Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

2002 සිට 2013 දක්වා මෑත කාලයේදී සිදු වූ වර්ධනය (1වෙනි කොටස)

2002 සිට 2013 දක්වා මෑත කාලයේදී සිදු වූ වර්ධනය (1වෙනි කොටස)

“යෙහෝවා දෙවියනි, ඔබට ස්තුතියි!”

යුද්ධය නතර වූ පසු සහෝදර සහෝදරියන් තම ගම්බිම්වලට නැවත ගියා. කලින් සභාවන් තිබූ තැන්වල නැවතත් රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. එක් පළාතක සිටි විශේෂ පුරෝගාමීන් කිහිපදෙනෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “පවත්වපු පළවෙනි රැස්වීමට 16දෙනෙක් ආවා. ඊළඟ රැස්වීමට 36ක්, ඊටපස්සේ 56ක් ආවා. සිහි කිරීමට 77දෙනෙක් ආවා. අපිට දැනුණේ ලොකු සතුටක්.” අලුතින් ඇති වුණ සභා 9ත් සමඟ මුළු සභා ගණන 24 දක්වා වැඩි වුණා. දේශනා සේවයට නව පණක් ලබා දීමට අලුතින් ගිලියද් මිෂනාරිවරුන් 10දෙනෙක් පැමිණියා. 2004 සිහි කිරීමට 7,594දෙනෙක් පැමිණි අතර එය සියරා ලියොන්වල සිටින ප්‍රචාරකයන්ගේ ගණන මෙන් පස් ගුණයක්. ගිනියාවේත් ඒ හා සමාන වර්ධනයක් සිදු වුණා.

අවතැන් වූ සහෝදරයන්ට නැවතත් ගෙවල් දොරවල් හා නමස්කාර මධ්‍යස්ථාන හදාගැනීමට උපකාර කරන්න පාලක මණ්ඩලය ඉක්මනින්ම පියවර ගත්තා. (යාකො. 2:15, 16) ස්වේච්ඡා සේවකයන් කෝයින්ඩු නගරයේ නමස්කාර මධ්‍යස්ථාන 12ක් සහ සමුළු ශාලාවක් අලුත්වැඩියා කරන්නත් ගොඩනඟන්නත් ඉදිරිපත් වුණා. නිවාස අහිමි වූ සහෝදරයන්ට ගෙවල් 42ක්ද හදලා දුන්නා. තහඩු සෙවිලි කළ නිවසක් ලැබුණු අවුරුදු 70ක වැන්දඹු සහෝදරියක් කඳුළු පිරුණු දෑසින් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබට ස්තුතියි! සහෝදරයෙනි, ඔයාලටත් ගොඩක් ස්තුතියි.”

සීමිත සම්පත් ඇති රටවල නමස්කාර මධ්‍යස්ථාන ගොඩනඟන්න වෙන් කළ සම්මාදම් යොදාගෙන ශාඛා කාර්යාලය අලුතින් ශාලා ගොඩනඟන්න පියවර ගත්තා. බටහිර බෝ සභාවේ වැඩිමහල්ලෙක් සහ පුරෝගාමියෙක් වන සයිඩු ජුආනා මෙහෙම කිව්වා. “‘අපිට රැස්වීම් තියන්න අලුත් ශාලාවක් ලැබෙනවා කියලා මට අහන්න ලැබුණු දාට මම උඩ පැන පැන අත්පුඩි ගහනවා’ කියලා එක සහෝදරියක් මට කිව්වා. රැස්වීම් ශාලාවක් ලැබෙනවා කියලා නිවේදනය කරපු වේලාවේ කිව්වා වගේම ඒ සහෝදරී පුටුවෙන් නැඟිටලා, උඩ පැනපැන අත්පුඩි ගැහුවා.”

2010දී වෝටර්ලූ සභාවේ නමස්කාර මධ්‍යස්ථානය කැප කළා. එය 800කට අසුන් ගත හැකි සමුළු ශාලාවක් විදිහටත් භාවිත කරන්න පුළුවන්. ඒ ඉඩම මිල දී ගන්න ගිය අවස්ථාවේදී ඊට වඩා වැඩි මුදලකට පුද්ගලයෙක් ඉඩම ගන්න කැමති වුණත් ඒ ඉඩම අයිති කාන්තාව කිව්වේ, “මේ ඉඩම ව්‍යාපාර කටයුත්තක් සඳහා පාවිච්චි කරනවාට වඩා ආගමික වැඩක් සඳහා යොදවනවාට මම කැමතියි” කියලයි.

