Skip to content

පටුනට යන්න

ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?

ඔයා කාන්තාවන්ට සලකන්නේ යෙහෝවා සලකන විදිහටමද?

විශ්වාසවන්ත සහෝදරියන් එක්ක වැඩ කරන්න ලැබුණ එක ඇත්තටම ලොකු වරප්‍රසාදයක්! යෙහෝවා දෙවියන්ට වෙහෙස මහන්සි නොබලා සේවය කරන ඒ වගේ සහෝදරියන් ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා. a ඉතින් සහෝදරයෙනි, එයාලට ආදරෙන්, ගෞරවයෙන් සහ සාධාරණව සලකන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඒත් අපි කවුරුත් පරිපූර්ණ නැති නිසා ඒකට ලොකු සටනක් කරන්න වෙනවා.

බොලිවියාවේ චාරිකා සේවකයෙක් වන හාන්ස් මෙහෙම කියනවා. “සමහර සංස්කෘතිවල පිරිමින්ව සලකන්නේ මහ ඉහළින්. b ඒක කොච්චර මුල් බැහැලාද කියනවා නම් ගෑනු අයට තැනක් ඇත්තෙම නෑ.” තායිවානයේ වැඩිමහල්ලෙක් වන ෂෙංෂියැං මෙහෙම කියනවා. “අපේ පැත්තේ පිරිමි හිතන්නේ එයාලාගේ වැඩවලට ගෑනු අය හොට දාන්න ඕනෙ නෑ කියලා. කෙනෙක් බැරි වෙලාවත් යාළුවෝ ඉස්සරහා ගෑනු කෙනෙක් දීපු අදහසක් කිව්වොත් එයාලා ඒ කෙනාව සලකන්නේ නෝන්ජල් කෙනෙක් ගාණට.” තවත් අය එයාලා වගේ අන්තයටම ගියේ නැතත් කරන සමහර විහිළුවලින් පේනවා ඒ අයත් කාන්තාවන්ව පහත් කරනවා කියලා.

ඒ මොන පසුබිමෙන් ආවත් කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්න ඉගෙනගන්න පුරුෂයෙක්ට පුළුවන්. (එෆී. 4:22-24) ඒකටත් අපිට ඉන්න හොඳම ආදර්ශය තමයි යෙහෝවා දෙවියන්. ඒත් (1) යෙහෝවා කාන්තාවන්ට සලකන්නේ කොහොමද? (2) ඔහුව ආදර්ශයට ගන්න පුරුෂයන්ට පුළුවන් කොහොමද? (3) සහෝදරියන්ට ගෞරවය පෙන්නද්දී වැඩිමහල්ලන්ට පෙරමුණ ගන්න පුළුවන් කොහොමද?

යෙහෝවා සලකන විදිහ

සෙනෙහසින් පිරුණු තාත්තා කෙනෙක් විදිහට යෙහෝවා ඔහුගේ දරුවන් හැමෝටම එක වගේ ආදරෙයි. (යොහ. 3:16) අපේ සහෝදරියන්ව ඔහු සලකන්නේ ආදරණීය දූවරු විදිහට. දැන් අපි ඔහු කාන්තාවන්ට ආදරය, ගෞරවය පෙන්නලා තියෙන විදිහ බලමු.

ඔහු එයාලට වෙනසක් කරන්නේ නැහැ. යෙහෝවා දුවලාට වඩා පුතාලාට ආදරේ කරන තාත්තා කෙනෙක් නෙවෙයි. (2 ලේක. 19:7) ඔහු පුරුෂයාවයි, ස්ත්‍රියවයි හැදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුව. (උත්. 1:27) ඔහු පුරුෂයන්ව ස්ත්‍රීන්ට වඩා බුද්ධිමත් අය විදිහට හැදුවෙත් නැහැ. ඒ දෙගොල්ලන්ටම බයිබල් සත්‍යයන් තේරුම්ගන්න, ඔහුගේ ගුණාංග පෙන්නන්න ඔහු හැකියාව දුන්නා. යෙහෝවා ඒ දෙගොල්ලන්ගෙම විශ්වාසයට දෙන්නේ එකම වටිනාකම. එයාලාගේ බලාපොරොතේතුව මේ පොළොවේ වුණත් ස්වර්ගයේ වුණත් ඒකේ වෙනසක් නැහැ.—තීත. 1:1.

