Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 8

ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු

දිගටම මඟ පෙන්වීම්වලට කීකරු වෙමු

දිගටම මඟ පෙන්වීම්වලට කීකරු වෙමු

‘ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නේ යෙහෝවා වන මමය.’යෙසා. 48:17.

ලිපියේ අරමුණ

යෙහෝවා ඔහුගේ සෙනඟට අද මඟ පෙන්නන්නේ කොහොමද කියලත් ඔහු දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද කියලත් අපි මේ ලිපියෙන් බලනවා.

1. අපිට දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙ ඇයි? උදාහරණයක් දෙන්න.

 හිතන්න ඔයා දැන් ඉන්නේ ගන කැලෑවක අතරමං වෙලා. ඒකේ රුදුරු වනසත්තු, විෂ පැළෑටි, නයි පොළොංගු පිරිලා. මේ වෙලාවේ ඒ කැලෑව ගැන හොඳට දන්න කෙනෙක් ඇවිල්ලා ඔයාව ඒ අනතුරුවලින් බේරගෙන කැලෑවෙන් එළියට ගෙනිච්චොත් ඔයාට කොච්චර සහනයක් දැනෙයිද? මේ ලෝකෙත් හරියට ඒ භයානක කැලෑව වගේ. අපිව යෙහෝවා දෙවියන්ගෙන් ඈත් කරවන දේවල්වලින් මේ ලෝකේ පිරිලා. හැබැයි බය වෙන්න එපා. මොකද ඒ භයානක තැන්වලින් අපිව පරෙස්සමින් ගෙනියන්න පුළුවන් කෙනෙක් අපිට ඉන්නවා. ඒ තමයි යෙහෝවා දෙවියන්. ඔහුට පුළුවන් පාරාදීසයට යන කල්ම අපිට හරි පාර පෙන්නන්න.

2. යෙහෝවා අපිට මඟ පෙන්නන්නේ කොහොමද?

2 යෙහෝවා දෙවියන් අද අපිට මඟ පෙන්නන්නේ කොහොමද? ප්‍රධානම ක්‍රමය තමයි බයිබලය. ඊට අමතරව අපිට මඟ පෙන්නන්න ඔහු අපි අතරම ඉන්න අයවත් පාවිච්චි කරනවා. උදාහරණෙකට අපිට අවශ්‍ය පෝෂණය දීලා හරි තීරණ ගන්න උදව් කරන්න ඔහු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පාවිච්චි කරනවා. (මතෙ. 24:45) ඊට අමතරව අපිට මඟ පෙන්නන්න චාරිකා සේවකයන්, වැඩිමහල්ලන් වගේ අයවත් පාවිච්චි කරනවා. අමාරු කාලවලට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය දීලා හරි තීරණ ගන්න එයාලා අපිට උදව් කරනවා. මේ කාලේදී එයාලා අපේ ළඟින්ම ඉන්න එක ගැන අපි යෙහෝවාට කොච්චර ස්තුති කරන්න ඕනෙද! මොකද සදාකාල ජීවනයට යන පාරේ දිගටම යන්න අපිට උදව් කරන්න යෙහෝවා පාවිච්චි කරන්නේ එයාලවයි.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 සමහර වෙලාවට යෙහෝවා දෙවියන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එක ලේසි නැහැ. විශේෂයෙන්ම ඔහු ඒ මඟ පෙන්වීම් දෙන්න පාපය උරුම කරගත්ත අයව පාවිච්චි කරද්දී. මොකද එයාලා දෙන මඟ පෙන්වීම් අපි එච්චර ආස නැති ඒවා වෙන්න පුළුවන්. ‘ඒ මඟ පෙන්වීම් ගැළපෙන්නේ නෑ, ඒවා මෝඩයි. ඒවා යෙහෝවාගෙන් නං වෙන්න බෑ’ කියලා අපිට හිතෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට තමයි ඒ මඟ පෙන්වීම් පිටිපස්සේ ඉන්නේ යෙහෝවා කියලත් ඒවාට කීකරු වෙද්දී ආශීර්වාද ලැබෙනවා කියලත් අපි විශ්වාස කරන්න ඕනේ. මේ පැති 3 ගැන බලන එක ඒක කරන්න අපිට උදව් වෙයි. (1) අතීතයේදී දෙවියන් මඟ පෙන්නපු විදිහ. (2) ඔහු අද අපිට මඟ පෙන්නන විදිහ. (3) කීකරු වෙන එකෙන් ලැබෙන ආශීර්වාද.

