Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

1915 සිට 1947 දක්වා මුල් කාලය (3වෙනි කොටස)

1915 සිට 1947 දක්වා මුල් කාලය (3වෙනි කොටස)

සත්‍යය දසත පැතිරෙයි

සත්‍යය අන් අයට කියා දෙන්න ෆ්‍රීටවුන් සභාවේ සිටි අය තුළ තිබූ ආශාව නිසා ඔවුන් “වෙහෙස මහන්සි නොබලා ඉතා උද්‍යෝගයෙන් දෙවිගේ පණිවිඩය ගැන” කතා කළා. (ක්‍රියා 18:5) ඒ ගැන සහෝදර ඇල්ෆ්‍රඩ් ජෝසෆ් මෙහෙම කියනවා. “මම නිතරම ලොකු පොත් පෙට්ටියක් මෝටර් සයිකලේ බැඳගෙන සහෝදර සිල්වෙස්ට හරි තෝමස් එක්ක හරි ෆ්‍රීටවුන් නගරය අවට තිබුණු පිටිසර පැතිවලට ගිහින් දේශනා කළා.”

1927 වෙනතුරුම දේශනා කර තිබුණේ ෆ්‍රීටවුන් නගරයේ සහ ඒ අවට ද කොලනි කියන පළාතේ පමණයි. නමුත් 1928 සිට සෑම අවුරුද්දකම වැහි කාලය පටන්ගන්න කලින් සභාවේ අය බස් රථයක් කුලියට අරන් දුර ඈත පළාත්වලට ගිහින් දේශනා කළා. ඒ ගමන නොගිය අය මුදලින් සම්මාදම් කළා. මෙය සංවිධානය කළේ මෙල්බන් ගාබර්. ඔවුන් කයිලාහුන් ප්‍රදේශයේ සහ දකුණු ලයිබීරියා මායිම අවට තිබුණු නගර සහ ගම්මානවල දේශනා කළා. ඉන්පසු හැම මාසෙම පළවෙනි ඉරිදා උනන්දුව දැක්වූ අයව නැවත බලන්න ගියා.

ඒ කාලයේදීම සහෝදර බ්‍රවුන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ගියා. ඔහු නැවත එද්දී ශබ්ද විකාශන යන්ත්‍ර සවි කළ මෝටර් රථයක්ද රැගෙන ආවා. එය සියරා ලියොන්වලට ගෙන ආ පළමු මෝටර් රථවලින් එකක්. ඔහු මිනිසුන් ගැවසෙන ස්ථානයක මෝටර් රථය නවතා මුලින්ම මියුරු සංගීතයක් වාදනය කළා. එයට සවන් දෙන්න සෙනඟ රැස් වුණාම ඔහු විසින් දෙන කෙටි දේශනයක් හෝ පටිගත කළ දේශනයක් ඉදිරිපත් කළා. ඉන්පසු පොත් පත් ලබාගන්න කියා ආරාධනා කළා. “කතා කරන කාර් එක” කියා හැඳින්වූ සහෝදර බ්‍රවුන්ගේ මෝටර් රථය වටා මිනිස්සු රොක් වුණේ හරිම ආශාවෙන්.

නිර්භීතව සාක්ෂි දරමින්

මීළඟට සහෝදර බ්‍රවුන්ගේ අවදානය යොමු වුණේ බටහිර අප්‍රිකාවේ ඉංග්‍රීසි භාෂාව කතා කරන ජනයා වෙතටයි. ඒ නිසා 1920ගණන්වල අගභාගයේදී ඔහු ගැම්බියාව, ඝානාව, ලයිබීරියාව සහ නයිජීරියාව යන රටවල දේශනා කරන්න ගියා. ඒ හැම රටකම උනන්දුව දැක්වූ අය සිටියත් නයිජීරියාව දේශනා සේවයට කදිම තෝතැන්නක් කියා ඔහුට තේරුණා. ඔහු 1930දී පවුලේ අයත් සමඟ නයිජීරියාවේ ලාගෝස් නගරයේ පදිංචියට ගියා. එහි සිට ඔහු බටහිර අප්‍රිකාවේ දේශනා සේවයේ වැඩකටයුතු අධීක්ෂණය කළා.

