Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 5

ගීතිකාව 27 දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි

‘මං ඔයාලව කවදාවත් අසරණ කරන්නේ නැහැ!’

‘මං ඔයාලව කවදාවත් අසරණ කරන්නේ නැහැ!’

“‘මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි’ කියා දෙවි පවසා ඇත.”හෙබ්‍රෙ. 13:5ආ.

ලිපියේ අරමුණ

අභිෂේක ලත් හැමෝම ස්වර්ගයට ගියාම මේ පොළොවේ ඉන්න දෙවියන්ගේ සෙනඟ අසරණ වෙයිද? දෙවියන් කවදාවත් එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මේ ලිපියෙන් සහතිකයක් දෙනවා.

1. ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට ගන්නේ කවදාද?

 අවුරුදු ගාණක් තිස්සේ දෙවියන්ගේ සෙනඟ කල්පනා කළා ‘ඇත්තටම මේ පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අය ස්වර්ගයට යන්නේ කවදාද’ කියලා. මුලින් නම් අපි හිතුවේ එයාලා හර්–මගෙදොන් යුද්දෙන් පස්සේ පාරාදීස පොළොවේ මහත් සමූහයත් එක්ක ටික කාලයක් ඉඳියි කියලා. හැබැයි 2013 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ පැහැදිලිවම කියලා තිබුණා හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්න කලින් ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයවත් ස්වර්ගයට ගන්නවා කියලා.—මතෙ. 24:31.

2. අපේ හිතට එන්න පුළුවන් මොන ප්‍රශ්නයද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 ඒත් අපිට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘“මහත් පීඩාව” අතරතුරේදී දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන “වෙනත් බැටළුවන්ට” වෙන්නේ මොකක්ද?’ (යොහ. 10:16; මතෙ. 24:21) සමහර අය වධ වෙනවා අපේ ආදරණීය අභිෂේක ලත් සහෝදර සහෝදරියන් ස්වර්ගයට ගියාට පස්සේ වෙනත් බැටළුවන් තනි වෙයි, අසරණ වෙයි කියලා. එයාලට එහෙම හිතෙන්න හේතු වෙන බයිබල් වාර්තා දෙකක් දැන් අපි බලමු. ඒ වගේම අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා සහතික වෙන්න පුළුවන් ඇයි කියලත් බලමු.

වෙන්නේ නැත්තේ මොනවාද?

3-4. සමහරු කල්පනා කරන්න පුළුවන් මොනවා ගැනද? ඒ ඇයි?

3 සමහරු මෙහෙම හිතනවා. ‘පාලක මණ්ඩලයේ ඉන්න අභිෂේක ලත් සහෝදරයන් ස්වර්ගයට ගියාට පස්සේ මඟ පෙන්නන්න කෙනෙක් නැති නිසා වෙනත් බැටළුවෝ සත්‍යයෙන් වැටිලා යයිද?’ එයාලා එහෙම හිතන්නේ බයිබලේ තියෙන සමහර සිද්ධීන් නිසා වෙන්න ඇති. අපි දැන් ඒ වගේ සිද්ධි දෙකක් බලමු. පළවෙනි සිද්ධිය වුණේ උත්තම පූජක යෙහෝයාදාගේ කාලේ. යෙහෝයාදා කියන්නේ යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු කෙනෙක්. එයායි, එයාගේ බිරිඳ යෙහෝෂබියතුයි පුංචි යෙහෝයාෂ්ව ආරක්ෂා කරලා විශ්වාසවන්ත රජ කෙනෙක් වෙන්න එයාට උදව් කළා. යෙහෝයාදා ජීවතුන් අතර ඉන්න කල් යෙහෝයාෂ් හැම දේම හොඳට කළා. හැබැයි යෙහෝයාදා මැරුණාට පස්සේ එයා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයා දුෂ්ට අධිපතීන්ගේ කීම් අහලා අන්තිමේදී යෙහෝවාවත් අත්හැරියා.—2 ලේක. 24:2, 15-19.

