Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 6

ගීතිකාව 10 යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න

“යෙහෝවා දෙවිගේ නමට ප්‍රශංසා කරන්න”

“යෙහෝවා දෙවිගේ නමට ප්‍රශංසා කරන්න”

“යෙහෝවා දෙවිගේ සේවකයෙනි, ඔහුට ප්‍රශංසා කරන්න. යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්න.”ගීතා. 113:1.

ලිපියේ අරමුණ

හැම අවස්ථාවකදීම යෙහෝවා දෙවියන්ගේ ශුද්ධ නමට ප්‍රශංසා කරන්න අපිව පොලඹවන හේතු ගැන මේ ලිපියෙන් බලනවා.

1-2. තමන්ගේ නමට අපහාස කරද්දී යෙහෝවා දෙවියන්ට කොහොම හැඟෙනවා ඇද්ද?

 හිතන්න, ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ඔයා ගැන පට්ටපල් බොරුවක් කියනවා. සමහර අය ඒක පිළිගන්නවා. ඒ මදිවට එයාලත් ඒක හැම තැනම පතුරනවා. ඒක අහන අනිත් අයත් ඒක විශ්වාස කරනවා. ඔයා මෙච්චර කල් රැකගත්ත ඔයාගේ හොඳ නමට අනිත් අය අපහාස කරද්දී ඔයාට කොහොම දැනෙයිද?—හිතෝ. 22:1.

2 ඒදන් උයනේදී යෙහෝවා දෙවියන්ගේ නමටත් ඒ වගේම දෙයක් වුණා. ස්වර්ගයේ හිටපු එක දේවදූතයෙක් දෙවියන් ගැන ඒවට බොරු කිව්වා. ඒව ඒ බොරුව හිස් මුදුනින්ම පිළිගත්තා. අන්තිමේදී ඒ බොරුව නිසා අපේ මුල් දෙමාපියන් යෙහෝවාට විරුද්ධව කැරලිගැහුවා. ඒක නිසා එයාලට විතරක් නෙවෙයි මුළු මිනිස් සංහතියටම පාපයයි, මරණයයි උරුම වුණා. (උත්. 3:1-6; රෝම 5:12) අද බලන බලන තැන අපි දකින දුක, වේදනාව, මරණය සහ යුද්ධ වගේ දේවල්වලට මුල සාතන් ඒදන් උයනේදී ගොතපු ඒ බොරුවයි. ඉතින් දෙවියන්ගේ නමට වෙච්ච අපහාසය ගැන, ඒකෙන් පස්සේ මේ ලෝකෙට වෙච්ච විනාශය ගැන යෙහෝවාට දුකක් දැනෙනවා ඇද්ද? ඔව් ගොඩක්. හැබැයි එහෙමයි කියලා ඔහු කලකිරිලා තරහින් ඉන්නේ නැහැ. මොකද බයිබලේ කියන්නේ යෙහෝවා “ප්‍රීතිමත් දෙවි” කියලා.—1 තිමෝ. 1:11.

3. අපිට තියෙන වටිනා අවස්ථාව මොකක්ද?

3 බයිබලේ කියනවා “යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්න” කියලා. (ගීතා. 113:1) ඒක කරද්දී සාතන් කියපු දේ බොරුයි කියලා ඔප්පු කරන්න පුංචිම විදිහකින් හරි හවුල් වෙන්න අපිටත් පුළුවන්. අපි යෙහෝවා ගැන ඇත්ත අනිත් අයට කියද්දී අපි කරන්නේ ඔහුගේ ශුද්ධ නමට ප්‍රශංසා කරන එක. ඔයාටත් ඒ දේ කරන්න ලොකු ආසාවක් තියෙනවාද? එහෙමනම් දැන් අපි බලමු යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න අපිට තියෙන හොඳ හේතු තුනක් ගැන.

