Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 44

දේවවචනයේ හැම පැතිකඩක්ම පරීක්ෂා කරන්න

දේවවචනයේ හැම පැතිකඩක්ම පරීක්ෂා කරන්න

“එළිදරව් කරන සියලු දේවල දිගත් පළලත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන්ම වටහාගන්න.”—එෆී. 3:18.

ගීතිකාව 95 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය

මේ ලිපියෙන් a

1-2. බයිබලේ කියවලා අධ්‍යයනය කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද? උදාහරණයක් දෙන්න.

 හිතන්න ඔයාට ඕනෙ අලුතින්ම ගෙයක් සල්ලි දීලා ගන්න. ඒත් ඒක ගන්න කලින් ඒ ගෙදර ඉස්සරහා පැත්තේ ෆොටෝ එකක් විතරක් බැලුවොත් ඇතිද? නැහැ නේද? ඒ වෙනුවට ඔයා ඒ ගේ තියෙන තැනට ගිහිල්ලා, ඒකේ හැම කාමරයකම ඇවිදලා, ඒකේ හැම කොනක්ම හොඳට පරීක්ෂා කරලා බලයි. ඒ විතරක් නෙවෙයි ඔයා ඒ ගෙදර ප්ලෑන් එකත් බලයි. මොකද ඔයාට ඕනෙ ඒක හදලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.

2 බයිබලේ අධ්‍යයනය කරද්දීත් අපිට ඒ වගේම දෙයක් කරන්න පුළුවන්. එක විශාරදයෙක් කිව්වා බයිබලේ තියෙන පණිවිඩය හරියට “ගැඹුරට අත්තිවාරම් දාපු අහස උසට හදලා තියෙන විශාල මන්දිරයක් වගේ” කියලා. ඉතින් ඒ මන්දිරයේ හැම පැතිකඩක්ම පරීක්ෂා කරලා බලන්න පුළුවන් කොහොමද? ටක් ටක් ගාලා කියවගෙන ගියොත් නම් අපිට දැනගන්න පුළුවන් වෙන්නේ “දෙවිගේ ශුද්ධ පණිවිඩයට අයත් මූලික දේවල්” විතරයි. (හෙබ්‍රෙ. 5:12) ඒ නිසා බයිබලය ඇතුළටම ගිහිල්ලා හැම කාමරයකම ඇවිදලා බලන්න. ඒකේ හැම කොනක්ම පරීක්ෂා කරන්න. ඒක කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි බයිබලේ තියෙන තොරතුරු එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හිතන එක. ඒ විතරක් නෙවෙයි බයිබලේ කියවද්දී ඔයා විශ්වාස කරන සත්‍යයන් මොනවාද කියලත් ඔයා ඒවා විශ්වාස කරන්නේ ඇයි කියලත් හොඳට හිතන්න.

3. පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලුවේ මොනවා කරන්න කියලාද? ඒ ඇයි? (එෆීස 3:14-19)

3 දේවවචනයේ හැම පැතිකඩක්ම හොඳට තේරුම්ගන්න නම් අපි ඒකේ තියෙන ගැඹුරු සත්‍යයන් හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලුවේ දේවවචනය උනන්දුවෙන් අධ්‍යයනය කරලා සත්‍යයේ “දිගත් පළලත් උසත් ගැඹුරත් සම්පූර්ණයෙන්ම වටහාගන්න” උත්සාහ කරන්න කියලා. මොකද එහෙම කළොත් විතරයි “ශක්තිමත් ගසක් වගේ හොඳින් මුල් ඇදලා,” විශ්වාසය කියන “ශක්තිමත් අත්තිවාරම මත පිහිටලා ඉන්න” පුළුවන් වෙන්නේ. (එෆීස 3:14-19 කියවන්න.) අපිත් කරන්න ඕනෙ ඒ දේමයි. ඒත් ඒක කරන්නේ කොහොමද? දැන් අපි ඒ ගැන බලමු.

