Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 21

ගීතිකාව 107 ප්‍රේමයේ උතුම්ම ආදර්ශය

ගැළපෙන කෙනෙක්ව හොයාගන්නේ කොහොමද?

ගැළපෙන කෙනෙක්ව හොයාගන්නේ කොහොමද?

“ගුණවත් බිරිඳක් සොයාගත හැක්කේ කාටද? ඇය අනර්ඝ මැණික්වලටත් වඩා අගනේය.”හිතෝ. 31:10.

ලිපියේ අරමුණ

ගැළපෙන කෙනෙක්ව හොයාගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් බඳින්න කැමැත්තෙන් ඉන්න තනිකඩ කෙනෙක්ට උදව් කරන්න සභාවේ අයට පුළුවන් විදි ගැනත් අපි බලනවා.

1-2. (අ) යාළු වෙන්න කලින් තනිකඩ කෙනෙක් හිතලා බලන්න ඕන පැති මොනවාද? (ආ) “යාළු වෙනවා” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (“පැහැදිලි කිරීමක්” බලන්න.)

 ඔයාත් බඳින්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? විවාහය කියන්නේ සතුටින් ඉන්න අත්‍යවශ්‍යම දෙයක් නොවුණාට හුඟක් තරුණ අය, තරුණ වයස පහු කරපු අය බඳින්න ආසයි. හැබැයි ඔයා කෙනෙක් එක්ක යාළු වෙන්න කලින් වියහියදම් පාලනය කරන්න ඉගෙනගන්න ඕනේ. ඔයාට දෙවියන් එක්ක හොඳ බැඳීමකුත් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා ඔයාවම හොඳට තේරුම් අරන් ඉන්නත් ඕනේ. a (1 කොරි. 7:36) ඒ පැතිවලින් ඔයා හොඳ තැනක ඉන්නවා නම් ඔයාට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්.

2 හැබැයි ගැළපෙන කෙනෙක්ව හොයාගන්න එක හැම තිස්සේම ලේසි නැහැ. (හිතෝ. 31:10) හොඳයි කියලා හිතෙන කෙනෙක්ව හම්බ වුණත් එයාත් එක්ක සම්බන්ධයක් පටන්ගන්න එකත් ලේසි නැහැ. b ඉතින් ගැළපෙන කෙනෙක් හොයාගන්න ඔයාට පුළුවන් කොහොමද? එයාත් එක්ක යාළු වෙන්න පුළුවන් කොහොමද? බඳින්න කැමැත්තෙන් ඉන්න තනිකඩ අයට උදව් කරන්න සභාවේ අයට පුළුවන් කොහොමද? ඒ ගැන අපි බලමු.

හොඳ කෙනෙක්ව හොයද්දී

3. බඳින්න කෙනෙක්ව හොයද්දී තනිකඩ කෙනෙක් හිතලා බලන්න ඕනෙ පැති මොනවාද?

3 ඔයා බඳින්න කැමැත්තෙන්ද ඉන්නේ? එහෙමනම් යාළු වෙන්න කලින් ඔයා හොයන්නේ මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්වද කියලා හොඳට හිතන්න. එහෙම නැති වුණොත් ගැළපෙන කෙනා ඇස් ඉස්සරහම හිටියත් ඔයාට එයාව පේන එකක් නැහැ. නැත්නම් ගැළපෙන්නේ නැති කෙනෙක් එක්ක ඔයා යාළු වෙයි. ඔයා බඳින කෙනා අනිවාර්යයෙන්ම බව්තීස්ම වෙලා ඉන්න ඕනේ තමයි. (1 කොරි. 7:39) හැබැයි කෙනෙක් බව්තීස්ම වුණ පළියට එයා ඔයාට හරියනම කෙනා කියලා කියන්න බැහැ. ඒ නිසා මෙහෙම හිතන්න. ‘මගේ ඉලක්ක මොනවාද? මං මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්වද හොයන්නේ? මං බලාපොරොත්තු වෙන දේවල් සාධාරණද?’

4. සමහර තනිකඩ අය යාච්ඤා කරන්නේ මොනවා ගැනද?

