Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 23

ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

කූඩාරමට ඇතුල් වෙන්න යෙහෝවාගෙන් ආරාධනාවක්!

කූඩාරමට ඇතුල් වෙන්න යෙහෝවාගෙන් ආරාධනාවක්!

“මාගේ කූඩාරමද ඔවුන් අතරෙහි පිහිටුවන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.”එස. 37:27.

ලිපියේ අරමුණ

යෙහෝවා ඔහුගේ කූඩාරමට එන්න කියලා අපිට ආරාධනා කරලා තියෙන එක ගැනත් ඔහුගේ කූඩාරමේ ඉන්න අයව ඔහු බලාගන්න විදිහ ගැනත් අපේ හිතේ තියෙන අගය වැඩි කරගන්න මේ ලිපිය උදව් වෙයි.

1-2. දෙවියන්ගේ සෙනඟට ඔහු කරලා තියෙන ආරාධනාව මොකක්ද?

 කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් යෙහෝවා දෙවියන් ඔයාගේ කවුද කියලා ඔයා මොනවාද කියන්නේ? සමහරවිට ඔයා කියයි ‘යෙහෝවා කියන්නේ මගේ තාත්තා, මගේ දෙවියන්, මගේ යාළුවා’ කියලා. ඊට වඩා වෙන විදිවලින් ඔයා යෙහෝවාව විස්තර කරන්නත් පුළුවන්. හැබැයි ඔයා කවදා හරි යෙහෝවාව, ඔහුගේ කූඩාරමට ඔයාව ආදරෙන් පිළිගන්න කෙනෙක් විදිහට දැකලා තියෙනවාද?

2 සැරයක් දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද? ඔබේ ශුද්ධ කන්දේ වාසය කිරීමට අවස්ථාව ලැබෙන්නේ කාටද?” (ගීතා. 15:1) එතන දාවිත් යෙහෝවාව කූඩාරමට ඇතුල් වෙන්න කියලා ආරාධනා කරන කෙනා විදිහටත් ඔහුගේ සෙනඟව ඒ කූඩාරමට ඇතුල් වෙන අය විදිහටත් හඳුන්වලා තියෙනවා. දාවිත් එහෙම කිව්වේ යෙහෝවායි, ඔහුගේ සෙනඟයි අතරේ කොච්චර කිට්ටු බැඳීමක් තියෙනවාද කියලා පෙන්නන්න. යෙහෝවාගේ යාළුවෝ වෙලා ඔහුගේ කූඩාරමට ඇතුල් වෙන්න අපිටත් පුළුවන් කියලා ඒ පදෙන් තේරෙනවා. ඒක ඇත්තටම අපිට ලැබිලා තියෙන ගෞරවයක්!

යෙහෝවාගෙන් ආරාධනාවක්!

3. යෙහෝවාගේ කූඩාරමට ඇතුල් වුණ මුල්ම කෙනා කවුද? ඒ දෙන්නාට එකිනෙකා ගැන හැඟුණේ කොහොමද?

3 මේ හැම දෙයක්ම නිර්මාණය කරන්න කලින් යෙහෝවා දෙවියන් හිටියේ තනියම. හැබැයි එක අවස්ථාවකදී ඔහු ඔහුගේ කුලුඳුල් පුතාව නිර්මාණය කළා. ඒක හරියට යෙහෝවා තමන්ගේ කූඩාරමට ඉස් ඉස්සෙල්ලාම යේසුස්ට එන්න කිව්වා වගේ. බයිබලේ කියනවා යෙහෝවා ‘විශේෂයෙන්ම යේසුස් ගැන ප්‍රීති වුණා’ කියලා. ඒ වගේම කූඩාරමට මුලින්ම ඇතුල් වුණ කෙනා විදිහට යේසුත් ‘නිතරම යෙහෝවා ඉදිරියේ සතුටින් හිටියා.’—හිතෝ. 8:30.

4. දෙවියන් ඔහුගේ කූඩාරමට පිළිගත්ත තව අය කවුද?