ගැඹුරු බයිබල් සත්‍යයන් පරීක්ෂා කරන්න

4. යෙහෝවාට තවත් ළං වෙන්න අපිට කරන්න පුළුවන් මොනවාද? උදාහරණ දෙන්න.

4 ක්‍රිස්තියානීන් විදිහට අපි බයිබලේ තියෙන මූලික දේවල් විතරක් ඉගෙනගෙන නවතින්නේ නැහැ. ඒ වෙනුවට අපිට ඕනෙ දෙවිගේ බලයේ උදව්වෙන් ඔහු “එළිදරව් කරන ගැඹුරු කාරණා” ගැන දැනගන්න. (1 කොරි. 2:9, 10) ඉතින් යෙහෝවාට ඔයාව තවත් ළං කරන විෂයන් ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තොත් නරකද? උදාහරණෙකට ඔයාට පුළුවන් යෙහෝවා අතීතයේ හිටපු ඔහුගේ සේවකයන්ට ආදරේ පෙන්නුවේ කොහොමද සහ ඒකෙන් ඔහු ඔයාටත් ආදරෙයි කියලා ඔප්පු වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායෙල් කාලේ දෙවියන්ට නමස්කාර කරන්න තිබුණ සැලැස්මයි, අද ඔහුට නමස්කාර කරන්න තියෙන සැලැස්මයි අතර තියෙන සමානකම් ගැන අධ්‍යයනය කරන්නත් ඔයාට පුළුවන්. ඊට අමතරව යේසුස් මේ පොළොවේ සේවේ කරන කාලේදී ඔහු මාර්ගයෙන් ඉටු වුණ අනාවැකි ගැනත් ගැඹුරට ගිහිල්ලා අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන්.

5. ඔයා ගැඹුරින් අධ්‍යයනය කරන්න ආස මොනවාද?

5 බයිබලේ ගැඹුරින් අධ්‍යයනය කරන ශිෂ්‍යයන් කීපදෙනෙක්ම කියලා තියෙනවා එයාලා අධ්‍යයනය කරන්න කැමති මොන වගේ විෂයන් ගැනද කියලා. එයාලා කියපු සමහර දේවල් “ බයිබල් අධ්‍යයනයට විෂයන්” කියන කොටුවේ තියෙනවා. ඔයාත් ඒ වගේ විෂයන් ගැන අධ්‍යයනය කරනවා නම් ඒකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්. ඒකට ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතත් ඔයාට උදව් වෙයි. ඒ විදිහට ඔයා දේවවචනය හොඳට පරීක්ෂා කරලා බලද්දී ඒකෙන් ඔයාගේ විශ්වාසය ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි තව තවත් “දෙවියන්ව දැන හඳුනා ගන්නත්” පුළුවන් වෙනවා. (හිතෝ. 2:4, 5) බයිබලේ ගැඹුරට ගිහිල්ලා අධ්‍යයනය කරන්න පුළුවන් ඒ වගේ විෂයන් කීපයක් ගැන දැන් අපි බලමු.

දෙවියන්ගේ අරමුණ ගැන ගැඹුරින් හිතන්න

6. (අ) සැලැස්මක් සහ අරමුණක් අතර තියෙන වෙනස මොකක්ද? (ආ) මිනිස්සු ගැන සහ මේ පොළොව ගැන දෙවියන්ට තියෙන්නේ “සදාකාලික” අරමුණක් කියලා කියන්නේ ඇයි? (එෆීස 3:11)

