Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 35

දිගටම ඉවසන්න

දිගටම ඉවසන්න

“බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.”—කොලො. 3:12.

ගීතිකාව 114 “ඉවසිල්ලෙන් බලා සිටින්න”

මේ ලිපියෙන් a

1. ඉවසීමෙන් වැඩ කරන අයට ඔයා කැමති ඇයි?

 ඉවසීමෙන් වැඩ කරන අයට අපි කවුරුත් ආසයි. මොකද ඒ වගේ කෙනෙක් ප්‍රශ්නයක් ඇති වුණාම ඉක්මනට කේන්ති ගන්නේ නැහැ. අපේ අතින් අඩුපාඩුවක් වුණාම ඒක ලොකු කරගන්නෙත් නැහැ. ඇත්තටම ඒ වගේ අය ගැන අපේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා. මතකද ඔයාට බයිබලේ උගන්නපු කෙනාව? සමහරවිට දෙයක් තේරුම්ගන්න, පිළිගන්න නැත්නම් අදාළ කරගන්න අමාරු වෙද්දී එයා ඔයාට ඉවසීමෙන් උදව් කරපු එක ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් ඇති. ඒ හැම දේටම වඩා යෙහෝවා දෙවියන් අපි ගැන ඉවසන ඉවසිල්ලට අපි කොච්චර නම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—රෝම 2:4.

2. ඉවසන්න අමාරු වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

2 අනිත් අය ඉවසන එකට අපි ගොඩක් ආස වුණත් සමහර වෙලාවට අපිට ඉවසන්න වෙද්දී ඒක හිතන තරම් ලේසි නැහැ. උදාහරණෙකට ඔයාට ගොඩක් පරක්කු වෙලා තියෙන වෙලාවක ලොකු ට්‍රැෆික් එකක හිර වෙනවා කියලා හිතන්න. නැත්තම් කවුරු හරි ඔයා අකමැතිම දෙයක් කරලා ඔයාව කේන්ති ගස්සනවා කියලා හිතන්න. ඒ වගේ වෙලාවට අපිටත් නොදැනීම අපේ ඉවසීමේ කට්ට පනින්න පුළුවන්. අනිත් අතට අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දෙවියන්ගේ දවස එන කල් බලන් ඉඳලා ඉඳලා තවත් නම් ඉවසන්න බැහැ කියලා ඔයාට හිතෙනවා ඇති. ඉතින් ඔයාගේ ඉවසීම තව දියුණු කරගත්තොත් හොඳයි කියලා ඔයාට හිතෙනවාද? ඒකට මේ ලිපිය ඔයාට උදව් වෙයි. මොකද අපි මේ ලිපියෙන් මේ ප්‍රශ්නවලට උත්තර බලනවා. ඉවසීම කියන්නේ මොකක්ද? ඉවසන එක වැදගත් ඇයි? ඉවසීම තව දියුණු කරගන්න උදව් වෙන්නේ මොනවාද?

ඉවසන කෙනෙක් කොයි වගේද?

3. අනිත් අය කේන්ති ගස්සද්දී ඉවසන කෙනෙක් වැඩ කරන්නේ කොහොමද?

3 ඉවසීම කියන ගුණාංගය පෙන්නන්න පුළුවන් පැති හතරක් අපි බලමු. (1) ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් කේන්ති ගන්න ඉක්මන් වෙන්නේ නැහැ. අනිත් අය කේන්ති ගස්සන දෙයක් කරද්දී නැත්නම් පීඩනයක් දැනෙද්දී ඒ වගේ කෙනෙක් පුළුවන් තරම් සන්සුන්ව ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම එයා අනිත් අයට එකට එක කරන්නෙත් නැහැ. “කෝප වීමට ඉක්මන් නොවන” කියන යෙදුම බයිබලේ මුලින්ම සඳහන් වෙන්නේ යෙහෝවා දෙවියන් ගැන කතා කරද්දී. එතන මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නෙමි. යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක් පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙමි.”—නික්. 34:6.

4. බලාගෙන ඉන්න වෙද්දී ඉවසිලිවන්ත කෙනෙක් වැඩ කරන්නේ කොහොමද?

