Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 38

විශ්වාසය රකින කෙනෙක් වෙන්න

විශ්වාසය රකින කෙනෙක් වෙන්න

“විශ්වාසවන්ත තැනැත්තා රහසිගත කාරණා රකියි.”—හිතෝ. 11:13.

ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු

මේ ලිපියෙන් *

1. විශ්වාසවන්ත කෙනෙක් මොන වගේද?

 විශ්වාසවන්ත කෙනෙක් දීපු පොරොන්දු ඒ විදිහටම ඉටු කරනවා. (ගීතා. 15:4) ඒ වගේම එයා හැම වෙලේම කියන්නේ ඇත්ත. ඒ වගේ කෙනෙක්ව විශ්වාස කරලා ඕන දෙයක් කියන්නත් පුළුවන්. අපේ සහෝදර සහෝදරියන් අපි ගැනත් එහෙම හිතනවාට අපි ගොඩක් ආසයි. ඒත් අනිත් අයගේ විශ්වාසය දිනාගන්න කෙනෙක් වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

2. අපි විශ්වාසවන්ත අය කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් කොහොමද?

2 විශ්වාසය කියන්නේ බලෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මහන්සි වෙලා දිනාගන්න ඕනෙ දෙයක්. විශ්වාසයත් හරියට සල්ලි වගේ. හම්බ කරන්න මහන්සි වෙන්න ඕනේ. හැබැයි නැති කරගන්න මොහොතක් ඇති. යෙහෝවා දෙවියන් අපේ විශ්වාසය සීයට සීයක් දිනාගෙන තියෙනවා. බයිබලේ කියනවා “ඔහුගේ සියලු ක්‍රියා විශ්වාසවන්තය” කියලා. (ගීතා. 33:4) ඔහු කවදාවත් අපේ විශ්වාසය කඩලත් නැහැ, කඩන්නෙත් නැහැ. අපිත් යෙහෝවාව ආදර්ශෙට ගනියි කියලා ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා. (එෆී. 5:1) ඒත් ඒක කරන්න පුළුවන්ද? ඔව්. දැන් අපි එහෙම කරපු කීපදෙනෙක් ගැන බලමු. ඒ වගේම අපිට අනිත් අයගේ විශ්වාසය දිනාගන්න උදව් වෙන ගුණාංග පහක් ගැනත් බලමු.

විශ්වාසය රැකපු අයගෙන් ඉගෙනගන්න

3-4. විශ්වාසවන්ත කෙනෙක් කියලා දානියෙල් ඔප්පු කළේ කොහොමද? අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නද?

3 දානියෙල් කියන්නේ විශ්වාසය රැකපු කෙනෙක්. එයා බැබිලෝනියේ වහල්භාවයේ හිටියත් එයාට පුළුවන් වුණා කෙටි කාලයක් ඇතුළත අනිත් අයගේ විශ්වාසය දිනාගන්න. යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් නෙබුකද්නෙෂර් රජගේ හීනේ පැහැදිලි කරලා දුන්නාට පස්සේ දානියෙල් ගැන තිබ්බ විශ්වාසය තවත් වැඩි වුණා. තවත් අවස්ථාවක දානියෙල්ට සිද්ධ වුණා විනිශ්චය පණිවිඩයක් බය නැතුව රජ ඉස්සරහට ගිහිල්ලා කියන්න. නෙබුකද්නෙෂර් කියන්නේ පොඩි දේටත් ඉක්මනටම කේන්ති ගන්න කෙනෙක්. අනිත් අතට දානියෙල් එයාට කියන්න යන්නෙත් අසුබ ආරංචියක්. හැබැයි ඒ කොහොම වුණත් දානියෙල් විශ්වාසවන්තව ඒ පණිවිඩය කිව්වා. (දානි. 2:12; 4:20-22, 25) ඊට අවුරුදු ගාණකට පස්සෙත් දානියෙල් විශ්වාසවන්ත කෙනෙක් කියලා ආයෙත් ඔප්පු වුණා. එයාට සිද්ධ වුණා ආශ්චර්යවත් විදිහට රජමාලිගාවේ බිත්තියේ ලියැවුණු වචනවල අර්ථය පැහැදිලි කරලා දෙන්න. ඒ වෙලාවෙත් එයා දෙවියන් කිව්ව පණිවිඩය පොඩ්ඩක්වත් බාල කරන්නේ නැතුව නිර්භීතව දැනුම් දුන්නා. (දානි. 5:5, 25-29) ඊට අවුරුදු ගාණකට පස්සේ මේදිය ජාතික දාරියුස් රජයි, එයාගේ නිලධාරීනුයි දැක්කා දානියෙල් කියන්නේ “ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන ඉතා බුද්ධිමත් කෙනෙක්” කියලා. ඒ වගේම එයා “හැමවිටම තම වගකීම් හොඳින් ඉටු කරමින් විශ්වාසවන්තව ක්‍රියා කළා” කියලත් එයාලා දැක්කා. (දානි. 6:3, 4) ඒ දේවල්වලින් මොකක්ද පැහැදිලි වෙන්නේ? දෙවියන්ට නමස්කාර නොකරපු පාලකයෝ පවා දැක්කා දානියෙල් කියන්නේ විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක් කියලා.