6 සැලැස්මක් සහ අරමුණක් අතර ලොකු වෙනසක් තියෙනවා. සැලැස්මක් කියන්නේ ගමනාන්තයකට යන එක පාරක් වගේ. ඒ පාරේ බාධකයක් තිබ්බොත් ඒ සැලැස්ම කඩාකප්පල් වෙනවා. හැබැයි අරමුණක් ඊට වඩා ගොඩක් වෙනස්. අරමුණ හරියට ගමනාන්තය වගේ. ඒකට ළඟා වෙන්න හුඟක් පාරවල් තියෙනවා. එක පාරකින් යන්න බැරි වුණොත් අවශ්‍යතාවට අනුව වෙන පාරකින් ඒ අරමුණට යන්න පුළුවන්. යෙහෝවා දෙවියන් ඔහුගේ “සදාකාලික අරමුණ” ගැනත් ක්‍රමානුකූලව බයිබලේ හෙළි කරලා තියෙනවා. (එෆී. 3:11) ඒ ගැන ඇත්තටම අපි ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ‘යෙහෝවා දෙවියන් තමන්ගේ අරමුණ ඉටු කරගැනීම සඳහා හැම දෙයක්ම සැලසුම් කරලා තියෙනවා.’ (හිතෝ. 16:4) ඒ නිසා එක ක්‍රමයකින් බැරි වුණොත් වෙනත් විදිහකින් හරි ඔහුට පුළුවන් ඔහුගේ අරමුණ ඉටු කරන්න. ඒ වගේම දෙවියන්ගේ අරමුණ ඉටු වෙද්දී ඒකෙන් ලැබෙන ප්‍රතිඵලත් සදාකාලිකයි. ඒත් යෙහෝවාගේ අරමුණ මොකක්ද? ඒක ඉටු කරන්න ඔහු කාලෙන් කාලෙට කළේ මොන වගේ වෙනස්කම්ද?

7. ආදම් සහ ඒව කැරලිගැහුවාට පස්සේ තමන්ගේ අරමුණට ළඟා වෙන්න යෙහෝවා මොන වගේ වෙනස්කම්ද කළේ? (මතෙව් 25:34)

7 යෙහෝවා දෙවියන් මිනිස්සු වෙනුවෙන් ඔහුට තියෙන අරමුණ හෙළි කළා. ඔහු ආදම් සහ ඒවට මෙහෙම කිව්වා. ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්ව ඔබ යටතේ තබාගන්න.’ (උත්. 1:28) හැබැයි ආදම් සහ ඒව දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවාම මිනිස්සුන්ට පාපය සහ මරණය උරුම වුණා. ඒ මොනවාවුණත් දෙවියන්ගේ අරමුණ නම් කඩාකප්පල් වුණේ නැහැ. ඔහු ඒ වෙලාවෙම තීරණය කළා මිනිස්සු ගැන සහ පොළොව ගැන තමන්ට තිබුණ මුල් අරමුණ ඉටු කරන්න ස්වර්ගයේ දේවරාජ්‍යයක් පිහිටුවනවා කියලා. (මතෙව් 25:34 කියවන්න.) ඒ වගේම ඒ රාජ්‍යය ගැන දේශනා කරන්න, මිනිස්සුන්ගේ පාපය සහ මරණය වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න යෙහෝවා තමන්ගේ එකම පුතාව කැමැත්තෙන්ම මේ පොළොවට එව්වා. ඊටපස්සේ යේසුස්ව නැවත නැඟිට්ටලා ස්වර්ගයට අරන් ඔහුව දේවරාජ්‍යයේ රජ විදිහට පත් කළා. ඒ දේවල්වලට අමතරව දෙවියන්ගේ අරමුණ ගැන දැනගන්න තව හුඟක් දේවල් තියෙනවා.

ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැමෝම එකතු වෙලා යෙහෝවා දෙවියන්ට විතරක් නමස්කාර කරන දවස හිතින් මවාගන්න (8 ඡේදය බලන්න)

8. (අ) බයිබලේ තේමාව මොකක්ද? (ආ) එෆීස 1:8-11 කියන විදිහට යෙහෝවා දෙවියන්ගේ ප්‍රධානම අරමුණ මොකක්ද? (කවරයේ පින්තූරය බලන්න.)