4 ඊටපස්සේ යෙහෝවා දෙවියන් දේවදූතයන්ව නිර්මාණය කළා. ඔහු එයාලටත් ඔහුගේ කූඩාරමට ආරාධනා කළා. බයිබලේ දේවදූතයන්ව හඳුන්වන්නේ ‘දෙවියන්ගේ පුත්‍රයෝ’ කියලා. බයිබලේ කියනවා යෙහෝවාත් එක්ක ඉද්දී එයාලා ඉන්නේ සතුටින් කියලා. (යෝබ් 38:7; දානි. 7:10) කාලයක් යන කල්ම යෙහෝවාගේ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන්කම ලැබුණේ, ඒ කියන්නේ යෙහෝවාගේ කිට්ටු යාළුවෝ වෙන්න පුළුවන් වුණේ ස්වර්ගයේ ඉන්න අයට විතරයි. හැබැයි පස්සේ ඔහු කූඩාරමට එන්න කියලා පොළොවේ ඉන්න අයටත් ආරාධනා කළා. ඒනොක්, නෝවා, ආබ්‍රහම් සහ යෝබ් කියන්නේ ඒ විදිහට දෙවියන් ඔහුගේ කූඩාරමට පිළිගත්ත කීපදෙනෙක්. ‘සැබෑ දෙවියන් එක්ක ගමන් කරපු’ ඒ විශ්වාසවන්ත අයව බයිබලේ හඳුන්වන්නේ දෙවියන්ගේ යාළුවන් විදිහට.—උත්. 5:24; 6:9; යෝබ් 29:4; යෙසා. 41:8.

5. එසකියෙල් 37:26, 27 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 සියවස් ගාණක් පුරා යෙහෝවා දෙවියන් මිනිස්සුන්ට ආරාධනා කරනවා ඔහුගේ කූඩාරමට ඇතුල් වෙන්න කියලා. (එසකියෙල් 37:26, 27 කියවන්න.) උදාහරණෙකට එසකියෙල්ගේ අනාවැකියෙන් පේනවා යෙහෝවාට ඕනෙ ඔහුගේ සෙනඟත් එක්ක හරිම කිට්ටු බැඳීමක් ඇති කරගන්න කියලා. ඔහු පොරොන්දු වෙනවා එයාලත් එක්ක “සමාදානයේ ගිවිසුමක්” ඇති කරගන්නවා කියලා. එසකියෙල්ගේ අනාවැකියේ කතා කරන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන අයයි, මේ පොළොවේ ජීවත් වෙන බලාපොරොත්තුව තියෙන අයයි දෙවියන්ගේ කූඩාරමේ “එක රැළක්” විදිහට ඉන්න කාලයක් ගැන. (යොහ. 10:16) ඒ කාලේ දැන් උදා වෙලා!

අපි කොහේ හිටියත් යෙහෝවා අපි ගැන හිතනවා

6. යෙහෝවා කෙනෙක්ව ඔහුගේ කූඩාරමට පිළිගන්නේ මොන අවස්ථාවේදීද? ඔහුගේ කූඩාරම තියෙන්නේ කොහෙද?

6 බයිබල් කාලවලදී කෙනෙක් කූඩාරමකට ගියේ විවේක ගන්න. එහෙම නැත්නම් අව්වෙන්, වැස්සෙන් ආරක්ෂා වෙන්න. කූඩාරමකට ඇතුල් වෙන කෙනෙක්ව ඒකට ආරාධනා කරපු පුද්ගලයා හොඳට බලාගත්තා. අපි අපේ ජීවිතේ යෙහෝවාට කැප කරද්දී ඔහු අපිව ඔහුගේ කූඩාරමට පිළිගන්නවා. (ගීතා. 61:4) ඒ වගේ කෙනෙක්ට ඇති තරම් දෙවියන්ගේ පෝෂණය ලැබෙනවා. කූඩාරමේ ඉන්න අනිත් අය එක්කත් එයාට හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන්. හිතන්න ඔයා විශේෂ සමුළුවකට සහභාගි වෙන්න වෙන රටකට ගියා කියලා. යෙහෝවාගේ කූඩාරමට පිළිගත්ත අයව ඔයාට එහෙදීත් හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ යෙහෝවාට කීකරු වෙන සෙනඟ ඉන්න ඕනෙම තැනක ඔහුගේ කූඩාරම තියෙනවා.—එළි. 21:3.

7. විශ්වාසවන්තව ඉඳලා මැරුණ අය තවමත් දෙවියන්ගේ කූඩාරමේ ඉන්නවා කියලා කියන්න පුළුවන් ඇයි? (පින්තූරයත් බලන්න.)

7 එතකොට විශ්වාසවන්තව ඉඳලා මැරුණ අය? එයාලා තවමත් ඉන්නේ දෙවියන්ගේ කූඩාරමේ කියලා කියන්න පුළුවන්ද? ඔව්. මොකද මැරුණත් එයාලා තවමත් යෙහෝවාගේ මතකයේ ජීවත් වෙනවා. ඒකයි යේසුස් මෙහෙම කිව්වේ. “මිය ගිය අය නැවත නැඟිටින බව මෝසෙස් පවා පැහැදිලි කළා. කටු පඳුර අසල සිද්ධියේ යෙහෝවා දෙවිව හඳුන්වා තිබුණේ, ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි’ ලෙසයි. මෙයින් පැහැදිලි වන්නේ ඔහු මිය ගොස් ඇති අයගේ දෙවි නොව ජීවත් වන අයගේ දෙවි බවයි. මන්ද ඔවුන් මිය ගොස් සිටියත් දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය හැටියටයි.”—ලූක් 20:37, 38.