යෙහෝවා දෙවියන් සතුටු වෙනවා

4. අපි යෙහෝවාට ප්‍රශංසා කරද්දී ඔහු සතුටු වෙන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

4 ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාගේ නමට අපි ප්‍රශංසා කරද්දී ඔහුගේ හිතටත් ලොකු සතුටක් දැනෙනවා. (ගීතා. 119:108) ඒ කියන්නේ ඔහු සියලු බලැති දෙවියන් වෙලත් පව්කාර මිනිස්සුන්ගේ ප්‍රශංසාව ලැබෙන කල් බලන් ඉන්නවා කියලාද? නැහැ. මේ උදාහරණය බලන්න. චූටි දුවෙක් තාත්තාව බදාගෙන කියනවා “මගේ තාත්ති තමයි ලෝකේ ඉන්න හොඳම තාත්ති” කියලා. ඒක ඇහුවාම තාත්තාට පුදුම සතුටක් දැනෙන්නේ. මොකද එයා දන්නවා දුව ඒක කිව්වේ එයාගෙම පුංචි හිතෙන් පෙලඹිලා කියලා. ඒත් දූගේ ප්‍රශංසාව ලැබුණේ නැහැ කියලා ඒ තාත්තා මානසිකව වැටෙයිද? නැහැ නේද? දූගේ ප්‍රශංසාව අහලා තාත්තාගේ හිතට ලොකු සතුටක් දැනෙන්නේ එයා දුවට ගොඩක් ආදරේ නිසා. අනික එයා දන්නවා අනිත් අයව අගය කරන්න පුංචි කාලේ ඉඳලාම ඉගෙනගන්න එකෙන් දුවටත් හොඳක් වෙනවා කියලා. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාත් ඒ වගේ. අපි මුළු හදවතින්ම ඔහුට ප්‍රශංසා කරද්දී ඔහුගේ හිතටත් සතුටක් දැනෙනවා.

දරුවෙක් තාත්තාට එයාගේ ආදරය, අගය පෙන්නද්දී තාත්තා සතුටු වෙනවා. අපි යෙහෝවාගේ නමට ප්‍රශංසා කරද්දී ඔහුත් සතුටු වෙනවා (4 ඡේදය බලන්න)


5. දෙවියන්ට ප්‍රශංසා කරද්දී අපි බොරුයි කියලා ඔප්පු කරන්නේ මොන දේද?

5 තමන්ට වාසියක් වෙන්නේ නැත්නම් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා තියා කවුරුත් ඔහුගේ නම ගැනවත් හිතන්නේ නැහැ කියලා සාතන් චෝදනා කළා. (යෝබ් 1:9-11; 2:4) හැබැයි සාතන් කියපු ඒ දේ බොරුවක් කියලා යෝබ් ඔප්පු කළා. ඔයාත් එහෙම කරයිද? ඇත්තටම අපි යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන හැම වතාවකදීම කරන්නේ සාතන් කියපු දේ බොරුයි කියලා ඔප්පු කරන එක. දෙවියන්ගේ නම වෙනුවෙන් කතා කරන්න, ඔහුට විශ්වාසවන්තව ඉඳලා ඔහුව සතුටු කරන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. (හිතෝ. 27:11) ඒක මිල කරන්න බැරි අවස්ථාවක්!

6. අපිට දාවිත්වයි, ලෙවීවරුන්වයි ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (නෙහෙමියා 9:5)

