Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 2

‘අලුත් විදිහට හිතන්න පුරුදු වෙන්න’

‘අලුත් විදිහට හිතන්න පුරුදු වෙන්න’

“ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.”—රෝම 12:2.

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

මේ ලිපියෙන් a

1-2. බව්තීස්මයෙන් පස්සෙත් අපි දිගටම කරන්න ඕනෙ මොකක්ද? පැහැදිලි කරන්න.

 සාමාන්‍යයෙන් ඔයා ඔයාගේ ගෙදර සුද්ද කරන්නේ කොච්චර කාලෙකට සැරයක්ද? මුලින්ම ගෙට පදිංචියට ආපු දවසේ නම් අස්සක් මුල්ලක් නෑර ඔයා මුළු ගේම හොඳට සුද්ද කරන්න ඇති. හැබැයි එදා විතරක් ඒක කරලා ඇතිද? නැහැ නේද? මොකද එහෙම වුණොත් වැඩි දවසක් යන්න කලින් ඒක කුණු ගොඩක් වෙයි. ඉතින් හැමදාම ගේ ලස්සනට තියාගන්න නම් ඔයා හැමදාම ඒක අස් කරන්න ඕනේ.

2 අපේ සිතුවිලි, අපේ පෞද්ගලිකත්වය හරියට ගෙයක් වගේ. ඒක පිරිසිදුව තියාගන්න අපි දිගටම මහන්සි වෙන්න ඕනේ. ඇත්ත, ඔයා බව්තීස්ම වෙද්දී ඔයාගේ ‘මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම අයින් වෙලා ඔයාවම පවිත්‍ර කරගන්න’ ගොඩක් වෙනස්කම් කරන්න ඇති. (2 කොරි. 7:1) හැබැයි බව්තීස්මයෙන් පස්සේ? ඔව්, ඊටපස්සෙත් “ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි” කියලා පාවුල් කියපු දේ පිළිපදින්න ඕනේ. (එෆී. 4:23) මොකද එහෙම කළේ නැත්නම් මේ කිලුටු ලෝකේ තියෙන කුණු, දූවිලි ඉක්මනින් අපේ සිතුවිලිවල බැඳෙන්න පුළුවන්. ඉතින් එහෙම නොවී දිගටම යෙහෝවාව සතුටු කරන කෙනෙක් වෙන්න නම් අපි අපේ සිතුවිලි, පෞද්ගලිකත්වය, ආශාවන් ඔහු බලාපොරොත්තු වෙන විදිහටම තියෙනවාද කියලා නිතරම සෝදිසි කරන්න ඕනේ.

දිගටම “අලුත් ආකාරයකින් හිතන්න පුරුදු වෙන්න”

3. “අලුත් ආකාරයකින් හිතනවා” කියන්නේ මොකක්ද? (රෝම 12:2)

3 අලුත් විදිහට හිතන්න පුරුදු වෙනවා එහෙම නැත්නම් අපි හිතන විදිහ වෙනස් කරගන්නවා කියන්නේ මොකක්ද? (රෝම 12:2 කියවන්න.) “අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න” කියන යෙදුම ග්‍රීක භාෂාවෙන් “මනස අලුත්වැඩියා කරගන්න” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ නිකම්ම හොඳ දේවල් ටිකක් කරලා ජීවිතේ පිටින් ඔප දාලා විතරක් මදි. ඒ වෙනුවට අපි ඇතුළාන්තයෙන්ම මොන වගේ අයද කියලා සෝදිසි කරලා බලන්න ඕනේ. ඊටපස්සේ දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවිතේ වෙනස්කම් කරගන්නත් උත්සාහ කරන්න ඕනේ. ඒක එක පාරක් නෙවෙයි, අපි දිගටම කරන්න ඕන දෙයක්.

