Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 36

ඕනෙ දේ තියාගෙන ඉතුරු ඒවා විසි කරන්න

ඕනෙ දේ තියාගෙන ඉතුරු ඒවා විසි කරන්න

‘අපට බරක් විය හැකි සෑම දෙයක්ම අහක දමමු. එලෙසම අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු.’—හෙබ්‍රෙ. 12:1.

ගීතිකාව 33 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

මේ ලිපියෙන් a

1. හෙබ්‍රෙව් 12:1 කියන විදිහට ජීවනයට යන මේ රේස් එක දිනන්න අපි මොනවාද කරන්න ඕනේ?

 ක්‍රිස්තියානීන් විදිහට අපි ගත කරන ජීවිතය බයිබලේ රේස් එකකට සමාන කරලා තියෙනවා. මේ රේස් එකෙන් දිනන අයට ලැබෙන කුසලානය තමයි සදාකාල ජීවනය. (2 තිමෝ. 4:7, 8) අපි මේක දිනන්න අපේ පැත්තෙන් උපරිමය කරන්න ඕනේ. මොකද අපි දැන් ඉන්නේ දිනුම් කණුව පේන තෙක් මානෙටම ඇවිල්ලා. අපිට මේ රේස් එක සාර්ථකව ඉවර කරන්න පාවුල්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මොකද පාවුල් මේ රේස් එකේ ජයග්‍රාහකයෙක්! මේක දිනන්න කරන්න ඕන දෙයක් ගැන එයා මෙහෙම කිව්වා. ‘අපට බරක් විය හැකි සෑම දෙයක්ම අහක දමමු. එලෙසම අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු.’—හෙබ්‍රෙව් 12:1 කියවන්න.

2. ‘බරක් විය හැකි සෑම දෙයක්ම අහක දාන්න’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

2 පාවුල් කිව්වා ‘බරක් විය හැකි සෑම දෙයක්ම අහක දාන්න’ කියලා. ඒ කියන්නේ කිසිම බරක් නැතුව ක්‍රිස්තියානීන්ට මේක සැහැල්ලුවෙන් දුවන්න පුළුවන් කියන එකද? නැහැ. පාවුල් අදහස් කළේ ඒක නෙවෙයි. ඒ වෙනුවට එයා කිව්වේ අනවශ්‍ය බර අයින් කරන්න කියලා. මොකද එහෙම කළේ නැත්නම් හොඳටම හෙම්බත් වෙලා අපිට මේ රේස් එක දුවාගන්න බැරි වෙයි. ඒ නිසා පාවුල් කිව්ව ඒ අනවශ්‍ය බර මොකක්ද කියලා තේරුම් අරන් අපි ඉක්මනටම ඒක විසි කරලා දාන්න ඕනේ. හැබැයි උහුලගෙන යන්න ඕන බර විසි කරන්නත් අපිට බැහැ. මොකද එහෙම කළොත් නීතිරීතිවලින් පිට පැන්න නිසා අපිට තරඟයෙන් අයින් වෙන්න වෙයි. (2 තිමෝ. 2:5) ඒත් මොනවාද අපි උහුලගෙන යන්න ඕනෙ බර?

3. (අ) ගලාති 6:5 කියන විදිහට අපි උහුලගෙන යන්න ඕනෙ බර මොකක්ද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද? ඒ ඇයි?

3 ගලාති 6:5 කියවන්න. පාවුල් තේරුම්ගත්තා ක්‍රිස්තියානීන් විදිහට අපි අරගෙන යන්න ඕනෙ බරක් තියෙනවා කියලා. ඒ නිසයි “සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි” කියලා එයා කිව්වේ. පාවුල් එතන කිව්වේ තව කෙනෙක්ට පටවන්නේ නැතුව අපිම ඉටු කරන්න ඕනෙ වගකීම් ගැනයි. මොකද ඒක දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් “තමාට පැවරී ඇති වගකීම” කියද්දී ඒකට ඇතුළත් වෙන්නේ මොනවාද? අපිට ඒක උහුලගෙන යන්න පුළුවන් කොහොමද? මේ රේස් එක දුවද්දී අනවශ්‍ය බර මොනවාද කියලා අඳුරගෙන ඒවා විසි කරන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඕන කරන බර විතරක් තියාගෙන අනවශ්‍ය බර විසි කළොත් අපිට පුළුවන් මේ රේස් එක සාර්ථකව ඉවර කරන්න.