අතීතයේ ඉඳන් අද වෙන කල් දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්නන්න විශ්වාසවන්ත පුරුෂයන්ව පත් කළා (3 ඡේදය බලන්න)


අතීතයේදී

4-5. ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න දෙවියන් පාවිච්චි කළේ මෝසෙස්ව කියලා ඔහු පෙන්නුවේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

4 ඊජිප්තුවෙන් ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරගෙන යන්න දෙවියන් මෝසෙස්ව පත් කළා. ඒක තේරුම්ගන්න ඔහු පැහැදිලි සාක්ෂිත් දුන්නා. උදාහරණෙකට ඔහු දවල්ට වලා ටැඹකුයි, රෑට ගිනි ජාලාවකුයි ඇති වෙන්න සැලැස්සුවා. (නික්. 13:21) ඉතින් ඒ වලා ටැඹ යන්නේ කොහේද මෝසෙස් සෙනඟවත් අරන් ඒක පිටිපස්සේ ගියා. අන්තිමේදී ඒ වලා ටැඹ නතර වුණේ රතු මුහුද ළඟ. ඒ වෙලාවේ සෙනඟ ගොඩක් බය වුණා එයාලා රතු මුහුදටයි, ඊජිප්තු හමුදාවටයි කොටු වුණා කියලා. මේ පාර නම් මෝසෙස්ට වැරදුණා කියලයි සෙනඟ හිතුවේ. හැබැයි ඒක වැරදීමක් නෙවෙයි. යෙහෝවා තමයි මෝසෙස්ව පාවිච්චි කරලා සෙනඟව එතනට ගෙනාවේ. (නික්. 14:2) අන්තිමේදී පුදුමාකාර විදිහට යෙහෝවා දෙවියන් එයාලව බේරගත්තා.—නික්. 14:26-28.

පාළුකරය හරහා යද්දී වලා ටැඹ යන යන තැනට මෝසෙස් සෙනඟවත් අරන් ගියා (4-5 ඡේද බලන්න)


5 ඊටපස්සේ පාළුකරයේදී ගෙවුණ අවුරුදු 40 පුරාම මෝසෙස් ඒ වලා ටැඹ පෙන්නන පාරේ සෙනඟව ගෙනිච්චා. a යම් කාලෙකට සෙනඟට පේන විදිහට යෙහෝවා දෙවියන් මෝසෙස්ගේ කූඩාරමට උඩින් ඒ වලා ටැඹ නතර කළා. (නික්. 33:7, 9, 10) ඒ වලා ටැඹ තුළින් යෙහෝවා මෝසෙස්ට කතා කරලා සෙනඟට දෙන්න ඕනෙ මඟ පෙන්වීම් දුන්නා. (ගීතා. 99:7) ඉතින් මෝසෙස්ව පාවිච්චි කරන්නේ යෙහෝවාමයි කියලා තේරුම්ගන්න තව සාක්ෂි ඕනෙද?

මෝසෙස් සහ එයාට පස්සේ නායකයා වුණ යොෂුවා (5, 7 ඡේද බලන්න)


6. යෙහෝවා මඟ පෙන්වීම් දෙද්දී ඊශ්‍රායෙල්වරු කළේ මොනවාද? (ගණන් කතාව 14:2, 10, 11)

6 මෝසෙස්ව පාවිච්චි කරන්නේ දෙවියන්මයි කියලා පිළිගන්න ඇස් පනාපිටම සාක්ෂි තියෙද්දීත් සෙනඟ මෝසෙස්ව ප්‍රතික්ෂේප කළා. (ගණන් කතාව 14:2, 10, 11 කියවන්න.) ඒ නිසා දෙන්නෙක්ට ඇරෙන්න ඒ පරම්පරාවේ හිටපු කාටවත් පොරොන්දු දේශයට යන්න බැරි වුණා.—ගණන්. 14:30.

