Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 40

“ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න හුඟදෙනෙක්ට උදව්”

“ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න හුඟදෙනෙක්ට උදව්”

“ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරන සියලුදෙනා තාරකා මෙන් සදාකාලයෙන් සදාකාලයටම බැබළෙන්නෝය.”—දානි. 12:3.

ගීතිකාව 151 දෙවි හඬගසයි

මේ ලිපියෙන් *

1. දහස් අවුරුදු පාලන කාලේදී සිද්ධ වෙන විශේෂ දේවල් මොනවාද?

 දහස් අවුරුදු පාලනය පටන්ගත්තාට පස්සේ මිය ගිය අය නැවත නැඟිටිනවා. අපේ ආදරණීයන්ව අවුරුදු ගාණකට පස්සේ ආයෙත් දකිද්දී අපිට කොහොම දැනෙයිද! ඒ දවස එන කල් අපි විතරක් නෙවෙයි යෙහෝවා දෙවියනුත් බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. (යෝබ් 14:15) අපි කලින් ලිපියෙන් බැලුවා ජීවන පොතේ නම් ලියවුණ “ධර්මිෂ්ඨ අයට” “ජීවනය සඳහා නැවත නැඟිටීමක්” ලැබෙනවා කියලා. (ක්‍රියා 24:15; යොහ. 5:29) සමහරවිට අපි ආදරේ කරන අයත් ඒ අතර ඉඳියි. ඒ අයගෙන් වැඩි දෙනෙක් හර්–මගෙදොන් යුද්ධය ඉවර වෙලා වැඩි කල් යන්න කලින් නැවත නැඟිටියි කියලා අපිට හිතන්න පුළුවන්. * ඒ වගේම අපි දැනගත්තා දෙවියන් “අධර්මිෂ්ඨ අයවත්” නැවත නැඟිටුවනවා කියලා. මොකද මැරෙන්න කලින් එයාලට හරිහමන් අවස්ථාවක් ලැබුණේ නැහැ යෙහෝවා දෙවියන් ගැන දැනගෙන ඔහුට සේවේ කරන්න. ඒ නිසා එයාලට “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්” ලැබෙනවා.

2-3. (අ) යෙසායා 11:9, 10 කියන විදිහට මේ පොළොවේ සිද්ධ වෙන්න යන දැවැන්තම අධ්‍යාපනික වැඩසටහන මොකක්ද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 නැවත නැඟිටින අයට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. (යෙසා. 26:9; 61:11) ඒ නිසා ඉතිහාසයේ වෙන කවදාවත් තිබුණේ නැති විදිහේ අධ්‍යාපනික වැඩසටහනක් එදාට ක්‍රියාත්මක වෙන්න නියමිතයි. (යෙසායා 11:9, 10 කියවන්න.) ඇයි ඒ වගේ දෙයක් ඕන වෙන්නේ? හිතන්න, නැවත නැඟිටලා එන අධර්මිෂ්ඨ අය යේසුස් ක්‍රිස්තුස් ගැන, දේවරාජ්‍යය ගැන, ජීවිත පූජාව ගැන, දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ගැන සහ පාලන අයිතිය සම්බන්ධයෙන් මතු වෙලා තියෙන ප්‍රශ්නය ගැන දන්නේ නැහැ. එයාලට විතරක් නෙවෙයි ධර්මිෂ්ඨ අයට පවා දෙවියන්ගේ අරමුණ ගැන හැම තොරතුරක්ම අකුරක් නෑර උගන්වන්න වෙනවා. මොකද දෙවියන් තමන්ගේ අරමුණ හෙළි කළේ ක්‍රමානුකූලව. අනික දෙවියන්ගේ සමහර සේවකයන් මැරෙද්දී බයිබලේ සම්පූර්ණ කරලා තිබුණෙත් නැහැ. ඒ දේවලින් පැහැදිලි වෙනවා අධර්මිෂ්ඨ අයට වගේම ධර්මිෂ්ඨ අයටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා.

