Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 7

ගීතිකාව 51 දෙවිට අපේ ජීවිතේ කැප කර ඇත

නසරීතවරුන්ගෙන් ඉගෙනගන්න

නසරීතවරුන්ගෙන් ඉගෙනගන්න

“නසරීතවරයෙකු ලෙස ජීවත් වන මුළු කාලයේදීම යෙහෝවා දෙවි වන මා ඔහුව සලකන්නේ ශුද්ධ කෙනෙකු ලෙසයි.”ගණන්. 6:8.

ලිපියේ අරමුණ

ධෛර්යවන්තව සේවය කරන්න, යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කරන්න නසරීතවරුන්ගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

1. අතීතයේ ඉඳන්ම දෙවියන්ගේ සෙනඟට තිබුණ ආකල්පය මොකක්ද?

 යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම තමයි කෙනෙක්ගේ ජීවිතේ තියෙන වටිනාම දේ. ඔයාටත් දැනෙන්නේ ඒ විදිහටමද? ඔයාට විතරක් නෙවෙයි අතීතයේ ඉඳන්ම දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක්ට දැනුණේ ඒ විදිහටමයි. (ගීතා. 104:33, 34) ඒ නිසයි යෙහෝවාට නමස්කාර කරන්න එයාලා හුඟක් කැප කිරීම් කළේ. නසරීතවරු කියන්නෙත් යෙහෝවා වෙනුවෙන් හුඟක් කැප කිරීම් කරපු අය. ඒත් ඇත්තටම කවුද මේ නසරීතවරු? එයාලාගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

2. (අ) නසරීතවරු කියන්නේ කවුද? (ගණන් කතාව 6:1, 2) (ආ) ඊශ්‍රායෙල්වරයෙක් කැමැත්තෙන්ම නසරීතවරයෙක් වෙන්න පොරොන්දු වුණේ ඇයි?

2 “නසරීතවරයා” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට “විශේෂයෙන්ම තෝරාගත්ත,” “වෙන් වුණ,” “කැප වුණ” කියන අදහසුත් ඇතුළත් වෙනවා. මෝසෙස්ට දුන්න නීතියේ කියන විදිහට පුරුෂයෙක්ට හරි ස්ත්‍රියකට හරි යම් කාලෙකට නසරීතවරයෙක් විදිහට සේවය කරන්න පුළුවන්කම තිබුණා. a (ගණන් කතාව 6:1, 2 කියවන්න.) ඒ වගේම ඒ පොරොන්දුව වෙන කෙනාට අවස්ථාව තිබුණා පෞද්ගලිකවම කැප කිරීම් කරලා විශේෂ විදිහකින් යෙහෝවාට සේවය කරන්න. නසරීතවරයෙක්ට සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල්වරුන්ට තිබ්බ නීතිවලට අමතරව තවත් නීති පිළිපදින්න වුණා. එහෙමනම් ඇයි කෙනෙක් නසරීතවරයෙක් විදිහට දිවුරුමක් දෙන්න පෙලඹුණේ? ඒ යෙහෝවා දෙවියන්ට එයාගේ හිතේ තිබුණ ගැඹුරු ආදරය, අගය පෙන්නන්න.—ද්වි. 6:5; 16:17.

3. අද ඉන්න දෙවියන්ගේ සෙනඟත් නසරීතවරු වගේ කියන්නේ ඇයි?

