Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 2

ගීතිකාව 19 ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

අවුරුද්දේ වැදගත්ම දවසට ඔයා ලෑස්තිද?

අවුරුද්දේ වැදගත්ම දවසට ඔයා ලෑස්තිද?

“මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.”ලූක් 22:19.

ලිපියේ අරමුණ

සිහි කිරීම එච්චරම වැදගත් ඇයි? ඒකට මුළු හිතින්ම ලෑස්ති වෙන්න අපිට පුළුවන් කොහොමද? ඒකට සහභාගි වෙන්න අනිත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි බලමු.

1. අවුරුද්දේ වැදගත්ම දවස සිහි කිරීමේ දවස කියලා කියන්නේ ඇයි? (ලූක් 22:19, 20)

 යේසුස්ගේ මරණය සිහි කිරීම! ඒක තමයි අවුරුද්දේ තියෙන වැදගත්ම දවස. මොකද යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට සමරන්න කියපු එකම සැමරීම ඒකයි. (ලූක් 22:19, 20 කියවන්න.) අපි ඒ දවස එන කල් බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒ ඇයි?

2. සිහි කිරීම එන කල් ආසාවෙන් බලන් ඉන්න තියෙන හේතු මොනවාද?

2 සිහි කිරීමේ කාලේදී අපි ජීවිත පූජාව ගැන ගැඹුරින් හිතනවා. ඒ වෙනුවෙන් අගය පෙන්නන්න පුළුවන් විදි ගැනත් හිතනවා. (2 කොරි. 5:14, 15) අනිත් අයව දිරිගන්වන්න, එයාලාගෙන් දිරිගැන්වීම් ලබන්න ඒක හොඳ අවස්ථාවක්. (රෝම 1:12) කාලෙකින් රැස්වීම් ආපු නැති අයත් එදාට එනවා. එයාලව ආදරෙන් පිළිගද්දී ආයෙත් යෙහෝවාට ළං වෙන්න එයාලා පෙලඹෙනවා. එදාට මුල්ම වතාවට එන අයත් ඉන්නවා. එයාලා අහන දකින දේවල් නිසා ජීවනයට යන පාරට අඩිය තියන්න එයාලා පෙලඹෙන්න පුළුවන්. එහෙම බලද්දී සිහි කිරීම අපිට විශේෂ වෙන්න කොච්චර නම් හේතු තියෙනවාද!

3. සිහි කිරීම අපිව එක්සත් කරන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

3 සිහි කිරීම ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන්ව එක්සත් කරනවා. ටිකකට හිතන්න, ඒ දවසේ රටින් රටට ඉර බැහැගෙන යද්දී සාක්ෂිකරුවන් හැමෝම එකට රැස් වෙනවා. අපි ජීවිත පූජාවේ වැදගත්කම ගැන තියෙන ලස්සන දේශනයකට ඇහුම්කන් දෙනවා. ගීතිකා දෙකක් කියලා යෙහෝවාට ප්‍රශංසා කරනවා. සංකේත අතින් අත යවනවා. යාච්ඤා හතරකට මුළු හදවතින්ම “ආමෙන්” කියනවා. පැය 24ක් ඇතුළත මේ සැමරීම ලෝකේ පුරා තියෙන හැම සභාවක්ම කරන්නේ එකම විදිහට. අපි හැමෝම එක පවුලක් වගේ ඒක පවත්වද්දී යෙහෝවාටයි, යේසුස්ටයි කොච්චර සතුටක් දැනෙයිද!

සිහි කිරීම ලෝකේ පුරා ඉන්න අපේ සහෝදරයන්ව එක්සත් කරනවා (3 ඡේදය බලන්න) f


4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු. (1) සිහි කිරීමට මුළු හිතින්ම ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද? (2) ඒකෙන් ප්‍රයෝජන ගන්න අනිත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද? (3) අක්‍රියාශීලී අය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොනවාද? ඒ ප්‍රශ්න ගැන කල්පනා කරන එක මේ සුවිශේෂී අවස්ථාවට ලෑස්ති වෙන්න අපිට උදව් වෙයි.