ඔහු එයාලට ඇහුම්කන් දෙනවා. යෙහෝවා දෙවියන් කාන්තාවන්ට හැඟෙන විදිහ ගැන ගොඩක් සැලකිලිමත්. උදාහරණයකට ඔහු රාකෙල්ගේ සහ හන්නාගේ යාච්ඤාවලට ඇහුම්කන් දීලා ඒවාට උත්තරත් දුන්නා. (උත්. 30:22; 1 සාමු. 1:10, 11, 19, 20) පුරුෂයන් කාන්තාවන්ට ඇහුම්කන් දීපු අවස්ථාත් ඔහු බයිබලේට ඇතුළත් කළා. උදාහරණයකට ඔහු ආබ්‍රහම්ට කිව්වා සාරා කියන දේ අහන්න කියලා. (උත්. 21:12-14) ඒ වගේම දාවිත් තේරුම්ගත්තා හරිම වේලාවේදී එයාට කතා කරන්න අබිගායිල්ව එව්වේ දෙවියන් කියලා. (1 සාමු. 25:32-35) යේසුස් කියන්නේ යෙහෝවාව ඒ විදිහටම ආදර්ශයට ගත්ත කෙනා. ඔහුත් ඔහුගේ අම්මාට ඇහුම්කන් දුන්නා. (යොහ. 2:3-10) ඒ දේවලින් පැහැදිලියි කාන්තාවන්ට ඇහුම්කන් දෙන එකෙන් දෙවියන් එයාලට ගෞරවය පෙන්නනවා කියලා.

ඔහු එයාලව විශ්වාස කළා. ඒව පොළොව රැකබලා ගන්න හොඳ සහයෝගයක් දෙයි කියලා දෙවියන් විශ්වාස කළා. (උත්. 1:28) ඒ වගේ වගකීමක් දීපු එකෙන් පේනවා දෙවියන් ඒවව සැලකුවේ ආදම්ට වඩා පහත් කෙනෙක් විදිහට නෙවෙයි කියලා. ඔහු දෙබොරා සහ හුල්දා වගේ අනාගතවක්තෘවරියන්වත් විශ්වාස කළා. කොච්චරද කියනවා නම් විනිශ්චයකරුවෝ, රජවරු වගේ අයට පවා උපදෙස් දෙන්නත් එයාලව පාවිච්චි කළා. (විනි. 4:4-9; 2 රාජා. 22:14-20) අදත් යෙහෝවා අපේ සහෝදරියන්ව සංවිධානයේ වැඩවලට පාවිච්චි කරනවා. එයාලා ප්‍රචාරකයන්, පුරෝගාමීන් සහ මිෂනාරිවරුන් විදිහට සේවේ කරනවා. නමස්කාර මධ්‍යස්ථාන සහ ශාඛා කාර්යාල නිර්මාණය කරන්න, ඉදි කරන්න, ඒවා නඩත්තු කරන්න හවුල් වෙනවා. සමහරු බෙතෙල් එකේ, ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලවල සේවේ කරනවා. එයාලා දෙවියන්ගේ කැමැත්ත කරන්න පෙළ ගැහිලා ඉන්න හමුදාවක් වගේ. (ගීතා. 68:11) ඒකෙන් පේනවා යෙහෝවා කවදාවත් කාන්තාවන්ව දුර්වල, වටිනාකමින් අඩු අය විදිහට සලකන්නේ නැහැ කියලා.

යෙහෝවා වගේ වෙන්න

සහෝදරයෙනි, අපිත් සහෝදරියන් ගැන හිතන විදිහ, එයාලට සලකන විදිහ ගැන සෝදිසි කරලා බලන එක වැදගත්. හැබැයි ඒක තනියම කරන්න බැහැ. උදාහරණයකට අපේ හෘද වස්තුවේ ප්‍රශ්නයක් කරනවාද කියලා දැනගන්න අපිට ඩොක්ටර් කෙනෙක්ගේ උදව් ඕනේ. එයා උපකරණ පාවිච්චි කරලා අපේ හෘද වස්තුව ස්කෑන් කරනවා. ඒ වගේ අපිත් හිතින් හරි කාන්තාවන්ව පහත් කරනවාද කියලා දැනගන්න අපිටත් යාළුවෙක්ගෙන් සහ බයිබලෙන් උදව් ගන්න වෙනවා.

යාළුවෙක්ගෙන් අහන්න. (හිතෝ. 18:17) කාරුණික, විශ්වාසවන්ත සහ සමබරව හිතන යාළුවෙක්ගෙන් මෙහෙම අහන්න. “මං සහෝදරියන්ට සලකන විදිහ ගැන ඔයා මොකද හිතන්නේ? මං එයාලට ගෞරව කරනවා කියලා එයාලට දැනෙනවා ඇද්ද? මට තව දියුණු වෙන්න පැති තියෙනවාද?” එයා දියුණු වෙන්න ඕනෙ පැති පෙන්නුවොත් කේන්ති ගන්නෙවත් නිදහසට කරුණු කියන්නෙවත් නැතුව ඉක්මනටම වෙනස් වෙන්න.

