Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 18

ගීතිකාව 1 අපගේ දෙවි යෙහෝවා

දයාවෙන් පිරුණු විනිශ්චයකරු ගැන විශ්වාසය තියන්න

දයාවෙන් පිරුණු විනිශ්චයකරු ගැන විශ්වාසය තියන්න

“මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”උත්. 18:25.

ලිපියේ අරමුණ

අධර්මිෂ්ඨ අයව නැවත නැඟිට්ටවද්දී යෙහෝවා දෙවියන්ගේ දයාව සහ යුක්තිය තව හොඳින් පේන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලනවා.

1. යෙහෝවා ආබ්‍රහම්ට කියලා දීපු පාඩම මොකක්ද?

 යෙහෝවා දෙවියන් දේවදූතයෙක් මාර්ගයෙන් ආබ්‍රහම්ට කිව්වා සොදොම් සහ ගොමෝරාව කියන නගර ඔහු විනාශ කරනවා කියලා. ඔහු එහෙම දෙයක් කරයි කියලා ආබ්‍රහම්ට හිතාගන්න බැරුව ගියා. ආබ්‍රහම් කියන්නේ යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් තිබුණ කෙනෙක් වුණත් එයා දෙවියන්ගෙන් ඇහුවා ‘ඔබ ඇත්තටම දුෂ්ටයන් එක්ක ධර්මිෂ්ඨයන්වත් නැති කරලා දානවාද? මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද’ කියලා. (උත්. 18:23-33) ඒ වෙලාවේ දෙවියන් හරිම ඉවසීමෙන් ඔහුගේ යාළුවාට වැදගත් පාඩමක් කියලා දුන්නා. ඒ තමයි ඔහු කවදාවත් ධර්මිෂ්ඨ මිනිස්සුන්ව විනාශ කරන්නේ නැහැ කියන දේ. ඒක දැනන් ඉන්න එක අපිටත් ලොකු සහනයක්.

2. යෙහෝවා හැම වෙලාවෙම දයාවෙන් පෙලඹිලා සාධාරණව විනිශ්චය කරනවා කියලා අපිට ස්ථිර ඇයි?

2 යෙහෝවා දෙවියන් කෙනෙක්ව විනිශ්චය කරද්දී දයාවෙන් පෙලඹිලා සාධාරණව ඒක කරනවා කියලා අපිට ස්ථිර ඇයි? මොකද අපි දන්නවා ඔහු විනිශ්චය කරන්නේ කෙනෙක්ගේ හිත බලලා කියලා. (1 සාමු. 16:7) ඇත්තටම ‘හැම කෙනෙක්ගෙම හිතේ තියන දේ’ දකින්න යෙහෝවාට පුළුවන්. (1 රාජා. 8:39; 1 ලේක. 28:9) අපිට හිතාගන්න බැරි තරම් යෙහෝවා ප්‍රඥාවන්තයි. ඒ නිසා ඔහු දෙන තීන්දු හැම වෙලාවෙම අපිට 100%ක් තේරුම්ගන්න බැහැ. ඒක පාවුල් කියපු මේ දෙයිනුත් තේරෙනවා. ‘දෙවි දේවල් තීරණය කරන ආකාරය තේරුම්ගැනීම කොතරම් අමාරුද!’—රෝම 11:33.

3-4. අපේ හිතට එන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (යොහන් 5:28, 29)

3 ආබ්‍රහම්ගේ හිතට ආවා වගේ ප්‍රශ්න අපේ හිතටත් එන්න පුළුවන්. අපිට මෙහෙම හිතෙයි. ‘යෙහෝවාගේ අතින්ම විනාශ වුණ අයට, උදාහරණෙකට සොදොම් සහ ගොමෝරාවේ හිටපු අයට නැවත නැඟිටීමක් තියෙයිද? නැවත නැඟිටින “අධර්මිෂ්ඨ අය” අතරේ එයාලාගෙන් සමහරදෙනෙක් ඉඳීද?’—ක්‍රියා 24:15.

