Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 5

‘ක්‍රිස්තුස්ගේ ආදරේ අපි තුළ මහත් පෙලඹීමක් ඇති කරයි!’

‘ක්‍රිස්තුස්ගේ ආදරේ අපි තුළ මහත් පෙලඹීමක් ඇති කරයි!’

‘ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරන්නේ තවදුරටත් අපි වෙනුවෙන් ජීවත් නොවීමටයි.’—2 කොරි. 5:14, 15.

ගීතිකාව 13 අපේ ආදර්ශකයාණන් වන යේසුස්

මේ ලිපියෙන් a

1-2. (අ) යේසුස්ගේ ජීවිතේ සහ සේවය ගැන හිතද්දී අපිට ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?

 අපි ආදරේ කරන කෙනෙක් මැරෙද්දී ඒක ලොකු වේදනාවක්. සමහරවිට එයා හිටපු අන්තිම දවස් කීපය මතක් වෙද්දී ඒ වේදනාව තව වැඩි වෙනවා. විශේෂයෙන්ම එයා මැරෙන්න කලින් හුඟක් දුක් වින්දා නම් ඒක උහුලගන්න ගොඩක් අමාරුයි. හැබැයි කාලයත් එක්කම ඒ දුක දරාගන්න අපි පුරුදු වෙනවා. ඊටපස්සේ, එයා කියපු දේවල්, එයා අපිව ශක්තිමත් කරපු විදිහ, අපිව හිනස්සපු විදිහ මතක් වෙද්දී අපේ හිතේ පුංචි හිනා රැල්ලක් හමා යනවා.

2 ඒ වගේම තමයි යේසුස් මේ පොළොවේ ගත කරපු අවසාන දවස් කීපය ගැන, ඔහු උහුලපු වේදනාව ගැන, ඔහුගේ මරණය ගැන හිතද්දීත් අපිට ලොකු වේදනාවක් දැනෙනවා. විශේෂයෙන්ම සිහි කිරීමේ කාලේදී යේසුස්ගේ ජීවිත පූජාව ගැන අපි වැඩි වැඩියෙන් හිතනවා. (1 කොරි. 11:24, 25) හැබැයි යේසුස් මේ පොළොවේ ඉද්දී කරපු කියපු දේවල් ගැන හිතන එකෙන් අපිට ලොකු සතුටකුත් දැනෙනවා. මොකද යේසුස් දැන් වගේම අනාගතයේදීත් අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න යනවා. ඒ දේවල් ගැන සහ යේසුස් අපිට පෙන්නපු ආදරේ ගැන ගැඹුරින් හිතද්දී අපේ හිතේ ඔහු ගැන ඇති වෙන්නේ ලොකු අගයක්! ඒත් ඒ අගය ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන් කොහොමද?

යේසුස්ව අනුගමනය කරන්න පෙලඹීමක්!

3. යේසුස්ගේ ජීවිත පූජාව ගැන ලොකු අගයක් ඇති වෙන්නේ ඇයි?

3 යේසුස් මේ පොළොවේ ඉද්දී ඉගැන්නුවා දේවරාජ්‍යයෙන් මිනිස්සුන්ට මොන වගේ ආශීර්වාදද ලැබෙන්නේ කියලා. ඒ ගැනත් අපිට ලොකු අගයක් තියෙනවා. ඇත්තටම ජීවිත පූජාව නැත්නම් අපිට කවදාවත් යෙහෝවා දෙවියන්ගේ සහ යේසුස්ගේ කිට්ටු යාළුවෝ වෙන්න බැහැ. ඒ නිසා ජීවිත පූජාව දුන්නාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ජීවිත පූජාව ගැන විශ්වාස කරන කෙනෙක්ට සදහටම ජීවත් වෙන්න වගේම මැරුණ අයව ආයෙත් දැකගන්නත් අවස්ථාව ලැබෙනවා. (යොහ. 5:28, 29; රෝම 6:23) ඒ ආශීර්වාද ලබන්න ඇත්තටම අපි වටින්නේ නැහැ. අනිත් අතට යෙහෝවා දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කරපු දේවල්වලට අපිට කවදාවත් ණය ගෙවලා ඉවර කරන්නත් බැහැ. (රෝම 5:8, 20, 21) හැබැයි එයාලා කරපු දේවල්වලට මුළු හිතින්ම අගය පෙන්නන්න අපිට පුළුවන්. ඒ කොහොමද?

