Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 9

ජීවිතය කියන තෑග්ග පරෙස්සම් කරගන්න!

ජීවිතය කියන තෑග්ග පරෙස්සම් කරගන්න!

“අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.”—ක්‍රියා 17:28.

ගීතිකාව 141 ජීවිතය සැබෑම ත්‍යාගයක්

මේ ලිපියෙන් a

1. අපේ ජීවිත දෙවියන්ට කොච්චර වටිනවාද?

 හිතන්න, ඔයාගේ යාළුවෙක් ඔයාට ලස්සන චිත්‍රයක් දෙනවා. හැබැයි ඒක ගොඩක් පරණයි. ඒකේ සමහර තැන්වල පාට ගිහිල්ලා. සමහර තැන් ඉරි තැළිලා. ඒත් ඒක ඇඳලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඒක ඩොලර් මිලියන ගාණක් වටිනවා. ඒ නිසා ඔයා ඒක කොච්චර පරෙස්සම් කරගනියිද! යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන ජීවිතෙත් ඒ වගේ. ඒක මිල කරන්න බැහැ. කොටින්ම කිව්වොත් යෙහෝවා දෙවියන් ඔහුගේ පුතාගේ ජීවිතේ අපි වෙනුවෙන් දුන්නෙත් අපේ ජීවිත ඔහුට ගොඩක් වටින නිසයි.—යොහ. 3:16.

2. 2 කොරින්ති 7:1 කියන විදිහට දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

2 යෙහෝවා දෙවියන් තමයි ජීවිතේ උල්පත. (ගීතා. 36:9) ජීවිතය ඔහුගෙන් ලැබුණ වටිනා තෑග්ගක් කියන්නේ ඒ නිසයි. ඒ දේ පාවුල් කියපු මේ දෙයිනුත් පැහැදිලියි. “අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි.” (ක්‍රියා 17:25, 28) දෙවියන් අපිට ජීවිතේ විතරක් නෙවෙයි ඒක පවත්වාගෙන යන්න අවශ්‍ය හැම දේමත් දීලා තියෙනවා. (ක්‍රියා 14:15-17) හැබැයි එහෙමයි කියලා දෙවියන් හැම දවසකම අපේ ජීවිතේ ආශ්චර්යවත් විදිහට ආරක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට ජීවිතය, සෞඛ්‍යය රැකගෙන ඔහුට දිගටම සේවේ කරන්න අපි අපේ පැත්තෙන් උපරිමය කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (2 කොරින්ති 7:1 කියවන්න.) හැබැයි ජීවිතේ රැකගන්න අපි මහන්සි වෙන්න ඕනෙ ඇයි? ඒ වෙනුවෙන් අපි කරන්න ඕනෙ මොනවාද?

ජීවිතය අගය කරන්න

3. අපි අපේ සෞඛ්‍යය ගැන හිතන්න ඕන එක හේතුවක් මොකක්ද?

3 අපිට ඕනෙ උපරිමයෙන්ම යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න. (මාක් 12:30) හැබැයි හිතේ හැටියට සේවේ කරන්න නම් අපි නිරෝගීව ඉන්න ඕනේ. අපේ එකම අධිෂ්ඨානය තමයි අපේ “ශරීර ජීවමාන, ශුද්ධ මෙන්ම දෙවිට පිළිගත හැකි පූජාවක් ලෙස ඔප්පු කරන” එක. (රෝම 12:1) ඒ නිසයි අපේ සෞඛ්‍යයට හානි වෙන හැම දේකින්ම අපි ඈත් වෙලා ඉන්නේ. හැබැයි කොච්චර පරෙස්සම් වුණත් සමහර වෙලාවට අපි ලෙඩ වෙනවා. ඒත් යෙහෝවා දීපු ජීවිතේ අපි අගය කරන නිසා නිරෝගීව ඉන්න පුළුවන් හැම දේම අපි කරනවා.

4. දාවිත් ආස වුණේ මොනවා කරන්නද?