විශ්වාසවන්තව ඉඳලා මැරුණ අය තාමත් යෙහෝවාගේ කූඩාරමේ ඉන්නවා (7 ඡේදය බලන්න)


ප්‍රයෝජන සහ වගකීම්

8. යෙහෝවාගේ කූඩාරමට ඇතුල් වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

8 කූඩාරමකින් වෙහෙස නිවාගන්නත් ආරක්ෂාවත් ලැබෙනවා වගේ යෙහෝවාගේ කූඩාරමේ ඉන්න අයටත් ඔහු එක්ක තියෙන බැඳීමට හානි වෙන දේවල්වලින් ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම අනාගතේ ගැන බලාපොරොත්තුවකුත් ලැබෙනවා. අපි යෙහෝවාට ළං වෙලා ඉන්න තාක් කල් සාතන්ට බැහැ අපිට සදහටම හානි වෙන දෙයක් කරන්න. (ගීතා. 31:23; 1 යොහ. 3:8) ඉස්සරහටත් විශ්වාසයට හානියක් වෙන දේවල්වලින් විතරක් නෙවෙයි මරණයෙනුත් දෙවියන් ඔහුගේ යාළුවන්ව ආරක්ෂා කරනවා.—එළි. 21:4.

9. කූඩාරමට ඇතුල් වුණ අයගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

9 දෙවියන්ගේ කූඩාරමේ ඉන්න අය විදිහට ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ලැබුණ එක ඇත්තටම ගෞරවයක්! හැබැයි මේ කූඩාරමේ දිගටම ඉන්න නම් අපේ පැත්තෙනුත් කරන්න ඕනෙ දේවල් තියෙනවා. හිතන්න කවුරු හරි කෙනෙක් එයාගේ ගෙදරට ඔයාට ආරාධනා කරනවා. එයා ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා ඇතුළට එද්දී ඔයා සපත්තු ගලවයි කියලා. ඉතින් ඔයා ඒක කැමැත්තෙන්ම කරනවා. ඒ වගේ තමයි දිගටම දෙවියන්ගේ කූඩාරමේ ඉන්න නම් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා අපි තේරුම්ගන්න ඕනේ. යෙහෝවා ගැන අපේ හිතේ තියෙන ආදරේ අපිව පොලඹවනවා ‘සියල්ලේදී ඔහුව සතුටු කරන්න.’ (කොලො. 1:10) ඇත්ත, යෙහෝවා කියන්නේ අපේ හොඳම යාළුවා. හැබැයි අපි තේරුම්ගන්න ඕනෙ ඔහු අපේ තාත්තා සහ අපේ දෙවියන් කියලා. ඒ නිසා ඔහු අපේ ගෞරවය ලබන්න වටිනවා. (ගීතා. 25:14) අපි ඒ කාරණය හැම තිස්සේම අපේ ඔළුවේ තියාගන්නවා නම් අපේ හිතේ ඔහු ගැන තියෙන ගරුබිය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. ඔහු අකමැති දේවල්වලින් ඈත් වෙලා ඉන්න වගේම “දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න” ඒ ගරුබිය අපිව පොලඹවනවා.—මීකා 6:8.

දෙවියන් ඊශ්‍රායෙල්වරු හැමෝටම එක වගේ සැලකුවා

10-11. යෙහෝවා හැමෝටම එක වගේ සලකනවා කියලා තේරුම්ගන්න අපි බලන සිද්ධිය මොකක්ද?

10 දෙවියන්ගේ කූඩාරමට පිළිගත්ත හැමෝටම ඔහු එක වගේ සලකනවා. (රෝම 2:11) ඊශ්‍රායෙල්වරු සීනයි පාළුකරයේ හිටපු කාලේදී දෙවියන් එයාලට සලකපු විදිහෙන් ඒක පැහැදිලි වෙනවා.

