Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (4වෙනි කොටස)

1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (4වෙනි කොටස)

තවත් අභියෝගයක්

සියරා ලියොන්වල සිටින වැසියන් බොහෝදෙනෙකුට අකුරු ලියන්න, කියවන්න බැහැ. එය සහෝදරයන්ට ලොකු අභියෝගයක් වුණා. 1963දී දෙවෙනි වතාවටත් සහෝදර මිල්ටන් හෙන්ෂල් සියරා ලියොන්වලට ආ විට සහෝදරයන් සමඟ ඒ ගැන සාකච්ඡා කළා.

ඒ වෙද්දීත් සමහර සභාවන් ඉංග්‍රීසි භාෂාව උගන්වන පන්ති පැවැත්වූවා. නමුත් සහෝදර හෙන්ෂල්ගේ මඟ පෙන්වීමට අනුව සහෝදරයන්, ශිෂ්‍යයන්ට තම මව් භාෂාව ලියන්න සහ කියවන්න ඉගැන්නුවා. සමහර සභාවන්වල භාෂා දෙක තුනක්ම ඉගැන්නුවා. මේ පන්තිවලට රටේ සිටි ප්‍රචාරකයන්ගෙන් බොහෝදෙනෙක් සහභාගි වුණා.

1966දී ලයිබීරියාවේ සහෝදරයන් කිසී භාෂාව ඉගැන්වීමට පින්තූර සහිත කුඩා අත්පොතක් සකස් කළා. ලයිබීරියා රජයෙන්ද එයට අනුග්‍රහය ලැබුණු අතර එය නොමිලේම මුද්‍රණය කර බෙදා හැරීමට රජයේ නිලධාරීන් කටයුතු කළා. ගිනියාව, ලයිබීරියාව සහ සියරා ලියොන් පුරා බෙදා හැරිය එම පොත කිසී භාෂාව කතා කළ අයට ලියන්න හා කියවන්න ඉගෙනගන්න උදව් වුණා. පසු කාලයේදී එවැනි අත්පොත් වෙනත් භාෂාවලින්ද මුද්‍රණය කර උගන්වන්න යොදාගත්තා.

සේවයේ යෙදුණු ආකාරය සටහන් කරන්න ඇය රතු සහ කලු පටි දෙකක් යොදාගත්තා

මෙම පන්තිවලින් ලියන්න, කියවන්න ඉගැන්නුවා විතරක් නොවෙයි ශිෂ්‍යයන්ට සත්‍යය තුළ දියුණු වෙන්නත් උදව් කළා. සීයා ඥාලා නමැති පනස් හැවිරිදි සහෝදරියගේ අද්දැකීම සලකා බලන්න. ලියන්න කියවන්න බැරි නිසා සේවයේ යෙදුණු ආකාරය සටහන් කරන්න ඇය රතු සහ කලු පටි දෙකක් යොදාගත්තා. ඇය සේවයේ පැයක් යෙදුණු පසු කලු පටියේ ගැටයක් දැමුවා. නැවත බැලීමක් කළ හැම අවස්ථාවකදීම රතු පටියේ ගැටයක් දැමුවා. ඒත් ඇය භාෂාව ඉගැන්වූ පන්තියකට සහභාගි වුණාට පසුව වාර්තාව ලියන්න පුළුවන් වුණා. ඒ වගේම බව්තීස්මය දක්වා දියුණු වෙන්නත් හොඳ ගුරුවරියක් වෙන්නත් ඇයට පුළුවන් වුණා.

සියරා ලියොන් සහ ගිනියාවේ සභා බොහොමයක අදටත් ලියන්න කියවන්න උගන්වනවා. සියරා ලියොන්වල රජයේ නිලධාරියෙක් ශාඛා කාර්යාලයේ සහෝදරයන්ට මෙහෙම කිව්වා. “බයිබල් අධ්‍යාපනයට අමතරව මිනිස්සුන්ට ලියන්න කියවන්න උගන්වන එකෙන් ඔයාලා කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්.”