4 හොඳ කෙනෙක්ව හොයාගන්න උදව් කරන්න කියලා ඔයා යෙහෝවාගෙන් ඉල්ලලා ඇති. (ෆිලි. 4:6) ඇත්ත, යෙහෝවා ඔයා වෙනුවෙන් කෙනෙක්ව හොයලා දෙන්නේ නැහැ. හැබැයි ඔයාට දැනෙන විදිහ, ඔයාට ඕනෙ දේවල් ඔහු හොඳට දන්නවා. ඔයා කෙනෙක්ව හොයන කාලේදී යෙහෝවා ඔයාට හොඳ මඟ පෙන්වීම් දෙයි. ඒ නිසා ඔයාගේ ආසාවන් ගැන, ඔයාට දැනෙන විදිහ ගැන දිගටම ඔහුට කියන්න. (ගීතා. 62:8) ඉවසීමෙන් බලාගෙන ඉන්න, ප්‍රඥාවන්තව වැඩ කරන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. (යාකො. 1:5) ඇමරිකාවේ ඉන්න ජෝන් c මෙහෙම කියනවා. “මං කැමති මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්ටද කියලා මං යෙහෝවාට කිව්වා. ඒ වගේ කෙනෙක්ව හොයාගන්න උදව් කරන්න කියලා මං ඔහුගෙන් ඉල්ලුවා. හොඳ සැමියෙක් වෙන්න උදව් වෙන ගුණාංග ඇති කරගන්නත් මං උදව් ඉල්ලුවා.” ශ්‍රී ලංකාවේ ඉන්න ටාන්යා මෙහෙම කියනවා. “හොඳ කෙනෙක් හම්බ වෙන කල් මට දිගටම විශ්වාසවන්තව ඉන්න, සතුටින් ඉන්න උදව් කරන්න කියලා මං යෙහෝවාට කිව්වා.” ඔයාට දැන් ගැළපෙන කෙනෙක්ව හොයාගන්න බැරි වුණත් යෙහෝවා ඔයාව අත්හරින්නේ නැහැ. ඔහු දිගටම ඔයාගේ ඕනෑ එපාකම් ගැන හොයලා බලලා ඔයාට ආදරේ, සැලකිල්ල පෙන්නනවා.—ගීතා. 55:22.

5. දෙවියන්ට ආදරේ කරන කෙනෙක්ව හොයාගන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? (1 කොරින්ති 15:58) (පින්තූරයත් බලන්න.)

5 බයිබලේ කියනවා “ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න” කියලා. (1 කොරින්ති 15:58 කියවන්න.) ඉතින් ඔයා යෙහෝවාට සේවේ කරන්න ඔයාගේ කාලේ උපරිමෙන් දෙද්දී ඔයාට එක එක විදිහේ සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන්න හම්බ වෙයි. ඒක එකිනෙකාව දිරිගන්වන්න ලැබෙන අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි ඒක ඔයා වගේම යෙහෝවාට මුල් තැන දීලා සේවේ කරන තනිකඩ අයව හම්බ වෙන්නත් අවස්ථාවක්. යෙහෝවා වෙනුවෙන් ඔයාගේ උපරිමේ ඒ විදිහට දෙද්දී ඔයාට නියම සතුට අද්දකින්න පුළුවන්.

ඔයා උපරිමෙන් යෙහෝවාට සේවේ කරද්දී, එක එක විදිහේ සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරද්දී විවාහ වෙන්න කැමති තව අයව ඔයාට හම්බ වෙයි (5 ඡේදය බලන්න)


6. කෙනෙක්ව හොයද්දී තනිකඩ අය මතක තියාගන්න ඕනෙ මොකක්ද?

6 ඒත් පරෙස්සම් වෙන්න ඕනෙ පැත්තකුත් තියෙනවා. කෙනෙක්ව හොයාගන්න එක තමයි මේ කාලේ ඔයාට තියෙන ලොකුම වැඩේ කියලා හිතන්න එපා. (ෆිලි. 1:10) මොකද නියම සතුට තියෙන්නේ බඳිනවාද නැද්ද කියන එක මත නෙවෙයි, යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම මත. (මතෙ. 5:3) තනිකඩ කාලේ ඔයාට යෙහෝවා වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න නිදහස තියෙනවා. (1 කොරි. 7:32, 33) ඒ නිසා මේ කාලේ උපරිමෙන් පාවිච්චි කරන්න. ජෙසිකා බඳිද්දී 40ටත් කිට්ටුයි. එයා මෙහෙම කියනවා. “බඳින්න කලින් මං උපරිමෙන්ම යෙහෝවාට සේවේ කළා. බඳින්න ආසාවක් තිබුණත් සතුට නැති කරගන්නේ නැතුව ඉන්න ඒකෙන් මට පුළුවන් වුණා.”