සීමිත සම්පත් ඇති රටවල නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟීමේ ව්‍යාපෘතිය යටතේ සියරා ලියොන් රටේ නමස්කාර මධ්‍යස්ථාන 17ක්ද ගිනියාවේ 6ක්ද ගොඩනැඟුවා. අලුතින් තැනූ මේ නමස්කාර මධ්‍යස්ථාන නිසා රැස්වීමට එන සංඛ්‍යාවත් ඉහළ ගියා.

නැති වූ බැටළුවන් සෙවීම

දේශනා සේවය සඳහා උනන්දුව වැඩි වෙද්දී ශාඛා කාර්යාලය මාස දෙකක් පුරා නිතර සේවය නොකරන පළාත්වල සේවය කරන්න සැලසුම් කළා. මේ සේවයට හවුල් වුණු ප්‍රචාරකයන්ට පොත් 15,000ක් බෙදා දෙන්නත් දිරිගන්වනසුලු අද්දැකීම් ලබාගන්නත් හැකි වුණා. ඒ පළාත්වල රැස්වීම් තියෙනවාද කියලා උනන්දුව දක්වපු සමහර අය ඇහුව්වා. ඒ නිසා කාලයක් යද්දී අලුතින් සභා දෙකක් ආරම්භ කළා. යුද්ධය නිසා නිවෙස් අත්හැර යන්න සිදු වුණු සහෝදරියන් දෙදෙනෙක්වත් ඒ පළාතේදී සහෝදරයන්ට මුණගැහුණා. සහෝදරයන් ඉක්මනින්ම ඒ ගමේ රැස්වීම් පැවැත්වීමට සැලසුම් කළ අතර බයිබල් පාඩම් කිහිපයක්ද ආරම්භ කළා.

2009දී ගිනියාවේ කැලෑබද ප්‍රදේශයක සාක්ෂිකරුවන් පිරිසක් සිටිනවා කියලා ශාඛා කාර්යාලයට දැනගන්න ලැබුණු නිසා ඒ ගැන සොයා බැලීමට සහෝදරයන්ව යැව්වා. එහිදී දැනගන්න ලැබුණේ රැකියාවෙන් විශ්‍රාම ගිය මහලු සහෝදරයෙක් ඔහුගේ ගම වන ඒ පළාතට නැවත පදිංචියට ඇවිත් තිබුණා කියලයි. ඔහු මිය යන්න කලින් කිහිපදෙනෙක් සමඟ බයිබලය පාඩම් කර තිබුණා. ඉන් එක්කෙනෙක්, ඔහු ඉගෙනගත් දේවල් අනිත් අයට කියා දී තිබෙන අතර මිය ගිය සහෝදරයාගේ පොත් පත් යොදාගෙන රැස්වීම්ද පවත්වා තිබෙනවා. අපේ සහෝදරයෙකුට එම කුඩා කණ්ඩායම මුණ ගැහෙන්න කලින් ඔවුන් අවුරුදු 20ක් පුරා රැස්වීම් පවත්වා තිබෙනවා. ශාඛා කාර්යාලයෙන් ඔවුන්ට උදව් කරන්න පියවර ගත්තා. 2012දී එම ගමේ පැවැත්වූ සිහි කිරීමට 172ක් පැමිණියා.

මෑත කාලයෙදී සත්‍ය නමස්කාරයෙන් ඈත් වූ සහ සභා ඇසුරෙන් කපාහැර තිබූ නැති වූ බැටළුවන් බොහෝදෙනෙක් නැවතත් සොයාගැනීමට හැකි වී තිබෙනවා. තම වැරදි හදාගෙන නැවත ආ ඔවුන්ව දෙවිගේ සෙනඟ පිළිගත්තේ හද පිරි සතුටින්.—ලූක් 15:11-24.

සත්‍යය පිළිගත් මුස්ලිම් ජාතිකයන්

නියෝජිත පාවුල් ශුභාරංචිය අන් අයට කියා දෙන විට ‘ඒ ඒ අයට ගැළපෙන අයුරින් කටයුතු කළා.’ (1 කොරි. 9:22, 23) ඒ හා සමානව සියරා ලියොන් සහ ගිනියාවේ සිටින සාක්ෂිකරුවන්ද ඒ රටවල ජීවත් වන අයට ගැළපෙන විදිහට දේශනා කරනවා. ප්‍රචාරකයන් ඒ රටවල වෙසෙන මුස්ලිම් ජනයාට දේශනා කරන විදිහ සලකා බලන්න.

