Skip to content

පටුනට යන්න

සියරා ලියොන් සහ ගිනියාව

1991 සිට 2001 දක්වා “දුක් පීඩා නමැති ගිනි උදුනේ”—යෙසා. 48:10. (2වෙනි කොටස)

1991 සිට 2001 දක්වා “දුක් පීඩා නමැති ගිනි උදුනේ”—යෙසා. 48:10. (2වෙනි කොටස)

බෙතෙල් නිවසට ප්‍රහාරයක්!

1998 පෙබරවාරි මාසයේදී රජයේ හමුදාවන් සහ බටහිර අප්‍රිකානු හමුදාවන් එකතු වී කැරලිකරුවන්ව ෆ්‍රීටවුන් නගරයෙන් පන්නා දැමීමට ක්‍රියාත්මක වුණා. ඇති වූ ඒ දරුණු සටන්වලදී පුපුරා ගිය බෝම්බයකට හසු වී අපේ සහෝදරයෙක්ද මිය ගියා.

ප්‍රචාරකයන් 150දෙනෙක් පමණ කිසී සහ කොක්‍රිල්වල තිබූ මිෂනාරි නිවාසවල නතර වී සිටියා. බෙතෙල් නිවසේ මුරසේවය කළ සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙක් වන ලැඩී සැන්ඩි සිදු වූ දේ ගැන කිව්වේ මෙහෙමයි. “මමයි ෆිලිප් ටූරෙයි රෑ මුර කරද්දී කැරලිකාරයෝ දෙන්නෙක් තුවක්කුත් අරගෙන බෙතෙල් එකට ඇවිත් දොර අරින්න කියලා කෑ ගැහුවා. අපි ඉක්මනට වෙන තැනකට ගිහිං හැංගුණා. එයාලා කීපවතාවක් දොරේ අගුලට වෙඩි තිබ්බා. හැබැයි ඒක කැඩුණේ නෑ. හොඳ වෙලාවට වීදුරුවට වෙඩි තිබ්බේ නෑ. දොර ඇරගන්න බැරි වුණ නිසා එයාලා ගියා.

“දවස් දෙකකට පස්සේ රෑ, ආයුධ ගත්ත තවත් 20දෙනෙක් විතර අරගෙන එයාලා ආපහු ආවා. අපි ඉක්මනට බෙතෙල් නිවසේ අයට ඒක දැනුම් දුන්නා. ඊටපස්සේ අපි හත්දෙනාම බිම් මහලට ගිහින් ලොකු බැරල් දෙකක් පිටිපස්සේ ගැහිගැහී හැංගිලා හිටියා. කැරලිකාරයෝ අගුල කඩලා බිල්ඩිම ඇතුළට ආවා. එක්කෙනෙක් ‘සාක්ෂිකාරයන්ව හොයලා බෙල්ල කපලා දාන්න’ කියලා තරහෙන් කෑගහලා කියනවා අපිට ඇහුණා. එයාලා පැය 7ක් විතර බිල්ඩිම ඇතුළේ ඇවිදලා බඩුමුට්ටු කඩලා බිඳලා දාලා එයාලට ඕන දේවල් අරගෙන යන්න ගියා.

“අපි ඉක්මනට අවශ්‍ය දේවල් විතරක් අරගෙන කොක්‍රිල් මිෂනාරි නිවසට ගියා. ඒ යන අතරේ තවත් කල්ලියක් අපි ළඟ තිබුණු දේවල් උදුරගත්තා. අපි මිෂනාරි නිවසට ගියේ පණ බයේ. ඒත් ජීවිතේ බේරුණ එක ගැන අපි සතුටු වුණා. දවස් කිහිපයක් එහේ හිටියට පස්සේ අපි ආයිත් ගිහින් බෙතෙල් නිවස අස්පස් කළා.”

මාස දෙකකට පස්සේ නගරයේ පාලනය හමුදාව අතට පත් වුණ නිසා ගිනියාවේ හිටිය මිෂනාරිවරුන් නැවතත් නගරයට එන්න පටන්ගත්තා. නමුත් ඔවුන්ට ඉන්න පුළුවන් වුණේ ටික කාලයයි.

සමූල ඝාතන මෙහෙයුමක්

මාස 8කට පසු 1998 දෙසැම්බර් මාසයේ ෆ්‍රීටවුන් නගරයේ පැවැත්වූ “ජීවිතය සඳහා දෙවිගේ මඟ” යන තුන්දින සමුළුව අතරතුර ඈතින් පුපුරණ හඬක් ඇහුණා. කඳු පැත්තෙන් ලොකු දුමාරයක් අහසට නඟිනවාත් දුටු සහෝදරයන් කැරලිකාරයන් ආයෙත් ඇවිත් කියා දැනගත්තා.

