Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 24

ගීතිකාව 24 එන්න දෙවිගේ කන්දට

සදහටම යෙහෝවාගේ කූඩාරමේ ඉන්න!

සදහටම යෙහෝවාගේ කූඩාරමේ ඉන්න!

“යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද?”ගීතා. 15:1.

ලිපියේ අරමුණ

යෙහෝවාගේ යාළුවෙක් වෙලා දිගටම ඉන්න නම් අපි මොනවාද කරන්න ඕනෙ කියලත් ඔහුගේ කූඩාරමේ ඉන්න අනිත් අයට සලකන්න ඕනෙ කොහොමද කියලත් අපි බලනවා.

1. ගීතාවලිය 15:1-5 තියෙන තොරතුරු අපිට උදව් වෙන්නේ කොහොමද?

 කලින් ලිපියෙන් අපි බැලුවා යෙහෝවාට කැප වෙලා ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අයට ඔහුගේ කූඩාරමට ඇතුල් වෙන්න අවස්ථාව හම්බ වෙනවා කියලා. හැබැයි කොහොමද යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ? ඒකට උත්තරේ 15වෙනි ගීතිකාවේ තියෙනවා.—ගීතාවලිය 15:1-5 කියවන්න.

2. යෙහෝවාගේ කූඩාරම ගැන කතා කරද්දී දාවිත්ගේ මනසේ තියෙන්න ඇත්තේ මොකක්ද?

2 15වෙනි ගීතිකාව පටන්ගන්නේ “යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද? ඔබේ ශුද්ධ කන්දේ වාසය කිරීමට අවස්ථාව ලැබෙන්නේ කාටද” කියන ප්‍රශ්න දෙකත් එක්ක. (ගීතා. 15:1) යෙහෝවාගේ “කූඩාරම” ගැන කතා කරද්දී දාවිත්ගේ මනසේ තියෙන්න ඇත්තේ ගිබියොන්වල තිබුණ ශුද්ධ කූඩාරම වෙන්න ඇති. දාවිත් දෙවියන්ගේ “ශුද්ධ කන්ද” ගැනත් කතා කරනවා. සමහරවිට එයා කියන්න ඇත්තේ යෙරුසලමේ තිබුණ සියොන් කන්ද ගැන වෙන්න ඇති. ගිවිසුම් පෙට්ටිය තියන්න ස්ථිර තැනක් හදන කල් දාවිත් ඒක තාවකාලික කූඩාරමක තිබ්බා. ගිබියොන් ඉඳන් කි.මී. 10ක් විතර දකුණට වෙන්න තමයි ඒ කූඩාරම තිබුණේ.—2 සාමු. 6:17.

3. 15වෙනි ගීතිකාව අපි තේරුම්ගන්න ඕනෙ ඇයි? (පින්තූරයත් බලන්න.)

3 ඊශ්‍රායෙල්වරුන්ගෙන් වැඩිදෙනෙක් ශුද්ධ කූඩාරමේ කවදාවත් සේවේ කරලා නැහැ. ගිවිසුම් පෙට්ටිය තියලා තිබුණ කූඩාරම ඇතුළට ගිහින් තිබුණෙත් හරිම ටිකදෙනයි. හැබැයි යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් හැමෝටම ඔහුගේ සංකේතවත් කූඩාරමට ඇතුල් වෙලා ඔහුගේ යාළුවන් විදිහට හැමදාටම ඉන්න අවස්ථාව තියෙනවා. හැබැයි යෙහෝවාගේ යාළුවන් විදිහට හැමදාටම ඉන්න නම් අපි වර්ධනය කරගන්න ඕනෙ ගුණාංග මොනවාද? ඒ ගැන 15වෙනි ගීතිකාවේ තියෙනවා.