4 දානියෙල්ගේ ආදර්ශයෙන් ඔයා මොනවාද ඉගෙනගන්නේ? ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘සාක්ෂිකරුවන් නොවන අයගේ හිතේ මං ගැන තියෙන්නේ මොන වගේ පින්තූරයක්ද? එයාලා මාව සලකන්නේ විශ්වාස කරලා ඕනම වැඩක් භාර දෙන්න පුළුවන් කෙනෙක් විදිහටද?’ ඇයි ඔයා ඒ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන එක වැදගත්? මොකද විශ්වාසවන්තව වැඩ කරද්දී ඒකෙන් ගෞරවය ලැබෙන්නේ යෙහෝවා දෙවියන්ට.

බැරෑරුම් වගකීම් භාර දෙන්න නෙහෙමියා තෝරගත්තේ විශ්වාසවන්ත අයවයි (5 ඡේදය බලන්න)

5. විශ්වාසවන්ත කෙනෙක් විදිහට නමක් දිනාගන්න හනනියාට පුළුවන් වුණේ කොහොමද?

5 ක්‍රි.පූ. 455දී ආණ්ඩුකාරයා වුණ නෙහෙමියා යෙරුසලමේ පවුරු ගොඩනඟලා ඉවර කළා. ඊටපස්සේ ඒ නුවර බලාගන්න එයා වගකීමෙන් වැඩ කරන විශ්වාසවන්ත පුරුෂයන් කීපදෙනෙක්ව පත් කරන්න හිතුවා. ඒ අය අතර බලකොටුව භාර අධිපතියෙක් වුණ හනනියාත් හිටියා. බයිබලේ කියනවා “හනනියා බොහෝදෙනෙකුට වඩා සැබෑ දෙවිට ගරුබිය දැක්වූ ඉතා විශ්වාසවන්ත” කෙනෙක් කියලා. (නෙහෙ. 7:2) ඒ වගේ කෙනෙක් වෙන්න එයාට උදව් වුණේ මොකක්ද? හනනියාගේ හිතේ යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක් තිබුණා. ඒ වගේම දෙවියන්ගේ හිත රිදෙන දෙයක් කරන්න එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ නිසයි භාර දුන්න වැඩ වගකීමෙන් කරන්න එයාට පුළුවන් වුණේ. දෙවියන් දීලා තියෙන පැවරුම විශ්වාසවන්තව ඉටු කරන්න හනනියා අපිට හොඳ ආදර්ශයක්.

6. තිකිකස් පාවුල්ට විශ්වාසවන්ත යාළුවෙක් වුණේ කොහොමද?

6 තිකිකස් කියන්නේ පාවුල්ගේ විශ්වාසවන්ත යාළුවෙක්. පාවුල් නිවාස අඩස්සියේ ඉද්දී තිකිකස්ව විශ්වාස කරලා එයාගෙන් බය නැතුව උදව් ඉල්ලන්න පාවුල්ට පුළුවන් වුණා. එයා තිකිකස්ව හැඳින්නුවේ “විශ්වාසවන්ත දේවසේවකයෙක්” කියලා. (එෆී. 6:21, 22) පාවුල් එෆීසයේ සහ කොලොස්සියේ හිටපු සහෝදරයන්ට ලියුම් යවන්න විතරක් නෙවෙයි එයාලව දිරිගන්වන්නත් තිකිකස්ව පාවිච්චි කළා. තිකිකස් ගැන කතා කරද්දී අපේ විශ්වාසය ශක්තිමත් කරන්න වෙහෙස මහන්සිය නොබලා වැඩ කරන අපේ සභාවේ සහෝදරයන්ව අපිට මතක් වෙනවා.—කොලො. 4:7-9.

