Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 12

යෙහෝවා දෙවියන් ගැන නිර්මාණවලින් ඉගෙනගන්න

යෙහෝවා දෙවියන් ගැන නිර්මාණවලින් ඉගෙනගන්න

“දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.”—රෝම 1:20.

ගීතිකාව 6 අහස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි

මේ ලිපියෙන් a

1. දෙවියන්ව තවත් හොඳින් අඳුරගන්න යෝබ්ට උදව් වුණේ මොනවාද?

 ජීවිත කාලේ පුරාම යෝබ් හුඟක් අය එක්ක කතාබහ කරලා ඇති. හැබැයි ඒ අතරේ යෙහෝවා දෙවියන් එක්ක කතා කරපු අවස්ථාව නම් එයාගේ ජීවිතේ අමතක නොවන සිද්ධියක් වෙන්න ඇති. ඒ වෙලාවේ තමන් නිර්මාණය කරපු පුදුමාකාර දේවල් ගැන ඔහු යෝබ් එක්ක කතා කළා. යෙහෝවා කොච්චර ප්‍රඥාවන්තද, ඔහුගේ සේවකයන්ව ඔහු කොච්චර හොඳින් රැකබලා ගන්නවාද කියන එක ගැන යෝබ්ට තිබුණ විශ්වාසය ඒකෙන් ගොඩක් ශක්තිමත් වෙන්න ඇති. මොකද දෙවියන් යෝබ්ට මතක් කළා අවශ්‍ය දේවල් දීලා හැම සතෙක්වම බලාගන්න ඔහුට පුළුවන් නම් යෝබ්ව බලාගන්න එක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා. (යෝබ් 38:39-41; 39:1, 5, 13-16) ඒ විදිහට දෙවියන්ගේ නිර්මාණ ගැන හොඳට හිතන්න කාලේ ගත්ත එකෙන් යෝබ්ට පුළුවන් වුණා යෙහෝවා ගැන ගොඩක් දේවල් තේරුම්ගන්න.

2. නිර්මාණ රස විඳින එක අපිට අභියෝගයක් වෙන්න පුළුවන් ඇයි?

2 අපි කාලේ අරන් නිර්මාණ ගැන හොයලා බැලුවොත් අපේ දෙවියන් ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි. හැබැයි ඒක සමහරවිට ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. මොකද අපි ඉන්නේ නගරබද පැත්තක නම් අපි ගහක් කොළක් දකින්නෙත් කලාතුරකින් වෙන්න ඇති. අනිත් අතට අපි ගහ කොළෙන් පිරුණු සුන්දර වටපිටාවක ජීවත් වුණත් සමහරවිට ඒවා බලන්නවත් අපිට කාලේ නැතුව ඇති. ඒත් දෙවියන්ගේ නිර්මාණ රස විඳින්න අපි කාලේ ගන්න එක වැදගත් ඇයි? යෙහෝවා දෙවියන් සහ යේසුස් අපිට උගන්වන්න නිර්මාණ පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? නිර්මාණවලින් දෙවියන් ගැන තවත් ඉගෙනගන්න අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

නිර්මාණ රස විඳින්න ඕනෙ ඇයි?

ආදම් නිර්මාණ රස විඳලා, සත්තුන්ට නම් තියනවාට යෙහෝවා කැමති වුණා (3 ඡේදය බලන්න)

3. ආදම් නිර්මාණ බලලා සතුටු වෙනවාට දෙවියන් කැමති වුණා කියලා අපි දන්නේ කොහොමද?

3 යෙහෝවා දෙවියන් ආදම්ට දුන්නේ කිසි අඩුවක් නැති ලස්සන උයනක්. ඉතින් හොඳට කාලේ අරන් දෙවියන්ගේ නිර්මාණ ගැන හොයලා බලන්න, ඒවා රස විඳින්න එයාට අවස්ථාව තිබුණා. ඒ වගේම ඒ උයනේ තිබ්බ ලස්සනින් මුළු පොළොවම පුරවන්න දෙවියන් එයාට පැවරුමකුත් දුන්නා. (උත්. 2:8, 9, 15) හිතන්න, බීජයකින් අංකුරයක් එද්දී, පාට පාට මල් පිපෙද්දී ආදම්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ඒ විතරක් නෙවෙයි සත්තුන්ට නම් දාන්න කියලත් දෙවියන් එයාට කිව්වා. (උත්. 2:19, 20) ඕනෙ නම් ඒක දෙවියන්ටම කරන්න තිබුණා. ඒත් ඔහු එහෙම කළේ නැහැ. සතෙක්ට නමක් දාන්න කලින් ඌටම ආවේණික දේවල්, උගේ හැසිරීම ආදම් හොඳට නිරීක්ෂණය කළා කියලා කිසිම සැකයක් නැහැ. ඒ පැවරුම කරද්දී එයාට ලොකු සතුටක් ලැබුණා වගේම දෙවි පියාණන්ගේ ප්‍රඥාව ගැන, නිර්මාණශීලීකම ගැන ලොකු අගයකුත් ඇති වෙන්න ඇති.

