Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

මගේ දුර්වලකම්වලින් දෙවියන්ගේ බලය පෙනුණා

මගේ දුර්වලකම්වලින් දෙවියන්ගේ බලය පෙනුණා

1985දී මායි, මගේ නෝනායි කොලොම්බියාවට ගියා. ඒ කාලේ එහේ හරියට අපරාධ තිබුණා. හුඟක් නගරවල මත්ද්‍රව්‍ය විකුණපු කල්ලි හිටියා. කඳුකරයට වෙන්න ගරිල්ලා සටන්කාමීන් හිටියා. ආණ්ඩුව ඒ දෙගොල්ලොම එක්ක නිතරම වගේ සටන්වලට පැටලුණා. පස්සේ කාලෙක අපි සේවේ කරපු මෙඩලින් කියන පැත්තෙත් ආයුධ අතට ගත්ත මැර කල්ලිවල තරුණ අය නිතරම වගේ පාරවල්වල හිටියා. එයාලා කුඩු වික්කා, මිනිස්සුන්ගෙන් කප්පම් ගත්තා, කුලියට මිනී මැරුවා. හැබැයි එයාලාගේ ආයුෂ නං කෙටියි. අපිට එහෙට ගියාම හිතුණේ අපි වෙනම ලෝකෙකට ගියා කියලා.

අපි දකුණු ඇමරිකාවට ගියේ කොහොමද, මේ අවුරුදු ගාණ පුරා මං මොනවාද ඉගෙනගත්තේ කියලා මං ඔයාලට කියන්නම්.

ෆින්ලන්තයේ ගෙවුණ යෞවන කාලේ

මං ඉපදුණේ 1955දී. අපේ පවුලේ කොල්ලොම තුන්දෙනෙක්. මං බාලයා. අපි පොඩි කාලේ හිටියේ ෆින්ලන්තයේ දකුණු වෙරළබඩ තීරයට වෙන්න තිබුණ පැත්තක. දැන් එහෙට කියන්නේ වාන්ටා කියලා.

මං ඉපදෙන්න අවුරුදු කීපයකට කලින් අම්මා බව්තීස්ම වුණා. හැබැයි අපේ තාත්තා සත්‍යයට විරුද්ධයි. ඉතිං අම්මාට අපි එක්ක බයිබලේ පාඩම් කරන්න, අපිව රැස්වීම්වලට එක්කං යන්න තාත්තා ඉඩ දුන්නේ නෑ. තාත්තා නැති වෙලාවට තමයි අම්මා අපිට බයිබලේ දේවල් කිව්වේ.

අවුරුදු හතේදීත් මං හරි දේ කළා

මං පොඩි කාලේ ඉඳලාම යෙහෝවා අකමැති දේවල් කළේ නෑ. මට මතකයි දවසක් මං වෙරිලාත්‍යා (ලේවලින් හදන පෑන්කේක් වර්ගයක්) කන්න බෑ කිව්වාම අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් මාත් එක්ක හොඳටම කේන්ති ගත්තා. එයා එක අතකින් මගේ කම්මුල මිරිකලා, මගේ කට අරින්න හදලා අනිත් අතේ තිබුණ ගෑරුප්පුවෙන් මගේ කටට පෑන්කේක් කෑල්ලක් ඔබන්න හැදුවා. හැබැයි මං කොහොමහරි එයාගේ අතේ තිබුණ ගෑරුප්පුව වැට්ටුවා. ඕක වෙද්දී මට අවුරුදු හතයි.

මට වයස 12දී මගේ තාත්තා නැති වුණා. ඊටපස්සේ මං රැස්වීම් ගියා. සභාවේ හිටපු සහෝදරයෝ මට ගොඩක් ආදරෙන් සැලකුවා. යෙහෝවාට තවත් ළං වෙන්න ඒක මට උදව් වුණා. මං හැමදාම බයිබලේ කියෙව්වා. අපේ ප්‍රකාශන හොඳට අධ්‍යයනය කළා. ඒ හොඳ පුරුදු මට උදව් වුණා වයස 14දී ඒ කියන්නේ 1969 අගෝස්තු 8වෙනිදා බව්තීස්ම වෙන්න.

මං ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්ම ස්ථාවර පුරෝගාමි සේවේ පටන්ගත්තා. සති කීපයකට පස්සේ ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරන්න මං ගියා.