6 දෙවියන්ට තියෙන ආදරේ නිසා දාවිත් මෙහෙම කියන්න පෙලඹුණා. “මාගේ මුළු සිතින්ම මම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්නෙමි. මාගේ මුළු ජීවිතයෙන්ම ඔහුගේ ශුද්ධ නාමයට ප්‍රශංසාව ගෙනෙන්නෙමි.” (ගීතා. 103:1) යෙහෝවාගේ නමට ප්‍රශංසා කරනවා කියන්නේ ඒ නමෙන් නියෝජනය වෙන කෙනාට ප්‍රශංසා කරන එකයි කියලා දාවිත් තේරුම්ගත්තා. මොකද යෙහෝවා කියන නම ඇහෙද්දී ඔහුගේ ගුණාංග, ඔහු කරලා තියෙන පුදුමාකාර දේවල් අපිට මතක් වෙනවා. දාවිත්ට ඕන වුණේ අන්න ඒ ශුද්ධ තැනැත්තාට “මුළු ජීවිතයෙන්ම” ඒ කියන්නේ මුළු හදවතින්ම ප්‍රශංසාව දෙන්නයි. දෙවියන්ට ප්‍රශංසා කරන්න පෙරමුණ ගත්ත තවත් කට්ටියක් තමයි ලෙවීවරු. එයාලා නිහතමානීව පිළිගත්තා එයාලා කොච්චර ලස්සන වචන පාවිච්චි කරලා ප්‍රශංසා කළත් දෙවියන් ලබන්න වටින ප්‍රශංසාව දෙන්න ඒ වචන මදි කියලා. (නෙහෙමියා 9:5 කියවන්න.) කිසිම සැකයක් නැහැ එයාලා නිහතමානීව, මුළු හදවතින්ම යෙහෝවාට ප්‍රශංසා කරද්දී ඔහුගේ හදවතත් සතුටින් පිරිලා යන්න ඇති.

7. සේවේදී සහ එදිනෙදා ජීවිතේදී යෙහෝවාට ප්‍රශංසා කරන්න අපිට පුළුවන් කොහොමද?

7 අපිටත් පුළුවන් යෙහෝවා දෙවියන් ගැන අනිත් අයගේ හිතේ ආදරයක් ඇති වෙන විදිහට ඔහු ගැන කතා කරන්න. යෙහෝවා අපිට ආදරණීය තාත්තා කෙනෙක්. අපිට ඕනෙ සේවේදී හම්බ වෙන අයගේ හිතෙත් ඔහු ගැන ඒ වගේම චිත්‍රයක් ඇඳලා එයාලව ඔහුට ළං කරන්න. (යාකො. 4:8) බයිබලේ පාවිච්චි කරලා දෙවියන්ගේ ආදරය, ප්‍රඥාව, යුක්තිය, බලය සහ තවත් ගුණාංග ගැන එයාලත් එක්ක කතා කරන්න අපි ගොඩක් ආසයි. ඒ වගේම අපිට ඕනෙ හැම වෙලාවෙම යෙහෝවාව ආදර්ශයට ගන්න. (එෆී. 5:1) එහෙම කරද්දී ලෝකේ ඉන්න මිනිස්සු අතරේ අපිව කැපිලා පේනවා. එයාලත් බලනවා අපේ වෙනසට හේතුව මොකක්ද කියලා. (මතෙ. 5:14-16) එතකොට අපිට අවස්ථාවක් ලැබෙනවා ඒ වෙනසට හේතුව පැහැදිලි කරන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අවංක හදවත් තියෙන මිනිස්සු දෙවියන් ළඟට ඇදිලා එනවා. ඉතින් අපි මේ විදිවලින් යෙහෝවාට ප්‍රශංසා කරද්දී ඔහුට කොච්චර නම් සතුටක් දැනෙයිද!—1 තිමෝ. 2:3, 4.

යේසුස් සතුටු වෙනවා

8. වෙන කාටවත්ම වඩා යෙහෝවාගේ නමට ප්‍රශංසා කරපු කෙනා යේසුස් කියන්නේ ඇයි?

8 මේ විශ්වයේ වෙන කාටත් වඩා යෙහෝවා දෙවියන් ගැන හොඳටම දන්නේ යේසුස්. (මතෙ. 11:27) යේසුස් ඔහුගේ තාත්තාට ගොඩක් ආදරෙයි. ඔහු තරම් යෙහෝවාගේ නමට ප්‍රශංසාව දෙන්න මහන්සි වුණ කෙනෙක් තවත් නැහැ. (යොහ. 14:31) මැරෙන්න කලින් රෑ යේසුස් යෙහෝවාත් එක්ක කතා කරද්දී ඔහු මේ පොළොවේ කරපු සේවය ගැන එක වාක්‍යයකින් මෙහෙම කිව්වා. “මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා.” (යොහ. 17:26) ඒත් මොකක්ද යේසුස් ඒකෙන් අදහස් කළේ?