ගෙනියන්නම ඕනෙ බර

අපි අරන් යන්න ඕනෙ බරට මේ දේවල් ඇතුළත්. (1) කැප වෙද්දී වුණ පොරොන්දුව, (2) පවුලේ වගකීම්, (3) අපේ තීරණවල ප්‍රතිඵල (4-9 ඡේද බලන්න)

4. කැප වෙද්දී වුණ පොරොන්දුව දරන්න බැරි බරක් නෙවෙයි කියන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

4 කැප වෙද්දී වුණ පොරොන්දුව. අපි යෙහෝවා දෙවියන්ට කැප වෙද්දී ඔහුට නමස්කාර කරන්න, ඔහුගේ කැමැත්ත කරන්න පොරොන්දු වෙනවා. අපි දිගටම ඒ පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න ඕනේ. ඒ පොරොන්දුව ඉටු කරන එක ලොකු වගකීමක් වුණත් ඒක දරන්න බැරි තරම්ම බරක් නෙවෙයි. මොකද යෙහෝවා අපිව නිර්මාණය කළේ ඔහුගේ කැමැත්ත ඉටු කරන්න ආශාව ඇතුව. (එළි. 4:11) ඒ වගේම තමයි දෙවියන් අපිව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුව. ඔහුට නමස්කාර කරන්න අවශ්‍යතාවයක් ඇතුව. ඒ නිසයි දෙවියන්ට ළං වෙද්දී ඔහුගේ කැමැත්ත කරද්දී අපේ හිත සතුටින් පිරිලා යන්නේ. (ගීතා. 40:8) ඊට අමතරව දෙවියන්ගේ කැමැත්ත කරන එකෙන්, ඔහුගේ පුතාව ආදර්ශයට ගන්න එකෙන් අපිට ‘ලොකු සහනයකුත්’ ලැබෙනවා.—මතෙ. 11:28-30.

(4-5 ඡේද බලන්න)

5. කැප වෙද්දී වුණ පොරොන්දුව ඉටු කරන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද? (1 යොහන් 5:3)

5 බර උහුලන්න පුළුවන් කොහොමද? ඒකට දේවල් දෙකක් උදව් වෙනවා. මුලින්ම යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ වැඩි කරගන්න. ඒකට දෙවියන් ඔයා වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම හොඳට හිතන්න. ඔහු ඔයාට දෙන්න ගබඩා කරගෙන ඉන්න ආශීර්වාද ගැන හිතන්න. ඒ විදිහට ඔයාගේ හිතේ දෙවියන් ගැන තියෙන ආදරේ වැඩි වෙද්දී ඔහුට කීකරු වෙන්නත් ඔයාට ලේසියි. (1 යොහන් 5:3 කියවන්න.) දෙවෙනි දේ තමයි යේසුස්ව ආදර්ශයට ගන්න එක. යේසුස් සාර්ථකව දෙවියන්ගේ කැමැත්ත ඉටු කළා. මොකද ඔහු හැම වෙලේම යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. ඒ වගේම ඔහුට ලැබෙන්න තියෙන තෑග්ග මනසින් බොඳ වෙලා යන්න ඔහු කිසිම දේකට ඉඩ දුන්නෙත් නැහැ. (හෙබ්‍රෙ. 5:7; 12:2) ඔයාටත් පුළුවන් යේසුස් වගේ යාච්ඤා කරලා දෙවියන්ගෙන් ශක්තිය ඉල්ලන්න. ඒ වගේම ඔයාට ලැබෙන්න තියෙන තෑග්ග ගැන නිතරම හිතන්න. ඒ විදිහට ඔයාගේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ වැඩි වෙද්දී, යේසුස්ව වැඩි වැඩියෙන් ආදර්ශයට ගද්දී දෙවියන්ට වුණ පොරොන්දුව රකින්න ඔයාටත් පුළුවන්.

6. අපි පවුලේ වගකීම් ඉටු කරන්න ඕනෙ ඇයි? (පින්තූරයත් බලන්න.)