4 ඊළඟ සිද්ධිය වුණේ ක්‍රි.ව. 100න් පස්සේ. ඒ කියන්නේ දෙවෙනි සියවසේදී. අපි දන්නවා නියෝජිතයන් අතරින් අන්තිමටම මැරුණේ යොහන් කියලා. යොහන් ජීවත් වෙලා ඉද්දී එයා ක්‍රිස්තියානීන්ට දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් කළා. (3 යොහ. 4) යේසුස්ගේ අනිත් විශ්වාසවන්ත නියෝජිතයන් වගේම යොහනුත් බොරු ඉගැන්වීම්වලින් සභාව ආරක්ෂා කරන්න ලොකු සටනක් කළා. (1 යොහ. 2:18; 2 තෙස. 2:7) හැබැයි යොහන් මැරුණාට පස්සේ බොරු ඉගැන්වීම් ළැව් ගින්නක් වගේ පැතිරෙන්න පටන්ගත්තා. ඒ නිසා ඊළඟට ගෙවුණ අවුරුදු ගාණ පුරාම බොරු ඉගැන්වීම්වලින් ක්‍රිස්තියානි සභාව යටපත් වුණා.

5. ඒ සිද්ධි දෙක නිසා අපි එන්න හොඳ නැත්තේ මොන නිගමනයටද?

5 අභිෂේක ලත් අය ස්වර්ගයට ගියාට පස්සේ වෙනත් බැටළුවනුත් යෙහෝයාෂ් වගේ වැරදි දේවල් කරන්න පටන්ගනියිද? එහෙම නැත්නම් දෙවෙනි සියවසේ හිටපු හුඟක් ක්‍රිස්තියානීන් වගේ සත්‍යය අත්හැරලා යයිද? කොහෙත්ම නැහැ! අභිෂේක ලත් අය ස්වර්ගයට ගියාට පස්සෙත් වෙනත් බැටළුවන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. එයාලා දිගටම දෙවියන් පිළිගන්න විදිහට නමස්කාර කරනවා. ඒත් කොහොමද අපි ඒ ගැන සහතික වෙන්නේ?

පවිත්‍ර නමස්කාරයට කිසි කැළලක් වෙන්නේ නැහැ

6. අපි දැන් බලන්නේ මොන කාලවල් තුන ගැනද?

6 ඉස්සරහට කොච්චර අමාරු කාලයක් ආවත් සැබෑ නමස්කාරයට කිසි කැළලක් වෙන්නේ නැහැ කියලා අපි හරියටම දන්නේ කොහොමද? ඒකට අපි ජීවත් වෙන කාලය ගැන බයිබලේ කියලා තියෙන තොරතුරු අපිට උදව් වෙනවා. මේ කාලය එදා ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයට සහ දෙවෙනි සියවසේ ක්‍රිස්තියානීන්ගේ කාලයට වඩා හාත්පසින්ම වෙනස්. දැන් අපි (1) ඊශ්‍රායෙල්වරුන්ගේ කාලය, (2) නියෝජිතයන්ගේ මරණයෙන් පස්සේ කාලය සහ (3) “සියල්ල නැවත පිහිටුවීමට නියමිත කාලය” වන මේ කාලය ගැන ටිකක් බලමු.—ක්‍රියා 3:21.

7. ඊශ්‍රායෙල් සෙනඟ සහ සමහර රජවරු දුෂ්ට දේවල් කළා. හැබැයි විශ්වාසවන්ත අයට ඒක අධෛර්යය වෙන්න හේතුවක් නොවුණේ ඇයි?

