Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 19

ගීතිකාව 22 අයැදිමු දේවරාජ්‍යයේ ආශීර්වාද!

අනාගතේදී යෙහෝවා කරන විනිශ්චයන් ගැන අපි දන්නේ මොනවාද?

අනාගතේදී යෙහෝවා කරන විනිශ්චයන් ගැන අපි දන්නේ මොනවාද?

‘යෙහෝවා දෙවි කිසි කෙනෙකු විනාශ වෙනවාට කැමති නැහැ.’2 පේතෘ. 3:9.

ලිපියේ අරමුණ

යෙහෝවා දෙවියන් දෙන විනිශ්චයන් ධර්මිෂ්ඨයි, සාධාරණයි කියලා අපිට විශ්වාසයි. ඒ ගැන අපි බලමු.

1. අපි ජීවත් වෙන්නේ හරිම වැදගත් කාලෙක කියලා කියන්නේ ඇයි?

 අපි ජීවත් වෙන්නේ හරිම වැදගත් කාලෙක! මොකද අපේ ඇස් ඉස්සරහම බයිබලේ අනාවැකි ඉටු වෙනවා. උදාහරණෙකට “උතුරේ රජයි,” “දකුණේ රජයි” බල අරගලයක යෙදෙන විදිහ අපි දකිනවා. (දානි. 11:40) ඒ වගේම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ලෝකේ හතර වටේම ව්‍යාප්ත වෙලා. මිලියන ගාණක් සෙනඟ ඒකට හොඳින් ඇහුම්කන් දෙනවා. (යෙසා. 60:22; මතෙ. 24:14) ඒ විතරක් නෙවෙයි “නියම වේලාවට” දෙවියන් දෙන පෝෂණයත් අපිට ලැබෙනවා.—මතෙ. 24:45-47.

2. අපිට සහතික වෙන්න පුළුවන් මොකක් ගැනද? ඒත් අපි තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

2 ළඟ ළඟම සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් ලබාගන්න යෙහෝවා දෙවියන් දිගටම අපිට උදව් කරනවා. (හිතෝ. 4:18; දානි. 2:28) මහත් පීඩාවේදී දිගටම විශ්වාසවන්තව ඉන්නත් අභියෝගවලට මූණ දෙන්නත් ඕන කරන හැම තොරතුරක්ම මහත් පීඩාවට කලින් යෙහෝවා දැනුම් දෙයි කියලා අපිට ස්ථිරයි. හැබැයි අපි තේරුම්ගන්න ඕනෙ දේකුත් තියෙනවා. ඒ තමයි ළඟ ළඟම සිද්ධ වෙන මේ දේවල් ගැන අපි නොදන්න තොරතුරුත් තියෙනවා කියන එක. ඒ නිසා අපි මුලින්ම මේ ලිපියෙන් බලමු අපි දැනටමත් දන්න තොරතුරුවල වෙනසක් වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඊළඟට අපි ඒ සිද්ධීන් ගැන දන්නේ මොනවාද කියලත් යෙහෝවා ඒ වෙලාවට වැඩ කරන්නේ කොහොමද කියලත් බලමු.

අපි දන්නේ නැති දේ

3. මහත් පීඩාව පටන්ගත්තාම දෙවියන්ට සේවේ නොකරන අයට මොනවා වෙයි කියලද අපි කලින් කිව්වේ? අපි ඒ වගේ දෙයක් හිතුවේ ඇයි?

3 කලින් අපි කිව්වේ මහත් පීඩාව පටන්ගත්තාට පස්සේ දෙවියන්ට සේවේ නොකරන අයට යෙහෝවා ගැන විශ්වාසේ තියන්නවත් හර්–මගෙදොන්වලින් බේරෙන්නවත් බැහැ කියලා. අපි ඒ වගේ නිගමනයකට ආවේ ජලගැල්ම කාලේ වුණ හැම දේකින්ම ඉස්සරහට වෙන්න යන දෙයක් නියෝජනය වෙනවා කියලා හිතපු නිසයි. උදාහරණෙකට ජලගැල්මට කලින් නෝවාගේ නැවේ දොර වැහුවා වගේ මහත් පීඩාව පටන්ගන්නවත් එක්කම ලෝකේ අයට ගැළවෙන්න තියෙන අවස්ථාව “වැහෙනවා” කියලයි අපි හිතුවේ.—මතෙ. 24:37-39.