අධ්‍යාපනය ගැන, රස්සාව ගැන ඔයා ගන්න තීරණවලින් ඔයා දේවරාජ්‍යයට මුල් තැන දෙන කෙනෙක් කියලා පේනවාද? (4-5 ඡේද බලන්න) c

4. මේ සමාජයේ අදහස්වලින් අපේ සිතුවිලි ආරක්ෂා කරගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

4 පරිපූර්ණත්වයට ආවට පස්සේ නම් අපි කරන කියන හැම දේකින්ම යෙහෝවා දෙවියන්ව 100%ක්ම සතුටු කරන්න අපිට පුළුවන්. හැබැයි ඒ වෙන කල් අපිට ලොකු සටනක් කරන්න වෙනවා. මොකද අපි නිකන් හිටියොත් ලේසියෙන්ම මේ ලෝකේ බලපෑමට අහු වෙන්න පුළුවන්. රෝම 12:2 පාවුල් පවා ඒ ගැන කතා කළා. එයා කිව්වා මුලින්ම අපි අලුත් විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනෙ කියලා. එතකොට තමයි දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම් අරන් ඔහුව සතුටු කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ නිසා අපිව අඹන්න ඉඩ දීලා තියෙන්නේ මේ ලෝකෙටද නැත්නම් දෙවියන්ටද කියලා අපි හොඳින් සෝදිසි කරලා බලන්න ඕනේ. ඒක අපි ගන්න තීරණවලින්, අපේ ඉලක්කවලින් පැහැදිලිව අඳුරගන්න පුළුවන්.

5. දෙවිගේ දවස ගැන අපි හිතන විදිහ දැනගන්න පුළුවන් කොහොමද? (පින්තූර බලන්න.)

5 මෙහෙම හිතන්න. යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි “ඔහුගේ දවස පැමිණෙන කාලය බලා සිටිමින් එය මනසෙහි ප්‍රමුඛව තබාගන්නවා” දකින්න. (2 පේතෘ. 3:12) ඒ නිසා මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘විනාශය ළඟයි කියන එක මං තේරුම් අරන් තියෙනවා කියලා මං ජීවත් වෙන විදිහෙන් පේනවාද? අධ්‍යාපනය ගැන, රස්සාව ගැන මං ගන්න තීරණවලින් මගේ ජීවිතේ වැදගත්ම දේ යෙහෝවාට සේවේ කරන එක කියලා පේනවාද? මගේ පවුලේ අයව බලාගන්න යෙහෝවා උදව් කරනවා කියලා මට විශ්වාසද නැත්නම් මං ඒ ගැන ඕනෑවට වඩා කරදර වෙනවාද?’ අපි දෙවියන්ගේ කැමැත්තට එකඟව ජීවත් වෙන්න උපරිමය කරද්දී ඔහු ඒ ගැන කොච්චර සතුටු වෙයිද!—මතෙ. 6:25-27, 33; ෆිලි. 4:12, 13.

6. අපි දිගටම කරන්න ඕනෙ මොකක්ද?

6 අපි හිතන විදිහ සෝදිසි කරලා බලලා අවශ්‍ය වෙනස්කම් කරගන්න එක අපි දිගටම කරන්න ඕනෙ දෙයක්. කොරින්ති සභාවේ හිටපු අයට පාවුල් මේ වගේ දෙයක් කිව්වා. “ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.” (2 කොරි. 13:5) “සත්‍ය ඉගැන්වීම්වලට ඇලිලා ඉන්නවා” කියන්නේ වෙලාවක් හම්බ වුණාම විතරක් රැස්වීම්, සේවේ යන එකට නෙවෙයි. ඒකට අපේ හැම සිතුවිල්ලක්ම දෙවියන් කැමති විදිහට වෙනස් කරගන්න ඕනේ. එහෙම කරන්න නම් වරද්දන්නේ නැතුව බයිබලේ කියවන එක, දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙන එක වැදගත්. ඒ විතරක් මදි දෙවියන්ගේ කැමැත්තට එකඟව අපේ ජීවිතේ වෙනස්කම් කරගන්නත් ඕනේ.—1 කොරි. 2:14-16.

“අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න”

7. එෆීස 4:31, 32 කියන විදිහට අපි කරන්න ඕන තව දෙයක් මොකක්ද? ඒක ලේසි නැත්තේ ඇයි?