9. තමන්ගේ තාත්තා ගැන පැහැදිලි චිත්‍රයක් මවන්න යේසුස් පාවිච්චි කළේ මොන උපමාවද?

9 යේසුස් නිකම්ම යෙහෝවාගේ නම මිනිස්සුන්ට කියකිය ගියේ නැහැ. මොකද යුදෙව්වන් ඒ නම දැනන් හිටියා. යේසුස් කළේ ඇත්තටම ‘දෙවියන් කවුද කියලා එයාලට පැහැදිලි කරලා දුන්න’ එක. (යොහ. 1:17, 18) හෙබ්‍රෙව් ලියවිලිවල කියලා තිබුණා යෙහෝවා හරිම දයාන්විත, කරුණාවන්ත කෙනෙක් කියලා. (නික්. 34:5-7) ඒත් ඒ ගුණාංග තවත් උලුප්පලා පෙන්නන්න යේසුස් උපමාවක් කිව්වා. ඒ, අකීකරු පුත්‍රයාගේ උපමාව. පසුතැවිලි වෙච්ච පුතාව ‘ඈත තියා දැක්කාම’ ඒකේ හිටපු තාත්තා එයා ළඟට දුවගෙන ගිහින් එයාව ආදරෙන් බදාගත්තා. එයාට මුළු හදවතින්ම සමාව දුන්නා. (ලූක් 15:11-32) ඇත්තටම දෙවියන්ගේ දයාව, කරුණාව ගැන උගන්නන්න ඊටත් වඩා හොඳ උපමාවක් තවත් තියෙනවාද? ඒ විදිහට යෙහෝවා කියන නම විතරක් නෙවෙයි ඒ නම පිටිපස්සේ ඉන්න කෙනාවත් යේසුස් මිනිස්සුන්ට හඳුන්වලා දුන්නා.

10. (අ) යේසුස් දෙවියන්ගේ නම පාවිච්චි කළා කියලත් ඒක අනිත් අය පාවිච්චි කරනවාට ඔහු කැමති වුණා කියලත් අපි දන්නේ කොහොමද? (මාක් 5:19) (පින්තූරයත් බලන්න.) (ආ) යේසුස් කැමති අද අපි මොනවා කරනවා දකින්නද?

10 යේසුස්ගේ කාලේ හිටපු සමහර ආගමික නායකයන් හිතුවේ දෙවියන්ගේ නම ගොඩක් ශුද්ධ නිසා ඒක උච්චාරණය කරන්නවත් හොඳ නැහැ කියලා. හැබැයි ශුද්ධ ලියවිල්ලට පටහැනි ඒ වගේ සම්ප්‍රදායන්වලට යේසුස් යට වුණේ නැහැ. සැරයක් යේසුස් ගෙරසීනයන්ගේ පළාතේ හිටපු භූතයන් ආවේශ වෙච්ච කෙනෙක්ව සුව කළා. ඒ නිසා මිනිස්සු කොච්චර බය වුණාද කියනවා නම් එයාලා යේසුස්ට කිව්වා ඒ පළාතෙන් යන්න කියලා. (මාක් 5:16, 17) හැබැයි යේසුස්ට ඕන වුණේ එහේ ඉන්න අයත් දෙවියන් ගැන දැනගන්නවා දකින්න. ඒ නිසා ඔහු සුව වුණ කෙනාට කිව්වා ඒ ගැන අනිත් අයට කියන්න කියලා. ඒත් යේසුස් කිව්වේ යේසුස් ගැන කියන්න කියලා නෙවෙයි, යෙහෝවා කරපු දේවල් ගැන කියන්න කියලා. (මාක් 5:19 කියවන්න.) a අදත් අපි දෙවියන්ගේ නම හැමෝටම දැනුම් දෙද්දී යේසුස් ගොඩක් සතුටු වෙනවා.—මතෙ. 24:14; 28:19, 20.