3 ඒත් ඒ දැවැන්ත අධ්‍යාපනික වැඩසටහන සිද්ධ වෙන්නේ කොහොමද? අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න විදිහ ජීවන පොතේ අපේ නම නොමැකෙන විදිහට ලියවෙනවාද නැද්ද කියන එකට කෙළින්ම බලපාන්නේ කොහොමද? නැවත නැඟිටීම ගැන අපිට තිබුණ අවබෝධය තවත් හොඳින් පැහැදිලි කරගන්න දානියෙල් සහ එළිදරව් අනාවැකි අපිට උදව් වෙන්නේ කොහොමද? මේ කාලේ ජීවත් වෙන අපි ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න එක හරිම වැදගත්. අපි මුලින්ම දානියෙල් 12:1, 2 තියෙන අනාවැකිය ගැන බලමු.

‘භූමියේ සැතපී සිටින අය නැඟිටිනවා’

4-5. අවසාන කාලය ගැන දානියෙල් 12:1 කියලා තියෙන්නේ මොනවාද?

4 දානියෙල් 12:1 කියවන්න. අවසාන කාලය ගැන දානියෙල් පොතේ කියලා තියෙන අනාවැකි වාර්තා කරලා තියෙන්නේ ඒවා සිද්ධ වෙන අනුපිළිවෙලට. උදාහරණෙකට දානියෙල් 12:1 කියනවා මිකායෙල් ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් ‘දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටිනවා’ කියලා. අනාවැකියේ තියෙන ඒ කොටස ඉටු වෙන්න පටන්ගත්තේ 1914දී යේසුස් ස්වර්ගයේ රජ වෙනවාත් එක්කමයි.

5 දානියෙල් මෙහෙමත් කියනවා. “විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.” එතන “විපත්ති සහිත කාලය” කියන්නේ මතෙව් 24:21 සඳහන් වෙන “මහත් පීඩාවට.” දානියෙල්ගේ අනාවැකියේ කියන විදිහට විපත්ති සහිත කාලය අවසානයේදී යේසුස් දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් “පියවර ගන්නවා.” ඒක වෙන්නේ හර්–මගෙදොන්වලදී. දානියෙල් පොතේ කතා කරන දෙවියන්ගේ සෙනඟවම තමයි එළිදරව් පොතේ ‘මහත් පීඩාවෙන් බේරී එන මහත් සමූහය’ විදිහට හඳුන්වන්නේ.—එළි. 7:9, 14.

6. මහත් සමූහය මහත් පීඩාවෙන් බේරුණාට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද? පැහැදිලි කරන්න. (පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීම ගැන තවත් විස්තර දැනගන්න මේ සඟරාවේ තියෙන “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.)

6 දානියෙල් 12:2 කියවන්න. මහත් සමූහය මහත් පීඩාවෙන් බේරුණාට පස්සේ මේ පොළොවේ සිද්ධ වෙන්නේ මොකක්ද? දානියෙල් 12:2 කතා කරන්නේ සංකේතාත්මක නැවත නැඟිටීමක් ගැන කියලයි අපි කලින් හිතාගෙන හිටියේ. * හැබැයි ඒ අවබෝධය දැන් වෙනස් වෙලා තියෙනවා. එතන කතා කරන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන් පස්සේ ඇත්තටම සිද්ධ වෙන නැවත නැඟිටීම ගැනයි. ඇයි අපි එහෙම කියන්නේ? ඒ පදේ “භූමිය” නැත්නම් දූවිල්ල කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනය යෝබ් 17:16 පරිවර්තනය කරලා තියෙන්නේ “මිනී වළ” කියලා. එහෙම බලද්දී දානියෙල් 12:2 සඳහන් වෙන නැවත නැඟිටීම සංකේතවත් එකක් නෙවෙයි කියලා පැහැදිලියි.

7. (අ) නැවත නැඟිටින සමහර අයට “සදාකාල ජීවනය” ලැබෙන්නේ කොහොමද? (ආ) ඒක “වඩාත් උතුම් නැවත නැඟිටීමක්” කියන්නේ ඇයි?