4 සැරයක් දාවිත් මෙහෙම කිව්වා. “මා මිය ගියොත් එයින් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද? දූවිල්ල ඔබට ප්‍රශංසා කරනු ඇද්ද? ඔබේ විශ්වාසවන්තභාවය ගැන පවසනු ඇද්ද?” (ගීතා. 30:9) පේන විදිහට දාවිත් මේක කිව්වේ එයාගේ ජීවිතේ අන්තිම කාලේ. එයා කියපු දේවලින් පේනවා යෙහෝවා දෙවියන් දුන්න ජීවිතේ එයා කොච්චර වටින දෙයක් විදිහට සැලකුවාද කියලා. මොකද ජීවතුන් අතර හිටියොත් තමයි උපරිමයෙන්ම දෙවියන්ට ප්‍රශංසා කරන්න දාවිත්ට පුළුවන් වෙන්නේ. අපිටත් ඕනෙ ජීවිතේ පරෙස්සම් කරගෙන පුළුවන් තරම් කාලයක් යෙහෝවාට ප්‍රශංසා කරන්න.

5. අපි මොන වයසක හිටියත් කොච්චර අසනීප තිබුණත් අපි කරන්න ඕනෙ මොනවාද?

5 සමහර වෙලාවට මහලු වයස නිසා, අසනීප නිසා ඔයාට කලින් වගේ හිතේ හැටියට දේවල් කරගන්න බැරුව ඇති. එහෙම වුණාම ඒ ගැන ලොකු දුකක්, කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ‘දැන් ඉතින් පරෙස්සම් වෙලා මොකටද’ කියලා හිතන්න නරකයි. කොච්චර අසනීප තිබුණත් කොච්චර වයසට ගියත් ඔයා තාමත් ජීවත් වෙනවා. ඒ නිසා හුස්ම තියෙන කල් දාවිත් වගේ දෙවියන්ට ප්‍රශංසා කරන්න ඔයාට පුළුවන්. ඉතින් ජීවිතේ පරෙස්සම් කරගන්න දිගටම මහන්සි වෙන්න. ඉස්සර වගේ අපිට ගොඩක් දේවල් කරගන්න බැරි වුණත් යෙහෝවා දෙවියන්ට අපේ ජීවිත හුඟක් වටිනවා. (මතෙ. 10:29-31) ඒ නිසයි අපි මැරුණත් අපිව නැවත නැඟිට්ටවන්න ඔහු ආසාවෙන් ඉන්නේ. (යෝබ් 14:14, 15) එහෙම බලද්දී අපේ ජීවිතේ රැකගන්න කොච්චර හේතු තියෙනවාද!

නරක පුරුදුවලින් ඈත් වෙන්න

6. දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මොනවා කරයි කියලද?

6 බයිබලේ කියන්නේ කෑම බීම ගැන, නිරෝගිකම ගැන කතා කරන වෛද්‍ය අත්පොතක් නෙවෙයි. ඒත් ඒ කාරණා ගැන යෙහෝවා හිතන විදිහ අපිට බයිබලෙන් දැනගන්න පුළුවන්. උදාහරණෙකට බයිබලේ කියනවා අපේ ශරීරයට ඒ කියන්නේ අපේ ජීවිතේට හානි කරන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා කියලා. (දේශ. 11:10) ඒ වගේම කෑදරකම ගැන, බීමත්කම ගැන බයිබලේ කෙළින්ම අනතුරු අඟවලා තියෙනවා. (හිතෝ. 23:20) මොකද ඒවායිනුත් අපේ ජීවිතේට වෙන්නේ හානියක්. ඒ නිසා අපි අපිවම පාලනය කරගෙන කන බොන දේ ගැන විතරක් නෙවෙයි කන බොන ප්‍රමාණය ගැනත් පරෙස්සම් වෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා.—1 කොරි. 6:12; 9:25.

7. ඥානවන්ත තීරණ ගන්න හිතෝපදේශ 2:11 අපිට උදව් වෙන්නේ කොහොමද?