මරියා මග්දලේනා ගැන ගැඹුරින් හිතන එක අගය පෙන්නන්න ඔයාව පොලඹවන්නේ කොහොමද? (4-5 ඡේද බලන්න)

4. යේසුස් තමන් වෙනුවෙන් කරපු දේවල් ගැන මරියා මග්දලේනා අගය පෙන්නුවේ කොහොමද? (පින්තූරය බලන්න.)

4 අපි දැන් මරියා මග්දලේනා ගැන බලමු. එයා භූතයන් හත්දෙනෙක් ආවේශ වෙලා හිටපු ස්ත්‍රියක්. ඒ නිසා එයා ගත කළේ හුඟක් අමාරු ජීවිතයක්. සමහරවිට එයාට හිතෙන්න ඇති ‘කවදාවත් මට මේ කාලකණ්ණි ජීවිතෙන් නම් ගොඩ ඒමක් නෑ’ කියලා. හැබැයි යේසුස් එයාව සනීප කරද්දී එයාගේ හිතේ යේසුස් ගැන කොච්චර අගයක් ඇති වෙන්න ඇද්ද! ඒ අගය එයාව පෙලඹුවා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න. එයා එතනින් නතර වුණේ නැහැ. යේසුස්ගේ සේවේ වෙනුවෙන් එයාගේ කාලය, ශ්‍රමය, එයාට තිබුණ දේවලුත් පරිත්‍යාග කළා. (ලූක් 8:1-3) මරියා ඒ හැම දෙයක්ම කළේ යේසුස් එයා වෙනුවෙන් කරපු එක දෙයක් නිසා. හැබැයි එයා දැනන් ඉන්න නැතුව ඇති අනාගතයේදී යේසුස් එයා වෙනුවෙන් ඊටත් වඩා දෙයක් කරනවා කියලා. ඇත්තටම එයා වෙනුවෙන් විතරක් නෙවෙයි ‘ඔහු කෙරෙහි විශ්වාසය තියන හැම කෙනෙක්ටම සදාකාල ජීවනය ලබාගන්න’ යේසුස් තමන්ගේ වටිනා ජීවිතේ පූජා කරනවා. (යොහ. 3:16) ඒ කොහොම වුණත් යේසුස් වධකණුවේ ඉද්දී පවා ඔහු ළඟින්ම ඉඳලා යේසුස්ට වගේම අනිත් අයටත් ලොකු හයියක් වෙන්න මරියාට පුළුවන් වුණා. (යොහ. 19:25) යේසුස් මැරුණත් එයාගේ හිතේ යේසුස් ගැන තිබ්බ ආදරේ නම් මැරුණේ නැහැ. ඒ නිසයි සුවඳ ද්‍රව්‍ය අරගෙන තවත් ස්ත්‍රීන් දෙන්නෙක් එක්ක එයා යේසුස්ව තැන්පත් කරපු තැනට ගියේ. (මාක් 16:1, 2) මරියා යේසුස්ට පෙන්නපු ළැදිකමට යෙහෝවා ආශීර්වාද කළා. නැවත නැඟිට්ටාට පස්සේ යේසුස්ව දකින්න, ඔහු එක්ක කතා කරන්න මරියාට අවස්ථාව ලැබුණා. ඒ වරප්‍රසාදය හුඟක් අනුගාමිකයන්ට ලැබුණේ නැහැ.—යොහ. 20:11-18.

5. දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කරපු දේවලට අගය පෙන්නන්න පුළුවන් කොහොමද?