3 “ක්‍රිස්තුස්ගේ නීතිය” ආවට පස්සේ නසරීතවරුන්ට තිබුණ නීතිය ඇතුළුව මෝසෙස් මාර්ගයෙන් දුන්න නීති අහෝසි වුණා. (ගලා. 6:2; රෝම 10:4) හැබැයි නසරීතවරු වගේ හුඟක් කැප කිරීම් කරලා මුළු හදවතින්ම, ජීවිතයෙන්ම, මුළු ශක්තියෙන්ම යෙහෝවාට සේවය කරන අය අදත් ඉන්නවා. (මාක් 12:30) අපි කැප වෙද්දී දෙවියන්ට විශේෂ පොරොන්දුවක් වෙනවා ඔහු වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්තියි කියලා. හැබැයි ඒ පොරොන්දුවට එකඟව ජීවත් වෙන්න නම් අපිට ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා. ඒ කැප කිරීම් කරන්න නසරීතවරුන්ගෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. b (මතෙ. 16:24) ඒ නිසා අපි දැන් නසරීතවරු ගැන ටිකක් කිට්ටුවෙන් බලමු.

කැමැත්තෙන්ම කැප කිරීම් කරන්න

4. ගණන් කතාව 6:3, 4 කියන විදිහට නසරීතවරුන්ට මොන වගේ කැප කිරීමක්ද කරන්න වුණේ?

4 ගණන් කතාව 6:3, 4 කියවන්න. මිදිවලින් හදපු කිසිම දෙයක් කන්න නසරීතවරුන්ට අවසර තිබුණේ නැහැ. කොටින්ම කිව්වොත් මිදි තියා මිදි පොත්තක්වත් කන්න එයාලට බැහැ. හැබැයි වයින්වත් මිදිවත් ආහාරයට ගන්න එක වැරැද්දක් නෙවෙයි. මොකද බයිබලේ කියනවා “සිත් සතුටු කරන වයින්” දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා. (ගීතා. 104:14, 15) ඒත් අවට හිටපු මිනිස්සු ඒ වගේ දේවල්වලින් සතුටු වෙද්දී නසරීතවරයෙක්ට ඒවායින් සම්පූර්ණෙන්ම වළකින්න වුණා. c

නසරීතවරු වගේ කැප කිරීම් කරන්න ඔයාත් ලෑස්තිද? (4-6 ඡේද බලන්න)


5. මේඩියානුයි, මාර්සෙලායි කළේ මොන වගේ කැප කිරීමක්ද? ඒ ඇයි?

5 අදත් හුඟක් අය යෙහෝවා දෙවියන් වෙනුවෙන් උපරිමය කරන්න කැප කිරීම් කරනවා. මේඩියාන්ගෙයි, මාර්සෙලාගෙයි අද්දැකීම බලන්න. d මේඩියාන් හොඳ රස්සාවක් කළා. එයාලා ජීවත් වුණේ හරිම සුවපහසු ගෙදරක. හැබැයි එයාලා හිතුවා යෙහෝවා වෙනුවෙන් තව වැඩිපුර දෙයක් කරන්න ඕනෙ කියලා. ඒ තීරණයට යන්න නම් එයාලට ගොඩක් කැප කිරීම් කරන්න වුණා. බලන්න එයාලා කියන දේ. “මුලින්ම අපි අපේ වියදම් පාලනය කළා. ඊටපස්සේ අපි පොඩි ගේකට පදිංචිය මාරු කළා. අපේ වාහනෙත් වික්කා.” හැබැයි මේ වගේ කැප කිරීම් කරන්න කියලා දෙවියන් කාටවත් නීති දාලා නැහැ. එයාලා ඒ තීරණයට ආවේ යෙහෝවා වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න ඕනෙ නිසයි. එයාලා කියනවා එදා ඒ කැප කිරීම් කළේ නැත්නම් දැන් එයාලට දැනෙන සතුට කවදාවත් දැනෙන එකක් නැහැ කියලා.