7 එෆීස 4:31, 32 කියවන්න. හිතන විදිහ වෙනස් කරගන්නවාට අමතරව අපි “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නත්” ඕනේ. (එෆී. 4:24) ඒකට දැඩි වෛරය, උදහස, කෝපය වගේ නරක ගති උගුල්ලලා දාන්න අපිට ලොකු වෙහෙසක් දරන්න වෙනවා. මොකද ඒවා සමහරවිට අපේ පෞද්ගලිකත්වයේ ගැඹුරටම මුල් ඇදලා ඇති. උදාහරණෙකට බයිබලේ කියනවා “හදිසි කෝපයෙන්” වැඩ කරන සමහරු ඉන්නවා කියලා. (හිතෝ. 29:22) එයාලට ඉවසීම කියලා දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ මුල් ඇදලා තියෙන ඒ නරක ගති අයින් කරන්න බව්තීස්මයෙන් පස්සෙත් ගොඩක් මහන්සි වෙන්න වෙනවා.

8-9. පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දාන්න දිගටම මහන්සි වෙන්න ඕනෙ කියලා ස්ටීවන්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

8 ස්ටීවන් කියන්නේ කලින් හොස්ස ළඟින් මැස්සා යන්න බැරි කෙනෙක්. එයා මෙහෙම කියනවා. “බව්තීස්ම වුණාට පස්සෙත් කේන්තිය පාලනය කරගන්න මට සෑහෙන්න අමාරු වුණා. දවසක් සේවේ යද්දී මං දැක්කා කෙනෙක් මගේ කාර් එකේ රේඩියෝ එක ගලවගෙන දුවනවා. මං එයාගේ පස්සෙන් පැන්නුවා. අන්තිමට එයා රේඩියෝ එක දාලා දිව්වා. මං ඔය ගැන මාත් එක්ක සේවේ ගිය අයට කියද්දී එක වැඩිමහල්ලෙක් මගෙන් ඇහුවා ‘ස්ටීවන්, හොරාව අහු වුණා නං ඔයා එයාට මොකද කරන්නේ’ කියලා. එයා අහපු ඒ ප්‍රශ්නෙන් පස්සේ තමයි මට තේරුණේ මං තව කොච්චර නං දේවල් හදාගන්න ඕනෙද කියලා.” b

9 සමහර නරක ගති දැනටමත් හදාගෙනයි තියෙන්නේ කියලා අපි හිතුවත් හිතන්නෙවත් නැති වෙලාවක ඒවා ආයෙත් මතු වෙන්න පුළුවන් කියලා ස්ටීවන්ගේ අද්දැකීමෙන් පේනවා. ඔයාටත් එහෙම වුණොත් අධෛර්යය වෙන්නවත් ‘මට නං මේකෙන් කවදාවත් ගොඩ ඒමක් නෑ’ කියලා හිතන්නවත් එපා. මොකද පාවුල් පවා කිව්වා “මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි” කියලා. (රෝම 7:21-23) ගෙයක් කොච්චර අස්පස් කරලා තිබ්බත් ආයෙත් කුණු, දූවිලි එනවා වගේ අපි පව්කාරයෝ නිසා අපේ ජීවිතවලත් කාලෙන් කාලෙට නරක ගති ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නිසයි දිගටම ශුද්ධව ඉන්න නම් දිගටම අපේ සිතුවිලි සුද්ද පවිත්‍ර කරන එක වැදගත්. ඒත් කොහොමද ඒක කරන්නේ?

10. වැරදි සිතුවිලිවලින් ගොඩ එන්නේ කොහොමද? (1 යොහන් 5:14, 15)