5 අපිටත් පුළුවන් අපේ කාලය, ශක්තිය, අපිට තියෙන දේවල් සේවේ වෙනුවෙන් කැප කරලා අපේ හිතේ යෙහෝවා ගැන, යේසුස් ගැන තියෙන අගය පෙන්නන්න. උදාහරණෙකට සැබෑ නමස්කාරය වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කරන්න, නඩත්තු කරන්න හවුල් වෙන්න අපිට පුළුවන්.

අනිත් අයට ආදරේ කරන්න පෙලඹීමක්!

6. ජීවිත පූජාව අපි එක් එක් කෙනාට ලැබුණ තෑග්ගක් කියලා කියන්න පුළුවන් ඇයි?

6 යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට මොන තරම් ආදරේ කරලා තියෙනවාද කියලා හිතද්දී අපේ හිතෙත් එයාලා ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. (1 යොහ. 4:10, 19) ඒ විතරක් නෙවෙයි යේසුස් ජීවිතේ පූජා කළේ පෞද්ගලිකව මං වෙනුවෙන් කියලා තේරුම්ගනිද්දී ඒ ආදරේ දෙගුණ තෙගුණ වෙනවා. පාවුල්ටත් ඒක දැනුණා. ඒකයි ගලාතිවරුන්ට ලියද්දී එයාගේ හිතේ තිබුණ අගය එයා මේ විදිහට වචනවලට පෙරළුවේ. ‘දෙවිගේ පුත්‍රයා මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළා.’ (ගලා. 2:20) ජීවිත පූජාව නිසයි යෙහෝවාට පුළුවන් වුණේ ඔයාව ඔහු වෙතට ළං කරගන්න. (යොහ. 6:44) ඔහු ඔයා ළඟ තියෙන මොකක් හරි හොඳක් දැකපු නිසයි ඔහු ගාව තියෙන වටිනාම සම්පත පරිත්‍යාග කරලා ඔයාව යාළුවෙක් කරගත්තේ. ඒ ගැන හිතද්දී යෙහෝවා දෙවියන්ට, යේසුස්ට පුළුවන් තරම් ආදරේ කරන්න හිතෙන්නේ නැද්ද? ඒ නිසා අපි අපෙන්ම මෙහෙම අහගමු. ‘ඒ ආදරේ මාව පොලඹවන්නේ මොනවා කරන්නද?’

දෙවියන් ගැනයි, යේසුස් ගැනයි අපිට තියෙන ආදරේ අපිව පොලඹවනවා හැම තරාතිරමකම ඉන්න අයට ශුභාරංචිය දේශනා කරන්න (7 ඡේදය බලන්න)

7. පින්තූරෙනුත් පෙන්නන විදිහට දෙවියන් ගැන, යේසුස් ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද? (2 කොරින්ති 5:14, 15; 6:1, 2)

7 දෙවියන් ගැන, යේසුස් ගැන අපේ හිතේ තියෙන ආදරේ අපිව පොලඹවනවා අනිත් අයටත් ආදරේ කරන්න. (2 කොරින්ති 5:14, 15; 6:1, 2 කියවන්න.) ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි උද්‍යෝගයෙන් සේවේ කරන එක. කෙනෙක් දුප්පත්ද පෝසත්ද, එයාගේ ජාතිය මොකක්ද, එයාට සමාජයේ පිළිගැනීමක් තියෙනවාද, ඒ කිසිම දෙයක් අපිට වැඩක් නැහැ. අපි හැමෝටම එක වගේ සලකනවා. මොකද අපි දන්නවා “සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” යෙහෝවාගේ කැමැත්ත කියලා.—1 තිමෝ. 2:4.

8. සහෝදරයන්ට ආදරේ පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

8 සහෝදරයන්ට ආදරේ කරන එකෙනුත් දෙවියන් ගැන, යේසුස් ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න පුළුවන්. (1 යොහ. 4:21) ඒත් ඒකට අපි තව තවත් එයාලට කිට්ටු වෙන්න ඕනේ. පීඩා උහුලගන්න එයාලට හයියක් වෙන්න ඕනේ. එයාලා වියෝදුකෙන් ඉද්දී එයාලව සනසන්න. අසනීප වුණ අයව බලන්න යන්න. ඒ වගේම එයාලාගේ හිත තුවාල වෙලා නම් දිරිගන්වනසුලු වචනයක් දෙකක් කියලා ඒ තුවාලෙට බෙහෙත් දාන්න. (2 කොරි. 1:3-7; 1 තෙස. 5:11, 14) ඒ වගේම සහෝදරයන් ගැන යාච්ඤා කරන්නත් අපි අමතක කරන්නේ නැහැ. මොකද අපි දන්නවා “ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක” කියලා.—යාකො. 5:16.