8 දෙවියන් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ තියෙන දේවරාජ්‍යය මාර්ගයෙන් පොළොව වෙනුවෙන් ඔහුට තියෙන අරමුණ ඉටු කරලා ඔහුගේ නම ගෞරවයට පත් කරනවා. ඒක තමයි බයිබලේ ප්‍රධාන තේමාව. දෙවියන් කියනවා ඔහු පොරොන්දු වුණ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියලා. (යෙසා. 46:10, 11; හෙබ්‍රෙ. 6:17, 18) මොකද ඔහුගේ අරමුණ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ළඟදීම ආදම් සහ ඒවගෙන් පැවතෙන ධර්මිෂ්ඨ අය පරිපූර්ණත්වයට ඇවිල්ලා පාරාදීස පොළොවක “සදහටම” ජීවත් වෙන්න යනවා. (ගීතා. 22:26) යෙහෝවාගේ අරමුණට ඇතුළත් වෙන්නේ ඒ දේවල් විතරක් නෙවෙයි. අන්තිමේදී ඔහු ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න හැමෝවම එක පවුලක් විදිහට එක්සත් කරනවා. ඒක තමයි ඔහුගේ ප්‍රධානම අරමුණ. එදාට මේ විශ්වයේ ඉන්න හැම කෙනෙක්ම යෙහෝවාව තමන්ගේ පාලකයා විදිහට හදවතින්ම පිළිගනියි. (එෆීස 1:8-11 කියවන්න.) යෙහෝවා දෙවියන් තමන්ගේ අරමුණ වෙනුවෙන් කරන්න යන දේවල් ගැන හිතද්දී ඔයාට පුදුම හිතෙන්නේ නැද්ද?

ඔයාගේ අනාගතයට අවධානය දෙන්න

9. බයිබලේ කියවද්දී කොච්චර දුරට ඔයාට අනාගතය දකින්න පුළුවන්ද?

9 ඒදන් උයනේදී යෙහෝවා දෙවියන් කියපු අනාවැකිය ගැන අපි බලමු. ඒක තියෙන්නේ උත්පත්ති 3:15. b ඒකේ තියෙන තොරතුරු දෙවියන්ගේ අරමුණ ඉටු වෙන එකට කෙළින්ම සම්බන්ධයි. හැබැයි ඒක ඉටු වෙන්න පටන්ගත්තේ අවුරුදු දහස් ගාණකට පස්සේ. උදාහරණෙකට ඒ අනාවැකියේ ප්‍රධාන සිද්ධියක් තමයි ආබ්‍රහම්ගෙන් පැවතෙන කෙනෙක් ගැලවුම්කරු විදිහට උපත ලබනවා කියන එක. (උත්. 22:15-18) ඒ වගේම ඒ අනාවැකියේ කියපු විදිහට ක්‍රි.ව. 33දී යේසුස්ගේ විලුඹ පොඩි කළා. (ක්‍රියා 3:13-15) ඒ විතරක් නෙවෙයි ඒ අනාවැකියේ තියෙන අන්තිම සිද්ධිය, ඒ කියන්නේ සාතන්ගේ හිස පොඩි කරන එක ඉටු වෙන්න අඩුම ගාණේ තව අවුරුදු 1,000ක්වත් යනවා. (එළි. 20:7-10) ඊට අමතරව සාතන්ගෙන් පැවතෙන අයයි, යෙහෝවා දෙවියන්ගේ සංවිධානයයි අතර තියෙන සතුරුකම එන්න එන්නම වැඩි වෙද්දී සිද්ධ වෙන දේවල් ගැනත් බයිබලේ කියනවා.

10. (අ) ළඟදීම ඉටු වෙන්න යන්නේ මොනවාද? (ආ) ඒ වෙනුවෙන් අපේ මනස සහ හදවත සූදානම් කරගන්න පුළුවන් කොහොමද? (පාදසටහන බලන්න.)