10 ඔයා අයින් කරගන්න මහන්සි වෙන නරක සිතුවිල්ල, ආශාව ගැන යෙහෝවා දෙවියන්ට කියන්න. ඒ වගේම ඔහු ඔයාගේ යාච්ඤා අහලා ඔයාට උදව් කරනවා කියලා විශ්වාසයෙන් ඉන්න. (1 යොහන් 5:14, 15 කියවන්න.) ඇත්ත, යෙහෝවා ආශ්චර්යවත් විදිහට ඒක ඔයාගෙන් අයින් කරලා දාන එකක් නැහැ. ඒ වෙනුවට ඒකත් එක්ක පොරබදින්න අවශ්‍ය ශක්තිය ඔහු ඔයාට දෙනවා. (1 පේතෘ. 5:10) හැබැයි ඔයාගේ පැත්තෙන් කරන්න ඕනෙ දේකුත් තියෙනවා. ඔයා කරපු යාච්ඤාවට එකඟව වැඩ කරන්න. ඇත්තටම ඔයාට ඕනෙ වැරදි දේවල්වලින් අයින් වෙන්න නම් යට ගිය පරණ පෞද්ගලිකත්වයට ආයෙත් පණ දෙන්න එපා. ඒකට නරක සිතුවිලි පෝෂණය කරන චිත්‍රපටි සහ රූපවාහිනී වැඩසටහන් බලන එක, පොත් පත් කියවන එක වගේ දේවල්වලින් පරෙස්සම් වෙන්න වෙයි. ඒ වගේම වැරදි ආශාවක් ආවාම ඒකට සිතුවිලි සයුරේ පීනපීන ඉන්න ඉඩ දෙන්නේ නැතුව ඉක්මනටම ඒක හිතෙන් එළවලා දාන්න.—ෆිලි. 4:8; කොලො. 3:2.

11. දිගටම අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

11 පරණ පෞද්ගලිකත්වය අයින් කරලා දානවාට අමතරව අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නත් ඔයාට දිගටම මහන්සි වෙන්න වෙයි. කොහොමද ඒක කරන්නේ? ඒකට ඔයා යෙහෝවා දෙවියන්ගේ ගුණාංග ගැන ඉගෙනගද්දී ඔහුව ආදර්ශයට ගන්න ඉලක්කයක් තියාගන්න. (එෆී. 5:1, 2) උදාහරණෙකට හිතන්න යෙහෝවා සමාව දෙන විදිහ ගැන තියෙන වාර්තාවක් ඔයා බයිබලෙන් කියවනවා කියලා. ඔයාට පුළුවන් ‘මාත් ඒ වගේම අනිත් අයට සමාව දෙනවාද’ කියලා හිතලා බලන්න. එහෙම නැත්නම් යෙහෝවා දුප්පත්, අසරණ අයට අනුකම්පාව පෙන්නපු විදිහ ගැන තියෙන වාර්තාවක් ඔයා කියවනවා. එතකොට මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘සභාවේ කෙනෙක් අගහිඟකම් මැද ඉන්නවා දැක්කොත් මටත් ඒ වගේම අනුකම්පාවක් දැනෙනවාද, එයාලා වෙනුවෙන් දෙයක් කරන්න මං පෙලඹෙනවාද?’ හැබැයි අලුත් පෞද්ගලිකත්වය පැළඳගද්දී මේකත් මතක තියාගන්න. ඒක එක රැයකින් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ඔයාට බැහැ. ඒ නිසා ඔයා ගැනම ඉවසන්න.

12. ජීවිත වෙනස් කරන්න බයිබලේට තියෙන බලය ස්ටීවන් අද්දැක්කේ කොහොමද?

12 කලින් කියපු ස්ටීවන්ට කාලයත් එක්කම අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න පුළුවන් වුණා. එයා මෙහෙම කියනවා. “මං බව්තීස්ම වුණ දවසේ ඉඳලා අද වෙන කල් රතු කට්ට පනින විදිහේ දේවල් මට ඕන තරම් වෙලා තියෙනවා. හැබැයි ඒ වෙලාවට එක්කෝ මං මාව කේන්ති ගස්සන අයව මඟහැරලා යනවා. එහෙම නැත්නම් ඒ තත්වේ දුර දිග යන්නේ නැති විදිහේ වෙන මොකක් හරි දෙයක් කරනවා. මං ඒ වගේ වෙලාවලදී කේන්ති ගන්නේ නැතුව හිටපු එක ගැන මගේ නෝනායි, අනිත් අයයි මාව ගොඩක් අගය කරලා තියෙනවා. ඇත්තටම මේ වෙනස මටවත් හිතාගන්න බෑ. හැබැයි ඒක මගේ හපන්කමක් නෙවෙයි. මං හොඳ මනුස්සයෙක් වුණේ ජීවිත වෙනස් කරන්න බයිබලේට තියෙන බලය නිසයි.”