6. අද අපි කැප කිරීම් කරන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

6 අපිත් දෙවියන් වෙනුවෙන් කැප කිරීම් කරලා ලොකු සතුටක් ලබනවා. (1 කොරි. 9:3-6) සමහරු හොඳ රස්සා, ගෙවල් දොරවල් වගේම හුරතලේට සත්තු ඇති කරන එක පවා කැප කරලා තියෙනවා. හැබැයි ඒ වගේ කැප කිරීම් කරන්නමයි කියලා යෙහෝවා කාටවත් කියලා නැහැ. අනිත් එක, ඒ වගේ දේවල් තිබුණා කියලා කිසිම වරදකුත් නැහැ. හැබැයි අපි ඒවා කරන්නේ මුළු හදවතින්මයි. තවත් අය ඉන්නවා සේවේ වෙනුවෙන් විවාහ වෙන එක, දරුවෝ හදන එක පවා කල් දාපු. ඒ වගේම ගෙවල් දොරවල්, පවුලේ අයව දාලා දුර ඈත පැතිවලට ගිහිල්ලා සේවේ කරන අයත් ඉන්නවා. අපි ඒ වගේ කැප කිරීම් කරන්නේ යෙහෝවා වෙනුවෙන් හොඳම දේ දෙන්න ඕන නිසයි. අපි කරන කැප කිරීම් පුංචි වුණත්, ලොකු වුණත් ඒවා යෙහෝවාට ගොඩක් වටිනවා. ඒ එක දෙයක්වත් දෙවියන් කවදාවත් අමතක කරන්නේ නැහැ.—හෙබ්‍රෙ. 6:10.

වෙනස් කියලා පෙන්නන්න බය වෙන්න එපා

7. තමන් වුණ පොරොන්දුවට ඇලිලා ඉන්න නසරීතවරයෙක්ට අමාරු වුණේ මොන වගේ අවස්ථාවලදීද? (ගණන් කතාව 6:5) (පින්තූරයත් බලන්න.)

7 ගණන් කතාව 6:5 කියවන්න. නසරීතවරයෙක් එයාගේ කොණ්ඩේ කපන්නේ නැතුව ඉන්නත් පොරොන්දු වුණා. ඒකෙන් පෙන්නුවේ එයා සම්පූර්ණෙන්ම යෙහෝවා දෙවියන්ට යටත් කියලයි. ඉතින් කෙනෙක් නසරීතවරයෙක් විදිහට ජීවත් වෙන කාලය වැඩි වෙද්දී එයාගේ කොණ්ඩෙත් වැවෙනවා. එතකොට එයාගේ වෙනස අනිත් අයට පැහැදිලිවම පේනවා. කෙනෙක් නසරීතවරයෙක් විදිහට සේවය කරන්න පොරොන්දු වෙද්දී අනිත් අයත් ඒ තීරණයට ගරු කරනවා නම් ඒ පොරොන්දුව රකින්න ලේසියි. හැබැයි අතීතයේ සමහර කාලවල හිටපු ඊශ්‍රායෙල්වරු එහෙම කළේ නැහැ. උදාහරණෙකට ආමොස්ගේ කාලේ හිටපු කැරලිකාර සෙනඟ නසරීතවරු වුණ පොරොන්දුව කඩාකප්පල් කරන්න හිතාගෙන එයාලට “වයින් බොන්න දුන්නා.” (ආමො. 2:12) ඉතින් ඒ වගේ කාලෙක ජීවත් වුණ නසරීතවරයෙක්ට එයාගේ පොරොන්දුවට ඇලිලා ඉන්න, එයා අනිත් අයට වඩා වෙනස් කියලා පෙන්නන්න ලොකු ධෛර්යයක් ඕනෙ වුණා.

නසරීතවරු අනිත් අයට වඩා වෙනස් කියලා පෙන්නන්න බය වුණේ නැහැ (7 ඡේදය බලන්න)


8. බෙන්ජමින්ගේ අද්දැකීම ඔයාට දිරිගැන්වීමක් වුණේ කොහොමද?