6 පවුලේ වගකීම්. මේ රේස් එක දුවද්දී අපි අපේ පවුලේ අයට, නෑදෑයන්ට වඩා යෙහෝවා දෙවියන්ට, යේසුස්ට ආදරේ කරන්න ඕනේ. (මතෙ. 10:37) හැබැයි එහෙමයි කියලා කෙනෙක්ට පවුලේ වගකීම්වලින් නිදහස් වෙන්න පුළුවන්ද? බැහැ. මොකද ඒකත් මේ තරඟයේ තියෙන ප්‍රධාන කොන්දේසියක්. අපි ඒ කොන්දේසියට එකඟව තරඟ කරනවා නම් විතරයි දෙවියන් සහ යේසුස් අපිව පිළිගන්නේ. (1 තිමෝ. 5:4, 8) මොකද පවුල කියන සැලැස්ම ඇති කරද්දීම පවුලේ එක එක සාමාජිකයාට දෙවියන් වගකීමක් දුන්නා. උදාහරණෙකට ඔහු කිව්වා සැමියෙක් සහ බිරිඳක් එකිනෙකාට ආදරෙන්, ගෞරවෙන් සලකන්න ඕනෙ කියලා. ඒ වගේම දෙමාපියන් දරුවන්ට ආදරේ කරන්න වගේම එයාලව පුහුණු කරන්න ඕනේ. අනිත් අතට දරුවොත් දෙමාපියන්ට කීකරු වෙන්න ඕනේ. ඒ විදිහට එක් එක් කෙනා තමන්ගේ වගකීම හරියට ඉටු කරද්දී තමයි පුංචි කැදැල්ල සතුටින් පිරුණ තැනක් වෙන්නේ.—එෆී. 5:33; 6:1, 4.

(6-7 ඡේද බලන්න)

7. ඔයාගේ පවුලේ ඔයාට තියෙන වගකීම ඉටු කරන්න පුළුවන් කොහොමද?

7 බර උහුලන්න පුළුවන් කොහොමද? ඔයාගේ පවුලේ ඔයාට තියෙන වගකීම මොකක් වුණත් ඒක ඉටු කරද්දී කවදාවත් ඔයාගේ හැඟීම් මත, සංස්කෘතිය මත, විද්වතුන් කියන දේවල් මත රඳා ඉන්න නම් එපා. ඒ වෙනුවට බයිබලේ තියෙන ප්‍රඥාවට ඇහුම්කන් දෙන්න. (හිතෝ. 24:3, 4) හැම වෙලේම බයිබලේ මත පදනම් අපේ ප්‍රකාශන බලන්න. මොකද බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න උදව් වෙන හොඳ මඟ පෙන්වීම් ඒවායේ තියෙනවා. උදාහරණෙකට “පවුලේ හැමෝටම මඟ පෙන්වීම්” කියන ලිපි මාලාවේ විවාහක යුවළයන්, දෙමාපියන්, යෞවනයන් මුහුණ දෙන ප්‍රශ්න ජය ගන්න කියාපු මඟ පෙන්වීම් තියෙනවා. b පවුලේ අනිත් අය ඒ මඟ පෙන්වීම් සැලකුවේ නැතත් ඔයා දිගටම ඒවාට කීකරු වෙන්න. මොකද ඒකෙන් මුළු පවුලටම ප්‍රයෝජන ලැබෙනවා. ඒ වගේම යෙහෝවාගේ ආශීර්වාදය ලැබෙන නිසා ඔයාටත් සතුටින් ඉන්න පුළුවන්.—1 පේතෘ. 3:1, 2.

8. අපි ගන්න තීරණ අපිට බලපාන්නේ කොහොමද?

8 අපි ගන්න තීරණවල ප්‍රතිඵල. කැමති තීරණයක් ගන්න යෙහෝවා දෙවියන් අපි හැමෝටම නිදහස දීලා තියෙනවා. ඔහු කැමතියි අපි හොඳ තීරණ අරන් ඒකෙන් ප්‍රයෝජන ලබලා සතුටු වෙනවා දකින්න. හැබැයි එහෙමයි කියලා අපි ගන්න වැරදි තීරණවල ප්‍රතිඵලවලින් ඔහු අපිව ආරක්ෂා කරන්නෙත් නැහැ. (ගලා. 6:7, 8) ඒ නිසා අපි ගන්න වැරදි තීරණවල, හිතන්නේ බලන්නේ නැතුව කරන දේවල්වල වගකීම අපිට භාරගන්න සිද්ධ වෙනවා. ඇත්ත, සමහරවිට අපි කරපු වරදක් නිසා අපේ හිත අපිට සෑහෙන්න දොස් කියනවා. හැබැයි කරපු වැරදිවල වගකීම අපි භාරගන්න ඕනෙ කියලා දන්න නිසා අපි පෙලඹෙනවා ඒ වැරදි පිළි අරන්, ඒවා හදාගෙන ආයේ ඒවා නොකර ඉන්න. අපි එහෙම කරනවා නම් ටික කාලෙකට වැටුණත් ආයෙත් නැඟිටලා මේ රේස් එක දුවන්න අපිටත් පුළුවන්.