10 ළඟදීම මුළු ලෝකෙම හෙල්ලෙන විදිහේ දේවල් කීපයක් වෙනවා. මුලින්ම “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා ජාතීන් ප්‍රකාශයක් නිකුත් කරනවා. (1 තෙස. 5:2, 3) ඊටපස්සේ දේශපාලනය බොරු ආගම්වලට විරුද්ධව නැඟී ඉන්නවා. (එළි. 17:16) ඒත් එක්කම තමයි “හදිස්සියේම” මහත් පීඩාව පටන්ගන්නේ. ඊළඟට ‘බලයෙන්ද මහත් තේජසින්ද යුතුව අහසේ වලාකුළු මත මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන විදිහ’ ගැන හරිම පුදුමාකාර ලකුණු අපි දකියි. (මතෙ. 24:30) ඊටපස්සේ යේසුස් එළුවන්ගෙන් බැටළුවන්ව වෙන් කරනවා. (මතෙ. 25:31-33, 46) හැබැයි මේ දේවල් සිද්ධ වෙද්දී සාතන් නම් ඔහේ අත් දෙක බැඳගෙන බලන් ඉන්නේ නැහැ. එයා කොච්චර කේන්තියෙන් පුපුර පුපුරද ඉන්නේ කියනවා නම් ජාතීන්ගේ එකතුවක් ඒ කියන්නේ මාගොග් දේශයේ ගොග්ව දෙවියන්ගේ සෙනඟට විරුද්ධ වෙන්න පොලඹවනවා. (එස. 38:2, 10, 11) ඔන්න ඔය අතරේ එක් අවස්ථාවක මේ පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් හැමෝවම ස්වර්ගයට ගන්නවා. ඊටපස්සේ එයාලා යේසුස් සහ ස්වර්ගික සේනාවන් එක්ක එකතු වෙලා අවසාන සටනට ඒ කියන්නේ හර්–මගෙදොන් යුද්ධයට ලෑස්ති වෙනවා. ඒ විදිහට හර්–මගෙදොන් යුද්ධයෙන් මහත් පීඩාව අවසන් වෙනවා. c (මතෙ. 24:31; එළි. 16:14, 16) ඒ යුද්ධයෙන් පස්සේ උදා වෙන්නේ දහස් අවුරුදු පාලනයයි.—එළි. 20:6.

අවුරුදු බිලියන ගාණක් තිස්සේ යෙහෝවා ගැන ඉගෙනගත්තාම ඔයා ඔහුට කොච්චර ළං වෙයිද? (11 ඡේදය බලන්න)

11. සදාකාල ජීවිතය ගැන තියෙන බලාපොරොත්තුව ඔයාට බලපාන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

11 දැන් පොඩ්ඩකට හිතන්න දහස් අවුරුදු පාලනයෙන් පස්සේ එන කාලේ ගැන. බයිබලේ කියනවා අපේ නිර්මාතෘ ‘සදාකල් ජීවත් වීමේ ආශාව අපේ හිතේ තියලා තියෙනවා’ කියලා. (දේශ. 3:11) ඒ දේ ඔයාටයි, දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීමටයි බලපාන්නේ කොහොමද කියලා ටිකක් හිතන්න. ‘යෙහෝවාට ළං වන්න’ කියන පොතේ 319​වෙනි පිටුවේ මෙහෙම කියනවා. ‘අවුරුදු සිය ගණනක්, දහස් ගණනක්, මිලියන ගණනක් හෝ බිලියන ගණනක් පවා අප ජීවත් වුණායින් පසුව, අපි දැන් දන්නවාට වඩා බොහෝ බොහෝ දේවල් යෙහෝවා දෙවි ගැන දැනගනීවි. එහෙත්, තව තවත් පුදුමාකාර දේවල් අසංඛ්‍යාතයක් දැනගන්නට තිබෙන බව අපට හැඟේවි. තව තවත් දේවල් ඉගෙනගන්නට අපට මහත් උනන්දුවක් තිබේවි. සදාකාල ජීවිතය අපට හිතාගන්නට බැරි තරමේ අර්ථවත් වූ විවිධ වූ එකක්. තවද යෙහෝවාට ළං වීම නිසැකවම එහි ඉතාමත්ම විපාකදායී වූ කොටස වේවි.’ ඒ කාලේ එන කල් බයිබලේ තියෙන තව මොන දේවල් ගැනද අපිට අධ්‍යයනය කරන්න පුළුවන්?