7. අතීතයේදී දෙවියන්ගේ මඟ පෙන්වීම් පිළිපැද්ද අය කවුද? (ගණන් කතාව 14:24) (පින්තූරයත් බලන්න.)

7 සමහර ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට හදවතින්ම කීකරු වුණා. උදාහරණෙකට ‘කාලෙබ් සම්පූර්ණ සිතකින් මට සේවය කරනවා’ කියලා දෙවියන් කිව්වා. (ගණන් කතාව 14:24 කියවන්න.) ඒ නිසා යෙහෝවා කාලෙබ්ට ආශීර්වාද කරලා කානාන් දේශයේ එයා කැමතිම ප්‍රදේශය අයිති කරගන්න එයාට අවස්ථාව දුන්නා. (යොෂු. 14:12-14) ඊශ්‍රායෙල්වරුන්ගේ ඊළඟ පරම්පරාවත් දෙවියන්ට කීකරු වුණා. මෝසෙස්ගෙන් පස්සේ නායකයා වුණේ යොෂුවා. එයාලා යොෂුවාගේ “මුළු ජීවිත කාලය පුරාම එයාට ඉතා ගෞරවයෙන් සැලකුවා.” (යොෂු. 4:14) ඒ නිසා දෙවියන් සෙනඟව ආරක්ෂිතව පොරොන්දු දේශයට ගෙනල්ලා එයාලට හුඟක් ආශීර්වාද කළා.—යොෂු. 21:43, 44.

8. රජවරුන්ගේ කාලේදී දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්නපු විදිහ පැහැදිලි කරන්න. (පින්තූරයත් බලන්න.)

8 ඊට අවුරුදු ගාණකට පස්සේ සෙනඟට මඟ පෙන්නන්න යෙහෝවා දෙවියන් විනිශ්චයකරුවන්ව පත් කළා. පස්සේ රජවරුන්ගේ කාලේදී ඔහු මඟ පෙන්නුවේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්. විශ්වාසවන්ත රජවරුන් එයාලට කීකරු වුණා. උදාහරණෙකට නාතන් ඇවිත් දාවිත්ව නිවැරදි කරද්දී එයා ඒක නිහතමානීව පිළිගත්තා. (2 සාමු. 12:7, 13; 1 ලේක. 17:3, 4) ඒ වගේම යෙහෝෂපාට් රජ යහෂියෙල් දුන්න මඟ පෙන්වීම් පිළි අරන් සෙනඟටත් කිව්වා “දෙවිගේ අනාගතවක්තෘවරුන් පැවසූ දේ විශ්වාස කරන්න” කියලා. (2 ලේක. 20:14, 15, 20) කරදරේ වැටුණ වෙලාවේදී හෙසකියා යෙසායාගෙන් උදව් ගත්තා. (යෙසා. 37:1-6) ඒ රජවරු යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතපු හැම වෙලාවෙම එයාලට ආශීර්වාද ලැබුණා විතරක් නෙවෙයි සෙනඟත් ආරක්ෂා වුණා. (2 ලේක. 20:29, 30; 32:22) ඒ අනාගතවක්තෘවරුන්ව පාවිච්චි කරන්නේ යෙහෝවා දෙවියන්මයි කියලා පැහැදිලිව තේරුම්ගන්න ඒක සාක්ෂියක් වුණා. ඒත් රජවරුන්ගෙන් සහ සෙනඟගෙන් හුඟදෙනෙක් අනාගතවක්තෘවරුන් කියපු දේවල් සත පහකටවත් ගණන් ගත්තේ නැහැ.—යෙරෙ. 35:12-15.

