Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 1

ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය

විශ්වාසයෙන් බය පරද්දන්න

විශ්වාසයෙන් බය පරද්දන්න

2024 වාර්ෂික පදය: “මට භයක් දැනෙන ඕනෑම අවස්ථාවක මාගේ විශ්වාසය ඔබය.”ගීතා. 56:3.

ලිපියේ අරමුණ

යෙහෝවා ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගෙන බය පරද්දන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

1. අපිට බයක් දැනෙන්න පුළුවන් මොන වගේ දේවල් නිසාද?

 අපි බයිබලේ ඉගෙනගත්ත නිසා මළවුන් ගැන, භූතයන් ගැන සහ අනාගතය ගැන තිබුණ බයෙන් නිදහස් වුණා. ඒත් අපි අද ජීවත් වෙන්නේ හුඟක් “බිහිසුණු දේවල්” සිද්ධ වෙන කාලෙක. (ලූක් 21:11) ඊට අමතරව අපි මිනිස්සුන්ටත් බය වෙන්න ඉඩ තියෙනවා. උදාහරණෙකට බලධාරීන්, පවුලේ අය සත්‍යයට විරුද්ධ වෙද්දී අපිට බයක් දැනෙයි. ඒ වගේම ප්‍රශ්න නිසා සත්‍යයෙන් වැටිලා යයි කියලා බය වෙන අයත් ඉන්නවා.

2. ගාත්වල ඉද්දී දාවිත් මුහුණ දුන්නේ මොන දේටද?

2 දාවිත්ටත් බයක් දැනුණා. උදාහරණෙකට සාවුල් රජගෙන් පලා දුවපු කාලේ දාවිත් පිලිස්තිවරුන්ගේ නගරයක් වුණ ගාත්වලට ආවා. වැඩි කාලයක් යන්න කලින් ගාත්වල රජ දැනගත්තා මේ ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි පිලිස්තිවරු “දසදහස් ගාණක්” මරපු කෙනා කියලා. රජ එයාව අඳුරගත්තා කියලා දැනගත්තාම දාවිත්ට ‘ලොකු බයක් දැනුණා.’ (1 සාමු. 21:10-12) දාවිත් ඒ බය පැරැද්දුවේ කොහොමද?

3. දාවිත් බයෙන් ගොඩ ආවේ කොහොමද? (ගීතාවලිය 56:1-3, 11)

3 පිලිස්තිවරු ගාත්වලදී දාවිත්ව අල්ලගත්තාම එයාට දැනුණ හැඟීම තමයි 56වෙනි ගීතිකාවේ තියෙන්නේ. ඒකේ එයා එයාට දැනුණ බය ගැන වගේම ඒ බයෙන් ගොඩ ආපු විදිහ ගැනත් කියනවා. බයක් දැනෙද්දී දාවිත් දෙවියන් මත විශ්වාසය තිබ්බා. (ගීතාවලිය 56:1-3, 11 කියවන්න.) යෙහෝවාත් ඒ විශ්වාසය කඩ කළේ නැහැ. මොකද ඔහුගේ උදව්වෙන් දාවිත් අමුතුම විදිහේ දෙයක් කළා. එයා පිස්සෙක් වගේ රඟපෑවා. ඒ නිසා ගාත්වල රජ දාවිත්ව දැක්කේ තර්ජනයක් විදිහට නෙවෙයි මහ හිසරදයක් විදිහට.—1 සාමු. 21:13–22:1.

4. යෙහෝවා ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න අපිට පුළුවන් කොහොමද? උදාහරණයක් කියන්න.

4 යෙහෝවාව විශ්වාසය කරලා වැඩ කරනවා නම් අපිටත් බය පරද්දන්න පුළුවන්. හිතන්න ඔයාට බරපතළ ලෙඩක් හැදෙනවා කියලා. ඒක දැනගත්තාම ඔයාට ලොකු බයක් දැනෙයි. හැබැයි ඔයා ඔයාගේ ඩොක්ටර් ගැන සම්පූර්ණ විශ්වාසය තියනවා නම් ඒ බය අඩු කරගන්න පුළුවන්. මොකද ඒ ඩොක්ටර් මීට කලින් ඔය ලෙඩේම තියෙන අයව හොඳ කරලා තියෙනවා. ඒ වගේම දැන් ඔයා ලෙඩේ ගැන කියද්දී එයා ඔයාට හොඳට ඇහුම්කන් දෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට බෙහෙතක් දීලා කියනවා මේක ගත්තොත් ඉස්සරහට ඔයා සනීප වෙනවා කියලා. යෙහෝවා දෙවියනුත් ඒ ඩොක්ටර් වගේ. ඔහු කරලා තියෙන දේවල් ගැන, දැන් කරන දේවල් ගැන සහ ඉස්සරහට කරන්න යන දේවල් ගැන අපි හිතනවා නම් ඔහු ගැන තියෙන විශ්වාසය තව වැඩි වෙනවා. දාවිත් කළෙත් ඒකමයි. ඒ නිසා අපි දාවිත් රචනා කරපු 56වෙනි ගීතිකාව ගැන ටිකක් බලමු.