9. ආදරේ පෙන්නන්න පුළුවන් තවත් විදිහක් මොකක්ද?

9 අපි අතරේ සමාදානය ඇති කරගන්න මහන්සි වෙන එකෙනුත් සහෝදරයන්ට අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න පුළුවන්. ඒකට අපි යෙහෝවා දෙවියන් වගේ අනිත් අයට සමාව දෙන්න සූදානමින් ඉන්න ඕනේ. යෙහෝවා අපේ වැරදි වෙනුවෙන් ඔහුගේ පුතාව දුන්නා නම් සහෝදරයන් අතින් වෙන වැරදි වෙනුවෙන් එයාලට සමාව දෙන්න අපිට බැරිද? මතකද යේසුස් දුෂ්ට දාසයෙක් ගැන කියපු උපමාව? ඒ දාසයාට ගෙවන්න තිබුණ හැම ණයක්ම එයාගේ ස්වාමියා කපලා දැම්මා. ඒත් එයාගෙන් තව කෙනෙක් ගත්ත පුංචි මුදල කපලා දාන්න එයාට බැරි වුණා. (මතෙ. 18:23-35) අපි කාටවත් ඕනෙ නැහැ ඒ දාසයා වගේ වෙන්න. ඔයාටත් සභාවේ කාත් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවාද? එහෙමනම් සිහි කිරීමට කලින් එයාත් එක්ක සමාදාන වෙන්න ඔයාට පුළුවන්ද? (මතෙ. 5:23, 24) එහෙම කරන එකෙන් දෙවියන් ගැන, යේසුස් ගැන ඔයාගේ හිතේ කොච්චර ආදරයක් තියෙනවාද කියලා පේනවා.

10-11. යෙහෝවා දෙවියන්ටයි, යේසුස්ටයි ආදරෙයි කියලා පෙන්නන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (1 පේතෘස් 5:1, 2)

10 දෙවියන් ගැන, යේසුස් ගැන තියෙන ආදරේ පෙන්නන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? හොඳම විදිහ තමයි යේසුස්ගේ බැටළුවන්ව බලාගන්න එක. (1 පේතෘස් 5:1, 2 කියවන්න.) ඒ කාරණය යේසුස් පේතෘස්ටත් කාවැද්දුවා. යේසුස්ව තුන් සැරයක්ම අඳුරන්නේ නැහැ කියලා කියපු එක ගැන පේතෘස් ගොඩක් දුක් වුණා. ඒ නිසා එයාට ලොකු ඕනකමක් තිබුණා යේසුස්ට කොච්චර ආදරෙයිද කියලා ඔප්පු කරන්න. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ පේතෘස්ගෙන් ඇහුවා ‘සීමොන්, ඔයා මට ආදරෙයිද’ කියලා. ඒ වෙලාවේ යේසුස් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පේතෘස් සූදානමින් හිටියා කියලා සැකයක් නැහැ. ඒ නිසයි යේසුස් කිව්වේ “මගේ කුඩා බැටළුවන්ව රැකබලා ගන්න” කියලා. (යොහ. 21:15-17) ඉතින් ජීවිතේ ඉතුරු කාලේ පුරාම පේතෘස් යේසුස්ගේ බැටළුවන්ව බලාගන්න ගොඩක් මහන්සි වුණා. මොකද එයාට ඕන වුණේ යේසුස්ට තිබ්බ ආදරේ ඔප්පු කරලා පෙන්නන්න.