7. විශ්වාසවන්ත වෙන එක ගැන ඔයාගේ සභාවේ වැඩිමහල්ලන්ගෙන් සහ සහායක සේවකයන්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 අපේ සභාවේ ඉන්න වැඩිමහල්ලන්ව, සහායක සේවකයන්ව අපි ගොඩක් අගය කරන්න ඕනේ. මොකද එයාලත් දානියෙල්, හනනියා, තිකිකස් වගේ එයාලට භාර දීලා තියෙන පැවරුම් විශ්වාසවන්තව ඉටු කරනවා. උදාහරණෙකට අපි සති මැද රැස්වීමට යන්න කලින් කවදා හරි හිතයිද ‘මේ සතියේ තියෙන පැවරුම් කට්ටියට හරියට පවරලා ඇතිද’ කියලා? එහෙම නැත්නම් සති අන්ත රැස්වීමට බයිබල් ශිෂ්‍යයෙක්ට ආරාධනා කරන්න කලින් අපි හිතයිද ‘මේ සතියේ බයිබල් දේශනය ලෑස්ති කරන්න අමතක වෙලා තියෙයිද’ කියලා? නැහැ නේද? මොකද සහෝදරයන් ඒ වගකීම් හරියට ඉටු කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන් එයාලට ලැබුණ පැවරුම් හොඳට සූදානම් වෙලා විශ්වාසවන්තව ඉටු කරන එක ගැන වැඩිමහල්ලනුත් එයාලව ගොඩක් අගය කරනවා. අනිත් අතට අපේ සේවේට ඕනෙ කරන පොත් පත්, සඟරා අපිට නියම වෙලාවට ලැබෙනවා. අපේ විශ්වාසය ශක්තිමත් කරන්න මහන්සි වෙලා වැඩ කරන ඒ සහෝදරයන් දුන්නාට අපි යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුති කරන්න ඕනේ. ඒ සහෝදරයන්ව ආදර්ශෙට අරන් අපිත් විශ්වාසවන්තයි කියලා ඔප්පු කරන්න පුළුවන් කොහොමද?

රහසිගතභාවය රකින කෙනෙක් වෙන්න

8. අනිත් අයට සැලකිල්ල පෙන්නද්දී අපි සමබර වෙන්න ඕනෙ ඇයි? (හිතෝපදේශ 11:13)

8 අපි අපේ සහෝදර සහෝදරියන්ට ගොඩක් ආදරෙයි. ඒ නිසයි අපි එයාලා ගැන මෙච්චර සැලකිලිමත්. හැබැයි එහෙමයි කියලා අපි කවදාවත් එයාලගේ පෞද්ගලික දේවල්වලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. පළවෙනි සියවසේ ක්‍රිස්තියානි සභාවේ හිටපු සමහරු “කතා නොකළ යුතු දේ ගැන පවා කතා කරමින්, ඕපාදූප කීමටත් අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගැසීමටත් පුරුදු” වෙලා හිටියා. (1 තිමෝ. 5:13) අපි කවුරුත් ආස නැහැ ඒ වගේ වෙන්න. හැබැයි සමහර වෙලාවට කෙනෙක් අපි ළඟට ඇවිත් එයාගේ පෞද්ගලික දෙයක් ගැන අපිට කියන්න පුළුවන්. උදාහරණෙකට සහෝදරියක් ඇවිත් එයාට තියෙන අසනීපයක් ගැන, එයා මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන අපිට කියනවා කියලා හිතන්න. ඒ වගේම ඒක කිව්වාට පස්සේ ඒ ගැන කාටවත් කියන්න එපා කියලත් කියනවා. ඒ වගේ ඉල්ලීමක් අපි කවදාවත් සැහැල්ලුවට ගන්නේ නැහැ. * (හිතෝපදේශ 11:13 කියවන්න.) දැන් අපි බලමු අනිත් අයගේ පෞද්ගලික කාරණා රකින්න සිද්ධ වෙන තවත් අවස්ථා කීපයක් ගැන.

9. තමන් විශ්වාසවන්තයි කියලා පවුලේ අයට ඔප්පු කරන්න පුළුවන් කොහොමද?