භූතයන් වැහිලා හිටපු මනුස්සයාට යේසුස් කිව්වා ගිහින් යෙහෝවා එයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අනිත් අයට කියන්න කියලා (10 ඡේදය බලන්න)


11. යේසුස් යාච්ඤා කරන්න කිව්වේ මොනවා ගැනද? ඒක වැදගත් ඇයි? (එසකියෙල් 36:23)

11 යෙහෝවා දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළල තමයි මේ විශ්වයේ තියෙන වැදගත්ම ප්‍රශ්නය. (එසකියෙල් 36:23 කියවන්න.) ඒ නිසා දෙවියන්ට ඕනෙ ඒ නම ශුද්ධ තත්වයකට පත් කරන්න කියලා යේසුස් දැනන් හිටියා. ඒකයි ඔහු ගෝලයන්ට කිව්වේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා යාච්ඤා කරන්න කියලා. (මතෙ. 6:9) යේසුස් තරම් මේ විශ්වයේ කිසිම කෙනෙක් යෙහෝවාගේ නම ගෞරවයට පත් කරලා නැහැ. හැබැයි මතකද යේසුස්ගේ සතුරන් කරපු චෝදනාව? එයාලා කිව්වේ යේසුස් දෙවියන්ට අපහාස කරන කෙනෙක් කියලා. ඒත් යේසුස්ට දැනුණේ දෙවියන්ගේ නමට අපහාස කරන එක තරම් බරපතළම පාපයක් තව නැහැ කියලා. ඉතින් ඒ චෝදනාව මතම යේසුස්ව වරදකරුවෙක් කරනවා කියලා දැනගත්තාම ඔහුගේ හිතට “මහත් වේදනාවක්” දැනුණා.—ලූක් 22:41-44.

12. වෙන කවුරුත්ම කරලා නැති විදිහට යේසුස් දෙවියන්ගේ නම ගෞරවයට පත් කළේ කොහොමද?

12 දෙවියන්ගේ නම ගෞරවයට පත් කරන්න යේසුස් හැම වේදනාවක්ම, අපහාසයක්ම දරාගත්තා. හැබැයි ඔහු ඒ ගැන ලැජ්ජා වුණේ නැහැ. මොකද ඔහු දැනන් හිටියා හැම පුංචි දේකදීම ඔහු තමන්ගේ තාත්තාට විශ්වාසවන්තව හිටියා කියලා. (හෙබ්‍රෙ. 12:2) ඒ වගේම ඔහුගේ ජීවිතේ ගෙවෙන අඳුරුම පැය කීපයේ සිද්ධ වෙන දේවල් පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි සාතන් කියලත් ඔහු දැනන් හිටියා. (ලූක් 22:2-4; 23:33, 34) යේසුස්ගේ විශ්වාසය බිඳින්න පුළුවන් කියලා සාතන් හිතුවත් අන්තිමේදී සාතන් අන්ත පරාජිතයෙක් වුණා. මොකද යේසුස් ඔප්පු කළා සාතන් කියන්නේ අමූලික බොරුකාරයෙක් කියලා. ඒ වගේම දරුණුම පීඩා මැද වුණත් විශ්වාසවන්තව ඉන්න හුඟදෙනෙක් දෙවියන්ගේ පැත්තේ ඉන්නවා කියලා ඔහු පෙන්නුවා.

13. යේසුස්ව සතුටු කරන්න පුළුවන් කොහොමද?

13 ඔයාටත් ඔයාගේ රජව සතුටු කරන්න ඕනෙද? එහෙමනම් දිගටම යෙහෝවා දෙවියන්ගේ නමට ප්‍රශංසා කරන්න. ඔහු කවුද කියලා දැනගන්න අනිත් අයට උදව් කරන්න. එහෙම කරද්දී ඔයාත් යන්නේ යේසුස්ගේ අඩිපාරේ. (1 පේතෘ. 2:21) එතකොට ඔයාටත් පුළුවන් සාතන් මහම මහා බොරුකාරයෙක් කියලා ඔප්පු කරලා යේසුස් වගේ යෙහෝවාගේ හිත සතුටු කරන්න.

