Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (2වෙනි කොටස)

1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (2වෙනි කොටස)

විවාහය සම්බන්ධයෙන් දෙවිගේ සැලැස්මට ඔවුන් ගරු කළා

සමහර සහෝදරයන් විවාහය සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිති රකින්නේ නැහැයි කියා කාලයක් යන විට සහෝදර නුෂීට තේරුණා. සමහර යුවළයන් එකට ජීවත් වුණේ නීත්‍යානුකූලව විවාහ වෙන්නේ නැතුවයි. තවත් අය දරුවෙක් ලැබෙන තුරු විවාහය කල් දැමුවා.

1953 මැයි මාසයේදී විවාහය සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන ප්‍රමිති පැහැදිලි කරමින් ශාඛා කාර්යාලයෙන් සෑම සභාවකටම ලිපියක් යැව්වා. (උත්. 2:24; රෝම 13:1; හෙබ්‍රෙ. 13:4) යුවළයන්ට තම විවාහයන් ලියාපදිංචි කිරීමට කාලය ලබා දුන් අතර එසේ නොකරන අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන බවට දැනුම් දුන්නා.—1 කොරි. 5:11, 13.

හුඟක් ප්‍රචාරකයන් ඒ ගැන සතුටු වුණා. ඒත් සමහර අය හිතුවේ එවැනි නීති අනවශ්‍ය බවයි. ඒ නිසා සභා දෙකක ප්‍රචාරකයන් අඩක් පමණ සංවිධානයෙන් ඉවත් වුණා. ඒත් දෙවිගේ සැලැස්මට කීකරු වුණ අය සේවයේ වැඩි වැඩියෙන් හවුල් වුණා. ඒ නිසා සභාවේත් වර්ධනයක් දකින්න ලැබුණා. ඔවුන්ගේ වෑයමට දෙවිගේ ආශීර්වාදය හා අනුමැතිය ලැබුණ බවට එය සාක්ෂියක්.

සහෝදරයන් දැරූ වෑයම්වල ප්‍රතිඵලයක් හැටියට ෆ්‍රීටවුන් නමස්කාර මධ්‍යස්ථානයේ විවාහයන් පැවැත්වීමට අවසර ලැබුණා. ඒ අනුව 1954 සැප්තැම්බර් 3වෙනිදා පළමු විවාහය එහි පැවැත්වූවා. ඉන්පසු රජයෙන් විවාහය ලියාපදිංචි කිරීමේ බලතල සහෝදරයන්ට ලබා දුන්නා වගේම ඒ සඳහා සුදුසුකම් ඇති සහෝදරයන් හත්දෙනෙක්ව රට පුරා දිස්ත්‍රික්ක හතක පත් කළා. ඒ නිසා හුඟදෙනෙක්ට තම විවාහය ලියාපදිංචි කරගැනීමට හැකි වූ අතර ප්‍රචාරයකයන් හැටියට කටයුතු කරන්නත් සුදුසුකම් ලැබුණා.

නමස්කාර මධ්‍යස්ථානයක පැවැත්වූ විවාහයක්

ඒ වන විට භාර්යාවන් කිහිපදෙනෙක් එක්ක ජීවත් වුණු අයත් විවාහය සම්බන්ධ දෙවිගේ ප්‍රමිති පිළිගත්තා. බොන්තෙ නගරයේ ජීවත් වූ සැමුවෙල් කූපර් එවැනි කෙනෙක්. ඔහු ඒ ගැන මෙහෙම කිව්වා. “1957දී මම රැස්වීම්වලට සහභාගි වෙද්දී මට භාර්යාවන් දෙන්නෙක් හිටියා. එක දවසක් මට විවාහය සම්බන්ධයෙන් සේවා පාසැලේ කතාවක් දෙන්න වුණා. ඒ කතාවට තොරතුරු හොයද්දී මට තේරුණා පුරුෂයෙක්ට ඉන්න ඕනෙ එක භාර්යාවක් විතරයි කියලා. මගේ දෙවෙනි බිරිඳව අත්හරිනවා කියලා මගේ නෑයන්ට කිව්වම එයාලා තදින්ම විරුද්ධ වුණා. ඒකට හේතුව ඒ වෙනකොට එයාට ළමයෙක් හිටිය නිසයි. ඒත් මගේ පළමු බිරිඳට ළමයි නෑ. මට වැදගත් වුණේ දෙවිගේ ප්‍රමිති රකින එකයි. ඒ නිසා මගේ තීරණය වෙනස් කළේ නෑ. පුදුමේ කියන්නේ මගේ දෙවෙනි බිරිඳ ගියාට පස්සේ දරුවෝ නැතුව හිටිය පළමු බිරිඳට දරුවෝ ලැබුණා! දැන් මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා.”