“ගල්” කතා කරයි

සියරා ලියොන්වල සිටි උගත් අය කියෙව්වේ ඉංග්‍රීසි භාෂාව. ගිනියාවේ උගත් අය කියෙව්වේ ප්‍රංශ භාෂාව. බොහෝ ගෝත්‍රික ජනයාට තමන්ගේ භාෂාවෙන් කියවන්න පොත් පත් තිබුණේ නැති තරම්. නමුත් විවිධ වාර්ගික කණ්ඩායම්වලට අයත් අය ලියන්න කියවන්න ඉගෙනගත්තාට පස්සේ අපේ ප්‍රකාශන පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් මතු වුණා.

1959දී ගිලියද් මිෂනාරිවරුන් දෙදෙනෙක් පත්‍රිකාවක් සහ කුඩා පොතක් මෙන්ඩෙ භාෂාවට පරිවර්තනය කළා. නමුත් ඔවුන්ට බෙදා හරින්න පුළුවන් වුණේ සීමිත පිටපත් ගණනක් විතරයි. අවුරුදු 10කට පසු “රාජ්‍යයේ මේ ශුභාරංචිය” සහ ‘ධර්මිෂ්ඨ ලොවක් අපේක්ෂාවෙන්’ (Living in Hope of a Righteous New World) යන කුඩා පොත් දෙක කිසී භාෂාවට පරිවර්තනය කළා. මෙයින් පොත් 30,000ක් පමණ මුද්‍රණය කර බෙදා හැරිය අතර බයිබල් පාඩම් පවත්වන්නත් එය යොදාගත්තා.

1975දී ‘මුරටැඹ’ පාඩම් ලිපි කිසී භාෂාවට පරිවර්තනය කළා. කිසී සහෝදරයන්ට ඒ ගැන දැනුණේ පුදුම සතුටක්! එක් සහෝදරයෙක් ඒ ගැන ලිව්වේ මෙහෙමයි. “අපි වෙනුවෙන් යෙහෝවා දෙවි පුදුම දේවල් කරනවා. අපි කවදාවත් ඉස්කෝලෙ ගියේ නෑ. අපි හිටියේ කතා කරන්න බැරි ගල් වගේ. ඒත් දැන් මේ ‘මුරටැඹ’ සඟරාව තියෙන නිසා යෙහෝවා දෙවිගේ පුදුම ක්‍රියා ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්” (ලූක් 19:40) කාලයක් යද්දී වෙනත් ප්‍රකාශනත් කිසී භාෂාවට පරිවර්තනය කළා.

තවමත් සියරා ලියොන් සහ ගිනියාවේ සිටින බොහෝ අය අපේ ප්‍රකාශන කියවන්නේ ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවෙන්. රැස්වීම් පවත්වන්නේත් ඒ භාෂාවලින්. නමුත් මෑතක සිට කිසී, ක්‍රියෝ, ග්වර්සී, මනින්කෙකන්, මෙන්ඩෙ, පූලා සහ සුසු වැනි වෙනත් භාෂාවලටත් අපේ ප්‍රකාශන පරිවර්තනය කර තිබෙනවා. ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ සහ ‘දෙවිට සවන් දෙන්න’ යන සඟරා දෙකත් ඒ හැම භාෂාවකටම පරිවර්තනය කර තිබෙනවා. කියවීමට එතරම් හැකියාවක් නැති අයට බයිබලයේ ඇති පණිවිඩය ඉගැන්වීමට එම සඟරා මහඟු උපකාරයක්.

ශාඛා කාර්යාලය ගොඩනැඟීම

1960 ගණන්වල මුල් භාගයේදී ෆ්‍රීටවුන් සභාවේ සහෝදරයන් ශාඛා කාර්යාලයක් ගොඩනැඟීමට ඉඩමක් සොයමින් සිටියා. 1965දී ඔවුන්ට නගරයට කිට්ටු, මුහුද අසළ තිබුණ කදිම ඉඩමක් ලැබුණා.