4. (අ) අපි නිර්මාණ ගැන හිතන්න කාලේ ගන්න ඕන එක හේතුවක් මොකක්ද? (ආ) ඔයා වැඩියෙන්ම ආස දෙවියන් හදලා තියෙන මොන දේවල්වලටද?

4 අපි නිර්මාණ දිහා හොඳට බලන්න කාලේ ගන්න ඕනෙ ඇයි? යෙහෝවා දෙවියන් අපිට කියනවා “අහස දෙස බලන්න” කියලා. ඊටපස්සේ ඔහු අහනවා “මේ සියල්ල නිර්මාණය කළේ කවුද” කියලා. (යෙසා. 40:26) අපි ඔහුගේ නිර්මාණ දිහා බලලා ඒ ගැන හොඳට හිතනවාට දෙවියන් කැමතියි කියලා ඒකෙන් පැහැදිලියි. ඇත්තටම අහස විතරක් නෙවෙයි මේ පොළොව, මුහුද දෙවියන්ගේ නිර්මාණවලින් පිරිලා! (ගීතා. 104:24, 25) ඒ හැම දෙයක්ම අපිට යෙහෝවා ගැන මොකක් හරි දෙයක් උගන්වනවා. ටිකක් හිතන්න දෙවියන් අපිව නිර්මාණය කරපු විදිහ ගැන. පරිසරයේ අසිරිය විඳින්න ඔහු අපිට ආසාව විතරක් නෙවෙයි හැකියාවත් දීලා තියෙනවා. පෙනීම, ඇසීම, ස්පර්ශය, රසය සහ ගඳ සුවඳ දැනීම කියන හැකියාවන් ඔහු අපිට දීලා තියෙන්නේ ඔහුගේ නිර්මාණවල විවිධත්වය විඳින්නයි.

5. රෝම 1:20 කියන විදිහට දෙවියන්ගේ නිර්මාණ ගැන හිතන්න කාලේ ගන්න එකෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?

5 දෙවියන්ගේ නිර්මාණ දිහා බලලා ඒවා ගැන හිතන්න ඕනෙ තව හේතුවක් බයිබලේ කියනවා. ඒ තමයි අපිට ඒ දේවලින් ඔහු ගැන, ඔහුගේ ගුණාංග ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙන එක. (රෝම 1:20 කියවන්න.) ඒ නිර්මාණ කොච්චර කලාත්මකද! ඒවා දිහා බලද්දී දෙවියන්ගේ අතිමහත් ප්‍රඥාව ඔයාට පේනවාද? ඒ වගේම එක එක පාටින්, එක එක රසවලින් කීයක් නම් කෑම අපිට තියෙනවාද! ඒ ගැන හිතද්දී දෙවියන්ගේ හිතේ අපිට තියෙන අසීමිත ආදරේ ඔයාට දැනෙනවාද? ඒ විදිහට දෙවියන්ගේ නිර්මාණවලින් ඔහු කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම්ගමු. එතකොට අපි ඔහුට තව තවත් ළං වෙනවා. දැන් අපි බලමු මිනිස්සුන්ට වැදගත් පාඩම් කියලා දෙන්න දෙවියන් නිර්මාණ පාවිච්චි කළේ කොහොමද කියලා.