කාලේ අරන් හොඳට බලන්න

7. කෙනෙක්ට කැමතියි කියන්න කලින් එයා කරන කියන දේවල් නිරීක්ෂණය කරන එක වැදගත් ඇයි? (හිතෝපදේශ 13:16)

7 ‘එයා තමයි මට ගැළපෙනම කෙනා’ කියලා හිතුණොත්? ගත් කටටම කැමතියි කියලා දානවාද? හැබැයි බයිබලේ කියන්නේ දෙයක් කරන්න කලින් හොඳට හොයලා බලන්න කියලා. (හිතෝපදේශ 13:16 කියවන්න.) ඒ නිසා කෙනෙක්ට කැමතියි කියන්න කලින් එයා රැස්වීම්වලදී, අනිත් තැන්වලදී වැඩ කරන විදිහත් අනිත් අයට සලකන විදිහත් හොඳට බලන්න. නෙදර්ලන්තයේ අෂ්වින් මෙහෙම කියනවා. “ඔය කාලේදී හැඟීම් එන්නේ හතු පිපෙනවා වගේ. එන වේගෙන්ම ඒවා නැති වෙලත් යනවා. ඉතිං ආස හිතුණ ගමන්ම යාළු වෙනවාට වඩා කාලේ අරන් එයා මොන වගේ කෙනෙක්ද කියලා බලන එක හොඳයි.” එතකොට සමහරවිට ඔයාටම තේරෙයි ඔයාට හරියන කෙනා එයා නෙවෙයි කියලා.

8. කෙනෙක් ගැළපෙනවාද කියලා බලන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

8 එයා ඔයාට ගැළපෙනවාද කියලා බලන්නේ කොහොමද? එයා මොන වගේ කෙනෙක්ද, එයාට දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙනවාද, එයා වැඩ කරන්නේ කොහොමද කියලා රැස්වීම්වලදී, කට්ටිය එකතු වෙන අවස්ථාවලදී ඔයාට තේරුම්ගන්න පුළුවන්. මේ පැති ගැනත් හිතන්න. එයාගේ යාළුවෝ කවුද? එයා කතා කරන්නේ මොන වගේ දේවල් ගැනද? (ලූක් 6:45) එයාගේ ඉලක්ක ඔයාගේ ඉලක්කවලට ගැළපෙනවාද? ඒ වගේම ඔයාට පුළුවන් එයාගේ සභාවේ වැඩිමහල්ලන්ගෙන් හරි එයාව හොඳට දන්න, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ගෙන් හරි එයා ගැන අහන්න. (හිතෝ. 20:18) එයාලාගෙන් අහන්න “අනිත් අය අතරේ එයාට තියෙන්නේ මොන වගේ නමක්ද, එයාගේ ගුණාංග මොනවාද” කියලා. (රූත් 2:11) හැබැයි එයා යන එන තැන්, කන බොන දේවල් වගේ හැම එකක්ම හොයන්න ගියොත් ඔයා එයාගේ නිදහස නැති කරනවා. අන්තිමට වෙන්නේ එයාට ඔයාව වධයක් වෙන එක.

කෙනෙක්ට කැමතියි කියලා කියන්න කලින් වෙලාව අරන් එයා ගැන හොඳට බලන්න (7-8 ඡේද බලන්න)


9. කෙනෙක් එක්ක යාළු වෙන්න කලින් ඔයාට ෂුවර් වෙන්න ඕනෙ මොනවා ගැනද?