එහෙදී තමයි මට මගේ සිර්කාව හම්බ වුණේ. එයා යෙහෝවාට ගොඩක් ආදරේ කරපු, හරිම නිහතමානී කෙනෙක්. ඒකයි මගේ හිත එයාට ඇදිලා ගියේ. එයා කැපිලා පේන්න හදපු කෙනෙක් නෙවෙයි. සල්ලි පස්සේ ගියෙත් නෑ. අපි දෙන්නාටම ඕනෙ වුණේ උපරිමෙන් යෙහෝවාට සේවේ කරන්න. මොන පැවරුම හම්බ වුණත් ඒක භාරගන්න අපි කැමැත්තෙන් හිටියා. ඉතිං 1974 මාර්තු 23වෙනිදා අපි බැන්දාට පස්සේ හනිමූන් යන්නෙවත් නැතුව කර්තුලාවලට සේවේ කරන්න ගියා. ඒකත් ප්‍රචාරකයන් අඩු පැත්තක්.

කර්තුලාවේ අපි කුලියට හිටපු ගේ

යෙහෝවා අපිව බලාගත්තා

මගේ අයියා දීපු කාර් එක

දේවරාජ්‍යයට මුල් තැන දෙනවා නං අපිට ඕනෙ කරන දේවල් දීලා අපිව බලාගන්නවා කියලා යෙහෝවා පෙන්නුවා. (මතෙ. 6:33) බැඳපු මුල් කාලේ ඉඳලාම අපි ඒක අද්දැක්කා. කර්තුලාවල හිටපු කාලේ අපිට කාර් එකක් තිබුණේ නෑ. අපි එහෙට මෙහෙට ගියේ බයිසිකල්වලින්. සීත කාලෙට ඕක ලේසි නෑ. මොකද දැනෙන සීතලට දත කට පූට්ටු වෙනවා. අපිට සේවේ කරන්න තිබුණ පැත්ත ගොඩක් ලොකු නිසා වාහනයක් නැතුවම බෑ. ඒත් වාහනයක් ගන්න අපිට සල්ලි තිබ්බේ නෑ.

හිතුවෙවත් නැති වෙලාවක මගේ අයියා ආවා අපිව බලන්න. එයාගේ කාර් එක එයා අපිට දෙන්නං කිව්වා. ඒකේ ඉන්ෂුවරන්ස් එකත් ගෙවලයි තිබුණේ. තෙල් ගහගන්න විතරයි අපිට තිබ්බේ.

අපිට ඕන කරන දේවල් දෙන වගකීම යෙහෝවා කරට අරන් කියලා එදා ඔහු පෙන්නුවා. අපිට තිබ්බේ දේවරාජ්‍යයට මුල් තැන දෙන්න විතරයි.

ගිලියද් පාසැල

1978 අපි ගිය පුරෝගාමි පාසැලේදී

1978දී අපි පුරෝගාමි පාසැලට ගියා. ඒකේ හිටපු එක උපදේශකයෙක් තමයි සහෝදර රයිමෝ ක්වෝකේනන්. a ගිලියද් පාසැලට අයදුම් කරන්න එයා අපිට උනන්දු කළා. ඉතිං අපි ඉංග්‍රීසි ඉගෙනගන්නත් පටන්ගත්තා. ඒත් 1980දී ඒ කියන්නේ ගිලියද් පාසැලට අයදුම් කරන්නත් කලින් ෆින්ලන්තයේ ශාඛා කාර්යාලයේ වැඩ කරන්න එන්න කියලා අපිට කිව්වා. ඒ කාලේ බෙතෙල් එකේ සේවේ කරන අයට ගිලියද් පාසැලට යන්න බෑ. හැබැයි අපිට ඕන වුණේ යෙහෝවා හොඳයි කියලා හිතෙන දේ කරන්න මිසක් අපිට හොඳයි කියලා හිතෙන දේ කරන්න නෙවෙයි. ඒ නිසා අපි ඒ ආරාධනය පිළිගත්තා. එහෙමයි කියලා අපි ඉංග්‍රීසි ඉගෙනගන්න එක නතර කළේ නෑ. මොකද කවදා හරි දවසක ගිලියද් යන්න අපිට චාන්ස් එකක් හම්බ වෙන්න පුළුවන්නේ.