දෙවියන් උගන්වන්න නිර්මාණ පාවිච්චි කළා

6. සංක්‍රමණික කුරුල්ලෝ දිහා බලලා අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 දෙවියන් හැම දේටම කාලයක් වෙන් කරලා තියෙනවා. හැම අවුරුද්දකම පෙබරවාරි මාසේ අග හරියේ ඉඳලා මැයි මාසේ මැද හරිය වෙන කල් ඊශ්‍රායෙල් දේශයට ඉහළින් මානකොක්කු පියාඹගෙන යන එක සුලබ දසුනක්. සැරයක් දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා “සංක්‍රමණය කළ යුත්තේ කුමන කාලයේද කියා මානකොකා හරියටම දනී” කියලා. (යෙරෙ. 8:7) ඒකෙන් පැහැදිලි වෙනවා මානකොකාට සංක්‍රමණය කරන්නත් දෙවියන් කාලයක් නියම කරලා තියෙනවා කියලා. මොකක්ද අපි ඉගෙනගන්නේ? යෙහෝවා හැම දේටම කාලයක් නියම කරන දෙවි කෙනෙක්. ඒ නිසා ඔහු විනිශ්චය දවසටත් කාලයක් නියම කරලා තියෙනවා. ඉතින් ඔයාට ආයෙත් සංක්‍රමණික කුරුල්ලෙක් දකින්න ලැබුණොත් මේ දුෂ්ට ලෝකේ විනාශ කරන්න දෙවියන් “නියමිත කාලයක්” වෙන් කරලා තියෙනවා කියලා මතක් කරගන්න.—හබ. 2:3.

7. කුරුල්ලෙක් පියාඹන විදිහ දිහා බලලා අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (යෙසායා 40:31)

7 දෙවියන් ඔහුගේ සෙනඟව ශක්තිමත් කරනවා. අධෛර්යය වෙලා, දුර්වල වෙලා ඉන්න ඔහුගේ සෙනඟට සවිය වැඩි කරගෙන “රාජාලීන් වගේ ඉහළටම පියාඹන්න” ශක්තිය දෙනවා කියලා යෙහෝවා දෙවියන් යෙසායා මාර්ගයෙන් පොරොන්දු වුණා. (යෙසායා 40:31 කියවන්න.) රාජාලීන් ඒ හැටි මහන්සියක් ගන්නේ නැතුව වායු ධාරාවල උදව්වෙන් අහසේ ඉහළටම නඟින විදිහ ඊශ්‍රායෙල්වරුන් නිතර දෙවේලේ දැක්කා. රාජාලීන්ට ඒ විදිහට පියාඹන්න ශක්තිය දුන්නේ කවුද? එහෙමනම් ඔහුගේ සෙනඟට දෙවියන් ශක්තිය නොදී ඉඳියිද? ඉතින් රාජාලියෙක් අත්තටු විහිදගෙන අහසේ ඉහළට ඉහළට පියඹගෙන යනවා දැක්කොත් ඔයා ප්‍රශ්න නිසා පහතට වැටිලා ඉද්දී ඒ ප්‍රශ්නවලින් උඩට එන්න ඔයාට ශක්තිය දෙන්නත් දෙවියන්ට පුළුවන් කියලා මතක් කරගන්න.

8. දෙවියන්ගේ නිර්මාණ දිහා බලලා යෝබ් තේරුම්ගත්තේ මොනවාද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

8 බය නැතුව යෙහෝවා දෙවියන්ව විශ්වාස කරන්න පුළුවන්. දෙවියන් යෝබ්ගේ විශ්වාසය ශක්තිමත් කරන්න නිර්මාණ පාවිච්චි කළා. (යෝබ් 32:2; 40:6-8) තරු, වලාකුළු, අකුණු වගේම කුළු හරකා, අශ්වයා වගේ සත්තු ගැනත් ඔහු යෝබ් එක්ක කතා කළා. (යෝබ් 38:32-35; 39:9, 19, 20) ඒ හැම දේකින්ම දෙවියන් ඔහුගේ අසීමිත බලය ගැන විතරක් නෙවෙයි ඉමක් කොනක් නැති ඔහුගේ ආදරය සහ ප්‍රඥාව ගැනත් මතක් කළා. දෙවියන් කියපු දේවල් ඇහුවාට පස්සේ යෝබ්ගේ විශ්වාසය වෙන කවදාටත් වඩා ශක්තිමත් වුණා. (යෝබ් 42:1-6) දෙවියන්ගේ නිර්මාණ ගැන හොඳට අධ්‍යයනය කරද්දී ඔහුගේ ප්‍රඥාවට, බලයට සීමාවක් නැහැ කියන එක අපිටත් තේරෙයි. අපි මුහුණ දෙන ඕනම ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඔහුට බලය තියෙනවා විතරක් නෙවෙයි ඔහු ළඟදීම ඒක කරනවා. ඒ ගැන හිතද්දී අපිට ඔහු ගැන තියෙන විශ්වාසය තව වැඩි වෙන්නේ නැද්ද?