4 “ජීවනය සඳහා නැවත නැඟිටීම” සහ “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීම” ගැන අපිට කලින් තිබුණ අවබෝධය ළඟදී තව පැහැදිලි වුණා. a (යොහන් 5:28, 29 කියවන්න.) ඒ නිසා ඒකට සම්බන්ධ තව දේවල් අපි තේරුම් අරන් හිටපු විදිහ වෙනස් කරන්න වෙනවා. ඒ ගැන අපි මේ ලිපියෙන් සහ ඊළඟ ලිපියෙන් බලමු. යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් ගැන අපි දන්න දේවල් වගේම අපි දන්නේ නැති දේවලුත් තියෙනවා. ඒ ගැන දැන් බලමු.

අපි දන්නේ නැති දේ

5. යෙහෝවා විනාශ කරපු සොදොම් සහ ගොමෝරාවේ හිටපු මිනිස්සු ගැන අපේ ප්‍රකාශනවල කලින් කිව්වේ මොකක්ද?

5 අධර්මිෂ්ඨයි කියලා යෙහෝවා විනිශ්චය කරපු අය ගැන අපේ ප්‍රකාශනවල කතා කරලා තියෙනවා. ඒ වගේ අයට, උදාහරණෙකට සොදොම් සහ ගොමෝරාවේ හිටපු අයට නැවත නැඟිටීමක් නැහැ කියලයි අපි කලින් කිව්වේ. ඒත් ඒ ගැන තව අධ්‍යයනය කරලා, යාච්ඤා කරලා, හොඳට හිතුවාම ඇත්තටම අපිට එහෙම කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ආවා.

6. අධර්මිෂ්ඨ අයට යෙහෝවා විනිශ්චයන් දුන්න සිද්ධි කීපයක් කියන්න. ඒ ගැන අපි දන්නේ නැත්තේ මොනවාද?

6 අධර්මිෂ්ඨ අයට විරුද්ධව යෙහෝවා දෙවියන් දීපු විනිශ්චයන් ගැන බයිබලේ තියෙනවා. උදාහරණෙකට යෙහෝවා ජලගැල්මක් ගෙනල්ලා නෝවාවයි, එයාගේ පවුලේ අයවයි ඇරෙන්න අනිත් හැමෝවම විනාශ කළා. පොරොන්දු දේශයේ හිටපු ජාතීන් හතක් ඊශ්‍රායෙල්වරු මාර්ගයෙන් විනාශ කළා. ඇසිරියානු හමුදාවේ 1,85,000ක්ව දේවදූතයෙක් මාර්ගයෙන් එක රැයෙන් මැරුවා. (උත්. 7:23; ද්වි. 7:1-3; යෙසා. 37:36, 37) විනාශ වුණ ඒ කාටවත් නැවත නැඟිටීමක් නැහැ කියලා යෙහෝවා තීන්දු කළාද? ඒ ගැන ඉඟියක්වත් බයිබලේ තියෙනවාද? නැහැ. ඇයි අපි එහෙම කියන්නේ?

7. ජලගැල්මෙන් සහ කානාන් දේශයේදී විනාශ වුණ අය ගැන අපි දන්නේ නැත්තේ මොනවාද? (පින්තූරය බලන්න.)

7 ඒ අවස්ථාවලදී විනාශ වුණ එක එක පුද්ගලයා ගැන යෙහෝවා ගත්ත තීරණේ අපි දන්නේ නැහැ. විනාශ වුණ ඒ අයට දෙවියන් ගැන ඉගෙනගන්න, පසුතැවිලි වෙන්න අවස්ථාවක් හම්බ වුණාද කියලත් අපි දන්නේ නැහැ. ජලගැල්මට කලින් නෝවා “ධර්මිෂ්ඨකම ගැන දේශනා කළා” කියලා බයිබලේ කියනවා. (2 පේතෘ. 2:5) ඒත් නෝවා නැව හදන ගමන් පොළොවේ හිටපු හැම කෙනෙක් ළඟටම ගිහිල්ලා ජලගැල්ම ගැන කිව්වා කියලා බයිබලේ කියන්නේ නැහැ. කානාන් දේශයේ හිටපු ජාතීන් ගැන කියන්න තියෙන්නෙත් ඒ දේමයි. විනාශ වෙන්න කලින් ඒ දුෂ්ට මිනිස්සුන්ට යෙහෝවා ගැන ඉගෙනගන්නවත් එයාලාගේ ජීවිත වෙනස් කරගන්නවත් අවස්ථාව හම්බ වුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ.