යෙහෝවාගේ කූඩාරමේ ඉන්නවා කියද්දී දාවිත්ගේ කාලේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ මනසේ ලස්සන පින්තූරයක් ඇඳුණා (3 ඡේදය බලන්න)


හරි දේ කරන්න, නිර්දෝෂ ජීවිතයක් ගත කරන්න

4. යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ බව්තීස්ම වෙන එක විතරක් නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද? (යෙසායා 48:1)

4 ගීතාවලිය 15:2 කියනවා දෙවියන්ගේ යාළුවෙක් “ධර්මිෂ්ඨකම් කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරනවා” කියලා. ඒක දිගටම කරන්න ඕනෙ දෙයක්. ඒත් අපි පව්කාරයන් නිසා අපිට පුළුවන්ද නිර්දෝෂ ජීවිතයක් ගත කරන්න? ඔව්, යෙහෝවා කියලා තියෙන දේවල්වලට කීකරු වෙන්න අපි උපරිමේ කරනවා නම් ඔහු අපිව සලකන්නේ ‘නිර්දෝෂ අය’ විදිහට. අපි ජීවිතේ දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙද්දී දෙවියන් එක්ක දිගු ගමනක් යන්න පටන්ගන්නවා විතරයි. හැබැයි දිගටම ඔහුගේ යාළුවෙක් වෙලා ඉන්න ඒ ආරම්භය විතරක් මදි. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරු දෙවියන්ට කැප වුණ ජාතියක්. හැබැයි එහෙමයි කියලා එයාලට ඉබේම දෙවියන්ගේ කූඩාරමට ඇතුල් වෙන්න ලැබුණේ නැහැ. මොකද සමහරු දෙවියන්ට කන්නලව් කළත් එයාලා එහෙම කළේ අවංකකමින්වත් ධර්මිෂ්ඨකමින්වත් නෙවෙයි. (යෙසායා 48:1 කියවන්න.) යෙහෝවාගේ කූඩාරමට ඇතුල් වෙන්න ඇත්තටම ආසාවක් තිබුණ ඊශ්‍රායෙල්වරයෙක් දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා ඉගෙනගෙන ඒවා පිළිපදින්න ඕනේ. අදත් එහෙමයි. කෙනෙක් බව්තීස්ම වෙලා සභාවත් එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කළා කියලා එයාව දෙවියන් පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට එයා දිගටම ධර්මිෂ්ඨ දේ, ඒ කියන්නේ හරි දේ කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ?

5. අපි හැම දේකදීම යෙහෝවාට කීකරුයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

5 රැස්වීම්වලට ගිහින් නමස්කාරයේ දේවල්වලට නිතිපතා හවුල් වුණා කියලා කෙනෙක් යෙහෝවා ඉස්සරහා ‘ධර්මිෂ්ඨ, නිර්දෝෂ ජීවිතයක් ගත කරනවා’ කියලා කියන්න බැහැ. (1 සාමු. 15:22) ඒ වෙනුවට අපි අපේ ජීවිතේ හැම කාරණයකදීම යෙහෝවාට කීකරු වෙන්න ඕනේ. අපි තනියම ඉද්දී පවා එහෙම කරන්න ඕනේ. (හිතෝ. 3:6; දේශ. 12:13, 14) එච්චර වැදගත් නැහැ කියලා හිතෙන දේවලදී පවා අපි කීකරු වෙන්න ඕනේ. එහෙම කරද්දී අපි පෙන්නනවා අපි යෙහෝවාට ඇත්තටම ආදරෙයි කියලා. ඒක දකිද්දී යෙහෝවාටත් අපි ගැන තියෙන ආදරේ වැඩි වෙනවා.—යොහ. 14:23; 1 යොහ. 5:3.

6. හෙබ්‍රෙව් 6:10-12 කියන විදිහට වැදගත් වෙන්නේ මොකක්ද? ඇයි එහෙම කියන්නේ?

6 අතීතයේ අපි යෙහෝවා වෙනුවෙන් කරපු දේවල් ඔහු ගොඩක් අගය කරනවා. හැබැයි ඔහුගේ කූඩාරමේ දිගටම ඉන්න නම් අපි අතීතයේ කරපු හොඳ දේවල් විතරක් මදි. ඒ කාරණය හෙබ්‍රෙව් 6:10-12 තියෙන දෙයින් හොඳට පැහැදිලි වෙනවා. (කියවන්න.) අපි අතීතයේ කරපු හොඳ දේවල් යෙහෝවා කවදාවත් අමතක කරන්නේ නැහැ. හැබැයි අපි “අවසානය දක්වාම” මුළු හදවතින්ම ඔහුට නමස්කාර කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. “අපි විඩාවට පත් වෙලා හෙම්බත් වෙන්නේ නැතුව” දිගටම එහෙම කරනවා නම් ඔහුගේ යාළුවෙක් විදිහට හැමදාටම ඉන්න පුළුවන්.—ගලා. 6:9.