4 (2) ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් සන්සුන්ව බලාගෙන ඉන්නවා. සමහර දේවල් සිද්ධ වෙන්න අපි හිතනවාට වඩා කල් යනවා. ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් ඒ වගේ වෙලාවට කලබල වෙලා වැඩ කරන්නේ නැහැ. ඒ වගේම එයාට පීඩනයක් දැනුණා කියලා හැම පුංචි දේටම කේන්ති ගන්නෙත් නැහැ. (මතෙ. 18:26, 27) ඒ වගේ ඉවසීමෙන් බලන් ඉන්න ඕනෙ වෙලාවල් අපේ ජීවිතේ ඕන තරම් තියෙනවා. උදාහරණෙකට තව කෙනෙක් කතා කරනකොට මැදට පනින්නේ නැතුව අහගෙන ඉන්න අපිට ඉවසීම ඕනේ. (යෝබ් 36:2) අපේ බයිබල් ශිෂ්‍යයෙක් බයිබලේ තියෙන දෙයක් තේරුම්ගන්න, වැරදි පුරුද්දක් අත්හරින්න ටිකක් කල් ගද්දී එයාට උදව් කරන්නත් ඉවසීම තියෙන්නම ඕනේ.

5. ඉවසීම පෙන්නන්න පුළුවන් තව විදිහක් කියන්න.

5 (3) ඉවසිලිවන්ත කෙනෙක් හිතන්නේ බලන්නේ නැතුව දේවල් කරන්නේ නැහැ. ඇත්ත, සමහර දේවල් තියෙනවා බලබල ඉඳලා බැහැ, ඉක්මනටම කරන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් කිසිම සැලැස්මක් නැතුව ඔහේ වැඩක් පටන්ගන්නේ නැහැ. ඒ වගේම ඒක ඉවර කරන්න තියෙන හදිස්සිය නිසා ඉක්මනට ඉක්මනට කරලා දාන්නෙත් නැහැ. ඒ වෙනුවට එයා ප්‍රමාණවත් කාලයක් අරගෙන, වැඩේ හොඳට සැලසුම් කරලා, තියෙන කාලය ඇතුළත ඒක ඉවර කරනවා.

6. ප්‍රශ්න, අභියෝග එද්දී ඉවසිලිවන්ත කෙනෙක් වැඩ කරන්නේ කොහොමද?

6 (4) ඉවසිලිවන්ත කෙනෙක් කන්කෙඳිරි ගාන්නේ නැතුව ප්‍රශ්න දරාගන්නවා. එහෙම බලද්දී ඉවසීම කියන්නෙත් විඳදරාගැනීම ළඟින්ම යන ගුණාංගයක්. ඇත්ත, සමහර ප්‍රශ්නවලට මුහුණ දෙද්දී හිතවත්ම යාළුවෙක් එක්ක දුක කියන එකේ වරදක් නැහැ. හැබැයි ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් හැම තිස්සේම උත්සාහ කරන්නේ ප්‍රශ්න දරාගෙන හැම දේකම හොඳ පැත්ත දකින්න. (කොලො. 1:11) ක්‍රිස්තියානීන් විදිහට අපි ඒ පැති හතරෙන්ම ඉවසීම පෙන්නන්න ඉගෙනගන්න ඕනේ. ඒ ඇයි කියලා අපි දැන් බලමු.

ඉවසන එක එච්චරම වැදගත් ඇයි?

ගොවියෙක් වගේ අපි ඉවසීමෙන් බලන් ඉන්නවා. මොකද යෙහෝවා ඔහුගේ පොරොන්දු හරි වෙලාවේදී ඉටු කරනවා කියලා අපිත් දන්නවා (7 ඡේදය බලන්න)

7. යාකොබ් 5:7, 8 කියන විදිහට ඉවසන එක වැදගත් ඇයි? (පින්තූරයත් බලන්න.)