4. ජලගැල්මෙන් අනාගතේදී වෙන දෙයක් නියෝජනය වෙනවා කියලා අපි දැන් විශ්වාස කරනවාද? පැහැදිලි කරන්න.

4 ජලගැල්මෙන් අනාගතේදී සිද්ධ වෙන දෙයක් නියෝජනය වෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? බැහැ. ඇයි ඒ? මොකද එහෙම දෙයක් බයිබලේ කියලා නැහැ. a යේසුස් කිව්වා තමයි “නෝවාගේ කාලේ” අද කාලෙට සමාන වෙනවා කියලා. හැබැයි නැවේ දොර වහපු එක වගේ ජලගැල්ම කාලේ වුණ හැම දේකින්ම අනාගතේදී වෙන දෙයක් නියෝජනය වෙනවා කියලා යේසුස් කිව්වේ නැහැ. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ වාර්තාවෙන් අපිට ඉගෙනගන්න වටිනා පාඩම් නැහැ කියලා.

5. (අ) ජලගැල්මට කලින් නෝවා එයාගේ විශ්වාසේ පෙන්නුවේ කොහොමද? (හෙබ්‍රෙව් 11:7; 1 පේතෘස් 3:20) (ආ) නෝවා සේවේ කරපු විදිහයි, අද අපි සේවේ කරන විදිහයි අතරේ තියෙන සමානකම් මොනවාද?

5 ජලගැල්මක් එනවා කියලා දැනගත්තාම නෝවා ලොකු නැවක් හදලා එයාගේ විශ්වාසේ ක්‍රියාවෙන් පෙන්නුවා. (හෙබ්‍රෙව් 11:7; 1 පේතෘස් 3:20 කියවන්න.) අදත් ශුභාරංචියට ඇහුම්කන් දෙන අය එයාලාගේ විශ්වාසේ වැඩ කරන විදිහෙන් පෙන්නන්න ඕනේ. (ක්‍රියා 3:17-20) ඒ විතරක් නෙවෙයි පේතෘස් නෝවාව හැඳින්නුවේ “ධර්මිෂ්ඨකම ගැන දේශනා කරපු” කෙනෙක් විදිහට. (2 පේතෘ. 2:5) හැබැයි අපි කලින් ලිපියෙනුත් බැලුවා වගේ අපි දන්නේ නැහැ ජලගැල්ම එන්න කලින් පොළොවේ හිටපු හැමෝටම ඒ ගැන කියන්න නෝවාට පුළුවන් වුණාද කියලා. අද අපි මුළු පොළොව පුරාම උද්‍යෝගයෙන් ශුභාරංචිය කියන්න ගොඩක් මහන්සි වෙනවා. හැබැයි මහත් පීඩාවට කලින් හැම කෙනෙක්ටම ඒක කියන්න අපිට බැරි වෙයි. ඇයි ඒ?

6-7. අවසානයට කලින් හැමෝම ළඟට ශුභාරංචිය ගෙනියන්න අපිට බැරි වෙයි කියලා අපි කියන්නේ ඇයි? පැහැදිලි කරන්න.

6 අපේ දේශනා සේවේ ගැන යේසුස් කියපු දෙයක් අපි බලමු. ඔහු කිව්වා “ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනවා” කියලා. (මතෙ. 24:14) අද ඒ අනාවැකිය ඉටු වෙන විදිහ අපි වෙන කවදාටත් වඩා දකිනවා. දැන් භාෂා 1,000කට වඩා වැඩි ගාණකින් ශුභාරංචිය කියනවා. jw.org වෙබ් අඩවිය නිසා ලෝක ජනගහනයෙන් වැඩිදෙනෙක්ට ශුභාරංචිය දැනගන්න පුළුවන්.

