Skip to content

පටුනට යන්න

සියවසකට පෙර - 1923

සියවසකට පෙර - 1923

“1923 බයිබල් ශිෂ්‍යයන්ට හරිම විශේෂ අවුරුද්දක් වෙයි කියලා අපිට විශ්වාසයි.” එහෙම කියලා තිබුණේ 1923 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ. ඒකේ මෙහෙමත් තිබුණා. “ළඟ ළඟම එන හොඳ කාලය ගැන පීඩාවට පත් වෙලා ඉන්න අසරණ මිනිස්සුන්ට දේශනා කරන්න ලැබිලා තියෙන එක අපිට ලැබුණ වරප්‍රසාදයක්.” ඒ සඟරාවේ කිව්වා වගේම 1923 විශේෂ අවුරුද්දක් වුණා. මොකද ඒ අවුරුද්ද ඇතුළත රැස්වීම්වල, සමුළුවල සහ දේශනා සේවයේ ලොකු වෙනසක් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සහෝදර සහෝදරියන් අතර තිබුණ එක්සත්කමත් තව තවත් වැඩි වුණා.

එක්සත් කරවන රැස්වීම්

බයිබල් පද සහ ගීතිකා අංක ඇතුළත් කැලැන්ඩරයක්

බයිබල් ශිෂ්‍යයන් ඒ කාලේ වෙද්දී “යාච්ඤාවේ සහ ප්‍රශංසාවේ රැස්වීම” කියලා රැස්වීමක් පැවැත්වුවා. ඒ රැස්වීමේදී සාකච්ඡා කරන බයිබල් පද ගැන 1923 ඉඳලා ‘මුරටැඹ’ සඟරාවේ අදහස් පළ කරන්න පටන්ගත්තා. ඊට අමතරව බයිබල් ශිෂ්‍යයන් කැලැන්ඩරයකුත් මුද්‍රණය කළා. ඒකේ හැම සතියකටම බයිබල් පදයක් සහ පෞද්ගලික අධ්‍යයනයේදී නැත්නම් පවුලේ නමස්කාරයේදී කියන්න ගීතිකාවක් සඳහන් වුණා.

බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලදී කෙනෙක්ට සේවේදී ලැබුණ අද්දැකීමක් ගැන, දෙවියන්ට ප්‍රශංසා කරන්න තියෙන හේතුවක් ගැන සාක්ෂියක් දෙන්න අවස්ථාව ලැබුණා. කැමති නම් ඒ වෙලාවේදී ගීතිකාවක් කියන්න හරි යාච්ඤාවක් කරන්න හරි පුළුවන්. ඊවා බානි කියන්නේ 1923දී බව්තීස්ම වුණ සහෝදරියක්. එතකොට එයාට වයස 15යි. එයා මෙහෙම කියනවා. “ඔයාත් ඒ වගේ සාක්ෂියක් දෙන්න කැමති නං ඔයාට කරන්න තියෙන්නේ නැඟිටලා ‘මං වෙනුවෙන් පෙන්නලා තියෙන අතිමහත් කරුණාව ගැන මං ස්වාමීන්ට ස්තුති කරන්න කැමතියි’ කියලා ඔයාගේ අද්දැකීම කියන්න පටන්ගන්න එකයි.” සමහර සහෝදරයෝ නම් ඒ වගේ සාක්ෂියක් දෙන්න හරිම ආසයි. සහෝදරි බානි ඒ ගැන මෙහෙම කියනවා. “අපේ සභාවේ එක වයසක සහෝදරයෙක් හිටියා ගොඩ්වින් කියලා. එයා ස්වාමීන්ට ස්තුති කරන්න ගත්තාම ඉතින් නවත්තගන්න බෑ. ඔහොම කියාගෙන යද්දී ඔය කොටස මෙහෙයවන සහෝදරයාටත් ඉවසලා ඉවසලා බැරිම තැන එයාගේ මූණත් ටිකක් වෙනස් වෙනවා. ඒ වගේ වෙලාවට සහෝදර ගොඩ්වින්ගේ නෝනා හිමීට මහත්තයාගේ කෝට් එකෙන් අදිනවා. ඔන්න එතකොට තමයි එයා කතාව නවත්තලා වාඩි වෙන්නේ.”