දිගටම පොරබදින්න

13. හරි දේ කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (ගලාති 5:16)

13 ගලාති 5:16 කියවන්න. හරි දේ කරන්න අපි කරන සටනේදී අපි තනි වෙලා නැහැ. ඒක ජය ගන්න දෙවියන් ඔහුගේ බලය අපිට දෙනවා. බයිබලේ කියවද්දී අපි කරන්නේ අපි තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන එකයි. රැස්වීම් යද්දීත් අපිට දෙවිගේ බලය ලැබෙනවා. ඒ වගේම සහෝදරයන් එක්ක කාලේ ගත කරද්දී අපි ගොඩක් දිරිගැන්වෙනවා. (හෙබ්‍රෙ. 10:24, 25) මොකද එයාලත් අපි වගේම හරි දේ කරන්න සටන් කරන අය. (හෙබ්‍රෙ. 13:7) ඒ විතරක් නෙවෙයි අපිට පුළුවන් යෙහෝවාට යාච්ඤා කරලා අපේ දුර්වලකම් හදාගන්න ඔහුගෙන් බැගෑපත් වෙලා උදව් ඉල්ලන්න. එතකොට මේ සටන දිනන්න ඔහු අනිවාර්යයෙන්ම ශක්තිය දෙයි. හැබැයි ඒ දේවල් කළා කියලා එකපාරටම හිතේ ඇති වෙන නරක සිතුවිලි, ආශාවන් වාෂ්ප වෙලා යන්නේ නැහැ. හැබැයි වැරදි සිතුවිලි ආවත් ගලාති 5:16 කියන විදිහට ඒ ‘පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කරන්න පෙලඹෙන්නේ නැතුව’ ඉන්න අපිට පුළුවන්.

14. දිගටම හොඳ සිතුවිලි, ආශාවන් වර්ධනය කරගන්න එක වැදගත් ඇයි?

14 බයිබලේ කියවන එක, යාච්ඤා කරන එක, රැස්වීම් යන එක වගේ දේවල් ඔයා දැනටමත් කරනවා ඇති. හැබැයි හොඳ සිතුවිලි ඇති කරගන්න නම් ඒ දේවල් එකක්වත් අතපසු නොකර දිගටම කරන්න ඕනේ. ඇයි ඒක වැදගත්? මොකද අපිට ඉන්න එක හතුරෙක් මොහොතකටවත් නිදාගන්නේ නැහැ. ඒ හතුරා තමයි වැරදි දේ කරන්න අපිට එන පෙලඹීම. සමහරවිට බව්තීස්මෙන් පස්සේ වුණත් සූදුව, අධික විදිහට මත්පැන් බොන එක, කාමුක දර්ශන බලන එක වගේ දේවල්වලට අපේ හිත ඇදිලා යන්න පුළුවන්. (එෆී. 5:3, 4) බලන්න යෞවන සහෝදරයෙක් කියන දේ. “මට තිබ්බ ලොකුම අභියෝගයක් තමයි පිරිමි අයට මගේ හිතේ කැමැත්තක් ඇති වෙන එක. කාලයත් එක්කම ඒක ඇරිලා යයි කියලා මුලදී මං හිතුවා. හැබැයි ඒ වගේ හැඟීම් තාමත් මගේ හිතට වධ දෙනවා.” වැරදි ආශාවන් හිතනවාටත් වඩා ප්‍රබලයි කියලා ඔයාට දැනෙනවා නම් මොනවාද කරන්න පුළුවන්?