නෝවායි, එයාගේ පවුලේ අයයි නැව හදහද ඉන්නවා. ඒ ගමන් පොළොවේ හිටපු හැමෝටම දේශනා කරන්න නෝවාට පුළුවන් වුණාද කියලා අපි දන්නේ නැහැ (7 ඡේදය බලන්න)


8. සොදොම් සහ ගොමෝරාවේ හිටපු මිනිස්සු ගැන අපි දන්නේ නැත්තේ මොනවාද?

8 එතකොට සොදොම් සහ ගොමෝරාවේ විනාශ වුණ අය? ධර්මිෂ්ඨ කෙනෙක් වුණ ලොත් ජීවත් වුණේ එයාලා එක්ක. හැබැයි ලොත් එයාලා හැමෝටම දේශනා කළා කියලා හිතන්න බැහැ. ඒ නගරවල හිටියේ හරිම දුෂ්ට මිනිස්සු. ඒත් එයාලා හරි වැරැද්ද ගැන දැනන් ඉන්න ඇද්ද? උදාහරණෙකට ලොත්ගේ ගෙදරට අමුත්තෝ වගයක් ආපු වෙලාවේ එයාලව දූෂණය කරන්න නගරේ මිනිස්සු ගේ වට කළා. බයිබලේ කියනවා මහලු අය විතරක් නෙවෙයි බාල අයත් එතනට ආවා කියලා. ඒකෙන් තේරෙනවා පොඩි දරුවෝ පවා හිටියේ පිරිහුණු වටපිටාවක කියලා. එයාලට හරි වැරැද්ද ගැන අවබෝධයක් තිබුණේ නැහැ. (උත්. 19:4; 2 පේතෘ. 2:7) දයාවෙන් පිරුණු යෙහෝවා ඒ හැමෝවම විනාශ කළේ ‘ආයේ නං එයාලව නැඟිට්ටවන්නේ නෑ’ කියලා හිතාගෙනද? අපි දන්නේ නැහැ. ඔහු ආබ්‍රහම්ට කිව්වා එහේ ධර්මිෂ්ඨ මිනිස්සු දහදෙනෙක්වත් නැහැ කියලා. (උත්. 18:32) ඒ අධර්මිෂ්ඨ මිනිස්සුන්ව යෙහෝවා දෙවියන් විනාශ කරපු එක සාධාරණයි. හැබැයි ‘නැවත නැඟිටින අධර්මිෂ්ඨ අය’ අතරේ එයාලාගෙන් කිසිම කෙනෙක් ඉන්න එකක් නැහැ කියලා අපිට හරියටම කියන්න බැහැ.

9. සලමොන් ගැන අපි දන්නේ නැත්තේ මොනවාද?

9 කාලයක් හොඳට ඉඳලා පස්සේ අධර්මිෂ්ඨ වුණ අය ගැනත් බයිබලේ තියෙනවා. සලමොන් ඒ වගේ කෙනෙක්. එයා යෙහෝවාව අඳුරගෙන හිටපු, ඔහුට නමස්කාර කරපු, ඔහුගේ ආශීර්වාද අද්දැකපු කෙනෙක්. ඒත් පස්සේ එයා බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. ඉතින් යෙහෝවාට එයාත් එක්ක ගොඩක් කේන්ති ගියා. එයාගේ වැරදිවල ප්‍රතිඵල ඊශ්‍රායෙල්වරුන්ට සියවස් ගාණක්ම විඳින්න වුණා. ඇත්ත, බයිබලේ කියනවා සලමොන් මැරුණාම “ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කළා” කියලා. ඒ කියන්නේ එයාව තැන්පත් කළේ දාවිත් වගේ විශ්වාසවන්ත අය එක්ක. (1 රාජා. 11:5-9, 43; 2 රාජා. 23:13) එහෙම කියන නිසාම එයාට නැවත නැඟිටීමක් ලැබෙයිද? බයිබලේ ඒ ගැන කියලා නැහැ. තවත් අය හිතනවා “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී ඇත” කියලා බයිබලේ කියන නිසා සලමොන්ව නැවත නැඟිට්ටවයි කියලා. (රෝම 6:7) හැබැයි කෙනෙක් මැරුණ පලියට එයාට නැවත නැඟිටින්න අයිතියක් ලැබෙනවා කියන්න බැහැ. මොකද නැවත නැඟිටීම කියන්නේ යෙහෝවා ආදරෙන් දෙන තෑග්ගක්. ඔහු ඒ තෑග්ග දෙන්නේ ඔහුට සදහටම නමස්කාර කරනවා දකින්න ඔහු කැමති අයට. (යෝබ් 14:13, 14; යොහ. 6:44) සලමොන්ට ඒ තෑග්ග හම්බ වෙයිද? යෙහෝවා තමයි ඒක දන්නේ. හැබැයි අපි දන්නවා යෙහෝවා මොන තීරණේ ගත්තත් ඒක හරියි කියලා.