7 සිතීමේ හැකියාව පාවිච්චි කරලා හොඳ තීරණ ගද්දී අපි පෙන්නනවා දෙවියන් දුන්න තෑග්ග අපි කොච්චර අගය කරනවාද කියලා. (ගීතා. 119:99, 100; හිතෝපදේශ 2:11 කියවන්න.) හිතන්න, ඔයා ගොඩක් ආස කෑමක් තියෙනවා. හැබැයි ඔයා දන්නවා ඒක කෑවොත් අනිවාර්යයෙන්ම අසනීප වෙනවා කියලා. ඔයා ඇත්තටම ඔයාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් නම් ඔයා දන්නවා ඒ වගේ වෙලාවට මොනවාද කරන්න ඕනෙ කියලා. ඒ විතරක් නෙවෙයි හොඳ නින්දක් ගන්නවා නම්, පුරුද්දක් විදිහට ව්‍යායාම් කරනවා නම්, ගෙදරදොරේ වගේම ඔයාගේ ශරීරයේ පිරිසිදුකම ගැනත් හිතනවා නම් ඔයා පෙන්නන්නේ සිතීමේ හැකියාව ඔයා හොඳට පාවිච්චි කරනවා කියලයි.

ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න

8. අපි අපේ ආරක්ෂාව ගැන හිතන එක දෙවියන් කොච්චර වැදගත් දෙයක් විදිහට සලකනවාද?

8 දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියෙනුත් පැහැදිලියි මිනිස් ජීවිත ඔහුට කොච්චර වටිනවාද කියලා. උදාහරණෙකට ගෙදරදොරේදී නැත්නම් වැඩපොළේදී බරපතළ අනතුරු වෙන එක වළක්වාගන්න ඔහු හුඟක් නීති දීලා තිබුණා. (නික්. 21:28, 29; ද්වි. 22:8) අත්වැරදීමකින් මිනී මැරුමක් කරපු කෙනෙක්ට වුණත් කාලයක් යන කල් ඒකේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වුණා. (ද්වි. 19:4, 5) කෙනෙක් අතින් අත්වැරදීමකින් නූපන් දරුවෙක්ට හරි අනතුරක් වුණොත් එයාට අනිවාර්යයෙන්ම දඬුවමක් ලැබුණා. (නික්. 21:22, 23) ඒකෙන් මොකක්ද පැහැදිලි වෙන්නේ? අපේ ආරක්ෂාව ගැන අපි සැලකිලිමත් වෙනවාද කියලා යෙහෝවාත් සැලකිලිමත්.

ජීවිතේ ගොඩක් වටිනවා කියලා මේ අවස්ථාවලදී අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? (9 ඡේදය බලන්න)

9. අනතුරු වළක්වාගන්න අපිට පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)

9 ගෙදරදී, වැඩපොළේදී බරපතළ අනතුරු වෙන එක වළක්වාගන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි තියුණු ආයුධ, විෂ රසායනික ද්‍රව්‍යය, බේත් හේත් ආරක්ෂිතව ගබඩා කරන එක. ඒ වගේම ඒවා පොඩි දරුවන්ගේ අතට අහු වෙන්න තියන්නත් එපා. ගින්දර පත්තු කරද්දී, වතුර උණු කරද්දී, විදුලි යන්ත්‍රෝපකරණ පාවිච්චි කරද්දී ඒවා ඔහේ දාලා යන්නත් එපා. ඒ වගේම වාහන එළවද්දීත් පරෙස්සම් වෙන්න. මත්පැන් නිසා, ඔයා ගත්ත බෙහෙතක් නිසා, නින්ද අඩු නිසා ඔයාට හරියට අවධානය දෙන්න බැරි නම් වාහනේ එළවන්න එපා. ඒ විතරක් නෙවෙයි එළවද්දී ෆෝන් එක ඔබඔබ යන්නත් එපා.

ආපදාවකදී

10. ආපදාවකට කලින් සහ ඒ අතරතුරේදී අපිට කරන්න පුළුවන් මොකක්ද?

10 සමහර අනතුරු ඒ කියන්නේ ආපදාවක්, වසංගතයක්, කලකෝලහලයක් වගේ දෙයක් වළක්වන්න අපිට බැහැ. හැබැයි ඒ වගේ දේකදී වුණත් අපේ ජීවිතේ ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. උදාහරණෙකට බලධාරීන් ඇඳිරි නීතිය දාද්දී, ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියද්දී එහෙම නැත්නම් වෙනත් හදිසි නීතියක් දාද්දී අපිට පුළුවන් ඒකට ඉක්මනින්ම කීකරු වෙන්න. (රෝම 13:1, 5-7) තවත් සමහර අවස්ථාවලදී අනතුරක් ළඟ ළඟම එනවා කියලා අපිට කලින්ම තේරුම්ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී බලධාරීන් හුඟක් මඟ පෙන්වීම් දෙනවා. අපිට පුළුවන් ඒවාට කීකරු වෙලා ආපදාවට කල්තියාම සූදානම් වෙන්න. උදාහරණෙකට ඇති තරම් වතුර, වියළි ආහාර, ප්‍රථමාධාර කලින්ම ලෑස්ති කරලා තියාගන්න අපිට පුළුවන්.