බයිබලය අධ්‍යයනය කරන්න. ඔයා ගැනම තේරුම්ගන්න හොඳම විදිහ තමයි ඒක. (හෙබ්‍රෙ. 4:12) කාන්තාවන්ට ගෞරවයෙන් සලකපු පිරිමි අය ගැන වගේම එහෙම නොකරපු අය ගැනත් බයිබලේ තියෙනවා. ඒවා කියවද්දී හිතන්න ඔයා වැටෙන්නේ කොයි ගොඩටද කියලා. බයිබලේ තියෙන එක පදයක්, දෙකක් අල්ලගෙන ඒක වාසියට හරවාගන්නවා වෙනුවට බයිබල් පද සන්සන්දනය කරලා කාන්තාවන් ගැන යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න. උදාහරණයකට 1 පේතෘස් 3:7 කියනවා ‘කාන්තාවන් වන ඔවුන් ඔබට වඩා දුර්වල අය වන නිසා ඔවුන්ට ගෞරවය දිය යුතුයි’ කියලා. c ඒ කියන්නේ කාන්තාවන් පිරිමි අයට වඩා බුද්ධියෙන් අඩු, දෙයක් හරියට කරගන්න බැරි අයද? කොහොමටවත් නැහැ. දැන් අපි ඒ අදහස ගලාති 3:26-29ත් එක්ක සන්සන්දනය කරමු. එතන කියන්නේ දෙවියන් පුරුෂයන්ව වගේම ස්ත්‍රීන්වත් යේසුස් එක්ක රජකම් කරන්න තෝරගෙන තියෙනවා කියලා. ඒ කියන්නේ දෙවියන්ට ඒ දෙගොල්ලන්වම එක වගේ වටිනවා. ඉතින් ඔයා සහෝදරියන්ට සලකන විදිහ ගැන යාළුවෙක්ගෙන් අහන්න. එයා පිරිමි කෙනෙක් වුණත් ගැහැනු කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම බයිබලේ හොඳට අධ්‍යයනය කරන්න. එහෙම කරද්දී කාන්තාවන්ට සලකන්න ඕන හරිම විදිහ තේරුම්ගන්න ඔයාට පුළුවන්.

වැඩිමහල්ලන් සහෝදරියන්ට ගෞරවය පෙන්නන්නේ කොහොමද?

ආදරණීය වැඩිමහල්ලන් සහෝදරියන්ට ගෞරවයෙන් සලකනවා. එයාලාගෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

එයාලා සහෝදරියන්ව අගය කරනවා. පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට ලියද්දී සහෝදරියන් කීපදෙනෙක් ගැනම අගය කරලා කතා කළා. (රෝම 16:12) ඒ ලියුම ප්‍රසිද්ධියේ කියවද්දී ඒ සහෝදරියන්ට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද? ඒ වගේ, අද ඉන්න වැඩිමහල්ලනුත් සහෝදරියන්ගේ හොඳ ගුණාංග, එයාලා මහන්සි වෙලා කරන සේවය ගොඩක් අගය කරනවා. එතකොට සහෝදරියන්ටත් දැනෙනවා සහෝදරයන්ගේ හිතේ එයාලා ගැන කොච්චර ගෞරවයක් තියෙනවාද කියලා. සමහරවිට වැඩිමහල්ලෙක් කියන එක පුංචි වචනයක් ඇති සහෝදරියකට දිගටම විශ්වාසවන්තව එයාගේ ගමන යන්න.—හිතෝ. 15:23.

අගය කරන්න

වැඩිමහල්ලන් සහෝදරියන්ව අවංකවම අගය කරන්න ඕනේ. අගය කරන දේ නිශ්චිතවම කියන්නත් ඕනේ. බලන්න ජෙසිකා කියන දේ. “සහෝදරයෙක් ඇවිත් ‘ඔයා හොඳට දේවල් කරනවා’ කියලා කිව්වාම සතුටක් දැනෙනවා. හැබැයි ‘ඔයා කරපු මෙන්න මේ දේ හොඳයි’ කියලා හරියටම කියද්දී ඊටත් වඩා සතුටක් දැනෙනවා. සමහරවිට රැස්වීමේදී දඟලන්නේ නැතුව ඉන්න ළමයින්ව පුහුණු කරන එක, තකහනියක්ම ගිහින් බයිබල් පාඩමක් රැස්වීම් එක්කන් එන එක වගේ දේවල් සහෝදරයන්ට අගය කරන්න පුළුවන්.” වැඩිමහල්ලන් ඒ විදිහට අගය කරද්දී සහෝදරියන්ට දැනෙනවා එයාලත් සභාවට ගොඩක් වටින අය කියලා.

