙහෝවා නියම කාලේදී එයාලට දඬුවම් කළා. (1 සාමු. 4:17) ඒ වගේම දෙවියන්ගේ සැලැස්ම ගැන විශ්වාසය තියපු හන්නාටත් සාමුවෙල්ව දීලා දෙවියන් ආශීර්වාද කළා.—1 සාමු. 1:17-20.

10. ළඟින්ම හිටපු අය ද්‍රෝහි වුණත් දාවිත් අනිත් අයව විශ්වාස කරලා වැඩ කළේ කොහොමද?

10 ඔයාගේ යාළුවෙක් ඔයාව රවට්ටලා තියෙනවාද? එහෙමනම් දාවිත්ගේ ආදර්ශය ඔයාට උදව් වෙයි. දාවිත්ට හිටියා අහිතොෆෙල් කියලා කිට්ටු යාළුවෙක්. ඒත් අබ්සලොම් දාවිත්ගෙන් රජකම උදුරගන්න හදපු වෙලාවේ අහිතොෆෙලුත් ඒකට එකතු වුණා. තමන් ජාතක කරපු පුතායි, දුකට සැපට ළඟින් හිටපු යාළුවායි එයාව රවට්ටද්දී දාවිත්ට කොහොම හැඟෙන්න ඇද්ද! ‘ආයේ නම් කාවවත් විශ්වාස කරන්නේ නෑ’ කියලා දාවිත් හිතුවාද? නැහැ. දාවිත්ට තව යාළුවෙක් හිටියා හූෂයි කියලා. එයා ඒ කැරැල්ලට සම්බන්ධ වුණේ නැහැ. අනික දාවිත්ට උදව් කරන්න එයා ජීවිතෙත් පරදුවට තිබ්බා. (2 සාමු. 17:1-16) ඒ නිසා එයාව විශ්වාස කරන්න දාවිත්ට පුළුවන් වුණා.

11. අනිත් අයව විශ්වාස කරනවා කියලා නාබල්ගේ සේවකයෙක් පෙන්නුවේ කොහොමද?

11 අපි දැන් නාබල්ගේ සේවකයෙක් කරපු දෙයක් බලමු. දාවිත් සහ එයා එක්ක හිටපු අය කාලයක් නාබල්ගේ සේවකයන්ට ආරක්ෂාව දීලා තිබුණා. ඊට ටික කාලෙකට පස්සේ දාවිත්ගේ සේවකයන් නාබල් ළඟට ගිහින් එයාගෙන් කෑම ටිකක් ඉල්ලුවා. ඒ වෙලාවේ නාබල් එයාලට හරිම පහත් විදිහට කතා කරලා කෑම දෙන්න බැහැ කිව්වා. ඒක ඇහුවාම දාවිත්ට හොඳටම කේන්ති ගිහින් නාබල්ගේ ගෙදර ඉන්න හැම පුරුෂයෙක්වම මරන්න තීරණය කළා. ඒ ගැන දැනගත්ත නාබල්ගේ එක සේවකයෙක් නාබල්ගේ බිරිඳ වන අබිගායිල්ට ඒක කිව්වා. එයා දැනන් හිටියා දැන් එයාගේ ජීවිතේ තියෙන්නේ අබිගායිල්ගේ අතේ කියලා. ඒ නිසයි එයා ජීවිතේ බේරගන්න පැනලා ගියේ නැත්තේ. මොකද එයා විශ්වාස කළා වෙන්න යන දේ වළක්වන්න අබිගායිල් මොනවා හරි කරයි කියලා. අබිගායිල්ව විශ්වාස කරන්න හොඳ හේතු තිබුණා. මොකද එයා ඥානවන්තව වැඩ කරන කෙනෙක් විදිහට හොඳ නමක් දිනාගෙන හිටියා. දාවිත් කරන්න යන දේ ගැන දැනගත්තාම එයා නිර්භීතව දාවිත් ළඟට ගිහිල්ලා ඒක විසඳගත්තා. (1 සාමු. 25:2-35) අබිගායිල් එහෙම කළේ දාවිත් හරි දේ කරනවා කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණ නිසයි. නාබල්ගේ සේවකයා අබිගායිල්ව විශ්වාස කරපු නිසා ජීවිත කීයක් නම් බේරුණාද!