9 පවුලේ අය අතර. පවුලේ හැමෝටම වගකීමක් තියෙනවා පවුලේ සමහර කාරණා පිට අයට කියන්නේ නැතුව ඉන්න. උදාහරණෙකට, බිරිඳ පුරුද්දක් විදිහට කරන දෙයක් නිසා සැමියාට ගොඩක් හිනා යනවා කියලා හිතන්න. ඒ වුණාට එයා ඒක අනිත් අය ඉස්සරහා කියලා කවදාවත් බිරිඳව ලැජ්ජා කරන්නේ නැහැ. මොකද එයා එයාගේ බිරිඳට ගොඩක් ආදරේ නිසා එයාට ඕනෙ නැහැ බිරිඳව රිද්දන්න. (එෆී. 5:33) අපේ දරුවනුත් ටික ටික යෞවන වයසට එද්දී අනිත් අයගේ ගෞරවය බලාපොරොත්තු වෙනවා. දෙමාපියන් ඒක තේරුම්ගන්න ඕනේ. ඒ නිසා දෙමාපියන් කවදාවත් දරුවන්ගේ වැරදි තැන තැන කියන්නේ නැහැ. (කොලො. 3:21) අනිත් අතට දරුවොත් කටට එන පළියට පවුලේ වෙන හැම දෙයක්ම අනිත් අයට කියලා පවුලේ අයව අපහසුතාවයට පත් කරන්නේ නැහැ. (ද්වි. 5:16) පවුලේ හැමෝම ඒ කාරණා හොඳට හිතට ගන්නවා නම් පවුල් බැඳීමත් තව තව ශක්තිමත් වෙනවා.

10. හොඳ යාළුවෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ටද? (හිතෝපදේශ 17:17)

10 යාළුවන් අතර. අපේ ජීවිතේ සමහර අවස්ථා එනවා හිතේ තියෙන හැම දෙයක්ම කිට්ටු යාළුවෙක්ට කියන්න ඕනෙ කියලා හිතෙන. සමහරවිට කෙනෙක් ඉස්සරහා හිතේ ගැඹුරේ තියෙන දේවල් වචනවලට පෙරළන එක ලේසි නැහැ. හැබැයි අපි අමාරුවෙන් හරි ඒක එයාට කියලා හිත නිදහස් කරගන්නවා. එච්චර අමාරුවෙන් කියපු දේ එයා වෙන කාට හරි කිව්වා කියලා ආරංචි වුණොත්? එහෙම වුණොත් නම් අපේ හිතට ලොකු වේදනාවක් දැනෙයි. හැබැයි අනිත් අතට ඔයා කියපු දේවල් අහන් ඉඳලා ඒ ගැන එක කෙළ බිඳක්වත් හෙළන්නේ නැති යාළුවෙක් ඔයාට ඉන්නවා නම්? අන්න ඒ වගේ කෙනෙක්ට තමයි අපි කියන්නේ ‘හොඳ යාළුවෙක්’ කියලා.—හිතෝපදේශ 17:17 කියවන්න.

වැඩිමහල්ලන් රහසිගත කාරණා පවුලේ අයට කියන්නේ නැහැ (11 ඡේදය බලන්න) *

11. (අ) වැඩිමහල්ලන්ට සහ එයාලගේ භාර්යාවන්ට විශ්වාසවන්ත අය කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (ආ) වැඩිමහල්ලෙක් සභාවේ කාරණයක් හසුරුවලා ආවට පස්සේ පවුලේ අයත් එක්ක ඉන්න විදිහෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද? (පින්තූරය බලන්න.)