වැරදි පෙලඹීමක් එද්දී හැම දෙයක්ම අත්හැරලා දාන්න එපා. මොකද හුඟදෙනෙක් ඒවා එක්ක සටන් කරලා ජය අරන් තියෙනවා (15-16 ඡේද බලන්න)

15. වැරදි ආශාවන් ‘හැම කෙනෙක්ටම’ එන්න පුළුවන් කියලා දැනන් ඉන්න එක සහනයක් වෙන්නේ කොහොමද? (පින්තූර බලන්න.)

15 සමහරවිට අපිට තියෙන වැරදි ආශාවන් හරිම සූක්ෂ්ම විදිහට අපිටත් හොරෙන් අපිව වරදකට වට්ටන්න හදනවා. හැබැයි බයිබලේ කියනවා “වැරදි දේවල් කිරීමට යම් පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට අන් සියලු මිනිසුන් තුළත් එවැනි පෙලඹීම් ඇති වන බව මතක තබාගන්න” කියලා. (1 කොරි. 10:13අ) තවත් පරිවර්තනයක ඒ අදහස සඳහන් වුණේ මෙහෙමයි. “කවදාවත් කිසිම කෙනෙක්ට ඇවිල්ලා නැති, අසාමාන්‍ය වැරදි පෙලඹීම් කාටවත් එන්නේ නෑ.” පාවුල් ඒක කිව්වේ කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන්ට. එයාලාගෙන් සමහරු කලින් අනාචාරයේ යෙදුණා. සමලිංගික දේවල් කළා. ඒ වගේම බේබදුකමටත් වැටිලා හිටියා. (1 කොරි. 6:9-11) ඔයා හිතනවාද එයාලා බව්තීස්ම වුණාට පස්සේ කවදාවත්ම එයාලාගේ හිතට ඒ වගේ වැරදි සිතුවිලි එන්න නැතුව ඇති කියලා? එහෙම හිතන්න බෑ නේද? එයාලා අභිෂේක ලත් වුණත් එයාලත් පාපය උරුම කරගත්ත අය. ඒ නිසා යට ගිය වැරදි ආශාවන් එක්ක එයාලට කාලෙන් කාලෙට ලොකු පොරබැදීමක් කරන්න වෙන්න ඇති. ඒක දැනන් ඉන්න එක අපිටත් සහනයක්. මොකද අද ඔයා කරන පොරබැදීමම දෙවියන්ගේ සේවකයන් මීට කලින් කරලා ඒකෙන් ජය අරගෙන තියෙනවා. ඒ නිසා “ස්ථිර විශ්වාසයකින් ඔහුට විරුද්ධව සිටින්න. ලොව පුරා සිටින ඔබේ සහෝදරයන් සියලුදෙනාම ඒ හා සමාන දුක් පීඩාවලට මුහුණ දෙන බවත් සිහියේ තබාගනිමින් කටයුතු කරන්න.”—1 පේතෘ. 5:9.

16. අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන උගුලෙන්ද? ඒ ඇයි?

16 ‘මගේ දුර්වලකමත් එක්ක මං කරන සටන කාටවත් තේරෙන්නෙත් නෑ. කවුරුත් ඒක තේරුම්ගන්නෙත් නෑ’ කියලා කවදාවත් හිතන්න එපා. මොකද ඒක උගුලක්. ඒ උගුලට වැටුණොත් ඔයා හැම දේම අත්හැරලා දායි. ඊටපස්සේ ඒ ආශාව ඔයාව පාලනය කරන්න පටන්ගනියි. ඒ නිසා බයිබලේ කියන මේ දේ මතක තියාගන්න. “දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි. එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.” (1 කොරි. 10:13ආ) ඔයාගේ වැරදි ආශාව කොච්චර ප්‍රබලයි කියලා හිතුණත් ඒකත් එක්ක හරි හරියට හැප්පිලා ඒක පරද්දන්න ඔයාට පුළුවන්. යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාට ඒකට උදව් කරනවා.

17. වැරදි ආශාවන් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න අපිට බැරි වුණත් ඒවා පාලනය කරගන්න අපිට පුළුවන් කොහොමද?