යේසුස් උගන්වන්න නිර්මාණ පාවිච්චි කළා

9-10. අව්ව සහ වැස්ස යෙහෝවා දෙවියන් ගැන අපිට උගන්වන්නේ මොනවාද?

9 යෙහෝවා දෙවියන් විශ්වය නිර්මාණය කරද්දී යේසුස් ඔහුගේ “ප්‍රධාන සේවකයා” විදිහට වැඩ කළා. (හිතෝ. 8:30) ඒ නිසා පරිසරය ගැන, සත්තු ගැන අකුරක් නෑර හැම දෙයක්ම යේසුස් දන්නවා. යේසුස් පොළොවට ආවමත් ඒ නිර්මාණ පාවිච්චි කරලා ගෝලයන්ට ඔහුගේ තාත්තා ගැන ඉගැන්නුවා. ඔහු උගන්නපු දේවල් කීපයක් දැන් අපි බලමු.

10 යෙහෝවා හැමෝටම එක වගේ ආදරේ කරනවා. මිනිස්සු නිතරම දකින දේවල් දෙකක් ගැන යේසුස් කන්ද උඩ දේශනාවේදී කතා කළා. ඒ අව්ව සහ වැස්ස. මිනිස්සු නම් ඒ දේවල් ගැන එච්චර ලොකුවට හිතන්නේ නැහැ. හැබැයි ඒ දෙකම අපේ ජීවිතේට නැතුවම බැරි දේවල් දෙකක්. ඕනෙ නම් දෙවියන්ට තිබුණා ඔහුට අකීකරු වෙන අයට අව්ව, වැස්ස නොදී ඉන්න. හැබැයි එහෙම කරනවා වෙනුවට ඔහු හැමෝටම එක වගේ ආදරේ පෙන්නනවා. (මතෙ. 5:43-45) යේසුස් ඒ උදාහරණ පාවිච්චි කළේ අපිත් හැමෝටම එක වගේ ආදරේ කරනවාට දෙවියන් කැමතියි කියන පාඩම උගන්වන්න. ඉතින් ඔයා ආයෙත් රන්වන් පාටින් ඉර බැහැගෙන යන දර්ශනයක් දකිද්දී, හිරි පොද වැස්සකට තෙමෙද්දී යෙහෝවාගේ ආදරේ මතක් කරගන්න. මොකද ඒක ඔයාව පොලඹවයි හැමෝටම ශුභාරංචිය කියලා යෙහෝවා වගේ ආදරේ පෙන්නන්න.

11. කුරුල්ලෝ ගැන හිතන එක අපිට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

11 යෙහෝවා දෙවියන් අපිට අවශ්‍ය දේවල් දෙනවා. කන්ද උඩ දේශනයේදී යේසුස් මෙහෙමත් කිව්වා. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා.” ඊටපස්සේ ඔහු කිව්වා “ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද” කියලා. (මතෙ. 6:26) සමහරවිට යේසුස් එහෙම කියද්දීත් එතනින් කුරුල්ලෝ පියාඹගෙන යන්න ඇති. අපිට අවශ්‍ය හැම දෙයක්ම දෙවියන් දෙනවා කියලා සහතික කරන්න යේසුස් පාවිච්චි කළේ කොච්චර හොඳ උදාහරණයක්ද! (මතෙ. 6:31, 32) යේසුස් ඒ කියලා දීපු පාඩම අද ඉන්න අපිටත් ලොකු දිරිගැන්වීමක්. ඒක තේරුම්ගන්න අද්දැකීමක් බලමු. ස්පාඤ්ඤයේ ඉන්න එක තරුණ පුරෝගාමි සහෝදරියකට ඉන්න හිටින්න හරිහමන් තැනක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා එයා ගොඩක් අධෛර්යය වෙලයි හිටියේ. හැබැයි දවසක් කුරුල්ලෝ ගස්වල පලතුරු කන විදිහ බලන් ඉද්දී එයාට යේසුස් කියපු දේ මතක් වුණා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා කුරුල්ලන්ව බලාගන්නවා නම් ඔහු මාව අත්හරියිද කියලා මට හිතුණා.” වැඩි දවසක් ගියේ නැහැ එයාට හොඳ තැනක් හම්බ වුණා.

12. මතෙව් 10:29-31 කියන විදිහට දෙවියන් ගැන ගේකුරුල්ලන් අපිට උගන්වන්නේ මොකක්ද?