11 වැඩිමහල්ලෙනි, යේසුස් පේතෘස්ට කියපු දේ ඔයාලා සැහැල්ලුවට ගන්නේ නැහැ කියලා විශේෂයෙන්ම සිහි කිරීමේ කාලේදී ඔයාලට පෙන්නන්න පුළුවන් කොහොමද? ඒකට බැටළුවන්ව බලන්න ගිහිල්ලා එයාලව දිරිගන්වන්න. කාලයක් තිස්සේ රැළෙන් ටිකක් ඈත් වෙලා ඉන්න අයව ආයෙත් රැළට කිට්ටු කරන්න මහන්සි වෙන්න. (එස. 34:11, 12) ඒ වගේම බයිබල් ශිෂ්‍යයන් ගැන, සිහි කිරීමට එන අලුත් අය ගැන සැලකිලිමත් වෙන්නත් ඔයාට පුළුවන්. එයාලව සභාවට සාදරෙන් පිළි අරන් එයාලව හුඟක් අගය කරනවා කියලා පෙන්නන්න.

ධෛර්යය ඇති කරගන්න පෙලඹීමක්!

12. යේසුස්ගේ වචන අපිට ධෛර්යයක් වෙන්නේ ඇයි? (යොහන් 16:32, 33)

12 යේසුස් මැරෙන්න කලින් රාත්‍රියේදී ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “මේ ලෝකයෙන් ගොඩක් පීඩා ඇති වෙයි. නමුත් අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.” (යොහන් 16:32, 33 කියවන්න.) තමන්ගේ හතුරන් එක්ක ධෛර්යවන්තව හැප්පෙන්න, මරණය දක්වාම විශ්වාසවන්තව ඉන්න යේසුස්ට උදව් වුණේ මොකක්ද? ඒ ඔහු යෙහෝවා දෙවියන් මත රඳා හිටපු එක. ඔහු දැනන් හිටියා ඔහුට වගේම ඔහුගේ අනුගාමිකයන්ටත් දුක් පීඩාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ නිසයි එයාලව බලාගන්න කියලා ඔහු දෙවියන්ගෙන් ඉල්ලුවේ. (යොහ. 17:11) ඒ ගැන දැනන් ඉන්න එක අපිට ධෛර්යයක් වෙන්නේ කොහොමද? මොකද අපි දන්නවා අපිට ඉන්න ඕනම හතුරෙක්ට වඩා යෙහෝවා බලවත් කියලා. (1 යොහ. 4:4) ඔහුගේ ඇස්වලට වැලි ගහලා කිසිම දෙයක් කරන්න කිසිම කෙනෙක්ට බැහැ. ඒ නිසා අපි හැම වෙලේම ඔහු මත රඳා ඉන්නවා නම් ඕනම දේකට ධෛර්යවන්තව මුහුණ දෙන්න අපිට පුළුවන්.

13. අරිමාතියේ යෝසෙප් ධෛර්යවන්තයි කියලා පෙන්නුවේ කොහොමද?

13 දැන් අපි අරිමාතියේ යෝසෙප් ගැන බලමු. එයා යුදෙව් මහාධිකරණයේ සාමාජිකයෙක් නිසා යුදෙව්වන් අතර එයාට හොඳ පිළිගැනීමක් තිබ්බා. හැබැයි යේසුස් පොළොවේ හිටපු කාලේ එයාට ධෛර්යය ඇරෙන්න අනිත් හැම දේම තිබ්බා කියලා කිව්වොත් වැරදි නැහැ. යොහන් කිව්වේ එයා “යුදෙව්වරුන්ට ඇති බිය නිසා රහසින් යේසුස්ගේ ගෝලයෙකුව සිටි කෙනෙක්” කියලා. (යොහ. 19:38) එයා ශුභාරංචිය පිළිගත්තත් යේසුස්ගේ ගෝලයෙක් කියන එක අනිත් අයගෙන් හැංගුවා. මොකද ඒක දැනගත්තොත් යුදෙව්වන් අතරේ එයාට තියෙන තැන නැති වෙයි කියලා එයා බය වෙන්න ඇති. හැබැයි යේසුස් මැරුණාට පස්සේ වුණේ හිතුවේවත් නැති දෙයක්. බයිබලේ කියනවා යෝසෙප් “ධෛර්යය උපදවාගෙන පිලාත් ඉදිරියට ගොස් යේසුස්ගේ දේහය භාරගැනීමට අවසර ඉල්ලුවා” කියලා. (මාක් 15:42, 43) එදායින් පස්සේ නම් යෝසෙප් යේසුස්ගේ අනුගාමිකයෙක් කියන එක රහසක් වුණේ නැහැ.