අනිත් අයගේ ජීවිත ගැලවෙනවා

14-15. අපි යෙහෝවා ගැන උගන්නද්දී අනිත් අයගේ ජීවිතවල හිතාගන්න බැරි දෙයක් වෙනවා. ඒ මොකක්ද?

14 අපි යෙහෝවා දෙවියන්ගේ නමට ප්‍රශංසා කරද්දී ඒකෙන් අනිත් අයගේ ජීවිතත් ගැලවෙනවා. ඒ කොහොමද? සාතන් ‘විශ්වාසයක් නැති අයගේ මනස් අන්ධ කරලයි තියෙන්නේ.’ (2 කොරි. 4:4) සාතන් ගොතලා තියෙන පට්ටපල් බොරුවලට මිනිස්සු රැවටිලා ඉන්නේ. සාතන් කියනවා “දෙවි කෙනෙක් නෑ, ඔහුට මිනිස්සු ගැන ගාණක් නෑ, දෙවියන් හරිම කෲරයි, ඔහු වැරදි කරන අයට සදහටම වධ දෙනවා” කියලා. ඔය හැම බොරුවකින්ම වෙන්නේ මිනිස්සුන්ගේ හිතේ දෙවියන් ගැන තියෙන පින්තූරේ බොඳ වෙන එක, යෙහෝවාගේ නම කැත වෙන එක. ඒ නිසා දෙවියන්ට ළං වෙන්න මිනිස්සුන්ට කිසිම ආසාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි යෙහෝවා ගැන ඇත්ත මිනිස්සුන්ට කියනවා. ඔහුගේ නමට ප්‍රශංසා කරනවා. ඒකෙන් අපි කරන්නේ සාතන්ගේ සැලසුම් කුඩුපට්ටම් කරලා දාන එක.

15 බයිබලේ තියෙන සත්‍යයට ලොකු බලයක් තියෙනවා. අපි යෙහෝවා ගැන, ඔහු කොයි වගේ කෙනෙක්ද කියන එක ගැන බයිබලෙන් උගන්නද්දී මිනිස්සුන්ගේ ජීවිතවල හිතාගන්න බැරි වෙනසක් වෙනවා. බොරුවෙන් වැහිලා තියෙන මිනිස්සුන්ගේ ඇස් ටිකෙන් ටික ඇරිලා එයාලා සත්‍යය දකින්න පටන්ගන්නවා. අපි වගේම එයාලත් යෙහෝවාව ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දකින්න පටන්ගන්නවා. ඔහුගේ බලය ගැන ඉගෙනගද්දී ඔහු ගැන ගරුබියක් ඇති වෙනවා. (යෙසා. 40:26) ඔහු කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ කියලා දැනගද්දී ඔහු ගැන විශ්වාසයක් ඇති වෙනවා. (ද්වි. 32:4) ඔහුගේ ප්‍රඥාව ගැන ඉගෙනගද්දී ඒක ජීවිතේට කොච්චර වටිනවාද කියලා තේරුම්ගන්නවා. (යෙසා. 55:9; රෝම 11:33) දෙවියන් කරන හැම දෙයක් පිටිපස්සේම තියෙන්නේ ඔහුගේ ආදරේ කියලා දැනගද්දී එයාලත් යෙහෝවාට ආදරේ කරන්න පටන්ගන්නවා. (1 යොහ. 4:8) ඒ විදිහට එයාලා දෙවියන්ට ළං වෙද්දී ඔහුගේ දරුවන් විදිහට සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් එයාලට ලැබෙනවා. ඇත්තටම යෙහෝවාට ළං වෙන්න අනිත් අයට උදව් කරන්න ලැබිලා තියෙන එක කොච්චර වරප්‍රසාදයක්ද! අපි එහෙම කරද්දී ඔහු අපිව සලකන්නේ ඔහුගේ “හවුල් වැඩකරුවන්” විදිහට.—1 කොරි. 3:5, 9.

16. දෙවියන්ගේ නම දැනගත්ත එක හුඟක් අයට බලපාලා තියෙන්නේ කොහොමද? උදාහරණ දෙන්න.

