Skip to content

පටුනට යන්න

ලොව වටා සේවය

යුරෝපය

යුරෝපය
  • රටවල් ගණන 47

  • ජනගහනය 74,18,92,871

  • ප්‍රචාරකයන් ගණන 16,01,915

  • බයිබල් පාඩම් ගණන 8,62,555

“මං හිතන්නේ ඔයා වැරදි තැනටයි ඇවිත් තියෙන්නේ?”

ස්වීඩනයේ ජීවත් වන සෝමාලියානු කාන්තාවකට සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එන්න කියලා ආරාධනයක් ලැබුණා. ආරාධනය පිළිගෙන ඇය ගියත් ඇයව කවුරුත් පිළිගත්තේ නැහැ. හැමෝම ඇය දිහා බැලුවේ අමුතු විදිහට. ඒ නිසා ඇය එතැන හිටියේ හරිම අපහසුවෙන්. ඒ දේ දැක්ක කෙනෙක් “මං හිතන්නේ ඔයා වැරදි තැනටයි ඇවිත් තියෙන්නේ” කියලා ඇයට කිව්වා.

“මටත් හිතෙන්නේ එහෙම තමයි” කියලා කිව්ව ඇය එතැනින් යන්න ගියා. පසු දවසක ඒ කාන්තාවට රැස්වීමට ආරාධනා කළ සාක්ෂිකරුවන්ව මුණගැහුණාම, ආයෙත් කවදාවත් රැස්වීමට එන්නේ නැහැ කියලා ටිකක් තරහින් ඒ අයට කිව්වා. ඒත් එදා රැස්වීමේදී ඇයව දැක්කේ නැති නිසා ඇයි එහෙම කිව්වේ කියලා ඔවුන්ට තේරුණේ නැහැ. වැඩි විස්තර කතා කළාට පස්සේ ඇය ගිහින් තිබුණේ පල්ලියකට කියලා ඔවුන්ට තේරුණා.

සාක්ෂිකරුවන් ඇයට නමස්කාර මධ්‍යස්ථානයට එන්න කියලා උනන්දු කළා. ඇය ආරාධනය පිළිගත්තත් අමුත්තක් දැනුණොත් විනාඩි දහයකට වඩා එතැන ඉන්නේ නැහැ කියලා කිව්වා. ඇය රැස්වීමට ආවාම හැමෝම ආදරයෙන් ඇයව පිළිගත්තා. ඇයට කොයි තරම් සතුටක් දැනුණාද කියනවා නම් රැස්වීම් ශාලාවෙන් අන්තිමටම පිටත් වුණේ ඇයයි. එදා ඉඳන් දිගටම රැස්වීම්වලට එන ඇය දැන් බව්තීස්මලත් ප්‍රචාරිකාවක්.

මඟ වැටිලා තිබුණ ආරාධනා පත

ග්‍රීසිය: ස්ටෙරියොස් අනිත් අය සමඟ බයිබල් සත්‍යය බෙදාගනිමින්

ස්ටෙරියොස්, ග්‍රීසියේ ජීවත් වන තරුණයෙක්. දවසක් උදේ ඔහු රැකියා ස්ථානයේ ඉඳන් නිවසට ඇවිදගෙන ගියේ වෙනදා යන පාරෙන් නෙමෙයි. ඒ යන අතරතුර සිහි කිරීමේ ආරාධනා පතක් බිම වැටිලා තියෙනවා ඔහු දැක්කා. ඒ පත්‍රිකාවේ යේසුස් ගැන කුතුහලය ඇති කරන ප්‍රශ්නයක් අහලා තිබුණා. අහළ පහළ සෙනඟ හිටිය නිසා පත්‍රිකාව අහුලගන්න ඔහු කැමති වුණේ නැහැ. ඒත් ඔහු ගෙදර ඇවිත් ඒ පත්‍රිකාවේ තිබුණ ප්‍රශ්නය ගැන හිතන්න පටන්ගත්තා. ඒ ගැන හොයලා බලන්නත් ඔහුට ඕන වුණා.