11 ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවගෙන ආවට පස්සේ යෙහෝවා ඔහුගේ ශුද්ධ කූඩාරමේ සේවය කරන්න පූජකයන්ව පත් කළා. ඒ වගේම ශුද්ධ කූඩාරමේ තවත් පැවරුම් කරන්න ඔහු ලෙවීවරුන්වත් පත් කළා. ඉතින් ඒ ලෙවීවරුන්ට, පූජකයන්ට, ශුද්ධ කූඩාරම ළඟම කූඩාරම් ගහගෙන හිටපු අයට ඔහු අනිත් අයට වඩා විශේෂත්වයක් පෙන්නුවාද? නැහැ. ඔහු කාටවත් විශේෂ සැලකිලි පෙන්නන දෙවි කෙනෙක් නෙවෙයි.

12. යෙහෝවා හැමෝටම එක වගේ සලකනවා කියලා පෙන්නුවේ කොහොමද? (නික්මයාම 40:38) (පින්තූරයත් බලන්න.)

12 කෙනෙක් ශුද්ධ කූඩාරමේ සේවය කළත් ශුද්ධ කූඩාරමට කිට්ටුවෙන් කූඩාරම් ගහන් හිටියත් ඊට ගොඩක් ඈතින් කූඩාරම් ගහන් හිටියත් ඒ හැමෝටම යෙහෝවාගේ යාළුවෙක් වෙන්න අවස්ථාව ලැබුණා. උදාහරණෙකට ශුද්ධ කූඩාරමට ඉහළින් තිබුණ වලා ටැඹයි, ගිනි ටැඹයි යෙහෝවා තිබ්බේ ඊශ්‍රායෙල් ජාතියේ හැමෝටම පැහැදිලිව පේන විදිහටයි. (නික්මයාම 40:38 කියවන්න.) ඒ වගේම වලා ටැඹ අලුත් තැනකට යන්න පිටත් වෙද්දී හැමෝම ඒක දැක්ක නිසා ඒගොල්ලන්ට පුළුවන් වුණා එයාලාගේ බඩු මුට්ටු ලෑස්ති කරගෙන, කූඩාරම් අකුළගෙන අනිත් සෙනඟත් එක්කම යන්න. (ගණන්. 9:15-23) ඒ විතරක් නෙවෙයි වෙනත් තැනකට යන්න කියලා දැනුම් දෙන හොරණෑ දෙක පිඹිද්දී ඒක හැමෝටම පැහැදිලිව ඇහුණා. (ගණන්. 10:2) ඒකෙන් පැහැදිලි වෙනවා කෙනෙක් ශුද්ධ කූඩාරම කිට්ටුවෙන් හිටියා කියලා එයාට යෙහෝවාත් එක්ක විශේෂ බැඳීමක් තිබුණේ නැහැ කියලා. ඒ වෙනුවට කඳවුරේ ඕනෙම තැනක හිටපු කෙනෙක්ට යෙහෝවාගේ මඟ පෙන්වීම්, රැකවරණය, ආරක්ෂාව ලැබුණා. අදත් එහෙමයි. අපි පොළොවේ කොහේ හිටියත් යෙහෝවාගේ ආදරේ, රැකවරණය, ආරක්ෂාව අපි හැමෝටම ලැබෙනවා.

ශුද්ධ කූඩාරම කඳවුරේ මැද තිබුණ එක යෙහෝවා හැමෝටම එක වගේ සලකනවා කියන්න සාක්ෂියක් (12 ඡේදය බලන්න)


අදත් යෙහෝවා වෙනස් වෙලා නැහැ

13. යෙහෝවා අදත් හැමෝටම එක වගේ සලකනවා කියලා කියන්න පුළුවන් ඇයි?

13 අද දෙවියන්ගේ සෙනඟගෙන් සමහර අය ජීවත් වෙන්නේ ලෝක මූලස්ථානය, එහෙම නැත්නම් සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක් කිට්ටුව. තවත් අයට ලෝක මූලස්ථානයේ හරි ශාඛා කාර්යාලවල හරි වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ වගේ තැන්වල සැලසුම් කරන දේවල්වලට හවුල් වෙන්න, පෙරමුණ අරන් වැඩ කරන අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න එයාලට පුළුවන් වෙනවා. තවත් අය චාරිකා සේවකයන් විදිහටත්, විශේෂ පූර්ණකාලීන සේවයේ තවත් අංගවලත් හවුල් වෙනවා. හැබැයි සාක්ෂිකරුවන්ගෙන් හුඟදෙනෙක්ට ඒ වගේ අවස්ථා ලැබෙන්නේ නැහැ. ඔයාත් එහෙම කෙනෙක් නම් ඒකෙන් අදහස් කරනවාද ඒ අය ඔයාට වඩා ගොඩක් විශේෂයි කියලා? නැහැ. මොකද යෙහෝවා ඔහුගේ කූඩාරමට පිළි අරන් ඉන්න හැමෝටම එක වගේ ආදරෙයි. ඔහු ඔයා ගැන දන්නවා. (1 පේතෘ. 5:7) අපි කොහේ ජීවත් වුණත් මොන පැවරුම කළත් අපි හැමෝටම යෙහෝවාගේ පෝෂණය, මඟ පෙන්වීම්, රැකවරණය ලැබෙනවා.