එයාලා සහෝදරියන්ට ඇහුම්කන් දෙනවා. නිහතමානී වැඩිමහල්ලන් තේරුම්ගන්නවා හොඳ අදහස් පහළ වෙන්නේ එයාලට විතරක් නෙවෙයි කියලා. ඒ නිසා එයාලා සහෝදරියන්ගෙනුත් අදහස් ගන්නවා. එයාලට හොඳට ඇහුම්කන් දෙනවා. එහෙම කරද්දී සහෝදරියන්ගේ දැනුමෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අනික, ඒකෙන් සහෝදරියනුත් දිරිගැන්වෙනවා. බලන්න ඒ ගැන බෙතෙල් එකේ ඉන්න වැඩිමහල්ලෙක් වන හෙරාර්ඩෝ කියන දේ. “සහෝදරියන්ගෙනුත් අදහස් ගද්දී වැඩක් තව හොඳට කරන්න පුළුවන්. හුඟක් වෙලාවට සහෝදරයන්ට වඩා එයාලට ඒ වැඩේ ගැන හොඳ අද්දැකීම් තියෙනවා. සභාවේදී වුණත් අපේ පුරෝගාමි සහෝදරියන් තමයි ප්‍රදේශය ගැන, මිනිස්සු ගැන හොඳටම දන්නේ.” වැඩිමහල්ලෙක් වන බ්‍රයන් කියන දේ බලන්න. “අපේ සහෝදරියන්ගේ දක්ෂතාවලින්, ගුණාංගවලින් සංවිධානයට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒ නිසා එයාලාගේ අද්දැකීම් අපතේ යන්න දෙන්න එපා.”

ඇහුම්කන් දෙන්න

ආදරණීය වැඩිමහල්ලන් සහෝදරියන්ගේ අදහස් මේ කනෙන් අහලා එහා කනෙන් පිට කරන්නේ නැහැ. එඩ්වඩ් මෙහෙම කියනවා. “සහෝදරියන් කියන දේවල්, එයාලාගේ අද්දැකීම් ඇත්තටම ප්‍රයෝජනවත්. ඒකෙන් අපි නොදකින පැති දකින්න පුළුවන්. අනිත් අයව හොඳට තේරුම්ගන්නත් පුළුවන්.” (හිතෝ. 1:5) සමහර වෙලාවට සහෝදරියන් දෙන හැම යෝජනාවක්ම කරන්න බැරි වෙයි. ඒත් වැඩිමහල්ලන්ට පුළුවන් එහෙම හිතපු එක ගැන, ඒ වගේ යෝජනාවක් දීපු එක ගැන එයාලව අගය කරන්න.

එයාලා සහෝදරියන්ව පුහුණු කරනවා. අවබෝධයෙන් වැඩ කරන වැඩිමහල්ලන් ඒකට අවස්ථා හොයනවා. උදාහරණයකට එයාලට පුළුවන් ක්ෂේත්‍ර සේවා රැස්වීමක් මෙහෙයවන විදිහ සහෝදරියන්ට කියලා දෙන්න. මොකද බව්තීස්ම වුණ සහෝදරයෙක් නැති දවසක ඒක ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම නඩත්තු සහ ඉදි කිරීම් ව්‍යාපෘතිවලදී උපකරණ පාවිච්චි කරන විදිහ එයාලට කියලා දෙන්නත් පුළුවන්. බෙතෙල් එකේ අංශ භාර සහෝදරයන්ටත් පුළුවන් නඩත්තු අංශයේ, භාණ්ඩ හා සේවා සැපයුම් අංශයේ සහ ගිණුම් අංශයේ වැඩවලට සහෝදරියන්ව පුහුණු කරන්න. කොම්පියුටර් ප්‍රෝග්‍රෑමිං ගැන කියලා දෙන්නත් පුළුවන්. ඒකෙන් වැඩිමහල්ලන් පෙන්නනවා එයාලා සහෝදරියන්ව දකින්නේ වගකීමෙන් වැඩක් භාර දෙන්න පුළුවන් විශ්වාසවන්ත අය විදිහට කියලා.