11. වසංගතයකදී අපිට කරන්න පුළුවන් මොනවාද?

11 අපි ජීවත් වෙන ප්‍රදේශයේ භයානක වසංගතයක් වේගයෙන් පැතිරෙනවා නම් අපිට කරන්න පුළුවන් මොනවාද? ඒ වගේ වෙලාවලදී නිතර නිතර අත් හෝදන එක, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන එක, මාස්ක් දාන එක, නිරෝධායනය වෙන එක වගේ බලධාරීන් දාන නීතිවලට අපි කීකරු වෙන්න ඕනේ. අපි ඒවා කවදාවත් සුළුවට ගන්නේ නැහැ. මොකද දෙවියන් දීලා තියෙන ජීවිතේ ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා.

12. ආපදාවකදී හිතෝපදේශ 14:15 අපිට උදව් වෙන්නේ කොහොමද?

12 ආපදාවක් වෙද්දී අපේ යාළුවන්, අසල්වැසියන් අතරේ වගේම ජනමාධ්‍යය හරහා ගොඩක් බොරු තොරතුරු පැතිරෙනවා. ඒ වගේ වෙලාවට අපි අනිත් අය කියන “හැම දෙයක්ම” විශ්වාස කරන්නේ නැහැ. ඒ වෙනුවට වෛද්‍යවරුන්, රජයේ නිලධාරීන් වුණත් දෙන තොරතුරු නිවැරදිද කියලා සහතික කරගන්න අපි වගබලා ගන්නවා. (හිතෝපදේශ 14:15 කියවන්න.) ඒ වගේම ආපදාවක් තියෙන කාලෙක පාලක මණ්ඩලයෙන් සහ ශාඛා කාර්යාලයෙනුත් රැස්වීම් පවත්වන විදිහ ගැන, සේවේ කරන විදිහ ගැන අපිට ගොඩක් මඟ පෙන්වීම් ලැබෙනවා. (හෙබ්‍රෙ. 13:17) හැබැයි එයාලා ඒ මඟ පෙන්වීම් දෙන්නේ හොඳට හොයලා බලලා. ඒවාට කීකරු වෙද්දී අපේ ජීවිත විතරක් නෙවෙයි අනිත් අයගේ ජීවිතත් ආරක්ෂා වෙනවා. ඒ වගේම සාක්ෂිකරුවන් ගැන අනිත් අයගේ හිතේ පැහැදීමක් ඇති කරන්නත් ඒක උදව් වෙනවා.—1 පේතෘ. 2:12.

ලෙයින් වළකින්න

13. දෙවියන් දුන්න ජීවිතේ අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් තවත් පැත්තක් මොකක්ද?

13 සාක්ෂිකරුවන් විදිහට අපි රුධිරය පරිශුද්ධ දෙයක් විදිහට සලකනවා කියලා හැමෝම වගේ දන්නවා. ලේ ගැන දෙවියන් දීලා තියෙන නීතියට අපි කීකරු වෙන නිසා හදිස්සිම අවස්ථාවකදී වුණත් අපි ලේ ගන්නේ නැහැ. (ක්‍රියා 15:28, 29) හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි මැරෙන්න කැමතියි කියලා. දෙවියන් අපිට දීපු ජීවිතේ අපි සලකන්නේ ගොඩක් වටින දෙයක් විදිහට. ඒ නිසා ලේ අඩංගු නැති හොඳම වෛද්‍ය ප්‍රතිකාර ගන්න අපි උත්සාහ කරනවා.

14. බරපතළ සැත්කමක් කරන්න සිද්ධ වෙන අවස්ථා අවම කරගන්න අපිට පුළුවන් කොහොමද?