කලින් මුස්ලිම් භක්තිකයෙකුව සිටි සයිඩු ජුආනා මෙහෙම කිව්වා. “ආදම්ව හැදුවේ දූවිල්ලෙන් කියලා මුස්ලිම් භක්තිකයන් විශ්වාස කරනවා. නමුත් ආදම් මුලින්ම ජීවත් වුණේ ස්වර්ගීක පාරාදීසයක කියලයි එයාලා හිතන්නේ. එයාලට හරි දේ පැහැදිලා කරලා දෙන්න ‘දූවිලි කොහේද තියෙන්නේ’ කියලා මං එයාලගෙන් අහනවා.

“‘පොළොවේ’ කියල එයාලා උත්තර දෙනවා.

“‘එහෙමනම් ආදම් ඉන්න ඇත්තේ කොහේද?’ කියලා මං අහනවා.

“‘පොළොවේ’ කියලා එයාලා එතකොට උත්තර දෙනවා.

“ඊටපස්සේ මං උත්පත්ති 1:27, 28 කියවලා අහනවා ‘ස්වර්ගයේ ඉන්න අයට ළමයි හම්බ වෙනවද’ කියලා.

“‘නෑ. දේවදූතයන් ගැහැනු පිරිමි කියලා භේදයක් නැහැ’ කියලා එයාලා කියනවා.

“‘එහෙමනම් ආදම් සහ ඒවට දරුවෝ හදන්න කියලා දෙවියන් කියද්දී, එයාලා ඉන්න ඇත්තේ කොහේද?’ කියලා අහනවා.

“‘පොළොවේ’ කියලා එයාලා කියනවා.

“‘එහෙමනම් දෙවියන් නැවත පාරාදීසයක් ඇති කරද්දී ඒක තියෙන්නේ කොහේද?’ කියලා මං අහනවා.

“‘මේ පොළොවේ’ කියලා එයාලා කියනවා.”

සයිඩු තවදුරටත් මෙහෙම කිව්වා. “මේ විදිහට බයිබලයෙන් කරුණු තර්කානුකූලව පෙන්වලා දෙද්දී අවංක හදවත් තියෙන මුස්ලිම් අය සත්‍යය පිළිගන්නවා.”

වෙළඳසැල් හිමියෙක් වන මොමොගේ අද්දැකීම සලකා බලන්න. ඔහු කලින් මුස්ලිම් භක්තිකයෙක්. පල්ලියේ පූජකයෙක් වීමටත් බලාපොරොත්තුවෙන් හිටියා. සාක්ෂිකරුවන් බයිබලයෙන් කාරණා පහදා දෙද්දී ඔහුට තවත් තොරතුරු දැනගන්න ඕන වුණා. ඔහු සමුළුවකටත් සහභාගි වුණා. ඒ සමුළුවේදී අහන්න ලැබුණු කතා ඔහුගේ සිතට කොයි තරම් කාවැදුණාද කියනවා නම් ඉන් දවස් හතරකට පසු පැවැත්වූ සිහි කිරීමට ඔහුත් බිරිඳත් දරුවන් පස්දෙනාත් පැමිණියා. ඉන්පසු ඔහු බයිබලය උනන්දුවෙන් ඉගෙනගත්තා. පාඩම් කිහිපයක් කළ පසු ඔහුගේ වෙළඳ සැලේ දුම්වැටි විකිණීම නතර කළා. දුම් බීම සෞඛ්‍යයට අහිතකරයි කියලත් දෙවියන් එයට අකමැතියි කියලත් වෙළඳසැලට එන අයට ඔහු කිව්වා. ඔහු වෙළඳසැලේදී බිරිඳට සහ දරුවන්ට බයිබල් පාඩමක් කළා. ඒ වෙලාවට කවුරු හරි බඩුගන්න ආවොත් පාඩම ඔහුට වැදගත් කියලත් ඒ පාඩම අවසන් වෙනතුරු ඉඳගෙන ඉන්න කියලත් ඔහු කියනවා. කාලයක් ගිය පසු ඔහුත් ඔහුගේ බිරිඳත් තම විවාහය ලියාපදිංචි කළා. ඔවුන්ගේ පවුල්වල අය තදින්ම විරුද්ධ වුණත් මොමො සහ ඔහුගේ බිරිඳ ඔවුන්ටත් දේශනා කළා. පසු කාලයකදී ඔවුන්ගේ ඥාතීන්ද ඔවුන්ගේ යහපත් හැසිරීම අගය කළා. මොමො 2008දී බව්තීස්ම වූ අතර ඔහුගේ බිරිඳ 2011දී බව්තීස්ම වුණා.