7 ඉවසීම කියන්නේ ගැලවීම ලබාගන්න නැතුවම බැරි ගුණාංගයක්. අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන් වගේ පොරොන්දුවල ඉටු වීම දකින්න අපිටත් ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. (හෙබ්‍රෙ. 6:11, 12) බයිබලේ අපිව ගොවියෙක්ට සමාන කරනවා. (යාකොබ් 5:7, 8 කියවන්න.) බීජවලින් පලදාවක් ලැබෙන්නේ කවදාද කියලා ගොවියෙක් හරියටම දන්නේ නැහැ. හැබැයි ඒවා හිටවන්න, ඒවාට වතුර දාන්න එයා ගොඩක් මහන්සි වෙනවා. කවදා හරි දවසක එයාගේ මහන්සියට හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා දන්න නිසා එයා දිගටම ඉවසීමෙන් බලන් ඉන්නවා. අපිත් ඒ වගේ. ‘ස්වාමීන් කොයි දවසේ එනවාද කියලා දන්නේ නැති’ වුණත් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන දේවල් අපි දිගටම උද්‍යෝගයෙන් කරනවා. (මතෙ. 24:42) අපිටත් විශ්වාසයි යෙහෝවා දීලා තියෙන පොරොන්දු ඔහු නියම වෙලාවට ඉටු කරනවා කියලා. ඒ නිසයි අපිත් ඉවසීමෙන් බලාගෙන ඉන්නේ. හැබැයි ඉවසීම නැති වුණොත්? එහෙම වුණොත් නම් මීට වඩා බලන් ඉන්න බැහැ කියලා හිතලා අපි සත්‍යයෙනුත් ඈතට විසි වෙලා යයි. ඒ වගේම ටික වෙලාවකට විතරක් ලැබෙන සතුට ගැන හිතලා වැඩ කරන්නත් පෙලඹෙයි. හැබැයි අපි දිගටම ඉවසනවා නම් අවසානය වෙන කල්ම විඳදරාගෙන ඉඳලා ගැලවීම ලබන්න අපිට පුළුවන්.—මීකා 7:7; මතෙ. 24:13.

8. අනිත් අයත් එක්ක පෑහිලා ඉන්න ඉවසීම උදව් වෙන්නේ කොහොමද? (කොලොස්සි 3:12, 13)

8 ඉවසීම කියන්නේ අනිත් අයත් එක්ක පෑහිලා ඉන්න අපිට තියෙන්නම ඕන ගුණාංගයක්. තව කෙනෙක් කතා කරද්දී හොඳට අහගෙන ඉන්න ඒක අපිට උදව් වෙනවා. (යාකො. 1:19) අනික ඉවසීම තියෙන තැන සාමය තියෙනවා. ඒ වගේම ඉවසන කෙනෙක් පීඩනයක් මැද හිටියත් ඔහේ කටට ආපු පළියට දේවල් කියලා අනිත් අයගේ හිත් බිඳින්නේ නැහැ. අනිත් අතට වෙන කෙනෙක් එයාව රිද්දද්දීත් එයා එකට එක කරන්නේ නැහැ. ඒ වෙනුවට ‘අමනාපයක් ඇති වෙන්න සාධාරණ හේතු තිබුණත් එයා ඉවසනවා. හැම වෙලාවෙම මුළු හදවතින්ම සමාව දෙනවා.’—කොලොස්සි 3:12, 13 කියවන්න.

9. තීරණයක් ගන්න වෙද්දී ඉවසීම උදව් වෙන්නේ කොහොමද? (හිතෝපදේශ 21:5)

9 හොඳ තීරණ ගන්නත් ඉවසීම තියෙන්නම ඕනේ. මොකද ඉවසීම නැති කෙනෙක් හැම තිස්සේම හදිස්සියි. එයාට එයාගේ ආසාව ඉටු කරගන්න කල් ඉස්පාසුවක් නැහැ. හැබැයි ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා හොඳම තීරණයට එනවා. (හිතෝපදේශ 21:5 කියවන්න.) උදාහරණෙකට හිතන්න කෙනෙක් ජොබ් එකක් හොයනවා කියලා. ඉවසීමක් නැති වුණොත් එයා නමස්කාරේ දේවල්වලට බාධාවක් වෙන ජොබ් එකකට වුණත් ටක් ගාලා “හා” කියයි. හැබැයි ඉවසීම තියෙනවා නම් එයා “හා” කියන්න කලින් ජොබ් එක කරන තැනට තියෙන දුර, වැඩ කරන පැය ගාණ, පවුලේ අයටයි නමස්කාරේ දේවල්වලටයි ඒක බලපාන විදිහ ගැන හොඳට හිතනවා. ඒ විදිහට ඉවසීමෙන් වැඩ කරද්දී හුඟක් වෙලාවට වැරදි තීරණයක් ගන්න තියෙන ඉඩකඩත් අඩුයි.

ඉවසීම තව වැඩි කරගන්නේ කොහොමද?

10. ඉවසීම ඇති කරගෙන ඒක දිගටම පෙන්නන්න පුළුවන් කොහොමද?