7 ඊශ්‍රායෙල්වරුන්ගේ කාලය. මෝසෙස් මැරෙන්න ටික කාලෙකට කලින් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “මා මිය ගියායින් පසු ඔබ ස්ථිර වශයෙන්ම මා ඔබට දුන් මඟ පෙන්වීම් නොසලකාහැර පිළිකුල්සහගත දේවල් කරයි කියා මම දන්නවා.” (ද්වි. 31:29) ඒ වගේම මෝසෙස් එයාලට කිව්වා එයාලා කැරලිගැහුවොත් වෙනත් ජාතීන් එයාලව වහල්ලු කරගන්නවා කියලා. (ද්වි. 28:35, 36) එයා කියපු දේවල් ඇත්තටම වුණාද? ඔව්. ඊළඟට ගෙවුණ සියවස් ගාණ පුරාම හුඟක් රජවරු දෙවියන්ව අත්හැරලා දුෂ්ට දේවල් කළා. සෙනඟවත් නොමඟ යැව්වා. ඒ නිසා යෙහෝවා ඒ දුෂ්ට ඊශ්‍රායෙල් ජාතියට දඬුවම් කරලා එයාලා අතරින් කිසිම කෙනෙක්ට රජකම් කරන්න ඉඩ දුන්නේ නැහැ. (එස. 21:25-27) හැබැයි ඒ දේවල් වෙනවා දකිද්දී විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරු අධෛර්යය වුණේ නැහැ. මොකද දෙවියන් කියපු දේවල් ඒ විදිහටම ඉටු වෙනවා එයාලා දැක්කා.—යෙසා. 55:10, 11.

8. දෙවෙනි සියවසේදී ක්‍රිස්තියානි සභාවට වෙච්ච දේ ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

8 නියෝජිතයන්ගේ මරණයෙන් පස්සේ කාලය. දෙවෙනි සියවසේදී ක්‍රිස්තියානි සභාව බොරු ඉගැන්වීම්වලින් අපවිත්‍ර වුණ එක ගැන අපි පුදුම වෙන්න ඕනෙද? නැහැ. මොකද යේසුස් කලින්ම කියලා තිබුණා පවිත්‍ර නමස්කාරය සමහරු විකෘති කරනවා කියලා. (මතෙ. 7:21-23; 13:24-30, 36-43) පළවෙනි සියවස වෙද්දීම යේසුස් කියපු ඒ දේ වෙන්න පටන් අරන් තිබුණා කියලා පාවුල්, පේතෘස් සහ යොහන් කියපු දේවල්වලින් පැහැදිලි වෙනවා. (2 තෙස. 2:3, 7; 2 පේතෘ. 2:1; 1 යොහ. 2:18) නියෝජිතයන්ගේ මරණයෙන් පස්සේ ක්‍රිස්තියානීන් බොරු ඉගැන්වීම් වැලඳගත්තා. සත්‍යය අතහැරලා ගිය ඒ ක්‍රිස්තියානීන් බොරු ආගම්වල අධිරාජ්‍යයක් වගේ තියෙන මහ බැබිලෝනියේ ප්‍රධාන කොටසක් වුණා. ඉතින් ඒ විදිහට ආයෙත් වතාවක් දෙවියන් කියපු දේ ඉටු වුණා.

9. අපි ජීවත් වෙන කාලය ඊශ්‍රායෙල් කාලයටයි, දෙවෙනි සියවසටයි වඩා වෙනස් ඇයි?

9 “සියල්ල නැවත පිහිටුවීමට නියමිත කාලය.” අපි දැන් ජීවත් වෙන කාලය ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයටයි, දෙවෙනි සියවසටයි වඩා වෙනස්. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන කාලයට අපි කියන්නේ මොකක්ද? “අවසාන කාලය” කියලා. (2 තිමෝ. 3:1) හැබැයි අවසාන කාලය පටන්ගද්දීම ඊට වඩා දිග, හුඟක් විශේෂ කාල පරිච්ඡේදයකුත් පටන්ගත්තා. ඒ කාල පරිච්ඡේදය හඳුන්වන්නේ “සියල්ල නැවත පිහිටුවීමට නියමිත කාලය” කියලයි. (ක්‍රියා 3:21) ඒක පටන්ගත්තේ 1914දී. ඒක අවසන් වෙන්නේ යේසුස්ගේ පාලනය යටතේ මිනිස්සුන්ව පරිපූර්ණත්වයට ගෙනල්ලා මුළු පොළොවම පාරාදීසයක් කළාට පස්සේ. ඒත් මේ නැවත පිහිටුවීමේ කාලේදී පිහිටුවලා තියෙන්නේ මොනවාද? 1914දී දෙවියන් ස්වර්ගයේ රජ විදිහට යේසුස්ව පත් කළා. ඒ විදිහට ආයෙමත් සැරයක් දාවිත්ගෙන් පැවතෙන කෙනෙක් දෙවියන්ගේ පාලනය නියෝජනය කරලා සිංහාසනේ ඉඳගත්තා. හැබැයි දෙවියන් නැවත පිහිටෙව්වේ රජකම විතරක් නෙවෙයි. වැඩි කල් යන්න කලින් ඔහු සැබෑ නමස්කාරයත් ආයෙත් පිහිටුවන්න පටන්ගත්තා. (යෙසා. 2:2-4; එස. 11:17-20) ඒත් ඒක කලින් වගේ ආයෙත් විකෘති වෙයිද?