ස්වර්ගය දිහාවට ඇස් යොමු කරන්න

12. ස්වර්ගයට ඇස් යොමු කරන්න පුළුවන් කොහොමද? උදාහරණයක් දෙන්න.

12 “ස්වර්ගය” තමයි යෙහෝවා දෙවියන් ඉන්න තැන. (යෙසා. 33:5) ඒ ගැන අපේ හිතේ පින්තූරයක් ඇඳගන්න උදව් වෙන තොරතුරු බයිබලේ තියෙනවා. ඒ වගේම යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස ගැනත් තේරුම්ගන්න උදව් වෙන තොරතුරුත් ඒකේ තියෙනවා. (යෙසා. 6:1-4; දානි. 7:9, 10; එළි. 4:1-6) උදාහරණෙකට සැරයක් “අහස විවර වෙලා” එසකියෙල්ට “දෙවියන්ගෙන් දර්ශන මාලාවක් ලැබුණා.” (එස. 1:1) ඒකේ තියෙන පුදුමාකාර දේවල් ගැනත් අපිට බයිබලෙන් කියවන්න පුළුවන්.

13. යේසුස්ට ස්වර්ගයේ තියෙන කාර්යය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? (හෙබ්‍රෙව් 4:14-16)

13 දේවරාජ්‍යයේ රජ සහ අපේ දුක අඳුරන උත්තම පූජකයා විදිහට යේසුස්ට ස්වර්ගයේ තියෙන කාර්යය ගැනත් පොඩ්ඩක් හිතන්න. අපිට පුළුවන් ඔහු මාර්ගයෙන් “මහත් කරුණාව පෙන්වන තැනැත්තාණන්ගේ සිංහාසනය වෙතට” යාච්ඤාවෙන් ළඟා වෙන්න. ඒ වගේම “අවශ්‍ය වෙලාවේදීම” දෙවියන්ගේ කරුණාව සහ උපකාරය ඉල්ලන්න. (හෙබ්‍රෙව් 4:14-16 කියවන්න.) යෙහෝවා දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන, මේ වෙද්දීත් කරන දේවල් ගැන හිතන්නේ නැතුව එක දවසක්වත් ගෙවන්න එපා! ඇත්තටම එයාලා පෙන්නපු ආදරේ අපේ හදවතේ ගැඹුරටම දැනෙන්න ඕනේ. ඒ වගේම උද්‍යෝගයෙන් සේවේ කරන්න, මුළු හදවතින්ම දෙවියන්ට නමස්කාර කරන්න ඒක අපිව පොලඹවන්නත් ඕනේ.—2 කොරි. 5:14, 15.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන්න, යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරපු එකෙන් පාරාදීසේදී ඔයාට කොච්චර සතුටක් ලැබෙයිද! (14 ඡේදය බලන්න)

14. යෙහෝවා ගැන, යේසුස් ගැන අගය පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් මොකක්ද? (පින්තූරත් බලන්න.)

14 දෙවියන් සහ ඔහුගේ පුතා අපි වෙනුවෙන් කරලා තියෙන දේවල්වලට අගය පෙන්නන්න පුළුවන් හොඳම විදිහක් තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන්න, යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන එක. (මතෙ. 28:19, 20) යෙහෝවා ගැන, යේසුස් ගැන පාවුල්ගේ හිතේ තිබුණ අගය එයාවත් පෙලඹුවා ඒ දේ කරන්න. මොකද දෙවියන්ගේ “කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” කියලා පාවුල් දැනන් හිටියා. (1 තිමෝ. 2:3, 4) ඒ නිසා එයා වෙහෙස මහන්සි නොබලා පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය දේශනා කළා. මොකද එයාට ඕනෙ වුණේ “හැකි සෑම ආකාරයකින්ම කීපදෙනෙක්ව හරි බේරාගන්න.”—1 කොරි. 9:22, 23.