11 සභාවේ අය අතර. අපේ රහස් රකින වැඩිමහල්ලන් හරියට ‘සුළඟින් මුවා වීමට තියෙන ස්ථානයක් සහ රක්ෂස්ථානයක් වගේ.’ (යෙසා. 32:2) මොකද අපිට තියෙන ඕනම ප්‍රශ්නයක් බය නැතුව එයාලට කියන්න අපිට පුළුවන්. අපි දන්නවා එයාලා කවදාවත් ඒ දේවල් අනිත් අයට කියන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි අපි කවදාවත් වැඩිමහල්ලෙක්ව අපහසුතාවයට පත් කරලා එයාගෙන් අනිත් අයගේ තොරතුරු ගන්න හදන්නෙත් නැහැ. වැඩිමහල්ලන්ව වගේම එයාලගේ භාර්යාවන්වත් අපි ගොඩක් අගය කරන්න ඕනේ. මොකද එයාලත් කවදාවත් සහෝදර සහෝදරියන්ගේ තොරතුරු එයාලගේ සැමියාගෙන් අහන්නේ නැහැ. ඒකෙන් අනිත් අයට විතරක් නෙවෙයි එයාලටත් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. බලන්න ඒ ගැන වැඩිමහල්ලෙක්ගේ බිරිඳක් කියන දේ. “මගේ මහත්තයා සහෝදරයන්ව දිරිගන්වන්න යද්දී, සභාවේ කාරණයකට කොහේ හරි යද්දී යන්නේ කොහේද, ඇයි යන්නේ ඒ කිසිම දෙයක් කියන්නේ නැහැ. අඩුම ගානේ හම්බෙන්න යන අයගේ නම්වත් කියන්නේ නැහැ. ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද අනිත් අයගේ ප්‍රශ්න මං නිකං ඔළුවට දාගන්න ඕනෙ නෑනේ. අනිත් අයගේ තොරතුරු දන්නේ නැති නිසා මට පුළුවන් සභාවේ හැමෝවම එක වගේ ආශ්‍රය කරන්න. මං දන්නවා මගේ මහත්තයා කවදාවත් කෙනෙක්ගේ දෙයක් අනිත් අයත් එක්ක කියන්නේ නැහැ කියලා. ඒ නිසා දැනෙන ඕනම දෙයක් මටත් කිසිම බයක් නැතුව එයාට කියන්න පුළුවන්.” අපිටත් ඕනෙ අනිත් අයගේ විශ්වාසය දිනාගන්න කෙනෙක් වෙන්න. හැබැයි ඒක කරන්න උදව් වෙන ගුණාංග මොනවාද? දැන් අපි ඒ වගේ ගුණාංග පහක් ගැන බලමු.

විශ්වාසය රකින්න උදව් වෙන ගුණාංග

12. විශ්වාසය ගොඩනැඟෙන්න ආදරේ නැතුවම බැරි ඇයි? පැහැදිලි කරන්න.

12 විශ්වාසයක් ගොඩනැඟෙන්න නම් ආදරය ඕනෙමයි. යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න කියලත් අසල්වැසියාට ආදරේ කරන්න කියලත් යේසුස් ආඥා දෙකක් දුන්නා. (මතෙ. 22:37-39) විශ්වාසවන්තකම ගැන හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. ඉතින් අපි ඔහුට ආදරේ කරනවා නම් හැම වෙලේම උත්සාහ කරන්නේ ඔහුව ආදර්ශෙට ගන්න. ඒ වගේම අපි අපේ සහෝදර සහෝදරියන්ට ආදරේ කරනවා නම් එයාලගේ පෞද්ගලික දේවල් තැන තැන කියන්නේ නැහැ. මොකද අපි කැමති නැහැ අපි කරන දෙයක් නිසා අනිත් අයට හානියක්, ලැජ්ජාවක්, වේදනාවක් ඇති වෙනවා දකින්න.—යොහ. 15:12.

13. විශ්වාසවන්ත කෙනෙක් වෙන්න නිහතමානිකම උදව් වෙන්නේ කොහොමද?

13 විශ්වාසවන්ත කෙනෙක් වෙන්න උදව් වෙන තව ගුණාංගයක් තමයි නිහතමානිකම. නිහතමානී කෙනෙක් කවදාවත් හිතන්නේ නැහැ ‘මොනවා හරි තොරතුරක් දැනගත්ත ගමන් මං තමයි ඉස්සෙල්ලාම අනිත් අයට කියන්න ඕනෙ’ කියලා. (ෆිලි. 2:3) ඒ වගේ කෙනෙක් ‘ඔයාලා දන්නේ නැති හුඟක් දේවල් මං දන්නවා’ කියලා අනිත් අයට අඟවලා තමන් ගොඩක් වැදගත් කෙනෙක් කියලා පෙන්නන්න හදන්නෙත් නැහැ. ඒ වගේම නිහතමානී කෙනෙක් බයිබලේවත් සංවිධානයේ ප්‍රකාශනවලවත් නැති තමන්ගේ පෞද්ගලික අදහස් අනිත් අය අතරේ පතුරන්නෙත් නැහැ.