12. අඩුපාඩුකම් සිද්ධ වුණත් ගෝලයන්ව විශ්වාස කරනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

12 ගෝලයන්ගේ අතින් වැරදි වුණත් යේසුස් එයාලව දිගටම විශ්වාස කළා. (යොහ. 15:15, 16) දවසක් යාකොබ් සහ යොහන් යේසුස්ගෙන් දේවරාජ්‍යයේ විශේෂ තනතුරු ඉල්ලද්දී එයාලා දෙවියන්ට සේවේ කරන්නේ වැරදි චේතනාවෙන් කියලා යේසුස් චෝදනා කළේ නැහැ. ඒ වගේම එයාලා නියෝජිතයන් වෙන්න සුදුසු නැහැ කියලා හිතුවෙත් නැහැ. (මාක් 10:35-40) යේසුස්ව අත්අඩංගුවට ගත්ත දවසේදී ගෝලයෝ හැමෝම ඔහුව දාලා ගියා. (මතෙ. 26:56) එච්චර දේවල් වෙලත් එයාලගෙන් කිසිම වැඩක් නැහැ කියලා යේසුස් එයාලව අයින් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු ‘අවසානය වෙන කල්ම එයාලට ගොඩක් ආදරේ කළා.’ (යොහ. 13:1) ගෝලයන්ව විශ්වාස කරනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් විශ්වාසවන්ත ගෝලයන් 11දෙනාට වැදගත් පැවරුමක් දුන්නා. ඔහු එයාලට කිව්වා ගෝලයන් වෙන්න අනිත් අයටත් උදව් කරන්න කියලා. ඒ වගේම ඔහුගේ බැටළුවන්ව ආදරෙන් බලාගන්න කියලා. (මතෙ. 28:19, 20; යොහ. 21:15-17) ගෝලයන්ව විශ්වාස කරපු නිසා යේසුස්ට වැරදුණාද? නැහැ. එයාලත් අන්තිම හුස්ම හෙළන කල්ම යේසුස් එයාලා ගැන තිබ්බ විශ්වාසේ රැක්කා. අපි බලපු විදිහට හන්නා, දාවිත්, නාබල්ගේ සේවකයා, අබිගායිල් සහ යේසුස් අනිත් අය අතින් අඩුපාඩුකම් වුණත් එයාලා ගැන විශ්වාසය තියලා වැඩ කළා.

කඩ වුණ විශ්වාසය ආයෙත් ඇති කරගන්න

13. අනිත් අයව විශ්වාස කරන්න අමාරු වෙන්න පුළුවන් ඇයි?

13 ඔයා කවදා හරි සහෝදරයෙක්ව විශ්වාස කරලා කියපු රහසිගත දෙයක් එයා අනිත් අයට කියලා තියෙනවාද? ඔයාට එයා ගැන තිබුණ විශ්වාසය එදා කෑලිවලට කැඩිලා යන්න ඇති. අපේ සහෝදරියකටත් ඒකම වුණා. දවසක් එයාගේ ප්‍රශ්නයක් ගැන එයා වැඩිමහල්ලෙක්ට කිව්වා. පහුවදාම ඒ වැඩිමහල්ලාගේ බිරිඳ ප්‍රශ්නේ ගැන අහලා මේ සහෝදරියව දිරිගන්වන්න කෝල් කළා. ඒ වෙලාවේ සහෝදරියගේ හිතේ වැඩිමහල්ලා ගැන තිබුණ විශ්වාසය බින්දුවටම වැටෙන්න ඇති නේද? හැබැයි එයා හිතුවේ නැහැ ‘ඔක්කෝම එකයි. කිසිම වැඩිමහල්ලෙක්ව විශ්වාස කරන්න බෑ’ කියලා. ඒ වෙනුවට වෙච්ච දේ ගැන එයා තව වැඩිමහල්ලෙක්ට කිව්වා. වැඩිමහල්ලන් ගැන තියෙන විශ්වාසය ආයෙත් ඇති කරගන්න ඒ වැඩිමහල්ලා සහෝදරියට උදව් කළා.