ගිනියාවේ ජීවත් වුණු භාර්යාවන් තුන්දෙනෙක් හිටිය ඔනොරේ කමානෝ ඔහුගේ දෙවෙනි හා තුන්වෙනි භාර්යාවන්ව අත්හරින්න තීරණය කළා. මේ ගැන සතුටු වූ ඔහුගේ පළමු භාර්යාව බයිබලයේ ඉගැන්වීම්වලට ගරු කරන්න පටන්ගත්තා. ඔහු ගත් තීරණය ගැන අත්හැරිය එක් භාර්යාවක් එතරම් සතුටු වුණේ නැතත් ඔහු බයිබල් ප්‍රමිති රකින්න ගත්ත උත්සාහය ඇය අගය කළා. ඒ නිසා ඇයත් සත්‍යය පිළිගෙන සාක්ෂිකාරියක් වුණා.

සාක්ෂිකරුවන් විවාහයට ගරු කරන අය හැටියට ප්‍රසිද්ධයි

අද, සියරා ලියොන් සහ ගිනියාවේ සාක්ෂිකරුවන් විවාහයට ගරු කරන අය හැටියට ප්‍රසිද්ධයි. ඔවුන් විවාහය සම්බන්ධ දෙවිගේ ප්‍රමිති රකින නිසා විවාහ සැලැස්මේ ආරම්භකයා වන යෙහෝවා දෙවිට ප්‍රශංසාව ලැබී තිබෙනවා.—මතෙ. 19:4-6; තීත. 2:10.

ෆ්‍රීටවුන් සභාවේ මත ගැටුමක්

1956දී තවත් මිෂනාරිවරුන් දෙන්නෙක් වන චාල්ස් සහ රීවා චැපල් ෆ්‍රීටවුන්වලට ආවා. ඔවුන් මිෂනාරි නිවසට යන අතරමඟ සී. එන්. ඩී. ජෝන්ස් ඉදිරිපත් කරන බයිබල් දේශනයක් ගැන නිවේදනය කර තිබෙන ලොකු බැනර් එකක් දැකලා තිගැස්සුණා.

ජෝන්ස් හිතාගෙන හිටියේ ඔහු අභිෂේකලත් කෙනෙක් කියලයි. මීට අවුරුදු කිහිපයකට කලින් ඔහු සභාවෙන් අයින් වෙලා වෙනම කණ්ඩායමක් හදාගෙන තිබුණා. සැබෑ සාක්ෂිකරුවන් ඔවුන් කියාත් මිෂනාරිවරුන් සහ සංවිධානයට පක්ෂපාත අය කරන්නේ මවාපෑමක් කියලත් ඔවුන් කියා සිටියා.

ජෝන්ස්ව සහ ඔහුට සහාය දුන් සමහර අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ නිසා සභාව තුළ කැලඹීමක් ඇති වුණා. ඒ ගැන සහෝදර චැපල් මෙහෙම කියනවා. “ඔවුන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළා කියලා නිවේදනය කළාම සභාවේ හිටපු එයාලට සහාය දීපු සමහර අයට කේන්ති ගියා. ඒ අයගෙන් සමහරු ප්‍රසිද්ධියේම තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කළා. ඒ වගේම රැස්වීම්වලටත් දේශනා සේවයටත් බාධා කළා. රැස්වීම්වලට ආවාම එයාලා ඉඳගත්තෙත් එකට. සභාවේ අය ඒ පේළිය හැඳින්නුවේ ‘විරුද්ධකාරයන්ගේ පේළිය’ කියලයි. කාලයක් යද්දී ඒ අයගෙන් හුඟදෙනෙක් සභාවෙන් අයින් වුණත් සමහරු තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන උනන්දුවෙන් සේවය කළා.”

විශ්වාසවන්තව හිටිය බොහෝදෙනෙක් නිසා දෙවිගේ බලය සභාවට නොඅඩුව ලැබුණා. ඊළඟ වසරේ කලාපීය සේවක හැරී ආනට් පැමිණි විට මෙවැනි දෙයක් කිව්වා. “අවුරුදු ගාණකට පස්සේ මෙච්චර ලොකු වර්ධනයක් දැක්ක මුල්ම වතාව මේකයි. ඉදිරියේ තවත් වර්ධනය වෙයි කියන්න මේක හොඳ ලකුණක්.”