14 අපි මේ ලිපියේ බලපු යෝජනා අදාළ කරගද්දී බරපතළ සැත්කමක් කරන්න, ලොකු ප්‍රතිකාරයක් ගන්න සිද්ධ වෙන අවස්ථා අඩු කරගන්න අපිට පුළුවන්. අපි කලින් ඉඳන්ම අපේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙනවා නම් ඒ වගේ සැත්කමක් කරන්න සිද්ධ වුණත් ඒකට හොඳට මුහුණ දීලා ඉක්මනින් සනීප වෙන්න අපිට පුළුවන්. ඒ වගේම අපි ගෙදරදොරේදී, වැඩපොළේදී අනතුරක් වෙන්න පුළුවන් දේවල් අඳුරගෙන ඒවා අයින් කරනවා නම්, වාහනයක් එළවද්දී මාර්ග නීති පිළිපදිනවා නම් හදිසි අනතුරක් වෙන එක අපිට වළක්වගන්න පුළුවන්.

‘රුධිරය එපා!’ කියන කාඩ් එක පුරවලා අපි ඒක නිතරම ළඟ තියාගන්නේ ජීවිතේ ගොඩක් වටින නිසයි (15 ඡේදය බලන්න) d

15. (අ) ‘රුධිරය එපා!’ කාඩ් එක පුරවලා ඒක අපි හැම තිස්සේම ළඟ තියාගන්න ඕනෙ ඇයි? (පින්තූරයත් බලන්න.) (ආ) වීඩියෝ එකේ පෙන්නන විදිහට කලින්ම හොඳට තොරතුරු හොයලා බලලා රුධිරය ගැන තීරණයක් ගන්න අපිට පුළුවන් කොහොමද?

15 ජීවිතය කියන වටිනා තෑග්ග අපි ගොඩක් අගය කරන නිසා තමයි ‘රුධිරය එපා!’ කියන කාඩ් එක අපි හැම තිස්සේම ළඟ තියාගන්නේ. b ඒ වගේම ලේ ගැන සහ අනිත් වෛද්‍ය ප්‍රතිකාර ගැන අපි අරන් තියෙන තීරණය වෛද්‍යවරුන්ටයි, හෙදියන්ටයි දැනුම් දෙන්නයි අපි ඒ කාඩ් එක පුරවන්නේ. ඒත් ඔයා ඒක තාම පුරවලා නැද්ද? නැත්නම් ඒක පිරෙව්වේ කාලාන්තරයකට කලින්ද? එහෙමනම් ඉක්මනින්ම ඔයාගේ අලුත් තොරතුරු එක්ක කාඩ් එකක් පුරවන්න. ඒක කල් දාන්න එපා. ඔයාගේ තීරණේ ගැන ඔයා පැහැදිලිවම කාඩ් එකේ ලියලා තියෙනවා නම් ඔයාට ප්‍රතිකාරයක් ගන්න වෙද්දී ආයේ මුල ඉඳලාම ඔයාගේ තීරණය ගැන වෛද්‍යවරුන්ට පැහැදිලි කරන්න කාලේ නාස්ති වෙන්නේ නැහැ. ප්‍රතිකාර ගන්න පරක්කු වෙන්නෙත් නැහැ. අනිත් අතට එහෙම කරන එකෙන් අපිට හානියක් වෙන්න පුළුවන් විදිහේ ප්‍රතිකාරයක් දෙන එකෙන් අපි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අයවත් වළක්වනවා. c

16. ‘රුධිරය එපා!’ කියන කාඩ් එක හරියට පුරවන්න දන්නේ නැත්නම් අපි කරන්න ඕනෙ මොනවාද?

16 අපි කොච්චර තරුණ වුණත් ශක්තිමත් අය වුණත් අපි ඕනම කෙනෙක්ට අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසනීපයක් හැදෙන්නත් පුළුවන්. (දේශ. 9:11) ඒ නිසා කල්තියාම අපි ‘රුධිරය එපා!’ කියන කාඩ් එක පුරවලා තියෙන එක වැදගත්. ඒක පුරවන විදිහ ඔයා හරියටම දන්නේ නැත්නම් ඔයාගේ සභාවේ ඉන්න වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්න. මොකද ඒ ගැන එයාලා හොඳට දැනුවත් වෙලයි ඉන්නේ. හැබැයි එයාලා ඔයා වෙනුවෙන් තීරණ ගන්නේ නැහැ. මොකද ඒක ඔයාගේ වගකීමක්. (ගලා. 6:4, 5) ඒ වුණත් අවශ්‍ය හැම දෙයක් ගැනම ඔයාව දැනුවත් කරලා ඔයා ගන්න තීරණේ කාඩ් එකේ හරියට ලියන්න එයාලා ඔයාට උදව් කරයි.