9 කෙනෙක්ට කැමතියි කියන්න කලින් එයා ගැන හොයලා බලන්න කොච්චර කාලයක් ගන්න ඕනෙද? වැඩි කල් ගන්නේ නැතුව ඉක්මනටම කැමතියි කිව්වොත් එයා හිතයි ඔයා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තීරණ ගන්න කෙනෙක් කියලා. (හිතෝ. 29:20) අනිත් අතට ඔයා එයාට කැමතියි කියලා එයා දන්නවා නම් ඔයා ඒ ගැන කියන්න පරක්කු කරද්දී එයා හිතයි ඔයා තීරණයක් ගන්න බැරුව වැනිවැනී ඉන්න කෙනෙක් කියලා. (දේශ. 11:4) කෙනෙක් එක්ක යාළු වෙන්න කලින් ‘මං බඳින්නේ එයාවමයි’ කියලා හිතන්න ඕනෙ නැහැ. හැබැයි ‘මං බඳින්න ලෑස්තියි, එයා මට ගැළපෙන කෙනා වෙයි’ කියලා ඔයාට ෂුවර් වෙන්න ඕනේ.

10. කෙනෙක් ඔයාට කැමති වුණාට ඔයා එයාට කැමති නැත්නම් මොකද කරන්නේ?

10 කෙනෙක් ඔයාට කැමතියි කියලා දැනෙනවා නම් මොකද කරන්නේ? ඔයා එයාට කැමති නැත්නම් ඔයා කරන කියන දේවල්වලින් ඒක එයාට අඟවන්න. මොකද හිතේ කිසිම කැමැත්තක් නැතුව බොරුවට කෙනෙක්ට බලාපොරොත්තු දෙන එක හොඳ දෙයක් නෙවෙයි. අනිත් අය ගැන හිතන කෙනෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ.—1 කොරි. 10:24; එෆී. 4:25.

11. යාළු වෙන්න හරි බඳින්න හරි දෙන්නෙක්ට යෝජනාවක් ගේද්දී ඔයා මතක තියාගන්න ඕනෙ මොකද්ද?

11 සමහර රටවල දෙමාපියෝ හරි වෙන වැඩිහිටියෙක් හරි බඳින්න ඕන කෙනාව හොයලා බන්දලා දෙනවා. තවත් රටවල පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි හොඳ කෙනෙක්ව හොයලා, දෙන්නාට දෙන්නා කතාබහ කරගන්න කියලා කියනවා. කවුරු හරි ඔයාට කිව්වොත් හොඳ කෙනෙක්ව හොයන්න කියලා මොකද කරන්නේ? මුලින්ම ගෑනු ළමයායි, පිරිමි ළමයායි අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා බලන්න. ඊටපස්සේ ගැළපෙන කෙනෙක්ව දැක්කොත් එයා මොන වගේ කෙනෙක්ද, එයාගේ ගුණාංග මොනවාද, ඒ ඔක්කොටම වඩා එයාට යෙහෝවා එක්ක තියෙන බැඳීම මොන වගේද කියලා හොයන්න. මොකද සල්ලි, අධ්‍යාපනය, සමාජ තත්වෙට වඩා යෙහෝවාත් එක්ක තියෙන බැඳීම වටිනවා. ඒත් මතක තියාගන්න බඳිනවාද නැද්ද කියන තීරණේ ගන්නේ ඒ දෙන්නා.—ගලා. 6:5.

සම්බන්ධයක් පටන්ගද්දී

12. ඔයා කාත් එක්ක හරි යාළු වෙන්න කැමති නම් ඒක එයාට කියන්න පුළුවන් කොහොමද?

12 කෙනෙක් එක්ක යාළු වෙන්න කැමති නම් ඒ ගැන එයාට කියන්නේ කොහොමද? d කට්ටිය ඉන්න තැනක හම්බ වෙලා හරි ෆෝන් එකෙන් හරි එයා එක්ක කතා කරන්න වෙලාවක් දාගන්න. කතා කරද්දී ඔයා එයාට කැමතියි කියලත් එයාව තව අඳුරගන්න ආසයි කියලත් පැහැදිලිව කියන්න. (1 කොරි. 14:9) ඒ ගැන හිතලා බලන්න එයාට කාලේ ඕනෙ නම් කාලේ දෙන්න. (හිතෝ. 15:28) ඒත් එයා යාළු වෙන්න අකමැති නම් එයාගේ තීරණේට ගරු කරන්න.