10. (අ) අපේ කාලේ පවිත්‍ර නමස්කාරය ගැන බයිබලේ කලින්ම කියලා තිබුණේ මොනවාද? (යෙසායා 54:17) (ආ) ඒ අනාවැකි අපිට සහනයක් වෙන්නේ ඇයි?

10 යෙසායා 54:17 කියවන්න. ඒ අනාවැකියේ කියනවා “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැහැ” කියලා. ඒක අද ඉටු වෙනවා. ඒ වගේම දෙවියන් කියපු මේ දේත් අද ඉටු වෙනවා. ‘ඔබේ සියලු දරුවන්ට යෙහෝවා දෙවි වන මම උගන්වන්නෙමි. ඔවුහු නිමක් නැති සමාදානයක් භුක්ති විඳිනු ඇත. ධර්මිෂ්ඨකම රජයන නුවරක් ලෙස ඔබව ස්ථිර ලෙස පිහිටුවනු ඇත. ඔබ කිසිම දෙයකට භය වන්නේවත් තැතිගන්නේවත් නැත.’ (යෙසා. 54:13, 14) මේ වෙද්දීත් සාක්ෂිකරුවන් ලෝකේ පුරාම දෙවියන් ගැන අනිත් අයට උගන්නන්න දැවැන්ත කාර්යයක් කරනවා. ඒකට හරස් වෙන්න “මේ සමාජයේ දෙවියා” වන සාතන්ටවත් බැහැ. (2 කොරි. 4:4) මේ වතාවේ සැබෑ නමස්කාරය පිහිටුවලා තියෙන්නේ කිසිම කෙනෙක්ට ආයේ කවදාවත් බිඳ වට්ටන්න බැරි විදිහට.

වෙන්නේ මොනවාද?

11. අභිෂේක ලත් අය හැමෝම ස්වර්ගයට ගියාට පස්සේ මහත් සමූහය අතරමං වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාස ඇයි?

11 අභිෂේක ලත් අය හැමෝවම ස්වර්ගයට ගත්තාට පස්සේ ඇත්තටම මොනවා වෙයිද? අපි අමතක කරන්න හොඳ නැහැ අපේ එඬේරා සහ සභාවේ හිස යේසුස් කියලා. ඒ විතරක් නෙවෙයි අපිට ඉන්න “එකම නායකයාත්” ඔහුයි. (මතෙ. 23:10) අපේ රජ විදිහට ඔහු කවදාවත් ඔහුගේ වගකීම් පැහැර හරින්නේ නැහැ. අපේ ඉස්සරහින්ම ඉඳන් දෙවියන්ගේම පුතා අපිට මඟ පෙන්නනවා නම් අපි මොකටද බය වෙන්නේ? ඒත් එදාට යේසුස් අපිට කොහොම මඟ පෙන්නයිද කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි ඒ ගැන අපේ හිතේ පුංචිම හරි බයක් සැකක් තියෙනවා නම් ඒක නැති කරගන්න උදව් වෙන බයිබල් වාර්තා කීපයක් දැන් අපි බලමු.