ශාඛා කාර්යාල ගොඩනැඟිල්ලට නමස්කාර මධ්‍යස්ථානයක්, මිෂනාරි නිවසක් සහ කාර්යාල ඇතුළත් වුණා. එය ඉතාමත් අලංකාර ගොඩනැඟිල්ලක්. එය ඉදිරියෙන් යන එන අය මොහොතක් නැවතී ඒ දෙස බලා සිටි නිසා වාහන තදබදයක් ඇති වුණ අවස්ථාද තිබුණා. එය කැප කළේ 1967 අගෝස්තු 19වෙනිදායි. “බයිබල්” බ්‍රවුන්ගේ කාලයේ බව්තීස්ම වූ මුල්ම සාක්ෂිකරුවන් සහ නගරයේ උසස් නිලධාරීන් ඇතුළු 300දෙනෙක් පමණ කැප කිරීමේ උත්සවයට සහභාගි වුණා.

ෆ්‍රීටවුන් නගරයේ තිබෙන ශාඛා කාර්යාලය සහ මිෂනාරි නිවස (1965-1997)

මේ අලුත් ගොඩනැඟිල්ල නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන මිනිසුන්ට තිබූ පිළිගැන්ම තවත් වැඩි වුණා. සියරා ලියොන්වල සාක්ෂිකරුවන් වැඩිකල් ඉන්නේ නැහැ කියා සමහරුන් කිව්වත් සාක්ෂිකරුවන් දිගටම මෙහි සේවය කරන බවට මෙම ගොඩනැඟිල්ල කදිම සාක්ෂියක් වුණා.

මිෂනාරිවරුන්ගේ සහය

කුඹුරක් මැද්දෙන් සේවයේ යන කණ්ඩායමක්

1970 මැද භාගයේ සිට මිෂනාරිවරුන් දිගින් දිගටම සියරා ලියොන්වලට සහ ගිනියාවට එන්න පටන්ගත්තා. ඔවුන්ගෙන් සමහර අය කලින් අප්‍රිකානු රටවල සේවය කර තිබූ නිසා මේ රටවල තත්වයට ඉක්මනින්ම හැඩ ගැහුණා. ඒත් තවත් අය අප්‍රිකාවට පැමිණ තිබුණේ මුල්ම වතාවටයි. “සුදු මිනිසුන්ගේ මිනී වල” ලෙස හැඳින්වූ මේ රටට ඔවුන් හැඩ ගැහුණේ කොහොමද? ඔවුන්ගේ අද්දැකීම් කිහිපයක් අපි බලමු.

“එහේ හිටිය මිනිස්සු හරි අහිංසකයි. දෙවි ගැන දැනගන්න එයාලට ලොකු ආසාවක් තිබුණා. සත්‍යය නිසා එයාලගේ ජීවිත වෙනස් වෙනවා දකිද්දි මට ලොකු සතුටක් දැනුණා.”—හැනලෝරා අල්ට්මියර්.

“ඒ රටේ දේශගුණයටයි ලෙඩවලටයි ඔරොත්තු දෙන එක නම් ලේසි වුණේ නෑ. ඒත් ඒ අවංක මිනිස්සු දෙවිට ළං වෙනවා දකිද්දී මං කරපු කැප කිරීම් ගැන මට දුකක් නෑ.”—ෂෙරිල් ෆගසන්.

“දවසක් අපි අමුත්තො කීපදෙනෙක් එනකම් බලාගෙන හිටියා. මාත් එක්ක හිටිය සහෝදරියගෙන් මං ඇහුවා එයාලා එන්නේ කොයි වෙලාවටද කියලා. ‘සමහරවිට අද වෙන්නත් පුළුවන් හෙට වෙන්නත් පුළුවන් නැත්නම් අනිද්දා වෙන්නත් පුළුවන්’ කියලා එයා කිව්වා. ඒක හරි අමුතු උත්තරයක්. මට ඕන වුණේ හරිම දවසයි වෙලාවයි දැනගන්න. ඒත් ඒ වගේ දේවල්වලින් මං ඉවසීම ඉගෙනගත්තා.”—ක්‍රිස්ටීන් ජෝන්ස්.