10 යාච්ඤා කරලා ඉවසීම වැඩි කරගන්න උදව් ඉල්ලන්න. ඉවසීම කියන්නේ දෙවිගේ බලයෙන් ඇති වෙන ගුණාංගයක්. (ගලා. 5:22, 23) ඒ නිසා ඒ ගුණාංගය ඇති කරගෙන ඒක දිගටම වර්ධනය කරගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. විශේෂයෙන්ම ඉවසන්න ගොඩක් අමාරුයි කියලා හිතෙද්දී ඒ දේ දිගටම කරන්න. (ලූක් 11:9, 13) ඒ වගේම, දේවල් දිහා යෙහෝවා බලන විදිහට බලන්නත් උදව් ඉල්ලන්න. ඒත් උදව් ඉල්ලුවාට විතරක් මදි. හැම දවසකම ඉවසීමෙන් වැඩ කරන්න ඔයාගේ පැත්තෙන් උපරිමය කරන්නත් ඕනේ. ඒ විදිහට ඔයා ඒ ගැන යාච්ඤා කරන තරමට, ඉවසන්න මහන්සි වෙන තරමට ඒ ගුණාංගය ඔයාගේ හදවතේ මුල් අදියි. එතකොට යෙහෝවාගේ උදව්වෙන් කලින්ටත් වඩා ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්.

11-12. යෙහෝවා දෙවියන් ඉවසීම පෙන්නලා තියෙන්නේ කොහොමද?

11 බයිබල් ආදර්ශ ගැන ගැඹුරින් හිතන්න. ඉවසීමෙන් වැඩ කරපු හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. ඒ අය ගැන කියවලා හොඳට හිතද්දී ඉවසීම පෙන්නන්න පුළුවන් තව හුඟක් පැති ඉගෙනගන්න අපිට පුළුවන්. හැබැයි ඒ අය ගැන බලන්න කලින් අපි ඉවසීම ගැන අපිට ඉන්න ශ්‍රේෂ්ඨතම ආදර්ශය ගැන බලමු. ඒ තමයි යෙහෝවාගේ ආදර්ශය.

12 ඒදන් උයනේදී යෙහෝවා දෙවියන්ගේ නමට සාතන් මඩ ගැහුවා. දෙවියන් පාලනය කරන විදිහ ඇත්තටම සාධාරණයිද කියන එක ගැන සැකයක් ඇති කළා. හැබැයි යෙහෝවා හදිස්සි වෙලා ඒ වෙලාවෙම සාතන්ව විනාශ කළේ නැහැ. ඔහු ගොඩක් ඉවසුවා, තමන්වම පාලනය කරගත්තා. මොකද දෙවියන් දන්නවා ඔහු තමයි හොඳම පාලකයා කියලා ඔප්පු කරන්න කාලේ ගත වෙනවා කියලා. එදා ඉඳලා අද වෙන කල් යෙහෝවා දෙවියන් ඔහුගේ නමට ඇති වෙලා තියෙන හැම නින්දාවක්ම, හැම අපහාසයක්ම දරාගෙන තියෙනවා. ඊට අමතරව ඔහුගේ ඉවසීමට තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි ඔහු දන්නවා ඔහුගේ ඉවසීම නිසා හුඟදෙනෙක්ට සදාකාල ජීවිතය ලබාගන්න අවස්ථාව ලැබෙනවා කියලා. (2 පේතෘ. 3:9, 15) ඔහුගේ ඉවසීම නිසයි මිලියන ගාණක් දෙනාට ඔහුව අඳුරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි යෙහෝවාගේ ඉවසීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතනවා නම් දෙවියන්ගේ දවස එන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න අපිටත් ලේසියි.

ඉවසන කෙනෙක් ඉක්මන්ට කේන්ති ගන්නේ නැහැ (13 ඡේදය බලන්න)

13. යේසුස්, දෙවියන්ව ආදර්ශයට ගත්තේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

13 යේසුත් යෙහෝවා දෙවියන් වගේම ඉවසීමෙන් වැඩ කළා. ඒක ඔහු මේ පොළොවේ ඉද්දී වැඩ කරපු විදිහෙන් පේනවා. හැම වෙලාවෙම ඉවසීමෙන් වැඩ කරන එක යේසුස්ටත් ලේසි වුණේ නැහැ. විශේෂයෙන්ම කුහක නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් එක්ක වැඩ කරද්දී. (යොහ. 8:25-27) හැබැයි යේසුස් යෙහෝවා දෙවියන් වගේම කේන්ති ගන්න ඉක්මන් වුණේ නැහැ. ඔහුව කේන්ති ගස්සද්දී, ඔහුට නින්දා අපහාස කරද්දී ඔහු එකට එක කරන්න ගියෙත් නැහැ. (1 පේතෘ. 2:23) මොන පීඩාවට මුහුණ දෙන්න වුණත් යේසුස් වචනයක්වත් කියන්නේ නැතුව ඒ හැම දේම දරාගත්තා. ඒ නිසයි බයිබලේ මෙහෙම කියන්නේ. “එම තැනැත්තා ගැන හොඳින් කල්පනා කර බලන්න. පව්කාරයන් තමන්ටම බොහෝ හානි සිදු කරමින් ඔහුට විරුද්ධව බොහෝ දේවල් පැවසුවත් ඔහු ඒ සියල්ල විඳදරාගත්තේය.” (හෙබ්‍රෙ. 12:2, 3) යෙහෝවාගේ උදව්වෙන් ඕනම පීඩාවක් ඉවසීමෙන් දරාගන්න යේසුස්ට පුළුවන් වුණා නම් අපිට බැරිද?