ජීවිත පූජාව ගැන ගැඹුරින් හිතන්න

5. (අ) ජීවිත පූජාව ගැන ගැඹුරින් හිතන්න ඕනෙ ඇයි? (ගීතාවලිය 49:7, 8) (ආ) ‘යේසුස් මිය ගියේ ඇයි?’ කියන වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

5 ජීවිත පූජාවේ වටිනාකම ගැන ගැඹුරින් හිතද්දී ඒ ගැන අපේ අගය වැඩි වෙනවා. සිහි කිරීමට හොඳින් ලෑස්ති වෙන්නත් ඒක උදව්වක්. අපි මොනවා කළත් කවදාවත් පාපයෙන් සහ මරණයෙන් අපිවම ගලවගන්න අපිට බැහැ. (ගීතාවලිය 49:7, 8 කියවන්න; ‘යේසුස් මිය ගියේ ඇයි?’ කියන වීඩියෝ එකත් බලන්න.) a හිතන්න, තමන්ගේ ආදරණීය පුතාව අපි වෙනුවෙන් දෙන්න යෙහෝවා කොච්චර කැප කිරීමක් කළාද? යේසුස් කොච්චර කැප කිරීමක් කළාද? (රෝම 6:23) ඒ ගැන හිතද්දී ජීවිත පූජාව ගැන තියෙන අගයත් තව වැඩි වෙනවා. දැන් අපි ඒ වෙනුවෙන් යෙහෝවාටයි, යේසුස්ටයි දරාගන්න වුණ දේවල් ගැන බලමු. ඊට කලින් අපි බලමු පූජාවක් විදිහට ඔප්පු කරන්න ඕන වුණේ මොන වගේ ජීවිතයක්ද කියලා.

6. ජීවිත පූජාව කොයි වගේ එකක් වෙන්න ඕනෙද?

6 දෙවියන් ආදම්ව හැදුවේ හැමදාටම ජීවත් වෙන්න පුළුවන් පරිපූර්ණ කෙනෙක් විදිහට. හැබැයි එයා අකීකරු වුණාම එයාටත් එයාගේ දරුවන්ටත් ඒ අවස්ථාව නැති වුණා. ආදම් නැති කරගත්ත පරිපූර්ණ ජීවිතේ ආපහු දෙන්න තමයි යේසුස් ඔහුගේ පරිපූර්ණ ජීවිතේ වන්දියක් විදිහට පූජා කළේ. “යේසුස් කිසි පාපයක් කළේ නැහැ. ඔහුගේ මුවින් වංචනික වචනයක්වත් පිට වුණේ නැහැ.” (1 පේතෘ. 2:22) යේසුස් ජීවිත කාලෙම විශ්වාසවන්තව හිටපු නිසා ඔහු මිය යන මොහොතෙත් පරිපූර්ණ කෙනෙක්. ඉතින් ඔහුගේ ජීවිතේ ආදම් නැති කරගත්ත ජීවිතේට හැම අතින්ම සමානයි.—1 කොරි. 15:45; 1 තිමෝ. 2:6.

7. පොළොවේදී යේසුස්ට ආපු අභියෝග මොනවාද?

7 මොන අභියෝග ආවත් යේසුස් ඔහුගේ තාත්තාට පෙන්නපු කීකරුකම පොඩ්ඩක්වත් එහෙට මෙහෙට වෙන්න ඉඩ දුන්නේ නැහැ. යේසුස් පරිපූර්ණ කෙනෙක්. ඒත් පාපය උරුම කරගත්ත දෙමාපියන්ට ඔහු කීකරු වුණා. (ලූක් 2:51) යෞවන කාලේදීත් යෙහෝවා දෙවියන්ට, දෙමාපියන්ට අකීකරු වෙන්න ඔහුට ලොකු පීඩනයක් එන්න ඇති. වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඔහුට සාතන්ගෙන් ගොඩක් පරීක්ෂා ආවා. සමහර අවස්ථාවලදී සාතන් කෙළින්ම ඇවිත් යේසුස්ට යෙහෝවා ගැන තිබුණ ළැදිකම කඩන්න හැදුවා. (මතෙ. 4:1-11) සාතන් කුරුමානම් ඇල්ලුවේ යේසුස්ව පාපයට වට්ටලා ජීවිත පූජාව දෙන එක වළක්වන්නයි.