ස්ටෙරියොස් එදා හවස යාළුවන්ව මුණගැහෙන්න සැලසුම් කරලා තිබුණා. ඒ යද්දීත් ආරාධනා පත වැටිලා තිබුණ පාරෙන්ම යන්න හිතුවේ පත්‍රිකාව එතැන තිබුණොත් අහුලගන්න හිතාගෙනයි. පත්‍රිකාව එතැන තිබුණත් සෙනඟ හිටිය නිසා ඒ වතාවෙත් ඔහු ඒක අහුලගත්තේ නැහැ. ගෙදර එද්දීත් ඒ පාරෙන්ම ආව ඔහු මේ වතාවේදී නම් පත්‍රිකාව අහුලගෙන කියෙව්වා. ඊටපස්සේ සිහි කිරීමට යන්න ඔහු තීරණය කළා.

සිහි කිරීමේ කතාවට පස්සේ බයිබල් පාඩමක් කරන්න කැමතියි කියා කියූ ඔහු දිගටම රැස්වීම්වලටත් සහභාගි වුණා. 2013 මාර්තු මාසයේ පැවැත්වූ එක්දින සමුළුවේදී ස්ටෙරියොස් බව්තීස්ම වුණා.

වැරදි අදහස් බිඳ දැමූ ගුවන්විදුලි වැඩසටහන

සහෝදර ෆින් ජීවත් වෙන්නේ ඩෙන්මාර්කයේ කෝපන්හේර්ගන් නගරයේ. 2010 ජනවාරි මාසයේ දවසක ඔහු සඟරා කිහිපයක් අරගෙන ඇවිදින්න ගියා. ඉදිරියට ආව වැඩිහිටි පුද්ගලයෙකුට ඔහු නත්තල ගැන සඳහන් වෙලා තිබුණ 2009 දෙසැම්බර් මාසයේ සඟරා ලබා දුන්නා. ඒ පුද්ගලයා සමඟ කතා කරද්දී ඔහු දැන උගත් ප්‍රසිද්ධ ගුවන්විදුලි නිවේදකයෙක් කියා ඔහුගේ කටහඬින් ෆින් හඳුනගත්තා. පසුවදා ෆින් ඔහු ඉදිරිපත් කරන ගුවන්විදුලි වැඩසටහන අහද්දී ඒ නිවේදකයා කලින් දා ලබාගත් සඟරා ගැන විස්තරයක් කියනවා ඔහුට ඇහුණා. වැඩසටහන අතරතුරේදී ඒ සඟරාවේ කොටස් කිහිපයක්ම ඔහු කියෙව්වා. යේසුස්ගේ උපත සිදු වූ අවස්ථාවේදී පෑයූ තාරකාව ගැන සඳහන් විස්තරය කියවා එය සාතන් විසින් කළ ක්‍රියාවක් විය යුතුයි කියාත් ඔහු කිව්වා.

නිවේදකයා දැක්වූ හොඳ ප්‍රතිචාරය නිසා සහෝදර ෆින් ඔහුව හමු වෙන්න ගියා. ඔහුත් එක්ක කතා කරන අතරතුරේදී බයිබල් විෂයන් ගැන සාකච්ඡා කරන වැඩසටහනක් ගුවන්විදුලියෙන් විකාශනය කරන්න පුළුවන්ද කියලා කාරුණිකව ඔහුගෙන් ඇහුවා. සති දෙකකට පස්සේ ඒ සඳහා අවසර ලැබුණා. ඒ අනුව සාක්ෂිකරුවන් ගැනත් බයිබලය ගැනත් විස්තර ඇතුළත් පැය දෙකකින් යුත් වැඩසටහන් 30කට වඩා විකාශනය කරන්න අවස්ථාව ලැබුණා. නිවේදකයා සහ සහෝදර ෆින් තෝරාගත් මාතෘකා කිහිපයක් ගැන කතා කළ අතර අසන්නන් ඇසූ ප්‍රශ්න බොහොමයකටත් පිළිතුරු දුන්නා.