12. (අ) මෝසෙස් මැරුණාට පස්සේ, (ආ) එලියාගේ පැවරුම වෙනස් වුණාට පස්සේ යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව රැකබලා ගත්තේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

12 ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට යන්න කලින්ම මෝසෙස් මැරුණා. ඊටපස්සේ සෙනඟ යන එන මං නැතුව අතරමං වුණාද? නැහැ. මොකද මෝසෙස් මැරෙන්න කලින්ම යෙහෝවා එයාට කිව්වා ඊළඟ නායකයා විදිහට යොෂුවාව පත් කරන්න කියලා. ඉතින් දශක ගාණක් පුරා මෝසෙස් යොෂුවාව ඒ වැඩේට පුහුණු කළා. (නික්. 33:11; ද්වි. 34:9) ඊට අමතරව සෙනඟව දාහ, සීය, පනහ සහ දහය ගාණේ කණ්ඩායම්වලට බෙදලා එයාලව බලාගන්න විශ්වාසවන්ත පුරුෂයන්වත් පත් කළා. (ද්වි. 1:15) ඒ නිසා සෙනඟ විශ්වාසවන්තව හිටපු තාක් කල් දෙවියන් එයාලට අසරණ වෙන්න දුන්නේ නැහැ. ඒ වගේම දෙයක් එලියාගේ කාලෙත් වුණා. එලියා තමයි දශක ගාණක් තිස්සේ සැබෑ නමස්කාරය වෙනුවෙන් පෙරමුණ අරන් වැඩ කළේ. හැබැයි එයාගේ පැවරුම වෙනස් වුණ නිසා එයාට යූදා දේශයට යන්න වුණා. (2 රාජා. 2:1; 2 ලේක. 21:12) ඉතින් එලියා ගියාට පස්සේ ගෝත්‍ර දහයේ හිටපු විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරු අතරමං වුණාද? නැහැ. මොකද ඒ වෙද්දීත් එලියා අවුරුදු ගාණක් තිස්සේ එලිෂාව පුහුණු කරලා තිබුණා. ඊට අමතරව පෙරමුණ අරන් වැඩ කරන්න හොඳින් පුහුණුව ලබපු “අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයොත්” හිටියා. (2 රාජා. 2:7) ඒකෙන් පැහැදිලියි තමන්ගේ සෙනඟට මඟ පෙන්නන්න විශ්වාසවන්ත පුරුෂයන්ව දෙවියන් කලින්ම සංවිධානය කරලා තිබුණා කියලා. ඒ නිසා යෙහෝවා සැලසුම් කරපු විදිහටම ඔහුගේ අරමුණ ඉටු වුණා.

මෝසෙස් (වම) සහ එලියා (දකුණ) එයාලාගේ පැවරුම බාරගන්න තව කෙනෙක්ව පුහුණු කළා (12 ඡේදය බලන්න)


13. හෙබ්‍රෙව් 13:5ආ කොටසේ අපිට දෙන සහතිකය මොකක්ද? (පින්තූරයත් බලන්න.)

13 ඒ වාර්තා දෙකෙන් ඔයා මොනවාද ඉගෙනගත්තේ? බයිබලේ සහතිකයක් දෙනවා පොළොවේ ඉන්න තමන්ගේ සෙනඟව යෙහෝවා දෙවියන් කවදාවත් අසරණ කරන්නේ නැහැ කියලා. (හෙබ්‍රෙව් 13:5ආ කියවන්න.) මෝසෙස් සහ එලියා වගේ පාලක මණ්ඩලයේ සහෝදරයනුත් අනිත් අයව පුහුණු කරන එකේ වටිනාකම හොඳට තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා තමයි එයාලා දශක ගාණක් තිස්සේ සංවිධානයේ පෙරමුණ අරන් වැඩ කරන්න වෙනත් බැටළුවන්ට අයිති පුරුෂයන්ව පුහුණු කරලා තියෙන්නේ. උදාහරණෙකට වැඩිමහල්ලන්ව, චාරිකා සේවකයන්ව, ශාඛා කමිටු සාමාජිකයන්ව, බෙතෙල් අංශ භාර සහෝදරයන්ව, මිෂනාරිවරුන්ව සහ තව හුඟදෙනෙක්ව පුහුණු කරන්න එයාලා විවිධ පාසැල් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම පාලක මණ්ඩලයට උපකාර කරන එක් එක් සහෝදරයාට එයාලා විශේෂ අවධානයක් දීලා පුහුණු කරනවා. ඒ සහෝදරයන් මේ වෙද්දීත් සංවිධානයේ හුඟක් වගකීම් දරනවා. ඇත්තම කිව්වොත් යේසුස්ගේ බැටළුවන්ව බලාගන්න වැඩේ කරට ගන්න එයාලා දැනටමත් ලෑස්තියි.