8. යේසුස්ට දරාගන්න වුණේ තව මොන වගේ දේවල්ද?

8 යේසුස් පොළොවේ ඉද්දී මිනිස්සු ඔහුට විරුද්ධ වුණා. ඔහුව මරන්න හැදුවා. (ලූක් 4:28, 29; 13:31) ගෝලයන්ගේ අඩුපාඩුකම් දරාගන්නත් ඔහුට සිද්ධ වුණා. (මාක් 9:33, 34) ඔහුගේ නඩුව විභාග කරපු වෙලාවේ ඔහුට දස වධ දීලා අපහාස කළා. ඊටපස්සේ අපරාධකාරයෙක් විදිහට හංවඩු ගහලා, දරාගන්න බැරි තරම් වේදනාවක් දීලා ඔහුව මරලා දැම්මා. (හෙබ්‍රෙ. 12:1-3) ජීවිතේ අන්තිම විනාඩි කීපය යේසුස්ට විඳදරාගන්න වුණේ යෙහෝවාගේ උදව්වත් නැතුව. bමතෙ. 27:46.

9. යේසුස් කරපු කැප කිරීම ගැන ඔයාට කොහොමද හැඟෙන්නේ? (1 පේතෘස් 1:8)

9 ඇත්තටම යේසුස් අපි වෙනුවෙන් කරපු කැප කිරීම මිල කරන්න බැරි එකක්. ඔහු ඒක කළේ කැමැත්තෙන්මයි. ඒ ගැන හිතද්දී ඔයාගේ හිතේ ඔහු ගැන ලොකු ආදරයක් ඇති වෙන්නේ නැද්ද!—1 පේතෘස් 1:8 කියවන්න.

10. යෙහෝවා කළේ මොන වගේ කැප කිරීමක්ද?

10 එතකොට යේසුස්ගේ ජීවිතේ දෙන්න යෙහෝවා කළේ මොන වගේ කැප කිරීමක්ද? ඒ දෙන්නාගේ බැඳීම ගැන හිතන්න. ඒ වගේ බැඳීමක් වෙන කිසිම තාත්තෙක් පුතෙක් අතරේ නැහැ. (හිතෝ. 8:30) ඒත් පොළොවට ආවාට පස්සේ මිනිස්සු යේසුස්ව පිළිගත්තේ නැහැ. ඔහුට ගොඩක් අසාධාරණකම් කළා, පීඩා කළා. තමන්ගේ පුතාට එච්චර දේවල් වෙද්දී තාත්තා කෙනෙක් විදිහට යෙහෝවා ඒක කොහොම උහුලගන්න ඇද්ද!

11. යේසුස්ව මරපු වෙලාවේ යෙහෝවාට කොහොම හැඟෙන්න ඇද්ද?

11 පුංචි කාලේ ඉඳන් ඇස් දෙක වගේ බලාගත්ත දරුවෙක් මැරෙන එක තරම් වේදනාවක් දෙමාපියන්ට තවත් නැහැ. නැවත නැඟිටීම ගැන විශ්වාස වුණත් දැනෙන දුක නම් කීයටවත් නැති වෙන්නේ නැහැ. ඔයාත් ඒ වේදනාව විඳපු කෙනෙක් නම් යෙහෝවාගේ වේදනාව ඔයාටත් දැනෙනවා ඇති. මොකද ක්‍රි.ව. 33 නීසාන් 14වෙනිදා යෙහෝවාගේ ආදරණීය පුතාත් ඔහුගේ ඇස් ඉස්සරහම මැරෙනවා ඔහුට බලන් ඉන්න සිද්ධ වුණා. cමතෙ. 3:17.