17 මේ දේ මතක තියාගන්න. අපි හැමෝම පාපය උරුම කරගත්ත අය. ඒ නිසා වැරදි ආශාවක් ඔයාගේ හිතට එන එක නවත්තන්න ඔයාට බැහැ. හැබැයි ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි වැරදි ආශාවක් එද්දී හිතහිත ඉන්නේ නැතුව ක්ෂණිකව ඒක අයින් කරලා දාන එක. හරියට පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ව වැරදි දේකට පොලඹගන්න හදද්දී යෝසෙප් ඉක්මනටම පලා ගියා වගේ. (උත්. 39:12) එහෙම කරද්දී වැරදි ආශාවන් ගහන ගහන පදේට නටන්නේ නැතිව ඉන්න ඔයාට පුළුවන්.

වෑයම අත්හරින්න එපා!

18-19. අලුත් විදිහට හිතන්න උදව් වෙන්නේ මොන වගේ ප්‍රශ්නද?

18 අලුත් විදිහට හිතන්න පුරුදු වෙනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දෙවියන්ගේ කැමැත්තට එකඟව අපි හිතන විදිහ, වැඩ කරන විදිහ සකස් කරගන්න එකයි. ඒක අපි හැම දවසකම කරන්න ඕනෙ දෙයක්. ඒකට මේ ප්‍රශ්න ගැන හිතන එක උදව් වෙයි. ‘අපි මේ සමාජයේ අන්තිම කෙළවරටම ඇවිල්ලා ඉන්නවා කියන එක මට විශ්වාසයි කියලා මං ජීවත් වෙන විදිහෙන් පෙන්නනවාද? මං අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන ඉන්නවා කියලා දැන් කලින්ට වඩා පේනවාද? මට එන වැරදි ආශාවන්, පෙලඹීම් පාලනය කරගන්න මං උපරිම උත්සාහයක් ගන්නවාද? එහෙම කරන්න මං දෙවිගේ බලයට ඉඩ දෙනවාද?’

19 ඒ ප්‍රශ්න ගැන හිතලා බලද්දී සාධාරණ වෙන්න. ඔයාගෙන් පරිපූර්ණත්වය බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට ඔයා කලින්ට වඩා කොච්චර දියුණු වෙලා තියෙනවාද කියලා හිතන්න. හැබැයි ඔයා සමහර පැතිවලින් තව දියුණු වෙන්න ඕනෙ කියලා දැක්කොත් අධෛර්යය වෙන්නත් එපා. ඒ වෙනුවට ෆිලිප්පි 3:16 කියන මේ දේ කරන්න. “මෙතරම් දුරකට ප්‍රගතියක් ලබාගැනීමට අප යම් දේවල් කළා නම් ඒ දේවල ඒ අයුරින්ම දිගටම නිරත වෙමු.” ඉතින් අලුත් ආකාරයකින් හිතන්න ඔයා ඔයාගේ පැත්තෙන් හැම දවසකම මහන්සි වෙද්දී යෙහෝවා ඔහුගේ පැත්තෙන් ඔයාගේ වෑයම්වලට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.

ගීතිකාව 36 අපේ සිත ආරක්ෂා කරගමු

a මේ ලෝකේ අච්චුවට වැටෙන්නේ නැතුව ඉන්න කියලා පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා. ඒ උපදෙස අද ඉන්න අපිටත් හුඟක් වටිනවා. මේ කිලුටු ලෝකේ බලපෑමට පුංචිම විදිහකින්වත් අහු නොවී ඉන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕනේ. ඒකට අපි දෙවියන් හිතන විදිහයි, අපි හිතන විදිහයි නිතරම සසඳලා බලලා අවශ්‍ය වෙනස්කම් කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලයි අපි මේ ලිපියෙන් බලන්නේ.

b 2015 ජූලි 1 ‘මුරටැඹ’ සඟරාවේ “මගේ ජීවිතේ නරක අතටම හැරුණා” කියන ලිපිය බලන්න.

c පින්තූරයේ අදහස: ඉහළට ඉගෙනගන්නවාද, පූර්ණකාලීන සේවේ පටන්ගන්නවාද කියලා යෞවන සහෝදරයෙක් හොඳට කල්පනා කරනවා.