යෙහෝවා දැනටමත් කරලා තියෙන දේ

5. බයක් දැනුණ වෙලාවේ දාවිත් හිතුවේ මොනවා ගැනද? (ගීතාවලිය 56:12, 13)

5 ජීවිතේ අනතුරේ වැටුණ වෙලාවලදී වුණත් බයෙන් වෙළෙනවා වෙනුවට දෙවියන් දැනටමත් කරලා තියෙන දේවල් ගැන දාවිත් හිතුවා. (ගීතාවලිය 56:12, 13 කියවන්න.) ඒක දාවිත්ගේ පුරුද්දක්. සමහර වෙලාවට එයා නිර්මාණ ගැන හිතුවා. ඔහු කොච්චර බලවත්ද, ආදරණීයද කියලා එතකොට එයාට මතක් වුණා. (ගීතා. 65:6-9) දෙවියන් අනිත් අය වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැනත් එයා හිතුවා. (ගීතා. 31:19; 37:25, 26) ඒ හැම දේටම වඩා යෙහෝවා එයා වෙනුවෙන්ම කරපු දේවල් ගැනත් දාවිත් කල්පනා කළා. මොකද අතදරුවා කාලේ ඉඳන්ම ඔහු එයාව ආරක්ෂා කරලා එයාට උදව් කළා. (ගීතා. 22:9, 10) එහෙම හිතපු එකෙන් දාවිත්ගේ විශ්වාසය කොච්චර ශක්තිමත් වෙන්න ඇද්ද!

යෙහෝවා කලින් කරපු, දැන් කරන සහ ඉස්සරහට කරන්න යන දේවල් ගැන හිතපු එක දාවිත්ගේ විශ්වාසය ශක්තිමත් කළා (5, 8, 12 ඡේද බලන්න) d


6. බයක් දැනෙද්දී යෙහෝවා ගැන විශ්වාසය තියන්න උදව් වෙන්නේ මොනවාද?

6 බයක් දැනෙන වෙලාවට යෙහෝවා දැනටමත් කරලා තියෙන දේවල් ගැන ටිකක් හිතන්න. උදාහරණෙකට ඔහු කුරුල්ලන් ගැන, මල් ගැන සැලකිල්ල පෙන්නන විදිහ “හොඳින් බලන්න.” ඔහුගේ ගතිලක්ෂණ පෙන්නන්න, ඔහුට නමස්කාර කරන්න බැරි ඒ දේවල් ගැන ඔහු එච්චර සැලකිලිමත් නම් අපි ගැන කොච්චර සැලකිලිමත් වෙයිද! (මතෙ. 6:25-32) ඒ වගේම යෙහෝවා ඔහුගේ සේවකයන් වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැනත් හිතන්න. ඒකට විශ්වාසවන්ත බයිබල් චරිතයක් ගැන හරි අපේ කාලේ සහෝදරයෙක්ගේ අද්දැකීමක් හරි කියවන්න. a යෙහෝවා ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතන්නත් කාලේ ගන්න. මෙහෙම හිතන්න. ‘යෙහෝවා මාව සත්‍යයට ඇදලා ගත්තේ කොහොමද?’ (යොහ. 6:44) ‘මගේ යාච්ඤාවලට උත්තර දීලා තියෙන්නේ කොහොමද?’ (1 යොහ. 5:14) ‘ජීවිත පූජාව නිසා හැම දවසකම මං ප්‍රයෝජන ලබන්නේ කොහොමද?’—එෆී. 1:7; හෙබ්‍රෙ. 4:14-16.