14. විශ්වාසවන්ත කෙනෙක් වෙන්න අවබෝධයෙන් වැඩ කරන එක උදව් වෙන්නේ කොහොමද?

14 අවබෝධය තියෙන කෙනෙක් තේරුම්ගන්නවා “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත” කියලා. (දේශ. 3:7) සමහර වෙලාවට කතා කරන එකට වඩා නිහඬව ඉන්න එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. ඒ නිසයි හිතෝපදේශ 11:12 කියන්නේ “කාරණා හොඳින් අවබෝධ කරගත හැකි තැනැත්තා නිහඬව සිටියි” කියලා. ඒක තේරුම්ගන්න මේ අද්දැකීම බලන්න. එක වැඩිමහල්ලෙක්ට අවස්ථාවක් ලැබුණා සභා කීපයකටම ගිහිල්ලා ඒ සභාවල බරපතළ ප්‍රශ්න විසඳන්න උදව් කරන්න. ඒ වැඩිමහල්ලා ගැන තවත් වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “එයා කවදාවත් ඒ සභාවල රහසිගත කාරණා අනිත් අයත් එක්ක කියන්නේ නැහැ.” ඒ සහෝදරයා වැඩ කරපු විදිහ නිසා එයාගේ සභාවේ අනිත් වැඩිමහල්ලන්ගේ ගෞරවයත් දිනාගන්න එයාට පුළුවන් වුණා. වැඩිමහල්ලන්ට හොඳටම විශ්වාසයි ඒ සහෝදරයා එයාගේ සභාවේ රහසිගත කාරණාත් වෙන අයට කියන්නේ නැහැ කියලා.

15. විශ්වාසය දිනාගන්න අවංකකම උදව් වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

15 විශ්වාසය දිනාගන්න නැතුවම බැරි තව දෙයක් තමයි අවංකකම. මොකද අවංක කෙනෙක් හැම වෙලේම ඇත්ත කතා කරනවා. (එෆී. 4:25; හෙබ්‍රෙ. 13:18) හිතන්න ඔයාට ඕනෙ ඔයා දේශන දෙන විදිහ දියුණු කරගන්න කියලා. ඒ නිසා ඔයා කාට හරි කියනවා ඔයාගේ දේශනය අහගෙන ඉඳලා හදාගන්න ඕනෙ පැති පෙන්නලා දෙන්න කියලා. ඒ වගේ වෙලාවට ඔයා කැමති “නියමයි” කියලා ඔයාගේ හිත සනසන කෙනෙක්ටද? නැත්නම් අවංකව, ආදරෙන් ඔයාගේ අඩුපාඩුකම් පෙන්නලා දෙන කෙනෙක්ටද? උත්තරේ පැහැදිලියි නේද? ඒ නිසයි බයිබලේ මෙහෙම කියන්නේ. “සැඟවුණු ප්‍රේමයකට වඩා අවංක සිතකින් දෙන අවවාදයක් හොඳය. ඔබට ප්‍රේම කරන කෙනෙකු ඔබේ සිත රිදෙව්වත් ඔහු එසේ කරන්නේ විශ්වාසවන්තකමින්ය.” (හිතෝ. 27:5, 6) සමහරවිට අඩුපාඩුකම් පෙන්නලා දෙද්දී හිත ටිකක් රිදෙයි. හැබැයි හිත රිදුණත් ඒකෙන් යහපතක් වෙන්නේ ඔයාටමයි.

16. අපි අපිවම පාලනය කරගන්න එකේ වැදගත්කම හිතෝපදේශ 10:19 පෙන්නලා තියෙන්නේ කොහොමද?