හැම සභාවක්ම මාසෙකට සැරයක් “යාච්ඤාවේ සහ ප්‍රශංසාවේ රැස්වීමක්” පැවැත්වුවා. ඒ රැස්වීම ගැන 1923 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම කිව්වා. “රැස්වීමේ වෙලාවෙන් බාගයක්ම වෙන් කරන්න ඕනෙ සහෝදරයන්ට සේවෙන් ලැබුණ අද්දැකීම් අහන්න සහ එයාලව දිරිගන්වන්න. අපි විශ්වාස කරනවා මේ සැලැස්ම නිසා සභාවේ ඉන්න මිතුරන් අතර තියෙන එකමුතුකම තවත් වැඩි වෙයි කියලා.”

කැනඩාවේ වැන්කුවර්වල හිටපු ප්‍රචාරකයෙක් වන අවුරුදු 19ක් වයස චාර්ල්ස් මාටින් මේ රැස්වීම්වලින් ගොඩක් ප්‍රයෝජන ලබපු කෙනෙක්. එයා මෙහෙම කියනවා. “ඒ රැස්වීම්වලදී හුඟක් වෙලාවට කවුරු හරි කෙනෙක් ගෙයින් ගෙට සේවෙන් ලැබුණ අද්දැකීමක් බෙදාගන්නවා. ඉතිං සේවේ ගිහින් කියන්න ඕනෙ මොනවාද, කෙනෙක් සංවාදයට බාධා කළොත් ඒ බාධා ජය ගන්නේ කොහොමද කියලා මං මුලින්ම දැනගත්තේ ඒ රැස්වීමෙන් තමයි.”

එක්සත් කරවන සේවය

1923 මැයි 1 ‘බුලටින්’ පත්‍රිකාව

1923 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ මේ වගේ නිවේදනයක් කළා. “1923 මැයි 1වෙනි අඟහරුවාදා ‘සේවේට වෙන් කරපු දවසක්.’ ඉස්සරහට හැම මාසෙකම පළවෙනි අඟහරුවාදා දවස සේවේ වෙනුවෙන් වෙන් කරනවා. ඉතින් අපි හැම කෙනෙක්වම දිරිගන්වන්න කැමතියි පුළුවන් ප්‍රමාණයෙන් ඒ දවසට හවුල් වෙන්න කියලා.” ඇත්තටම මේ සැලැස්ම නිසා සංවිධානයේ එක්සත්කම තවත් වැඩි වුණා.

මේ සේවේට යෞවන යෞවනියනුත් හරිම උද්‍යෝගයෙන් හවුල් වුණා. ඒ කාලේ වෙද්දී හේසල් බර්ෆෝඩ්ට අවුරුදු 16ක් විතර ඇති. එයා මෙහෙම කියනවා. “ඉස්සර ‘බුලටින්’ කියන පත්‍රිකාවේ සේවේ ගිහින් පාවිච්චි කරන්න හොඳ යෝජනා තිබුණා. a අපි ඒවා කටපාඩම් කරගන්නවා. මං ඒ කාලේ සීයා එක්ක පුළුවන් තරම් සේවේ යනවා.” හැබැයි සහෝදරි බර්ෆෝඩ්ට එයා හිතපුවත් නැති කෙනෙක්ගෙන් විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වුණා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “අපේ සභාවේ හිටපු එක වයසක සහෝදරයෙක් මං දේශනා කරන එකට සෑහෙන්න විරුද්ධ වුණා. හැබැයි මං දන්නවා එයා ඒක කළේ හොඳ හිතින් කියලා. සේවේ ගිහිල්ලා අපේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘට ප්‍රශංසා කරන වගකීම ‘තරුණ තරුණියන්ටත්’ තියෙනවා කියලා ඒ කාලේ හිටපු හුඟක් බයිබල් ශිෂ්‍යයන් තේරුම් අරන් හිටියේ නෑ.” (ගීතා. 148:12, 13) හැබැයි ඔය මොන දේ වුණත් සහෝදරි බර්ෆෝඩ් සේවේ නැවැත්තුවේ නැහැ. පස්සේ එයාට පුළුවන් වුණා ගිලියද් පාසැලේ දෙවෙනි පන්තියට සහභාගි වෙන්න. ඒකෙන් එයාට මිෂනාරිවරියක් විදිහට පැනමාවලට පැවරුමක් ලැබුණා. කාලයත් එක්කම යෞවනයන් සේවේ යන එක ගැන සහෝදරයන්ට තිබ්බ වැරදි අදහසත් එයාලා නිවැරදි කරගත්තා.