8 සහජයෙන්ම කුළෑටි, ලැජ්ජාශීලී අයට වුණත් යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් ධෛර්යවන්තව වැඩ කරන්න පුළුවන්. නෝර්වේවල ඉන්න බෙන්ජමින්ගේ අද්දැකීමත් ඒකමයි. එයාට වයස දහයයි. දවසක් එයාගේ ඉස්කෝලේ යුක්රේන යුද්දෙට සහයෝගය දෙන්න උත්සවයක් තිබ්බා. ළමයි හැමෝටම කිව්වා යුක්රේන ජාතික කොඩියේ තියෙන පාටවලින් ඇඳුම් ඇඳන් ඇවිල්ලා සින්දුවක් කියන්න කියලා. හැබැයි බෙන්ජමින් ඒ පැත්තටවත් ගියේ නැහැ. ඒත් ටීචර් කෙනෙක් එයාව දැකලා කෑගහලා කිව්වා “ඔයා මොකද ඔතන කරන්නේ? දැන්මම මෙහෙට එන්නයි කිව්වේ” කියලා. ඒ වෙලාවේ බෙන්ජමින් හිතට ධෛර්යය අරන් ටීචර්ට මෙහෙම කිව්වා “ටීචර් මං පැති ගන්නේ නෑ. ඒ නිසා දේශපාලනයට සම්බන්ධ දේවල්වලට මට හවුල් වෙන්න බෑ. මේ වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ හුඟදෙනෙක් හිරේ ඉන්නේ හමුදාවට යන්න අකමැති වුණ නිසා.” බෙන්ජමින් කියපු දේ ඇහුවාට පස්සේ ටීචර් එයාට එන්න කියලා බල කළේ නැහැ. හැබැයි එයාගේ පන්තියේ ළමයි ටික එයාව වට කරගෙන ඇහුවා ඇයි එයා එන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ නම් පුංචි බෙන්ජමින්ගේ හිතට බයක් දැනුණා. එයාට ඇඬෙන්නත් ආවා. හැබැයි එයා හිතට හයිය අරන් ටීචර්ට කියපු විස්තරේම ළමයින්ටත් කිව්වා. ඔය සිද්ධිය වෙලා ගෙදර ආවට පස්සේ එයා එයාගේ අම්මාටයි, තාත්තාටයි කිව්වා එයාට ඒ වෙලාවේ බය නැතුව කතා කරන්න පුළුවන් වුණේ යෙහෝවා නිසයි කියලා.

9. අපිට යෙහෝවාගේ හිත සතුටු කරන්න පුළුවන් මොන විදිහෙන්ද?

9 අපි යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න තීරණය කරලා තියෙන නිසා අපි අනිත් අයට වඩා වෙනස් කියලා හොඳට කැපිලා පේනවා. ඉතින් වැඩපොළේදී, ඉස්කෝලේදී අපිව සාක්ෂිකරුවෙක් කියලා හඳුන්වලා දෙන්න අපිට ලොකු ධෛර්යයක් තියෙන්න ඕනේ. අනිත් අතට මේ ලෝකෙත් එන්න එන්නම පිරිහෙන නිසා බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න, ශුභාරංචිය අනිත් අයත් එක්ක බෙදාගන්න අපිට ලේසි නැහැ. (2 තිමෝ. 1:8; 3:13) හැබැයි ඒ මොන දේ අමාරු වුණත් එක දෙයක් මතක තියාගන්න. ඔයා හිතට ධෛර්යය අරන් අනිත් අයට වඩා වෙනස් කියලා පෙන්නද්දී ඒකෙන් ‘යෙහෝවාගේ හිත ගොඩක් සතුටු වෙනවා.’—හිතෝ. 27:11; මලා. 3:18.

යෙහෝවාව ජීවිතේ අංක එක කරගන්න

10. ගණන් කතාව 6:6, 7 තියෙන දේ කරන්න නසරීතවරයෙක්ට ගොඩක් අමාරු වුණේ ඇයි?