සාධාරණ වෙන්න

17. අපි සාධාරණ අය කියලා පෙන්නන්නේ කොහොමද?

17 අපේ සෞඛ්‍යය ගැන, වෛද්‍ය ප්‍රතිකාර ගැන අපිට නිතරම වගේ තීරණ ගන්න වෙනවා. ඒවාවලින් වැඩි හරියක්ම අපි ගන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරපු අපේ හෘද සාක්ෂියට එකඟවයි. (ක්‍රියා 24:16; 1 තිමෝ. 3:9) ඒත් අපි තීරණ ගද්දී, ඒ තීරණ ගැන අනිත් අයත් එක්ක කතා කරද්දී ෆිලිප්පි 4:5 තියෙන මේ ප්‍රතිපත්තිය අදාළ කරගන්න ඕනේ. එතන කියන්නේ “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියලා. අපි සාධාරණ අය නම් සෞඛ්‍යය ගැන හිතද්දී අපි ඒකේ අන්තයටම යන්නේ නැහැ. ඒ වගේම අපේ තීරණ අනිත් අයට බලෙන් පටවන්න හදන්නෙත් නැහැ. ඒ වෙනුවට අපේ සහෝදර සහෝදරියන් අපිට වඩා වෙනස් තීරණයක් ගත්තත් අපි එයාලට දිගටම ආදරෙන්, ගෞරවයෙන් සලකනවා.—රෝම 14:10-12.

18. ජීවිතය කියන වටිනා තෑග්ග අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

18 ජීවිතේ උල්පත වන යෙහෝවා දෙවියන් නිසයි අද අපි ජීවත් වෙන්නේ. (එළි. 4:11) ඒ නිසා අපේ ජීවිතේ පරෙස්සම් කරගෙන ඔහුට උපරිමයෙන් සේවේ කරන එකෙන් ඔහු දීපු තෑග්ග අගය කරනවා කියලා පෙන්නමු. මේ කාලේදී අපිට අසනීපවලට, ආපදාවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් යෙහෝවා අරමුණු කළේ අපිට ඒ වගේ ජීවිතයක් දෙන්න නම් නෙවෙයි. ළඟදීම දුක, වේදනාව, මරණය නැති කාලයක් අපිට දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (එළි. 21:4) ඒ දවස එන කල් අපේ වටිනා ජීවිතේ ආරක්ෂා කරගෙන යෙහෝවා දෙවියන් වෙනුවෙන් අපේ උපරිමය දෙන්න අධිෂ්ඨාන කරගමු.

ගීතිකාව 140 සදාකාලික ජීවිතය

a ජීවිතය කියන්නේ දෙවියන්ගෙන් ලැබුණ වටිනා තෑග්ගක්. ඒත් ආපදාවකදී දෙවියන් දීපු මේ තෑග්ග රැකගන්න අපි කරන්න ඕනෙ මොනවාද? අනතුරු වෙන එක අඩු කරගන්න අපිට පුළුවන් කොහොමද? හදිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න වුණොත් ඒකට කල්තියාම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු. දෙවියන් අපිට දීපු තෑග්ග ගැන හිතේ තියෙන අගය වැඩි කරගන්න ඒ තොරතුරු උදව් වෙයි.

b මේ කාඩ් එකට DPA කාඩ් එක කියලත් කියනවා.

c jw.org වෙබ් අඩවියේ තියෙන ‘ප්‍රතිකාර තෝරගද්දී ඥානවන්ත තීරණ ගන්න’ කියන වීඩියෝ එක බලන්න.

d පින්තූරයේ අදහස: තරුණ සහෝදරයෙක් ‘රුධිරය එපා!’ කියන කාඩ් එක පුරවලා එයා යන හැම තැනම ඒක අරන් යනවා.