අපි දන්න දේ

10. මිනිස්සුන්ව විනාශ කරන එක ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද? (එසකියෙල් 33:11) (පින්තූරයත් බලන්න.)

10 එසකියෙල් 33:11 කියවන්න. මිනිස්සුන්ව විනිශ්චය කරද්දී යෙහෝවාට හැඟෙන විදිහ ගැන ඔහු අපිට කියලා තියෙනවා. එසකියෙල් වගේම පේතෘසුත් කිව්වා යෙහෝවා ‘කිසි කෙනෙක් විනාශ වෙනවාට කැමති නැහැ’ කියලා. (2 පේතෘ. 3:9) ඒක දැනන් ඉන්න එක අපිට සහනයක්. මොකද අපි දන්නවා හොඳ හේතුවක් නැතුව නිකං ආවාට ගියාට යෙහෝවා කාවවත් සදහටම විනාශ කරන්නේ නැහැ කියලා. දයාව පෙන්නන්න පුළුවන් හැම අවස්ථාවකදීම ඔහු ඒක පෙන්නනවා.

නැවත නැඟිටින අධර්මිෂ්ඨ අය අතරේ එක එක විදිහේ අය ඉඳියි. යෙහෝවා ගැන ඉගෙනගන්න එයාලට අවස්ථාව ලැබෙනවා (10 ඡේදය බලන්න)


11. නැවත නැඟිටින්නේ නැත්තේ කවුද? අපි ඒක දන්නේ කොහොමද?

11 නැවත නැඟිටින්නේ නැති අය ගැන අපි මොනවාද දන්නේ? ඒ වගේ කීපදෙනෙක් ගැන විතරයි බයිබලේ තියෙන්නේ. b යේසුස් කිව්වා යූදස් ඉස්කාරියොත් නැවත නැඟිටින්නේ නැහැ කියලා. (මාක් 14:21; යොහ. 17:12 c) යූදස් හිතාමතාමයි යෙහෝවාටයි, යේසුස්ටයි විරුද්ධව වැඩ කළේ. (මාක් 3:29 d) යේසුස්ගේ කාලේ හිටපු සමහර ආගමික නායකයන්ටත් නැවත නැඟිටීමක් ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කිව්වා. (මතෙ. 23:33) පාවුල් කිව්වා පසුතැවෙන්නේ නැතුව දිගටම සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව වැඩ කරන අයටත් නැවත නැඟිටීමක් නැහැ කියලා.—හෙබ්‍රෙ. 6:4-8; 10:29.

12. යෙහෝවා දයාව පෙන්නන විදිහ ගැන අපි දන්නේ මොනවාද? උදාහරණ දෙන්න.

12 යෙහෝවා දෙවියන් දයාව පෙන්නන විදිහ ගැන අපි මොනවාද දන්නේ? “කිසි කෙනෙක් විනාශ වෙනවාට ඔහු කැමති නැහැ” කියලා ඔහු පෙන්නලා තියෙන්නේ කොහොමද? බරපතළ වැරදි කරපු අයට යෙහෝවා දයාව පෙන්නපු අවස්ථා ගැන බයිබලේ තියෙනවා. දාවිත් ඒ වගේ කෙනෙක්. එයා අතින් බරපතළ වැරදි වුණා. එයා අනාචාරයේ යෙදුණා. මිනී මැරුවා. හැබැයි එයා පසුතැවිලි වුණාම යෙහෝවා එයාට දයාව පෙන්නලා සමාව දුන්නා. (2 සාමු. 12:1-13) මනස්සේත් ජීවිත කාලෙන් වැඩි හරියක්ම දුෂ්ට දේවල් කරපු කෙනෙක්. එයාත් පසුතැවිලි වුණාම යෙහෝවා එයාට දයාව පෙන්නලා සමාව දුන්නා. (2 ලේක. 33:9-16) ඒ සිද්ධිවලින් පේනවා දයාව පෙන්නන්න හේතුවක් තියෙනවා නම් යෙහෝවා ඒක නොපෙන්වා ඉන්නේ නැහැ කියලා. ඒ වගේ අයව ඔහු නැවත නැඟිට්ටවනවා. මොකද කරපු වැරදි තේරුම් අරන් එයාලා පසුතැවිලි වුණා.