යෙහෝවා කලින් කරපු, දැන් කරන සහ ඉස්සරහට කරන්න යන දේවල් ගැන හිතන එක අපේ විශ්වාසය ශක්තිමත් කරනවා (6, 9-10, 13-14 ඡේද බලන්න) e


7. බයෙන් ගොඩ එන්න වැනෙසාට දානියෙල්ගේ ආදර්ශය උදව් වුණේ කොහොමද?

7 වැනෙසා b හයිටිවල ඉන්න සහෝදරියක්. එයා මුහුණ දුන්නේ වෙනමම විදිහේ ප්‍රශ්නෙකට. එක මනුස්සයෙක් සැරෙන් සැරේ කෝල් කරකර, මෙසේජ් කරකර එයාත් එක්ක ලිංගිකව එකතු වෙන්න කියලා වැනෙසාට බල කළා. වැනෙසා කෙළින්ම කියලා තිබුණා එයා ඒකට කැමති නැහැ කියලා. හැබැයි මොන දේ කිව්වත් ඒ මනුස්සයා වැනෙසාට කරදර කරන එක නැවැත්තුවේ නැහැ. එයා වැනෙසාට තර්ජනත් කළා. වැනෙසාට ගොඩක් බය හිතුණා. ඒත් බයෙන් ගොඩ එන්න එයාට උදව් වුණේ මොකක්ද? එයා ආරක්ෂාව වෙනුවෙන් පියවර ගත්තා. වැඩිමහල්ලෙක් එයාට උදව් කළා බලධාරීන් ළඟට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. දෙවියන් අතීතයේ හිටපු සේවකයන්ව ආරක්ෂා කරපු විදිහ ගැන හිතන එකත් එයාට උදව් වුණා. බලන්න එයා කියන දේ. “මට ඉස්සෙල්ලාම ඔළුවට ආවේ දානියෙල්ව. එයා වරදක් කරලා නැතත් එයාව බඩගින්නේ ඉන්න සිංහයන්ට කන්න දැම්මා. හැබැයි යෙහෝවා එයාව අත්හැරියේ නෑ. ඉතින් මාත් යෙහෝවාගෙන් ඉල්ලුවා එදා සිංහයන්ගේ කටවල් වැහුවා වගේ ඒ මනුස්සයාගේ හිතත් වෙනස් කරන්න කියලා. එහෙම ඉල්ලනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. හැබැයි යාච්ඤා කළාට පස්සේ අර කලින් තිබුණ බය කොහෙන් ගියාද නෑ.”—දානි. 6:12-22.

යෙහෝවා දැන් කරන දේ

8. දාවිත් තේරුම්ගත්තේ මොකක්ද? (ගීතාවලිය 56:8)

8 ගාත්වල ඉද්දී දාවිත්ගේ ජීවිතේ තිබුණේ අනතුරේ. හැබැයි දාවිත් ඒ ගැන හිතහිත බයෙන් ජීවත් වුණේ නැහැ. ඒ වෙනුවට එයා හිතුවේ යෙහෝවා දෙවියන් ඒ වෙද්දීත් එයා වෙනුවෙන් කරන දේවල් ගැන. යෙහෝවා එයාට මඟ පෙන්නුවා, එයාව ආරක්ෂා කළා. එයාට යොනාතාන් සහ පූජක අහිමෙලෙක් වගේ යාළුවන්ගෙනුත් උදව් ලැබුණා. (1 සාමු. 20:41, 42; 21:6, 8, 9) ඒ වගේම සාවුල් දාවිත්ගේ ජීවිතේ නැති කරන්න හැදුවත් ඒ හැම අවස්ථාවකින්ම දාවිත් බේරුණා. ඒ දේවල්වලින් දාවිත්ට තේරුණා එයා මුහුණ දෙන ප්‍රශ්නේ ගැන විතරක් නෙවෙයි ඒ ප්‍රශ්නේ එයාට මානසිකව බලපාන්නේ කොහොමද කියන එක ගැනත් යෙහෝවා හොඳටම දන්නවා කියලා.—ගීතාවලිය 56:8 කියවන්න.

9. යෙහෝවා අපි ගැන දන්නේ මොනවාද?