ආබ්‍රහම් වගේ අපිත් ඉවසනවා නම් යෙහෝවා දැන් විතරක් නෙවෙයි අනාගතේදී මීටත් වඩා ආශීර්වාද කරනවා කියලා අපිට විශ්වාසයි (14 ඡේදය බලන්න)

14. ආබ්‍රහම් ඉවසපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (හෙබ්‍රෙව් 6:15) (පින්තූරයත් බලන්න.)

14 දෙවියන්ගේ දවස එන කල් බලන් ඉඳලා ඉඳලා දැන් නම් ඇති කියලා ඔයාට හිතෙනවාද? එහෙම නැත්නම් මැරෙන්න කලින් ඒ දවස බලාගන්න පුළුවන් වෙයිද කියලා හිතලා ඔයාගේ හිතට පුංචි දුකක් දැනෙනවාද? එහෙමනම් ආබ්‍රහම්ගේ ආදර්ශය ඔයාට උදව් වෙයි. යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට පොරොන්දු වුණා “මම ඔබට ආශීර්වාද කර ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි” කියලා. (උත්. 12:1-4) ඒ පොරොන්දුව දෙද්දී ආබ්‍රහම්ට වයස 75යි. අනික ඒ වෙද්දී එයාට ළමයි හිටියෙත් නැහැ. ඉතින් ඒ පොරොන්දුව ඉටු වෙන විදිහ ආබ්‍රහම් දැක්කාද? දැක්කා, හැබැයි සම්පූර්ණයෙන්ම නෙවෙයි. මොකද ආශ්චර්යවත් විදිහට ඊසාක් ඉපදෙන කල් යුප්‍රටීස් ගඟෙන් එගොඩ වෙලත් එයාට තව අවුරුදු 25ක් බලන් ඉන්න වුණා. එයාගේ මුනුපුරන් වන ඒසව් සහ යාකොබ් ඉපදුණේ ඊටත් අවුරුදු 60කට පස්සේ. (හෙබ්‍රෙව් 6:15 කියවන්න.) ඉතින් ආබ්‍රහම්ගෙන් පැවතෙන අය විශාල ජාතියක් වෙලා පොරොන්දු දේශය අත් කරගන්න විදිහ ඇස් දෙකෙන්ම බලාගන්න ආබ්‍රහම්ට බැරි වුණා. හැබැයි යෙහෝවා එක්ක තිබ්බ බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න එයාට ඒක බාධාවක් වුණේ නැහැ. (යාකො. 2:23) හිතන්න, ආබ්‍රහම් නැවත නැඟිටලා එද්දී එයාගේ ඉවසීම සහ විශ්වාසය නිසා සියලුම ජාතීන් ආශීර්වාද ලැබුවා කියලා දැනගත්තාම එයාට කොහොම දැනෙයිද! (උත්. 22:18) මොනවාද අපි ආබ්‍රහම්ගෙන් ඉගෙනගන්නේ? සමහරවිට යෙහෝවා දීලා තියෙන හැම පොරොන්දුවක්ම ඉටු වෙන විදහ අපේ ජීවිත කාලේදීම දැකගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ආබ්‍රහම් වගේ දිගටම ඉවසනවා නම් දැන් විතරක් නෙවෙයි අනාගතේදීත් යෙහෝවා ආශීර්වාද කරන විදිහ ඇස් දෙකෙන්ම බලාගන්න අපිට පුළුවන් වෙයි.—මාක් 10:29, 30.

15. පෞද්ගලික අධ්‍යයනයට අපිට කරන්න පුළුවන් මොනවාද?