7 දානියෙල් 12:2 කියනවා සමහරුන්ට “සදාකාල ජීවනය” ලැබෙනවා කියලා. ඒ කියන්නේ මොකක්ද? දහස් අවුරුදු පාලනයේදී නැවත නැඟිටින සමහරුන්ට සිද්ධ වෙනවා සත්‍යය මුල ඉඳන්ම ඉගෙනගන්න. තවත් අය මැරෙන්න කලින් සත්‍යය ගැන ටිකක් දැනගෙන හිටියා. හැබැයි එයාලටත් සිද්ධ වෙනවා දිගටම ඒ ගැන ඉගෙනගන්න. ඒ දෙගොල්ලොම යෙහෝවා දෙවියන්ට සහ යේසුස්ට කීකරු වෙද්දී එයාලට අවස්ථාව ලැබෙනවා සදහටම මේ පොළොවේ ජීවත් වෙන්න. (යොහ. 17:3) ඒක “වඩාත් උතුම් නැවත නැඟිටීමක්” කියලා කියන්න පුළුවන්. (හෙබ්‍රෙ. 11:35) මොකද අතීතයේදී නැවත නැඟිටුණ අය පාපය උරුම කරගෙන තිබ්බ නිසා ආයෙත් මැරුණා. හැබැයි මේ නැවත නැඟිටීමේදී මැරෙන්නේ නැතුව සදහටම මේ පොළොවේ ජීවත් වෙන්න එයාලට අවස්ථාව ලැබෙනවා.

8. නැවත නැඟිටින සමහරුන්ව “නින්දාවට පත් වන අතර ඔවුන්ව සදාකාලයෙන් සදාකාලයටම පිළිකුල් කරනු ලබනවා” කියන්නේ ඇයි?

8 නැවත නැඟිටින හැමෝම යෙහෝවා දෙවියන්ගෙන් ඉගෙනගන්න ආස වෙන්නේ නැහැ. ඒ වගේ අයට මොකද වෙන්නේ? දානියෙල් කියනවා එයාලව ‘නින්දාවට පත් වන අතර සදාකාලයෙන් සදාකාලයටම පිළිකුල් කරනවා’ කියලා. මොකද එයාලා ඒ කාලේ උගන්වන කිසිම දෙයක් පිළිගන්න කැමති නැහැ. ඒ නිසා එයාලගේ නම් ජීවන ලියවිල්ලේ ලියන්නෙත් නැහැ. එහෙමනම් දානියෙල් 12:2 කතා කරන්නේ නැවත නැඟිට්ටාට පස්සේ මිනිස්සු කරන දේවල්වලට අනුව එයාලට ලැබෙන අවසන් විනිශ්චය ගැන කියලා පැහැදිලියි. * (එළි. 20:12) සමහරුන්ට සදාකාල ජීවනය ලැබෙනවා. තවත් අය විනාශ වෙනවා.

‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න හුඟදෙනෙක්ට උදව්’

9-10. මහත් පීඩාවෙන් පස්සේ තව මොනවාද වෙන්නේ? “දීප්තිමත් අහස මෙන් බැබළෙන” අය කවුද?

9 දානියෙල් 12:3 කියවන්න. “විපත්ති සහිත කාලයෙන්” ඒ කියන්නේ මහත් පීඩාවෙන් පස්සේ වෙන තව දේවල් මොනවාද? එක දෙයක් ගැන දානියෙල් 12:3 සඳහන් වෙලා තියෙනවා.

10 ඒ පදේ කතා කරන “දීප්තිමත් අහස මෙන් බැබළෙන” අය කවුද? ඒක තේරුම්ගන්න මතෙව් 13:43 යේසුස් කියපු දෙයක් අපිට උදව් වෙනවා. ඔහු කිව්වා “ඒ කාලයේදී ධර්මිෂ්ඨයන් තම පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙයි” කියලා. ඒ පරිච්ඡේදයේ අවට පද බලද්දී අපිට පැහැදිලි වෙනවා යේසුස් එතන කතා කරන්නේ “රාජ්‍යයේ පුත්‍රයෝ” ඒ කියන්නේ යේසුස් එක්ක දේවරාජ්‍යයේ පාලනයට හවුල් වෙන අභිෂේක ලත් අය ගැන කියලා. (මතෙ. 13:38) එහෙමනම් දානියෙල් 12:3 කතා කරන්නෙත් අභිෂේක ලත් අය ගැන සහ දහස් අවුරුදු පාලන කාලේදී එයාලා කරන වැඩ කොටස ගැන කියලා පැහැදිලියි.