13. (අ) ඇයි යෙහෝවා නිනිවයේ සෙනඟට දයාව පෙන්නුවේ? (ආ) එයාලා ගැන පස්සේ කාලෙක යේසුස් කිව්වේ මොනවාද?

13 යෙහෝවා නිනිවයේ සෙනඟටත් දයාව පෙන්නුවා. ඔහු යෝනාට කිව්වා ‘නිනිවයේ සෙනඟගේ දුෂ්ටකම් මට පේනවා’ කියලා. හැබැයි කරපු වැරදි ගැන පසුතැවුණාම යෙහෝවා එයාලට සමාව දුන්නා. ඇත්තටම යෝනාට පෙන්නන්න බැරි වුණ දයාව යෙහෝවා පෙන්නුවා. කේන්තියෙන් හිටපු යෝනාට යෙහෝවා මතක් කළා නිනිවයේ සෙනඟ “හරි වැරැද්ද අතර වෙනස දන්නේ නැහැ” කියලා. (යෝනා 1:1, 2; 3:10; 4:9-11) දෙවියන් සාධාරණව වැඩ කරන, දයාවන්ත කෙනෙක් කියලා පෙන්නන්න පස්සේ කාලෙක යේසුත් නිනිවයේ සෙනඟ ගැන කිව්වා. ඔහු කිව්වා පසුතැවිලි වෙන නිනිවයේ සෙනඟ ‘විනිශ්චයේදී නැවත නැඟිටිනවා’ කියලා.—මතෙ. 12:41.

14. නිනිවයේ සෙනඟ “විනිශ්චයක් සඳහා නැවත නැඟිටිනවා” කියන්නේ මොකක්ද?

14 නිනිවයේ සෙනඟ “නැවත නැඟිටින්න” යන්නේ මොන “විනිශ්චයේදීද?” ඉස්සරහට “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්” තියෙන්න යනවා කියලා යේසුස් කිව්වා. (යොහ. 5:29) ඔහු ඒ කතා කළේ දහස් අවුරුදු පාලනය ගැන. ඒ කාලේදී තමයි “ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අය” නැවත නැඟිටින්නේ. (ක්‍රියා 24:15) අධර්මිෂ්ඨ අයට ලැබෙන්නේ “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්.” ඒ කියන්නේ නැවත නැඟිට්ටාට පස්සේ එයාලා ඉගෙනගන්න දේවල්වලට කීකරු වෙනවාද, ඒවා අදාළ කරගන්නවාද කියලා යෙහෝවායි, යේසුයි එදාට හොඳට බලාගෙන ඉන්නවා. ඊටපස්සේ එයාලා ගැන තීරණේකට එනවා. නැවත නැඟිටින නිනිවයේ කෙනෙක් යෙහෝවාට නමස්කාර කරන්න අකමැති වුණොත් එයාට දිගටම ජීවත් වෙන්න ඔහු අවස්ථාව දෙන්නේ නැහැ. (යෙසා. 65:20) ඒත් යෙහෝවාට නමස්කාර කරන්න තීරණේ කරන අයට සදහටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා.—දානි. 12:2.

15. (අ) සොදොම් සහ ගොමෝරාවේ කිසිම කෙනෙක් නැවත නැඟිටින්නේ නැහැ කියලා ඇයි අපිට කියන්න බැරි? (ආ) යූද් 7 තියෙන දේ අපි තේරුම්ගන්නේ කොහොමද? (“ යූද් අදහස් කළේ මොකක්ද?” කියන කොටුව බලන්න.)