හිතින් සත්‍යය කතා කරන්න

7. හිතින් සත්‍යය කතා කරනවා කියන්නේ මොකක්ද?

7 යෙහෝවාගේ කූඩාරමට ඇතුල් වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ‘හිතින් සත්‍යය කතා කරන්න’ ඕනේ. (ගීතා. 15:2) ඒ කියන්නේ නිකම්ම බොරු නොකියා ඉන්න එක විතරක් නෙවෙයි. අපි කියන කරන හැම දේකදීම අවංක වෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. (හෙබ්‍රෙ. 13:18) ‘මොකද වංක තැනැත්තා යෙහෝවා දෙවිට පිළිකුලක්. හැබැයි අවංක අයට ඔහු ළං වෙලා ඉන්නවා.’—හිතෝ. 3:32.

8. අපි ඈත් වෙන්න ඕනෙ කොයි විදිහට වැඩ කරන එකෙන්ද?

8 ‘හිතින් සත්‍යය කතා කරන’ කෙනෙක් කවදාවත් අනිත් අය ඉන්න තැන හරි දේ කරලා කවුරුත් නැති තැන දෙවියන්ගේ නීති කඩන්නේ නැහැ. (යෙසා. 29:13) එයා අනිත් අයව රවට්ටන්නේ නැහැ. අනිත් අයව රවට්ටන කෙනෙක් යෙහෝවාගේ සමහර නීති සැක කරන්න පෙලඹෙනවා. (යාකො. 1:5-8) එයා එයාට එච්චර වැදගත් නැහැ කියලා හිතෙන කාරණාවලදී දෙවියන්ට අකීකරු වෙලා වැඩ කරනවා. අකීකරු වුණාට එයාට කිසිම ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙන්නේ නැහැ කියලා පේද්දී එයා ඊට වඩා බරපතළ වැරදි කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ වැරදි කරකර එයා දිගටම යෙහෝවාට නමස්කාර කළත් ඔහු එයාගේ නමස්කාරය පිළිගන්නේ නැහැ.—දේශ. 8:11.

9. යේසුස්ට නතානියෙල්ව හම්බ වුණ මුල්ම අවස්ථාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (පින්තූරයත් බලන්න.)

9 හිතින් ඇත්ත කතා කරන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න අපි එක සිද්ධියක් බලමු. දවසක් ෆිලිප් එයාගේ යාළුවා වුණ නතානියෙල්ව යේසුස් ළඟට එක්කගෙන ආවා. මීට කලින් යේසුස්ට එයාව හම්බ වෙලා තිබුණේ නැති වුණත් ඔහු මෙහෙම කිව්වා. “මෙන්න, සැබෑ ඊශ්‍රායෙල් ජාතිකයෙක්. ඔහු තුළ කිසි වංචාවක් නැහැ.” (යොහ. 1:47) යේසුස්ගේ අනිත් ගෝලයෝ අවංකයි කියලා ඔහු දැනන් හිටියා. හැබැයි නතානියෙල්ගේ විශේෂත්වයක් ඔහු දැක්කා. නතානියෙලුත් පාපය උරුම කරගත්ත කෙනෙක්. හැබැයි එයා බොරුවට මවාපෑවේ නැහැ. එයාගේ හිතේ කිසිම වංචාවක් තිබුණේ නැහැ. යේසුස් ඒක ගොඩක් අගය කළා. අපි ගැනත් යේසුස් එහෙම දෙයක් කිව්වොත් අපිට කොච්චර සතුටක් දැනෙයිද?