“ෆ්‍රීටවුන්වල තිබුණු මිෂනාරි නිවසේ විවිධ පසුබිම්වලින් ආපු 14දෙනෙක් හිටියා. අපි 14දෙනාටම තිබුණේ එක නාන කාමරයයි, වැසිකිළි දෙකයි, එක කුස්සියයි, එක රෙදි සෝදන යන්ත්‍රයයි. කෑමත් හරි ටිකයි ලැබුණේ. ඒවත් හොඳ තත්වේ ඒවා නෙමෙයි. හිටි හැටියේම විදුලි බලය නැති වෙනවා. එහෙම වුණාම දවස් ගාණකට විදුලිය නෑ. අපි හුඟදෙනෙක්ට මැලේරියාව වගේ ලෙඩත් හැදුණා. මොන බාධා තිබුණත් අපි සමාව දෙමින් එකමුතුව ජීවත් වෙන්න ඉගෙනගත්තා. අපි සේවයෙන් ලොකු සතුටක් ලැබුවා වගේම අපි අතරේ ශක්තිමත් බැඳීමකුත් ඇති වුණා.”—රොබට් සහ පෝලීන් ලැන්ඩිස්.

බයිබල් පාඩමක් කරන පෝලීන් ලැන්ඩිස්

“සියරා ලියොන්වල සේවය කරපු කාලය තමයි අපේ ජීවිතේ හොඳම කාලය. අදටත් අපි ඒ ගැන මතක් කරනවා.”—බෙන්ජමින් සහ මොනිකා මාටින්.

“දවසක් උනන්දුව දක්වපු කෙනෙක් අපිට අමුතු කෑමක් හදලා දුන්නා. එයා උයලා තිබුණේ පොළඟෙක්ව. ‘බයවෙන්න එපා උගෙ විස දළ ගලවලයි තියෙන්නේ’ කියලා එයා කිව්වා. කන්නැතුව ඉන්න උත්සාහ කළත් එයා කන්න කියලා අපිට බල කළා. ඒ වගේ දේවල් දරාගන්න ටිකක් අමාරු වුණත් එයාලා පෙන්නපු ආගන්තුක සත්කාරය අපි ගොඩක් අගය කරනවා.”—ෆෙඩ්‍රික් සහ බාබ්රා මොරිසි.

“මගේ අවුරුදු 43ක සේවයේදී තවත් මිෂනාරීන් 100දෙනෙක් එක්ක විතර එකට සේවය කරලා තියෙනවා. විවිධ පෞද්ගලිකත්වයන් තියෙන අයත් එක්ක සේවය කරන්න ලැබීම ඇත්තටම වරප්‍රසාදයක්. දෙවිගේ හවුල් සේවකයෙක් හැටිය වැඩ කරන්න ලැබුණ එකත් මිනිස්සු සත්‍යයට එනවා දකින්න ලැබුණ එකත් ලොකු සතුටක්.”—ලිනෙට් පීටර්ස්.

“දෙවිගේ හවුල් සේවකයෙක් හැටිය වැඩ කරන්න ලැබුණ එකත් මිනිස්සු සත්‍යයට එනවා දකින්න ලැබුණ එකත් ලොකු සතුටක්!”

1947 සිට මිෂනාවරුන් 154දෙනෙක් සියරා ලියොන්වල සහ 88දෙනෙක් ගිනියාවේ සේවය කර තිබෙනවා. මිෂනාරිවරුන් නොවන අයත් මෙහි සේවය සඳහා පැමිණ තිබෙනවා. මේ වන විට මිෂනාරිවරුන් 44දෙනෙක් සියරා ලියොන්වලත් 31දෙනෙක් ගිනියාවේත් සිටිනවා. ඔවුන් වෙහෙස මහන්සි නොබලා කරන සේවයෙන් බොහෝදෙනෙක්ට සත්‍යය දැනගන්න හැකි වී තිබෙනවා. ශාඛා කමිටු සාමාජිකයෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔවුන්ගේ සේවය අපි හදපත්ලෙන්ම අගය කරනවා.”