15 යේසුස්වයි, ඔහුගේ ඉගැන්වීමුයි ප්‍රතික්ෂේප කරපු අයට වඩා සොදොම් සහ ගොමෝරාවේ හිටපු අයට “විනිශ්චය දවසට” මූණ දෙන්න ලේසියි කියලා යේසුස් කිව්වා. (මතෙ. 10:14, 15; 11:23, 24; ලූක් 10:12) අපිට හිතෙයි යේසුස් එතන කතා කරන්නේ අතිශයෝක්තියෙන් කියලා. හැබැයි ඒක එහෙම නෙවෙයි. මොකද නිනිවයේ සෙනඟ විනිශ්චය දවසේදී නැවත නැඟිටිනවා කියද්දී යේසුස් කිව්වේ ඇත්තටම වෙන දේ ගැන. ඉතින් මෙතනත් ඔහු කියන්නේ ඇත්තටම වෙන දේ. ඒ අවස්ථා දෙකේම “විනිශ්චය දවස” කියද්දී ඔහු කතා කළේ එකම කාලයක් ගැන. යේසුස් කියද්දී “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක් ලබනවා” කියලා ඒ අයට “පිළිකුල් දේවල් කරන අයත්” ඇතුළත්. (යොහ. 5:29) නිනිවයේ අය වගේම සොදොම්, ගොමෝරාවේ අයත් පිළිකුල් දේවල් කළා. හැබැයි නිනිවයේ අයට පසුතැවිලි වෙන්න අවස්ථාවක් ලැබුණා. එහෙමනම් සොදොම්, ගොමෝරාවේ අයටත් නැවත නැඟිටීමක් තියෙයි කියලා හිතන්න පුළුවන්. අඩුම ගාණේ එයාලාගෙන් කීපදෙනෙක් හරි නැවත නැඟිටියි. යෙහෝවා ගැනයි, යේසුස් ගැනයි එයාලට උගන්නන්න අපිටත් අවස්ථාව හම්බ වෙයි.

16. නැවත නැඟිට්ටවන්නේ කාවද කියලා යෙහෝවා තීරණේ කරන විදිහ ගැන අපි දන්නේ මොනවාද? (යෙරෙමියා 17:10)

16 යෙරෙමියා 17:10 කියවන්න. යෙහෝවා විනිශ්චයන් කරන විදිහ ගැන අපි දන්න දේ ඒ පදේ කතා කරලා තියෙනවා. ඔහු විනිශ්චය කරන්න කලින් ‘සිත් සෝදිසි කරලා ඇතුළාන්ත හැඟීම් විමසලා බලනවා.’ නැවත නැඟිට්ටවන්නේ කාවද කියලා තීරණේ කරද්දීත් ඔහු ඒ දේම කරලා ‘එක් එක් කෙනා ගත කරන ජීවිතයට අනුව එයාලට නිසි ප්‍රතිඵල දෙනවා.’ යෙහෝවා දෙවියන් ප්‍රතිපත්ති බාල කරන්නේ නැති වුණත් දයාව පෙන්නන්න පුළුවන් හැම අවස්ථාවකදීම ඒක පෙන්නනවා. ඉතින් කෙනෙක්ට නැවත නැඟිටීමක් නැහැ කියලා අපිට ස්ථිරවම කියන්න පුළුවන් ඒ ගැන බයිබලේ කියලා තියෙනවා නම් විතරයි.

‘මුළු පොළොවෙම විනිශ්චයකරු සාධාරණය ඉටු කරයි’

17. මැරුණ අයට අනාගතේදී මොනවා වෙයිද?