14. මිනිස්සුන්ට තියෙන බයෙන් ගොඩ එන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

14 ඔයාටත් මිනිස්සු නිසා ලොකු බයක් දැනිලා තියෙනවාද? ඔයා සාක්ෂිකරුවෙක් කියලා ඉස්කෝලේ යාළුවන්ට, වැඩපොළේ අයට කියන්න ලැජ්ජාවක් දැනෙනවාද? නෑදෑයෝ, යාළුවෝ මොනවා කියයිද කියලා බයක් දැනෙන නිසා ප්‍රචාරකයෙක් වෙන එක, බව්තීස්ම වෙන එක ඔයා කල් දානවාද? හැබැයි කවදාවත් ඒ වගේ හැඟීම් නිසා හරි දේ කරන්න තියපු අඩිය ආපස්සට ගන්න එපා. ඒ වෙනුවට ඔයාට දැනෙන බය ගැන යෙහෝවාට දිගටම යාච්ඤා කරන්න. ඒ බය පරද්දන්න ශක්තිය දෙන්න කියලා ඉල්ලන්න. ඔහු ඔයාගේ යාච්ඤාවට උත්තර දෙද්දී ඔයා කොච්චර ශක්තිමත්ද, ඔයාට කොච්චර ධෛර්යයක් තියෙනවාද කියලා ඔයාටම තේරෙයි.—යෙසා. 41:10, 13.

අත් නෑර දෙවියන්ට සේවය කරන්න පෙලඹීමක්!

15. නැවත නැඟිටපු යේසුස් තමන්ගේ අනුගාමිකයන්ව හම්බ වුණාට පස්සේ එයාලට දැනුණ සතුටට එයාලා පෙලඹුණේ මොනවා කරන්නද? (ලූක් 24:52, 53)

15 යේසුස් මැරුණාට පස්සේ ඔහුගේ ගෝලයන්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද! මොකද වධකණුවක මැරුණේ එයාලාගේ යාළුවා විතරක් නෙවෙයි එයාලට තිබ්බ හැම බලාපොරොත්තුවක්මත් ඒත් එක්කම මැරිලා ගියා. (ලූක් 24:17-21) ඒත් නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් එයාලව හම්බ වෙන්න ආවා. යේසුස් තුළින් බයිබල් අනාවැකි ඉටු වෙලා තියෙන විදිහ ඔහු එයාලට පැහැදිලි කළා. ඒ වගේම එයාලට කරන්න බාරදූර වැඩකුත් පැවරුවා. (ලූක් 24:26, 27, 45-48) ඉතින් දවස් 40කට පස්සේ යේසුස් එයාලාගෙන් සමු අරන් ස්වර්ගයට යද්දී එයාලාගේ දුක සතුටට හැරුණා. මොකද එයාලා දැනන් හිටියා තමන්ගේ ස්වාමියා ජීවත් වෙනවා, ඔහු ඕනම දෙයක් සාර්ථකව කරන්න එයාලට උදව් කරනවා කියලා. එයාලට දැනුණ ඒ සතුට තමයි එයාලව පෙලඹුවේ අත්හරින්නේ නැතුව දෙවියන්ට සේවේ කරන්න.—ලූක් 24:52, 53 කියවන්න; ක්‍රියා 5:42.