12. සිහි කිරීම ළං වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

12 සිහි කිරීම ළං වෙද්දී පවුලේ නමස්කාරයේදී හරි පෞද්ගලික අධ්‍යයනයේදී හරි ජීවිත පූජාව ගැන අධ්‍යයනය කරන්න. ඒකට ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත ඇතුළුව තව ගොඩක් දේවල් සංවිධානයෙන් දීලා තියෙනවා. d ඒ වගේම ‘වැඩපොතේ’ තියෙන සිහි කිරීමට අදාළ බයිබල් කියවීමත් වරද්දන්නේ නැතුව කරන්න. එදාට තියෙන විශේෂ උදෑසන නමස්කාර වැඩසටහනත් බලන්න. ඒ විදිහට සිහි කිරීමට මුළු හිතින්ම ලෑස්ති වෙද්දී අනිත් අයටත් ඒකෙන් ප්‍රයෝජන ගන්න උදව් කරන්න අපිට පුළුවන්.—එස්රා 7:10.

ප්‍රයෝජන ගන්න අනිත් අයටත් උදව් කරන්න

13. සිහි කිරීමෙන් ප්‍රයෝජන ගන්න අනිත් අයට උදව් කරන්න අපිට මුලින්ම කරන්න පුළුවන් මොකක්ද?

13 මුලින්ම ඔයාට පුළුවන් සිහි කිරීමට අනිත් අයට ආරාධනා කරන්න. සේවේදී හම්බ වෙන අයට අමතරව ආරාධනා කරන්න පුළුවන් අයගේ ලිස්ට් එකක් හදන්න. ඒකට නෑදෑයන්ව, වැඩපොළේ අයව, ඉස්කෝලේ අයව සහ තවත් හුඟදෙනෙක්ව දාගන්න පුළුවන්. හදිස්සියේවත් සිහි කිරීමට කලින් ඔයාගේ ආරාධනා පත්‍රිකා ඉවර වුණොත් ඩිජිටල් ආරාධනා පත්‍රිකාවක් යවන්න. ඒ විදිහට පුළුවන් තරම් දෙනෙක්ට ආරාධනා කරන්න. කවුද දන්නේ කීදෙනෙක් නම් සිහි කිරීමට එයිද කියලා.—දේශ. 11:6.

14. ආරාධනා පත්‍රයක් අතටම දෙන්න ඕනෙ ඇයි?

14 එක සහෝදරියක් හිටියා එයාගේ මහත්තයා සත්‍යයේ නැහැ. දවසක් මහත්තයා හරිම ආඩම්බරයෙන් කිව්වා “මාත් සිහි කිරීමට එනවා” කියලා. ඒක අහලා අපේ සහෝදරිය පුදුම වුණා. මොකද ඊට කලින් එයා කීප සැරයක්ම ආරාධනා කළත් මහත්තයා ආවේ නැහැ. මේ වතාවේ එයාට එන්න හිතුණේ ඇයි? මේ සහෝදරියගේ මහත්තයා එක්ක හිතවත් වැඩිමහල්ලෙක් හිටියා. එයා ඇවිත් ආරාධනා පත්‍රිකාව මහත්තයාගේ අතටම දීලා තිබුණා. ඉතින් මහත්තයා සහෝදරියට කිව්වා “මෙහෙම අතටම ගෙනත් දුන්නාම කොහොමද නොයා ඉන්නේ” කියලා. ඇත්තටම ඒ සැරේ විතරක් නෙවෙයි අවුරුදු ගාණක්ම එයා සිහි කිරීමට ගියා.

15. කෙනෙක්ට සිහි කිරීමට ආරාධනා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