(8-9 ඡේද බලන්න)

9. වැරදි තීරණයක නරක ප්‍රතිඵල දරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (පින්තූරයත් බලන්න.)

9 බර උහුලන්න පුළුවන් කොහොමද? ගත්ත වැරදි තීරණයක් හරිගස්සන්න බැරි නම් එන විදිහකට මුහුණ දෙන්න. අතීතය වෙනස් කරන්න බැහැ කියලා තේරුම්ගන්න. ඒ නිසා ඒ ගැනම හිතහිත, නිදහසට කරුණු කියකිය කාලේ නාස්ති කරන්න එපා. ඇත්ත, ඒ වැරදි තීරණය ගත්තේ ඔයා තමයි. හැබැයි දැන් ඒ ගැන වධ වෙවී ඔයාටම දොස් කියාගන්න එකෙන්වත් වරද අනිත් අය පිට පටවන එකෙන්වත් තේරුමක් නැහැ. ඒ නිසා කරපු වරද තේරුම් අරන් ඒකට මුහුණ දෙන්න ඔයාගේ පැත්තෙන් උපරිමය කරන්න. කරපු දේ ගැන දිගින් දිගටම ඔයාගේ හිත දොස් කියනවා නම් යාච්ඤාවෙන් ඒ ගැන යෙහෝවාට කියන්න. ඔහුගෙන් සමාව ඉල්ලන්න. (ගීතා. 25:11; 51:3, 4) ඔයා කරපු දේ නිසා හානියක් වුණ අයගෙනුත් සමාව ඉල්ලන්න. ඕනෙ නම් වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්නත් ඔයාට පුළුවන්. (යාකො. 5:14, 15) වැරදුණ තැනින් පාඩමක් ඉගෙනගෙන ඒක ආයේ නොකර ඉන්නත් උත්සාහ කරන්න. එහෙම කරනවා නම් යෙහෝවා දෙවියන් ඔයාට කරුණාව පෙන්නලා මේ බර කරගහගෙන යන්න දිගටම උදව් කරයි.—ගීතා. 103:8-13.

විසි කරන්නම ඕනෙ බර

10. කරන්න බැරි දේවල් ගැනම හිතන එක බරක් වෙන්නේ කොහොමද? (ගලාති 6:4)

10 කරන්න බැරි දේවල් ගැනම හිතන එක. අනිත් අයත් එක්ක අපිව සන්සන්දනය කරද්දී අපි අපෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකත් ලොකු බරක්. (ගලාති 6:4 කියවන්න.) දිගින් දිගටම අපි එහෙම කරද්දී අපේ හිතෙත් ඊර්ෂ්‍යාවක්, තරඟකාරීත්වයක් ඇති වෙයි. (ගලා. 5:26) අනිත් අතට අනිත් අය කරන දේවල්ම කරන්න ගියොත් අපේ හැකියාවන්, සීමාවන් පන්නලා වැඩ කරන්නත් පෙලඹෙයි. ඒකෙන් අපි අපිටම කරගන්නේ ලොකු හානියක්. බයිබලේ කියනවා “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය” කියලා. (හිතෝ. 13:12) එහෙමනම් කවදාවත් කරගන්න බැරි දෙයක් පස්සේ ගියොත් අපි ඊටත් වඩා කොච්චර කලකිරෙයිද! දිගින් දිගටම එහෙම කළොත් අපේ හොඳ පණ ගිහින් ඉතුරු හරිය වේගයෙන් දුවාගන්න අපිට බැරි වෙයි.—හිතෝ. 24:10.