14. යෙහෝවා හැමෝටම එක වගේ සලකනවා කියලා පේන තව පැත්තක් මොකක්ද?

14 යෙහෝවාගේ කූඩාරමේ ඉන්න හැමෝටම ඔහු එක වගේ සලකනවා කියලා කියන්න තියෙන තව හේතුවක් මොකක්ද? අද ලෝකේ පුරා ඕනෙම කෙනෙක්ට එයාලාගෙම භාෂාවෙන් බයිබලේ කියවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි දන්නවා බයිබලේ මුලින්ම ලියවුණේ හෙබ්‍රෙව්, ඇරමයික සහ ග්‍රීක භාෂාවලින් කියලා. ඒ කියන්නේ ඒ භාෂාවලින් බයිබලේ කියවන්න පුළුවන් අයට අනිත් අයට වඩා යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් තියෙනවාද? එහෙම කියන්න බැහැ.—මතෙ. 11:25.

15. යෙහෝවා කිසිම කෙනෙක්ට විශේෂත්වයක් පෙන්නන්නේ නැහැ කියලා කියන්න තියෙන සාක්ෂි මොනවාද? (පින්තූරයත් බලන්න.)

15 යෙහෝවා කෙනෙක්ට ඔහුගේ යාළුවෙක් වෙන්න ආරාධනා කරලා තියෙන්නේ එයාගේ අධ්‍යාපන මට්ටම දිහා බලලවත් එයාට බයිබලේ ලියවුණ මුල් භාෂා පුළුවන්ද කියන එක දිහා බලලවත් නෙවෙයි. ඒ වෙනුවට ඔහු මේ පොළොවේ ඉන්න හැමෝටම අවස්ථාව දීලා තියෙනවා ඔහුගේ ප්‍රඥාව ලබාගන්න. ඔහුගේ මඟ පෙන්වීමෙන් ලියපු බයිබලෙත් දැන් භාෂා දහස් ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා ඕනෙම කෙනෙක්ට පුළුවන් ඒකේ තියෙන ඉගැන්වීම්වලින් ප්‍රයෝජන ගන්න වගේම දෙවියන්ගේ යාළුවෙක් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.—2 තිමෝ. 3:16, 17.

බයිබලේ භාෂා දහස් ගාණකට පරිවර්තනය කරපු එකෙන් යෙහෝවා හැමෝටම එක වගේ සලකනවා කියලා පේන්නේ නැද්ද? (15 ඡේදය බලන්න)


දිගටම යෙහෝවාගේ කූඩාරමේ ඉන්න

16. ක්‍රියා 10:34, 35 කියන විදිහට දිගටම යෙහෝවා පිළිගන්න කෙනෙක් විදිහට ඉන්න අපිට පුළුවන් කොහොමද?

16 දෙවියන්ගේ කූඩාරමට ඇතුල් වෙන්න ලැබුණ එක ඇත්තටම අපිට ලැබුණ ගෞරවයක්. මොකද ඔහු තරම් කරුණාවන්ත, ආදරණීය, ත්‍යාගශීලී කෙනෙක් තවත් නැහැ. ඒ වගේම ඔහු හැමෝටම එක වගේ සලකනවා. අපි ඉන්න තැන, පසුබිම, අධ්‍යාපනය, ජාතිය, ගෝත්‍රය, වයස, ගැහැනු කෙනෙක්ද, පිරිමි කෙනෙක්ද කියන එක යෙහෝවාට වැදගත් නැහැ. ඒ කිසිම දෙයක් බලලා ඔහු කාටවත් විශේෂත්වයක් පෙන්නන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔහුගේ කූඩාරමට අපිව පිළිගන්නේ අපි දිගටම ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වුණොත් විතරයි.—ක්‍රියා 10:34, 35 කියවන්න.

17. අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

17 ගීතාවලිය 15:1 දාවිත් මෙහෙම ඇහුවා. “යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද? ඔබේ ශුද්ධ කන්දේ වාසය කිරීමට අවස්ථාව ලැබෙන්නේ කාටද?” ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න යෙහෝවා දාවිත්ටම මඟ පෙන්නුවා. ඉතින් යෙහෝවාගේ ශුද්ධ කූඩාරමේ දිගටම ඉන්න නම් කරන්න ඕනෙ දේවල් ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 32 යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න