13. කෙනෙක් ඔයාට කැමතියි කියලා කිව්වොත් ඔයාට කරන්න පුළුවන් මොකක්ද? (කොලොස්සි 4:6)

13 කෙනෙක් ඔයාට කැමතියි කිව්වොත් මොකද කරන්නේ? ඇවිත් ඒ වගේ දෙයක් කියන්න එයාට ලොකු ධෛර්යයක් ඕනෙ කියලා තේරුම්ගන්න. ඒ නිසා එයාට කාරුණිකව, ගෞරවයෙන් කතා කරන්න. (කොලොස්සි 4:6 කියවන්න.) එයාත් එක්ක යාළු වෙනවාද නැද්ද කියලා තීරණේ කරන්න ඔයාට කාලේ ඕනෙ නම් ඒක එයාට කියන්න. හැබැයි ඕනෑවට වඩා ඇදඇද ඉන්න එපා. (හිතෝ. 13:12) ඔයා එයාට කැමති නැත්නම් පොල්ලෙන් ගැහුවා වගේ කියන්නේ නැතුව කාරුණිකව, පැහැදිලිව ඒක කියන්න. සහෝදරියක් හෑන්ස්ගේ කැමැත්ත අහපු වෙලාවේ හෑන්ස් වැඩ කරපු විදිහ ගැන මෙහෙම කියනවා. “මං කල් දාන්නේ නැතුව මගේ තීරණේ එයාට කිව්වා. හැබැයි මං වහෙන් ඔරෝ කියන්න ගියෙත් නෑ. මොකද එයා මං ගැන බොරුවට බලාපොරොත්තු තියාගන්නවාට මං කැමති වුණේ නෑ. ඒකෙන් පස්සේ මං එයාත් එක්ක වැඩ කරද්දීත් වැරදි අදහසක් නොදී ඉන්න වගබලා ගත්තා.” ඒත් ඔයා එයාට කැමති නම්? “අපි සතියට කී සැරයක් හම්බ වෙනවාද? මේ ගැන කාට කාටද කියන්නේ” වගේ දේවල් ගැන කතා කරගන්න. මොකද සමහරවිට ඔයාලා හැදුණු වැඩුණු පරිසරය, සංස්කෘතිය වෙනස් නිසා දෙන්නා බලාපොරොත්තු වෙන දේවල් වෙනස්.

අනිත් අයට කරන්න පුළුවන් දේ

14. අපේ වචනවලින් තනිකඩ අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

14 බඳින්න කැමැත්තෙන් ඉන්න තනිකඩ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? එක විදිහක් තමයි එයාලට කියන දේවල් ගැන පරෙස්සම් වෙන එක. (එෆී. 4:29) මෙහෙම හිතන්න. ‘බඳින්න කැමැත්තෙන් ඉන්න අයට ඒ ගැන කියලා මං විහිළු කරනවාද? තනිකඩ දෙන්නෙක් කතා කරකර ඉන්නවා දැක්කොත් මං හිතනවාද “අන්න දෙන්නා සෙට් වෙන්නයි යන්නේ” කියලා?’ (1 තිමෝ. 5:13) අපි කවදාවත් කියන්න හොඳ නැහැ “මෙයා මෙච්චර කල් බඳින්නැතුව ඉන්නේ මෙයාගේ මොකක් හරි අඩුවක් ඇති” කියලා. කලින් කතා කරපු හෑන්ස් මෙහෙම කියනවා. “සමහරු අහනවා ‘අපෝ, තාම බැන්දේ නැද්ද, දැන් වයසත් යනවනේ’ කියලා. තනිකඩ කෙනෙක්ට එහෙම කිව්වාම හිතෙන්නේ එයාගෙන් කිසිම වැඩක් නෑ කියලා. අනික ඒක එයාට ලොකු පීඩනයක්.” ඇත්තටම තනිකඩ අයව අගය කරන්න අවස්ථා හොයන එක කොච්චර වටිනවාද!—1 තෙස. 5:11.

15. (අ) රෝම 15:2 තියෙන ප්‍රතිපත්තියට අනුව යාළු වෙන්න උදව් කරන්න කලින් හිතන්න ඕනෙ මොනවාද? (පින්තූරයත් බලන්න.) (ආ) වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