ෆිලිප් එයාගේ යාළුවා නතානියෙල්ව යේසුස් ළඟට එක්කගෙන එනවා. නතානියෙල් කිසිම වංචාවක් නැති කෙනෙක්. යේසුස් අපි ගැනත් එහෙම කියයිද? (9 ඡේදය බලන්න)


10. අපි කතා කරන දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි? (යාකොබ් 1:26)

10 15වෙනි ගීතිකාවේ වැඩි හරියක්ම කතා කරලා තියෙන්නේ අපි අනිත් අයට සලකන්න ඕනෙ විදිහ ගැන. ගීතාවලිය 15:3 කියනවා යෙහෝවාගේ කූඩාරමේ ඉන්න කෙනෙක් “කේලම් කියන්නේ නැහැ. තමාගේ අසල්වැසියාට කිසි අයහපතක් කරන්නේ නැහැ. තමාගේ හිතවත් මිතුරා ගැන කටකතා පතුරවන්නේ නැහැ” කියලා. කතා කරන්න අපිට තියෙන හැකියාව අපි ඒ විදිහට පාවිච්චි කරනවා නම් අපි කරන්නේ අනිත් අයව රිද්දන එකයි. එහෙම අයට යෙහෝවාගේ කූඩාරමේ ඉඩක් නැහැ.—යාකොබ් 1:26 කියවන්න.

11. කිසිම ගාණක් නැතුව අනිත් අයගේ නම කැත කරන අයට කරන්නේ මොකක්ද?

11 කේලම් කියලා අනිත් අයගේ නම කැත කරන අය ගැන ගීතිකාකරු විශේෂයෙන්ම කතා කරලා තියෙනවා. ඒ වගේ කෙනෙක් තව කෙනෙක් ගැන බොරු කියලා එයාට අපහාස කරනවා. කිසිම ගාණක් නැතුව ඒ වගේ දේවල් කරන අයව සභාවෙන් ඉවත් කරනවා.—යෙරෙ. 17:10.

12-13. අපේ යාළුවන් ගැන කටකතා පතුරුවන්න අපි පෙලඹෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? (පින්තූරයත් බලන්න.)

12 ගීතාවලිය 15:3 අපිට කියනවා යෙහෝවාගේ කූඩාරමේ ඉන්න අය අසල්වැසියාට කිසි අයහපතක් කරන්නේ නැහැ, එයාලාගේ යාළුවන් ගැන කටකතා පතුරුවන්නේ නැහැ කියලා.

13 සමහරවිට අපි කෙනෙක් ගැන දෙයක් කියන්නේ එයාට අපහාස කරන්න හිතාගෙන නෙවෙයි. ඒත් අපි කියන දේ කටකතාවක් විදිහට පැතිරෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. මේ අවස්ථා බලන්න. (1) සහෝදරියක් පූර්ණකාලීන සේවේ නතර කරනවා. (2) යුවළක් බෙතෙල් එකෙන් යනවා. (3) සහෝදරයෙක් තවදුරටත් වැඩිමහල්ලෙක් නැත්නම් සහායක සේවකයෙක් විදිහට සේවේ කරන්නේ නැහැ. එහෙම වුණේ එයාලා මොකක් හරි වැරැද්දක් කරපු නිසා කියලා අපි කියන එක හරිද? ඒ වගේ වෙනසක් වෙන්න ගොඩක් දේවල් හේතු වෙන්න ඇති. ඒ හැම හේතුවක්ම අපි දන්නේ නැහැ. මේක මතක තියාගන්න. දෙවියන්ගේ කූඩාරමේ ඉන්න කෙනෙක් ‘අසල්වැසියාට අයහපතක් කරන්නෙවත් තමාගේ හිතවත් මිතුරා ගැන කටකතා පතුරුවන්නෙවත් නැහැ.’

තව කෙනෙක් ගැන වැරදි තොරතුරු පතුරුවන්න ලේසියි. හැබැයි ඒකෙන් එයාගේ නම කැත වෙනවා (11-13 ඡේද බලන්න)


යෙහෝවා ගැන ගරුබියක් ඇති අයට ගරු කරන්න

14. ‘පිළිකුල් ක්‍රියා කරන අයව ප්‍රතික්ෂේප කරනවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