දේවවචනය ගැඹුරට හාරලා සතුට හොයාගන්න

15. ගීතාවලිය 1:2 කියන විදිහට අපිට සතුට ලැබෙන්නේ මොකෙන්ද?

15 ‘දෙවිගේ නීතිය කියවීමෙන් මහත් ප්‍රීතියක් ලබන, දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන’ කෙනෙක් සන්තෝෂවත්, සාර්ථක පුද්ගලයෙක් කියලා ගීතිකාකරු කිව්වා. (ගීතා. 1:1-3) ඒ බයිබල් පද ගැන බයිබල් පරිවර්තකයෙක් වන ජෝසෆ් රොදර්හම් එයා ලියපු පොතක (Studies in the Psalms) මෙහෙම සඳහන් කළා. “දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න කෙනෙක්ට කොච්චර ආසාවක් තියෙන්න ඕනෙද කියනවා නම් බයිබලේ තියෙන දේවල් හොයන්න, අධ්‍යයනය කරන්න, ඇති වෙන්න කාලේ අරන් ඒ ගැන කල්පනා කරන්න එයා පෙලඹෙන්න ඕනේ. ඇත්තටම දෙවියන්ගේ ප්‍රඥාවෙන් බිඳක්වත් ගන්නේ නැතුව ගෙවන දවස අපරාදේ.” ඒ නිසා බයිබලේ අධ්‍යයනය කරද්දී ඒකේ තියෙන විශේෂ කරුණු ගැන හොඳට හිතන්න. ඒ තොරතුරු එකිනෙකට සම්බන්ධ වෙන විදිහ ගැන කල්පනා කරන්න. එහෙම කරද්දී බයිබලේ ගැඹුරටම හාරලා සතුට හොයාගන්න ඔයාටත් පුළුවන්.

16. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

16 යෙහෝවා තමන්ගේ වචනයට ඇතුළත් කරලා තියෙන වටිනා සත්‍යයන් තේරුම්ගන්න බැරි තරමටම අමාරු ඒවා නෙවෙයි. අපි ඊළඟ ලිපියෙන් ඒ වගේ ගැඹුරු සත්‍යයක් ගැන බලමු. ඒ තමයි පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියපු ලියුමේ සඳහන් කරපු සංකේතවත් දේවමාලිගාව. අපි ඒකේ හැම පැතිකඩක් දිහාම බලලා සතුටක් ලබන්න පුළුවන් විදිහ ගැන සාකච්ඡා කරමු.

ගීතිකාව 94 ස්තුති වෙමු දේවවචනයට

a බයිබලේ අධ්‍යයනය කරද්දී අපේ මුළු ජීවිතේම රසවත් වෙනවා. මොකද ඒකෙන් අපිට ලොකු සතුටක් වගේම ගොඩක් ප්‍රයෝජනත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි බයිබලේ අධ්‍යයනය කරද්දී අපි යෙහෝවා දෙවියන්ටත් තව තවත් ළං වෙනවා. ඒ නිසා අපි මේ ලිපියෙන් බලමු දේවවචනයේ “දිගත් පළලත් උසත් ගැඹුරත්” හොඳට පරීක්ෂා කරන්න අපිට පුළුවන් කොහොමද කියලා.

b 2022 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “බයිබලේ මුල්ම අනාවැකිය ඔයාට බලපාන විදිහ” කියන ලිපිය බලන්න.

c ළඟදීම සිද්ධ වෙන පුදුමාකාර දේවල්වලට දැන් ඉඳන්ම සූදානම් වෙන්න පුළුවන් විදිහ දැනගන්න ‘දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!’ කියන පොතේ 230​වෙනි පිටුව බලන්න.