එදායින් පසු නැවතත් ෆ්‍රීටවුන් නගරයට බිහිසුණු කාලයක් උදා වුණා. ශාඛා කාර්යාලයේ සහෝදරයන් කුඩා ගුවන් යානයක් කුලියට අරන් මිෂනාරිවරුන් 12දෙනාවත් විදේශීය බෙතෙල් සේවකයන් 8දෙනාවත් ඉදි කිරීම් වැඩවලට පැමිණ සිටි 5දෙනාවත් කොනක්‍රි නගරයට පිටත් කළා. ඉන් දින තුනකට පස්සේ 1999 ජනවාරි 6වෙනිදා කැරලිකරුවන්, සමූල ඝාතන මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඔවුන් කෲර ලෙස ෆ්‍රීටවුන් නගරයේ වැසියන් 6,000ක් මරා දැමුවා. හිතුහිතූ කෙනාගේ අත පය කපා දැමූ අතර දරුවන් සිය ගණනක් පැහැරගෙන ගියා. ගොඩනැඟිලි සුනුවිසුනු කළා.

අපි හැමෝම ගොඩක් ආදරය කළ සහෝදර එඩ්වඩ් ටෝබිවත් අමානුෂික විදිහට මරා දැමුවා. කම්පනයට පත්වෙලා සිටි ප්‍රචාරකයන් 200කට වඩා වැඩිදෙනෙක්ට බෙතෙල් නිවසේ සහ කොක්‍රිල් මිෂනාරි නිවසේ නවාතැන් දුන්නා. අනිත් අය තමන්ගේ නිවෙස්වලම සැඟ වී සිටියා. මේ අතරේ කිසී මිෂනාරි නිවසේ සිටි සහෝදරයන්ට බෙහෙත් ඕන වුණා. නගරය හරහා ඒවා අරගෙන යන එක අනතුරුදායක දෙයක් වුණත් බෙතෙල් නිවස මුර කළ ලැඩී සැන්ඩි සහ ෆිලිප් ටූරේ ඒ අභියෝගය භාරගත්තේ කැමැත්තෙන්මයි.

නගරයේ තත්වය ගැන ෆිලිප් කිව්වේ මෙහෙමයි. “මුළු නගරයම යුධ පිටියක් වගේ. කැරලිකරුවන්ගේ මාර්ග බාධක හැම තැනම. මිනිස්සුන්ව ඒ තැන්වල නවත්වගෙන හරිම නපුරු විදිහට සැලකුවා. දවසේ වැඩි හරියක් ඇඳිරි නීතිය තිබුණ නිසා කිසී මිෂනාරි නිවසට යන්න දවස් දෙකක් ගියා. අපි එහෙට යද්දී මිෂනාරි නිවසට ගිනි තියලා තිබුණා.

“අහළ පහළ සෝදිසි කරලා බලද්දී අපිට සහෝදර ඇන්ඩෘව හම්බ වුණා. එයාගේ ඔළුවේ ලොකු තුවාලයක් තිබුණා. කැරලිකාරයෝ එයාගේ අත පය බැඳලා, පොරවකින් කිහිප වතාවක්ම එයාට කොටලා. ඒත් එයා කොහොම හරි එතනින් පැනලා ගිහින්. අපි ඉක්මනට එයාව ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ටිකෙන් ටික එයා හොඳ වුණා. පස්සේ එයා පුරෝගාමියෙක් විදිහටත් සේවය කළා.”

(වමේ සිට දකුණට) ලැඩී සැන්ඩි, ඇන්ඩෘ කොල්ක සහ ෆිලිප් ටූරේ

කැරලිකරුවන්ට සහය නොදුන් සමහර සාක්ෂිකරුවන්ගේ ජීවිත බේරුණේ අනූනවයෙන්. සහෝදරයෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “එයාලට සහය දෙනවා කියලා පෙන්නන්න නළලේ සුදු පටියක් බැඳගෙන පාරේ නටන්න කියලා කැරලිකරුවන් අපිට කිව්වා. ඒක කරන්න බැහැ කිව්වොත් අපේ අත පය කපලා දානවා නැත්නම් අපිව මරනවා කිව්වා. මමයි බිරිඳයි යෙහෝවා දෙවිට යාච්ඤා කර කර ටිකක් පැත්තකට වුණා. ඒ වෙලාවේ අපේ අසල්වැසියෙක් අපි ඉන්න අමාරු තත්වේ දැකලා නායකයාට කිව්වා ‘මේ අපේ කෙනෙක්. එයා දේශපාලන වැඩවලට හවුල් වෙන්නේ නැහැ. එයා වෙනුවට අපි නටන්නං’ කියලා. ඒ යෝජනාවට කැරලිකාර නායකයා කැමති වුණ නිසා අපි බේරුණා.”