එක්සත් කරවන සමුළු

බයිබල් ශිෂ්‍යයන් පවත්වපු සමුළුවලිනුත් සහෝදරයන් අතර තිබුණ එක්සත්කම වැඩි වුණා. ඒ වගේ හුඟක් සමුළුවලදී සේවේ වෙනුවෙනුත් වෙනමම දවසක් වෙන් කරලා තිබුණා. ඒකට හොඳම උදාහරණයක් තමයි කැනඩාවේ විනිපෙග්වල තිබ්බ සමුළුව. මාර්තු 31වෙනිදා විනිපෙග් නගරය පුරාම ශුභාරංචිය පතුරුවන විශේෂ ව්‍යාපෘතියක් දියත් කළා. ඒ සමුළුවට ඇවිල්ලා හිටපු හැම කෙනෙක්ම වගේ ඒකට හවුල් වුණා. සේවේ කරපු ඒ වගේ දවස්වලදී උනන්දුව දක්වන හුඟදෙනෙක්ව බයිබල් ශිෂ්‍යයන්ට හම්බ වුණා. එයාලාගෙන් ගොඩක් අය සත්‍යයටත් ආවා. අගෝස්තු 5වෙනිදා විනිපෙග්වල තවත් සමුළුවක් තිබ්බා. ඒකට 7,000ක් විතර සහභාගි වුණා. ඒක තමයි ඒ වෙද්දී කැනඩාවේ තිබ්බ ලොකුම සමුළුව.

යෙහෝවා දෙවියන්ගේ සෙනඟ පවත්වපු සමුළු අතරින් විශේෂිතම සමුළුවක් තමයි 1923 අගෝස්තු 18 සිට 26 දක්වා කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස්වල පවත්වපු සමුළුව. ඒ සමුළුවට සති ගාණකට කලින් ඉඳලාම පුවත්පත්වල සමුළුව ගැන දැන්වීම් පළ කළා. ඒ වගේම බයිබල් ශිෂ්‍යයන් සමුළුව ගැන තිබුණ අත්පත්‍රිකා 5,00,000කට වඩා බෙදාහැරියා. ඒ විතරක් නෙවෙයි සමුළුව ගැන තිබුණ බැනර් පොදු සහ පෞද්ගලික වාහනවලත් ප්‍රදර්ශනය කළා.

1923දී බයිබල් ශිෂ්‍යයන් ලොස් ඇන්ජලීස්වල පවත්වපු සමුළුව

ඒ සමුළුවේ අගෝස්තු 25වෙනි සෙනසුරාදා සහෝදර රදෆර්ඩ් “බැටළුවන් සහ එළුවන්” කියන තේමාවෙන් දේශනයක් දුන්නා. ඒකේදී එයා පැහැදිලි කළා බැටළුවන් කියන්නේ පාරාදීස පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුව තියෙන ධර්මිෂ්ඨයන්ට කියලා. ඒ වගේම ඊටපස්සේ “අනතුරු ඇඟවීමක්” කියන නමින් හඳුන්වපු සම්මුතියකුත් ගත්තා. ඒ සම්මුතියෙන් ක්‍රිස්තියානියි කියාගන්න ආගම්වල කුහකකම් හෙළි කළා. ඒ වගේම අවංක හදවත් තියෙන අයගෙන් ඉල්ලීමක් කළා “මහ බැබිලෝනියෙන්” ඉවත් වෙන්න කියලා. (එළි. 18:2, 4) ඊටපස්සේ බයිබල් ශිෂ්‍යයන් ඒ සම්මුතිය ඇතුළත් පත්‍රිකා මිලියන ගාණක් ලෝකේ පුරාම බෙදාහැරියා.

