Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

ඓතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයක්

ඓතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඓතිහාසික තොරතුරු ඇතුළත් ප්‍රදර්ශනයක් 2012 ඔක්තෝබර් මාසයේ ආරම්භ කළා. යේසුස්ගේ අනුගාමිකයන් මුහුණ දුන් දුෂ්කරතා හා අභියෝග ගැන තොරතුරුත් එයට ඇතුළත් කර තිබුණා.

මුල් සතියේ පමණක් අමුත්තන් හා බෙතෙල් පවුලේ සාමාජිකයන් ඇතුළු 4,200දෙනෙක් එය නැරඹීමට පැමිණ තිබුණා. ප්‍රදර්ශනය නැරඹූ සාක්ෂිකාරියක් වන නයෝමි මෙහෙම කිව්වා. “ඓතිහාසික සිදුවීම්, ඒවා සිදු වුණ කාලයට අනුව පෙළගස්වලා තිබුණ නිසා ඒවා වුණේ කවදාද කියලත් ඒ විදිහට සිද්ධ වුණේ ඇයි කියලත් තේරුම්ගන්න මට පුළුවන් වුණා. ඒ වගේම අපේ සංවිධානය ගැනත් ඒකෙ ඉතිහාසය ගැනත් ගොඩක් දේවල් මම දැනගත්තා.”

ක්‍රි.ව. 33 සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් කර තිබෙන එම ප්‍රදර්ශනය අංශ 4කට වෙන් කර තිබෙනවා. හැම අංශයකටම බයිබල් පදයක් මත පදනම් තේමාවක් තිබෙන අතර ඒවා ආරම්භයේදී හැඳින්වීමක් ඇතුළත් කෙටි වීඩියෝ එකක් ඉංග්‍රීසි භාෂාවෙන් බලන්න සලස්වා තිබෙනවා. එම වීඩියෝවලට වෙනත් භාෂා 7කින් උපසිරැසිත් ඇතුළත් කර තිබෙනවා.

පළවෙනි අංශයේ තේමාව වුණේ යොහන් 3:19 මත පදනම් “ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ අන්ධකාරයට” යන්නයි. නියෝජිතයන්ගේ මරණයෙන් පසු දුෂ්ට මිනිසුන් සත්‍ය ඉගැන්වීම් “විකෘති කර පෙන්වයි” කියා බයිබලයේ පවසා තිබුණා. (ක්‍රියා 20:30) එය සිදු වූ විදිහත් සත්‍ය ඉගැන්වීම්වලට ඇලී සිටි අයට පීඩා කළ විදිහත් එහි ප්‍රදර්ශනය කර තිබෙනවා.

දෙවෙනි අංශයේ තේමාව වුණේ 2 කොරින්ති 4:6 මත පදනම් “ආලෝකය බැබළෙන්න” යන්නයි. බයිබල් ශිෂ්‍යයන් ශුද්ධ ලියවිල්ල ගැඹුරින් අධ්‍යයනය කරන්න පටන්ගත් 1800ගණන්වල අගභාගයේදී සිදු වූ දේවල් එයට ඇතුළත් වෙනවා. ඔවුන් බයිබලයට පටහැනි ඉගැන්වීම් ඉවත් කර බයිබල් සත්‍යයන් නිර්භීතව දේශනා කළා. පළමු ලෝක යුද්ධයට කලින් බයිබල් ශිෂ්‍යයන් ගණනින් වර්ධනය වූ ආකාරයත් ඔවුන්ගේ අවබෝධය වැඩි වූ ආකාරයත් එහි දකින්න තියෙනවා.

ඊට යාබද කුටියේ සාක්ෂිකරුවන් විසින් මෙතෙක් කර ඇති විශිෂ්ටතම නිර්මාණයක් වන “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” වැඩසටහන ගැන විස්තර සපයා තියෙනවා. බයිබල් ශිෂ්‍යයන් එම වැඩසටහන ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ 1914දීයි. සංගීතය, පින්තූර සහ චලන රූප සහිත දර්ශන ඇතුළත් එම වැඩසටහන මිලියන ගණනක් නැරඹුවා. ඒ වැඩසටහනේ තිබූ පින්තූර, හැඳින්වීමේ කොටසක් සහ වර්ණ කාච 500කට වඩා එහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

තුන්වෙනි අංශයේ තේමාව පදනම් වෙලා තිබුණේ එළිදරව් 12:17 මතයි. එනම් “මකරා ස්ත්‍රිය කෙරෙහි උදහස් වී” යන්නයි. ක්‍රිස්තියානීන් යුද්ධයට හවුල් නොවීම නිසා අද්දැක්ක දේවල් ගැන එහි ප්‍රදර්ශනය කර තිබෙනවා. විශ්වාසවන්තකම බිඳ දමන්න සාතන් ගෙනා දරුණු පීඩාවලට සහෝදරයන් මුහුණ දුන් ආකාරය පිළිබිඹු කරන පින්තූර සහ උපකරණත් ඔවුන් ඒවාට මුහුණ දුන් ආකාරය රඟ දක්වා ඇති කෙටි වීඩියෝ දර්ශනත් එතැන දකින්න ලැබෙනවා. උදාහරණයකට එක වීඩියෝ දර්ශනයක ඉතාලි ජාතික සහෝදරයෙක් වන රෙමිජියෝ කුමිනෙට්ටි හමුදා ඇඳුම් ඇඳීම සහ යුද්ධයට හවුල් වීම ප්‍රතික්ෂේප කළ ආකාරය රඟ දක්වා තිබෙනවා. තවත් වීඩියෝ දර්ශනයක ඔස්ට්‍රියාවේ සහෝදරයෙකු වන අලොයිස් මෝසර් හිට්ලර්ට ආචාර නොකළ නිසා ඔහුව රැකියාවෙන් ඉවත් කළ ආකාරය සහ ඩාකව් ගාල් කඳවුරට යැවූ ආකාරය දකින්න ලැබෙනවා. ග්‍රීසිය, ජපානය, පෝලන්තය, යුගෝස්ලාවියාව සහ වෙනත් තැන්වල සහෝදරයන් සිරගත වී සිටි ආකාරය සිතින් මවාගන්න උදව් වෙන, ඒ සහෝදරයන්ගේ පින්තූර ඇතුළත් අඳුරු සිරකුටියක්ද එහි නිර්මාණය කර තිබෙනවා.

“සියලු ජාතීන්ට ප්‍රීතිමත් පණිවිඩයක්” යනු අවසාන අංශයේ තේමාවයි. එය පදනම් වුණේ එළිදරව් 14:6 මතයි. සාක්ෂිකරුවන්ගේ ශීඝ්‍ර වර්ධනය, සේවය සහ ප්‍රේමය වැනි දේවල් හුවා දක්වන පින්තූර එහි දකින්න තිබෙනවා. ප්‍රදර්ශනය අවසානයේ අවුරුදු සියයක් පුරා සාක්ෂිකරුවන් විසින් භාවිතයට ගත් බයිබල් නිවස සහ බෘක්ලින් මණ්ඩපය ලෙස හැඳින්වූ ගොඩනැඟිලි ගැනත් විස්තර දැනගන්න පුළුවන්.

මේ ප්‍රදර්ශනය තියෙන්නේ නිව් යෝර්ක්වල බෘක්ලින් නගරයේ අංක 25, කොලම්බියා හයිට්ස්වලයි. සතියේ දිනවල උදේ 8 සිට සවස 5 දක්වා එය නැරඹීමට හැකි වන අතර ඇතුල් වීම නොමිලේ. ඔබ නිව් යොර්ක් නගරයට යනවා නම් එය නැරඹීමට අමතක කරන්න එපා.