අවුරුදු කීපයකට පස්සේ පාලක මණ්ඩලය කිව්වා බෙතෙල් එකේ අයටත් ගිලියද් පාසැලට අයදුම් කරන්න පුළුවන් කියලා. ඉතිං ඒක කිව්ව ගමන් අපි ටක් ගාලා අපේ ෆෝම් දැම්මා. අපි එහෙම කළේ බෙතෙල් සේවේට අකමැති නිසා නෙවෙයි. අපිට ඕන වුණේ අපේ සේවේ වැඩියෙන්ම ඕන තැනට ගිහින් සේවේ කරන්න. ඉතිං ගිලියද් පාසැලේ 79වෙනි පන්තියට සහභාගි වෙන්න අපිට ආරාධනයක් ලැබුණා. 1985 සැප්තැම්බර්වල අපිට කොලොම්බියාවට යන්න පැවරුමක් හම්බ වුණා.

මුල්ම මිෂනාරි පැවරුම

කොලොම්බියාවේ අපිට මුල්ම පැවරුම හම්බ වුණේ බෙතෙල් එකට. මං මගේ පැවරුම උපරිමෙන්ම කළා. හැබැයි අවුරුද්දකට පස්සේ මට හිතුණා වෙනසක් වුණා නං හොඳයි කියලා. ඉතිං මං ඒ ගැන ඇහුවා. මං ඒ වගේ ඉල්ලීමක් කරපු පළවෙනි සහ අන්තිම වතාව තමයි ඒක. ඊටපස්සේ අපිට හුයිලා ප්‍රදේශයේ නෙයිවාවල මිෂනාරිවරු විදිහට සේවේ කරන්න පැවරුමක් ලැබුණා.

දේශනා සේවේ කරන්න මං කවදත් ආසයි. තනිකඩ කාලේ ෆින්ලන්තයේ ඉද්දී මං උදේ ඉඳන් හවස් වෙන කල්ම සේවේ කරනවා. බැඳපු මුල් කාලෙත් අපි දෙන්නා මුළු දවසම සේවේ කළා. ඈත පැතිවල සේවේ කරද්දී සමහර දවස්වලට අපි නිදාගන්නේ අපේ කාර් එකේ. එතකොට මඟට යන කාලේ ඉතුරුයිනේ. පහුවදා උදෙන්ම සේවේ පටන්ගන්න පුළුවන්.

පුරෝගාමීන් විදිහට සේවේ කරපු කාලේ අපිට තිබුණ උද්‍යෝගය, දැනුණ සතුට නෙයිවාවලදී අපිට ආයෙත් දැනෙන්න පටන්ගත්තා. මෙහේ සහෝදරයෝ එකිනෙකාට හරිම ආදරෙයි, එයාලට ගෞරව කරනවා. පොඩි දේත් ගොඩක් අගේ කරනවා. ඔහොම අපි කාලයක් නෙයිවාවල සේවේ කරද්දී සභාව ටිකෙන් ටික වර්ධනය වුණා.

යාච්ඤාවේ බලය

නෙයිවාවලට කිට්ටුව තව ටවුන් ගොඩක් තිබුණා. ඒ එකකවත් සාක්ෂිකරුවන් හිටියේ නෑ. ඒ ටවුන්වල අයට ශුභාරංචිය කොහොම අහන්න ලැබෙයිද කියලා මං නිතරම කල්පනා කළා. ගරිල්ලා සටන්කරුවන් නිසා පිටගංකාරයන්ට ඒ පැතිවලට යන්න බෑ. ඉතිං මං හිතුවා ඒ ටවුමක කෙනෙක් සත්‍යයට ආවා නං කොච්චර හොඳද කියලා. මං ඒ ගැන යාච්ඤාත් කළා. හැබැයි එහෙම වෙන්න නං නෙයිවාවලම කෙනෙක් සත්‍යය ඉගෙනගෙන, බව්තීස්ම වෙලා ආයේ එයාගේ ගමට ගිහින් දේශනා කරන්න ඕනේ. ඒත් යෙහෝවාට ඊට වඩා හොඳ ප්ලෑන් එකක් තිබුණා.