පාලක මණ්ඩලයේ සහෝදරයන් එයාලට උපකාර කරන සහෝදරයන්ව පුහුණු කරන්න හුඟක් මහන්සි වෙනවා. ඒ වගේම එයාලා ලෝකේ පුරා ඉන්න වැඩිමහල්ලන්ව, චාරිකා සේවකයන්ව, ශාඛා කමිටු සාමාජිකයන්ව, බෙතෙල් අංශ භාර සහෝදරයන්ව සහ මිෂනාරිවරුන්ව පුහුණු කරන්න පාසැල් සංවිධානය කරලා තියෙනවා (13 ඡේදය බලන්න)


14. අපි අද ඉගෙනගත්ත ප්‍රධානම දේ මොකක්ද?

14 අපි මේ ලිපියෙන් ඉගෙනගත්ත ප්‍රධානම දේ මොකක්ද? මහත් පීඩාව ඉවර වෙන්න කලින් ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට ගත්තාට පස්සේ පවිත්‍ර නමස්කාරයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපිට මඟ පෙන්නන්න අපේ නායකයා වන යේසුස් ඉන්නවා. ඇත්ත, එදාට මාගොග් දේශයේ ගොග් කියලා හඳුන්වන ජාතීන්ගේ එකතුව අපිට පහර දෙයි. (එස. 38:18-20) ඒත් ඒ ප්‍රහාරය තියෙන්නේ හරිම කෙටි කාලෙකට. අනික, ඒ ජාතීන්ගේ එකතුවට බැහැ දෙවියන්ගේ සෙනඟ කරන නමස්කාරයට හරස් වෙන්න. මොකද යෙහෝවා දෙවියන් අපිව ගලවගන්නවා. අපි කොහොමද ඒක හරියටම දන්නේ? මතකද යොහන් වෙනත් බැටළුවන්ට අයිති “මහත් සමූහයව” දර්ශනයකින් දැක්කා? එයාලා “මහත් පීඩාවෙන් බේරිලා එන අය.” (එළි. 7:9, 14) ඒකෙන් පැහැදිලියි යෙහෝවා එයාලව ආරක්ෂා කරනවා කියලා.

15-16. එළිදරව් 17:14 කියන විදිහට හර්–මගෙදොන් යුද්ධය වේලාවේදී අභිෂේක ලත් අය කරන්නේ මොනවාද? ඒක අපිට දිරිගැන්වීමක් වෙන්නේ ඇයි?

15 සමහර අය හිතනවා ‘අභිෂේක ලත් අය ස්වර්ගයට ගියාට පස්සේ මොනවා කරයිද’ කියලා. බයිබලේ ඒකට පැහැදිලි උත්තරයක් දෙනවා. ළඟදීම පොළොවේ තියෙන ආණ්ඩු “බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනවා.” හැබැයි ‘බැටළු පැටවා ඔවුන්ව පරාජය කරනවා.’ කවුද බැටළු පැටවාට ඒක කරන්න සහයෝගය දෙන්නේ? ඒ පදයේම කියනවා ඒ ‘කැඳවපු, තෝරගත්ත, විශ්වාසවන්ත අය’ කියලා. (එළිදරව් 17:14 කියවන්න.) ඒ වෙන කවුරුත් නෙවෙයි නැවත නැඟිට්ටවපු අභිෂේක ලත් අය. ඉතින් ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් හැමෝම ස්වර්ගයට ගියාට පස්සේ එයාලට ලැබෙන මුල්ම පැවරුම්වලින් එකක් තමයි සටන් කරන එක. අපි දන්නවා සමහර අභිෂේක ලත් අය සත්‍යයට එන්න කලින් සෑහෙන්න රණ්ඩුසරුවල්වලට පැටලිච්ච අය. තවත් සමහරු හමුදාවල සේවය කරපු අය. ඒත් ක්‍රිස්තියානීන් වුණාට පස්සේ එයාලා ඒ හැම දේම අත්හැරලා සාමකාමී ජීවිතයක් ගත කරන්න ඉගෙනගත්තා. (ගලා. 5:22; 2 තෙස. 3:16) හැබැයි ස්වර්ගයට ගියාට පස්සේ යේසුස් සහ දේවදූතයන් එක්ක දෙවියන්ගේ සතුරන්ට විරුද්ධව කරන අන්තිම යුද්ධයට එයාලා හවුල් වෙනවා.