9 සමහර අභියෝග නිසා ඔයාගේ පපුව වේගෙන් ගැහිලා තියෙනවාද? ඒ වගේ වෙලාවට යෙහෝවා දෙවියන් ඔයා මුහුණ දෙන ප්‍රශ්නේ විතරක් නෙවෙයි ඔයාට හැඟෙන විදිහත් හොඳට තේරුම්ගන්නවා. කොහොමද ඒක හරියටම කියන්නේ? ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහල්ලු විදිහට ඉද්දී දෙවියන් දැක්කේ එයාලා මුහුණ දීපු අසාධාරණකම් විතරක් නෙවෙයි එයාලා “විඳින වේදනාවත්” ඔහුට තේරුණා. (නික්. 3:7) දාවිතුත් කිව්වා එයාට මුහුණ දෙන්න වුණ “සියලු කරදර” විතරක් නෙවෙයි එයා “විඳින දුකත්” යෙහෝවා තේරුම්ගත්තා කියලා. (ගීතා. 31:7) දෙවියන්ගේ සෙනඟට ප්‍රශ්න එද්දී කොටින්ම කිව්වොත් එයාලාගෙම මෝඩ තීරණ නිසා විහින් එයාලා දුක් විඳිද්දී ඒ “සෑම දුකක්ම ඔහුටත් දැනුණා.” (යෙසා. 63:9) ඒ දේවල්වලින් පේනවා යෙහෝවා ඔයා ගැන කොච්චර සැලකිලිමත්ද කියලා. ඔයාට දැනෙන බය ඒ විදිහටම යෙහෝවාට තේරෙනවා. ඒ වගේම ඒ බයෙන් ගොඩ එන්න ඔයාට උදව් කරන්නත් ඔහුට ලොකු වුවමනාවක් තියෙනවා.

10. යෙහෝවා ඔයා ගැන සැලකිලිමත්, ඔහු ඔයාගේ උදව්වට ඉන්නවා කියලත් ඔයාට විශ්වාස ඇයි?

10 ඔයා දරුණු පීඩාවකට, ප්‍රශ්නෙකට මුහුණ දෙද්දී දෙවියන් දෙන උදව් ඔයාට එකපාරටම පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු ඔයාට උදව් කරන විදි අඳුරගන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. (2 රාජා. 6:15-17) ඊටපස්සේ මෙහෙම හිතන්න. රැස්වීමකදී කෙනෙක් දීපු උත්තරයක්, දේශනයක් ඔයාට ශක්තියක් වෙලා තියෙනවාද? අපේ ප්‍රකාශනයකින්, වීඩියෝ එකකින්, සින්දුවකින් ඔයා දිරිගැන්විලා තියෙනවාද? කවුරු හරි ඔයාත් එක්ක දිරිගැන්වෙන අදහසක්, බයිබල් පදයක් බෙදාගෙන තියෙනවාද? දේවවචනයෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් ලැබෙන ඒ වගේ උදව් අපි දැනටමත් අද්දැකලා ඇති. හැබැයි ඒවා ලේසියෙන්ම අපේ හිතෙන් මැකිලා යන්න පුළුවන්. ඒත් ඒ හැම දෙයක්ම යෙහෝවා ඔයා වෙනුවෙන්ම දීලා තියෙන තෑගි කියලා අමතක කරන්න එපා. (යෙසා. 65:13; මාක් 10:29, 30) ඒ දේවල් යෙහෝවා ඔයා ගැන සැලකිලිමත් කියන්න සාක්ෂි. (යෙසා. 49:14-16) එහෙම බලද්දී යෙහෝවාව විශ්වාස කරන්න කොච්චර හේතු තියෙනවාද!

11. බය පරද්දන්න අයිඩාට උදව් වුණේ මොනවාද?