14. ආයෙත් විශ්වාසය ඇති කරගන්න සහෝදරයෙක්ට උදව් වුණේ මොකක්ද?

14 සහෝදරයෙක්ට කාලයක් තිස්සේ වැඩිමහල්ලෝ දෙන්නෙක් එක්ක ප්‍රශ්නයක් තිබුණා. එයාලව කීයටවත් විශ්වාස කරන්න බැහැ කියලයි එයාට හිතුණේ. හැබැයි තවත් සහෝදරයෙක් කියපු දෙයක් ගැන එයා ගොඩක් කල්පනා කළා. ඒ සහෝදරයා කිව්වේ “අපේ හතුරා සාතන් මිසක් සහෝදරයෝ නෙවෙයි” කියලා. පස්සේ එයා ඒ ගැන ගොඩක් යාච්ඤා කළා. කාලයත් එක්කම එයාට පුළුවන් වුණා ඒ වැඩිමහල්ලෝ දෙන්නා එක්ක සමාදාන වෙන්න.

15. නැති වුණ විශ්වාසයක් ආයෙත් ඇති කරගන්න සෑහෙන කාලයක් යන්නේ ඇයි? අද්දැකීමක් කියන්න.

15 ඔයා ආසාවෙන් කරපු පැවරුමක් කවදා හරි ඔයාට නැති වෙලා තියෙනවාද? ග්‍රේටාටත් වුණේ ඒ වගේ දෙයක්. එයායි, එයාගේ අම්මායි ජර්මනියේ නාට්සි පාලන කාලේ විශ්වාසවන්තව හිටපු සහෝදරියන් දෙන්නෙක්. ඒ කාලේ අපේ වැඩ එහේ තහනම් කරලා තිබුණේ. ග්‍රේටාට පැවරුමක් ලැබුණා ‘මුරටැඹ’ සඟරාවේ පිටපත් හදන්න. ඒත් එයාගේ තාත්තා සත්‍යයට විරුද්ධයි කියලා සහෝදරයෝ දැනගත්තාම ඒ පැවරුම එයාගෙන් අයින් කළා. මොකද එයාලා බය වුණා තාත්තා සභාවේ අයව පාවලා දෙයි කියලා. ඒ මදිවට දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේ පුරාම ග්‍රේටාටයි, එයාගේ අම්මාටයි සහෝදරයෝ සඟරා දුන්නෙත් නැහැ. අඩුම තරමේ පාරෙදී දැක්කාම එයාලා එක්ක කතා කළෙත් නැහැ. ග්‍රේටාගේ හිත කොච්චර පෑරිලා තිබුණාද කියනවා නම් ඒ සහෝදරයන්ට සමාව දීලා ආයෙත් එයාලව විශ්වාස කරන්න එයාට ගොඩක් අමාරු වුණා. ඒකට සෑහෙන කාලයක් ගියා. එයා පස්සේ තේරුම්ගත්තා යෙහෝවා දෙවියන් ඒ සහෝදරයන්ට සමාව දීලා ඇති කියලා. ඒ නිසා එයාත් එයාලට සමාව දුන්නා.

“අපේ හතුරා සාතන් මිසක් සහෝදරයෝ නෙවෙයි”

16. සහෝදරයන් ගැන විශ්වාසයක් ඇති කරගන්න අපි මහන්සි වෙන්න ඕනෙ ඇයි?

16 ඔයාත් ඒ වගේ දේකට මුහුණ දීලා තියෙනවා නම් හැම සහෝදරයෙක් ගැනම ඔයාට තියෙන විශ්වාසය බිඳෙන්න පුළුවන්. බිඳුණ ඒ විශ්වාසේ දවසින් දෙකෙන් ඇති වෙන්නේ නැහැ තමයි. ඒත් ඒ වෙනුවෙන් දිගටම මහන්සි වෙන්න. මේ උදාහරණේ බලන්න. ඔයාට කවදා හරි කෑමක් විස වෙලා තියෙනවාද? එහෙමනම් ඔයා ආයේ කද්දී පරෙස්සම් වෙනවා. හැබැයි ඔයා හිතනවාද ‘ආයේ නම් මං ජීවිතේට කන්නේ නෑ’ කියලා? නැහැ නේද? ඒ වගේ තමයි කෙනෙක් විශ්වාසය බින්දා කියලා සහෝදරයෝ හැමෝවම එකම බෝට්ටුවට දාන්න එපා. මොකද අපි ඕනම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ වගේම බිඳුණු විශ්වාසයක් ආයෙත් ඇති කරගන්න මහන්සි වෙද්දී ඔයාගේ හිතට ලොකු සහනයක්, සතුටක් දැනෙයි. සභාවේ අය අතර තියෙන විශ්වාසය වැඩි කරන්න ඔයාට කරන්න පුළුවන් දේ ගැන හිතලා බලන්නත් ඒක උදව් වෙයි.