බටහිර අප්‍රිකාවේ සාක්ෂිකරුවන් 5,00,000කට වඩා දෙවිට සේවය කරනවා

බටහිර අප්‍රිකාවේ අනගි සේවයක් කළ සහෝදර බ්‍රවුන් 1950දී ජැමෙයිකාවට ගියේ දුර්වල සෞඛ්‍ය තත්වය නිසයි. ඔහුත් ඔහුගේ බිරිඳත් වසර 27ක් පුරා බටහිර අප්‍රිකාවේ සේවය කළ කාලයේදී සාක්ෂිකරුවන්ගේ ගණන 2 සිට 11,000 ඉක්මවා වර්ධනය වන ආකාරය දැක්කා. “කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි” කියා යෙසායා කියූ අනාවැකි වදන් ඔවුන්ගේ ඇස් ඉදිරියේම ඉටු වුණා. (යෙසා. 60:22) මේ වන විට බටහිර අප්‍රිකාවේ සාක්ෂිකරුවන් 5,00,000කට වඩා දෙවිට සේවය කරනවා.

තහනම යටතේ නොසැලී

දෙවන ලෝක යුද්ධ කාලයේදී සියරා ලියොන්හි සාක්ෂිකරුවන් හමුදා සේවය ප්‍රතික්ෂේප කරමින් දෙවිට විශ්වාසවන්තව සිටියා. (මීකා 4:3; යොහ. 18:36) ඒ නිසා ඔවුන්ව ආණ්ඩු විරෝධීන් ලෙස හංවඩු ගැසූ අතර ඔවුන් කරන කියන හැම දෙයක් ගැනම රජය සෝදිසියෙන් සිටියා. ඒ වගේම අපේ ප්‍රකාශනත් තහනම් කළා. එක් අවස්ථාවක නැවෙන් ගෙනා පොත් තොගයක් රේගු නිලධාරීන් ගිනි තබා විනාශ කළා. පොත් පත් ළඟ තබාගෙන සිටි සමහර සහෝදරයන්ව අත්අඩංගුවට ගෙන ටික දවසකින් ඔවුන්ව නිදහස් කළා. *

තහනම යටතෙත් සාක්ෂිකරුවන් දේශනා සේවය නතර කළේ නැහැ. සහෝදරී පෝලීන් කෝල් ඒ ගැන මෙහෙම කිව්වා. “නැවක වැඩ කළ සහෝදරයෙක් නිතරම අපිට ‘මුරටැඹ’ සඟරා ගෙනත් දුන්නා. අපි රැස්වීමට පාවිච්චි කරන්න ඒවායින් පිටපත් හදාගත්තා. ඒ වගේම බයිබල් පණිවිඩය ඇතුළත් පත්‍රිකාත් අපි මුද්‍රණය කරලා මිනිස්සු අතරේ බෙදා දුන්නා. සහෝදරයෝ පිට ගම්වලට ගිහින් බයිබල් දේශන දුන්නා. සහෝදර රදෆර්ඩ්ගේ පටිගත කරපු දේශනත් වාදනය කළා.”

සහෝදරයන් දැරූ වෙහෙසට දෙවිගේ ආශීර්වාදය නොඅඩුව ලැබුණා. ඒ ගැන වැඩිමහල්ලෙක් සහ විශේෂ පුරෝගාමියෙක් ලෙස බොහෝ කාලයක් සේවය කළ සහෝදර ජේම්ස් ජැරෙට් මෙහෙම සිහි කළා. “යුද්දෙ කාලෙදි මම කළේ ගල් කඩන රස්සාව. දවසක් සහෝදරියක් මට පොඩි පොතක් දුන්නා. ඒකෙ මාතෘකාව දැක්කම මට ඒක කියවන්න ආස හිතුණා. එදා රෑම ඒ පොත කියවද්දී මට තේරුණා මේක තමයි සත්‍යය කියලා. පහුවදාම මම ඒ සහෝදරියව හොයාගෙන ගිහින්, මගේ අයියටයි මල්ලිලාටයි පොත් ඉල්ලගත්තා. අපි හතරදෙනාම සත්‍යය දැනගත්තේ ඒ විදිහටයි.”