7 හැබැයි යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා ඔහු එන්න කලින් එයාලට “සෑම නුවරකටම යන්නවත්” හැම කෙනෙක්ටම ශුභාරංචිය කියන්නවත් බැරි වෙයි කියලා. (මතෙ. 10:23; 25:31-33) යේසුස්ගේ වචන අදටත් අදාළයි. අපි දන්නවා අපේ සේවේ තහනම් කරපු රටවල්වල මිලියන ගාණක් මිනිස්සු ඉන්නවා. ඒ වගේම හැම විනාඩියකම සිය ගාණක් ළමයි ඉපදෙනවා. ඇත්ත, “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත්” අයිති මිනිස්සු ළඟට ශුභාරංචිය ගෙනියන්න අපි අපේ උපරිමය කරනවා. (එළි. 14:6) හැබැයි අපි තේරුම්ගන්න ඕනෙ විනාශයට කලින් හැම කෙනෙක් ළඟටම යන්න අපිට බැරි වෙයි කියලා.

8. අනාගතේදී යෙහෝවා දෙවියන් කරන විනිශ්චය ගැන අපිට එන්න පුළුවන් ප්‍රශ්නය මොකක්ද? (පින්තූරත් බලන්න.)

8 එතකොට අපිට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මහත් පීඩාවට කලින් ශුභාරංචිය අහන්න ලැබුණේ නැති අයට මොනවා වෙයිද? යෙහෝවායි, විනිශ්චය කරන්න ඔහු භාර දීලා තියෙන ඔහුගේ පුතායි එයාලව කොහොම විනිශ්චය කරයිද? (යොහ. 5:19, 22, 27; ක්‍රියා 17:31) මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදේ කිව්ව විදිහට ‘යෙහෝවා කැමැති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න.’ ඒ වෙනුවට ඔහුට ඕනෙ ‘හැමෝම පසුතැවිලි වෙනවා දකින්න.’ (2 පේතෘ. 3:9; 1 තිමෝ. 2:4) ඒත් ශුභාරංචිය අහන්න ලැබුණේ නැති අයව ඔහු කොහොමද විනිශ්චය කරන්නේ කියලා ඔහු අපිට තාම කියලා නැහැ. ඇත්තටම යෙහෝවා දෙවියන් කරන කියන දේවල් අපිට පැහැදිලි කරන්න ඔහු බැඳිලත් නැහැ.

මහත් පීඩාවට කලින් ශුභාරංචිය අහන්න අවස්ථාවක් ලැබුණේ නැති අයට යෙහෝවා මොන වගේ විනිශ්චයක් දෙයිද? (8 ඡේදය බලන්න) c


9. යෙහෝවා දැනටමත් බයිබලෙන් අපිට කියලා තියෙන්නේ මොනවාද?

9 යෙහෝවා කරන්න යන සමහර දේවල් ගැන ඔහු බයිබලේට ඇතුළත් කරලා තියෙනවා. උදාහරණෙකට බයිබලේ කියනවා ශුභාරංචිය අහන්නවත් ජීවිතේ වෙනස් කරගන්නවත් අවස්ථාවක් ලැබුණේ නැති “අධර්මිෂ්ඨ අයව” යෙහෝවා නැවත නැඟිට්ටවනවා කියලා. (ක්‍රියා 24:15; ලූක් 23:42, 43) එතකොට අපේ හිතට තවත් ප්‍රශ්න එනවා.

10. අපිට එන තවත් ප්‍රශ්න මොනවාද?