හෙසකියා රජ සහ යෙසායා (8 ඡේදය බලන්න)


මුල් සියවසේදී

9. මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට මඟ පෙන්නන්න යෙහෝවා පාවිච්චි කළේ කාවද? (පින්තූරයත් බලන්න.)

9 මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වීම් දෙන්න යෙහෝවා දෙවියන් පාවිච්චි කළේ කාවද? ඒ, සභාවේ හිස වන යේසුස්ව. (එෆී. 5:23) ඒත් යේසුස් එක් එක් කෙනා ළඟට ඇවිල්ලා මඟ පෙන්වීම් දුන්නේ නැහැ. ඔහු ඒකට පත් කළේ නියෝජිතයන්ව සහ යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන්ව. (ක්‍රියා 15:1, 2) ඒ වගේම එක් එක් සභාවට මඟ පෙන්වීම් දෙන්න ඒ සභාවල වැඩිමහල්ලන්වත් පත් කළා.—1 තෙස. 5:12; තීත. 1:5.

නියෝජිතයන් සහ යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන් (9 ඡේදය බලන්න)


10. (අ) මඟ පෙන්වීම් ලැබෙද්දී මුල් සියවසේ ක්‍රිස්තියානීන් හුඟදෙනෙක් කළේ මොකක්ද? (ක්‍රියා 15:30, 31) (ආ) දෙවියන් පත් කරපු අයට කීකරු වෙන්න සමහරුන්ට අමාරු වුණේ ඇයි? (“ සමහරු සාක්ෂි ප්‍රතික්ෂේප කළා” කියන කොටුව බලන්න.)

10 මඟ පෙන්වීම් ලැබෙද්දී මුල් සියවසේ ක්‍රිස්තියානීන් කළේ මොකක්ද? එයාලාගෙන් හුඟදෙනෙක් කැමැත්තෙන්ම ඒවාට කීකරු වුණා. බයිබලේ කියනවා එයාලා “එයින් දිරිගැන්වීම් ලබා ප්‍රීතිමත් වුණා” කියලා.—ක්‍රියා 15:30, 31 කියවන්න.

අපේ කාලේදී

11. මෑත කාලේදී යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්නපු විදිහ ගැන උදාහරණයක් දෙන්න.

11 අදත් දෙවියන් බයිබලෙන් සහ යේසුස් මාර්ගයෙන් දිගටම අපිට මඟ පෙන්නනවා. ඒත් මඟ පෙන්වීම් දෙන්න ඔහු පොළොවේ ඉන්න ඔහුගේ නියෝජිතයන්වත් පාවිච්චි කරනවා කියලා විශ්වාස කරන්න සාක්ෂි තියෙනවාද? ඔව්. උදාහරණෙකට සහෝදර රසල් සහ එයාගේ යාළුවෝ කීපදෙනෙක් 1800 ගණන්වල අගභාගයේදීම තේරුම්ගත්තා 1914 සුවිශේෂී අවුරුද්දක් කියලා. (දානි. 4:25, 26) හැබැයි ඒ වගේ නිගමනයකට එන්න නම් එයාලා බයිබල් අනාවැකි හරියට තේරුම්ගන්න ඕනේ. ඒත් ඒක තේරුම්ගන්න එයාලට උදව් කළේ යෙහෝවාමයි කියලා අපි දන්නේ කොහොමද? 1914දී එයාලා හිතපු විදිහටම දේවරාජ්‍යයේ පාලනය ස්වර්ගයේ පටන්ගත්තා කියලා කියන්න පැහැදිලි සාක්ෂි පේන්න තිබුණා. මොකද ඒ අවුරුද්දේ තමයි පළවෙනි ලෝක මහා යුද්ධය ඇති වුණේ. ඒත් එක්කම සාගත, වසංගත, භූමිකම්පා ලෝකේ පුරාම ඇති වෙන්න පටන්ගත්තා. (ලූක් 21:10, 11) ඒකෙන් පැහැදිලියි දෙවියන් තමන්ගේ සෙනඟට මඟ පෙන්නන්න ඒ විශ්වාසවන්ත පුරුෂයන්ව පාවිච්චි කළා කියලා.