“මේ සැලැස්ම නිසා සභාවේ ඉන්න මිතුරන් අතර තියෙන එකමුතුකම තවත් වැඩි වුණා”

ඒ සමුළුවේ අවසාන දවසට 30,000කට වඩා ඇවිල්ලා හිටියා. එදා සහෝදර රදෆර්ඩ් “සියලුම ජාතීන් හර්–මගෙදොන් වෙතට ශීඝ්‍රයෙන් ළඟා වුණත් දැන් ජීවත් වන මිලියන ගණනක් කිසිදා මිය යන්නේ නැහැ” කියන තේමාවෙන් දේශනයක් ඉදිරිපත් කළා. සහෝදරයෝ කලින්ම හිතුවා මේ සමුළුවට ගොඩක් කට්ටිය එයි කියලා. ඒ නිසා එයාලා ලොස් ඇන්ජලීස්වල අලුතෙන්ම හදලා තියෙන ලොකු ක්‍රීඩාංගණයක් කුලියට ගත්තා. ඒ වගේම ඇවිල්ලා ඉන්න හැමෝටම වැඩසටහන පැහැදිලිව ඇහෙන්න ඕනෙ නිසා එයාලා ඒ ක්‍රීඩාංගණයේ තිබුණ ශබ්ද විකාශන පද්ධතියත් පාවිච්චි කළා. ඒ විදිහට එයාලා පාවිච්චි කළේ ඒ කාලේ තිබ්බ අලුත්ම තාක්ෂණය. ඊට අමතරව රේඩියෝ එකෙනුත් තව හුඟදෙනෙක් මේ වැඩසටහනට සවන් දුන්නා.

ජාත්‍යන්තරයටත් සීමා පුළුල් වෙයි!

1923දී අප්‍රිකාවේ, යුරෝපයේ, ඉන්දියාවේ සහ දකුණු ඇමරිකාවේ ශුභාරංචිය දේශනා කරන එකේ සැලකිය යුතු වර්ධනයක් පෙනුණා. ඔය කාලේ සහෝදර ඒ. ජේ. ජෝසෆ් හිටියේ ඉන්දියාවේ. එයා එයාගේ බිරිඳවයි, දරුවෝ හයදෙනාවයි බලාගන්න ගමන් හින්දි, දෙමළ, තෙලුගු සහ උර්දු කියන භාෂාවලින් අපේ ප්‍රකාශන නිෂ්පාදනය කරන වැඩකටයුතු බලා කියා ගත්තා.