ටික කාලයක් යද්දී මුළු නගරයේම තිබුණේ අමුතුම නිහැඬියාවක්. ඒත් සහෝදරයන් කල්පනාකාරීව දේශනා සේවයේ යන්නත් රැස්වීම් පවත්වන්නත් කටයුතු කළා. මුරපොළවල්වලදී තමන්ව හඳුන්වා දීමට ප්‍රචාරකයන් සමුළු බැජ් කාඩ් එක පැළඳගෙන හිටියා. මුරපොළවල් ළඟ පෝළිම්වල ඉද්දී සහෝදරයන් එතන ඉන්න අයත් සමඟ බයිබල් සාකච්ඡාවන් පටන්ගන්න උත්සාහ කළ නිසා කාලයක් යද්දී දක්ෂ විදිහට ඒක කරන්න ඔවුන්ට පුළුවන් වුණා.

හැම දෙයක්ම හිඟ වෙලා තිබුණ ඒ කාලයේදී බ්‍රිතාන්‍ය ශාඛා කාර්යාලයෙන් සහනාධාර පෙට්ටි 200ක් එව්වා. කොනක්‍රි ඉඳන් ෆ්‍රීටවුන් නගරයට ඒවා ගෙනාවේ බිලී කොවන් සහ ඇලන් ජෝන්ස් යන සහෝදරයන් දෙදෙනායි. මුරපොළවල් ගණනාවක් පසු කරන්න සිදු වුණත් ඔවුන් ඇඳිරි නීතිය වැටෙන්න කලින් ඒවා බෙතෙල් නිවසට ගෙනාවා. සහෝදර ජේම්ස් කොරෝමාද කීප වතාවක්ම කොනක්‍රි නගරයට ගිහින් පොත් පත් සහ වෙනත් දේවල් ගෙනාවා. මෙයින් සමහර පොත් පත් බෝ සහ කෙන්එමා යන නගරවල සිටි ප්‍රචාරකයන්ටත් යැව්වා.

ෆ්‍රීටවුන් නගරයට සහනාධාර රැගෙන එමින්

1999 අගෝස්තු 9වෙනිදා කොනක්‍රි නගරයේ සිටි මිෂනාරිවරුන් නැවතත් ෆ්‍රීටවුන් නගරයට එන්න පටන්ගත්තා. ඊළඟ අවුරුද්දේ ෆ්‍රීටවුන් නගරයට පැමිණි බ්‍රිතාන්‍ය හමුදා කැරලිකරුවන්ව එම නගරයෙන් පළවා හරින්න සටන් කළා. වරින් වර සටන් පැවතියත් 2002 ජනවාරි මාසය වන විට යුද්ධය අවසන් වුණා. අවුරුදු 11ක් පුරා පැවති මේ යුද්ධයෙන් 50,000කගේ ජීවිත අහිමි වූ අතර 20,000ක් ආබාධිතයන් බවට පත් වුණා. මිලියන 1.2ක් අවතැන් වුණ අතර නිවාස 3,00,000ක් පමණ විනාශ වුණා.

කොතරම් බිහිසුණු වාතාවරණයක් තිබුණත් දෙවි තම සෙනඟට අවශ්‍ය රැකවරණය සහ ආශීර්වාද ලබා දුන්නා. ඒ අර්බුදකාරී කාලයේදී 700දෙනෙක් බව්තීස්ම වුණා. යුද්ධය පැවති ප්‍රදේශවල සිටි සාක්ෂිකරුවන් ඒ ප්‍රදේශවලින් පළා ගියත් ඒ කාලය තුළදී සියරා ලියොන් රටේ ප්‍රචාරකයන්ගේ ගණන සියයට 50කින් වැඩි වුණා. ගිනියාවේ ප්‍රචාරකයන්ගේ ගණන සියයට 300කින් වැඩි වුණා. මේ හැම දෙයකටම වඩා කැපී පෙනුණේ සාක්ෂිකරුවන්ගේ නොසැලෙන විශ්වාසයයි. “දුක් පීඩා නමැති ගිනි උදුනේ” සිටියත් සැබෑ එක්සත්කමක් සහ ප්‍රේමයක් විදහා පෙන්වූ ඔවුන් ‘ඉගැන්වීම් කටයුතුවල සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යයේ’ දිගටම නියැලුණා.—යෙසා. 48:10; ක්‍රියා 5:42.