14 ගීතාවලිය 15:4 කියනවා යෙහෝවාගේ යාළුවන් “පිළිකුල් ක්‍රියාවල යෙදෙන්නන්ව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා” කියලා. හැබැයි අපිට පේන දේට අනුව, අපි කැමති අකමැති දේට අනුව කෙනෙක් පිළිකුල් දේවල් කරනවාද නැද්ද කියලා තීරණය කරන්න අපිට බැහැ. මොකද අපි පව්කාරයන්. අපි ආස ගති තියෙන අයට අපි කොහොමත් කැමතියි. හැබැයි අපි ආස නැති දේවල් කරන, අපි ආස නැති ගති තියෙන අයට අපි කැමති නැහැ. එහෙමයි කියලා අපිට එයාලව ප්‍රතික්ෂේප කරන්න බැහැ. පිළිකුල් කියලා යෙහෝවා සලකන දේවල් කරන අයව විතරයි අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. (1 කොරි. 5:11) කිසිම පසුතැවිල්ලක් නැතුව දිගටම වැරදි කරන අයත් අපේ විශ්වාසයන්වලට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති අයත් අපේ විශ්වාසය දුර්වල කරන්න හදන අයත් ඒකට ඇතුළත්.—හිතෝ. 13:20.

15. ‘යෙහෝවා ගැන ගරුබියක් තියෙන අයට’ ගරු කරන්න පුළුවන් විදිහක් මොකක්ද?

15 ගීතාවලිය 15:4 ඊළඟට කියන්නේ “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට” ගරු කරන්න කියලයි. ඒ නිසා යෙහෝවාගේ යාළුවන්ට ආදරෙන්, කරුණාවෙන්, ගෞරවයෙන් සලකන්න අපි උපරිමේ කරනවා. (රෝම 12:10) ඒක කරන්න පුළුවන් එක විදිහක් ගැන ගීතාවලිය 15:4 මෙහෙම කියනවා. යෙහෝවාගේ කූඩාරමේ ඉන්න කෙනෙක් ‘තමන්ට පාඩුවක් වුණත් දීපු පොරොන්දු ඒ විදිහටම ඉටු කරනවා.’ ඇත්තටම අපි පොරොන්දුවක් කඩ කරනවා කියන්නේ තව කෙනෙක්ව රිද්දනවා කියන එකයි. (මතෙ. 5:37) යෙහෝවා බලාපොරොත්තු වෙනවා අපි විවාහ වෙන දවසේදී දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉටු කරයි කියලා. දෙමාපියන් එයාලාගේ දරුවන්ට දෙන පොරොන්දු එයාලා ඉටු කරයි කියලත් ඔහු බලාපොරොත්තු වෙනවා. දෙවියන්ටයි, අනිත් අයටයි තියෙන ආදරේ අපිව පොලඹවනවා අපි දෙයක් කිව්වොත් ඒක ඒ විදිහටම කරන්න.

16. යෙහෝවාගේ යාළුවන්ට ගෞරව කරන්න පුළුවන් තව විදිහක් මොකක්ද?

16 යෙහෝවාගේ යාළුවන්ට ගෞරවයෙන් සලකන්න පුළුවන් තව විදිහක් තමයි ආගන්තුක සත්කාරය පෙන්නලා එයාලා එක්ක දේවල් බෙදා හදා ගන්න එක. (රෝම 12:13) ආගන්තුක සත්කාරය පෙන්නද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවාව. ඒ නිසා රැස්වීම්වලදී, සේවේදී විතරක් නෙවෙයි අනිත් වෙලාවලදීත් අපේ සහෝදර සහෝදරියන් එක්ක කාලේ ගත කරන එකෙන් අපිට පුළුවන් එයාලට තව ළං වෙන්න. එහෙම කරද්දී අපි යෙහෝවාටත් තව ළං වෙනවා.

සල්ලි ලොකු කරගන්න එපා

17. 15වෙනි ගීතිකාවේ සල්ලි ගැන කතා කරලා තියෙන්නේ ඇයි?

17 ගීතිකාකරු ඊළඟට කියනවා යෙහෝවාගේ කූඩාරමේ ඉන්න කෙනෙක් “ණයකරුවන්ගෙන් පොලී අය නොකරයි. අහිංසක කෙනෙකුට විරුද්ධව අසාධාරණයක් සිදු කිරීමට ඔහු කිසිවිටෙක අල්ලසක් නොගනියි” කියලා. (ගීතා. 15:5) මේ වගේ කෙටි ගීතිකාවක සල්ලි ගැන කතා කරන්නේ ඇයි? මොකද අපි සල්ලිවලට ආදරේ කරන්න ගියොත් අනිත් අයටයි, යෙහෝවාටයි තියෙන ආදරේ නැති වෙලා යනවා. (1 තිමෝ. 6:10) ඒ කාලේ හිටපු සමහරු දුප්පත් සහෝදරයන්ට ණයට දීලා දීපු ගාණට වඩා ලොකු ගාණක් පොලී අය කළා. විනිශ්චයකරුවන් අල්ලස් අරගෙන අහිංසක අයට අසාධාරණ තීන්දු දුන්නා. ඒ වගේ අයට යෙහෝවා පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ.—එස. 22:12.