11 සෙනගාලයේ ඉන්න සහෝදරි අයිඩා පවුලේ වැඩිමලා. ඒ නිසා දෙමාපියෝ බලාපොරොත්තු වුණා එයා පවුලේ බර කරට ගනියි කියලා. හැබැයි පුරෝගාමි සේවේ කරන්න ජීවිතේ සරල කරගත්ත නිසා එයාගේ අතේමිටේ එච්චර සල්ලි තිබ්බේ නැහැ. ඉතින් අම්මලා නිතරම අයිඩාට දොස් කිව්වා. බලන්න එයා කියන දේ. “අම්මලාට උදව් කරන්න බැරි වෙයිද, පවුලේ අය මාව පැත්තකට දායිද කියලා මට බය හිතුණා. ඇයි මට මෙහෙම වෙන්න ඉඩහැරියේ කියලා මං යෙහෝවාටත් දොස් කිව්වා. හැබැයි සහෝදරයෙක් දේශනයකදී කිව්වා යෙහෝවා අපේ හිතේ තියෙන තුවාල එකක් නෑර දන්නවා කියලා. ඉතින් වැඩිමහල්ලොයි, අනිත් අයයි දීපු මඟ පෙන්වීම්වලින් මං ටිකෙන් ටික තේරුම්ගත්තා යෙහෝවා මට ආදරෙයි කියලා. ඒ නිසා ඔහු ගැන මගේ හිතේ වැළලිලා තිබුණ විශ්වාසය ආයෙත් මතු වුණා. මං එක හිතින් ඔහුට යාච්ඤා කළා. ඒ යාච්ඤාවලට උත්තර ලැබෙද්දී මට දැනුණේ පුදුම සහනයක්.” කාලයක් යද්දී පුරෝගාමි සේවය කරන ගමන් හොඳ රස්සාවක් හොයාගන්නත් අයිඩාට පුළුවන් වුණා. ඊටපස්සේ එයා එයාගෙයි, අම්මලාගෙයි වියදම් බලාගත්තා. අනිත් අයටත් උදව් කළා. අයිඩා මෙහෙම කියනවා. “ඒකෙන් පස්සේ මං යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න ඉගෙනගත්තා. දැන් ප්‍රශ්නෙකදී යාච්ඤා කළාම මගේ බය නිකම්ම අතුරුදහන් වෙනවා.”

යෙහෝවා ඉස්සරහට කරන දේ

12. ගීතාවලිය 56:9 කියන විදිහට දාවිත්ට විශ්වාසයක් තිබුණේ මොන දේ ගැනද?

12 ගීතාවලිය 56:9 කියවන්න. බය පරද්දන්න දාවිත්ට උදව් වුණ තව දෙයක් ඒ පදේ තියෙනවා. ඒ වෙද්දී දාවිත් හිටියේ ප්‍රශ්න ගොඩක පැටලිලා. හැබැයි යෙහෝවා එයා වෙනුවෙන් ඉස්සරහට කරන දේ ගැන දාවිත් හිතුවා. එයා දැනන් හිටියා ඔහු හරි වෙලාවේදී ඒ හැම ප්‍රශ්නෙකින්ම එයාව ගලවගන්නවා කියලා. මොකද ඊශ්‍රායෙලයේ ඊළඟ රජ වෙන්නේ දාවිත් කියලා යෙහෝවා පොරොන්දු වෙලයි තිබුණේ. (1 සාමු. 16:1, 13) ඔහු දීපු හැම පොරොන්දුවක්ම දාවිත් දැක්කේ ඒ වෙද්දීත් ඉටු වෙලා තියෙන ඒවා විදිහට.

13. යෙහෝවා අපි වෙනුවෙන් මොනවා කරයි කියලාද අපිට විශ්වාස කරන්න පුළුවන්?

13 යෙහෝවා ඔයා වෙනුවෙන් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ මොනවාද? අපි දන්නවා ඔහු අපි වටේට තාප්පයක් බැඳලා හැම ප්‍රශ්නෙකින්ම අපිව ආරක්ෂා කරන්නේ නැහැ කියලා. c හැබැයි අද තියෙන හැම ප්‍රශ්නයක්ම යෙහෝවා ළඟදීම නැත්තටම නැති කරනවා. (යෙසා. 25:7-9) මැරුණු අයට ආයේ ජීවිතේ දෙන්න, අපේ අසනීප සුව කරන්න විතරක් නෙවෙයි අපිට විරුද්ධ වෙන අයගේ බලය බිඳලා දාන්න තරම් බලයක් අපේ නිර්මාතෘට තියෙනවා.—1 යොහ. 4:4.

14. අපිට හිතන්න පුළුවන් මොනවා ගැනද?