අභිෂේක ලත් අය යේසුස්ගේ නායකත්වය යටතේ දහස් අවුරුදු පාලනයේදී සිද්ධ වෙන ඉගැන්වීමේ වැඩසටහන අධීක්ෂණය කරනවා (11 ඡේදය බලන්න)

11-12. දහස් අවුරුදු පාලන කාලේදී 1,44,000දෙනා කරන්නේ මොනවාද?

11 ඒ කාලේදී අභිෂේක ලත් අය “ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරනවා.” ඒ කොහොමද? එයාලා යේසුස්ගේ නායකත්වය යටතේ ඒ කාලේ සිද්ධ වෙන දැවැන්ත අධ්‍යාපනික වැඩසටහන අධීක්ෂණය කරනවා. අභිෂේක ලත් අය රජවරුන් විදිහට විතරක් නෙවෙයි පූජකයන් විදිහටත් සේවේ කරන්න යනවා. (එළි. 1:6; 5:10; 20:6) ඒ නිසා එයාලට පුළුවන් වෙනවා “ජාතීන්ට සුවයක් ගේන්න.” ඒ කියන්නේ මිනිස්සුන්ට ටිකෙන් ටික පරිපූර්ණත්වයට ළඟා වෙන්න උදව් කරන්න. (එළි. 22:1, 2; එස. 47:12) එහෙම කරද්දී එයාලගේ හිතට කොච්චර සතුටක් දැනෙයිද!

12 ඒත් එයාලා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න උදව් කරන “බොහෝදෙනා” කවුද? ඒකට නැවත නැඟිටලා එන අය, හර්–මගෙදොන් යුද්ධයෙන් බේරිලා එන අය සහ පාරාදීසයේ ඉපදෙන ළමයි ඇතුළත්. දහස් අවුරුදු පාලනය අවසානයේදී මේ පොළොවේ ඉන්න හැමෝම පරිපූර්ණත්වයට ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් ඒ අයගේ නම් ජීවන ලියවිල්ලේ නොමැකෙන විදිහට ලියවෙන්නේ කවදාද?

අවසන් පරීක්ෂණය!

13-14. සදාකාල ජීවනය ලබන්න කලින් පොළොවේ ඉන්න හැම පරිපූර්ණ කෙනෙක්ම ඔප්පු කරන්න ඕනෙ මොකක්ද?

13 කෙනෙක් පරිපූර්ණ වුණා කියලා එයාට සදාකාල ජීවනය ලැබෙන්නේ නැහැ. ආදම් සහ ඒව ගැන හිතන්න. එයාලත් පරිපූර්ණ අය. හැබැයි එයාලටත් සිද්ධ වුණා දෙවියන්ට කීකරු වෙනවාද නැද්ද කියලා ඔප්පු කරන්න. ඒත් එයාලා දෙවියන්ට අකීකරු වෙලා සදාකාල ජීවිතය නැති කරගත්තා.—රෝම 5:12.

14 අවුරුදු 1,000 අවසානයේදී මේ පොළොවේ තත්වය කොහොම තියෙයිද? අපි කලිනුත් බලපු විදිහට ඒ වෙද්දී පොළොවේ ඉන්න හැමෝම පරිපූර්ණ අය වෙලා ඉඳියි. එදාට එයාලා දිගටම යෙහෝවා දෙවියන්ට කීකරු වෙලා ඔහුගේ පාලනයට සහයෝගය දෙයිද? එහෙම නැත්නම් ආදම් සහ ඒව වගේ දෙවියන්ට අකීකරු වෙයිද? එයාලා ඒ දෙකෙන් මොන තීරණේ ගනියිද කියලා හැමෝටම දැනගන්න පුළුවන් මොන අවස්ථාවේදීද?

15-16. (අ) දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවාද නැද්ද කියලා ඔප්පු කරලා පෙන්නන්න මිනිස්සුන්ට ලැබෙන අවස්ථාව මොකක්ද? (ආ) අවසාන පරීක්ෂණයෙන් පස්සේ මොනවා වෙයිද?