10 ගණන් කතාව 6:6, 7 කියවන්න. මළ මිනියක් ළඟට යන්න නසරීතවරුන්ට අවසර තිබ්බේ නැහැ. සමහරවිට ඔයාට හිතෙයි ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයිනේ කියලා. හැබැයි හිතන්න නසරීතවරයෙක්ගේ කිට්ටුම කෙනෙක් මැරුණා කියලා. අන්න ඒ වගේ වෙලාවට ඒ පොරොන්දුවට ඇලිලා ඉන්න එක එයාලට ලොකු අභියෝගයක් වුණා. මොකද ඒ කාලේ චාරිත්‍රවලට අනුව අවසන් කටයුතු කරන්න දේහය ළඟටම යන්න ඕනේ. (යොහ. 19:39, 40; ක්‍රියා 9:36-40) ඒ නිසා ඒ වගේ චාරිත්‍රවලට හවුල් වෙන්න නසරීතවරුන්ට බැහැ. කොටින්ම කිව්වොත් පවුලේ කෙනෙක්ගේ මරණය නිසා ලොකු වේදනාවකින් ඉද්දී වුණත් නසරීතවරයෙක් එයා වුණ පොරොන්දුවට ඇලිලා හිටියා. ඒකෙන් එයා පෙන්නුවා එයාට කොච්චර විශ්වාසයක් තියෙනවාද කියලා. හැබැයි ඒ වගේ අමාරු අවස්ථාවලදී ඒකට සාර්ථකව මුහුණ දෙන්න මේ විශ්වාසවන්ත සේවකයන්ට යෙහෝවා උදව් කළා කියලා කිසිම සැකයක් නැහැ.

11. පවුලේ අයත් එක්ක වැඩ කරද්දී ක්‍රිස්තියානීන් මතක තියාගන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

11 කැප වෙද්දී අපි යෙහෝවාට වෙන පොරොන්දුවත් හරිම බැරෑරුම් එකක්. පවුලේ අයත් එක්ක වැඩ කරද්දී, පවුලට සම්බන්ධ තීරණ ගද්දී අපි ඒක මතක තියාගන්න ඕනේ. ඇත්ත, අපි පවුලේ අයගේ ඕනෑ එපාකම් ගැන හොයලා බලලා එයාලට අවශ්‍ය දේවල් දෙනවා. හැබැයි අපි පවුලේ අයගේ කැමැත්ත වෙනුවෙන් කවදාවත් දෙවියන්ගේ කැමැත්ත දෙවෙනි තැනට දාන්නේ නැහැ. (මතෙ. 10:35-37; 1 තිමෝ. 5:8) සමහරවිට අපි ගන්න තීරණ නිසා අපේ පවුලේ අය, නෑදෑයෝ අපිත් එක්ක අමනාප වුණත් අපි දන්නවා යෙහෝවා අපි ගැන සතුටු වෙනවා කියලා.

ජීවිතේ වේදනාකාරීම අවස්ථාවකදී වුණත් ඔයා කැමැත්තෙන්ම යෙහෝවාට මුල් තැන දෙනවාද? (11 ඡේදය බලන්න) e


12. ඇලෙක්සැන්ඩෲ කළේ මොනවාද? එයා කළේ නැත්තේ මොනවාද?

12 දැන් අපි ඇලෙක්සැන්ඩෲ සහ එයාගේ බිරිඳ ඩොරීනාගේ අද්දැකීම බලමු. එයාලා දෙන්නාම අවුරුද්දක් විතර බයිබල් පාඩම කළාට පස්සේ ඩොරීනා තීරණය කළා පාඩම නවත්තන්න. එයාට ඕනෙ වුණේ ඇලෙක්සැන්ඩෲත් පාඩම නවත්තනවා දකින්න. හැබැයි ඇලෙක්සැන්ඩෲ හිත රිද්දන්නේ නැතුව ඩොරීනාට කිව්වා එයාට දිගටම පාඩම කරන්න ඕනෙ කියලා. ඩොරීනා ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයා මහත්තයාට බල කළා පාඩම නවත්තන්න කියලා. සමහර අවස්ථාවලදී ඩොරීනා කේන්ති අරන් බනිද්දී ඇලෙක්සැන්ඩෲට කීප සැරයක්ම හිතුණා පාඩම නවත්තලා දාන්න ඕනෙ කියලා. හැබැයි කොච්චර අමාරු වුණත් එයා යෙහෝවාව ජීවිතේ අංක එකට තියෙන එක නැවැත්තුවේ නැහැ. ඒ වගේම එයා එයාගේ බිරිඳටත් හරිම ආදරෙන්, ගෞරවෙන් සැලකුවා. අන්තිමේදී මොකද වුණේ? මහත්තයාගේ හොඳ ආදර්ශය නිසා ඩොරීනා ආයෙත් පාඩම පටන් අරන් බව්තීස්ම වුණා.—jw.org වෙබ් අඩවියේ “සත්‍යය ජීවිත වෙනස් කරයි” කියන කොටසේ තියෙන ‘ඇලෙක්සැන්ඩෲ සහ ඩොරීනා වකා: “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය”’ කියන වීඩියෝ එක බලන්න.