10 මහත් පීඩාව අතරේ මැරෙන කිසිම කෙනෙක් නැවත නැඟිටින්නේ නැද්ද? බයිබලේ පැහැදිලිවම කියනවා යෙහෝවා දෙවියන්ට විරුද්ධ වෙන, හර්–මගෙදොන් යුද්දේදී ඔහුගේ සේනාව අතින් විනාශ වෙන අයට නැවත නැඟිටීමක් නැහැ කියලා. (2 තෙස. 1:6-10) එතකොට ඒ කාලේදී ස්වාභාවිකව මැරෙන අය? අනතුරකින් මැරෙන අය? නැත්නම් වෙන කෙනෙක්ගේ අතින් මැරුම් කන අය? එයාලා ගැන මොනවාද කියන්න පුළුවන්? (දේශ. 9:11; සෙක. 14:13) එයාලාගෙන් සමහර අය නැවත නැඟිටින “අධර්මිෂ්ඨ අය” අතරේ ඉඳීද? උත්තරය, අපි දන්නේ නැහැ!

අපි දන්න දේ

11. යෙහෝවා දෙවියන් හර්–මගෙදොන්වලදී විනිශ්චයක් දෙන්නේ මොකක් බලලාද?

11 ඉස්සරහට වෙන සමහර දේවල් ගැන අපි දන්නවා. උදාහරණෙකට හර්–මගෙදොන්වලදී කෙනෙක්ට විනිශ්චයක් ලැබෙන්නේ එයා යේසුස්ගේ සහෝදරයන්ට සලකලා තියෙන විදිහ අනුව කියලා අපි දන්නවා. (මතෙ. 25:40) ඉතින් කෙනෙක් යේසුස්ටයි, අභිෂේක ලත් අයටයි සහය දීලා තියෙනවා නම් එයාව ගණන් ගන්නේ බැටළුවෙක් විදිහට. අපි දන්නවා යේසුස්ගේ සහෝදරයන් මහත් පීඩාව පටන්ගත්තාට පස්සෙත් මේ පොළොවේ ඉන්නවා කියලා. මොකද එයාලව ස්වර්ගයට ගන්නේ හර්–මගෙදොන් පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී. ඉතින් එයාලා මේ පොළොවේ ඉන්න තාක් කල් අවංක හදවත් තියෙන අයට අවස්ථාව ලැබෙනවා එයාලටයි, එයාලා කරන වැඩේටයි සහයෝගය දෙන්න. (මතෙ. 25:31, 32; එළි. 12:17) ඒ තොරතුරු වැදගත් ඇයි?

12-13. “මහ බැබිලෝනිය” විනාශ වෙනවා දැක්කාම සමහරු මොනවා කරයිද? (පින්තූරත් බලන්න.)

12 “මහ බැබිලෝනිය” විනාශ වෙනවා දැක්කාම සමහරවිට කෙනෙක්ට මතක් වෙන්න පුළුවන් ‘සාක්ෂිකරුවන් කාලයක් තිස්සේ කිව්වේ මේ සිද්ධිය ගැන නේද’ කියලා. ඒ කියන්නේ මහත් පීඩාව කාලේදී දකින දේවල් නිසා සමහර අයගේ හිතේ දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙයිද?—එළි. 17:5; එස. 33:33.

13 එහෙම වුණොත් ඒක මෝසෙස්ගේ කාලේ වුණ දේකට සමානයි. මතකද ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් වෙලා එද්දී ඊශ්‍රායෙල්වරු එක්ක “වෙනත් ජාතීන්ට අයත් මහත් සමූහයක්” ආවා? සමහරවිට එයාලට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙන්න ඇත්තේ මෝසෙස් පීඩා දහය ගැන කියපු දේවල් ඉටු වෙනවා දැක්කාට පස්සේ. (නික්. 12:38) මහ බැබිලෝනිය විනාශ වෙනවා දැක්කාමත් සමහරුන්ට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපිට හිතෙයිද ‘මේ මිනිස්සු මේ අන්තිම මොහොතේ ඇවිත් අපිට එකතු වෙනවානේ. ඒක හරිම අසාධාරණයි’ කියලා? නැහැ. අපි කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මොකද අපිට ඕනෙ යෙහෝවා වගේ වෙන්න. ඔහු ‘දයාවන්ත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන, ඉමහත් ප්‍රේමයක් පෙන්වන, සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන දෙවි කෙනෙක්.’ bනික්. 34:6.