විලියම් ආර්. බ්‍රවුන් සහ පවුලේ අය

සියරා ලියොන්වල හිටපු බයිබල් ශිෂ්‍යයන් වන ඇල්ෆ්‍රඩ් ජෝසෆ් සහ ලෙනාඩ් බ්ලැක්මන් සේවේට උදව් කරන්න කාව හරි එවන්න කියලා නිව් යෝර්ක්වල තිබ්බ ලෝක මූලස්ථානයට ලියුමක් යැව්වා. එයාලාගේ ලියුමට 1923 අප්‍රියෙල් 14වෙනිදා උත්තරයක් ලැබුණා. ඇල්ෆ්‍රඩ් ඒ ගැන මෙහෙම කියනවා. “ඒක සෙනසුරාදා දවසක්. එදා මහ රෑ ජාමේ මට හදිස්සියේම කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා.” ගැඹුරු කටහඬකින් පිරිමි කෙනෙක් ඇල්ෆ්‍රඩ්ගෙන් ඇහුවා “ඔයාද සේවේ කරන්න කට්ටිය ඉල්ලලා ලෝක මූලස්ථානයට ලියුමක් දැම්මේ” කියලා. ඇල්ෆ්‍රඩ් කිව්වා “ඔව්” කියලා. ඊටපස්සේ එයා කිව්වා “ඔන්න ඒගොල්ලෝ මාව එවලා තියෙනවා” කියලා. ඇත්තටම ඒ කතා කළේ විලියම් ආර්. බ්‍රවුන් කියලා සහෝදරයෙක්. එයායි, එයාගේ නෝනා ඇන්ටෝනියායි එදා තමයි කැරිබියන්වල ඉඳලා ඇවිල්ලා තිබුණේ. ඒගොල්ලන්ට ලුයීස් සහ ලුසී කියලා පුංචි දුවලා දෙන්නෙකුත් හිටියා. මේ අමුත්තන්ව හම්බ වෙන්න අපේ සහෝදරයන්ට වැඩි වෙලාවක් බලාගෙන ඉන්න වුණේ නැහැ.

ඇල්ෆ්‍රඩ් මෙහෙම කියනවා. “පහුවදා උදේ මායි, ලෙනාඩුයි අපි සතියට සැරයක් කරන බයිබල් සාකච්ඡාව කරකර හිටියේ. ඔය වෙලාවේ සද්දන්ත මනුස්සයෙක් එකපාරම ඇවිල්ලා දොර ගාව හිටගත්තා. ඒ වෙන කවුරුත් නෙවෙයි සහෝදර බ්‍රවුන්. එයාට කොච්චර උද්‍යෝගයක් තිබ්බාද කියනවා නම් ඊළඟ දවසෙම එයාට බයිබල් දේශනයක් දෙන්නත් ඕනෙ වුණා.” කොහොමහරි මාසයක් යන්නත් කලින් එයා එද්දී ගෙනාපු සේරම පොත් පත් ටික බෙදලා ඉවර කළා. ඊටපස්සේ එයාට තව පොත් 5,000ක් හම්බ වුණා. ඒ ටික ඉවර වෙන්නත් වැඩි දවසක් ගියේ නැහැ. හැබැයි එහෙමයි කියලා එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ පොත් බෙදෙන කෙනෙක් විදිහට නෙවෙයි. එයා එයාගේ ජීවිත කාලේ පුරාම දේශන දෙද්දී හැම තිස්සේම වගේ බයිබල් පද පාවිච්චි කළා. ඒ නිසාම එයාට කට්ටිය කිව්වේ “බයිබල් බ්‍රවුන්” කියලා.

1920 ගණන්වල මැග්ඩෙබර්ග් බෙතෙල් එක

ඔය කාලේ අතරතුරේ ජර්මනියේ බාමන්වල තිබ්බ අපේ ශාඛා කාර්යාලයේ ඉඩකඩ මදියි කියලා සහෝදරයන්ට තේරුණා. ඒ වගේම ප්‍රංශ හමුදාව ඒ නගරය ආක්‍රමණය කරන අවදානමකුත් තිබුණා. ඒ නිසා අපේ සහෝදරයෝ මුද්‍රණ කටයුතුවලටත් හොඳටම ගැළපෙනවා කියලා හිතපු මැග්ඩෙබර්ග්වල තිබුණ ගොඩනැඟිලි සංකීර්ණයකට අපේ ශාඛා කාර්යාලය ගෙනියන්න තීරණය කළා. ඉතින් ජූනි 19වෙනිදා මුද්‍රණ උපකරණ ටිකයි, අනිත් බඩු මුට්ටු ටිකයි මැග්ඩෙබර්ග්වල තිබුණ අලුත් බෙතෙල් එකට ගෙනිච්චා. එයාලා ඒ දවසේම ලෝක මූලස්ථානයට දැනුම් දුන්නා දැන් ඔක්කොම බඩු ටික අලුත් තැනට ගෙනල්ලා ඉවරයි කියලා. එදාම පත්තරේ ප්‍රවෘත්තියකුත් පළ වුණා. ඒකේ තිබ්බා බාමන් නගරය ප්‍රංශ හමුදාව යටත් කරගත්තා කියලා. ඉතින් අපේ සහෝදරයන්ට හොඳටම තේරුණා එයාලට යෙහෝවාගේ ආශීර්වාදය වගේම ආරක්ෂාවත් තියෙනවා කියලා.