15 ‘ඒ දෙන්නා නං කියාපු ජෝඩුව’ කියලා ඔයාට හිතෙනවා නම් මොකද කරන්නේ? බයිබලේ කියනවා අපි හැම වෙලාවෙම අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියලා. (රෝම 15:2 කියවන්න.) හුඟක් තනිකඩ අය කැමති නැහැ එයාට ගැළපෙනවා කියලා අපි හිතන කෙනා ගාවට එයාව එක්කන් ගිහින් අඳුන්වලා දෙනවාට. එයාලාගේ කැමැත්තට අපි ගරු කරන්න ඕනේ. (2 තෙස. 3:11) තවත් අය අපෙන් උදව් ගන්න කැමතියි. හැබැයි එයාලා උදව්වක් ඉල්ලුවේ නැත්නම් ඒ වගේ දේකට අත ගහන්නේ නැතුව ඉන්න එක හොඳයි. e (හිතෝ. 3:27) තවත් තනිකඩ අය කැමතියි තව කෙනෙක්ව අඳුරගන්න එයාටම අවස්ථාව ලැබෙනවා නම්. බලන්න ජර්මනියේ ඉන්න ලිඩියා කියන දේ. “ඔයාට පුළුවන් පොඩි පාටියක් දාලා ඒ සහෝදරයාටයි, සහෝදරියටයි එන්න කියන්න. එතකොට එයාලට පුළුවන්නේ හම්බ වෙන්න. ඉතුරු ටික ඉතිං එයාලා බලාගනියි.”

හුඟක් අය එකට එකතු වෙද්දී දෙන්නෙක්ට හම්බ වෙන්න ඒක හොඳ අවස්ථාවක් (15 ඡේදය බලන්න)


16. තනිකඩ අය මතක තියාගන්න ඕනෙ මොකක්ද?

16 බැන්දා හෝ නැතා අපි හැමෝටම පුළුවන් සතුටින් ඉන්න. (ගීතා. 128:1) ඉතින් ඔයාට තාම හොඳ කෙනෙක්ව හම්බ වුණේ නැත්නම් ඒ ගැනම හිතහිත ඉන්න එපා. යෙහෝවාට කරන සේවේ ගැන හිතන්න. සහෝදරි සින් යී මෙහෙම කියනවා. “ඔයා බැඳපු කෙනාත් එක්ක පාරාදීසේ ඉන්න කාලෙත් එක්ක බලද්දී තනිකඩව ඉන්න තියෙන කාලේ හරිම කෙටියි. ඒක අගය කරන්න. ඒ කාලේ සතුටින් ඉන්න.” ඒත් ඔයාට දැනටමත් ගැළපෙන කෙනා හම්බ වෙලා නම්? ඔයා මේ වෙද්දීත් ඉන්නේ යාළු වෙලා නම්? එහෙමනම් හොඳ තීරණයක් ගන්න පුළුවන් විදිහට එයාව ආශ්‍රය කරන්නේ කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 137 ගුණ යහපත් සහෝදරියන්

a ඔයා බඳින්න ලෑස්තිද කියලා දැනගන්න jw.org එකේ තියෙන “යාළු වෙන එක - 1වෙනි කොටස: යාළු වෙන්න කාලේ හරිද?” කියන ලිපිය බලන්න.

b පැහැදිලි කිරීමක්: “සම්බන්ධයක් පටන්ගන්නවා,” “යාළු වෙනවා” කියලා මේ ලිපියෙයි, ඊළඟ ලිපියෙයි කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ පිරිමි ළමයෙකුයි, ගෑනු ළමයෙකුයි විවාහ වෙන්න ගැළපෙනවාද කියලා බලන කාලෙටයි. දෙන්නාට දෙන්නා එයාලාගේ කැමැත්ත කිව්වාම ඒ දෙන්නා යාළු වෙලා කියලා කියන්න පුළුවන්. ඒ කාලේදී එක්කෝ එයාලා විවාහ වෙන්න තීරණේ කරයි. එහෙම නැත්නම් සම්බන්ධේ නතර කරන්න තීරණේ කරයි.

c සමහර නම් වෙනස් කරලා තියෙනවා.

d සමහර රටවල සහෝදරයා තමයි සහෝදරියගෙන් ගිහිල්ලා යාළු වෙන්න කැමතිද කියලා අහන්නේ. හැබැයි සහෝදරිය මුලින්ම ඇහුවා කියලත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. (රූත් 3:1-13) ඒ ගැන තවත් විස්තර දැනගන්න 2004 නොවැම්බර් 8 ‘පිබිදෙව්!’ සඟරාවේ “යෞවන අය අසති . . . මගේ හිතේ තියෙන ආදරය ගැන ඔහුට කියන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.