යාච්ඤා කරලා වැඩි දවසක් යන්න කලින් මං ෆර්නැන්ඩෝ ගොන්සාලෙස් කියලා තරුණයෙක් එක්ක පාඩමක් පටන්ගත්තා. එයා හිටියේ මං ඔය කලින් කියපු ටවුමක. එහෙට කිව්වේ අල්හෙසිරස් කියලා. ෆර්නැන්ඩෝ හැම සතියකම නෙයිවාවල වැඩට එන්න කි.මී. 50ක් එනවා. එයා පාඩමට හොඳට ලෑස්ති වුණා. පාඩම පටන් අරන් වැඩි කල් යන්න කලින් එයා රැස්වීමුත් ආවා. එයා පාඩම පටන්ගත්ත සතියෙම එයාගේ ටවුමේ හිටපු කට්ටියව එකතු කරගෙන බයිබලෙන් එයා ඉගෙනගත්ත දේවල් එයාලත් එක්ක බෙදාගත්තා.

1993දී ෆර්නැන්ඩෝ එක්ක

පාඩම පටන් අරන් මාස හයකට පස්සේ ඒ කියන්නේ 1990 ජනවාරිවල ෆර්නැන්ඩෝ බව්තීස්ම වුණා. ඊටපස්සේ එයා ස්ථාවර පුරෝගාමි සේවේ පටන්ගත්තා. අල්හෙසිරස් කියන ටවුමේ දැන් සාක්ෂිකාරයෙක් ඉන්න නිසා ශාඛා කාර්යාලයට විශේෂ පුරෝගාමීන්ව එහෙට යවන්න පුළුවන් වුණා. ඉතිං පොඩි කාලයක් ඇතුළත ඒ කියන්නේ 1992 පෙබරවාරිවල එහේ සභාවකුත් පටන්ගත්තා.

ෆර්නැන්ඩෝ එයාගේ ටවුමේ අයට විතරක් නෙවෙයි දේශනා කළේ. එයා බැන්දාට පස්සේ එයාගේ නෝනාත් එක්ක සාක්ෂිකරුවන් හිටියේ නැති තවත් ටවුමකට ගිහිල්ලා එහෙත් සේවේ කළා. ඒ ටවුමෙත් සභාවක් පටන්ගන්න උදව් කරන්න එයාලට පුළුවන් වුණා. 2002දී ෆර්නැන්ඩෝව චාරිකා සේවකයෙක් විදිහට පත් කළා. එයායි, එයාගේ නෝනා ඔල්ගයි අදටත් චාරිකා සෙවේ හවුල් වෙනවා.

ඒ අද්දැකීමෙන් මට තේරුණා පැවරුමට සම්බන්ධ දේවල් ගැන නිශ්චිතව යාච්ඤා කරන එක කොච්චර වැදගත්ද කියලා. අපිට කරන්න බැරි දේ අපි වෙනුවෙන් යෙහෝවා කරනවා. කොහොමත් මේක යෙහෝවාගේ අස්වැන්නනේ.—මතෙ. 9:38.

‘ආසාවක් වගේම පෙලඹීමක්’ ඇති කළා

1990දී අපි සංචාරක සේවේ යන්න පටන්ගත්තා. අපි පටන්ගත්තේ බොගෝටා අගනුවරෙන්. අපේ පැවරුම හරියට කරන්න පුළුවන් වෙයිද කියලා හිතලා අපි දෙන්නාම ටිකක් බය වුණා. මොකද අපි හරිම සාමාන්‍ය මිනිස්සු. අපිට ලොකු ලොකු දක්ෂතා තිබුණෙත් නෑ. ජනාකීර්ණ නගරවල ජීවත් වෙලා අපිට පුරුදුත් නෑ. හැබැයි යෙහෝවා ෆිලිප්පි 2:13 දීලා තියෙන පොරොන්දුව අපි වෙනුවෙන් ඉටු කළා. එතන මෙහෙම කියනවා. “ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය. ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.”

