Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

බොහෝදෙනෙකුගේ සිත්ගත් කාටූන් වැඩසටහන්

බොහෝදෙනෙකුගේ සිත්ගත් කාටූන් වැඩසටහන්

jw.org වෙබ් අඩවියේ “යෙහෝවා දෙවිගේ යාළුවෝ” යන කාටූන් වැඩසටහන් මාලාවේ ඉන්න පුංචි කේලෙබ් (දුලේන්) දැන් හරිම ප්‍රසිද්ධයි. කේලෙබ්ගේ මුල්ම වැඩසටහන, භාෂා 130කට වඩා වැඩි ගණකට පරිවර්තනය කර තිබෙනවා. ඒ ගැන අගය පළ කරලා ලියුම් සිය ගණනක් ලැබුණා.

ඉන් එක ලියුමක් ලියලා තිබුණේ අවුරුදු 8ක් සහ 11ක් වයස පුංචි දුවලා දෙන්නෙක්. ඒ ලියුමේ මෙහෙම ලියලා තිබුණා. “අපි හරක් පැටව් දෙන්නෙක් අරගෙන ඒ දෙන්නා ලොකු වුණාට පස්සේ විකුණුවා. නංගියි මායි මේ සල්ලි හොයාගත්තේ එහෙමයි. අපි කැමතියි මේ සල්ලි සම්මාදම් කරන්න. එතකොට ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන කාටූන් ගොඩක් හදන්න ඔයාලට පුළුවන්. කේලෙබ්ට තව නංගි කෙනෙක් හිටිය නම් හොඳයි කියලත් අපිට හිතෙනවා. එතකොට හැමෝම නංගිට ආදරේ කරද්දී කේලෙබ් මොනවා කරයිද කියලා බලන්න අපි ආසයි. කේලෙබ්ගේ කාටූන් එක තමයි අපි ආසම කාටූන් එක.”

ගොඩක් දරුවන්ට ඒ වීඩියෝ එකේ තියෙන හැම වචනයක්ම කටපාඩම්. එක් සහෝදරියක් රැස්වීම්වලට යන සභාවේ ළමයි 40දෙනෙක් විතර ඉන්නවා. ඉන් වැඩිදෙනෙක්ගේ වයස අවුරුදු 10ට අඩුයි. දවසක් රැස්වීම අවසන් කරලා තිබුණේ 120වෙනි ගීතිකාවෙන්. එදා ඒ ළමයි ටික ගීතිකාව කියන විදිහ අහලා ඒ සහෝදරියගේ ඇස්වලට කඳුළු ආවා කියලා ඇය ලියලා එව්වා.

ඒ වීඩියෝ එක දෙපාරක් බැලුව තම මිනිබිරිය ගැන ආච්චි කෙනෙක් මෙහෙම ලිව්වා. මගේ මිනිබිරිය දැන් කෑමට එන්න කලින් හැමදාම කාමරය අස් කරනවා. “මගේ සෙල්ලම් බඩු නිසා කවුරුත් වැටිලා තුවාල වෙනවාට මම කැමති නැහැ. ඒ නිසා ඉක්මනට කාමරය අස් කරන්න ඕනේ” කියලත් ඇය කියනවා.

දකුණු අප්‍රිකාවේ ගමක ඉන්න සාක්ෂිකරුවෙක්ගේ නිවසට පුංචි දරුවෝ නිතර යනවා එනවා දැක්ක සමහරු හිතුවේ ඒ පවුලේ අය පැණි රස කෑම විකුණනවා ඇති කියලයි. ඒත් ළමයි ඒ ගෙදරට ගිහින් තියෙන්නේ ක්සෝසා භාෂාවෙන් ‘කන් දී කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද’ කියන වීඩියෝ එක බලන්න. ඒක බලපු ළමයි තවත් අයව එක්කගෙන ඇවිත්. එක අවස්ථාවක එතන ළමයි 11දෙනෙක් හිටියා. ඒ හැමෝටම ගීතිකාව මතකයෙන් කියන්නත් පුළුවන් වුණා.

ඉක්වදෝරයේ කිචුවා භාෂාව කතා කරන, අවුරුදු 8ක් වයස අයිසැක් සහ අවුරුදු 5ක් වයස සෝල් සාක්ෂිකරුවන් නෙමෙයි. එයාලා ඉස්කෝලේ යද්දී අම්මා දෙන සල්ලි එකතු කරලා සෙල්ලම් තුවක්කු, සෙල්ලම් කඩු වගේ දේවල් ගත්තා. දවසක් අම්මා එයාලට කිව්වා කාමරේ අස් කරලා සෙල්ලම් බඩු ටික ඇඳ යට තිබුණ පෙට්ටියට දාන්න කියලා. මේ අතර ඒ දෙන්නට ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන DVD එක තෑග්ගක් හැටියට ලැබුණා. සතියකට පස්සේ අම්මා දැක්කා සෙල්ලම් බඩු පෙට්ටියේ තියෙන්නේ කාර් එකක් විතරයි කියලා. “කෝ ඔයාලගේ සෙල්ලම් බඩු ටික” කියලා අම්මා ඇහුවාම ළමයි කිව්වේ “යෙහෝවා දෙවි ඒ සෙල්ලම් බඩුවලට කැමති නැති නිසා අපි ගිහින් ඒවා කුණු ගොඩට දැම්මා” කියලයි. දැන් අහළ පහළ ඉන්න ළමයි ඒ වගේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරද්දී “ඔය වගේ සෙල්ලම් බඩුවලට යෙහෝවා දෙවි කැමති නැහැ” කියලත් අයිසැක් ඒ අයට කියනවා.

ක්‍රොඒෂියාව: පුංචි ළමයින් දැන් ගීතිකාවලට හරි ආසයි