12-13. දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේ සේවය තව වැඩි කරන්න ඇති කළේ මොන වගේ සැලසුම්ද?

12 දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේදී වුණ දෙයක් බලන්න. එළිදරව් 17:8 අධ්‍යයනය කළාට පස්සේ ලෝක මූලස්ථානයේ ඉන්න සහෝදරයන් තේරුම්ගත්තා දෙවෙනි ලෝක මහා යුද්ධය කෙළවර වෙන්නේ හර්–මගෙදොන්වලින් නෙවෙයි කියලා. ඒ වෙනුවට ඒකෙන් පස්සේ නිදහසේ සේවේ කරන්න පුළුවන් සාමකාමී කාලයක් උදා වෙනවා කියලා එයාලා තේරුම්ගත්තා. ඒ නිසා එයාලා තීරණය කළා දෙවෙනි ලෝක මහා යුද්ධය අතරතුරේදීම ගිලියද් පාසැල පටන්ගන්න. ඒ පාසැලේ අරමුණ වුණේ එක එක රටවල්වලට ගිහිල්ලා මිෂනාරිවරු විදිහට සේවේ කරන්න සහෝදර සහෝදරියන්ව පුහුණු කරන එක. යුද්ධයක් මැද ඒ වගේ පාසැලක් පටන්ගන්න එක බැලූ බැල්මට ප්‍රායෝගික නැහැ. ඒත් පුහුණුව ලබපු අයට යුද්දේ කාලේදීම එක එක පැවරුම් ලැබුණා. ඒ විතරක් නෙවෙයි සභාවේ ඉන්න හැමෝවම දක්ෂ විදිහට උගන්නන්න පුහුණු කරන්න දිව්‍යාණ්ඩු සේවා පාසැල b පටන්ගත්තා. ඒ විදිහට ඉස්සරහට කරන්න තියෙන දැවැන්ත කාර්යයට දෙවියන් ඔහුගේ සෙනඟව කලින්ම සූදානම් කළා.

13 ආපස්ස හැරිලා බලද්දී අපිට පැහැදිලියි යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ඒ අමාරු කාලේ පුරාම මඟ පෙන්නලා තියෙනවා කියලා. කිව්වා වගේම දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පස්සේ අද ලෝකේ හුඟක් රටවල්වල දෙවියන්ගේ සෙනඟ නිදහසේ දේශනා සේවය කරගෙන යනවා. දැන් ඒක තවත් වේගවත් වෙලා.

14. සංවිධානයෙන් සහ වැඩිමහල්ලන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම් අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි? (එළිදරව් 2:1) (පින්තූරයත් බලන්න.)

14 පාලක මණ්ඩලයේ සහෝදරයන් හැම තිස්සේම වැඩ කරන්නේ යේසුස් දෙන මඟ පෙන්වීමට අනුව. ඒ නිසා එයාලා අපිට මඟ පෙන්වීම් දෙන්න කලින් ඒ ගැන යෙහෝවා දෙවියන් සහ යේසුස් හිතන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ගොඩක් උත්සාහ කරනවා. ඊටපස්සේ ඒ මඟ පෙන්වීම් චාරිකා සේවකයන් සහ වැඩිමහල්ලන් මාර්ගයෙන් සභාවලට දැනුම් දෙනවා. c ඇත්තටම ඒ වැඩිමහල්ලන්, විශේෂයෙන්ම අභිෂේක ලත් වැඩිමහල්ලන් ඉන්නේ යේසුස්ගේ “දකුණතේ.” (එළිදරව් 2:1 කියවන්න.) ඇත්ත, එයාලා අතිනුත් වැරදි වෙනවා. මෝසෙස්, යොෂුවා සහ නියෝජිතයන් අතිනුත් වැරදි වුණා. (ගණන්. 20:12; යොෂු. 9:14, 15; රෝම 3:23) ඒත් අපි මතක තියාගන්න ඕනෙ පාපය උරුම කරගෙන තිබුණත් විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව සහ දෙවිගේ බලයෙන් පත් කරපු වැඩිමහල්ලන් හැමෝවම යේසුස් දිගටම පාවිච්චි කරනවා කියලා. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” යේසුස් අපිට මඟ පෙන්නන්න එයාලව පාවිච්චි කරනවා. (මතෙ. 28:20) ඒ නිසා පෙරමුණ ගන්න ඒ සහෝදරයන්ව විශ්වාස කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා.