පුහුණු කරන්න

වැඩිමහල්ලන්ගෙන් ලැබුණ පුහුණුව සහෝදරියන් අනිත් අය වෙනුවෙන් පාවිච්චි කරනවා. උදාහරණයකට ඉදි කිරීම් වැඩවලට පුහුණුව ලබපු සහෝදරියන් විපත්වලින් අසරණ වුණ අයට එයාලාගේ ගෙවල් හදාගන්න උදව් කරනවා. ඒ වගේම පොදු සේවයට පුහුණුව ලබපු අය සේවේ තව දියුණු කරගන්න අනිත් සහෝදරියන්ටත් උදව් කරනවා. ලැබෙන පුහුණුව ගැන සහෝදරියන්ට හැඟෙන්නේ කොහොමද? ජෙනිෆර් මෙහෙම කියනවා. “මං කිංඩම් හෝල් එකක් හදන්න උදව් වුණා. ඒක භාරව හිටපු සහෝදරයා මාව හොඳට පුහුණු කළා. මගේ වැඩ අගය කළා. එයා එක්ක වැඩ කරන්න හරිම ලේසියි. මාව විශ්වාස කරලා වැඩක් භාර දෙද්දී මට දැනෙනවා මාත් සංවිධානයට වටිනවා කියලා.”

පවුලේ අයට වගේ සලකන්න

අපිත් යෙහෝවා දෙවියන් වගේම අපේ සහෝදරියන්ට ගොඩක් ආදරෙයි. එයාලා අපේම පවුලේ අය වගේ. (1 තිමෝ. 5:1, 2) උරෙන් උර ගැටිලා එයාලත් එක්ක සේවේ කරන්න ලැබිලා තියෙන එක ලොකු ගෞරවයක්. අපේ ආදරය, ගෞරවය එයාලට දැනෙද්දී ඒක අපිටත් ලොකු සතුටක්. බලන්න වැනෙසා කියන දේ. “මේ වගේ සංවිධානයකට මාව එකතු කරගත්තාට මං යෙහෝවාට ණයගැතියි. සහෝදරයෝ මාව අගය කරන නිසා මං ඉන්නේ සතුටින්.” තායිවානයේ ඉන්න සහෝදරියක් මෙහෙම කියනවා. “අපිව අගය කරන, අපේ හැඟීම් ගැන සැලකිලිමත් මේ වගේ සංවිධානයකට මාව ගෙනාපු එකට යෙහෝවාට කොහොම ස්තුති කරන්නද මන්දා. මං ඉන්නේ හරි තැන කියලා මට හොඳටම විශ්වාසයි!”

අපේ සහෝදරයන් යෙහෝවා දෙවියන් සලකන විදිහටම සහෝදරියන්ට සලකන්න ලොකු උත්සාහයක් ගද්දී ඒ ගැන ඔහුට කොච්චර ආඩම්බර ඇද්ද! (හිතෝ. 27:11) වැඩිමහල්ලෙක් වන බෙන්ජමින් මෙහෙම කියනවා. “මේ ලෝකේ කාන්තාවන්ව පහත් කරලා සලකන එක එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසා ගැහැනු කෙනෙක් අපේ රැස්වීමකට එද්දී එයාට අපේ වෙනස දැනෙන්න ඕනේ.” ඉතින් අපි හැමෝම යෙහෝවාව ආදර්ශයට අරන් අපේ සහෝදරියන්ට ආදරෙන්, ගෞරවයෙන් සලකමු. මොකද ඒ වගේ සැලකිල්ලක් ලබන්න එයාලා ඇත්තටම වටිනවා!—රෝම 12:10.

a මේ ලිපියේ “සහෝදරියන්” කියන්නේ සභාවේ ඉන්න සහෝදරියන්ට.

b මේ වගේ සංස්කෘතිවල ඉන්න අය පුරුෂ ආධිපත්‍යය හිස් මුදුණේ තියාගෙන ඉන්නේ. එයාලා හිතන්නේ පිරිමි කෙනා තමයි හැම තිස්සේම හරි කියලා. ඒ නිසා එයාලා ගැහැනු අයව ගොඩක් පහත් කරනවා.

c “දුර්වල භාජනයක්” කියන යෙදුම ගැන තවත් තොරතුරු දැනගන්න 2006 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “බිඳෙනසුලු නමුත් ඉතා අගනේය” කියන ලිපිය සහ 2005 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නැණවත් උපදෙස්” කියන ලිපිය බලන්න.