12 අපි එක් එක් කෙනාව යෙහෝවාට ගොඩක් වටිනවා. ගෝලයන්ව දේශනා සේවේට පිටත් කරන්න කලින් විරුද්ධවාදිකම්වලට තියෙන බය නැති කරගන්න යේසුස් එයාලට උදව් කළා. (මතෙව් 10:29-31 කියවන්න.) ඔහු ඒක කළේ ඊශ්‍රායෙල් දේශය පුරාම හිටපු පුංචි කුරුල්ලෙක්ව පාවිච්චි කරලා. ඒ තමයි ගේකුරුල්ලා. ඒ කාලේ කවුරුත් උන්ව ගණන් ගත්තේ නැහැ. හැබැයි යේසුස් කිව්වා “උන්ගෙන් එකෙක් බිමට ආවත් ඒ බව පියාණන් දන්නවා” කියලා. ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. “ඔබ ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද?” යේසුස් ඒකෙන් ගෝලයන්ට ඉගැන්නුවා යෙහෝවාට එයාලා එක් එක් කෙනාව ගොඩක් වටිනවා කියලා. ඒ නිසා එයාලා විරුද්ධවාදිකම්වලට බය වෙන්න ඕනෙ නැහැ. ඉතින් ගෝලයෝ ගමෙන් ගමට සේවේ යද්දී ගේකුරුල්ලන්ව දකින හැම වතාවකම යේසුස් කියපු ඒ වචන එයාලට මතක් වෙන්න ඇති. ඔයාත් ආයේ ඒ වගේ පුංචි කුරුල්ලෙක්ව දැක්කොත් ‘කුරුල්ලන් බොහෝදෙනෙක්ට වඩා ඔයාවත් යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා’ කියලා මතක් කරගන්න. ඔහුගේ උදව්වෙන් ඕනම පීඩාවක්, ඕනම විරුද්ධවාදිකමක් ජය ගන්න ඔයාට පුළුවන්.—ගීතා. 118:6.

නිර්මාණවලින් දිගටම දෙවියන් ගැන ඉගෙනගන්න

13. නිර්මාණවලින් ඉගෙනගන්න අපි කරන්න ඕනෙ මොනවාද?

13 නිර්මාණවලින් අපිට යෙහෝවා දෙවියන් ගැන තවත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ කොහොමද? ඒකට අපි කරන්න ඕනෙ මොනවාද? මුලින්ම අපි ඒ නිර්මාණ දිහා හොඳට බලන්න කාලේ ගන්න ඕනේ. ඊළඟට ඒකෙන් දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හොඳට හිතන්න ඕනේ. ඒත් ඒක කරන එක හිතන තරම් ලේසි නැති වෙන්න පුළුවන්. කැමරූන්වල ඉන්න සහෝදරි ජෙරල්ඩීන් කියන දේ බලන්න. “මං හැදුණේ වැඩුණේ නගරබද පැත්තක. ඒ නිසා යෙහෝවාගේ නිර්මාණ දිහා බලන්න මං ලොකු මහන්සියක් ගන්න ඕනෙ කියලා මට තේරුණා.” වැඩිමහල්ලෙක් වන අල්ෆොන්සෝ කියන දේ බලන්න. “තනියම ඉඳලා යෙහෝවාගේ නිර්මාණ බලන්න, ඒවායෙන් ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්න වෙලාවක් වෙන් කරගන්න එක කොච්චර වැදගත්ද කියලා මං ඉගෙනගත්තා.”

දාවිත් නිර්මාණ දිහා බලලා ඒකෙන් දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා කල්පනා කළා (14 ඡේදය බලන්න)

14. දෙවියන්ගේ නිර්මාණ ගැන හිතපු එකෙන් දාවිත් ඉගෙනගත්තේ මොනවාද?