ඊටපස්සේ අපි චාරිකා ගියේ මෙඩලින්වලට. මේ කතාව පටන්ගද්දීම මං කිව්වේ ඒ පැත්ත ගැන තමයි. එහේ හිටපු අයට ගහමරාගන්න එක, වෙඩි තියාගන්න එක සාමාන්‍ය දෙයක්. දවසක් මං බයිබල් පාඩමක ඉද්දී මට එක පාරටම ඇහුණා එළියේ කට්ටියක් වෙඩි තියාගන්නවා. මං දඩ බඩ ගාලා බිම දිගා වෙන්න ලෑස්ති වුණා. හැබැයි පාඩම කරපු කෙනා කිසිම ගාණක් නැතුව දිගටම ඡේදේ කියෙව්වා. ඒක කියවලා ඉවර වුණාම එයා මට පොඩ්ඩක් ඉන්න කියලා එළියට ගියා. ටික වෙලාවකට පස්සේ එයා එයාගේ පොඩි ළමයි දෙන්නාවත් එක්කගෙන ඇවිත් මට කිව්වා “අනේ සොරි. මං ගියේ මේ දෙන්නාව ගන්න” කියලා.

ඔය වගේ භයානක සිද්ධීන් තව තියෙනවා. දවසක් අපි ගෙයින් ගෙට සේවේ කරකර ඉද්දී මගේ නෝනා දුවගෙන ඇවිත් මට කිව්වා කවුරු හරි කෙනෙක් එයාට වෙඩි තියන්න හැදුවා කියලා. ඒක අහලා මාත් උඩ ගියා. හැබැයි පස්සේ තමයි අපි දැනගත්තේ ඒ මනුස්සයා වෙඩි තියන්න හදලා තියෙන්නේ නෝනාට නෙවෙයි ඒ ළඟින් ගිය වෙන කෙනෙක්ට කියලා.

කාලයත් එක්කම ඔය වගේ දේවල්වලට මූණ දෙන්න අපිත් හුරු වුණා. ඇත්තටම, ඔයිට වඩා අන්ත දේවල්වලට මූණ දීපු සහෝදරයෝ එහේ හිටියා. එයාලාගේ ධෛර්යය අපිට ශක්තියක් වුණා. අපි හිතුවා යෙහෝවා ඒගොල්ලන්ට උදව් කරනවා නං අපිටත් අනිවාර්යයෙන්ම උදව් කරයි කියලා. ඉතිං අපි ඒ පැත්තේ හිටපු වැඩිමහල්ලෝ දීපු මඟ පෙන්වීම් පිළි අරන් ආරක්ෂා වෙන්න දේවල් කළා. ඉතුරු ටික යෙහෝවාට භාර දුන්නා.

සමහර දවස්වල අපි නිකං බොරුවට බය වුණ අවස්ථාත් තිබ්බා. දවසක් මං ගේකට යද්දී ගෑනු දෙන්නෙක් කෑගගහා රණ්ඩු කරන සද්දයක් මට ඇහුණා. මං මොකටද ඕක බලන්න ඔතනට යන්නේ කියලා හිතලා මං එතනින් එන්නයි හැදුවේ. හැබැයි ඒ ගෙදර කෙනා එයාලාගේ ඉස්තෝප්පුවට එන්න කියලා මට කිව්වා. ගිහින් බලද්දී තමයි මං දැක්කේ ඒ ගෑනු දෙන්නෙක් නෙවෙයි, වටේ පිටේ ඉන්න අය රණ්ඩු කරන විදිහට කෑගහන ගිරව් දෙන්නෙක් කියලා!

අලුත් වගකීම් සහ අභියෝග

1997දී දේවසේවා පුහුණු පාසැලේ b උපදේශකයෙක් විදිහට මාව පත් කළා. සංවිධානයේ පාසැල්වලින් ඉගෙනගන්න මං හරිම ආසයි. හැබැයි මං කවදාවත් හිතුවේ නෑ ඒ වගේ එකක උගන්නන්න මට හම්බ වෙයි කියලා.

පස්සේ මං දිස්ත්‍රික් සේවක විදිහට සේවේ කළා. ඒ සැලැස්ම නතර වුණාම මං ආයේ චාරිකා ගියා. ඔය විදිහට අවුරුදු 30කටත් වැඩිය පාසැල් උපදේශකයෙක් සහ සංචාරක සේවකයෙක් විදිහට මං සේවේ කළා. ඒ පැවරුම් කරලා මං ජීවිතේට ආශීර්වාද රොත්තක් එකතු කරගත්තා. හැබැයි මේ ගමන රෝස මල් යහනාවක් වුණේ නෑ. ඉන්නකෝ මං කියන්න ඒ ඇයි කියලා.