17 සාතන් එක්ක එකතු වෙලා ආදම් සහ ඒව යෙහෝවාට විරුද්ධව කැරලිගහපු දවසේ ඉඳන් බිලියන ගාණක් මිනිස්සු මැරිලා තියෙනවා. ඇත්තටම “මරණය” කියන්නේ දරුණු “හතුරෙක්.” (1 කොරි. 15:26) මරණයට ගොදුරු වුණ ඒ අයට අනාගතේදී මොනවා වෙයිද? ඒ අයගෙන් ටිකදෙනෙක්ව ඒ කියන්නේ යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන් 1,44,000දෙනෙක්ව ස්වර්ගයේ අමරණීය ජීවිතේකට නැවත නැඟිට්ටවනවා. (එළි. 14:1) යෙහෝවාට ආදරේ කරපු, ඔහුට විශ්වාසවන්තව හිටපු තව හුඟදෙනෙක්ව ‘ධර්මිෂ්ඨ අය විදිහට නැවත නැඟිට්ටවනවා.’ දහස් අවුරුදු පාලන කාලේදීත් අවසාන පරීක්ෂණේදීත් එයාලා දිගටම විශ්වාසවන්තව හිටියොත් මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න එයාලට අවස්ථාව ලැබෙනවා. (දානි. 12:13; හෙබ්‍රෙ. 12:1) දහස් අවුරුදු පාලන කාලේදී “අධර්මිෂ්ඨ අයට” ඒ කියන්නේ දෙවියන්ට කවදාවත් සේවේ කළේ නැති ‘පිළිකුල් දේවල් කරපු අයට’ එයාලාගේ ජීවිත වෙනස් කරගෙන දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් වෙන්න අවස්ථාව දෙනවා. (ලූක් 23:42, 43) හැබැයි සමහරක් අය හරිම දුෂ්ටයි. එයාලා යෙහෝවාටයි, ඔහුගේ අරමුණටයි විරුද්ධව හිතාමතාම වැඩ කරනවා. එහෙම අයව කවදාවත් නැවත නැඟිට්ටවන්නේ නැහැ.—ලූක් 12:4, 5.

18-19. (අ) මැරුණ අය ගැන යෙහෝවා ගන්න තීරණ හරියි කියලා අපිට ස්ථිර ඇයි? (යෙසායා 55:8, 9) (ආ) අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

18 යෙහෝවා මිනිස්සුන්ව විනිශ්චය කරද්දී ඔහු ගන්න හැම තීරණයක්ම හරියටම හරියි කියලා අපිට ස්ථිර ඇයි? ආබ්‍රහම් වගේ අපිත් තේරුම් අරන් ඉන්නවා “මුළු පොළොවෙම විනිශ්චයකරු” වන යෙහෝවා හැම අතින්ම පරිපූර්ණ, ප්‍රඥාවන්ත, දයාවෙන් පිරුණු කෙනෙක් කියලා. ඔහු ඔහුගේ පුතාව පුහුණු කරලා විනිශ්චය කරන වැඩේ ඔහුට භාර දීලා තියෙනවා. (යොහ. 5:22) තාත්තාටයි, පුතාටයි දෙන්නාටම පුළුවන් මිනිස්සුන්ගේ හිතේ තියෙන දේ දැනගන්න. (මතෙ. 9:4) ඒ නිසා එයාලා මොන තීරණේ ගත්තත් ඒක තමයි හරිම තීරණේ!

19 යෙහෝවා කවදාවත් වැරදි තීරණයක් ගන්නේ නැහැ කියන විශ්වාසයෙන් දිගටම ඉමු. අනිත් අයව විනිශ්චය කරන්න අපිට හැකියාවක් නැහැ. හැබැයි දෙවියන්ට පුළුවන්. (යෙසායා 55:8, 9 කියවන්න.) ඒ නිසයි හැම දෙයක්ම විනිශ්චය කරන්න යෙහෝවාටයි, ඔහුගේ පුතාටයි අපි භාර දෙන්න ඕනේ. අපි දන්නවා අපේ රජ විනිශ්චය කරද්දී යෙහෝවාව හැම අතින්ම අනුකරණය කරයි කියලා. (යෙසා. 11:3, 4) ඒත් මහත් පීඩාව කාලේ එයාලා දෙන්නා මිනිස්සුන්ව කොහොම විනිශ්චය කරයිද? ඒ ගැන අපි දන්නේ නැත්තේ මොනවාද? දන්නේ මොනවාද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 57 සියලු තරාතිරමේ අයට කියමු දෙව් පණිවිඩේ

b ආදම්, ඒව සහ කායින් ගැන දැනගන්න 2013 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ 12වෙනි පිටුවේ පාදසටහන බලන්න.

c මෙතන “විනාශ වන තැනැත්තා” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ යූදස් මැරුණාම එයාට නැවත නැඟිටීමක් නැහැ කියන එකයි.

d jw.org එකේ “සමාව නොලැබෙන වරදක් තියෙනවද?” කියන ලිපිය බලන්න.