14 බයක් දැනෙද්දී යෙහෝවා ඉස්සරහට කරන දේවල් ගැන හිතන්න. එදාට සාතන් නැහැ. දුෂ්ට මිනිස්සු නැහැ. ගෙවෙන හැම තත්පරයක් ගාණෙම පාපය ටිකෙන් ටික නැති වෙනවා. 2014 තුන්දින සමුළුවේ නිරූපණයක් තිබුණා. ඒකේ හිටපු තාත්තා 2 තිමෝති 3:1-5 පාරාදීසේ ගැන ලියවුණා නම් කොහොම තියෙයිද කියලා හිතන්න පවුලේ අයට උදව් කළා. එයා මෙහෙම කිව්වා. “පාරාදීසයේදී ප්‍රීතිමත් කාලයක් පැමිණෙන බව දැනගන්න. මිනිස්සු තමන්ට වඩා අනිත් අය ගැන හිතන, සත්‍යයේ වටිනාකම අගය කරන, තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරන, නිහතමානී, දෙවියන්ට ප්‍රශංසා කරන, දෙමාපියන්ට කීකරු වන, ස්තුතිවන්ත වන, විශ්වාසවන්ත අය වනු ඇත. ඔවුන් පවුලේ අයට සෙනෙහසක් පෙන්නන, හැම වෙලේම එකඟතාවකින් වැඩ කරන, අනිත් අයට ප්‍රශංසා කරන, තමන්වම පාලනය කරගන්න, මෘදු, යහපතට කැමති, ළැදි, අනිත් අයගේ අදහස්වලට ගරු කරන, යටහත්පහත්, විනෝදයට වඩා දෙවියන්ට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව එයාලා දෙවියන්ට මුළු හදවතින්ම භක්තියක් පෙන්වන නිසා ඒ වගේ අයට ළං වෙලා ඉන්න.” අපේ අනාගතය කොහොම වෙයිද කියලා ඔයාත් පවුලේ අයත් එක්ක, සහෝදරයෝ එක්ක කතා කරනවාද?

15. බය පරද්දන්න ටානියාට උදව් වුණේ මොකක්ද?

15 ටානියාගේ අද්දැකීම බලන්න. එයා සත්‍යය ඉගෙනගන්න ගත්තාම අම්මලා ගොඩක් විරුද්ධ වුණා. ටානියා මෙහෙම කියනවා. “මං බයෙන් හිටපු දේවල්ම මට වුණා. හැමදාම මං රැස්වීම් ගිහින් එද්දී අම්මා මට හොඳටම ගැහුවා. සාක්ෂිකරුවෙක් වුණොත් මාව මරනවා කියලත් කිව්වා.” අන්තිමේදී එයාලා ටානියාව ගෙදරින් එළෙව්වා. ටානියා මෙහෙම කියනවා. “මං අද යෙහෝවාට විශ්වාසවන්තව හිටියොත් මගේ ජීවිතේ සදහටම සතුටින් පිරෙන විදිහ ගැන මං කල්පනා කළා. මං හිතුවා මං යෙහෝවා වෙනුවෙන් මොන දේ අත්හැරියත් යෙහෝවා ඊටත් වඩා මට කොච්චර ආශීර්වාද කරයිද කියලා. ඇත්තටම මේ අමිහිරි දේවල් එදාට මතක් වෙන එකකුත් නෑ.” ටානියා දිගටම විශ්වාසවන්තව හිටියා. යෙහෝවාගේ උදව්වෙන් එයා ඉන්න තැනක් හොයාගත්තා. දැන් ටානියා විවාහ වෙලා එයාගේ මහත්තයාත් එක්ක සතුටින් පූර්ණකාලීනව සේවය කරනවා.

විශ්වාසය අදම ශක්තිමත් කරගන්න

16. ලූක් 21:26-28 තියෙන අනාවැකි ඉටු වෙනවා දකිද්දී දිගටම ධෛර්යවන්තව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

16 මහත් පීඩාව කාලේදී මිනිස්සු එයාලට “දැනෙන බිය නිසා ක්ලාන්ත වෙලා ඇද වැටෙනවා.” හැබැයි අපි දිගටම ධෛර්යවන්තව ඉන්නවා. (ලූක් 21:26-28 කියවන්න.) මොකද ඒ වෙද්දීත් අපි ඉන්නේ යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න පුරුදු වෙලා. කලින් කතා කරපු ටානියා තේරුම්ගත්තා එයාට දැන් තියෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න අතීතයේදී එයා මුහුණ දීපු දේවල් ලොකු හයියක් වුණා කියලා. එයා මෙහෙම කියනවා. “සමහර ප්‍රශ්න අපි ඉස්සරහා තියෙන මහා පර්වත වගේ. හැබැයි ඒ කිසිම එකක් යෙහෝවාට වඩා ලොකු නෑ. සමහර වෙලාවට අපිට හිතෙනවා අපේ ජීවිතේ හැම දේම වෙන්නේ අනිත් අයට ඕනෙ විදිහට කියලා. හැබැයි යෙහෝවා ඒකට ඉඩහැරලා නැත්නම් ඒ කිසිම දෙයක් කරන්න එයාලට බෑ. ඇත්තටම, යෙහෝවා දාලා තියෙන සීමාව පන්නලා එක අඟලක්වත් එහාට යන්න එයාලට බෑ. අනික, පීඩාවක් කොච්චර දරුණු වුණත් ඒකත් ඉවර වෙන දවසක් එනවා.”