11. කරන්න බැරි දේවල් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

11 බර විසි කරන්නේ කොහොමද? යෙහෝවා දෙවියන් කවදාවත් ඔයාට කරන්න බැරි දෙයක් ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ. (2 කොරි. 8:12) ඒ නිසා ඔහු ඔයාගෙන් බලාපොරොත්තු වෙනවාටත් වඩා වැඩි දේවල් ඔයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වගේම යෙහෝවා කවදාවත් ඔයාව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන්නෙත් නැහැ. (මතෙ. 25:20-23) ඒ වෙනුවට ඔයා ඔයාගේ උපරිමෙන් කරන සේවය, ඔයාගේ විශ්වාසවන්තකම, ඔයාගේ විඳදරාගැනීම තමයි ඔහු අගය කරන්නේ. ඒ නිසා ඔයාගේ වයසට, සෞඛ්‍යයට, ඔයාගේ තත්වයන්ට අනුව ඔයාට කරන්න පුළුවන් මොනවාද, බැරි මොනවාද කියලා අඳුරගන්න. සමහරවිට ඒ වෙනුවෙන් ඔයාට බාසිල්ලයි වගේ සමහර පැවරුම්වලට බැහැ කියන්න සිද්ධ වෙයි. (2 සාමු. 19:35, 36) මෝසෙස් වගේ අනිත් අයගෙන් උදව් ගන්න, පුළුවන් වෙලාවලදී අනිත් අයට වගකීම් පවරන්න සිද්ධ වෙයි. (නික්. 18:21, 22) ඒ විදිහට ඔයා නිහතමානී වෙනවා නම් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙලා රේස් එක දිනන්න බැරි වෙන තරමටම හෙම්බත් වෙන්නේ නැහැ.

12. අනිත් අය ගන්න වැරදි තීරණවලට අපි වගකියන්න ඕනෙද? පැහැදිලි කරන්න.

12 අනිත් අය ගන්න වැරදි තීරණවලට අපි වගකියන්න ඕනෙ කියලා හිතන එක. අනිත් අය වෙනුවෙන් තීරණ ගන්න අපිට බැහැ. ඒ වගේම තමයි අනිත් අය ගන්න වැරදි තීරණවල නරක ප්‍රතිඵල නවත්තන්නත් අපිට බැහැ. උදාහරණෙකට හිතන්න දරුවෙක් දෙවියන්ට නමස්කාර කරන එක නවත්තනවා කියලා. ඒ තීරණය නිසා දෙමාපියන්ට ලොකු දුකක් දැනෙනවා. හැබැයි ඔයාගේ දුව, පුතා ඒ වගේ තීරණයක් ගත්තේ ඔයාගේ වරදින් කියලා හිතලා ඔයාටම දොස් කියාගන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ ඔයා අනවශ්‍ය බරක් කරේ තියාගන්න එකයි. ඒ වගේ දෙයක් යෙහෝවා දෙවියන් කවදාවත් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.—රෝම 14:12.

13. දරුවෙක් වැරදි තීරණයක් ගත්තොත් දෙමාපියන්ට ඒකට මුහුණ දෙන්න පුළුවන් කොහොමද?

13 බර විසි කරන්නේ කොහොමද? යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනාට කැමති තීරණ ගන්න නිදහස දීලා තියෙනවා. ඒකට ඔහුට නමස්කාර කරනවාද, නැද්ද කියන එකත් ඇතුළත්. දෙමාපියෙනි, ඔයාලා හැම දෙයක්ම හරියටම කරයි කියලා යෙහෝවා කවදාවත් ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔයාලාගෙන් ඉල්ලන්නේ ඔයාලාගේ උපරිමය. ඒ නිසා දරුවා ගත්ත තීරණයට වගකියන්න ඕනෙ එයා මිසක් ඔයාලා නෙවෙයි. (හිතෝ. 20:11) එයාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම එයා වපුරපු දේ කපාගන්න. ඒ වුණත් ඔයාලට හිතෙනවා නම් ඔයාලාගේ අතින් අඩුපාඩුවක් වුණා කියලා යෙහෝවාට ඒ ගැන කියලා ඔහුගෙන් සමාව ඉල්ලන්න. ඔහු දන්නවා ආපස්සට ගිහිල්ලා සිද්ධ වෙච්ච දේ හරි ගස්සන්න ඔයාලට බැහැ කියලා. අනිත් අතට දරුවා කරපු වැරදිවලට ප්‍රතිඵල ලැබෙද්දී ඔයාලා ඒකෙන් එයාව බේරගනියි කියලත් යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි දරුවා වැරැද්ද තේරුම් අරන් ආයෙත් එද්දී එයාව ආදරෙන් තුරුලු කරගන්න යෙහෝවා ලෑස්ති පිට ඉන්නවා කියලත් මතක තියාගන්න.—ලූක් 15:18-20.