15 ඉවසීමෙන් වැඩ කරපු තව හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. (යාකො. 5:10) ඒ වගේ අය ගැන පෞද්ගලික අධ්‍යයනයේදී ටිකක් හොයලා බැලුවොත් නරකද? b උදාහරණෙකට ඔයාට පුළුවන් දාවිත් ගැන අධ්‍යයනය කරන්න. එයා ඊශ්‍රායෙලයේ අනාගත රජ විදිහට අභිෂේක ලැබුවේ ගොඩක් පුංචි වයසේදී. හැබැයි රජකම ලැබෙන කල් එයාට අවුරුදු ගාණක් ඉවසීමෙන් බලන් ඉන්න වුණා. ඔයාට සිමියොන් සහ ආනා ගැනත් අධ්‍යයනය කරන්න පුළුවන්. එයාලා යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවේ කරන අතරේ ගැලවුම්කරු එන කල් අවුරුදු ගාණක් ඉවසීමෙන් බලන් හිටියා. (ලූක් 2:25, 36-38) ඒ වගේ අය ගැන අධ්‍යයනය කරද්දී මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘ඉවසීමෙන් වැඩ කරන්න එයාට උදව් වුණේ මොනවාද? එයා ඒකෙන් ප්‍රයෝජන ලැබුවේ කොහොමද? එයාව ආදර්ශයට ගන්න මට පුළුවන් කොහොමද?’ ඉවසපු අයගෙන් විතරක් නෙවෙයි ඉවසපු නැති අයගෙනුත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා. (1 සාමු. 13:8-14) ඒ වගේ අය ගැන අධ්‍යයනය කරද්දී මෙහෙම හිතන්න. ‘එයාට ඒ වෙලාවේ ඉවසන්න බැරි වුණේ ඇයි? ඒ නිසා අන්තිමේදී වුණේ මොනවාද?’

16. ඉවසද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

16 ඉවසද්දී ලැබෙන ප්‍රයෝජන ගැන හිතන්න. ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් ඉන්නේ සතුටින්. ඒ වගේම එයා හරිම සන්සුන්. ඉවසීමෙන් වැඩ කරන එක අපේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයටත් බලපානවා. ඉවසීමට පුළුවන් අපි අතර තියෙන බැඳීම් ශක්තිමත් කරන්න, සභාවක් එක්සත් කරන්න. කෙනෙක් ඔයාව කේන්ති ගස්සන දෙයක් කරද්දී කේන්ති ගන්න ඉක්මන් වෙන්නේ නැතුව දිගටම ඉවසන්න. එතකොට නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන තැනට වැටෙන්නේ නැහැ. (ගීතා. 37:8; හිතෝ. 14:29) හැබැයි ඒ හැම දේටම වඩා අපි ඉවසීමෙන් වැඩ කරද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්ව. ඒකෙන් අපි ඔහුට තවත් ළං වෙනවා.

17. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

17 ඉවසීම කියන්නේ කොච්චර ලස්සන, කොච්චර වටින ගුණාංගයක්ද! ඇත්ත, හැම වෙලාවෙම ඉවසන එක ලේසි නැහැ. හැබැයි යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් අපිට දිගටම ඉවසීම වර්ධනය කරගන්න පුළුවන්. අපි එහෙම කරලා දේවරාජ්‍යය එන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා නම් “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති, ඔහු ප්‍රේමය පෙන්වන තෙක් ආශාවෙන් බලා සිටින අය ගැන ඔහු සතුටු වෙනවා” කියලා අපිටත් සහතික වෙන්න පුළුවන්. (ගීතා. 147:11) ඒ නිසා දිගටම ඉවසීම පැලඳගන්න අධිෂ්ඨාන කරගමු. එහෙම කරද්දී ළඟදීම ඉවසීමෙන් සැනසීම ලබාගන්න අපිටත් පුළුවන්.

ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව

a සාතන්ගේ මේ ලෝකේ ඉන්න මිනිස්සු අතරේ ඉවසීම කියන දේ ඇත්තෙම නැති තරම්. හැබැයි බයිබලේ අපිට කියනවා දිගටම ඉවසීමෙන් වැඩ කරන්න කියලා. ඒත් ඉවසන එක එච්චරම වැදගත් ඇයි? ඒක තව වර්ධනය කරගන්න පුළුවන් කොහොමද? ඒ ගැන මේ ලිපියෙන් බලමු.

b ඉවසීමෙන් වැඩ කරපු කීපදෙනෙක් ගැන දැනගන්න ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ “හැඟීම්, ගුණාංග සහ හැසිරීම” කියන විෂය යටතේ “ඉවසීම” කියන කොටස බලන්න.