15 සාතන්ව අවුරුදු දාහකට හිර කරනවා. ඒ කාලේ ඇතුළත සාතන්ට බැහැ කිසිම කෙනෙක්ව නොමඟ යවන්න. හැබැයි අවුරුදු දාහ ඉවර වුණාම සාතන්ව ආයෙත් නිදහස් කරනවා. මේ පොළොවේ ඉන්න පරිපූර්ණ අයව නොමඟ යවන්න ඊටපස්සෙත් සාතන් උත්සාහ කරනවා. එදාට මිනිස්සු හැමෝටම අවස්ථාව ලැබෙනවා දෙවියන්ගේ පාලනය තෝරගෙන ඔහුගේ නමට ගෞරව කරනවාද නැද්ද කියලා තීරණය කරන්න. (එළි. 20:7-10) එයාලා ගන්න ඒ තීරණේ ජීවන ලියවිල්ලෙන් එයාලගේ නම් නොමැකෙන විදිහට ලියනවාද නැද්ද කියන එකට කෙළින්ම බලපානවා.

16 බයිබලේ කියනවා සමහරු ආදම් සහ ඒව වගේ යෙහෝවා දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කරනවා කියලා. එයාලට මොනවා වෙයිද? බලන්න එළිදරව් 20:15 කියන දේ. “ජීවන ලියවිල්ලෙහි සඳහන් වී නැති සියලුදෙනාවද ගිනිවිලට හෙළන ලදි.” ඔව්, එදාට කැරලිකරුවන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. හැබැයි දෙවියන්ගේ පාලනය පිළිගෙන ඒ පරීක්ෂණයෙන් සමත් වෙන අයගේ නම් ජීවන ලියවිල්ලේ නොමැකෙන විදිහට ලියනවා.

“අවසාන කාලය” අතරතුරේදී

17. දානියෙල් කිව්වේ මේ අන්තිම කාලේ මොනවා වෙනවා කියලාද? (දානියෙල් 12:4, 8-10)

17 අනාගතයේදී සිද්ධ වෙන ඒ දේවල් අපේ ඇස් දෙකෙන්ම බලාගන්න අපි ඉන්නේ ගොඩක් ආසාවෙන්. අපි ජීවත් වෙන මේ “අවසාන කාලය” ගැන දේවදූතයෙක් දානියෙල්ට හරිම වැදගත් තොරතුරු කීපයක් දුන්නා. (දානියෙල් 12:4, 8-10 කියවන්න; 2 තිමෝ. 3:1-5) දේවදූතයා එයාට කිව්වා අවසාන කාලේදී ‘නිවැරදි දැනුම නොඅඩුව ලැබෙනවා’ කියලා. ඒ වචන අද ඉටු වෙනවා. දෙවියන්ගේ සෙනඟ දානියෙල්ගේ අනාවැකිය මේ වෙද්දී හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ වගේම අවසාන කාලේදී සිද්ධ වෙන තව දෙයක් ගැන දේවදූතයා මෙහෙම කිව්වා. “දුෂ්ටයෝ දිගටම දුෂ්ට ලෙස ක්‍රියා කරන්නෝය. ඔවුන්ගෙන් කිසිවෙක් මේ දේවල් තේරුම් නොගන්නෝය.”

18. දුෂ්ටයන්ට ළඟදීම සිද්ධ වෙන්නේ මොකක්ද?

18 අද දුෂ්ටකම ලෝකේ පුරා අස්සක් මුල්ලක් නෑර රජයනවා. දුෂ්ටයන්ට විරුද්ධව පියවර ගන්න කිසිම කෙනෙක් නැහැ. (මලා. 3:14, 15) හැබැයි ළඟදීම යේසුස් බැටළුවන්ගෙන් එළුවන්ව වෙන් කරනවා. (මතෙ. 25:31-33) එළුවන් වගේ ඉන්න දුෂ්ට අයට මහත් පීඩාවෙන් බේරෙන්නවත් පාරාදීස පොළොවක නැවත නැඟිටින්නවත් කිසිම ඉඩක් නැහැ. මලාකි 3:16 කියන විදිහට එයාලගේ නම් ජීවන “ලියවිල්ලේ” පිටු අතර හොයාගන්න ලැබෙන්නේ නැහැ.