මං දෙයක් කියන්න බය නැති, කෙළින් වැඩ කරන කෙනෙක්. අමාරු දේවල්වලට මූණ දෙන්න මගේ ඒ ගතිය මට උදව් වෙලා තියෙනවා. හැබැයි සභාවල දේවල් හරිගස්සන්න වෙද්දී ඒ ගතිය ටිකක් ඕනෑවට වඩා වැඩි වෙනවා. සමහර වෙලාවට මං සහෝදරයන්ට කියනවා අනිත් අය එක්ක ආදරෙන්, සාධාරණව වැඩ කරන්න කියලා. හැබැයි මං එයාලට ඒක කිව්වෙත් ආදරෙන් නෙවෙයි. අනික මං එයාලා දිහා සාධාරණව බැලුවෙත් නෑ.—රෝම 7:21-23.

මගේ දුර්වලකම් නිසා මං මානසිකව වැටුණ අවස්ථා තිබ්බා. (රෝම 7:24) දවසක් මං යෙහෝවාට කිව්වා මිෂනාරි සේවේ නවත්තලා මට ආපහු ෆින්ලන්තයට යන්න හිතෙනවා කියලා. එදා රැස්වීම් දවසක්. මං රැස්වීම් ගියාම මට ඇහුණ දේවල්වලින් තේරුණා මං මේ වෙලාවේ කරන්න ඕනෙ, පැවරුම දාලා යන එක නෙවෙයි මගේ දුර්වලකම් හදාගන්න එක කියලා. එදා යෙහෝවා මගේ යාච්ඤාවට පැහැදිලිව උත්තර දීපු විදිහ ගැන අදටත් මට පුදුමයි. මගේ දුර්වලකම් හදාගන්න යෙහෝවා මට හරිම ආදරෙන් උදව් කරලා තියෙනවා. ඒකත් මං ගොඩක් අගේ කරනවා.

අනාගතේ දිහා විශ්වාසෙන් බැලුවා

අපේ ජීවිතේ වැඩි කාලයක් පූර්ණකාලීන සේවේ කරන්න දීපු මේ අවස්ථාවට සිර්කායි, මායි යෙහෝවාට සදා ණයගැතියි. හරිම ආදරණීය, විශ්වාසවන්ත නෝනා කෙනෙක්ව මට දීපු එක ගැන මං යෙහෝවාට ස්තුති කරනවා.

තව ටික දොහකින් මට 70ක් වෙනවා. එතකොට උපදේශකයෙක් විදිහටයි, චාරිකා සේවකයෙක් විදිහටයි මං කරන සේවේ නතර කරන්න වෙනවා. හැබැයි ඒ ගැන මට දුකක් නෑ. මොකද යෙහෝවාට වටින්නේ අපේ නිහතමානිකමයි. පැවරුම මොකක්වුණත් ආදරෙන්, ලොකු අගේකින් පෙලඹිලා ඔහුට ප්‍රශංසා කරන එකයි. (මීකා 6:8; මාක් 12:32-34) යෙහෝවාට ගෞරවයක් ගේන්න අපිට කැපීපේන පැවරුම් තියෙන්නම ඕනෙ නෑ.

මෙච්චර කාලයක් මං කරලා තියෙන පැවරුම් දිහා බලද්දී මට තේරෙනවා ඒවා මට හම්බ වුණේ මං අනිත් අයට වඩා හොඳ නිසාවත් මට කැපීපේන දක්ෂතා තියෙන නිසාවත් නෙවෙයි කියලා. ඒ යෙහෝවාගේ මහත් කරුණාව නිසයි. ඔහුගේ කරුණාව නිසා තමයි මට දුර්වලකම් තිබුණත් මේ පැවරුම් දිගටම කරන්න ඔහු මට අවස්ථාව දුන්නේ. යෙහෝවාගේ උදව් තිබුණේ නැත්නම් මේ දේවල් මට කවදාවත් තනියෙන් කරන්න බෑ. මගේ දුර්වලකම්වලින් ඇත්තටම දෙවියන්ගේ බලය පෙනුණා.—2 කොරි. 12:9.

a රයිමෝ ක්වෝකේනන්ගේ ජීවිත කතාව ගැන දැනගන්න 2006 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “යෙහෝවාට සේවය කිරීමට අපි ගත්ත අධිෂ්ඨානය” කියන ලිපිය බලන්න.

b මේ වෙනුවට දැන් තියෙන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලයි.