Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

jw.org වෙබ් අඩවිය - “සියලු ජාතීන්ට සාක්ෂියක්”

jw.org වෙබ් අඩවිය - “සියලු ජාතීන්ට සාක්ෂියක්”

යේසුස් පැවසුවේ “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි” කියායි. (මතෙ. 24:14) මේ අවසාන කාලයේදී “සියලු ජාතීන්ට” ශුභාරංචිය කියා දෙන්න jw.org වෙබ් අඩවිය කදිම මෙවලමක්.

සොලමන් දූපත්වල ඉන්න මිෂනාරි යුවළකට ධීවර ගම්මානයකදී මහලු පුරුෂයන් 4දෙනෙක්ව හමු වුණා. ඔවුන් ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය පාවිච්චි කරන්න දන්නවා කියා දැනගත් යුවළ jw.org වෙබ් අඩවියට පිවිසෙන හැටි ඔවුන්ට කියා දුන්නා. ඒ වගේම ඔවුන්ගේ භාෂාවෙන් සඟරා සහ බයිබලය ඩවුන්ලෝඩ් කරගන්න හැටිත් පවුලේ අය සඳහා තියෙන කොටස්වලින් ප්‍රයෝජන ගන්නා හැටිත් කියා දුන්නා. දේශනා සේවයේදී හමු වන ළමයින්ට ඒ යුවළ වෙබ් අඩවියේ තියෙන දරුවන්ගේ ගීත ඇතුළත් වීඩියෝ පෙන්වනවා. දවසක් දරුවන් කණ්ඩායමකට එවැනි වීඩියෝ එකක් පෙන්වූ පසු ළමයි ඒ ගීතය මුමුණමින් යනවා ඔවුන්ට ඇසුණා.

මොංගෝලියාවේ උලාන්බටෝර් නගරය

අපේ වෙබ් අඩවිය අගය කරමින් බොහෝ ලිපි ලැබුණා. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයක්.

“අපි මෙක්සිකෝවේ පදිංචියට ආව නිසා මෙහේ ඉන්න අයට දේශනා කරන්න අපි ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගන්නවා. jw.org වෙබ් අඩවියෙන් ඒකට අපිට ගොඩක් උදව් ලැබෙන නිසා ඒ ගැන මම දෙවිට ස්තුති කරනවා. ඒ වගේම ඒකේ පොත් පත්, සඟරා, ගීතිකා සහ නාට්‍ය ගොඩක් භාෂාවලින් තියෙනවා. මේක හදන්න ඔයාලා දරන වෑයම මම ගොඩක් අගය කරනවා.”​—මෙක්සිකෝවේ ඩී. එච්.

“මගේ ඇස් පෙනීම ගොඩක් දුර්වල නිසා ඔයාලගේ වෙබ් අඩවියේ තියෙන පටිගත කරපු තොරතුරුවලට මම හරිම ආසයි. තවත් පොත් පත්, සඟරා වගේ දේවල් පටිගත කරලා ඒකට දාන්න කියලා ඔයාලව උනන්දු කරන්නත් මම කැමතියි. එතකොට මට දවස පුරාම ඒවා අහන්න පුළුවන්.”​—එක්සත් ජනපදයේ කේ. ජී.

“මම jw.org වෙබ් අඩවියට හරිම කැමතියි. ඒක පාවිච්චි කරන්නත් ලේසියි. වෙබ් අඩවිය නිසා පෞද්ගලික අධ්‍යයනය කරන්නත් සේවයේ යන්නත් තිබුණ ආසාව වැඩි වුණා. මගේ වයස 72යි. බව්තීස්ම වෙලා දැන් අවුරුදු 47ක්. මම අවුරුදු 30කට වඩා වැඩි කාලයක් පුරෝගාමි සේවය කළා. මට බව්තීස්ම වෙච්ච දරුවෝ 9දෙනෙක් ඉන්නවා. මුනුබුරු මිනිබිරියන් 16දෙනෙක් සහ මීමුනුබුරන් 3දෙනෙක් ඉන්නවා. අපේ පවුලේ පරම්පරා 4කට අයිති අය ස්ථාවර පුරෝගාමි සේවය කරනවා. නියම වෙලාවට ලැබෙන මේ දේවල්වලට මම දෙවිට ස්තුති කරනවා.”​—එක්සත් ජනපදයේ එම්. ටී.

“මම මේ ලියුම ලියද්දී වෙලාව උදේ 4යි. බරපතළ ස්නායු රෝගයක් තියෙන නිසා ගොඩක් වෙලාවට මට රෑට නින්ද යන්නේ නැහැ. මං වගේ බරපතළ රෝග තියෙන සහෝදර සහෝදරියන් ලෝකය පුරාම ඉන්නවා කියලත් මම දන්නවා. ඒ වුණත් දෙවි අපි හැමෝටම උදව් කරනවා. විශේෂයෙන්ම මේ වෙබ් අඩවිය දුන් එක ගැන මම යෙහෝවා දෙවිට ගොඩක් ස්තුති කරනවා. වෙබ් අඩවියේ තියෙන වීඩියෝ, රූපසටහන්, පින්තූර වගේ දේවල් යොදාගෙන උගන්වන්න ඔයාලා ගන්න උත්සාහය මම ගොඩක් අගය කරනවා.”​—නවසීලන්තය බී. බී.

“මම ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාතක සේවය කරන වෛද්‍යවරයෙක්. මට සඟරා ලබාගන්න විදිහක් නැහැ. ඒත් වෙබ් අඩවියට ස්තුතිවන්ත වෙන්න මට දැන් මගේම භාෂාවෙන් සඟරා ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්. ඔයාලගේ වෙබ් අඩවිය, මං වගේ අයට යෙහෝවා දෙවි දීලා තියෙන වටිනා තෑග්ගක්.”​—ශ්‍රී ලංකාවේ එන්. එෆ්.

“යෙහෝවා දෙවි ගැන උගන්වන්න ඔයාලා ගන්න වෙහෙසට ස්තුතියි. අපේ පවුලේ අයට ප්‍රශ්න විසඳගන්න වෙබ් අඩවියේ තියෙන වීඩියෝ ගොඩක් උදව් වෙනවා. මට ගොඩක්ම උදව් වුණේ ‘චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක. ඒ නිසා තවත් වීඩියෝ වෙබ් අඩවියට දාන්න.”​—එක්සත් ජනපදයේ 9 හැවිරිදි වයි. එස්.

“යෙහෝවා දෙවි අපිට ලබා දෙන දේවල්වලට ඔයාලටත් දෙවිටත් මම ස්තුති කරනවා. jw.org වෙබ් අඩවියෙන් මට ගොඩක් උදව් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ‘යෞවනයන්ට’ කියන කොටසෙන්. ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන වැඩසටහන්වලටත් මම හරි ආසයි. මගේ නංගිලා තුන්දෙනාත් ඒ වීඩියෝවලින් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. අපි දුර රටක හිටියත් අපි ඔක්කොම එක පවුලක සහෝදර සහෝදරියන්. නැවතත් ඔයාලට ස්තුතියි.”​—පේරූ රටේ ඒ. බී.