17. 2024 වාර්ෂික පදය අපිට උදව් වෙන්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

17 දාවිත්ට වගේ අද අපිටත් බයක් දැනෙන දේවල් ඕන තරම් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ බයෙන් යටපත් වෙන්න හොඳ නැහැ. 2024 වාර්ෂික පදය අරගෙන තියෙන්නේ දාවිත් යෙහෝවාට කරපු යාච්ඤාවකින්. එයා කිව්වා “මට භයක් දැනෙන ඕනෑම අවස්ථාවක මාගේ විශ්වාසය ඔබය” කියලා. (ගීතා. 56:3) ඒ පදේ ගැන එක විශාරදයෙක් මෙහෙම කියනවා. “දාවිත් බයක් දැනෙන දේවල් ගැන, එයාට ආපු ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතන්න ගියේ නෑ. ඒ වෙනුවට එයා බලාගෙන හිටියේ එයාට ගැලවීම ලබා දෙන තැනැත්තා දිහා.” ඉතින් මේ අවුරුද්ද පුරාම විශේෂයෙන්ම ඔයාගේ හිතට බයක් දැනෙන ඕනම වෙලාවක වාර්ෂික පදේ මතක් කරගන්න. යෙහෝවා කලින් කරලා තියෙන දේවල්, දැන් කරන දේවල් වගේම ඉස්සරහට කරන්න යන දේවල් ගැන කාලේ අරන් හොඳට හිතන්න. එතකොට දාවිත් වගේ ඔයාත් කියයි “මාගේ විශ්වාසය දෙවි කෙරෙහිය. එබැවින් මම භය නොවෙමි” කියලා.—ගීතා. 56:4.

ලොකු විපතකට මුහුණ දුන්න සහෝදරියක් වාර්ෂික පදය ගැන හිතනවා (17 ඡේදය බලන්න)

මේ දේවල් ගැන හිතන එක බය පරද්දන්න උදව් වෙන්නේ කොහොමද?

  • යෙහෝවා දැනටමත් කරලා තියෙන දේවල්

  • යෙහෝවා දැන් කරන දේවල්

  • යෙහෝවා ඉස්සරහට කරන්න යන දේවල්

ගීතිකාව 33 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න

a jw.org වෙබ් අඩවියේ “සොයන්න” කියන තැන “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” නැත්නම් “අද්දැකීම්” කියලා ටයිප් කරන්න. ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් නම් “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” නැත්නම් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා” කියන කොටස බලන්න.

b සමහර නම් වෙනස් කරලා තියෙනවා.

c ‘යෙහෝවාට ළං වන්න’ පොතේ 7​වෙනි පරිච්ඡේදයේ 13-22 ඡේද බලන්න.

d පින්තූරේ අදහස: වලහෙක් එක්ක සටන් කරන්න දෙවියන් උදව් කරපු විදිහ ගැන, ඒ වෙද්දී අහිමෙලෙක් මාර්ගයෙන් යෙහෝවා උදව් කරකර හිටපු විදිහ ගැන සහ ඉස්සරහට එයා රජ වෙනවා කියලා ඔහු දීපු පොරොන්දුව ගැන දාවිත් හිතුවා.

e පින්තූරේ අදහස: හිරේ ඉන්න සහෝදරයෙක් කලින් යෙහෝවා එයාට සිගරට් බොන එක නවත්තන්න උදව් කරපු විදිහ ගැන, සහෝදර සහෝදරියන් එවන ලියුම්වලින් දැන් යෙහෝවා එයාව දිරිගන්වන විදිහ ගැන සහ ඉස්සරහට එයාට දෙන්න යන සදාකාල ජීවිතය ගැන හිතනවා.