1945දී යුද්ධය අවසන් වෙනකොට ෆ්‍රීටවුන් සභාවේ ප්‍රචාරකයන් 32ක් සිටියා. ඒ කාලය පුරාම විශ්වාසවන්තව සේවය කරමින් සිටි ඔවුන්ගේ එකම ආශාව වුණේ සේවයේ වැඩි වැඩියෙන් හවුල් වීමයි.

අලුත් සැලැස්මක්

1945 අගෝස්තු 29වෙනිදා පැවැත්වූ සේවා රැස්වීමේදී කලින් වසරේ සංවිධානය මගින් දැනුම් දුන් අලුත් සැලැස්මක් ගැන සාකච්ඡා කළා. ඒ සැලැස්මට අනුව තම සභාවට අයත් ප්‍රදේශයේ සෑම නගරයකටම සහ ගමකටම ගිහින් රැස්වීම් 4ක් පැවැත් විය යුතු වුණා. හැම රැස්වීමකදීම සේවා පාසැලෙන් පුහුණුව ලැබූ සහෝදරයෙක් පැයක දේශනයක් ඉදිරිපත් කළ යුතු වුණා. 4වෙනි රැස්වීමට පසුව උනන්දුව දැක්වූ පුද්ගලයන්ට බයිබලය උගන්වන්න කුඩා කණ්ඩායම් සැලසුම් කිරීමත් ඊට ඇතුළත් වුණා.

ප්‍රචාරකයන් මේ අලුත් සැලැස්මට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? එදින ෆ්‍රීටවුන් සභාවේ සේවා රැස්වීමට පැමිණි අය අදහස් දැක්වූ ආකාරය මෙසේ වාර්තා වී තිබුණා.

සභාපති: “මේ අලුත් සැලැස්ම ගැන ඔයාලගේ අදහස මොකක්ද?”

1වෙනි සහෝදරයා: “ඇමරිකාවේ ඒක සාර්ථක වුණාට මෙහේ ඕක හරියයිද දන්නේ නැහැ.”

2වෙනි සහෝදරයා: “මටත් ඒක හිතුණා.”

3වෙනි සහෝදරයා: “ඒත් අපි උත්සාහ කරලා බලමු.”

4වෙනි සහෝදරයා: “ලේසි වෙන එකකුත් නැහැ.”

5වෙනි සහෝදරයා: “හැබැයි මේක දෙවිගේ සංවිධානෙන් ලැබුණ මඟ පෙන්වීමක් නිසා අපි ඒක කරන්න ඕනේ.”

6වෙනි සහෝදරයා: “මං හිතන්නෑ මේක අපේ රටේ නං සාර්ථක වෙයි කියලා.”

1වෙනි සහෝදරිය: “කොහොම වුණත් අපි කරන්න ඕනෙ දීලා තියෙන මඟ පෙන්වීමට කීකරු වෙන එක. ඒ නිසා කරලා බලමු!”

ඔවුන් ඒ විදිහට කළා. ෆ්‍රීටවුන් සිට බෝ නගරය දක්වාත් කබාලා නගරය දක්වාත් ඇති ප්‍රදේශවල රැස්වීම් පැවැත්වූවා. ඒ සඳහා ඔවුන් පාසැල් ගොඩනැඟිලි, වෙළඳ පොළවල් සහ නිවාස යොදාගත්තා. මේ සැලැස්ම නිසා සභාවේ අය තුළ දේශනා සේවය සඳහා උනන්දුවක් ඇති වුණා වගේම ‘යෙහෝවා දෙවිගේ පණිවිඩය සියලුදෙනා අතරේ දිගටම පැතිර ගියා.’—ක්‍රියා 12:24.

ඒ වුණත් ප්‍රචාරකයන්ට සංවිධානයේ වැඩකටයුතු කරන ආකාරය ගැන පුහුණුවක් අවශ්‍ය වුණා. යෙහෝවා දෙවි ඔවුන්ට ඒ පුහුණුවත් ලබා දුන්නා.

^ 10 ඡේ. 1948දී තහනම ඉවත් කළා.