14 දෙවියන්ගේ නිර්මාණ ගැන දාවිත් ගොඩක් ගැඹුරින් හිතුවා. ඔහු යෙහෝවාට මෙහෙම කිව්වා. “ඔබේ දෑත්වලින් නිම කළ අහස්තලය දෙසද ඔබ සෑදූ සඳ හා තාරකා දෙසද මා බලන විට ඔබ මිනිසාව සිහි කිරීමට තරම් ඔහු කවුද?” (ගීතා. 8:3, 4) දාවිත් රෑ අහස දිහා බලාගෙන ඉද්දී මේ විශ්වය කොච්චර පුදුමාකාරද කියලා එයා තේරුම්ගත්තා. ඒත් එයා එතනින් නතර වුණේ නැහැ. ඒ තරු එයාට යෙහෝවා දෙවියන් ගැන උගන්වන්නේ මොනවාද කියන එක ගැන එයා හොඳට හිතුවා. අන්තිමේදී එයාට තේරුණා යෙහෝවා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. තවත් අවස්ථාවන්වලදී කලලයක් විදිහට එයා අම්මාගේ කුසේ වැඩුණ විදිහ ගැන දාවිත් කල්පනා කළා. ඒ දේවල් ගැන හිතන්න හිතන්න දෙවියන්ගේ අසීමිත ප්‍රඥාව ගැන දාවිත්ගේ හිතේ තිබ්බ අගය තවත් වැඩි වුණා.—ගීතා. 139:14-17.

15. දෙවියන්ගේ නිර්මාණවලින් ඔයා ඔහු ගැන ඉගෙනගෙන තියෙන්නේ මොනවාද? (ගීතාවලිය 148:7-10)

15 අපිටත් යෙහෝවා දෙවියන්ගේ නිර්මාණ දකින්න හැතැප්ම ගාණක් දුර ගෙවාගෙන යන්න ඕනෙ නැහැ. අපි පොඩ්ඩක් ඇස් ඇරලා වටපිට බැලුවොත් යෙහෝවාගේ ගුණාංග ඕන තරම් අපිට දකින්න පුළුවන්. උදාහරණෙකට උණුසුම් හිරු කිරණ අපේ මූණට වැටෙද්දී යෙහෝවාට කොච්චර බලයක් තියෙනවාද කියලා අපිට මතක් වෙන්නේ නැද්ද? (යෙරෙ. 31:35) කුරුල්ලෙක් පුංචි කුරුලු කූඩුවක් හදන විදිහ දකිද්දී දෙවියන් කොච්චර ප්‍රඥාවන්තද කියලා හිතෙන්නේ නැද්ද? චූටි බලු කුක්කෙක් උගේ නැට්ට අල්ලන්න වටේ කැරකෙද්දී යෙහෝවා අපිව සතුටින් තියන්න කැමති කෙනෙක් කියලා දැනෙන්නේ නැද්ද? අම්මා කෙනෙක් පුංචි කිරිකැටියාව හුරතල් කරද්දී යෙහෝවා පෙන්නලා තියෙන ආදරේට ස්තුති කරන්න පෙලඹෙන්නේ නැද්ද? ඔව්, අපිට යෙහෝවා ගැන ඉගෙනගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. ඔහුගේ නිර්මාණ ලොකු වුණත් පොඩි වුණත් ඒවා ළඟ තිබුණත් දුර තිබුණත් ඒ හැම දෙයක්ම ඔහුට ප්‍රශංසා කරනවා.—ගීතාවලිය 148:7-10 කියවන්න.

16. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

16 අපේ දෙවි පියාණන් තරම් බුද්ධිමත්, බලවත්, නිර්මාණශීලී, අපි ගැන සැලකිලිමත් කෙනෙක් තවත් නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් නතර වෙලා දෙවියන්ගේ නිර්මාණ බලන්න, ඒ ගැන හිතන්න කාලේ වෙන් කරගමු. එතකොට ඔහු ගැන තව ගොඩක් දේවල් ඉගෙනගන්න අපිට පුළුවන්. ඒකෙන් අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ට අපි තව තවත් ළං වෙයි. (යාකො. 4:8) ඒත් නිර්මාණ පාවිච්චි කරලා දරුවන්ව යෙහෝවාට ළං කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒ ගැන අපි ලබන සතියේ බලමු.

ගීතිකාව 5 දෙවිගේ පුදුමාකාර ක්‍රියා

a බලවත් සූර්යයා ගැන හිතුවත් සිනිඳුම සිනිඳු මල් පෙත්තක් අතගාලා බැලුවත් ඒ හැම එකක්ම හරිම පුදුමාකාරයි. ඒ දේවල් ගැන හිතද්දී අපිට දෙවියන් ගැන ලොකු ගරුබියක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ වගේ නිර්මාණවලින් ඔහු කොයි වගේ කෙනෙක්ද කියන එක ගැනත් අපිට ගොඩක් දේවල් තේරුම්ගන්න පුළුවන්. ඒත් නිර්මාණ ගැන හොයලා බලන්න, ඒවා රස විඳින්න අපි කාලේ ගන්න ඕනෙ ඇයි? එහෙම කරන එක දෙවියන්ට ළං වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.