15 මුල්ම වතාවට සිහි කිරීමට එන කෙනෙක්ගේ හිතේ ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම එයා කලින් අපේ රැස්වීමකට ඇවිල්ලා නැත්නම්. ඉතින් එයාලා මොන වගේ ප්‍රශ්න අහයිද කියලා හිතලා ඒවාට ලෑස්ති වෙන්න. (කොලො. 4:6) ගොඩක් අයට මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. “සිහි කිරීමේදී වෙන්නේ මොනවාද? ඒක කොච්චර වෙලාවක් තියෙයිද? මං අඳින්න ඕනෙ කොහොමද? ඇතුල් වීමේ ගාස්තුවක් අය කරනවාද? එන අයගෙන් සම්මාදම් එකතු කරනවාද?” කෙනෙක්ට ආරාධනා කරද්දී එයාගෙන් අහන්න “සිහි කිරීම ගැන මොනවා හරි දැනගන්න තියෙනවාද” කියලා. එයාලට ප්‍රශ්න තියෙනවා නම් එතකොට එයාලා කියයි. ඒ වගේම ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ සහ ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝත් එයාලට පෙන්නන්න. අපේ රැස්වීම් ගැන පොඩි අදහසක් ගන්න ඒවා උදව් වෙයි. ඒ වගේම ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 28වෙනි පාඩමේ කරුණුත් එයා එක්ක බෙදාගන්න.

16. සමහරු අහන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද?

16 සිහි කිරීමට ආවාට පස්සේ උනන්දුවක් තියෙන අයට තවත් ප්‍රශ්න තියෙයි. එදා කවුරු හරි රොටි, වයින් ගත්තා නම් එයාලා අහයි “ටිකදෙනෙක් විතරක් ඒවා ගත්තේ ඇයි” කියලා. එහෙම නැත්නම් එයාලා මෙහෙම අහයි. “ඔයාලා මේක කොච්චර කාලෙකට සැරයක් පවත්වනවාද? ඔයාලාගේ කට්ටිය හැමෝම ඔය විදිහටමද ඕක සමරන්නේ?” සිහි කිරීමේ දේශනයෙනුත් ඒ ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා තමයි. ඒත් ඒ ගැන තව දැනගන්න අලුත් කෙනෙක් ආස වෙයි. එයා අහන සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න jw.org එකේ තියෙන “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් විදිහකට යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?” කියන ලිපිය ඔයාට උදව් වෙයි. අපිට ඕනෙ ‘සත්‍යය පිළිගන්න කැමති හැමෝටම’ සිහි කිරීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න උදව් කරන්න. (ක්‍රියා 13:48) ඒ නිසා සිහි කිරීමට කලින්, සිහි කිරීම අතරතුරේ සහ සිහි කිරීමෙන් පස්සේ එයාලට උදව් කරන්න අපි උපරිමය කරමු.

අක්‍රියාශීලී අයවත් අමතක කරන්න එපා!

17. අක්‍රියාශීලී අයට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (එසකියෙල් 34:12, 16)

17 වැඩිමහල්ලෙනි, අක්‍රියාශීලී අයටත් ඔයාලාගේ උදව් ඕනේ. ඔයාලාගේ ආදරය, සැලකිල්ල එයාලට දැනෙන්න සලස්වන්න. (එසකියෙල් 34:12, 16 කියවන්න.) සිහි කිරීමට කලින් එයාලාගෙන් පුළුවන් තරම් දෙනෙක්ට කෝල් කරන්න. එයාලව බලන්න යන්න. එයාලට කියන්න “අපිට ඔයාලව වටිනවා, ඔයාලා වෙනුවෙන් ඕනෙම උදව්වක් කරන්න අපි ලෑස්තියි” කියලා. එයාලට සිහි කිරීමට එන්න කියන්න. එයාලා ආවොත් ආදරෙන් පිළිගන්න. සිහි කිරීමෙන් පස්සෙත් එයාලව අමතක නොකර එයාලට කෝල් කරන්න. එයාලව බලන්න යන්න. යෙහෝවාට ළං වෙන්න දිගටම එයාලට උදව් කරන්න.—1 පේතෘ. 2:25.