16 හුඟක් වෙලාවට අපි කෙනෙක්ට මුලින්ම කියන දෙයක් තමයි දෙවියන්ගේ නම. ඒකෙනුත් අවංක හදවතක් තියෙන කෙනෙක්ගේ ජීවිතේට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. යෞවනියක් වන ආලියා b ක්‍රිස්තියානි පසුබිමක කෙනෙක් නෙවෙයි. එයාට එයාගේ ආගම ගැනවත් දෙවියන් ගැනවත් භක්තියක් තිබුණේ නැහැ. හැබැයි සාක්ෂිකරුවන් එක්ක බයිබලේ ඉගෙනගත්තාම එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයා දෙවියන්ව යාළුවෙක් විදිහට දකින්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “මගේ හොඳම යාළුවාට නමක් තියෙනවා. ඒක දැනගන්න ලැබිච්ච එක මට කියාගන්න බැරි සතුටක්!” හැබැයි යෙහෝවාගේ නම බයිබලෙන් අයින් කරලා කියලා දැක්කාම එයාට පුදුම හිතුණා. මොකද ඒ නම දැනගත්ත නිසා තමයි එයාගේ ජීවිතේ වෙනස් වුණේ. ස්ටීව් කියන්නේ තද යුදෙව් පසුබිමක කෙනෙක්. ආගම්වල කුහකකම් දැකලා එයාට ආගම් එපා වෙලයි තිබුණේ. කොහොමහරි එයා එයාගේ අම්මාගේ මරණයෙන් පස්සේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ ඉගෙනගන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “මං මුල්ම වතාවට දෙවියන්ගේ නම දැනගද්දී ඔහුව ඇත්ත කෙනෙක් විදිහට දකින්න පටන්ගත්තා. එදා මගේ ජීවිතේට අලුත් යාළුවෙක් හම්බ වුණා.”

17. දිගටම යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

17 ඔයාත් සේවේදී යෙහෝවා දෙවියන්ගේ නම අනිත් අයට පෙන්නනවාද? ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අඳුරගන්න එයාලට උදව් කරනවාද? එහෙමනම් ඔයා කරන්නේ යෙහෝවා කියන ශුද්ධ නාමයට ප්‍රශංසා කරන එකයි. දැනටමත් ඔයා කරනවා වගේ දිගටම ඒ නම පිටිපස්සේ ඉන්න ශ්‍රේෂ්ඨ තැනැත්තාව අඳුරගන්න අනිත් අයට උදව් කරන්න. ඔයා එහෙම කරද්දී ඔයා අනිත් අයගේ ජීවිත බේරගන්නවා. ඒ වගේම යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරනවා. ඒ හැම දේටම වඩා ඔයා යෙහෝවාගේ හිත සතුටු කරනවා. ඉතින් අපි හැමෝම ‘සදාකාලයෙන් සදාකාලයටම දෙවියන්ගේ නමට ප්‍රශංසා කරන්න’ අධිෂ්ඨාන කරගමු.—ගීතා. 145:2.

යෙහෝවා දෙවියන්ගේ නම ගැන, ඔහු මොන වගේ කෙනෙක්ද කියන එක ගැන අනිත් අයට උගන්නද්දී අපි ඔහුගේ නමට ප්‍රශංසා කරනවා (17 ඡේදය බලන්න)

දෙවියන්ගේ නමට ප්‍රශංසා කරද්දී . . .

  • යෙහෝවා දෙවියන් සතුටු වෙන්නේ ඇයි?

  • යේසුස් සතුටු වෙන්නේ ඇයි?

  • ජීවිත බේරෙන්නේ කොහොමද?

ගීතිකාව 2 යෙහෝවා, ඒ ඔබේ නාමයයි

a මාක් මුලින්ම මේ වාර්තාව ලියද්දී යෙහෝවා කියන නම ඒ වාර්තාවට ඇතුළත් කළා කියලා කියන්න පැහැදිලි සාක්ෂි තියෙනවා. ඒ නිසා ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ මෙතනට යෙහෝවා කියන නම දාලා තියෙනවා.

b සමහර නම් වෙනස් කරලා තියෙනවා.