13. යෙහෝවා දෙවියන්ටත් පවුලේ අයටත් ආදරේ පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

13 යෙහෝවා දෙවියන් තමයි පවුල කියන සැලැස්ම ඇති කළේ. ඔහු කැමතියි පවුලේ හැමෝම සතුටින් ඉන්නවා දකින්න. (එෆී. 3:14, 15) හැබැයි ඒ සතුට ළඟා කරගන්න නම් අපි යෙහෝවා කියන විදිහට දේවල් කරන්න ඕනේ. අපි දන්නවා පවුලේ අයට ආදරේ, ගෞරවේ පෙන්නන ගමන් දෙවියන් වෙනුවෙන් කැප කිරීම් කරන එක ලේසි නැහැ කියලා. හැබැයි ඒ වෙනුවෙන් ඔයා වෙන හැම මහන්සියක්ම යෙහෝවාට ගොඩක් වටිනවා.—රෝම 12:10.

නසරීතවරු වගේ වෙන්න අනිත් අයටත් උදව් කරන්න

14. අපි විශේෂයෙන්ම දිරිගන්වන්න ඕනෙ කාවද?

14 යෙහෝවා දෙවියන්ට ආදරේ කරන අපි හැමෝටම කැප කිරීම් කරන්න වෙනවා. හැබැයි ඒක ලේසි නැහැ. කැප කිරීම් කරන්න මහන්සි වෙන අයව දිරිගන්වන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ඔයාගේ වචනවලින්. (යෝබ් 16:5) යෙහෝවාට වැඩිපුර සේවයක් කරන්න ජීවිතේ සරල කරගෙන ඉන්න අය ඔයාගේ සභාවේ ඉන්නවාද? එහෙම නැත්නම් යාළුවන්ගෙන් එන උසුළු විසුළු, පීඩා මැද දිගටම හරි දේ කරන්න ලොකු සටනක් කරන යෞවනයන්ව ඔයාට මතක් වෙනවාද? පවුලේ අයගේ පීඩා මැද දිගටම විශ්වාසවන්තව ඉන්න බයිබල් ශිෂ්‍යයන්ව, සහෝදර සහෝදරියන්ව ඔයා අඳුරනවාද? එයාලා ඒ කරන කැප කිරීම් අපි ඇත්තටම ගොඩක් අගය කරන්න ඕනේ. ඉතින් ඒ අගය හිතේ විතරක් තියාගෙන ඉන්නේ නැතුව ලැබෙන හැම අවස්ථාවකදීම එයාලට ඒක ගිහින් කියන්න.—ෆිලෙ. 4, 5, 7.

15. පූර්ණකාලීන සේවකයන්ට සමහරු උදව් කරලා තියෙන්නේ කොහොමද?