18. සල්ලිවලට දීලා තියෙන තැන දැනගන්න අපෙන්ම අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? (හෙබ්‍රෙව් 13:5)

18 අපේ ජීවිතේ සල්ලිවලට දීලා තියෙන තැන දැනගන්න අපි නිතර නිතර අපිවම සෝදිසි කරන්න ඕනේ. ඒකට මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං නිතරම හිතන්නේ සල්ලි ගැනයි, ඒකෙන් ගන්න පුළුවන් දේවල් ගැනයිද? කෙනෙක්ගෙන් මං කීයක් හරි ඉල්ලගත්තොත් “එයාට ඕනෙ තරම් තියෙනවා” කියලා හිතලා ඒක ආපහු දෙන්න පරක්කු කරනවාද? සල්ලි තියෙද්දී මං වැදගත් කෙනෙක් කියලා හිතනවාද? අනිත් අය වෙනුවෙන් වියදම් කරන්න මං ලෝභයිද? සල්ලි බාගේ තියෙන සහෝදරයෙක්ව දැක්කාම එයා සල්ලි පස්සේ යන කෙනෙක් කියලා හිතන්න මං ඉක්මන් වෙනවාද? මං ළං වෙන්නේ සල්ලි තියෙන අයටද? දුප්පත් අයව මං එච්චර ගණන් ගන්නේ නැද්ද?’ සල්ලිවලට ආදරේ කරන කෙනෙක්ට යෙහෝවාගේ කූඩාරමේ දිගටම ඉන්න බැහැ. අපි සල්ලිවලට හරි තැන දුන්නොත් යෙහෝවා අපිව කවදාවත් අත්හරින්නේ නැහැ!—හෙබ්‍රෙව් 13:5 කියවන්න.

යෙහෝවා ඔහුගේ යාළුවන්ට ආදරෙයි

19. ගීතාවලිය 15 තියෙන හැම දෙයක්ම කරන්න කියලා යෙහෝවා අපිට කියන්නේ ඇයි?

19 15වෙනි ගීතිකාව ඉවර වෙන්නේ මේ පොරොන්දුවත් එක්ක. ‘ඒ වගේ කෙනෙක් කවදාවත් වැටෙන්නේ නැහැ.’ (ගීතා. 15:5) ඒ ගීතිකාවේ තියෙන හැම දෙයක්ම අපි කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙන හේතුව ඒකෙන් තේරෙනවා. ඔහුට ඕනෙ අපි සතුටින් ඉන්නවා දකින්න. දෙවියන් අපිට කියන දේවල් අපි කරද්දී අපේ ජීවිත සාර්ථක වෙනවා. ඔහු අපිව ආරක්ෂා කරනවා.—යෙසා. 48:17.

20. යෙහෝවාගේ යාළුවන්ගේ අනාගතය මොන වගේද?

20 යෙහෝවාගේ කූඩාරමේ ඉන්න අය ඉස්සරහා තියෙන්නේ හරිම ලස්සන අනාගතයක්. විශ්වාසවන්ත අභිෂේක ලත් අයට ස්වර්ගයේ යේසුස් එයාලා වෙනුවෙන් ‘සූදානම් කරපු ස්ථානවල’ ඉන්න ලැබෙනවා. (යොහ. 14:2) පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට එළිදරව් 21:3 තියෙන පොරොන්දුව අද්දකින්න ලැබෙනවා. යෙහෝවාගේ කූඩාරමට ඇතුල් වෙලා ඔහුගේ යාළුවෙක් විදිහට සදහටම ඉන්න ලැබෙන එක ලොකු ගෞරවයක් නෙවෙයිද?

ගීතිකාව 39 දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගන්න