අද ඉන්න පාලක මණ්ඩලය (14 ඡේදය බලන්න)


ආශීර්වාද ලැබෙන්නේ අපිටමයි

15-16. දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වුණ අයගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

15 දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී දැන් වුණත් අපිට ආශීර්වාද ලැබෙනවා. ඇන්ඩි සහ රොබින් කියන්නේ බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා ජීවිතේ සරල කරගත්ත යුවළක්. (මතෙ. 6:22) ඒ නිසා එයාලට පුළුවන් වුණා සංවිධානයේ ඉදි කිරීම් ව්‍යාපෘතිවලට හවුල් වෙන්න. සහෝදරි රොබින් මෙහෙම කියනවා. “සමහර වෙලාවට අපිට ඉන්න ලැබුණේ හරිම පුංචි කාමරවල. අඩුම ගාණේ ඒකේ කුස්සියක්වත් තිබ්බේ නෑ. මගේ ආසම විනෝදාංශය තමයි ෆොටෝ ගන්න එක. හැබැයි ජීවිතේ සරල කරගන්න මට කැමරා අනං මනං හැම දේම වගේ විකුණන්න වුණා. ඒවා විකුණද්දී මට ගොඩක් ඇඬුණා. ඒත් මං ඒ වෙලාවේ සාරාව මතක් කරගත්තා. මටත් හිතුණා මං කරන්න ඕනෙ දාලා ආපු දේවල් දිහා බලන එක නෙවෙයි, අනාගතේ දිහා බලන එක කියලා.” (හෙබ්‍රෙ. 11:15) එයාලට ලැබුණ ආශීර්වාද මොනවාද? එයා මෙහෙම කියනවා. “කැප කිරීම් කරලා යෙහෝවාට සේවේ කරද්දී දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න බෑ. මහත්තයායි, මායි ඉදි කිරීම් වැඩවලට හවුල් වෙද්දී අපිට දැනෙන්නේ අපිත් මොහොතකට පාරාදීසෙට ගියා වගේ.” සහෝදර ඇන්ඩිත් කියනවා “අපේ මුළු ජීවිතේම දෙවියන් වෙනුවෙන් කැප කරද්දී අපිට ලැබුණ සතුට වෙන කිසිම දේකට සම කරන්න බෑ” කියලා.

16 සංවිධානයෙන් අපිට නිතරම දිරිගන්වනවා පුරෝගාමි සේවය කරන්න කියලා. (මතෙ. 6:33; රෝම 12:11) සහෝදරි මාර්සියා ඒක හොඳට හිතට ගත්තා. එයා මෙහෙම කියනවා. “ඉස්කෝලේ ගිහින් ඉවර වුණාම විශ්වවිද්‍යාලයක අවුරුදු හතරක් නොමිලේම ඉගෙනගන්න මට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒත් මට ඕන වුණේ පුරෝගාමි කරන්න. ඒ නිසා සේවේ කරන ගමන් පොඩි රස්සාවක් කරන්න මං වෘත්තිය පුහුණුවක් ලැබුවා. ඇත්තම කිව්වොත් මං මගේ ජීවිතේ අරන් තියෙන හොඳම තීරණවලින් එකක් තමයි ඒ. දැන් මං සතුටින් ස්ථාවර පුරෝගාමි කරනවා. ඒ වගේම රස්සාව කරන දවස් ගාණ මටම තීරණය කරන්න පුළුවන් නිසා බෙතෙල් එකට ගිහින් සේවය කරන එක වගේ යෙහෝවා වෙනුවෙන් තව හුඟක් දේවල් කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා.”

17. මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී අපිට ලැබෙන තව ආශීර්වාද මොනවාද? (යෙසායා 48:17, 18)

17 කාලෙන් කාලෙට යෙහෝවා අපිට ගොඩක් මඟ පෙන්වීම් දෙනවා. උදාහරණෙකට සල්ලි පස්සේ යන එක ගැන, ප්‍රතිපත්ති කැඩෙන්න පුළුවන් විදි ගැන ඔහු අපිට අනතුරු අඟවනවා. ඒ මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙනුත් ප්‍රයෝජන ලබන්නේ අපිමයි. මොකද පිරිසිදු හෘද සාක්ෂියක් ඇතුව ඉන්නත් අනවශ්‍ය ප්‍රශ්නවලට පැටලෙන්නේ නැතුව ඉන්නත් ඒවා අපිට උදව් වෙනවා. (1 තිමෝ. 6:9, 10) ඒ විදිහට යෙහෝවා දෙවියන්ට අපි මුළු හදවතින්ම සේවය කරද්දී නියම සමාදානය, තෘප්තිය අද්දකින්න අපිට පුළුවන්.—යෙසායා 48:17, 18 කියවන්න.

18. දිගටම යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න ඔයා අධිෂ්ඨාන කරගෙන ඉන්නේ ඇයි?

18 මහත් පීඩාවේදී විතරක් නෙවෙයි දහස් අවුරුදු පාලනය පුරාවටමත් අපිට මඟ පෙන්නන්න යෙහෝවා විශ්වාසවන්ත පුරුෂයන්ව පාවිච්චි කරයි. (ගීතා. 45:16) එයාලා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න සමහර වෙලාවට අපේ රුචි අරුචිකම් පැත්තකින් තියන්න අපිට වෙයි. එදාට ඔයාත් එහෙම කරයිද? ඒක හුඟක් වෙලාවට තීරණය වෙන්නේ ඔයා දැන් එහෙම කරනවාද නැද්ද කියන එක මතයි. පාරාදීසේ එන කල් අපිව ආරක්ෂා කරලා අපිට දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් කරන්න දෙවියන් පාවිච්චි කරන්නේ ඒ විශ්වාසවන්ත පුරුෂයන්වයි. ඒ නිසා එයාලට ඇහුම්කන් දෙමු. (යෙසා. 32:1, 2; හෙබ්‍රෙ. 13:17) එයාලා දෙන මඟ පෙන්වීම්වලට දිගටම කීකරු වෙමු. එහෙම කරද්දී අපි පෙන්නන්නේ අපිට මඟ පෙන්නන යෙහෝවා දෙවියන්ව අපි සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා කියලයි.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවේ කොහොමද?

  • ඔහු මුල් ක්‍රිස්තියානීන්ට මඟ පෙන්නුවේ කොහොමද?

  • මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

ගීතිකාව 48 දෙවි සමඟින් පා නඟමු

a ‘සෙනඟට ඉස්සරහින් ගිහින්’ ඊශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට ගෙනියන්න යෙහෝවා දෙවියන් දේවදූතයෙක්ව පාවිච්චි කළා. පේන විදිහට ඒ දේවදූතයා මිකායෙල්. මිකායෙල් කියන්නේ ස්වර්ගයේදී යේසුස්ව හඳුන්වපු නම.—නික්. 14:19; 32:34.

b පස්සේ ඒක හැඳින්නුවේ සේවා පාසැල කියලයි. අද අපිට ඒ පුහුණුව ලැබෙන්නේ සති මැද රැස්වීමෙන්.

c 2021 පෙබරවාරි ‘මුරටැඹ’ සඟරාවේ 18වෙනි පිටුවේ තියෙන “පාලක මණ්ඩලයේ වැඩ කොටස” කියන කොටුව බලන්න.