18. අක්‍රියාශීලී අයට උදව් කරන්න අපි හැමෝටම පුළුවන් කොහොමද? (රෝම 12:10)

18 අක්‍රියාශීලී අයට උදව් කරන්න අපි හැමෝටම පුළුවන් කොහොමද? ඒ අපේ ආදරය, ගෞරවය දැනෙන්න සලස්වන එකෙන්. (රෝම 12:10 කියවන්න.) ඒකට එයාලා ඉන්න තත්වයට බහින්න උත්සාහ කරන්න. සමහර වෙලාවට ආයෙත් රැස්වීමකට එන්න එයාලට ලොකු චකිතයක් ඇති. ‘සහෝදරයෝ මොනවා කියයිද, කොහොම පිළිගනියිද’ කියලා ලොකු බයක් දැනෙනවත් ඇති. e ඒ නිසා එයාලාගෙන් අහන දේවල් ගැන, එයාලට කියන දේවල් ගැන පරෙස්සම් වෙන්න. මොකද කියන, කරන දෙයක් නිසා එයා අපහසුතාවයට පත් වෙන්න හරි එයාගේ හිත රිදෙන්න හරි පුළුවන්. (1 තෙස. 5:11) එයාලත් අපේ ආදරණීය සහෝදර සහෝදරියන්. ඇත්තටම එයාලත් එක්ක ආයෙත් යෙහෝවාට නමස්කාර කරන්න ලැබෙන එක සතුටක් නෙවෙයිද?—ගීතා. 119:176; ක්‍රියා 20:35.

19. යේසුස්ගේ මරණය සිහි කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

19 සිහි කිරීමෙන් අපිට වගේම අනිත් අයටත් ප්‍රයෝජන ලැබෙනවා. (යෙසා. 48:17, 18) ඒකෙන් යෙහෝවා ගැන, යේසුස් ගැන අපේ හිතේ තියෙන ආදරේ වැඩි වෙනවා. එයාලා අපි වෙනුවෙන් කරලා තියෙන කැප කිරීම් ගැන අපේ හිතේ තියෙන අගය පෙන්නන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම සහෝදරයන් එක්ක තියෙන බැඳීමත් ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න විදිහ ගැන දැනගන්න අපිට අනිත් අයට උදව් කරන්නත් අවස්ථාව ලැබෙනවා. එහෙම බලද්දී හැම අවුරුද්දකම තමන්ගේ මරණය සිහි කරන්න කියලා යේසුස් කියපු එක කොච්චර වටිනවාද! එහෙමනම් අපි මේ අවුරුද්දෙත් සිහි කිරීමට ලෑස්ති වෙන්න අපේ උපරිමය කරමු. මොකද ඒක තමයි අවුරුද්දේ අපිට තියෙන වැදගත්ම දවස!

මේ දේවල් කරන්න අපිට පුළුවන් කොහොමද?

  • සිහි කිරීමට මුළු හිතින්ම ලෑස්ති වෙන්න

  • අනිත් අයට උදව් කරන්න

  • අක්‍රියාශීලී අයට උදව් කරන්න

ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු

a මේ ලිපියේ සඳහන් වෙන ලිපි සහ වීඩියෝ jw.org වෙබ් අඩවියෙන් හොයාගන්න “සොයන්න” කියන කොටුවේ ඒවාවල මාතෘකා ටයිප් කරන්න.

b 2021 අප්‍රියෙල් ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.

c ‘යෙහෝවාට ළං වන්න’ පොතේ 23​වෙනි පරිච්ඡේදයේ 8-9 ඡේද බලන්න.

d අධ්‍යයනය කරන්න දෙයක්!” කියන කොටුව බලන්න.

e පින්තූර සහ “ සභාවේ අය පිළිගත්තේ කොහොමද?” කියන කොටුව බලන්න. අක්‍රියාශීලී සහෝදරයෙක් කිංඩම් හෝල් එක ඇතුළට එන්න බයෙන් එළියේ හිටගෙන ඉන්නවා. පස්සේ එයා ඒ බයෙන් ගොඩ එනවා. සහෝදරයොත් එයාව ආදරෙන් පිළි අරන් එයාත් එක්ක හොඳට කතා කරනවා.

f පින්තූරවල අදහස: ලෝකේ එක පැත්තක සහෝදරයෝ සිහි කිරීම පවත්වද්දී ලෝකේ අනිත් පැතිවල ඉන්න සහෝදරයෝ ඒකට ලෑස්ති වෙනවා.