එක් අසන්නෙක් ගුවන්විදුලි ආයතනයට කතා කරලා ඔහුගේ දුරකථන අංකය ලබා දී තිබුණා. ඒ පුද්ගලයාට කාලයක් පුරා මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් අහන්න ලැබුණ දේවල් නිසා සාක්ෂිකරුවන් ගැන තිබුණේ වැරදි අදහසක්. ඒත් මේ ගුවන්විදුලි වැඩසටහන නිසා ඔහුට තිබූ ඒ වැරදි අදහස් නැති වුණා. ඔහු බයිබල් පාඩමක් කරන්න කැමති වූ අතර 2013 සිහි කිරීමටත් ඊට පසුව තිබුණ විශේෂ බයිබල් දේශනයටත් සහභාගි වුණා. දැන් හැම ඉරිදා රැස්වීමකටම සහභාගි වෙන ඔහු ‘මුරටැඹ’ පාඩමේදී අර්ථවත් අදහස්ද දක්වනවා. මේ ගුවන්විදුලි වැඩසටහන නිසා ඒ පළාතේ තවත් බොහෝදෙනෙක් සාක්ෂිකරුවන්ට හොඳ ප්‍රතිචාරයක් දක්වා තියෙනවා.

දොර ළඟ තබා ගිය ආරාධනා පත

ඉතාලියේ පැවැත්වූ තුන්දින සමුළුවේ අවසාන දිනයේදී සහෝදර ලූචෝ ඔහුගේ මිතුරන්ගෙන් සමුගෙන යන්න හදද්දී එක් යුවළක් ඔවුන් ළඟට ආවා. ඔවුන් යන්නේ මොන සභාවටද කියලා ලූචෝ ඇහුවාම “අපි තාම සභාවකට යන්නේ නැහැ” කියලා ඔවුන් පිළිතුරු දුන්නා.

“එහෙම නම් කවුරු හරි ඔයාලට ආරාධනා කෙරුවද” කියලා ලූචෝ ඇහුවා.

“නැහැ,” කියලා ඔවුන් පිළිතුරු දුන්නා.

ලූචෝ කුතුහලයෙන් මෙහෙම ඇහුවා. “එතකොට ඔයාලට සමුළුවට එන්න හිතුණේ ඇයි?”

“අපේ දොර ළඟ ආරාධනා පතක් තිබුණා. ඉතිං ඇවිත් බලන්න ඕනෙ කියලා අපි හිතුවා” කියලා ඔවුන් කිව්වා.

ඔවුන්ගේ නිවස තියෙන තැන ලූචෝට කිව්වාම ලූචෝගේ බිරිඳ එස්තර් එකපාරටම මෙහෙම කිව්වා “එතැන ආරාධනා පතක් තිබ්බේ මමයි! එදා තමයි ආරාධනා පත් බෙදන අන්තිම දවස. ඉතුරු වෙලා තිබුණ ආරාධනා පත් ටික විසි කරන්නේ නැතුව කවුරුවත් හිටියේ නැති ගෙවල්වල දොර ළඟ ඒවා තියලා යන එක හොඳයි කියලා මට හිතුණා.” ඒ එක් ආරාධනා පතක් ලැබුණ මේ යුවළ ඉරිදා දවසේ සමුළු වැඩසටහනට සහභාගි වෙන්න තීරණය කර තිබුණා. එම යුවළ සමඟ ටිකක් කතා කළාට පස්සේ ලූචෝ සහ එස්තර් කෑම වේලක් සඳහා ඔවුන්ට ආරාධනා කළා. ලූචෝගේ නිවසේදීත් බොහෝ දේවල් කතා කළ ඔවුන් බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. දැන් ඔවුන් රැස්වීම්වලටත් සහභාගි වෙනවා.