“මහ බැබිලෝනිය” විනාශ වෙනවා දකිද්දී ‘අවුරුදු ගාණක් තිස්සේ සාක්ෂිකරුවන් කිව්වේ මේ ගැන නේද’ කියලා සමහරුන්ට මතක් වෙයි (12-13 ඡේද බලන්න) d


14-15. කෙනෙක්ට සදාකාල ජීවිතේ ලැබෙනවාද නැද්ද කියලා තීරණේ වෙන්නේ එයා මැරෙන වෙලාව, මැරෙන තැන අනුවද? පැහැදිලි කරන්න. (ගීතාවලිය 33:4, 5)

14 සමහරු මෙහෙම කියනවා ඔයා අහලා ඇති. “මගේ අහවල් නෑදෑයා මහත් පීඩාවට කලින් මැරුණ එක හොඳයි. මොකද එතකොට එයා නැවත නැඟිටියිනේ.” එයාලා එහෙම කියන්නේ හොඳ චේතනාවෙන්. හැබැයි කෙනෙක් මැරෙන වෙලාව අනුව එයාට සදාකාල ජීවිතේ ලැබෙයිද නැද්ද කියලා තීරණේ වෙන්නේ නැහැ. යෙහෝවා පරිපූර්ණ විනිශ්චයකරුවෙක්. ඔහුගේ විනිශ්චයන් හැම තිස්සේම සාධාරණයි, ධර්මිෂ්ඨයි. (ගීතාවලිය 33:4, 5 කියවන්න.) ඒ හින්දා අපිට විශ්වාසයි “මුළු පොළොවෙම විනිශ්චයකරු” දෙන හැම තීන්දුවක්ම හරියි කියලා.—උත්. 18:25.

15 කෙනෙක් ජීවත් වෙන තැන අනුව එයාට සදාකාල ජීවිතේ ලැබෙයිද නැද්ද කියලා තීරණේ කරන එක සාධාරණද? නැහැ. මොකද අපි දන්නවා හුඟක් තහංචි තියෙන පැතිවලට ශුභාරංචිය ගෙනියන්න අපිට බැහැ කියලා. ඒ වගේ පැතිවල ඉන්න මිලියන ගාණක් අයට ශුභාරංචිය පිළිගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාම එයාලව “එළුවන්” විදිහට යෙහෝවා ලේබල් කරයිද? එහෙම කරයි කියලා අපිට හිතන්නවත් බැහැ. (මතෙ. 25:46) ඇත්තටම අපි හිතනවාට වඩා යෙහෝවා ඒ එක් එක් කෙනා ගැන ගොඩක් හිතනවා. අපි දන්නේ නැහැ මහත් පීඩාව කාලේදී ඔහු කොහොම දේවල් හසුරුවයිද කියලා. සමහරවිට යෙහෝවාගේ නම ගෞරවයට පත් වෙන කාලේදී ඔහු ගැන ඉගෙනගෙන, ඔහු ගැන විශ්වාසේ තියලා, ඔහුගේ පැත්තේ ඉන්නවා කියලා පෙන්නන්න එයාලට අවස්ථාවක් ලැබෙයි.—එස. 38:16.

මහත් පීඩාව පටන්ගත්තාට පස්සේ ඒ සිද්ධ වෙන දේවල් දැකලා සමහරුන්ට යෙහෝවා ගැන විශ්වාසයක් ඇති වෙයිද?

16. යෙහෝවා දෙවියන් ගැන අපි තේරුම් අරන් තියෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