රුධිරය පරිශුද්ධ දෙයක් ලෙස සැලකීම

යෙහෝවා දෙවිගේ සෙනඟ ජීවත් වෙන්නේ දෙවිගේ ප්‍රමිතිවලට එකඟවයි. එයට රුධිරය සම්බන්ධ දෙවිගේ නීතියත් ඇතුළත්. (ක්‍රියා 15:29) රුධිරය සම්බන්ධයෙන් ඔවුන් ගෙන තිබූ ස්ථාවරයට සියරා ලියොන් සහ ගිනියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහෝදෙනෙක්ගේ සහාය ලැබුණා.

රෝහලේ සිටින සහෝදරියක්ව සනසමින්

1978දී ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහ රුධිරය පිළිබඳ ගැටලුව’ ( Jehovah’s Witnesses and the Question of Blood) යන කුඩා පොත සහෝදරයන් විසින් සියරා ලියොන්හි සිටින වෛද්‍යවරුන්ට, හෙදියන්ට, රෝහල් බලධාරීන්ට, නීතිඥයන්ට සහ විනිශ්චයකරුවන්ට බෙදා දුන්නා. ඒ කාලයේදීම වගේ දරුවෙක් ලැබෙන්න හිටිය සහෝදරියකට අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වුණා. රුධිරය නොමැතිව ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු අකමැති වුණා. නමුත් එක් වෛද්‍යවරයෙක් ඒ පොතේ පැහැදිලි කර තිබූ තොරතුරු කියවා තිබුණ නිසා ඇයට ප්‍රතිකාර කරන්න කැමති වුණා. ඇය නිරෝගී පුතෙකුව බිහි කළ අතර ඇයත් සුවය ලැබුවා.

1991දී කෙන්එමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් වන බාෂිරු කුරුමා ‘ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද?’ යන සඟරාව කියවා එහි තොරතුරු ගැන පැහැදී බයිබලය පාඩම් කරන්නත් රැස්වීම් එන්නත් පටන්ගත්තා. එක් අවස්ථාවක අනතුරකින් ප්ලීහාවට හානි වූ සාක්ෂිකාර පිරිමි ළමයෙක්ට රුධිරය නැතුව සැත්කමක් කිරීමට වෛද්‍යවරු අකමැති වුණා. ‘දරුවාව ගෙදර ගෙනියලා, මැරෙනකල් බලන් ඉන්න’ කියලා ඔවුන් දෙමාපියන්ට කිව්වා. ඒත් දෙමාපියන් දරුවාව වෛද්‍ය කුරුමා ළඟට ගෙන ගිය විට ඔහු සාර්ථකව සැත්කම සිදු කළා.

වැඩි කල් යන්න කලින් වෛද්‍ය කුරුමා අපේ සහෝදරයෙක් වුණා. ඒ වගේම ඔහු දිගටම රුධිරය නොමැතිව ප්‍රතිකාර කළා. අනික් වෛද්‍යවරු ඔහුව විවේචනය කළත් ඔහුගේ රෝගීන් අනිත් රෝගීන්ට වඩා ඉක්මන් සුවයක් ලැබුවා. පසු කාලයකදී ඔහු සමඟ වැඩ කළ සමහර වෛද්‍යවරු සංකීර්ණ සැත්කම් සඳහා ඔහුගේ සහාය පැතුවා.

1994දී ෆ්‍රීටවුන් ශාඛා කාර්යාලයේ රෝහල් තොරතුරු සැපයුම් සේවා අංශය විසින් සියරා ලියොන් සහ ගිනියාවේ රෝහල් සබඳතා කමිටු පිහිටෙව්වා. මේ කමිටුවල සහෝදරයන් රෝගාතුර වූ සාක්ෂිකරුවන් හුඟදෙනෙකුට උපකාර කර තිබෙන අතර වෛද්‍යවරුන් බොහෝදෙනෙකුගේ සහාය ලබාගැනීමටත් සමත් වී තිබෙනවා.