17. අනිත් අයව විශ්වාස කරන එක ගොඩක් වැදගත් ඇයි? අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවාද?

17 සාතන්ගේ ලෝකේ නම් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්නවත් නැති තරම්. හැබැයි දෙවියන්ගේ සෙනඟ ආදරෙන් බැඳුණු පවුලක් වගේ. ඒ නිසා අපිට සහෝදරයන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්. අපි දැන් වුණත් ගොඩක් සතුටින් ඉන්නේ, අපි අතර ශක්තිමත් බැඳීමක් තියෙන්නේ ඒ විශ්වාසය නිසයි. ඒ වගේම අපි දන්නවා ඉස්සරහට මීටත් වඩා අමාරු දේවල්වලට මුහුණ දෙද්දී අපේ සහෝදරයෝ අපේ ළඟින්ම ඉන්නවා කියලා. කවුරු හරි ඔයාගේ විශ්වාසය කඩ කරලා තියෙන නිසා ඔයා ඉන්නේ දුකෙන්ද? එහෙනම් යෙහෝවා බලන විදිහට දේවල් දිහා බලන්න. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න. සහෝදරයන් ගැන ආදරයක් ඇති කරගන්න. බයිබල් ආදර්ශවලින් ඉගෙනගන්න. එහෙම කරද්දී අනිත් අය අපේ හිත පෑරුවත් ආයෙත් ඒ විශ්වාසේ ඇති කරගන්න අපි හැමෝටම පුළුවන්. “සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව ඉන්න” මිතුරන් සිය දහස් ගාණක් ඔයාට ඉන්නවා කියලත් එතකොට ඔයාට තේරෙයි. (හිතෝ. 18:24) තනි අතින් අත්පුඩි ගහන්න බැහැ වගේ දෙන්නෙක් අතර විශ්වාසයක් ඇති කරගන්න එකත් එක් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට දෙන්නාම මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා අපි අනිත් අයව විශ්වාස කරනවා වගේම අනිත් අයගේ විශ්වාසය දිනාගන්න කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 99 දස දහස් ගණන් සොහොයුරන්

^ අපි අපේ සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න ඕනේ. හැබැයි ඒක කරන එක හැම වෙලේම ලේසි නැහැ. මොකද එයාලා අතින් අපේ විශ්වාසය කඩ වෙන දේවල් වෙන්න පුළුවන්. එහෙමනම් සහෝදර සහෝදරියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න අපිට පුළුවන් කොහොමද? එයාලා අපේ විශ්වාසය කඩ කරලා තියෙනවා නම් ඒක ආයෙත් ගොඩනඟාගන්න පුළුවන් කොහොමද? ඒකට බයිබල් ප්‍රතිපත්ති සහ අතීත ආදර්ශ උදව් වෙනවා. ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ සභාවේ සමහර අයව විශ්වාස කරන්න එපා කියලා බයිබලේ අපිට අනතුරු අඟවලා තියෙනවා. (යූද් 4) හරිම කලාතුරකින් සමහරු සහෝදරයන් විදිහට පෙනී ඉඳලා සත්‍ය ඉගැන්වීම් ‘විකෘති කරලා පෙන්නන්න’ උත්සාහ කරනවා. (ක්‍රියා 20:30) අපි කීයටවත් එයාලට ඇහුම්කන් දෙන්නේවත් එයාලව විශ්වාස කරන්නේවත් නැහැ.