16. යේසුස්ගේ නියෝජිතයන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

16 සිහි කිරීමේ කාලේදී විතරක් නෙවෙයි යේසුස්ගේ නියෝජිතයන් වගේ හැම දවසකම දෙවියන්ට සේවේ කරලා සතුටක් ලබන්න අපිටත් පුළුවන්. හැබැයි ඒ සතුට ලබාගන්න නම් අපි දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඕනේ. ඒ නිසා සේවේ යන්න, රැස්වීම් යන්න, වරද්දන්නේ නැතුව පවුලේ නමස්කාරය කරන්න ඔයාගේ කාලසටහනෙත් වෙනස්කම් කරගන්න ඔයාට සිද්ධ වෙයි. සමහරු දේවරාජ්‍යයට මුල් තැන දෙන්න අනිත් අය අත්‍යවශ්‍යමයි කියලා හිතන දේවල් පවා කැප කරලා තියෙනවා. එහෙම කරලා තමන්ගේ සභාවේ එහෙම නැත්නම් ප්‍රචාරකයන් අඩු වෙනත් පැත්තක සේවේ කරන්න එයාලා ඉදිරිපත් වෙලා තියෙනවා. යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඒ වගේ සේවයක් කරන්න නම් අපිට ගොඩක් දේවල් විඳදරාගන්න වෙනවා. ඒත් අපි යෙහෝවාට මුල් තැන දුන්නොත් ඔහු අපේ ජීවිත ආශීර්වාදවලින් නහවලා මිසක් නතර වෙන්නේ නැහැ.—හිතෝ. 10:22; මතෙ. 6:32, 33.

සිහි කිරීමේ කාලේදී යෙහෝවා සහ යේසුස් පෞද්ගලිකව ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතන්න (17 ඡේදය බලන්න)

17. මේ සැරේ සිහි කිරීමේදී ඔයා අධිෂ්ඨාන කරන් ඉන්නේ මොනවා කරන්නද? (පින්තූරය බලන්න.)

17 අප්‍රියෙල් 4වෙනිදා තියෙන සිහි කිරීමට සහභාගි වෙන්න අපි ඉන්නේ හුඟක් ආසාවෙන්. ඒත් යේසුස්ගේ ජීවිතේ ගැන, මරණය ගැන, යෙහෝවා සහ යේසුස් අපිට පෙන්නපු ආදරේ ගැන සිහි කරන්න ඒ දවස එන කල්ම ඉන්න එපා. ඒ වෙනුවට සිහි කිරීමේ කාලේ පුරාම ලැබෙන හැම අවස්ථාවක්ම ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් ‘දේවවචනය අධ්‍යයනයට’ කියන සඟරාවේ “යේසුස් පොළොවේ ගත කළ අවසන් සතිය” කියන වගුව අධ්‍යයනය කරන්න. ඒකේ තියෙන බයිබල් පද ඔයාට උදව් වෙයි ඔයාගේ හිතේ තියෙන අගය, ආදරේ, ධෛර්යය සහ සතුට තවත් වැඩි කරගන්න. ඊටපස්සේ ඔයාගේ හිතේ ඇති වෙන ඒ අගය ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් හිතන්න. සිහි කිරීමේ කාලේ පුරාම ඔයා යේසුස් වෙනුවෙන් කරන හැම දේම ඔහු ගොඩක් අගය කරනවා. ඔහු වෙනුවෙන් කරන ඒ දේවල් අකුරක් නෑර ඔහු ඔහුගේ මතකයේ කොටාගනියි කියලා කිසිම සැකයක් නැහැ.—එළි. 2:19.

ගීතිකාව 17 “මා කැමතියි”

a සිහි කිරීමේ කාලේදී අපි යේසුස්ගේ ජීවිතේ ගැන, ඔහුගේ මරණය ගැන, යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට පෙන්නපු ආදරේ ගැන වෙනදාටත් වඩා වැඩියෙන් හිතනවා. මොකද එහෙම කරන එකෙන් තමයි ඒ දේවල් ගැන අපේ හිතේ තියෙන අගය ක්‍රියාවට පෙරළෙන්නේ. ඒත් ඒ අගය ක්‍රියාවෙන් පෙන්නන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම සහෝදරයන්ට තියෙන ආදරේ, අපේ ධෛර්යය, සේවේදී ලබන සතුට තව වැඩි කරගන්න පුළුවන් විදිහත් අපි බලනවා.