ජෝර්ජ් යං, සේරා ෆර්ගසන් (දකුණ) සහ එයාගේ සහෝදරිය

සහෝදර ජෝර්ජ් යං කියන්නේ ශුභාරංචිය දේශනා කරන්න හුඟක් පැතිවලට ගිය කෙනෙක්. කොච්චරද කියනවා නම් එයා බ්‍රසීලයේ අලුත් ශාඛා කාර්යාලයක් පටන්ගන්න සහ පෘතුගීසි භාෂාවෙන් ‘මුරටැඹ’ සඟරාව ප්‍රකාශයට පත් කරන්න මූලිකත්වය අරගෙනත් වැඩ කළා. එයා එහෙට ඇවිල්ලා මාස කීපයක් ඇතුළත ප්‍රකාශන 7,000කට වඩා බෙදාහැරියා. සහෝදර ජෝර්ජ් බ්‍රසීලයට ආපු එකෙන් සහෝදරි සේරා ෆර්ගසන්ගේ පවුලේ අයත් ගොඩක් ප්‍රයෝජන ලැබුවා. සේරා කියන්නේ 1899 ඉඳලා ‘මුරටැඹ’ සඟරා කියවපු කෙනෙක්. හැබැයි එයාට බව්තීස්ම වෙන්න අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. කොහොමහරි ජෝර්ජ් එහෙට ඇවිල්ලා මාස කීපයකට පස්සේ සහෝදරි ෆර්ගසන්ටත් එයාගේ දරුවෝ හතරදෙනාටත් බව්තීස්ම වෙන්න අවස්ථාව ලැබුණා.

“ඊළඟ අවුරුද්දත් සතුටින් යමු”

අවුරුද්ද පුරාම බයිබල් ශිෂ්‍යයන් එකා වගේ යෙහෝවාට නමස්කාර කරන්න ගත්ත වෑයම ගැන 1923 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ මේ වගේ දෙයක් කිව්වා. “සභාවල ඉන්න හැම සහෝදර සහෝදරියකටම ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා අපිට හොඳටම පැහැදිලියි. ඉතින් අපි යුද්ධායුධ කට්ටලයත් පැලඳගෙන, උද්‍යෝගය අලුත් කරගෙන, අධිෂ්ඨානයක් ඇතුව මේ ආපු වේගයෙන්ම ඊළඟ අවුරුද්දත් සතුටින් යමු.”

1924ත් බයිබල් ශිෂ්‍යයන්ට ඉතිහාසගත වෙන අවුරුද්දක් වුණා. බෙතෙල් එකේ හිටපු සහෝදරයන් මාස ගාණක් තිස්සේ මහන්සි වෙලා ස්ටැටන් අයිලන්ඩ්වල අලුත් ඉඩමක් ගත්තා. එතන ඉඳන් බෘක්ලින්වල තිබ්බ ලෝක මූලස්ථානයට වැඩි දුරක් තිබ්බේ නැහැ. 1924 මුල් කාලේදීම මේ අලුත් ඉඩමේ ගොඩනැඟිලි හදලා ඉවර කළා. ඒ ගොඩනැඟිලිවලට පුළුවන් වුණා සහෝදරයන් අතර තිබ්බ එක්සත්කම තව වැඩි කරන්න. වෙන කවදාටත් වඩා ශුභාරංචිය ව්‍යාප්ත කරන්නත් ඒවා උදව් වුණා.

ස්ටැටන් අයිලන්ඩ්වල ඉදි කිරීමේ අංශයේ සහෝදරයන්

a දැන් ඒකට කියන්නේ ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ කියලා.