15 සමහරවිට පූර්ණකාලීන සේවකයන්ට උදව් කරන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. (හිතෝ. 19:17; හෙබ්‍රෙ. 13:16) ශ්‍රී ලංකාවේ ඉන්න මහලු සහෝදරියක් ඒ දේ කළා. එයාගේ පැන්ෂන් එක වැඩි වුණාම එයා හිතුවා ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන යෞවන පුරෝගාමි සහෝදරියන් දෙන්නෙක්ට සේවේ කරන්න උදව් කරන්න ඕනෙ කියලා. ඉතින් එයා එයාලාගේ ටෙලිෆෝන් බිල ගෙවන්න හැම මාසෙම මුදලක් වෙන් කළා. ඇත්තටම ඒ මහලු සහෝදරිය පෙන්නපු ආදරේ කොච්චර වටිනවාද!

16. නසරීතවරුන්ගෙන් අපි ඉගෙනගත්තේ මොනවාද?

16 නසරීතවරුන්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ සැලැස්මෙන් අපිට යෙහෝවා දෙවියන් ගැනත් වැදගත් දෙයක් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවාට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට ඔහුව සතුටු කරන්නත් ඔහු වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නත් ලොකු ආසාවක් තියෙනවා කියලා. ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න අපි එක් එක් කෙනාට අවස්ථාව දීලා තියෙන එකෙන් ඔහු අපිට ගෞරවය පෙන්නලා තියෙනවා. (හිතෝ. 23:15, 16; මාක් 10:28-30; 1 යොහ. 4:19) නසරීතවරු ගැන හිතද්දී අපිට පැහැදිලි වෙනවා දෙවියන් අපි කරන හැම කැප කිරීමක්ම දකිනවා විතරක් නෙවෙයි ඔහු ඒවා ගොඩක් අගය කරනවා කියලා. ඒ නිසා පුළුවන් උපරිමෙන් ඔහුට සේවය කරලා ඔහුගේ හිත සතුටු කරන්න අපි අපේ උපරිමය කරමු.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • නසරීතවරු ගොඩක් කැප කිරීම් කළා කියලත් එයාලා ධෛර්යවන්තයි කියලත් පෙන්නුවේ කොහොමද?

  • නසරීතවරු වගේ කැප කිරීම් කරන්න අනිත් අයව දිරිගන්වන්න පුළුවන් කොහොමද?

  • අපි ඉගෙනගත්ත විදිහට යෙහෝවාට විශ්වාස අපි මොනවා කරයි කියලද?

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

a යෙහෝවා දෙවියන්ම නසරීතවරු විදිහට පත් කළේ කීපදෙනෙක්ව විතරයි. හුඟදෙනෙක් නසරීතවරු විදිහට ජීවත් වෙන්න ඉදිරිපත් වුණේ කැමැත්තෙන්මයි.—“ යෙහෝවාම පත් කරපු නසරීතවරු” කියන කොටුව බලන්න.

b සාමාන්‍යයෙන් අපේ ප්‍රකාශනවල පූර්ණකාලීන සේවකයන්ව තමයි නසරීතවරුන්ට සමාන කරලා තියෙන්නේ. හැබැයි මේ ලිපියේ බව්තීස්ම වුණ අපි හැමෝටම නසරීතවරුන්ව ආදර්ශයට ගන්න දිරිගන්වලා තියෙනවා.

c පොරොන්දුවට ඇතුළත් වුණ දේවල්වලට අමතරව නසරීතවරුන්ට ඉටු කරන්න විශේෂ පැවරුමක් තිබුණා කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ.

d jw.org වෙබ් අඩවියේ “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම්” කියන කොටස යටතේ තියෙන “අපි අපේ ජීවිතේ සරල කරගත්තා” කියන ලිපිය බලන්න.

e පින්තූරේ අදහස: නසරීතවරයෙක්ගේ පවුලේ කෙනෙක් මිය ගිහින්. කට්ටියක් මිනිය ගෙනියද්දී මේ නසරීතවරයා සඳලුතලයේ ඉඳන් අඬඅඬ බලාගෙන ඉන්නවා. මොකද එයා වුණ පොරොන්දුව නිසා එයාට මිනිය ළඟට යන්න බැහැ.