16 බයිබලෙන් අපි දැනගත්තා යෙහෝවාට මිනිස්සුන්ව හුඟක් වටිනවා කියලා. කොච්චරද කියනවා නම් අපිට සදාකාල ජීවිතේ දෙන්න ඔහු ඔහුගේ එකම පුතාවත් අපි වෙනුවෙන් දුන්නා. (යොහ. 3:16) අපි හැමෝටම යෙහෝවාගේ සෙනෙහස දැනෙනවා. (යෙසා. 49:15) ඔහු අපි එක් එක් කෙනාව නමින් අඳුරනවා. අපි මැරුණත් අපේ හැම තොරතුරක්ම, හැම මතකයක්ම එක්ක අපිව නැවත නැඟිට්ටවන්න ඔහුට පුළුවන්. ඔහු එච්චරටම අපි ගැන දන්නවා! (මතෙ. 10:29-31) ඒ නිසා අපිට විශ්වාසයි ඔහු අපි එක් එක් කෙනාට හොඳම විනිශ්චයක් දෙයි කියලා. මොකද ඔහු දයාවෙන් පෙලඹිලා සාධාරණව වැඩ කරන දෙවි කෙනෙක්.—යාකො. 2:13.

යෙහෝවා හැම පැත්තක්ම සාධාරණව බලලා, දයාවෙන් පෙලඹිලා, ධර්මිෂ්ඨ විදිහට එක් එක් කෙනාව විනිශ්චය කරයි කියලා අපිට විශ්වාසයි (16 ඡේදය බලන්න)


17. අපි ඊළඟ සතියේ බලන්නේ මොනවා ගැනද?

17 අපි මේ ලිපියෙන් බැලුවා අපේ අවබෝධය තව පැහැදිලි වුණ පැති කීපයක් ගැන. ඒවාවලින් පේනවා දේශනා සේවේ අපිට පොඩ්ඩක්වත් කල් දාන්න බැහැ කියලා. ඒත් ඇයි අපි එහෙම කියන්නේ? අත්හරින්නේ නැතුව දිගටම සේවේ කරන්න අපිව පොලඹවන්නේ මොකක්ද? ඒ ගැන අපි ඊළඟ සතියේ බලමු.

ගීතිකාව 76 ඔබට හැඟෙන්නේ කොහොමද?

a මේ වගේ වෙනස්කමක් කරන්න හේතුව දැනගන්න 2015 මාර්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 7-11 පිටුවල තියෙන “දෙවි බිලිඳුන් වැනි අයට සත්‍යය හෙළි කරයි” කියන ලිපිය බලන්න.

b මහ බැබිලෝනියේ විනාශයෙන් පස්සේ ගොග්ගේ ප්‍රහාරය අතරතුරේදී දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් හැමෝවම සෝදිසියට ලක් වෙනවා. මහ බැබිලෝනියේ විනාශයෙන් පස්සේ දෙවියන්ගේ සෙනඟට එකතු වෙන අයවත් සෝදිසියට ලක් වෙනවා.

c පින්තූරේ අදහස: සමහරුන්ට ශුභාරංචිය අහන්න ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා පෙන්නන පින්තූර තුනක්. (1) රටේ ප්‍රධාන ආගම නිසා දේශනා සේවේ යන එක ආරක්ෂිත නැහැ. ඒ වගේ රටක ඉන්න කාන්තාවක්, (2) රටේ තියෙන දේශපාලනික වාතාවරණය නිසා සාක්ෂිකරුවන්ට එහේ දේශනා කරන්න තහනම්. ඒ වගේම ඒක භයානකයි. ඒ වගේ රටක ඉන්න යුවළක්, (3) සාක්ෂිකරුවන්ට ළඟා වෙන්න බැරි තරමට ලෝකේ දුර ඈත කෙළවරක ඉන්න කෙනෙක්.

d පින්තූරේ අදහස: සත්‍යය අත්හැරලා ගිය යෞවනියකට එයා බයිබලෙන් “මහ බැබිලෝනියේ” විනාශය ගැන ඉගෙනගත්ත දේවල් මතක් වෙනවා. ඊටපස්සේ සත්‍යයේ ඉන්න එයාගේ අම්මලා ළඟට යන්න එයා තීරණේ කරනවා. ඉස්සරහට ඒ වගේ දෙයක් වුණොත් අපිත් යෙහෝවා වගේ දයාවෙන් පෙලඹිලා ඒ වගේ කෙනෙක්ව ආදරෙන් පිළිගන්න ඕනේ. එයා ආයෙත් හැරිලා ආපු එක ගැන සතුටු වෙන්න ඕනේ.