16 තමන්වම පාලනය කරගන්න එක විශ්වාසවන්ත කෙනෙක් වෙන්න අපිට තියෙන්නම ඕනෙ තවත් ගුණාංගයක්. විශේෂයෙන්ම රහසිගත කාරණයක් ගැන තව කෙනෙක්ට කියන්න හිතෙද්දී අපේ කට පරෙස්සම් කරගන්න ඒ ගුණාංගය ඕනෙමයි. (හිතෝපදේශ 10:19 කියවන්න.) සමහරවිට අපි සමාජ මාධ්‍යය පාවිච්චි කරන කෙනෙක් නම් ඒක අභියෝගයක් වෙන්න පුළුවන්. මොකද සමාජ මාධ්‍යය හරහා හුඟදෙනෙක් අතරට තොරතුරු පැතිරෙන්න යන්නේ තත්පරයයි දෙකයි. ඉතින් අපි වැරදිලා හරි රහසිගත කාරණයක් සමාජ මාධ්‍යයට දැම්මොත් ඒක කොහෙන් කෙළවර වෙයිද, ඊටපස්සේ මොන මොන ප්‍රශ්න ඇති වෙයිද කියලා අපිට හිතාගන්නවත් බැහැ. අනිත් අතට අපිට විරුද්ධ අය කපටි විදිහට අපෙන් තොරතුරු ගන්න හදද්දීත් අපි අපිවම පාලනය කරගන්න ඕනේ. මොකද එහෙම නොවුණොත් අපේ සහෝදර සහෝදරියන්ගේ ජීවිතේට පවා අනතුරක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ඉන්නේ අපේ වැඩකටයුතු තහනම් කරපු ප්‍රදේශයක නම් පොලීසියෙන් අපිව ප්‍රශ්න කරද්දී අපි ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ. ඒ වගේ වෙලාවට බයිබලේ තියෙන මේ ප්‍රතිපත්තිය අපිට අදාළ කරගන්න පුළුවන්. “මාගේ කට නොඅරින පිණිස මම කටකලියාවක් දමාගන්නෙමි.” (ගීතා. 39:1) ඉතින් අපි බලපු විදිහට අපේ පවුලේ අය, යාළුවෝ, සහෝදර සහෝදරියන් ඇතුළු ඕනම කෙනෙක් එක්ක වැඩ කරද්දී එයාලගේ විශ්වාසය රකින්න අපි මහන්සි වෙන්න ඕනේ. ඒකට අපි අපිව පාලනය කරගන්නම ඕනේ.

17. සභාව විශ්වාසෙන් පිරුණු තැනක් කරන්න අපිට පුළුවන් කොහොමද?

17 අපිට ඕනම වෙලාවක විශ්වාසය තියන්න පුළුවන් සහෝදර සහෝදරියන්ව දුන්න එක ගැන අපි යෙහෝවාට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! අනිත් අතට අපිටත් වගකීමක් තියෙනවා හැමදාම එයාලගේ විශ්වාසය රකින්න. ඒක කරන්න නම් අපිට ආදරය, නිහතමානිකම, අවබෝධය, අවංකකම සහ අපිවම පාලනය කරගන්න එක වගේ ගුණාංග තියෙන්නම ඕනේ. එතකොට අපිට පුළුවන් අපේ සභාවත් විශ්වාසෙන් පිරුණු තැනක් කරන්න. හැබැයි අනිත් අයගේ විශ්වාසය දිනාගන්න එක දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් අපි හැම දවසකම මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා යෙහෝවා දෙවියන්ව ආදර්ශෙට අරන් අපි විශ්වාසවන්ත අය කියලා ඔප්පු කරන්න, පුළුවන් හැම දේම කරමු.

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

^ අනිත් අයගේ විශ්වාසය දිනාගන්න නම් අපි විශ්වාසවන්ත අය කියලා ඔප්පු කරන්න ඕනේ. විශ්වාසවන්ත වෙන එක එච්චර වැදගත් ඇයි? අනිත් අයගේ විශ්වාසය දිනාගන්න අපිට උදව් වෙන ගුණාංග මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ සභාවේ ඉන්න කවුරු හරි බරපතළ වරදක් කරනවා කියලා දැනගන්න ලැබුණොත් ඒ ගැන වැඩිමහල්ලන්ට දැනුම් දීලා එයාලගෙන් උදව් ගන්න කියලා අපි එයාට කියන්න ඕනේ. එයා එහෙම කළේ නැත්නම් යෙහෝවා දෙවියන්ට සහ ක්‍රිස්තියානි සභාවට ළැදි අය විදිහට අපිට සිද්ධ වෙනවා ඒ ගැන ගිහින් වැඩිමහල්ලන්ට කියන්න.

^ පින්තූරේ අදහස: වැඩිමහල්ලෙක් තවත් වැඩිමහල්ලෙක් එක්ක සභාවේ කාරණයක් හසුරුවනවා. හැබැයි එයා ඒ ගැන කිසිම තොරතුරක් පවුලේ අයට කියන්නේ නැහැ.