19. දැන් අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි? (මලාකි 3:16-18)

19 අපි දුෂ්ටයන් නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න දැන් තමයි කාලය! (මලාකි 3:16-18 කියවන්න.) එහෙම කරන අයව යෙහෝවා දෙවියන් මේ කාලේ එකතු කරගන්නවා. ඔහු එයාලව සලකන්නේ “අගනා වස්තුවක්” විදිහට. ඔයාටත් ඕනෙ ඒ අය අතරේ ඉන්න නේද?

දානියෙල් සහ අපි ආදරේ කරන අය ඇතුළු හුඟදෙනෙක් තමන්ගේ කොටස ලබාගන්න “ආපහු නැඟිටිද්දී” අපිට කොහොම දැනෙයිද! (20 ඡේදය බලන්න)

20. යෙහෝවා දෙවියන් දානියෙල්ට දුන්න පොරොන්දුව මොකක්ද? ඒක ඉටු වෙන කල් ඔයා බලන් ඉන්නේ ඇයි?

20 අපි ජීවත් වෙන්නේ පුදුමාකාර අනාවැකි ඉටු වෙන කාලෙක. හැබැයි ඊටත් වඩා පුදුම හිතෙන අනාවැකි ඉස්සරහට ඉටු වෙනවා. ළඟදීම දුෂ්ටකම මේ පොළොවෙන් නැත්තටම නැති වෙලා යන විදිහ ඔයාගේ ඇස් දෙකෙන්ම දැකගන්න පුළුවන්. ඊටපස්සේ “ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටිනු ඇත” කියලා යෙහෝවා දෙවියන් දානියෙල්ට වුණ පොරොන්දුව ඉටු වෙන විදිහත් අපිට දකින්න පුළුවන්. (දානි. 12:13) දානියෙල් වගේම ඔයා ආදරේ කරන අයත් “ආපහු නැඟිටිනවා” දකින්න ඔයා ඉන්නේ ගොඩක් ආසාවෙන්ද? එහෙමනම් දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න. එහෙම කළොත් ජීවන ලියවිල්ලේ පිටු අතරේ ඔයාගේ නමත් හැමදාම රැඳිලා තියෙයි.

ගීතිකාව 80 “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”

^ දානියෙල් 12:2, 3 සඳහන් වෙන දැවැන්ත අධ්‍යාපනික වැඩසටහන ගැන අපිට තිබුණ අවබෝධය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? ඒ අනාවැකිය ඉටු වෙන්නේ කවදාද? ඒකට හවුල් වෙන්නේ කවුද? ඒ වගේම දහස් අවුරුදු පාලනයෙන් පස්සේ තියෙන අවසාන පරීක්ෂණයට මුහුණ දෙන්න ඒක අපිව සූදානම් කරන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ අවසාන කාලේදී විශ්වාසවන්තව සේවේ කරපු අයව සමහරවිට මුලින්ම නැවත නැඟිට්ටවයි. එතනින් පටන් අරන් පරම්පරාවෙන් පරම්පරාවට ආපස්සට යන විදිහට මිනිස්සුන්ව නැවත නැඟිට්ටවයි. එහෙම වුණොත් කෙනෙක් නැඟිටිද්දී එයා අඳුරන අය ඒ වෙද්දීත් පොළොවේ ඉඳියි. නැවත නැඟිටීම ඒ විදිහට සිද්ධ වෙයි කියලා කියන්න පදනමක් තියෙනවාද? බයිබලේ කියනවා ස්වර්ගයේ ජීවත් වෙන අයව නැවත නැඟිට්ටවන්නේ “නිසි අනුපිළිවෙළකට” කියලා. එහෙමනම් පොළොවේ සිද්ධ වෙන නැවත නැඟිටීමත් පිළිවෙළකට වෙයි කියලා හිතන්න පුළුවන්.—1 කොරි. 14:33; 15:23.

^ අපිට කලින් තිබුණ අවබෝධය ගැන ‘දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!’ කියන පොතේ 17වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙලා තියෙනවා.

^ හැබැයි අපි කලින් ලිපියේ බැලුවා වගේ ක්‍රියා 24:15 සහ යොහන් 5:29 අදහස් කරන්නේ නැවත නැඟිට්ට අය මැරෙන්න කලින් කරපු දේවල් ගැනයි.