කිසී ගෝත්‍රීකයන්ට උගන්වයි

කලාපීය සේවකගේ බැහැදැකීමෙන් වැඩි කලක් යන්න කලින් චාල්ස් චැපල්ට ලයිබීරියාවේ කිසී ගෝත්‍රයට අයත් සහෝදරයෙක්ගෙන් ලිපියක් ලැබුණා. ඔහුට ඕන වුණේ සියරා ලියොන්වල ඉන්න ඔහුගේ නෑයන්ට දේශනා කරන්නයි. කිසී ගෝත්‍රිකයන් ජීවත් වුණේ සියරා ලියොන්, ලයිබීරියා සහ ගිනියාවේ දේශ සීමා හමු වන ප්‍රදේශයකයි. ඔවුන්ට බයිබලය ගැන ඉගෙනගන්න ලොකු උනන්දුවක් තිබුණා.

එම ගෝත්‍රිකයන්ට ලියන්න කියවන්න බැරි නිසා බයිබල් සත්‍යය කියා දෙන විට අකුරු උගන්වන්නත් සිදු වුණා. ඒ සඳහා ඔවුන්ට කෝයින්ඩු නගරයේ පංති පැවැත්වූවා. චාල්ස් ඒ ගැන මෙහෙම කිව්වා. “මේ පංතිවලට එන සාමාජිකයන් ගණන එන්න එන්නම වැඩි වුණා. මෙයාලා එන්නේ බයිබලය ඉගෙනගන්නද නැත්නම් වෙන දේකටද කියලා මට සැකයක් තිබුණා. ඒත් මං හිතපු විදිහ වැරදියි. කාලයක් ගියාම එයාලා ඇත්තටම විශ්වාසවන්ත වගේම උනන්දුවෙන් සේවය කරන ප්‍රචාරකයන් කියලා තේරුණා.”

මේ අලුත් ප්‍රචාරකයන් කෝයින්ඩු නගරයෙන් එපිට ගිනියාව දක්වාත් උනන්දුවෙන් ශුභාරංචිය දේශනා කළා. කඳුකර පළාත්වල තියෙන ගම්මානවලට යන්න ඔවුන්ට පැය ගණන් ඇවිදින්න සිදු වුණා. ඒ ගැන චාරිකා සේවකයෙක් වන එලියෙසර් ඖඩ්උවි මෙහෙම කියනවා. “ඒ පැතිවල වාහනයක සද්දයක් ඇහෙන්නේ කලාතුරකින්. ඒ තරම්ම දුෂ්කරයි.”

සත්‍යය පිළිගත් අන්ධ තරුණයෙක් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” කියන කුඩා පොත කටපාඩම් කරගත්තා. ඔහු දේශනා කරද්දී සහ බයිබල් පාඩම් පවත්වද්දී ඕනම පරිච්ඡේදයක් මතකයෙන් කියන්න පුළුවන් වුණ නිසා බලන් හිටිය අය පුදුම වුණා. සත්‍යය පිළිගත් තවත් බිහිරි කාන්තාවක් ඇගේ ජීවිතයේ සිදු කළ වෙනස්කම් නිසා ඇගේ නෑනා කිලෝමීටර් 10ක දුරක් ඇවිදගෙන රැස්වීම් එන්න පවා පෙලඹුණා. කිසී සහෝදරයන්ගේ උත්සාහයට දෙවි ආශීර්වාද කළ බවට මේවා කදිම සාක්ෂි.—1 කොරි. 3:7

කිසී ප්‍රචාරකයන් ගණන ඉක්මනින්ම වැඩි වුණා. ඒ නිසා තවත් අලුත් සභා දෙකක් ඇති වුණා. ප්‍රචාරකයන් 30දෙනෙක්ම පුරෝගාමි සේවය පටන්ගත්තා. කොයින්ඩු නගරයේ නායකයාත් බයිබල් සත්‍යයට උනන්දුවක් දැක්වූ නිසා නමස්කාර මධ්‍යස්ථානයක් ගොඩනැඟීමට ඉඩමක්ද පරිත්‍යාග කළා. කයිලාහුන් නගරයේ පැවැත්වූ චාරිකා සමුළුවට 500දෙනෙක් පැමිණි අතර ඉක්මනින්ම ඒ නගරයේත් සභාවක් ඇති වුණා. සියරා ලියොන්වල ජනගහනයෙන් කිසී ගෝත්‍රිකයන් සිටින්නේ සියයට 2ක් වුණත් එහි සිටින සාක්ෂිකරුවන් ගණනින් අඩක්ම කිසී ගෝත්‍රිකයන්.

කිසී ගෝත්‍රික ආගමික නායකයන්ට මේ දියුණුව උහුලන්න බැරුව ගියා. සාක්ෂිකරුවන් ඔවුන්ට තර්ජනයක් කියා සිතූ නිසා සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු නවත්වන්න ඔවුන් උත්සාහ කළා.