14. ඕනෑවට වඩා අපිටම දොස් කියාගන්න එක අපි විසි කරන්න ඕනෙ බරක් කියන්නේ ඇයි?

14 ඕනෑවට වඩා අපිටම දොස් කියාගන්න එක. අපි අතින් වරදක් වුණොත් ඒ ගැන අපේ හිත දොස් කියන එක සාමාන්‍යයි. හැබැයි ඕනෑවට වඩා ඒ ගැන හිතහිත අපි දුක් විඳිනවා දකින්න යෙහෝවා පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ නිසයි ඒ බර අපි ඉක්මනටම විසි කරන්න ඕනේ. ඒත් කොහොමද අපි හරියටම දන්නේ අපි ඕනෑවට වඩා වධ වෙනවාද නැද්ද කියලා? හිතන්න, අපි අතින් වරදක් වෙනවා කියලා. අපි ඒක තේරුම් අරන්, පසුතැවිලි වෙලා, ඒ වරදින් අයින් වෙන්න ඕන කරන හැම පියවරක්ම ගන්නවා. ඊටපස්සේ යෙහෝවා දෙවියන් ඒකට සම්පූර්ණෙන්ම සමාව දීලා ඉවරයි කියලා විශ්වාස කරන්න අපිට පුළුවන්. (ක්‍රියා 3:19) හැබැයි ඒ හැම දේම කළාට පස්සෙත් ඒ ගැන ආයෙත් වධ වෙනවාට යෙහෝවා කොහොමටවත් කැමති නැහැ. ඔහු දන්නවා එහෙම කළොත් අපි අපිටම කරගන්නේ ලොකු හානියක් කියලා. (ගීතා. 31:10) ඉතින් අපි ඕනෑවට වඩා අපිටම දොස් කියකිය මානසිකව වැටිලා හිටියොත් අපි කරන්නේ අපිවම තරඟයෙන් අයින් කරගන්නවා වගේ වැඩක්.—2 කොරි. 2:7.

කරපු වරදක් ගැන ඔයා අවංකවම පසුතැවිලි වුණාට පස්සේ යෙහෝවා ඒක ආයේ මතක් කරන්නේ නැහැ. ඒ නිසා ඔයා ඒක ගැන හිතහිත ඉන්න ඕනෙත් නැහැ (15 ඡේදය බලන්න)

15. අපේ හිත ඕනෑවට වඩා දොස් කියනවා නම් ඒකෙන් ගොඩ එන්න උදව් වෙන්නේ මොනවාද? (1 යොහන් 3:19, 20) (පින්තූරයත් බලන්න.)

15 බර විසි කරන්නේ කොහොමද? මොන දේ කළත් ඔයාගේ හිත දිගටම වධ දෙනවා නම් “සැබැවින්ම සමාව දෙන” යෙහෝවා දෙවියන් ගැන හිතන්න. (ගීතා. 130:4) මොකද අවංකවම පසුතැවිලි වෙන කෙනෙක්ට සමාව දුන්නාට පස්සේ “ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි” කියලා යෙහෝවා පොරොන්දු වෙනවා. (යෙරෙ. 31:34) ඒ කියන්නේ යෙහෝවා කවදාවත් ඔයා කරපු වැරදි ඔහුගේ හිතේ කොනක තියාගෙන ඔයාව ටිකෙන් ටික ඈත් කරලා දාන්නේ නැහැ. ඒ නිසා වරදේ ප්‍රතිඵල විඳින්න වෙද්දී එහෙම වෙන්නේ ඔහු ඔයාට සමාව දුන්නේ නැති නිසා කියලා හිතන්න එපා. අනිත් අතට ඔයාගේ අතින් වුණ වරද නිසා කලින් කරපු පැවරුම් කරන්න බැරි වුණොත් ඔයා ඔයාගෙන්ම පළිගන්නත් එපා. මතක තියාගන්න, යෙහෝවා දෙවියන් කවදාවත් ඔයා කරපු වැරදි මතක් කරකර ඉන්නේ නැහැ. යෙහෝවාම එහෙම කරන්නේ නැත්නම් ඔයා මොකටද එහෙම කරන්නේ?—1 යොහන් 3:19, 20 කියවන්න.

දිනන්නම දුවන්න!

16. අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

16 ජීවනයට යන මේ රේස් එකේ තෑග්ග ඔයාට ඕනෙ නම් “ඒක ලබාගන්න පුළුවන් විදිහට දුවන්න.” (1 කොරි. 9:24) ඒකට අපි මේ රේස් එක දුවද්දී ගෙනියන්න ඕනෙ මොනවාද, විසි කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න ඕනේ. ඒක තේරුම්ගන්න උදව් වෙන පැති කීපයක්ම මේ ලිපියේ තිබුණා. හැබැයි මේවාට අමතරව තවත් ගොඩක් පැති බයිබලේ තියෙනවා. උදාහරණෙකට සැරයක් යේසුස් මෙහෙම කිව්වා. “අධික කෑමෙන් හා බීමෙන් නැතහොත් එදිනෙදා ජීවිතයේ ඇති වන කරදර නිසා ඔබේ සිත් බර විය හැකියි.” (ලූක් 21:34) ඒ වගේ බයිබල් පද අපිට උදව් වෙනවා අවශ්‍ය වෙනස්කම් කරගෙන දිගටම මේ රේස් එක දුවන්න.

17. ජීවනයට යන මේ රේස් එක අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් කියන්නේ ඇයි?

17 කිසිම සැකයක් නැහැ මේ රේස් එක දිනන්න අපි හැමෝටම පුළුවන්. මොකද ඒක කරන්න අපේ පිටිපස්සේ ඉඳන් අපිට ශක්තිය දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, යෙහෝවා දෙවියන්! (යෙසා. 40:29-31) ඒ නිසා මොහොතකටවත් වේගය අඩු කරන්න එපා. පාවුල් කියන්නේ එයාගේ සම්පූර්ණ වැර දාලා මේ රේස් එකේ කුසලානය ගත්ත කෙනෙක්. ඒ නිසා එයාව ආදර්ශයට ගන්න. (ෆිලි. 3:13, 14) හැබැයි අමතක කරන්න එපා ඔයා වෙනුවෙන් මේ රේස් එක දුවන්න වෙන කාටවත් බැහැ. ඒත් ගෙනියන්න ඕනෙ බර අඳුරගෙන අනවශ්‍ය බර විසි කරලා දාන්න යෙහෝවා ඔයාට උදව් කරනවා. (ගීතා. 68:19) ඒ විදිහට යෙහෝවා ඔයාගේ හෙවණැල්ල වගේ ඔයා ළඟින්ම ඉන්න නිසා දිගටම විඳදරාගෙන දිනුම් කණුව පහු කරන්න ඔයාටත් පුළුවන්.

ගීතිකාව 65 දියුණු වන්න

a ජීවනයට යන මේ රේස් එකේ තරඟකරුවන් විදිහට සමහර බර උහුලගෙන යන්න අපිට සිද්ධ වෙනවා. ඒ දේවල්වලට අපි කැප වෙද්දී වුණ පොරොන්දුව, පවුලේ වගකීම් සහ අපි ගන්න තීරණවල ප්‍රතිඵල ඇතුළත්. හැබැයි මේ තරඟයේදී අපි අයින් කරන්න ඕනෙ දේවලුත් තියෙනවා. මොකද එහෙම කළේ නැත්නම් අපේ වේගය අඩු වෙන්න පුළුවන්. ඒත් මොනවාද අපි අයින් කරන්න ඕනෙ දේවල්? මේ ලිපියෙන් ඒකට උත්තරේ දැනගමු.

bපවුලේ හැමෝටම මඟ පෙන්වීම්” කියන ලිපි මාලාව jw.org වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්. ඒ ලිපි මාලාවේ විවාහක යුවළයන් වෙනුවෙන් “ගෞරවය පෙන්නන්න” සහ “ඔයා සහකරුව අගය කරනවාද?” වගේ ලිපිත් දෙමාපියන් වෙනුවෙන් “ස්මාට් ෆෝන් එකක් හරි විදිහට පාවිච්චි කරන්න දරුවාට කියලා දෙන්න” සහ “නව යොවුන් දරුවත් එක්ක අදහස් හුවමාරු කරන්නේ කොහොමද?” වගේ ලිපිත් යෞවනයන් වෙනුවෙන් “යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?” සහ “ඔයාටත් තනිකමක් දැනෙනවාද?” වගේ ලිපිත් තියෙනවා.