16 ඒත් දැන් පොළොවේ ඉන්න අපේ ආදරණීය අභිෂේක ලත් සහෝදර සහෝදරියන් හුඟක් වයසයි, දුර්වලයි. හැබැයි ස්වර්ගයට ගියාට පස්සේ එයාලා හරිම බලවත්, අමරණීය අය වෙනවා. අපේ රණශූර රජ වන යේසුස් එක්ක එකතු වෙලා එයාලා සටන් කරනවා. හර්–මගෙදොන් යුද්ධයෙන් දින්නාට පස්සේ එයාලා යේසුස් එක්ක එකතු වෙලා පොළොවේ ඉන්න අයට පරිපූර්ණ වෙන්න උදව් කරනවා. ටිකක් හිතන්න අභිෂේක ලත් අය පොළොවේ ඉද්දී එයාලාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට මෙච්චර උදව් කළා නම් එයාලා ස්වර්ගයට ගියාට පස්සේ ඊට වඩා කොච්චර උදව් කරයිද!

17. හර්–මගෙදොන් යුද්ධයේදී දෙවියන්ගේ සේවකයන්ගෙන් කිසිම කෙනෙක්ට හානියක් වෙන්නේ නැහැ කියලා අපි දන්නේ කොහොමද?

17 ඔයා වෙනත් බැටළුවන්ට අයිති කෙනෙක්ද? එහෙනම් හර්–මගෙදොන් යුද්ධය පටන්ගද්දී ඒකෙන් බේරෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද? ඔයාට කරන්න තියෙන්නේ යෙහෝවා දෙවියන්ව විශ්වාස කරලා ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක විතරයි. එදාට අපිට සමහරවිට මේ මඟ පෙන්වීමට කීකරු වෙන්න වෙයි. “ඔබේ නිවස ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලට ගොස් දොර වසාගන්න. උදහස පහ වන තුරු මොහොතකට සැඟවී සිටින්න.” (යෙසා. 26:20) ඒ කාලේදී දෙවියන්ගේ සේවකයන් ස්වර්ගයේ හිටියත් පොළොවේ හිටියත් ඒ කිසිම කෙනෙක්ට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. මොකද පාවුල්ට වගේ අපිටත් ලොකු විශ්වාසයක් තියෙනවා ‘ආණ්ඩුවලටවත් දැන් සිදු වන දේවලටවත් ඉදිරියේදී සිදු වීමට තිබෙන දේවලටවත් දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න බැහැ’ කියලා. (රෝම 8:38, 39) හැම තිස්සේම මේක මතක තියාගන්න. යෙහෝවා ඔයාට ගොඩක් ආදරෙයි. කවදාවත් ඔහු ඔයාට අසරණ වෙන්න ඉඩ තියන්නේ නැහැ.

පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට ගත්තාම . . .

  • වෙන්නේ නැත්තේ මොනවාද?

  • සැබෑ නමස්කාරය බිඳ වැටෙන්නේ නැහැ කියලා අපිට සහතික වෙන්න පුළුවන් ඇයි?

  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව රැකබලා ගනියි කියලා අපිට විශ්වාස ඇයි?

ගීතිකාව 8 යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි